සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා සරසවි සිසුහු විරෝධතාවයේ යෙදෙති

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2017 මාර්තු 13

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), ඊට අනුබද්ධ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවා ඇති “සයිටම් විරෝධී සිසු-ජන ව්‍යාපාරය” මගින් පසුගිය බදාදා කොලඹ දී විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර ඊට පන්දහසකට අධික සරසවි සිසුන් ද දෙමාපියන් සිය ගනනක් ද සම්බන්ධ වී සිටියහ.

විරෝධතාවය, දෙහිවල, නුගේගොඩ විජේරාම, කැලනිය හා වත්තල යන ස්ථාන යන්හි සිට කොලඹ කොටුව දුම්රිය පොල දක්වා පැමිනි පාගමන්වලින් පසු දුම්රියපල ඉදිරිපිට රැස්වීමකින් අවසන් විය. මෙය සංවිධානය කල අවස්ථාවාදී සංවිධානවල දේශපාලන බංකොලොත්කම තිබියදීම පලල් ශිෂ්‍ය සහභාගීත්වය මගින් පෙන්නුම් කලේ ආන්ඩුවේ නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහිව පවත්නා පුලුල් මහජන විරුද්ධත්වයි.

සිසු-ජන ව්‍යාපාරයට, තම පාලන කාලය තුල සයිටම් වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමට පූර්න පිටුබලය ලබා දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය, වත්මන් ආන්ඩුව සහ මීට පෙර පැවති ආන්ඩු බලයට ගෙන ඒමට මුක්කුව දුන්, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ව්‍යාජ-වාම පක්ෂ හා වෘත්තීය සමිති නායකයන් ඒකාබද්ධ කොට ගැනීම මගින් පෙන්නුම් කරන්නේ, විරෝධතාවයේ එල්ලය වනුයේ අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහිව සටන් කිරීම නොව සිසුන්ගේ හා මහජනයාගේ අව්‍යාජ විරෝධය ගසා කමින් තවත් ධනපති සන්ධානයකට පදනම දැමීම බවයි.

“අධ්‍යාපන අයිතිය රැක ගැනීමට සමාජවාදී වැඩපිලිවෙල සඳහා සටන් වදිනු!” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල වූ ඉදිරිදර්ශන ලිපියේ පිටපත් විරෝධතාවයේ යෙදුනුු සිසුන් අතර බෙදා හරිමින් සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ සාමාජිකයන් උද්ඝෝෂනයේ නියැලුනි.

අධ්‍යාපන අයිතිය රැක ගැනීමට ඇති දැඩි අවශ්‍යතාවය මෙන්ම අවිශිබමය විසින් ඇති කරනු ලැබූ ව්‍යාකූලත්වයන් ද සසජාතශි සාමාජිකයන් සිසුන් සමග කල සාකච්ඡාවන්හි දී පිලිබිඹු විය.

ආන්ඩුවට එරෙහි ලොකු පීඩනයක් එල්ල කිරීම මගින් නිදහස් අධ්‍යාපන කප්පාදුව හා අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ පිලිවෙත් ආපස්සට හැරවිය හැකි ය යනුවෙන් අවිශිබම සහ එයට දේශපාලන නායකත්වය දෙන ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වපුරන මිථ්‍යාවේ බලපෑම් සිසුන් අතරින් ප‍්‍රකාශයට පත්විය.

“සයිටම් අහෝසි කිරීමේ අරගලයට කවර හෝ පක්ෂයක් සමිතියක් සම්බන්ධ වෙනවා නම් ඒක නවත්වන්න බෑ නේ දැ”යි කරාපිටිය වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙක් ප‍්‍රශ්න කලේය.

ධනවාදයේ ලෝක ඓතිහාසික අර්බූදය හේතුවෙන්, එක් පසෙකින් තරුන විරැකියාව, පාසල් මට්ටමේ සිට විශ්ව විද්‍යාල දක්වා අධ්‍යාපන කප්පාදුව සහ කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් සීඝ‍්‍රයෙන් වර්ධනය වන බවත් අනෙක් පසින් අධිරාජ්‍යවාදීන් අතර ප‍්‍රතිමල්ලවතා වර්ධනයවී තුන්වන ලෝක යුද්ධයක් දෙසට වේගයෙන් ඇදී යමින් සිටින බවත් සසජාතශි සාමාජිකයෝ සිසුන්ට පැහැදිලි කලහ.

අධ්‍යාපනය පුද්ගලීකරනය ධනේශ්වර අර්බුදයේම ප‍්‍රතිඵලයක් බවත් එයට එරෙහි සටන ධනවාදයට එරෙහි දේශපාලන සටනක් බවත් සසජාතශි පෙන්වා දුනි. එවන් සටනක් ධනේශ්වර පක්ෂ සහ ධනේශ්වර ක‍්‍රමයේ ආරක්ෂකයන් වන ව්‍යාජ-වාම පක්ෂ සමග එක්ව ගොඩනගන සන්ධාන හරහා ගෙන යා නොහැකි බවත් එවැනි සන්ධානයන් හි මූලික අරමුන ධනවාදයට එරෙහි ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනයවීම වැලැක්වීම බවත් සසජාතශි සාමාජිකයෝ තවදුරටත් පැහැදිලි කලහ.

රැලියේ කථිකයන්ගේ කතාවල අන්තර්ගතයෙන්මත් සසජාතශි කල පැහැදිලි කිරීම් යලි සනාථ විය.

රැලියේ සිටි කථිකයන් අතර, අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් වැදි සිසුන්ට එරෙහිව දැඩි මර්දනයක් දියත් කල සහ කම්කරු අරගල වලදී කම්කරුවන් දුසිම් භාගයක් පමන ඝාතනය කල මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ඇමතියෙකුව සිටි වාසුදේව නානායක්කාර සිටීම හා ඔහුගේ වංචනික කතාවට අනෙක් කථිකයින්ගේ එකඟතාවයම පමනක් වුව මෙම පෙරමුනේ අවස්ථාවාදී ස්වභාවය පැහැදිලි කර ගැනීමට සෑහේ.

සිසුන් ඇමතූ නානායක්කාර ලංකාවේ නිදහස් අධ්‍යාපන අයිතිය දිනා ගැනීමේ දී කම්කරු පන්තිය මෙහෙය වූ ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය 1940 ගනන්වල ගෙනගිය අරගලයේ වාර්තාව යට ගසමින් “ශිෂ්‍යයන්ගේ ලේවලින් නිදහස් අධ්‍යාපන අයිතිය ලියැවිලා තියෙනවා” යයි ප‍්‍රකාශ කලේ ය.

“අපි ඒකාබද්ධ විපක්ෂය විදිහට නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය ආරක්ෂා කිරීමටත් සයිටම් අහෝසි කිරීමටත් සියලුම බලවේග සමග එකතු වී මේ ව්‍යාපාරයට ශක්තිය ලබා දීමටත් සූදානම්. එමගින් ආන්ඩුව ඇනහිටවලා, ආන්ඩුව කම්මුතු කරන්න හැකි වන ඉදිරි දවස අපිට ලැබේවා” යයි නානායක්කාර බෙරිහන් දුන්නේ ය. ඔවුන්ගේ අරමුන, ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය ගසා කමින් යලි බලයට පැමිනීම යි.

ධනපති කර්මාන්තවල, ආයෝජන සුරක්ෂිතභාවය හා කාර්මික සාමය පවත්වා ගැනීම වෙනුවෙන් කම්කරු සටන් පාවා දීම සම්බන්ධව දීර්ඝ වාර්තාවක් ඇති වෘත්තීය සමිති නායකයෙකු වන ජවිපෙ වෙනුවෙන් කතා කල ලාල් කාන්ත “ආන්ඩුවට මේ විරෝධතා මදිනම් අපි රටේම වැඩකරන ජනතාවගේ අඛන්ඩ වර්ජනයකට ගමන් කරනවා” යයි පැවසීය. පසුගිය දා හම්බන්තොට වරාය කම්කරුවන් තම රැකියා සුරක්ෂිත කර ගැනීම සඳහා අරගලයේ යෙදී සිටියදී ඔවුන් හමුවට ගිය ලාල් කාන්ත මෙවැනිම පූච්චානම් දෙඩු නමුදු, ආන්ඩුව නාවික හමුදාව යොදා කම්කරුවන්ට රුදුරු ප‍්‍රහාරයක් එල්ල කල අවස්ථාවේ තමා යටතේ පවත්නා වෘත්තීය සමිතිවල සාමාජිකයන් මෙහෙයවා ගනිමින් එයට එරෙහිව කම්කරු පන්තියේ කවර හෝ ඒකාබද්ධ අරගලයක් සංවිධානය නොකිරීමට වගබලා ගත්තේය.

ලාල් කාන්ත මෙන්ම, රැලියේ දී සිසුන් ඇමතූ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ හා අනෙකුත් ක්ෂේත‍්‍රයන් හි සමිති නායකයන්ගේ සැබෑ වාර්තාව වන්නේ, විවිධ අංශවල පැන නැගි කම්කරු පන්තික අරගල හුදකලා කොට පන්ති අරගලයේ සටන් සම්ප‍්‍රදායන්ට හතුරු සත්‍යග‍්‍රහ වැනි ක‍්‍රමවේදයන්ට කම්කරුවන් යටත් කිරීමටත් ශ්‍රේනිවාදී ඉල්ලීම් මත කම්කරු පන්තියේ භේදයන් ඇවිලවීමත් ය.

වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට සම්බන්ධ වූ ව්‍යාජ-වාම පක්ෂයන් වන එක්සත් සමාජවාදී පක්ෂයේ ශ්‍රීනාත් පෙරේරා, වමේ හඬ සංවිධානයෙන් ලීනස් ජයතිලක හා අක්ෂය සාමූහිකය වෙනුවෙන් අවිශිබමයේ හිටපු කැඳවුම්කරු නජිත් ඉන්දික නිකුත් කල ඒකාබද්ධ මාධ්‍ය ප‍්‍රකාශයක් පෙලපාලියේ දී බෙදා හැරින.

ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ අවිශිබමයේ බංකොලොත් විරෝධතා දේශපාලනය අනුයන එම ප‍්‍රකාශය සයිටම් හි අධ්‍යාපනය ලබන සිසුන්ට වන්දි ලබා දී සයිටම් වසා දමා රජයට පවරා ගැනීම, විභාග සමත් සියලු සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබා දීම යන අවිශිබමයේ මූලික ඉල්ලීම් වහාම ඉටු කරන්නැයි ආන්ඩුවට බල කර සිටී.

අවිශිබමයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර විසින්, අධ්‍යාපන කප්පාදුවට එරෙහි අව්‍යාජ ශිෂ්‍ය විරෝධය ගසාකමින් සිසුන් සහ කම්කරුවන් අවමංගත කිරීමට ගොඩනගාගත් අවස්ථාවාදී පෙරමුන වගවර්නනා කලේ “එකම ප‍්‍රශ්නයක් උඩ මෑත කාලයේ බිහිවුන පලල්ම පෙරමුන” ලෙසයි. “ආන්ඩුවට අපි කියනවා සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා! සයිටම් අහෝසි කරනු! යයි වීරසේකර බෙරිහන් දුන්නේය.

අවිශිබමය පෙලපාලි තුල දී බෙදා හැරි පත්‍රිකාව අවශේෂ මහජනයාට සයිටම් අහෝසි කිරීමේ අරගලය හා එක්වන ලෙස මෙසේ කැඳවුම් කරයි: “අපි කියනවා අඩුම තරමේ පාරට ඇවිත් මේ අරගලයට ඔබේ සහයෝගයත් පලකරන්න. පාලකයන්ට කියන්න අපිත් මේ සටනත් එක්ක ඉන්නවා කියලා. අපි හිතනවා මේ වෙන්න යන විනාශය පරද්දන්න සටන් කරනවා ඇරෙන්න වෙන උත්තර නෑ.” අවිශිබමයේ මෙම “සටන” ධනපති ආන්ඩු වලට බලපෑම් කිරීමෙන් ඔබ්බට නොයයි.

නිදහස් අධ්‍යාපන අයිතිය හා මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම ඇතුලු කම්කරු පීඩිත මහජනයාගේ දැවෙන අවශ්‍යතා සපුරාලිය හැක්කේ ලාභ ගරන ධනේශ්වර ක‍්‍රමය පෙරලා දැමීමෙන් පමනි. එය කල හැක්කේ කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි. එවන් අරගලයකට සිසු-ජන පෙරමුනට ගාල් වී සිටින සියලු සංවිධාන සතුරු ය.

තවත් වටයකින් කම්කරුවන් ශිෂ්‍යයන් අවමංගත කිරීමේ “සයිටම් විරෝධී සිසු-ජන ව්‍යාපාරය” වැනි උගුල් හෙලිදරව් කරමින් සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තියේ නායකත්වය යටතේ සිසුන් බලමුලු ගැන්වීමේ තීරනාත්මකභාවය පැහැදිලි කිරීම සඳහා මේ මස 16 දා කොලඹ මහජන පුස්තකාලයේ පැවැත්වීමට නියමිත සසප/සසජාතශි ප‍්‍රසිද්ධ රැස්වීමට සම්බන්ධ වන්නැයි සියලු කම්කරුවන්ගෙන් හා ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: