ශ්‍රී ලංකාවේ ව්‍යාජ-වම්මු අවිශිබමයේ ධනපති පෙරමුනට වාම ආවරනයක් දීමට යත්න දරති

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2017 මාර්තු 29

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) විසින් ගොඩනගා ඇති “සයිටම් විරෝධී සිසු-ජන ව්‍යාපාරය” නම් වූ ප‍්‍රතිගාමී ධනපති පෙරමුනට වාම ආවරනයක් සම්පාදනය කර දීමට ලංකාවේ ව්‍යාජ-වාම පක්ෂ නරුම උත්සාහයක යෙදී සිටිති.

එක්සත් සමාජවාදී පක්ෂය (එසප), නව සමසමාජ පක්ෂයෙන් (නසසප) මෑත දී කැඩීගත් සංවිධානයක් වන වමේ හඬ හා අක්ෂය සාමූහිකය විසින් නිකුත් කොට ඇති ‘ඒකාබද්ධ මාධ්‍ය ප‍්‍රකාශය’, මෙම උත්සාහයේ පැහැදිලි ප‍්‍රකාශනයකි.

එම ප‍්‍රකාශනයෙන්, අවිශිබමයේ විරෝධතා දේශපාලනය හා ශිෂ්‍යයන් තවදුරටත් දේශපාලනිකව අවමංගත කිරීම සඳහා එය මුල්වී අටවා ඇති සයිටම් විරෝධී සන්ධානය මහා ඉහලින් වග වර්නනා කරයි. “2009 සිට මේ වෙනුවෙන් (සයිටම් අහෝසි කිරීම) අඛන්ඩව සටන් වදින අවිශිබමය ප‍්‍රමුඛ ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදිහත්වීම අපි ඉමහත් ලෙස අගය කරන්නෙමු” යයි සඳහන් කරන මෙම ව්‍යාජ වම්මු “අවිශිබමය වටා පෙලගැසී සටනේ පෙරමුන ගෙන කටයුතු කරන සියලු බලවේගයන්ට සහෝදරාත්මක සහයෝගය පල කර සිටී”.

මෙම ප‍්‍රකාශය, එසප වෙනුවෙන් ශ්‍රීනාත් පෙරේරා, වමේ හඬ වෙනුවෙන් ලීනස් ජයතිලක හා අක්ෂය සාමූහිකය සඳහා අවිශිබමයේ හිටපු කැඳවුම්කරු නජිත් ඉන්දික යන අයගේ අත්සනින් නිකුත් කරන ලද්දකි.

අවිශිබමය මුලුමනින්ම කැප වී සිටින්නේ, අධ්‍යාපනයට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ගේ මූලය වන ධනේශ්වර ක‍්‍රමයේ පෙර නොවූ විරූ අර්බූදය වසන් කොට, සමාජයේ විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තියේ නායකත්වය වටා ධනපති පද්ධතියටම එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් මත ශිෂ්‍යයන් බලමුලු ගැන්වීමේ දේශපාලන අරගලයට එරෙහිව සිසුන් පිහිටුවාලීමටයි.

සත්‍යග‍්‍රහ වැනි දියාරු සටන් ක‍්‍රමවේදයන්ට සිසුන් යොමු කරමින් සහ ශිෂ්‍ය සටන් වීරත්වයට නංවමින් එකක් පසුපස එකක් ලෙස අවිශිබමය සංවිධානය කරන මෙම විරෝධතා මගින් සිදු කෙරෙනුයේ සිසුන් රාජ්‍ය මර්දනයට ලක් කිරීම සහ ඔවුනගේ ධෛර්යය දියකර දැමීම පමනෙකි.

අව්‍යාජ ශිෂ්‍ය විරෝධය දිගින් දිගටම ගසා කමින් ඔවුන් හුදෙකලා විරෝධතාවලට හා ධනපති සන්ධානවලට පටලවා ආන්ඩුවල කප්පාදුවලට මග පාදා දීම සම්බන්ධයෙන් අවිශිබමයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය, පෙර දී ජනතා විමුක්ති පෙරමුනෙහි (ජවිපෙ) අන්ඩක් වූ අවිශිබම වර්තමානයේ දී ජවිපෙන් සංවිධානාත්මකව භේද වී සිටින තවත් ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මගින් පාලනය වෙයි.

පෙසප හා එසප වැනි මධ්‍යම පන්තික ව්‍යාජ-වාම නඩ සහ ධනපති පක්ෂ කන්ඩායම් එකතුකර ගනිමින් අවිශිබම ගොඩනගන ‘පුලල් පෙරමුනු’ වල ප‍්‍රතිගාමී ස්වභාවය “සිසු-ජන ව්‍යාපාරය” මගින් ඉතා පැහැදිලිව ප‍්‍රකාශයට පත්වෙයි. වත්මන් ආන්ඩුවේ අර්බූදය ගසා කමින් යලි බලයට ඒමට කැසකවන සහ බලයේ සිටියදී අධ්‍යාපනය ඇතුලු සමාජමය අයිතීන්ට මෙන්ම ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට දැවැන්තම ප‍්‍රහාරයක් එල්ල කල, සයිටම් ආරම්භ කිරීමට ද වගකිව යුතු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය, ධනපති සංස්ථාපිතයේ ම පක්ෂයක් වන ජවිපෙ, පිවිතුරු හෙල උරුමය හා මහජන එක්සත් පෙරමුන වැනි සිංහල අන්තවාදී පක්ෂ සහ දක්ෂිනාංශික වෘත්තීය සමිති නිලධරය මෙම ඊනියා සිසු-ජන ව්‍යාපාරයේ කොටස්කරුවෝ වෙති.

‘සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු! නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනු!’ යන හිසින් යුත් ඒකාබද්ධ ප‍්‍රකාශය තුල තමන් ‘විප්ලවවාදී වාමාංශිකයන්’ ලෙස නම් කර ගන්නා එසප, වමේ හඬ හා අක්ෂය ඇතුලු නඩය, කවර හෝ හිරිකිතයකින් තොරව සන්ධානගතව සිටින්නේ මෙම ප‍්‍රතිගාමී හැඩිරැල සමගයි.

අධ්‍යාපනය පෞද්ගලීකරනය වැඩපිලිවෙලේදී ද ආන්ඩුව සමග සෘජුව පෙලගැසී සිටින නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න හා පුරවැසි බලය ව්‍යාපාරයේ සමන් රත්නප්‍රිය ද, සයිටම්හි ප‍්‍රමිතිය පිලිබඳව පමනක් විවේචන ඉදිරිපත් කර තිබෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව තම ප‍්‍රකාශය තුල දියාරු විවේනය ඉදිරිපත් කරමින් තමන්ගේ ප‍්‍රතිගාමී මැදිහත්වීමට ආවරනයක් සපයා ගැනීමට මෙම ව්‍යාජ-වම්මුන් උත්සාහ ගෙන තිබුනි.

සයිටම් වෛද්‍ය උපාධිධරයන්ට ශ්‍රී ලංකාව තුල වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචිවීම සඳහා නීතිමය අවසරය තිබිය යුතු බවත්, සෑම ක්ෂේත‍්‍රයකම පෞද්ගලික අංශය ක්‍රියාත්මක වී ඇති බැවින් වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල ද පෞද්ගලික අංශයට ඉඩ දිය යුතු බවත් පවසමින් කරුනාරත්න හා රත්නප්‍රිය ධනපති ආන්ඩුවේ පිලිවෙත් සමග සෘජුව පෙල ගැසී සිටිති.

කරුනාරත්න සමග වැඩ බෙදා ගනිමින් මෙම කන්ඩායම අතගසා ඇත්තේ, ධනපති සන්ධානයකින් ග්‍රීසිය තුල බලයට පැමින දැන් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ නියෝගයන් මත දැවැන්ත කප්පාදු වැඩපිලිවෙලක් මහජනයා මත කඩාපත් කර තිබෙන සිරිසා බඳු ව්‍යාපාරයකට ලංකාව තුල පාර කපා ගැනීමටයි.

එමගින් ඔවුන් උරදී ඇත්තේ, මහජන සුභසාධන වනසන හා දැවැන්ත බදු බරකට මහජනයා යට කරමින් වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවේ යොදවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව පැන නගින කම්කරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ විරුද්ධත්වය ධනපති සන්ධාන තුල අවමංගත කොට කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී වැඩපිලිවෙලකට මං අහුරා ලීමේ කාර්යයටයි.

කරුනාරත්නට එරෙහි එරෙහි බොරු විවේචන තිබිය දීම ධනපති පන්තියට මුක්කුව දීම සම්බන්ධව මෙම කන්ඩායම්වලට ඇත්තේ ද කරුනාරත්නට සමාන වාර්තාවකි. 1989 සමයේ තරුන ඝාතනවලට වගකිව යුතු හා වර්ගවාදී යුද්ධයේ ආරම්භයේ පටන් එජාප ආන්ඩුවේ ඇමතියෙකුව සිටි එහි වත්මන් නායක රනිල් වික‍්‍රමසිංහ සමග ‘නිදහසේ වේදිකාව’ අටවා ගනිමින් වික‍්‍රමසිංහ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ හා ‘ලිබරල්වාදී’ නායකයා ලෙස හුවා දැක්වීමටත් 2015 දී ඇමරිකානු අධිරාජ්‍ය ගැති ආන්ඩුවක් බලයට ගෙන ඒමටත් මෙම ව්‍යාපාර වැඩ කලහ.

නජිත් ඉන්දික, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී මිථ්‍යාවන් වැපිරීම ඉලක්ක කරගනිමින් “ආන්ඩුවෙන් යම් හෝ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු වනු ඇතැයි” ලියමින් 2015 දී අවිශිබමය කැඳවුම්කරු ලෙස සිරිසේන ට ලිපියක් යොමු කලේ ය. ඉන්දික, කම්කරු පන්තිය සම්බන්ධවත් විප්ලවවාදී පක්ෂයේ තීරනාත්මකභාවය සම්බන්ධවත් පශ්චාත් නූතනවාදය ඇතුලු ප‍්‍රති-මාක්ස්වාදී න්‍යායයන් වපුරන අක්ෂය සාමූහිකයේ ප‍්‍රධානියෙකු ලෙස කටයුතු කරයි.

වාම වෙස් ගැනීමට ගත් උත්සාහයකින් පසු ඒකාබද්ධ ප‍්‍රකාශය අවසානයේ දී සිය ධනපති වැඩපිලිවෙල ඉදිරිපත් කරයි. “සයිටම් හි අධ්‍යාපනය ලබන සිසුන්ට වන්දි ලබා දී සයිටම් වසා දමා රජයට පවරා ගැනීම, විභාග සමත් සියලු සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබා දීම” යන අවිශිබමයේ මූලික ඉල්ලීම් වහාම ඉටු කරන්නැයි ඔවුහු ආන්ඩුවට බල කරතිි.

අවිශිබමයට නායකත්වය දෙන පෙසප, ධනවාදය තුලම නව ලිබරල් ආර්ථික පිලිවෙත් හකුලා ගැනීමට බල කිරීම මගින් ධනපති ආන්ඩුවල ප‍්‍රහාර නවතා ගත හැකි ය යන මිථ්‍යාව වගා දිගා කරයි. “සයිටම් අර්බූදය හා ගත යුතු මග” නමින් පෙසප පුවත් පත වන වම 2016 දෙසැම්බර් කලාපයේ පල වූ ලිපියක අවිශිබමයේ විරෝධතා දේශපාලනයට පාර කපා දෙමින් සයිටම් පරාජය කිරීමේ අරගලය සඳහා, “අධ්‍යාපනය විකිනීමෙන් පීඩාවට පත්වන සියලුම සමාජ බලවේග ඒකාබද්ධ කර ගත් බිම් මට්ටමේ අරගලයක්” යෝජනා කරයි.

මෙම “බිම් මට්ටමේ අරගලය” සඳහා ඔවුන් ගොඩනගා ඇත්තේ, අන්ත දක්ෂිනාංශික ධනපතියන් ද එකතුකර ගත් “සයිටම් විරෝධී සිසු-ජන ව්‍යාපාරය” යි. සිසුන්, කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් මෙම උගුලේ සිරකොට ධනේශ්වර පද්ධතියට එරෙහි සටනකින් ඔවුන් වලකාලීම මෙම පෙරමුනේ එල්ලය වන අතර ව්‍යාජ-වම්මුන් විසින් අවිශිබමය උත්කර්ශයට නංවන්නේ මෙම ප‍්‍රතිගාමී පෙරමුනට වාම කවරයක් සම්පාදනය කරදීමේ දුෂ්ඨ අරමුනෙනි.

Share this article: