ඩිමොක්‍රටිකයින්ගේ රුසියානු විරෝධී උන්මාදය යුද්ධයට පදනම සකසයි

Democrats’ anti-Russia hysteria prepares the ground for war

2017 මාර්තු 21

පෙර නොවූ විරූ ආකාරයේ පුලුල් ඇමෙරිකානු ජනතාවක් ට්‍රම්ප් පාලනයට වෛර කරති. ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරයන්ට, සංක්‍රමනිකයන්ට එරෙහි වර්ගවාදී හිංසනයන්ට, සහ සමාජ වැඩසටහන්වලට, පාරිසරික රෙගුලාසිවලට, කලාවට, සංස්කෘතියට හා විද්‍යාවට එරෙහි උමතු ප්‍රහාරයන්ට එරෙහි අර්ථභාරී උද්ඝෝෂන පැන නැඟ තිබේ. ට්‍රම්ප්ගේ පලමු අයවැය නිකුත් කිරීමෙන් පසු සිදු කෙරුනු අලුත්ම ගැලප් මත විමසුමට අනුව, ඔහුට අනුමැතිය පල කරන පිරිසගේ අනුපාතය, අනුමත නොකරන ප්‍රතිශතය සියයට 58ක් ද සහිත ව, සියයට 37 දක්වා කඩා වැටී තිබේ. ඇමෙරිකානු ඉතිහාසය තුල වෙනත් කිසිදු පරිපාලනයක් බලයට පැමින මේ සා ඉක්මනින් මේ සා අපකීර්තියකට පත් ව නැත.

එහෙත් ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප් කෙරෙහි සිය විරෝධය පදනම් කර ඇත්තේ, මිලියන සංඛ්‍යාත වැඩ කරන ජනතාවට තීරනාත්මක වන සමාජ හා දේශපාලන ගැටලු මත නො ව, 2016 ජනාධිපතිවරනය අතරතුර ව්ලැඩිමිර් පූටින් විසින් නියෝග කරන ලදුව ඩිමොක්‍රටික් පක්ෂයේ ඉලක්ක අපහරනය කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ධුරය දිනාගත් ට්‍රම්ප්, රුසියාවේ රූකඩයක්ය යන චෝදනාව මතය.

ට්‍රම්ප්ට එරෙහි ඩිමොක්‍රටික් පක්ෂයේ උද්ඝෝෂනයෙහි ප්‍රචන්ඩ, රුසියානු විරෝධී අක්ෂය, එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමී සහ එන්එස්ඒ (ජාතික ආරක්ෂක ඒජන්සිය)අධ්‍යක්ෂ මයිකල් රොජර්ස් රුසියානු අපහරන හා ඔබාමා පරිපාලනය මැතිවරන උද්ඝෝෂනය අතරතුර දී ට්‍රම්ප් (ටවර්) කාර්යාලයෙහි නීති විරෝධී ඔත්තු බැලීමේ යෙදුනේ යැයි ට්‍රම්ප් කරන ප්‍රතිචෝදනාව පිලිබඳ සිය පලමු ප්‍රසිද්ධ සාක්ෂි දීම් සිදු කල ඔත්තු සේවා පිලිබඳ නියෝජිත මන්ඩල කමිටුවෙහි (House Intelligence Committee) විභාගයක දී පැහැදිලි ව ප්‍රකාශයට පත් විය.

කොමී සහ රොජර්ස්, ට්විටර් ඔස්සේ ට්‍රම්ප් කල චෝදනාවලට අපේක්ෂා කල තරවටුව කලේ, ඔහුගේ ප්‍රකාශය සනාථ කිරීමට තොරතුරු කිසිවක් නැති බව ප්‍රකාශ කරමිනි. එහෙත් පැය පහක විභාගය තුල මෙයට හිමි වූයේ මිනිත්තු කිහිපයක් පමනි. සෑම ඩිමොක්‍රටික නියෝජිතයකු ම ඉදිරිපත් කලේ, ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය වූ කලි ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලතින් බිඳ හෙලා ආන්ඩුව අත්පත් කරගැනීමට රුසියාව දියත් කල කුමන්ත්‍රනයකින් යයි කියැවෙන තේමාවේ අනුවාදයකි.

ඔත්තු සේවා පැනලයෙහි සිටින ඉහල පෙලේ ඩිමොක්‍රටිකයා වන, කැලිෆෝර්නියාවේ ඇඩම් ශිෆ් මේ සඳහා තානය සැපයී ය. ඔහු "සතුරු විදේශ බලවතෙක් අපේ ප්‍රජාතන්ත්‍රය දුර්වල කිරීමෙහි ද එක් අපේක්ෂකයකුට එරෙහි ව තවත් අපේක්ෂකයකු වෙනුවෙන් [මැතිවරනයේ] ප්‍රතිඵලයට බලපෑම් කිරිමෙහි ද යෙදෙමින් මැදිහත් වූ" 2016 මැතිවරනය පිලිබඳ ඩිමොක්‍රටික් පක්ෂයේ "න්‍යාය" විස්තාරනය කලේ ය. වඩාත් වැදගත් කාරනය, "ට්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරය හා සම්බන්ධ පුද්ගලයින් ද ඇතුලු ව, එක්සත් ජනපද පුරවැසියන්ගේ ආධාරය රුසියානුවන්ට ලැබුනි ද යන්න" බව ඔහු ප්‍රකාශ කර සිටියේ ය.

රුසියාව යුක්රේනය ආක්‍රනමනය කිරීම කෙරෙහි යොදන අවධාරනය අඩු කොට, සිය පංගුව නොගෙවීම සම්බන්ධයෙන් නේටෝ රටවල් විවේචනය කිරීමේ ට්‍රම්ප් පරිපාලන පිලිවෙතට හිලවු වසයෙන්, [ශිෆ්ට අනුව]” රුසියානු ආන්ඩුව හිලරි ක්ලින්ටන්ට හානිදායක ලිපිලේඛන සම්පාදනය කරනු ඇතැයි සඳහන් කෙරෙන, හිටපු බ්‍රිතාන්‍යයේ ඔත්තු සේවා ඒජන්තයකු විසින් සම්පාදිත පිටු 25 නින්දිත වාර්තාවෙන් ශිෆ් උපුටා දැක්වී ය. “ජනාධිපති සහ ඇන්ජෙලා මර්කෙල් අතර හමුව පැවති ගිය සතියේ තරම් මෑත පිලිවෙත් පවා දැන් කල් ඉකුත් ව ගොස් තිබේ.”

ඩිමොක්‍රටික් පක්ෂයේ චෝදනා සිහිගන්වන්නේ, ඇමෙරිකානු කොමියුනිස්ට් පක්ෂයේ "කාඩ්පත් සහිත සාමාජිකයින්" 205 දෙනෙකුගේ නම් සිය බ්‍රීෆ්කේසය තුල ඇතැයි කුප්‍රකට සෙනෙට් සභික ජෝ මැකාර්ති ප්‍රකාශ කල සමය යි. මේ රුසියානු විරෝධී උද්ඝෝෂනය කෙතරම් වංචනික ද යන්න අතිශයෝක්තියක් විය නොහැකිය. ඩිමොක්‍රටික් පක්ෂයේ නව මැකාර්තියානුවාදීන් සිය චෝදනාවලට සහාය පිනිස විශ්වසනීය සාක්ෂි අංශුමාත්‍රයකුදු ඉදිරිපත් කොට නැත. මේ එක ද චෝදනාවකට හෝ විචාරාත්මක පරීක්ෂාවට මුහුන දිය නොහැකි ය. එහෙත් 2016 මැතිවරන සමයේ සිදු කෙරුනේ ය යි කියන රුසියානු අපහරනය "යුදමය ක්‍රියාවකි" යි පුනපුනා ප්‍රකාශ කරන කයිවාරුව නම් මුලුමනින් ම ඉහවහා ගොසිනි.

විභාගය අතරතුර එක මොහොතක එෆ්බීඅයි අධ්‍යක්ෂ කොමී, එක්සත් ජනපද ඔත්තු සේවා මීට පෙර සිදු කල ප්‍රකාශයක්, එනම් 2011 මොස්කව්හි පූටින් විරෝධී උද්ඝෝෂන සඳහා වොෂිංටනයෙන් ලැබුනු සහාය පසුපස සිටියේ යැයි පූටින් චෝදනා කල හිලරි ක්ලින්ටන් කෙරෙහි දැවෙන වෛරයෙන් යුතු ව, ඔහු එක්සත් ජනපද මැතිවරනයට මැදිහත් වී යැයි පුනරුච්චාරනය කලේ ය. මේ වගකට නැති හා මුග්ධ කියමනට රුකුල් පිනිස කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කෙරුනේ නැත.

රැස් ව සිටි එක ද කොංග්‍රස් සභිකයකු හෝ එෆ්බීඅයි අධ්‍යක්ෂකගෙන් ඔහු පූටින්ගේ චේතනා පිලිබඳ ඉදිරිපත් කල "අන්තර්දෘෂ්ටීන්" සඳහා සාක්ෂි ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටීමට කරදර වූයේ නැත. පූටින් ඇත්ත වසයෙන් සිතන්නේ කුමක්දැයි කොමී දන්නේ කෙසේ ද? කෙසේ හෝ වේවා, පූටින්, ඇමෙරිකානු මාධ්‍ය ඔහු පිලිබඳ කියන පරිදි, මෙහි ප්‍රධාන මූලෝපායඥයා වන්නේ නම්, මේ රුසියානු මැකියාවෙලි, "දැවෙන වෛරය" හෝ වෙනත් ආත්මීය චිත්තවේග මාලාවක් මත පදනම් වෙමින් දේශපාලන තීන්දු ගැනීමට ඉඩ තිබේ ද?

විභාග මාලාවක පලමුවැන්න ලෙස සඳුදා පැවති කොන්ග්‍රස් විභාගයෙහි සමස්ත අරමුනටම ට්‍රම්ප් සමග ඇත්තේ, රුසියාවට එරෙහි යුද සූදානම වේගවත් හා තීව්‍ර කිරීමට වඩා අඩු සම්බන්ධයකි. මෙය කමිටු සභාපති, රිපබ්ලිකානු නියෝජිත ඩෙවින් නන්ස්ගේ සමාරම්භක අදහස් දැක්වීම තුල පිලිගැනුනි. ඩිමොක්‍රටිකයන් සමග ඔහුට කවර නොඑකඟතාවන් පැවතිය ද විභාගයෙහි "එකප්‍රයෝජනයක්" පැහැදිලි බව ඔහු කියා සිටියේ ය. “ රුසියානු ඒකාධිපතියා විසින් ඉස්මතු කෙරෙන හදිසි තර්ජන කෙරෙහි පුලුල් අවධානය යොමු කොට, රුසියානු යුදකාමී හැසිරීමට එරෙහිව වඩා ශක්තිමත් ලෙස කටයුතු කිරීම සඳහා" එය වේදිකාව සකසයි.

කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ යුද්ධය කරා ඇති හොඳ ම හා වේගවත් ම මාවත පිලිබඳ විවාද කරමින් සිටින අධම හා ප්‍රතිගාමී කඳවුරු දෙකක් අතර ගැටුමකට ය. ඩිමොක්‍රටිකයන්ගේ අවශ්‍යතාව, රුසියාව අංක එකේ ඉලක්කය බවට පත් වීම යි. කෙසේ වතුදු ට්‍රම්ප්, ලෝක අධිකාරය සඳහා කෙරෙන අලුත් අරගලයන්ගේ අභිප්‍රේත ඉලක්ක හැටියට දැකගන්නේ, චීනය හා ජර්මනියයි.

අපරාධකාරී කල්ලි අතර සිදු වන මේ ගැටුම වූ කලි බොරුකාරයින් අතර යුද්ධයකි: ට්‍රම්ප්ගේ බොරුවලට එරෙහි ව ඩිමොක්‍රටිකයන්ගේ බොරු. ට්‍රම්ප් සහ ඩිමොක්‍රටිකයන් යන දෙපාර්ශ්වය ම නියෝජනය කරන්නේ වෝල් වීදියේ බැංකුකරුවන්ගේත්, යෝධ සමාගම්වලත් අවශ්‍යතාවන් වන අතර, ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය ආරක්ෂා කරගැනීම සඳහා දියත් කෙරෙන නව යුද්ධයන්හිදී, මිලියන සංඛ්යාමත වැඩ කරන ජනතාවගේ ජීවිත බිල්ල දීමට ඔවුහු සූදානමින් සිටිති.

වොෂිංටනගේ තුච්ඡ ක්‍රියාවලියෙන් එක් මූලික දේශපාලන පාඩමක් උපුටාගත යුතු ය. ඒ, ට්‍රම්ප්ට එරෙහි කම්කරු පන්තියේ අරගලය වර්ධනය කල යුත්තේ ඩිමොක්‍රටික් පක්ෂය නමින් දන්නා දේශපාලන ගවර වලෙන් ස්වාධීන ව ද එයට එරෙහි ව ද වන බවයි.

කම්කරු පන්තිය සමාජවාදී හා අධිරාජ්‍ය විරෝධී පිලිවෙත් මත පදනම් ව, සංක්‍රමනික කම්කරුවන් ආරක්ෂා කරමින්, අයවැය කප්පාදුවලට එරෙහි වෙමින්, මෙක්සිකෝවට, චීනයට හෝ ඇමෙරිකානු පාලක පන්තියේ එල්ලයට හසු වුනු වෙනත් ඕනෑම රටකට එරෙහි ස්වෝත්තමවාදී තර්ජන හෙලා දකිමින්, ට්‍රම්ප් පරිපාලනයේ අන්ත දක්ෂිනාංශික පිලිවෙත්වලට එරෙහි ව සිය ශක්තිය ඒකරාශී කරගත යුතු ය. එහෙත් ට්‍රම්ප්ට එරෙහි මහජන විරෝධය, තමන්ගේ අධිරාජ්‍යවාදී පිලිවෙත් මගින් දූෂනය කිරීමට මෙහෙයැවීගත් ඩිමොක්‍රටික් පක්ෂය සමග එම සටනට මොන ම සම්බන්ධයක් හෝ තිබිය නොහැකි ය; තිබිය නොයුතු ය. ඩිමොක්‍රටිකයන්ටත් රිපබ්ලිකානුවන්ටත් ප්‍රතිචාර වසයෙන් අපි ශේක්ස්පියර්ගේ මර්කියුෂියෝගේ වදන් උපුටා දක්වමු: “ඔබේ නිවහන් දෙකට ම වසංගතයක් බෝ වී ඇත.”

පැට්‍රික් මාටින්

Share this article: