ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට වගකිව යුත්තේ කවුද?

ප‍්‍රදීප් රාමනායක සහ කේ. රත්නායක විසිනි, 2017 මාර්තු 28

මීට අවුරුදු අටකට පෙර, සන්ඩේ ලීඩර් කතුවරයාව සිටි ලසන්ත වික‍්‍රමතුංග කෲර ලෙස ඝාතනය කිරීමට වගකිව යුත්තේ කවුද යන්න ගැන හිටපු හමුදාපති හා වත්මන් ආන්ඩුවේ ඇමතියකු වන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එකිනෙකාට එරෙහිව අවලාද නගති.

මේ අවලාද නගා ගැනීම පටන් ගත්තේ මාර්තු 19 දා, පොලීසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයාට කරුනු දැක්වීමකදී ඉදිරිපත් කල ෆොන්සේකාගේ දිවුරුම් ප‍්‍රකාශයකින් එවක හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂකව සිටි මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරන යටතේ සැදූ විශේෂ මිලිටරි ප‍්‍රහාරක කන්ඩායමක් විසින් වික‍්‍රමතුංග ඝාතනය සිදු කෙරුනු බව හෙලි දරවු වී ඇතැයි දන්වා සිටීමත් සමගයි. දි අයිලන්ඩ් පුවත්පතේ පලවූ ඒ පිලිබඳ වාර්තාවට අනුව, එම ප‍්‍රහාරක කන්ඩායම නියෝග ලබා ගත්තේ ගෝඨාභය රාජපක්ෂගෙනි. එකල, ද නේෂන් පුවත් පතේ ජ්‍යෙෂ්ට ලේඛකයෙකු වූ කීත් නොයාර්ට බරපතල ලෙස පහර දීම ඇතුලු මාධ්‍යවේදීන්ට එල්ලවූ ප‍්‍රහාර වලට වගකිව යුත්තේ මෙම එකම කන්ඩාය ම බව ද ප‍්‍රකාශයෙන් එලිවන්නේ යයි රහස් පොලීසිය පැවසීය.

ඊලඟ දවසේම, ඒඑෆ්පී ප‍්‍රවෘත්ති ඒජන්සියට ප‍්‍රකාශයක් කල ගෝඨාභය රාජපක්ෂ “එවන් රහස් කල්ලියක් පැවති බව දැන සිටියේ නම් හමුදාපති වශයෙන් ඔහු [ෆොන්සේකා] ඊට එරෙහිව ගත් පියවර මොනවාද” යි අසමින් වික‍්‍රමතුංග ඝාතනයේ වගකීම ෆොන්සේකාගේ කරේ තබා ඇත. තමන් සමස්ත හමුදාවේ අනදෙන්නා ලෙස සිටියදී මෙවන් කල්ලියක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් “නිදහසට කරුනු” ලෙස ෆොන්සේකා පවසා ඇත්තේ “හමුදා බුද්ධි අංශය රාජකාරි මට්ටමෙන් කල කටයුතු හැරෙන්නට ශ්‍රී ලංකාවේ සිදු වන අපරාධ පිලිබඳව විමසා බැලීමට හමුදාපතිවරයාට වගකීමක් පැවරී නැති” බවය.

මාර්තු 27 දා විදේශීය වාර්තාකරුවන්ගේ සංගමයේ රැස්වීමක් ඇමතු ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ගේ ප‍්‍රශ්නයකට පිලිතුරු දෙමින් ජන මාධ්‍යවේදීන්ට පහර දීම සඳහා හමුදාව තුල පිහිටුවූ “විශේෂ ඒකකයක්” නො තිබූ බව යලිත් අවධාරනය කර ඇත.

ලංකාවේ ආරක්ෂක අංශයේ ඉහලම පුටුවල ලැගගෙන මිලිටරි සැලසුම් සකස්කරමින් හා මර්දන යන්ත‍්‍රය හසුරුවමින් සිටි දෙදෙනෙක් අපරාධයට තමන්ගේ වගකීමක් නැතැයි දෙන ප‍්‍රකාශ ගැන අඩුම ලන්සුවෙන් කිව හැක්කේ ඒවා ප‍්‍රලාපයන් බව ය.

ලංකාවේ පලවන බයාදු ජන මාධ්‍ය දෙපාර්ශ්වය දෙන ප‍්‍රකාශ පල කරන අතරේ එම ඉරියව්වෙන් ම ලියැවුනු ලිපි ද පල කරයි. මෙම ලියුම්කරුවෝ වික‍්‍රමතුංග ඝාතනය සිදුවූ දිනවල මෙන්ම අද ද වගකිව යුත්තන්ට චෝදනා කිරීමක් තබා ඔවුන් කවුදැයි බැරෑරුම් ව පරීක්ෂා කිරීමක් පවා නො කරති.

2009 ජනවාරි 8 දා වික‍්‍රමතුංග ඝාතනය කරන ලද්දේ ලීඩර් පුවත්පත් කාර්යාලයට සිය රියෙන් යමින් සිටියදී ඊට නුදුරු, රත්මලාන ගුවන් හමුදා කඳවුර වටා පිහිටුවා තිබු අධි ආරක්ෂක කලාපයට යාබද ස්ථානයකදී ය. මෝටර් සයිකලයකින් පැමිනි මිනීමරුවෝ ඔහු පදවාගෙන යමින් සිටි රිය නතර කරවා වික‍්‍රමතුංග මරා දමා පලා ගියහ.

ලීඩර් කර්තෘගේ ඝාතනය සිදුවූයේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වර්ගවාදී යුද්ධය ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් උත්සන්න කරමින් පැවතිය දීය. රාජපක්ෂ, ඔහුගේ සහෝදරයාවූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හමුදාපති ෆොන්සේකා මේ යුද්ධය එකාවන්ව ගෙන ගියහ.

ඔවුන් දේශපාලන සතුරන් වූයේ, 2009 මැයි මස එල්ටීටීඊය පරදා ලබා ගත් මිලිටරි ජයග‍්‍රහනය යොදා ගෙන ෆොන්සේකා තමන්ට එදිරිව දේශපාලන අභියෝගයක් ලෙස මතුවේ යයි බියෙන් රාජපක්ෂලා ඔහුගේ බලතල කපා හැර කොන් කිරීම ඇරඹීමත් සමගයි. නාමික බලතල සහිත නව ආරක්ෂක මන්ඩල ප‍්‍රධානියාගේ තනතුරෙන් ඉවත්ව, 2010 ජනාධිපතිවරනයට විපක්ෂය “පොදු අපේක්ෂකයා” ලෙස ඉදිරිපත්වූ ෆොන්සේකා, ඉන් පරාජය වීමෙන් පසු රාජපක්ෂ තන්ත‍්‍රය ඇටවූ නඩුවකින් හිර ගත කොට පසුව නිදහස් කෙරුනි. 2015 දී ජනාධිපති මෛතීපාල සිරිසේන බලයට ගෙන ඒම සඳහා ඇමරිකාවේ ආධාරයෙන් ක්‍රියාත්මක කල තන්ත‍්‍ර මාරුවට පෙල ගැසුනු ෆොන්සේකා දැන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ඇමතියෙකු වී සිටී.

පාලක පන්තියේ ප‍්‍රමුඛ කොටස්වල සහ ව්‍යාජ වම්මුන්ගේ සහාය ලද සිරිසේන සිය ආන්ඩුවකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කරන බවට බේගල් දෙසා බෑවේය. සිරිසේන බලයට ඒමේදී රාජපක්ෂ පාලනය රට තුල උත්සන්න කර තිබු මර්දනය පිලිබඳව මහ ජනයා අතර පැතිරී ගිය කෝපය හා විරුද්ධත්වය ගසා කෑමට දුන් එක පොරොන්දුවක් වුයේ ”රාජපක්ෂ සමයේ මහජනතාවන් ගෙන් උදුරාගනු ලැබූ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ප‍්‍රතිස්ථාපනය කිරීම සහ සිදු කෙරුනු අපරාධ වලට දඬුවම් දීම” යි. මෙම පොරොන්දුව අනෙක් පොරොන්දු මෙන්ම කුනු කූඩයට දමා ඇත.

වික‍්‍රමතුංග ඝාතනය සහ අනෙක් මාධ්‍යවේදීන්ට එල්ල කල ප‍්‍රහාර පිලිබඳව කෙරන රහස් පොලිස් ”හෙලිදරව්වල හා හිටපු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් අතර යන එකිනෙකාට චෝදනා කිරීම පෙන්නුම් කරන්නේ පාලක පන්තිය තුල කැකෑරෙන දේශපාලන අර්බුදයයි. ආන්ඩුවේ නායකයන් රාජපක්ෂ ප‍්‍රමුඛ දේශපාලන විරුද්ධවාදීන්ගේ අපරාධ ගැන පියවර ගන්නා බවක් පෙන්වා ඔවුන් නිහඬ කිරීමට තැත් කරන අතර විපක්ෂ කන්ඩායමට ආන්ඩුවට ප‍්‍රති උත්තර දීමට මොනම චකිතයක් වත් නැත. මන්ද යත්, දෙපාර්ශවයේ ම සිටින්නේ එකසේ මෙම අපරාධවලට වගකිව යුත්තන් වන හෙයිනි.

වික‍්‍රමතුංග ඝාතනය හා අනෙකුත් ජන මාධ්‍යකරුවන්ට එල්ල වූ ප‍්‍රහාර මිලිටරි ඒකකයක් විසින් කරන ලද බවට දැන් කෙරෙන ප‍්‍රකාශ වලින් පෙන්නුම් කෙරෙන්නේ සත්‍යයෙන් අංශු මාත‍්‍රයකි. යුද්ධයෙන් උතුරු නැගෙනහිර දෙමල ජනයා ලේ විලක ගිල්වීමට සමාන්තරව දකුනු පලාත්වල යුද්ධයට විරුද්ධ වූවන් හා ආන්ඩුව විවේචනය කලවුන් නැති කර දැමීම සඳහා ගොඩ නැගූ හමුදා, පොලිස්, පැරා-මිලිටරි ප‍්‍රහාරක යාන්ත‍්‍රනය මුදුනේ සිටියේ රාජපක්ෂලා හා හමුදා පති ඇතුලු මිලිටරි නායකයන් බව පලල් මහජනයාට රහසක් නොවේ.

මෙම ඉහල අධිකාරියේ අවසරය නැතුව සන්නද්ධ හමුදා හා පොලිස් කන්ඩායම් මාර්ග බාධක දමා මුරකාවල් යොදා තිබූ තතු යටතේ ඝාතක කල්ලිවලට සන්නද්ධව සැරිසැරීමට වත් පසුව සැඟවී සිටීමට වත් කිසිදු හැකියාවක් නොවීය. මහා ජනතාව නොදැන සිටියා නම් ඒ මෙම ඝාතක යාන්ත‍්‍රනය යුද්ධය පැවති ප‍්‍රදේශ ඇතුලුව රට පුරා නිශ්චිතව ක්‍රියාත්මක වූ ආකාරය පමනකි. උතුරු නැගෙනහිර ද දකුනු පලාත්වල ද සිය ගනනක් දෙනා “සුදු වෑන්” වලින් පැහැර ගෙන ගොස් අතුරුදහන් කෙරුනි; නැතහොත් මරා දැමුනි. හිටපු ජනාධිපති රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා එවැනි දේ සිදුනොවුනා සේ කතා පවත්වන්නේ මහජනයා මැරී ඉපදී ඇතැයි සිතාගෙන විය යුතුය.

වික‍්‍රමතුංග ඝාතනය හා අනෙකුත් මාධ්‍යකරුවන්ට ප‍්‍රහාර එල්ල කලේ එක්කෝ මානව අයිතීන් කඩ කිරීම හෝ යුද්ධයට මුවාවී ගෙන ගිය ජාවාරම් පිලිබඳව ඔවුන් සිදු කල සීමිත එලිදරවු කිරීම් නිසාය. වික‍්‍රමතුංග යුද සමයේ රුසියානු සමාගමකින් මිග් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක දී සිදුවූ දුෂන හෙලි කිරීම නිසා ගෝඨාභය රාජපක්ෂගේත් ෆොන්සේකාගේත් උදහසට ලක්වී සිටියේය.

එහෙත්, රහසේ ක්‍රියා කල ප‍්‍රහාරක කල්ලි හුදෙක් රාජපක්ෂ ආන්ඩුව සමයේ හදිසියේ පැන නැගුනා නොවේ. ඒවා වනාහි, විසි හය අවුරුද්දක් පුරා රුදුරු වර්ගවාදී යුද්ධය ගෙන යාම තුලදී කම්කරු පන්තියට හා පීඩිතයන්ට එරෙහිව ගොඩනගා ගත් රුදුරු යාන්ත‍්‍රනයක ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරයි. රාජපක්ෂ පාලන සමයේ සිදු වූයේ, ධනපති පන්තියේ අර්බුදය ගැඹුරුවන කොන්දේසි තුල, එම යාන්ත‍්‍රනය පලල්ව තර කරමින් හා උසිගන්වමින් පොලිස් පාලනයකට මාරුවීම වේගවත් කිරීමයි.

ලංකාවේ පාලක පන්තියේ සියලූම කල්ලි යුද අපරාධ සම්බන්ධයෙන් සිටින්නේ එකම බෝට්ටුවේ ය. ලංකාවේ මොනම යුද අපරාධයක් වත් සිදුවී නැති බව සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව දිවුරා කියයි. යුද්ධයේ අවසන් දිනවල තමන් ආරක්ෂක ඇමති ලෙස සිටි බව සිරිසේන උජාරුවෙන් කියන්නේ යුද ජයග‍්‍රහනයට තමන් ඉහලින්ම සම්මාදන් වී ඇති බව අවධාරනය කිරීමටයි. පසුගිය දා සිරිසේන ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ප‍්‍රමුඛ වී එජා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරි පත් කල යෝජනාවකින් යුද අපරාධ වසන් කිරීමට ජාත්‍යන්තර සහාය ලබා ගත්තේය.

මේ කිසිවක් නොදන්නා සේ,“රන විරුවන්” පාවාදීමට ආන්ඩුව තැත් කරන්නේ යැයි සිංහල ස්වෝත්තමවාදී නඩ ද හවුල් කරගෙන රාජපක්ෂ කන්ඩායම මොරදෙන්නේ ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය වර්ගවාදයෙන් පීලිපන්වා බලයට පැන ගැනීමටයි. යුද අපරාධ පිලිබඳව සිංහල වර්ගවාදය මත පදනම් වූ මේ සියලු ආස්ථාන, යුද්ධය හා සම්බන්ධ සියලු අපරාධවලට ද අනිවාර්ය ලෙසම දික් වී ඇත.

යුද අපරාධ හා යුද්ධය හා සම්බන්ධ වික‍්‍රමතුංග ඝාතනය ඇතුලු සාපරාධී ක්‍රියාවන් ගැන ලංකාවේ ධනපති පාලක පන්තියේ සියලු කොටස්වල ද එහි වත්මන් ආන්ඩුවේ ද දුෂ්ට ආකල්පය පෙන්නුම් කරන්නේ මහා ජනතාවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කෙරෙහි ඔවුන්ට පවතින පිලිකුල හා සතුරු කමයි. ලංකාවේ ධනේශ්වරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට කෙටීමේ අතීතයක් මිස ඒවා තහවුරු කිරීමේ මොනම ඉතිහාසයක් වත් ඇත්තේ නැත. ජාත්‍යන්තරව සෑම රටකම මෙන් ම, ගැඹුරුතර දේශපාලන, ආර්ථික හා සමාජ අර්බුදයක ගිලී ඇති ලංකාවේ ධනපති පන්තිය සුදානම් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දමා පොලිස් රාජ්‍යයක් ඇටවීමටයි.

Share this article: