ට‍්‍රම්ප් ආන්ඩුව ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය ආවරනය කිරීමට සහාය දෙයි

වසන්ත රූපසිංහ, 2017 මාර්තු 30

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (එජාමාහික) තිස් හතර වන වන සැසිවාරයේදී චන්ද විමසීමකින් තොරවම සම්මත කෙරුනු ලංකාවේ යුද අපරාධවලට සුදුහුනු ගාන යෝජනාව තමන් ලැබූ මහා “රාජ්‍ය තාන්ත්‍රික ජයග‍්‍රහනයක්” යයි කොලඹ ආන්ඩුව පාරම්බායි. සත්‍යය නම්, අධිරාජ්‍යවාදී බලයන්ගේ, විශේෂයෙන්ම ඇමරිකාවේ භූ දේශපාලන අවශ්‍යතාවන්ට සේවය කිරීමට ලංකාවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව ක්‍රියා කරන නිසා ඊට ලබාදෙන දේශපාලන උදව්වක් ලෙස මෙම යෝජනාව සම්මත කෙරුනු බවයි.

මෙවර ද ලංකාව සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කිරීමට මූලිකත්වය ගෙන එය සම්මත කර ගැනීම සඳහා අනෙකුත් රටවල් ගොනු කර ගැනීමට ප‍්‍රධාන ක්‍රියා කලාපයක් ඉටු කලේ ඇමරිකාවයි. අලුතින් බලයට පැමින සිටින ජනාධිපති ඩොනඩ් ට‍්‍රම්ප්ගේ අන්ත ප‍්‍රතිගාමී ආන්ඩුව මෙලෙස මූලිකත්වය ගැනීම අතිශයින් ම අර්තභාරීය. චීනය තම අනසකට යටත් කර ගැනීමට ඇමරිකාව ගෙන යන යුද සුදානම තුල, පසු ගිය ඔබාමා පාලනය යටතේ ගනු ලැබූ පියවර අප‍්‍රමානවත් යයි විවේචනය කරන ට‍්‍රම්ප් වඩාත් ආක‍්‍රමනශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ඇඟවුම් කර තිබේ. එහෙයින්, ඉන්දියානු සාගරයේ මූලෝපායිකව වැදගත් ස්ථානයක පිහිටා ඇති ලංකාව සිය යුද සැලසුමේ අත්‍යවශ්‍ය පුරුකක් ලෙස තහවුරු කර ගැනීමට ට‍්‍රම්ප් පරිපාලනය උනන්දුවී සිටී.

“ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය” හිසින් එජාමාහික රැස්වීමේ දී මාර්තු 23 දා ගෙන ආ මෙම යෝජනාව, 2015 ඔක්තෝබර් මාසයේ ලංකාව සම්බන්ධයෙන් සම්මත කෙරුනු යෝජනාව ක්‍රියාත්මක කරමින් එහි “ප‍්‍රගතිය” පෙන්වීම සඳහා කොලඹ ආන්ඩුවේ ඉල්ලීම පරිදි වසර දෙකක කාලයක් ලබා දීම අනුමත කලේය. 2015 යෝජනාවෙන් නිර්දේශ කර තිබුනේ යුද්ධයේ අවසන් මාසවල සිදුවුනු මානව හිමිකම් කඩ කිරීම් ගැන විභාග කිරීමේ අධිකරනමය යාන්ත‍්‍රනයක් සකස් කරන ලෙසයි. එහිදී ජාත්‍යන්තර විනිශ්චය කරුවන්ගේ සහාය ලබා ගැනීම ද රෙකමදාරු කර තිබුනි. “ශ්‍රී ලංකා ආන්ඩුවේ එකඟතාව හා උපදෙස් පරිදි, ශ්‍රී ලංකාව තුල මානව හිමිකම් හා සත්‍යය, යුක්තිය, සංහිදියාව හා වගවීම ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම සඳහා උපදෙස් හා තාක්ෂනික සහාය දීම ශක්තිමත් කිරීමට එජාමාහිකො හා අදාල පාර්ශවකරුවන් ඉල්ලා සිටී” යැයි මෙවර සම්මත කෙරුනු යෝජනාව සඳහන් කරයි. මේ සරුව පිත්තල වචන රොත්ත ඇස්බන්දුමකි.

වොෂින්ටනය විසින් ඉදිරිපත් කෙරුනු යෝජනාවට බ්‍රිතාන්‍යය, මැසිඩෝනියාව හා මොන්ටිනීග්‍රෝව ප‍්‍රධාන සහායක කන්ඩායමක් ලෙස හවුල් විය. ලංකාව ඇතුලු තවත් රටවල් 37 යෝජනාවට සම සහාය දුන්නේය. චන්ද විමසීමක් තොරව ම අවසානයේ එය සම්මත කෙරුනි.

යෝජනාව සම්මත වීමෙන් අනතුරුව එක්සත් ජනපදය වෙනුවෙන් කතා කරමින් එරට එජාමාහික නියෝජිත මඩුල්ලේ ප‍්‍රධානියා වූ විලියම් ජේ. මොස්ඩ්ජියර්ස් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් විය: “ශ්‍රී ලංකාවේ සමස්ත මහජනයා වෙනුවෙන් සාමය, යුක්තිය හා සංහිදියාව ඇති කිරීමට අපගේ අනවරත බලගතු කැපවීම මෙම යෝජනාවෙන් පිලිබිඹු වෙයි. මූලික නිදහස හා මානව අයිතිවාසිකම් රැකීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති වැදගත් පියවර ද මෙම ආරක්ෂාවන් තහවුරු කිරීම සහතික කිරීම සඳහා අනෙකුත් පියවරයන් මුලුමනින්ම ක්‍රියාවට දැමීමේ අවශ්‍යතාව ද යන කාරනා දෙකම මෙම යෝජනාවෙන් පිලිගනියි.”

එක්සත් ජනපදයේ සමස්ත ප‍්‍රකාශයම වංචාවකාරි ය. මෑත සියවස් කාර්තුව ගත්ත ද ඉරාකයෙන් පටන් ගෙන ඇෆ්ඝනිස්තානය, ලිබියාව, පකිස්තානය, සිරියාව හා යේමනය ආදී රටවල යුද අපරාධ සම්බන්ධයෙන් ඇමරිකාවට ඇත්තේ ලේවැකි වාර්තාවකි. එය සමග යෝජනාවට හවුල්වූ අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල වාර්තාවද එවැනිය. අධිරාජ්‍යවාදී බලයන් සමග පෙල ගැසුනු සියලුම ආන්ඩු ජාත්‍යන්තරව හා තමන්ගේ රටවල ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තුට්ටුවකට මායිම් නො කරන බව පෙන්නුම් කර ඇත.

ඇමරිකාව ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ ප‍්‍රශ්න මතු කරන්නට පටන් ගත්තේ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය අවසන් වීමත් සමගය. ඒ, ලංකාවේ මහ ජනතාවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිලිබඳ කැක්කුමකින් නොවේ. කොලඹ ආන්ඩුවේ යුද්ධයට වොෂින්ටනය දේශපාලනිකව හා මිලිටරිමය වශයෙන් සහයෝගය දුන්නේය. ඇමරිකාවට අවශ්‍යව තිබුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව බෙයිජිනය සමග ඇති කර ගෙන තිබු සමීප සම්බන්ධකම් බිඳ ලංකාව තම මූලෝපායික කක්ෂය තුලට ගැනීමයි.

මානව හිමිකම් කවුන්සිලයට ලංකාවේ උල්ලංඝනයන් පිලිබඳව යෝජනා ඉදිරිපත් කරමින් රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමූ වොෂින්ටනය අවසානයේ රාජපක්ෂ ඉවත්කොට සිරිසේන ජනාධිපති කමට පත් කෙරුනු පාලන තන්ත‍්‍ර මාරු මෙහයුමක් උසි ගැන්වූයේය. සිරිසේන බලයට පැමින ඇමරිකාවට පක්ෂපාතී වන පරිදි විදේශ ප‍්‍රතිපත්ති වෙනස් කල පසුව, එජාමාහිකො තුල යුද අපරාධ පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා කලින් ඉදිරිපත් කල ඉල්ලීම කුනු කුඩයට දැමූ වොෂින්ටනය මානව හිමිකම් උල්ලංඝනය විභාග කිරීම සඳහා ලංකාවට “දේශීය යාන්ත‍්‍රනයක්” ඇතිකිරීමට අනුමැතිය දෙන යෝජනාවක් 2015 සම්මත කර දීමට මූලිකත්වය ගත්තේය. 2015 යෝජනාව හා එය ක්‍රියාවට දැමීමට කල්දීමේ මෙවර යෝජනාව රටේ පාලක පන්තියට තමන් සිදුකල බිහිසුනු යුද අපරාධ පහසුවෙන් වසන් කිරීමට ලබා දුන් බල පත‍්‍රයක් වැනිය.

ලංකාවේ ආන්ඩුව මානව හිමිකම්, සංහිඳියාව හා වගවීම ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධන කිරීමෙහි නිරතව සිටින්නේ යැයි කීම අමු බොරුවකි. යුද්ධයේ අවසන් මාසවලදී පමනක් මිලිටරිය විසින් දසදහස් ගනනක් අහිංසක දෙමල වැසියන් ඝාතනය කර තිබෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේම සවිස්තරාත්මක වාර්තා ගනනාවක් ඇත. යුද්ධයෙන් පසු රාජපක්ෂ පාලනය මෙන්ම සිරිසේන ආන්ඩුව ද උතුරු-නැගෙනහිර පලාත් මිලිටරි වාඩිලා ගැනීම දිගටම පවත්වාගෙන යමින් දෙමල ජනයා මර්දනකාරී පාලනයක් තුල කොටු කර තබා ඇත. යුද්ධයෙන් දේපල විනාශවූ පවුල් දස දහස් ගනනක් තවමත් සිටින්නේ අටවා ගත් මඩු බඳු නිවාසවල මූලික පහසුකම් නැතිව ය. වාර්ගික වෙනස්කම් සංස්ථා ගත කල නීතිරීති පාලනය එලෙසම ය.

ලංකාවේ නියෝජිත කන්ඩායම සමග ජිනීවා ගිය නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ ද සිල්වා “ජාත්‍යන්තර ප‍්‍රජාවට” ස්තුති කරමින් “මානව හිමිකම් ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමට, දඬුවම් නොලබා වැරැදි කිරීමට හැකි ක‍්‍රමය නිම කිරීමට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට සහ යහපාලනය, සාමය හා ස්ථාවරත්වය ඇති කිරීමට සිරිසේන බලයට එනවිට පොරොන්දු වූ බවද දැන් ඒවා ඉටුකරමින් සිටින බව ද කීවේය.

මේවා තවත් වංචනික ප‍්‍රකාශයන්ය. යුද අපරාද වලට හවුල්වූ දේශපාලන නායකයන් ආන්ඩුවේ ද විපක්ෂයේ ද මුදුන් වල ද ලැග ගෙන සිටින අතර මිලිටරි නායකයන් ද යහතිනි. ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ ප‍්‍රසිද්ධ රැස්වීම්වලදී පුන පුනා කියන්නේ ලංකාවේ යුද අපරාධ කිසිසේත්ම සිදුවී නැති බවයි. බදාදා කුරුනෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ රැස්වීමක් ඇමතු සිරිසේන තමා කිසි දිනෙක “එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් පරාජය කිරීමට” ක්‍රියා කල “රනවිරුවන් විත්ති කරුවන්” කිරීමට ඉඩ දෙන්නේ නැති බව ප‍්‍රකාශ කලේය. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් අනුව යමින්, ජාත්‍යන්තර යුද අපරාධ පිලිබඳ නීතිය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ද පාගා දැමීමට ලංකාවේ පාලක පන්තියේ අනෙකුත් කොටස් මෙන්ම සිරිසේන ආන්ඩුව ද එක පයින් සුදානම් ය.

දෙමල ජාතික සන්ධානය (දෙජාස) නිකුත් කල ප‍්‍රකාශයකින් ජිනීවාහි දී සම්මත කෙරුනු අලුත් යෝජනාව ද ආන්ඩුවට තමන්ගේ පොරොන්දු ඉටු කිරීමට “නිශ්චිත කාල වකවානුවක්” දීම ද “සාදරයෙන් පිලිිගන්නා බව” ද ප‍්‍රකාශ කර ඇත. දෙමල ධනපති පන්තියේ මේ නායකයෝ යෝජනාවේ ඇත්තේ හිස් පොරොන්දු බවත් යුද අපරාධ යට ගැසෙන බව හා මිලිටරි පාලනය දිගටම යන බවත් හොඳින්ම දනිති. ඔවුන් වඩාත්ම සතුටට පත්ව ඇත්තේ ලංකාවේ ආන්ඩුව “ජාත්‍යන්තර ප‍්‍රජාව” නොහොත් ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් සමග දිගටම ක්‍රියා කිරීම ගැනයි. ඔවුන් උනන්දු වී සිටින්නේ වොෂින්ටනයේ භූ දේශපාලන උවමනාවන්ට සේවය කරමින් හා කොලඹ ආන්ඩුවට ආරක්ෂාවට සලසමින් දෙමල ධනපති පන්තියේ වරප‍්‍රසාද ලබා ගැනීමට මාර්ගයක් සලසා ගැනීම පිලිබඳවයි.

හිටපු ජනාධිපති රාජපක්ෂ හා ඔහු වටා රැලිවී සිටින වර්ගවාදී නඩ ජිනීවා යෝජනාවෙන් විදේශ විනිශ්චයකරුවන් කැඳවීමට ආන්ඩුව පොරොන්දු වී ඇතැයි ද “රන විරුවන්” පාවා දීමට සුදානම් වන්නේ යයි ද වර්ගවාදී විසකුරු පච ප්‍රචාරයක් ගෙන යති. ඔවුන් එසේ කරන්නේ යුද අපරාධ චෝදනා වල දැමීමට කොන්දේසි සකස් කර දී ඇති බව දැන දැනමය. රාජපක්ෂගේ දුෂ්ට ව්‍යාපාරය එල්ල වී ඇත්තේ ආන්ඩුවට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් හා දුගීන් වර්ගවාදයෙන් පීලි පන්වා බලයට ඒමයි.

මෙම දුමාරයන් කපා ගෙන එජාමාහික යෝජනාවෙන් ප‍්‍රකාශයට පත් වන බරපතල දේශපාලන වර්ධනයන් දෙකක් ගැන කම්කරුවන්, තරුනයන් හා දුගීන් අවධානය යොමු කල යුතුය.

ලංකාවේ යුද අපරාධ සිදුවී නැතැයි ද “රන විරුවන්” දිවි හිමියෙන් රකින්නේ යයි ද ප‍්‍රකාශ දෙමින් සිරිසේන හා වික‍්‍රමසිංහ මිලිටරිය හා වර්ගවාදීන් පිනවා තබාගැනීමට ප‍්‍රයත්න දරන්නේ තම අයිතීන් සඳහා අරගලයට ඇදෙන කම්කරුවන්ට, දුගීනට හා තරුනයන්ට එරෙහි ව ආන්ඩුවේ අත් ශක්තිමත් කර ගැනීම සඳහාය. ආර්ථික හා දේශපාලන අර්බුදයකින් වෙලී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා ජීවන අයිතීන් තලා දමා ලංකාවේ ධනපතියන්ගේ හා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ උවමනාකම් ඉටු කිරීමේ පියවර වේගවත් කරමින් සිටී.

දෙවන හා අති බැරෑරුම් කරුන නම්, ඇමරිකාව චීනයට එරෙහිව වර්ධනය කරන යුද සැලසුම් ජාලයට ලංකාව ගැට ගැසීමේ වැඩ කටයුතු කොලඹ ආන්ඩුව විසින් වේගවත් කර ඇති බවයි. ජිනීවාහි දී ලංකාවට පක්ෂපාතී වන යෝජනාවක් සම්මත කර ප‍්‍රසංශා වරුසාවක් වස්සවා ඇත්තේ නිකම් නොවේ.

ලංකාවේ වරායවලට ඇමරිකානු යුද නැව් පැමිනීම, මිලිටරියට යුද පුහුනුව ලබා දීම හා එය සමග සමීප සබඳතා ගොඩනැගීමේ වැඩ කටයුතු සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. මෙම වර්ධනයන් සිදුවන්නේ චීනයට එරෙහිව ඇමරිකානු යුද සැලසුම්වල පෙරමුනු රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට ඉන්දියාව පෙරට පැමින සිටින තතු තුලය. වැඩ කරන ජනතාවට හොරා සිරිසේන ආන්ඩුව යෙදී ඉන්නේ තුන් වන ලෝක යුද්ධයක තර්ජනය මතු කරමින් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ගෙනයන මිලිටරි ධාවනයේ ගිනි සුලිය තුලට ලංකාව ඇද දැමීමයි.

Share this article: