ජපන් අධිරාජ්‍යවාදය යලි සන්නද්ධ වෙයි

Japanese imperialism rearms

2017 මාර්තු 24

දෙවන ලෝක යුද්ධය අවසානයෙන් පසුව පලමු වතාවට ප‍්‍රහාරක අවි අත්පත්කර ගැනීම, ජපානය යලි සන්නද්ධ කිරීම දෙසට තබන ප‍්‍රධාන පියවරකි.

ජපානයේ පාලක ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (එල්ඩීපී), උතුරු කොරියාව වැනි සතුරකුට එරෙහි ව “පූර්ව-භංග” ප‍්‍රහාර එල්ල කිරීමට සමත් මට්ටමට සිය මිලිටරිය නංවා ගැනීම සඳහා කොරියානු අර්ධද්වීපය තුල පවතින ආතති සහගත තත්වය ගසාකමින් සිටී. යුද අවදානම උත්සන්න කරමින්, දෙවැනි ලෝක යුද්ධයේ අවසානයෙන් පසු පලමු වරට කෲස් මිසයිල වැනි ප‍්‍රහාරක අවි මිල දී ගැනීම, ජපානය යලි සන්නද්ධ කිරීම සඳහා අගමැති ශින්සෝ අබේගේ ආන්ඩුව විසින් ගනු ලබන තවත් ප‍්‍රධාන පියවරක් වනු ඇත.

උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් පිලිබඳ අදහස් දක්වමින් ආරක්ෂක ඇමති ටොමොමි ඉනඩා මාර්තු 9 වැනි දා ඇඟවුම් කලේ, ජපානයට “පූර්ව-භංග” ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව අත් කරගත හැකි බව යි. “මම මොනම ක‍්‍රමවේදයක් වත් බැහැර කරන්නෙ නෑ. අපි සත්තකින් ම ජාත්‍යන්තර නීතියට සහ අපේ රටේ ව්‍යවස්ථාවට අනුකූල විවිධාකාර තේරීම් සලකා බලමින් ඉන්නවා.” ඇය සඳහන් කලා ය.

එල්ඩීපී ආරක්ෂක ප‍්‍රතිපත්ති කවුන්සිලයේ සභාපති හිරෝෂි ඉමාසු වඩා කෙලින් කතා කලේ ය: “අපට ධාරිතාව අත් කර ගැනීමට කාලය හරි. එය සිදු කරන්නේ බැලිස්ටික් මිසයිල මගින් ද කෲස් මිසයිල මගින් ද නැත්නම් එෆ්-35 [ප්‍රහාරක] යානා මගින් ද යන්න මා දන්නේ නෑ. ඒත් නිවාරකයක් නැති වුනොත් උතුරු කොරියාව අපි දුබලයින් හැටියට දකීවි”. ප‍්‍රතිපත්ති කවුන්සිලය, මීලඟ වසර පහ සඳහා වූ ආරක්ෂක සැලැස්මට මෙය අන්තර්ගත කරගැනීමේ දැක්ම ඇතිව වත්මන් පාර්ලිමේන්තු සැසිවාරයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරයි.

ඉනඩාගේ අනතුරු ඇඟවීම, ආක‍්‍රමනකාරී අවි මිල දී ගැනීම, “ජාත්‍යන්තර මතභේද විසඳාගැනීම සඳහා යුද්ධය ... සහ බලහත්කාරය යොදාගැනීමට තර්ජනය කිරීම හෝ යොදාගැනීම” නිෂ්ප‍්‍රභ කරන්නා වූ ද “පාබල, නාවුක හා ගුවන් හමුදා මෙන් ම වෙනත් යුද විභවයන් කිසි විටෙක පවත්වාගෙන යනු නොලැබේ” ය යි නිවේදනය කරන්නා වූ ද ජපානයේ පශ්චාත්-යුද ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය එලිපිට ම උල්ලංඝනය කරනු ඇත. එවැනි පියවරක් දැනට ජපානය සතු මිලිටරි බලකායන් තනිකර ම ආත්මාරක්ෂාව පිනිස පවතින ඒවා ය යන නෛතික වහන්තරාව ද ඉවත දමනු ඇත.

අද දක්වා ජපාන ආන්ඩු බැලිස්ටික් මිසයිල, ගුවන් යානා හාරක හා දිගු දුර බෝම්බ හෙලන යානා ආදී නිසැකව ම ප‍්‍රහාරක ස්වභාවයක් දරන අවි අත්පත් කරගැනීමෙන් වැලකී සිටියේ, බෙහෙවින් ම ජපන් කම්කරුවන් හා තරුනයින් අතර පුලුල් ව පැතිර පවතින යුද විරෝධය හේතුවෙනි. කෙසේ වතුදු 22දා, ජපානය සිය දෙවැනි හෙලිකොප්ටර් හාරක නෞකාව වන කාගා සඳහා ඇනවුම භාර දුනි. මේ නෞකා, දෙවැනි ලෝක යුද්ධයෙන් මෙපිට ජපානය විසින් මෙහෙයුමෙහි යොදන ලද විශාලතම ඒවා වන අතර ප‍්‍රහාරක ගුවන් යානා රැගෙන යාම සඳහා ඒවා වෙනස් කිරීමේ හැකියාව තිබේ.

පශ්චාත් යුද ඉතිහාසයෙහි වඩාත් ම දක්ෂිනාංශික ආන්ඩුව වන අබේ ආන්ඩුව, ජපානය යලි සන්නද්ධ කිරීම හා එහි සන්නද්ධ බලකායන් මත පනවා ඇති නෛතික හා ව්‍යවස්ථාමය සීමාවන් ඉවත් කිරීම සඳහා වන ව්‍යායාමය බෙහෙවින් උත්සන්න කොට ඇත. 2012 දී බලයට පැමිනීමෙන් පසු අබේ, “සක්‍රී ය සාමවාදය” පිලිබඳ උද්‍යෝග පාඨය යොදාගෙන ඇත්තේ, ඉහල නංවන මිලිටරි අයවැය, අග‍්‍රාමාත්‍ය කාර්යාලය තුල යුද සැලසුම්කරනය මධ්‍යගත කිරීම සඳහා එක්සත් ජනපද පන්නයේ ජාතික ආරක්ෂක මන්ඩලයක් ස්ථාපිත කිරීම හා මිලිටරියෙහි මූලෝපායික යොමුව, උතුරේ සිට චීනයට යාබද දකුනුදි දූපත් මාලාව වෙත මාරු කිරීම සාධාරනීකරනය කරනු පිනිස ය.

චීනය “ආක්‍රමනශීලී” හා “ව්‍යාප්තවාදී” යයි හංවඩු ගැසීම සඳහා 2014 ඩාවෝස්හි පැවති ලෝක ආර්ථික සමුලුවේ දී, වර්තමාන චීනය සහ 1914 ජර්මානු අධිරාජ්‍යවාදය අතර ව්‍යාජ සංසන්දනයක් ඉදිරිපත් කල අබේ, බෙයිජිනය කෙරෙහි සිය අභියෝගාත්මක ආස්ථානය අවධාරනය කලේ ය. මතභේදයට තුඩු දී ඇති සෙන්කකු/දියාඔයු දූපත් නිසා චීනය සමග හටගෙන ඇති අන්තරායකර වාතාවරනය, එම දූපත්වල තත්වය පිලිබඳ බෙයිජිනය සමග සාකච්ඡාවන්ට එලඹීමට සිය ආන්ඩුව අදහස් නොකරන බව අවධාරනය කරමින් ඔහු හිතාමතා ම උත්සන්න කලේ ය.

අබේ ආන්ඩුව 2015 දී, “සාමූහික ආත්මාරක්ෂාව” පිලිබඳ රැවටිලිකාරී ධජය යටතේ, එක්සත් ජනපද නායකත්වයෙන් යුත් ආක‍්‍රමනකාරී යුද්ධවලට සහභාගී වීමට ජපානයට ඉඩ සලසන නීති සම්පාදනයට එරෙහි ව දැවැන්ත මහජන උද්ඝෝෂන අවුලුවා ගත්තේය.

ජපානය ශක්තිමත් මිලිටරියක් සහිත “සාමාන්‍ය ජාතියක්” බවට පත් කිරීමේ වැඩසටහනක් සඳහා - වෙනත් වචනවලින් කියතොත් ජපාන අධිරාජ්‍යවාදය සිය මූලෝපායික හා ආර්ථික අවශ්‍යතාවන් මිලිටරි මාර්ග ද ඇතුලු සියලු මාර්ග වලට සම්බන්ධ කිරීම පිනිස අබේ උද්ඝෝෂනයේ යෙදී තිබේ. 9වැනි වගන්තිය වෙනස් කිරීම හෝ ඉවත්කිරීම ඇතුලුව ව්‍යවස්ථාවේ සම්පූර්න සංශෝධනයක් සඳහා එල්ඩීපීය උද්ඝෝෂනය කරයි. දීර්ග කාලයක් තිස්සේ දක්ෂිනාංශික මිලිටරි කවයන් තුල එම ලේඛනයට සලකා ඇත්තේ, ජපානය බෙලහීන තත්වයට පත් කිරීමට එක්සත් ජනපදය විසින් කෙටුම්පත් කරන ලද “වාඩිලාගත්තවුන්ගේ ව්‍යවස්ථාවක්” ලෙස ය.

නව ව්‍යවස්ථාවක් සඳහා උද්ඝෝෂනය කරන, මිලිටරිවාදය හා ජාත්‍යාලය ප‍්‍රචාරය කරන හා 1930 හා 1940 ගනන්වල ජපාන මිලිටරිවාදයේ අපරාධවලට සුදුහුනු ගෑමට උත්සාහ කරන, නිපොන් කායිගි වැනි අන්ත දක්ෂිනාංශික කන්ඩායම් සමග අබේට හා ඔහුගේ කැබිනට් මන්ඩලයට ඉතා බලවත් සම්බන්ධකම් ඇත. නිපොන් කායිගි පාර්ලිමේන්තු කන්ඩායමට පහල හා ඉහල මන්ත්‍රී මන්ඩලවල පාර්ලිමේන්තු සභිකයන් 717න් 280ක් අයත් ය. අබේ එම සංවිධානයේ විශේෂ උපදේශකයෙකු වන අතර 20දෙනෙකුගෙන් යුත් ඔහුගේ කැබිනට් මන්ඩලයේ 16දෙනෙක් එහි සාමාජිකයින් වීම කැපී පෙනෙයි. ඔහු වෙනුවෙන් වැඩ බලමින් ඔහුගේ බිරිඳ, පෙර පාසැල් ලමුන්ට ජපාන ජාත්‍යාලය උගන්වන ඔසාකා නගරයේ පුද්ගලික බාලාංශ පාසලක අන්ත දක්ෂිනාංශික ක්‍රියාකරුවෙකුට මුදල් ආධාර දීම සම්බන්ධ චෝදනා ලත් සෝලියක දැන් ඔහු පැටලී ඇත.

යලි මිලිටරීකරන ව්‍යායාමය, ජපාන හා ලෝක ධනවාදයේ නරකිනුත් නරකට හැරෙන අර්බුදය හා චීනයට පසු පසින් එය ලෝකයේ තුන්වැනි විශාල ආර්ථිකය ලෙසට පහත වැටීමෙන් සලකුනු කෙරෙන, රටේ ඓතිහාසික පරිහානිය ගැන ජපාන පාලක කවයන් තුල පවතින ගැඹරු උත්සුකයන් විසින් අවුලුවමින් තිබේ. මිලිටරිය ශක්තිමත් කරනවා මෙන් ම, පශ්චාද් යුද කිසිම අගමැතිවරයෙතුට වඩා ක්‍රියාකාරී රාජ්‍යතාන්ත්‍රික උත්සාහය හරහා, විශේෂයෙන් ම ආසියාව තුල මිලිටරි බැඳීම් ඇතුලුව ජපාන බලපෑම් ව්‍යාප්ත කිරීමට, අබේ උත්සාහ කර ඇත.

එක්සත් ජනපද ජපාන මිලිටරි සන්ධානයේ රැකවරනය යටතේ මෙන් ම වොෂින්ටනයේ ක්‍රියාකාරී සහාය ඇති ව අබේ ආන්ඩුව යලි මිලිටරීකරනය කිරීමේ නිමග්න වී ඇත. යම් තාක් දුරකට මෙය, ආසියාව තුල ජපානයේ යුද කාලීන විනාසයන් පිලිබඳ මතකයන් ඇවිස්සීම හා ජපාන අධිරාජ්‍යවාදයට එරෙහිව කලාපය තුල විරුද්ධත්වය ජනනය කිරීම වැලක්වීමට දරන උත්සාහයකි. ට්‍රම්ප් පාලනාධිකාරය සමග දිගට ම කිට්ටුවෙන් වැඩ කිරීමට ද අබේ උත්සාහ කර ඇත. මැතිවරනයෙන් පසුව ද ඔහු වැඩ බාර ගත්තාට පසුව ද පලමුව ට‍්‍රම්ප් බැහැ දුටු ලෝක නායකයින්ගෙන් ඔහු ද එක් අයෙකි.

කෙසේ නමුත් ට‍්‍රම්ප් බලයට පත්වීම, ආසියාව ද ඇතුලු ලෝක දේශපාලනය ප‍්‍රගාඪ ලෙස අස්ථාවර කර ඇත. ඔහු අන්තර්-පැසිෆික් හවුල්කාරිත්වය ප‍්‍රතික්ෂේප කිරිම, අබේගේ ආන්ඩුවට දැඩි පහරක් වී ඇත. එය අනුමත කර ගැනීම සහතික කරනුවස්, එල්ඩීපීය තුල විරුද්ධත්වය ජය ගැනීමට ආන්ඩුව සැලකිය යුතු දේශපාලනික ප‍්‍රාග්ධනයක් වැය කර තිබුනි. එක්සත් ජනපදය සමග එක්ව ආසියාව තුල ප‍්‍රමුඛ තැනක් තහවුරු කර ගනිමින් හා ජපාන ආර්ථිකයේ දිග්ගැස්සුනු පල්වීම ජය ගනිමින්, චීන ආර්ථික නැගීමට ප‍්‍රතිප‍්‍රහාර දීමේ දී ආර්ථික සාධකය තීරනාත්මක බව අබේ සැලකී ය.

තව ද ට‍්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” පිලිබඳ කයිවාරුව හා වෙලඳ යුද්ධ තර්ජනය, හුදෙක් චීනයට එරෙහිව එල්ල කර ඇතිවා පමනක් නොවේ. එක්සත් ජනපදය සමග එහි වෙලඳ අතිරික්තය හා “අසාධාරන” වෙලඳ ප‍්‍රතිපත්ති වෙනුවෙන් ජපානය හෙලා දැකීමේ දීර්ග ඉතිහාසයක් ඔහුට ඇත. එක්සත් ජනපද ජනාධිපතිවරන උද්ඝෝෂනය අතරතුර ට‍්‍රම්ප්, එක්සත් ජනපද-ජපන් ආරක්ෂක ගිවිසුම ප‍්‍රශ්නයට බඳුන් කලේ, රට තුල මිලිටරි කඳවුරුවල වියදම් සඳහා ජපානය වැඩිපුර වැය නො කරන්නේ නම් සම්බන්ධකම් කඩා දැමීමට තර්ජනය කරමිනි. තමන්ගේ ම න්‍යෂ්ටික අවි නිපදවමින් ජපානය තමන් විසින් ම ආරක්ෂා විය යුතු යයි පවා ඔහු කියා සිටියේය.

යුරෝපයේ දී මෙන්ම 20වැනි සියවසේ විනාසකාරී යුද්ධ දෙකට මග පෑදූ සියලු භූ-දේශපාලනික විභේද රේඛා යලිත් වරක් මතුවෙමින් තිබේ. හැකි ඉක්මනින් ජපානය යලි සන්නද්ධ කිරීමට වන අබේ ආන්ඩුවේ අධිෂ්ඨානය, උතුරු කොරියාව විසින් එල්ල කරන “තර්ජනය” පිටුදැකීමට නොව යුද්ධයේ අනතුරු වැඩි කරමින්, සෑම ආකාරයකින් ම ජපාන අධිරාජ්‍යවාදයේ උත්සුකයන් ආරක්ෂා කිරීම සඳහා ය. 1940 ගනන්වල දී මෙන් ම වෙලඳපොල, අමුද්‍රව්‍ය හා ලාභ ශ‍්‍රමය සඳහා වන තියුනු තරඟකාරිත්වය එක්සත් ජනපදය හා ජපානය අතර වෙලඳ ගැටුමක් මෙන් ම ආසියාවේ ආධිපත්‍ය ගැනීමේ තරඟයක් ද අවුලවනු ඇති අතර, එය අනිවාර්යයෙන් ම කලාපය හා ලෝකය ම ගිල ගනු ඇති විනාසකාරී යුද්ධයක් තුලට ඇද වැටෙනු ඇත.

පීටර් සිමන්ඩ්ස්

Share this article: