එෆ්බීඅයි අධ්‍යක්ෂ: “ඇමරිකාව තුල පරම පුද්ගලිකත්වය වැනි යමක් නැත”

විකී ලීක්ස් හෙලිදරව්ව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි සීඅයිඒ තර්ජන

FBI director: “No such thing as absolute privacy in America”
The WikiLeaks exposures and the CIA’s threat to democratic rights

2017 මාර්තු 10

බදාදා බොස්ටන් විද්‍යාලයේ දී සයිබර් ආරක්ෂක සමුලූවක් අමතමින් එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ, “ඇමරිකාව තුල පරම පුද්ගලිකත්වය ලෙස යම් දෙයක් නැතැ” යි පැවසුවේ ය. ඔහුට අනුව, තමන්ගේ කලත‍්‍රයින් අතර මෙන් ම පූජක පක්ෂයේ සාමාජිකයින් හා නිතීඥයින් සමග කතාබහ ද ඇතුලූ ඇමරිකානුවන් නියලෙන සෑම කටයුත්තක් ම තිබෙන්නේ, “අධිකරනයට ලඟා විය හැකි දුරකය.” “නිසි අවස්ථාවන් හි දී, එම තනිකරම පුද්ගලික කතාබහ පිලිබඳ ව උසාවියක් තුල සාක්ෂි දීම සඳහා අපගෙන් ඕනෑ ම අයෙකු කැඳවීමට විනිශ්චයකාරවරයෙකුට හැකි” යයි ඔහු පැවසී ය.

එක්සත් ජනපද මිලිටරි-ඔත්තුසේවා සංවිධානවලට අධිකරන නියෝගයක් සම්පූර්නයෙන් ම අදාල නොවන බව එෆ්බීඅයි අධ්‍යක්ෂ ප‍්‍රකාශ නො කලේ ය. ඔහුට හොඳින්ම එසේ කිව හැකි ව තිබුනි. තම පුරවැසියන් කතා කරමින් හා සිතමින් සිටින්නේ මොනවා ද යන්න ගැන නවීන සයිබර් ආයුධ මගින් ඉගෙන ගැනීමට, උසාවි නියෝගවලට වඩා බොහෝ සෘජු ක‍්‍රමෝපායන් එක්සත් ජනපද ආන්ඩුවට ඇත. අපහරනයේ (hack) උපකරන දහස් ගනනක් මේවාට අයත් ය. විකීලීක්ස්, අඟහරුවාදා ඒවායේ පැවත්ම හෙලිදරව් කලේය. ජංගම දුරකතන හා ස්මාර්ට් රූපවාහිනීවල සිට බොහෝ මොටර් රථවල සවිකර ඇති පරිගනක පද්ධති දක්වා වන සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික උපකරන වර්ග මිලියන ගනනාවක්, ඔත්තුසේවා ආයුධ වලට හරවන සීඅයිඒ ව්‍යායාමය හෙලි කෙරෙන තොරතුරු ඒවාට ඇතුලත්ය.

පුද්ගලිකත්වය සඳහා අයිතියක් නැතැ යි එෆ්බීඅයි අධ්‍යක්ෂ කරන ප‍්‍රකාශ, ඔහුගේ අදහස් දැක්වීම් යන්තම් වාර්තා කල ව්‍යාපාරික මාධ්‍යය විසින් හා ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකානු පක්ෂ දේශපාලඥයින් විසින් පිලිගන්නා ලද්දේ ඈනුම් අරිමිනි. එය පිලිබිඹු කරන්නේ, විකීලීක්ස් හෙලිදරව් කිරීම් පිලිබඳ සංස්ථාපිතය දක්වන ආකල්පයයි.

සීඅයිඒ සයිබර්අවි පිලිබඳ හෙලිදරව් කිරීම් වලින් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර සම්බන්ධ නොතැකීමයි. ජාතික ආරක්ෂක සංවිධාන විසින් තර්ජනයට ලක් කෙරෙන පුද්ගලිකත්වයේ අයිතිය හෝ වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ගැන උත්සුකයන් මතු කරන ඕනෑ ම අයෙකු, රුසියාවේ ඒජන්තයෙකු යයි කීමේදී පමනක් මාධ්‍ය ඒ කෙරෙහි උනන්දුවක් දක්වයි. මෙම ආස්ථානය ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කෙරුනේ, “විකීලික්ස් ඇමරිකාවේ හතුරන්ට විශාල අනුග‍්‍රහයකි” යන සිරිස්තලයෙන් යුත් වොෂින්ටන් පෝස්ට් පත‍්‍රයේ කතුවැකිය තුල ය.

සියයට සියයකින් සීඅයිඒ සංවිධානය ආරක්ෂා කිරීමට සම්පූර්න ශක්තිය යොදා ගනිමින් කතුවැකිය මෙසේ ප‍්‍රකාශ කරයි: “සීඅයිඒ සංවිධානයෙන් සොරකම් කරන ලද්දා වූ ද විකී ලීක්ස් විසින් නිකුත් කරන ලද්දා වූ ද සයිබර් අපහරනය පිලිබඳ මෙවලම් තෝම්බුව ගැන කීමට ඇති පලමුවැන්න, ඒවා සමූහ සෝදිසි කිරීම් උපකරන නො ව, පුද්ගලික දුරකතන, පරිගනක හා රූපවාහිනී ගැන ඔත්තුබැලීම සඳහා මාධ්‍ය වන බව යි. ඒවා පාවිච්චි කෙරී ඇත්තේ ඇමරිකානුවන්ට එරෙහි ව හෝ එසේ නැත්නම් නොහොබිනා ලෙස... බවට සාක්ෂි නොමැත.”

කතුවැකිය තවදුරටත් මෙසේ ලියයි, “එහි තේරුම වන්නේ අපහරන ක‍්‍රමෝපායේ ඉලක්කයන් ද ඒවා නිකුත් කිරීමේ ප‍්‍රමුඛ ප‍්‍රතිලාභීන් ද වනු ඇත්තේ ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්, උතුරු කොරියානු බෝම්බ නිෂ්පාදකයින්, ඉරාන, චීන හා රුසියානු ඔත්තුකරුවන්, හා අනෙකුත් එක්සත් ජනපද හතුරන් ය.” විකීලීක්ස් රුසියාවේ උපකරනයක් ලෙස පෙන්නුම් කිරීමට ද “ඇත්ත වසයෙන් ම, සයිබර් අවකාශයේ දී ඒකපාර්ශ්විය ලෙස එක්සත් ජනපදය නිරායුධ කිරීම දේශනා කරන” අය හෙලාදැකීමට ද කතුවැකිය උත්සාහ දරයි.

නිහීන ලෙස සීඅයිඒ සංවිධානය ආරක්ෂා කිරීමට ප‍්‍රතිචාර වසයෙන්, යමෙකු මෙසේ ඇසීමට පෙලඹෙනු ඇත, මිලිටරි ඔත්තුසේවා සංවිධාන පිලිබඳ දෘෂ්ටිමය හා දේශපාලනික ආරක්ෂාව පැවරුනු සීඅයිඒ, එක්සත් ජනපද ආන්ඩුවේ ප‍්‍රචාරක හස්තය බව වොෂින්ටන් පෝස්ට් සරලව නිවේදනය නොකරන්නේ මන්ද? මෙම කතුවැකිය තුල ස්වාධීන, විවේචනාත්මක ආකල්පයක ලේශමාත‍්‍රයක් වත් නොමැත. පුවත්පත් මුලුමනින්ම ගිලදමන්නේ, තම ඔත්තුකරුවන් ඇමරිකානුවන් ගැන ඔත්තු බැලීම, “නීතිමය වසයෙන් තහනම් කෙරෙන” බවට සීඅයිඒ දෙන සහතිකය යි. එමෙන් ම ආන්ඩුවේ අයුතු ක්‍රියා පිලිබඳ තොරතුරු එකතු කරමින් හා ඒවා ප‍්‍රසිද්ධ කරමින්, සැබෑ මාධ්‍යවේදීන් ලෙස ක්‍රියා කිරීම වෙනුවෙන් ඔවුන් විකීලීක්ස් හෙලා දකි යි.

වසර 46ට පෙර මෙම පුවත්පත නිව් යෝක් ටයිම්ස් සමග එක්ව, “ජාතික ආරක්ෂාව” පිලිබඳ කාරනය මත බෙරිහන් දුන්, එවක නික්සන්ගේ ධවල මන්දිරය, සීඅයිඒ හා මිලිටරි නායකයින්ගේ බලගතු විරෝධය නොතකා, පෙන්ටගන් ලියවිලි ප‍්‍රසිද්ධ කරනු ලැබීය. අද යමෙකු පෙන්ටගන් ලියවිලිවලට සමාන දෙයක් පෝස්ට් පත‍්‍රයට (හෝ ටයිම්ස් පත‍්‍රයට) ගෙන ආවොත්, කතුවරුන් වහා ම එෆ්බීඅයි සංවිධානයට කතා කර තොරතුරු හෙලිකරන්නන් හිර භාරයට පමුනුවනු ඇත.

පෝස්ට් පත‍්‍රයේ පිලිවෙතම පුවත්පත් හා රූපවාහිනී නාලිකාවල ද නොයෙක් ආකාරයෙන් පුනරුච්චාරනය කෙරී ඇත. ආන්ඩුවේ නිල පිලිවෙත ප‍්‍රකාශ කිරීම සඳහා ආසන්න වසයෙන් සෑම ප‍්‍රවෘත්ති වැඩසටහනක් ම, හිටපු සීඅයිඒ හා ජාආඒ අධ්‍යක්ෂ මයිකල් හේඩන් වඩම්මා ගනියි. ප‍්‍රධාන ප‍්‍රචාරකයින්ගෙන් කිසිවෙක්, විවේචනාත්මක මාවතක් අනුගමනය කරන හෝ විකීලීක්ස් හා සීඅයිඒ පිලිබඳ එහි හෙලිදරව් කිරීම්වලට සහාය දෙන කිසිවෙකු සමග සම්මුඛ සාකච්ඡා පැවත්වීමට උත්සාහ නො කරති.

මාධ්‍ය හා මිලිටරි ඔත්තුසේවා සංවිධාන අතර සම්බන්ධයේ සංයුක්ත ආදර්ශනයක් සැපයෙන්නේ, සීඅයිඒ හා පෙන්ටගනය ප‍්‍රසිද්ධ කිරීමට කැමති තොරතුරු ගෙන එන, පුවත්පතේ ප‍්‍රධාන පුද්ගලයා වන ඩේවිඩ් සැන්ගර් විසින් මෙම සතිය මුල දී නිව් යෝක් ටයිම්ස් වෙබ් අඩවියට මුදා හල වාර්තාවකිනි.

ඔහු හා තවත් ටයිම්ස් වාර්තාකරුවෙකු වන විලියම් බ්රෝඩ්, උතුරු කොරියානු මිසයිල පිටුදැකීමේ එක්සත් ජනපද උත්සාහය ගැන පසු ගිය ඉරිදා මුල්පිටුවේ වාර්තාව සූදානම් කලේ කෙසේ දැ යි සැන්ගර් සඳහන් කලේ ය, “උතුරු කොරියානු මිසයිලවලට එරෙහිව ට‍්‍රම්ප් සයිබර් යුද්ධය පෙරට ගනියි” යන ශීර්ෂ පාඨයෙන් යුත් එය ඇඟවූයේ, එක්සත් ජනපද මිලිටරිය උතුරු කොරියානු මිසයිල දියත් කිරීම අසාර්ථක කිරීමේ ක‍්‍රමෝපාය වර්ධනය කර ඇති බව යි. පුවත්පතේ මුල් පිටුවේ මුල් තැන දී පල කෙරුනු මෙම ලිපියේ ප‍්‍රධාන තේමාව වූයේ, ප‍්‍රති පියවර අප‍්‍රමානවත් බව, හා එක්සත් ජනපද ඉලක්කවලට එරෙහිව උතුරු කොරියානු න්‍යෂ්ටික ප‍්‍රහාරයක උපකල්පිත අනතුරට එරෙහිව වඩා ප‍්‍රබල පියවර අවශ්‍ය වන බව යි.

අපූර්ව ඡේදයක, සැන්ගර් මෙසේ කියයි: “විමර්ශනයේ සංවේදී කොටස: අප සතුව තිබුනේ මොනවා දැ යි ආන්ඩුවට කීම, නිල අදහස් ගැනීමට උත්සාහ කිරීම (එවැනි කිසිවක් තිබුනේ නැත) හා අපගේ හෙලිදරව් කිරීම් කිසිවක් ඉදිරියට යමින් තිබෙන මෙහෙයුම්වලට බලපානු ඇත් දැ යි තක්සේරු කිරීම යි. ඔබාමා පාලනාධිකාරයේ අවසාන සතිවල දී අපි, ජාතික ඔත්තුසේවා කාර්යාල අධ්‍යක්ෂ වෙත ගියෙමු,” එහිදී, “අපගේ කතුවරුන් සමග ඒවා සසඳා බැලිය හැකි බැවින්, ප‍්‍රසිද්ධ කිරීමට අප සැලැසුම් කරමින් සිටින විස්තර ගැන, ඔවුන්ට කීමට ඉඩ ඇති කිසියම් හෝ උත්සුකයක් ගැන සවන් දීම වැදගත්” විය.

සරල ඉංග්‍රීසියෙන් කියතොත්, නිව් යෝක් ටයිම්ස් පලමු පිට ”සුවිශේෂය”, ටයිම්ස් පත‍්‍රයේ ඉහල මධ්‍යම පන්තික පාඨකයන් තුල උතුරු කොරියානු න්‍යෂ්ටික හැකියාව පිලිබඳ බිය පැතිරවීම ද කාරනය පිලිබඳ ජාතික මාධ්‍ය ආවරනයේ හඬ සකස් කිරීම ද අරමුනු කර ගැනුනු, මිලිටරි ඔත්තු සේවා සංවිධානවල මාධ්‍ය නිවේදනයකට වඩා වෙනස් දෙයක් නොවේ. දේශපාලන පරමාර්ථය වන්නේ, මිසිසිපි ප‍්‍රාන්තය තරම් වන, උතුරු කොරියාව යන දුගී රටට එරෙහි පූර්වභංග යුද්ධයකට සහාය දැක්වීමට මහජන මතය හැඩගැස්වීම යි.

විකීලීක්ස් හෙලිදරව් කිරීම්වලට පල වන මාධ්‍ය ප‍්‍රතිචාරයේ ප‍්‍රධාන වැදගත්කම වන්නේ, එය ඇමරිකානු පාලක ප‍්‍රභූවේ සියලුම සංස්ථාපිතයන් තුල ප‍්‍රජාතන්ත්‍රවාදී විඥානයේ සම්පූර්න සෝදාපාලුව ප‍්‍රදර්ශනය කිරීම යි. ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇති තර්ජනය පිලිබඳ ඕනෑ ම බැරෑරුම් ගනන් බැලීමක දී, සීඅයිඒ පලමු තැන තිබෙනු ඇත: කැරීබියන් හා ලතින් ඇමරිකාව පුරා ඝාතන හා ප‍්‍රකෝපකරනවල සීඅයිඒ ම්ලේච්ඡ ක‍්‍රමෝපාය වෙනුවෙන් “ශාපලත් මිනීමරු සංස්ථාපිතය”යයි ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් පවා හැඳින් වූ එය, ඇමරිකාවේ ගෙස්ටපෝව යි.

අර්බුද ග‍්‍රස්ථ හා ඓතිහාසිකව මරනයට නියම වූ පාලක ප‍්‍රභූවේ අවසාන ආරක්ෂක පෙල වන මිලිටිරි ඔත්තුසේවා ඒජන්සි හා ආන්ඩුවට ම වඩා, ඇමරිකානු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට වෙනත් විශාල හතුරෙක් නැත.

පැට්‍රික් මාටින් විසිනි

Share this article: