සමාජවාදී සමානතා පක්ෂය ගෙඩනගනු (ප‍්‍රන්සය)!

Build the Socialist Equality Party (France)!

2016 නොවැම්බර් 15

ප්‍රන්සයේ සිය ශාඛාව ලෙස, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් සමාජවාදී සමානතා පක්ෂය පිහිටුවනු ලබයි. ලියොන් ට්‍රොට්ස්කි හා සම්භාව්‍ය මාක්ස්වාදයේ උරුමය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය අරගලයේ නොබිඳුනු අඛන්ඩතාවයේ පදනම මත ඉදිරිපත් කරන, ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගයට ප්‍රන්සයේ කම්කරුවන් දිනාගැනීම සඳහා සසප සටන් වදියි. ධනවාදයේ උත්සන්න වන ලෝක අර්බුදය හා ප්‍රන්ස දේශපාලන සංස්ථාපිතය කෙරේ ඉන් ඇති කරන බලපෑම හමුවේ, මෙම ක්‍රියාමාර්ගයට පුලුල් සහායක් දිනාගත හැකිය යන විශ්වාසය ඇතිව එය වැඩ කරයි.

සියවස් කාර්තුවකට පෙර ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය විනාශ කර දැමූ තතු තුල, ධනවාදයේ ක්ෂමාලාපකයෝ, කොමියුනිස්ට්වාදයේ අනතුර පහව ගොස් ඇතැයි පවසමින් දැන් සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සහ සමෘද්ධිය ගෙන එනු ඇති බවට සහතික වූහ. ඒ වෙනුවට ධනවාදය විසින් පසුගිය 25 වසර තිස්සේ සැබවින්ම ඉෂ්ඨ කර ගෙන තිබෙන්නේ, රුසියාවේ කම්කරු පන්ති සහෝදර සහෝදරියන් මෙයට ශත වර්ෂයකට පෙර බෝල්ශෙවික් පක්ෂයේ නායකත්වයෙන් මෙහෙයවනු ලැබ, 1917 ඔක්තෝබර් විප්ලවයේ දී සිදුකල දෙය, එනම් ධනවාදය පෙරලා දැමීම ජාත්‍යන්තර කම්කරු පන්තියට යලි මතක්කර දීමය.

2008 වෝල් වීදියේ බිඳ වැටීම සහ එයට ලෝක කම්කරු පන්තිය ප‍්‍රාරම්භකව දැක් වූ ප‍්‍රතිචාරය, එනම් 2011 ඉජිප්තුවේ සහ ටියුනීසියාවේ මහජන නැගිටීම් මගින්, අධිරාජ්‍යවාදී බලවතුන් ලෝකය යලි - බෙදා ගැනීම සඳහා වන ධාවනය ඉමහත් ලෙස උග‍්‍ර කැරිනි. යුරෝපය පුරා අධිරාජ්‍යවාදී යුද්ධයේ නැගෙන රැල්ල, මැද පෙරදිග සිට අප‍්‍රිකාව හරහා නැගෙනහිර යුරෝපය සහ ආසියාව වෙලාගෙන නව ලෝක යුද්ධයක් ලෙස පුපුරායාමට තර්ජනය කරයි.

යුරෝපිය ධනවාදය, සෝවියට් සංගමයේ පැවැත්ම විසින් එල්ල කරන ලද තර්ජනයට මුහුන දීම සඳහා, සිය ප‍්‍රදේශය තුල සීතල යුද්ධ අවධියේදී තමන් ආරූඪ කරගෙන සිටි සාමවාදී සහ ප‍්‍රතිසංස්කරනවාදී වේශය හැර දමා ඇත. යූරෝපිය සංගමය (යුසං) මහාද්වීපය පුරා නිර්දය කප්පාදු වැඩසටහන් පනවමින් සිටියි. සමාජ අයිතීන් උදුරා දමමින් ද බැංකුවලට යුරෝ ට්‍රිලියන ගනන් පුද දෙමින් ද පොලිස් රාජ්‍යයකට ආවේනික නීති රෙගුලාසි සහ ඔත්තු සේවා ව්‍යූහය පිහිටුවා ගනිමින් ද සිටිති. පොලිස් ඔත්තු සේවා යාන්ත‍්‍රනයේ මූලික අරමුන, කප්පාදු පැටවීමට එරෙහි මහජන විරෝධය ප‍්‍රචන්ඩ ලෙස මැඩලීම ය.

ප‍්‍රන්සයේ දේශපාලන තත්වය ඉමහත් ප‍්‍රතිඝතිතා මගින් සංලක්ෂිත ය. ප‍්‍රන්ස කම්කරු පන්තියේ විප්ලවවාදී සම්ප‍්‍රදායන්, ශතවර්ෂ දෙකකට පෙර මාක්ස්වාදී සමාජවාදයේ ප‍්‍රභවයට සහ වර්ධනයට මුඛ්‍ය ප‍්‍රතිපදානයක් කලේය. ඔක්තෝබර් විප්ලවය ප‍්‍රන්ස කම්කරු පන්තිය තුල බලගතු සහායක් දිනාගත් අතර 20 වන සියවසේ ප‍්‍රන්ස කම්කරු පන්තියේ ප‍්‍රමුඛ අරගල, ජාත්‍යන්තර කම්කරු පන්තියේ මුඛ්‍ය අත්දැකීම් ය. එහෙත් අද දින ලෝක ධනවාදය, මහා අවපාතයෙන් මෙපිට හට ගත් ගැඹුරුම ආර්ථික අර්බුදයෙන් ද පැතිරයන යුද ව්‍යායාමයේ බරින් ද මිරිකී යමින් ඇති අතර හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හැරෙන්නට, කම්කරු පන්තිය විසින් ලෝක ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා බලය සියතට ගෙන, සමාජවාදය ගොඩනැගීම තම අරමුන කරගෙන ඇති අන් කිසිම දේශපාලන ප‍්‍රවනතාවයක් ඇත්තේ නැත.

ඒ වෙනුවට, 1968 පටන් “වාම” දේශපාලනය මත ආධිපත්‍යය දරා ඇති බලවේග, සමාජවාදයට ද කම්කරු පන්තියට ද පරම වශයෙන් ම සතුරු ය. සෝෂලිස්ට් පක්ෂය (පීඑස්) සහ එහි සගයන් විසින් ඓතිහාසික කාලපරිච්ඡේදයක් පුරා ක‍්‍රියාත්මක කරනු ලබන යුද්ධයේ, කප්පාදුවේ සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහර දීමේ ප‍්‍රතිගාමී න්‍යායපත‍්‍රය ට එරෙහිව මහජන විරෝධය පුපුරා යමින් තිබේ. වඩ වඩාත් පැහැදිලි වන්නේ, පීඑස් පක්ෂය 1969 දී පිහිටුවීම ද දශක ගනනාවක් තිස්සේ ස්ටැලින්වාදී ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය (පීසීඑෆ්) දිගින් දිගටම ජරපත් වීම සහ 1968 පසු ශිෂ්‍ය අරගලය තුල අරක්ගත් නිල “අන්ත වමේ” (far left) දේශපාලන ආධිපත්‍යය, කම්කරුවන් මුලුමනින්ම දේශපාලනිකව අවමංගත කල බවයි.

2012 මැතිවරන ව්‍යායාමය තුල ලන්ඩන් බැංකුකරුවන්ගේ රැස්වීමක දී ඔලන්ද්ම කියා සිටියේ, “අද දින තවදුරටත් ප‍්‍රන්සය තුල කොමියුනිස්ට්වාදීන් නොමැත. ආර්ථිකය ලිබරලීකරනය කලේ වම විසිනි. වම වෙලඳපල මූල්‍ය ප‍්‍රාග්ධනයට සහ පුද්ගලීකරනයට විවෘත කොට නිර්බාධ කොට දුන්නේ ය. දැන් බයවෙන්න දෙයක් නැත” යනුවෙනි.

දශක ගනනාවක් තිස්සේ පීඑස් සහ එහි සහචරයෝ, “වාම” දේශපාලනය මධ්‍යම පන්තියේ ඉසුරුමත් කොටස් වල “ජීවන රටාවට” අනුකූලව, අලුතින් නිර්චනය කිරීමට උත්සාහ කලෝ ය. ඔවුන් පෙනී සිටියේ අධිරාජ්‍යවාදයට එරෙහිව නොව, එයට සහ එහි ඊනියා “මානවහිතවාදී” යුද්ධවලට සහයෝගය දීම වෙනුවෙනි. පන්ති අරගලය සඳහා නොව වෘත්තීය සමිති නිලධරය සහ මහා ජාවාරම්කරුවන් අතර “සමාජ කතිකාවත වෙනුවෙනි.” කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම සඳහා නොව ඉස්ලාම් භීතිකාව සහ ජාතිකවාදය වෙනුවෙනි. මෙම බලවේගයන් ට සමාජවාදයේ නියෝජිතයන් ලෙස වෙස් පෑමට ඉඩ හරිනතාක් කල් ඔවුන් කරනවා ඇත්තේ, කෝපයට හා මංමුලාවට පත් ජනතාව නව-ෆැසිස්ට් ජාතික පෙරමුන (එෆ්එන්) පිටුපස ගාල් කිරීමය.

එහෙත් පන්ති අරගලය බාධා ඉවසන්නේ නැත. පවත්නා පක්ෂ පාලක පන්තියේ දේශපාලන උපකරන පමනි. එහෙයින් තීරනාත්මක වන්නේ, කම්කරු පන්තිය උදෙසා විප්ලවවාදී විකල්පය ගොඩනැගීම යි. සසප, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, ස්ටැලින්වාදයට සහ සුලුධනේශ්වර ප‍්‍රති-මාක්ස්වාදයට එරෙහිව, ට්‍රොට්ස්කිවාදය සඳහා වූ හජාජාක අරගලයේ අඛන්ඩතාව මත පදනම්ව, කම්කරු පන්තියේ පෙරටු බලඇනි ජනතා පක්ෂයක් ගොඩනැගීමට සටන් වදියි.

ප‍්‍රන්සය තුල ට්‍රොට්ස්කි හා ට්‍රොට්ස්කිවාදය පිලිබඳ (සියලු) මතකය මකාදැමීමට පාලක පන්තිය සමත්ව නැත. ස්ටැලින්වාදය විසින් විසිවන සියවසේ විප්ලවවාදී අවස්ථාවන්, 1936 මහා වැඩවර්ජනය, 1944 නාසි ග‍්‍රහනයෙන් නිදහස්වීම සහ 1968 ජෙනරල් ස්ට‍්‍රයිකය යනාදිය පාවා දීමට එරෙහි සටන සමග ඒවා අවියෝජනීය ලෙස බැඳී පවතී.

එහෙත් සසප පහත සඳහන් කාරනය පිලිබඳව දැනුවත්ව සිටී: සරලව ම තමන් ට්‍රොට්ස්කිවාදී යයි ප‍්‍රකාශයට පත්කරගත් පලියට, කම්කරුවන් සහ තරුනයන් දිනා ගැනීම හෝ සසපයේ ක‍්‍රියාමාර්ගය පැහැදිලි කර ලීම කෙරෙන්නේ නැත. අවුරුදු 45ක් තිස්සේ ප‍්‍රන්සය තුල ට්‍රොට්ස්කිවාදය, ට්‍රොට්ස්කිවාදය අත හැර සෝෂලිස්ට් පක්ෂයේ අගුවේ රස්තියාදු වූ භ‍්‍රෂ්ටයන්ගේ සනුහරය සමග සාවද්‍ය ලෙස අනන්‍ය කරගෙන තිබුනි. පියෙරි ලොම්බෙයර්ගේ ඉන්ටනැෂනලිස්ට් කොමියුනිස්ට් ඕර්ගනයිසේෂන් ( ඕසීඅයි) හෙවත් (අද දින ඉන්ඩිපෙන්ඩන්ට් ඩිමොක‍්‍රටික් වර්කර්ස් පාටි- පී ඕඅයිඩී) සංවිධානය, 1971 දී එවකට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායක ශාඛාව ලෙස පැවති බ්‍රිතාන්‍යයේ සෝෂලිස්ට් ලේබර් ලීග් (එස්එල්එල්) සංවිධානයෙන් බිඳී ගියේය. එය සුලු-ධනේශ්වර කන්ඩායම්වල ජාත්‍යන්තර ව්‍යාපාරය සමග එක්විය. -ප‍්‍රන්සයේදී මීට රෙවලූෂනරි කොමියුනිස්ට් ලීගය (එල්සීආර්) හෙවත් අද දින (නිව් ඇන්ටි-කැපිටලිස්ට් පාටි- එන්පීඒ) සහ වර්කර්ස් ස්ට‍්‍රගල් (එල් ඕ) ද ඇතුලත්වේ. (1953 දී හජාජාක ගොඩනගන ලද්දේ මේවාට එරෙහිවය.) එවන් පක්ෂ පීඑස් සංවිධානයට එරෙහි විකල්පයක් කිසිසේත්ම නොසපයන බව ඔවුන්ගේ ග‍්‍රීක සගයා වන සිරිසා සංවිධානයේ භූමිකාව මගින් මේ වන විටත් හෙලිදරව් කරනු ලැබ ඇත. පසු ගිය වර්ෂයේ ග‍්‍රීසියේ ආන්ඩුව පිහිටුවීමෙන් පසුව සිරිසා, වහලෙකු ලෙස යුරෝපා සංගමයේ කටුක නිර්දේශ ක‍්‍රියාවට නැගීය.

කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය සඳහා ට්‍රොට්ස්කිවාදී හජාජාක කරන්නාවූ අරගලය සහ මෙම ව්‍යාජ වාම පක්ෂ වල ක‍්‍රියාකාරිත්වය අතර අශමනීය ප‍්‍රතිවිරෝධය, දියුනු කම්කරුවන්ට පැහැදිලි කරලීම සඳහා සසප සටන් වදී. එය ව්‍යාජ වම්මුන් කෙරෙහි දක්වන්නේ අශමනීය ලෙස ප‍්‍රතිවිරුද්ධ ආකල්පයකි. මෙයින් එකදු සංවිධානයක් හෝ ට්‍රොට්ස්කිවාදී යයි හෝ බලපෑම් කොට ට්‍රොට්ස්කිවාදී පිලිවෙත්වලට දිනාගත හැකියයි හෝ එය සිතන්නේ නැත. සසප “කට්ටිවාදී” යයි මොවුන් විසින් කරනු ලබන චෝදනා අපි පිලිකුලෙන් යුතුව බැහැර කරමු. කට්ටි වාදය යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ, දේශපාලන මූලධර්ම වෙනුවෙන් සසප පෙනීසිටීමයි. සසප මොවුන්ට එරෙහි අරගලය පදනම් කරන්නේ, හජාජාක සහ එහි පූර්වගාමීන් විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද විප්ලවවාදී අරගලවල ඓතිහාසික සහ දේශපාලන පාඩම් මතය.

ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයේ සහ ස්ටැලින්වාදයේ බංකොලොත්කම

දෙවන ලෝක යුද්ධය අවසන් වූ තැන් පටන් 1968 ජෙනරල් ස්ට‍්‍රයිකය දක්වා, ප‍්‍රන්ස කම්කරු පන්තියේ ප‍්‍රමුඛ සංවිධානය ව පැවතියේ ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයයි (පීසීඑෆ්). එය ක්‍රෙම්ලිනය සමග පවත්වාගෙන ගිය සමීප සම්බන්ධය ද තමන් දෙවන ලෝක යුද සමයේ දී ප‍්‍රන්සය තුල නාසි ආක‍්‍රමනයට එරෙහි සන්නද්ධ ප‍්‍රතිරෝධතා ව්‍යාපාරයේ නායකයා ලෙස ඉස් මතුවී තිබීම ද නිසා එම පක්ෂයට, ප‍්‍රන්සය තුල ඔක්තෝබර් විප්ලවයේ උරුමක්කාරයා ලෙස වෙස් පෑමට ඉඩ ලැබුනි. එය මෙම කීර්තිය ජාතිකවාදී පිලිවෙතක් වගාකොට ප‍්‍රන්සයේ පැන නැගි පශ්චාත් යුද්ධ විප්ලවවාදී අවස්ථා පාවාදීමට යොදාගත්තේ ය. 1968 මහා වැඩ වර්ජනය පාවාදෙමින් ද පීඑස් ආන්ඩුවලට සහාය දෙමින් ද කෙලින්ම සහභාගිවෙමින් ද, සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමට ක්‍රෙම්ලිනයට සහාය දීම මගින් ද ගතවූ අඩ සියවස තුල මෙම පක්ෂය තරයේ අපකීර්තියට පත්ව තිබේ. එහි වාර්තාව, ස්ටැලින්වාදයේ ප‍්‍රතිවිප්ලවවාදී හා මාක්ස් විරෝධී ප‍්‍රතිගාමිත්වය ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනයට එරෙහිව යයි ට්‍රොට්ස්කි කල විග‍්‍රහය සනාථ කොට ඇත.

ස්ටැලින්වාදයට නතුවූ තුන්වන ජාත්‍යන්තරය 1935 දී, මහජන පෙරමුනු වැඩපිලිවෙල තුලින් ධනේශ්වර පක්ෂවලට සහාය පුදමින්, සෝවියට් සංගමයෙන් පිටත සමාජවාදී විප්ලවය සඳහා අරගලය දැනුවත්ව ම හැර දැමුවේ ය. සෝවියට් නිලධරය විසින් ජාත්‍යන්තර විප්ලවය හැර දැමීම ද “තනි රටක සමාජවාදය” යන ඉදිරි දර්ශනය වැලඳගැනීම ද තුලින් ගලා ආ මෙම මූලෝපාය, කම්කරු පන්තිය ධනේශ්වරයෙන් දේශපාලනිකව ස්වාධීන විය යුතුය යන මාක්ස්වාදයේ කේන්ද්‍රීය මූලධර්මය සෘජුව ම උල්ලංඝනය කලේ ය. මෙහි විපාකය වූයේ ජාත්‍යන්තරව ම කම්කරු පන්තිය භයානක පරාජයන් ට ඇද දැමීමය. ස්පාඤ්ඤයේ මහජන පෙරමුනු ආන්ඩුවක් කම්කරු පන්ති නැගිටීම යටපත් කොට, ජනරාල් ෆ‍්‍රැන්කෝගේ නායකත්වයෙන් පැන නැගි ෆැසිස්ට් කැරැල්ල ඉදිරියේ කම්කරු පන්තිය පරාජයට ඇද දැමීය. ව්‍යාපාරික සංගතයන් සමග එලඹුනු සහන ගිවිසුම් මගින් 1936 මහා වැඩවර්ජනය පාවාදෙමින් ස්ටැලින්වාදීන්, ප‍්‍රන්ස මහජන පෙරමුනු ආන්ඩුව ගලවාගත් අතර, එය 1938 තෙක්ම දිගින් දිගට පැනනැගි වැඩවර්ජන රැල්ල තලාදැමීය.

1936 මහා වැඩවර්ජනයට පසුව ස්ටැලින්, තවමත් ජීවත්ව සිටි පැරනි බෝල්ශෙවික් නායකයන් සියලු දෙනා ත‍්‍රස්තවාදීන් සහ ෆැසිස්ට්වාදීන් යයි නම්කොට මොස්කව් අවනඩු තුලින් මරා දැමීය. මින් ඇරඹි මහා විරේකය කොමියුනිස්ට් ජාත්‍යන්තරය තුල මාක්ස්වාදීන් සමූලඝාතනය කොට අන්තිමේදී ට්‍රොට්ස්කි ඝාතනයෙන් කුලුගැන්වුනි. ප‍්‍රන්සයේ 1936 මහා වැඩවර්ජනය ද ඉන් ඉක්බිති එලඹි වැඩවර්ජන ද හුදෙකලා කොට මැඩලීමට රාජ්‍යයට උදව් දුන් ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය, නිර්දය ලෙස ට්‍රොට්ස්කි හෙලාදකිමින් ඔහුගේ සහකරුවන්ට පහරදුනි. එහි මුදුන් නායකත්වය, ට්‍රොට්ස්කිට සහ පැරනි බෝල්ශෙවිකයන්ට එරෙහි අවලාද, පීසීඑෆ් සිය දිනපතා පුවත් පත ල’හුමනිතේ හි පලකරමින් ජීපීයූවට ට්‍රොට්ස්කිවාදීන් ජාත්‍යන්තරව ඝාතනය කිරීම සංවිධානය කිරීමට ආධාර කලේ ය.

දෙවන ලෝක යුද්ධයේ මහා මනුෂ්‍ය ඝාතනය සහ ව්‍යසනය, සමාජ විප්ලවය මගින් වලක්වාලීමට යුරෝපීය කම්කරු පන්තියට තිබුනු අන්තිම අවස්ථාව, ස්ටැලින්වාදය විසින් අවුරන ලදී. 1940 නාසි ආක‍්‍රමනයත් සමග ප‍්‍රන්ස ධනේශ්වරය පරාජකවාදයට ඇද වැටුනු අතර, ප‍්‍රන්සය තුල ෆැසිස්ට්වාදී විචි රෙජීමය බලයට ඒම සඳහා ඉන් මග පෑදුනි. නාසින් සමග සහයෝගිතාව සංවිධානය කිරීමේ මූලිකත්වය ගැනීම පිනිස මාෂල් ෆිලිප් පෙටේන් ට සම්පූර්න බලය පැවරීමට ජාතික මන්ත‍්‍රී මන්ඩලය ඡන්දය දුනි. 1939 දී හිට්ලර්-ස්ටැලින් අනාක‍්‍රමන ගිවිසුම අනුමත කිරීමත් සමග ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයට යටිබිම් බලා යාමට සිදු විය.

දෙවන ලෝක යුද්ධයේ දී ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග ලෝකය බලවැයික්කි ලෙස බෙදාගැනීමේ ක්‍රෙම්ලිනයේ ප‍්‍රතිවිප්ලවවාදී පිලිවෙත සමග එක්වෙමින් පීසීඑෆ්, නාසි ග‍්‍රහනයෙන් ප‍්‍රන්සය මුදා ගැනීමේ විප්ලවවාදී අවස්ථාව පාවාදුන්නේ ය. ප‍්‍රන්සයේ රගසිගත නාසි විරෝධී ව්‍යාපාරය තුල තමන්ට තිබුනු ප‍්‍රමුඛ තැන ප‍්‍රයෝජනයට ගනිමින් එම පක්ෂය, එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය අධිකාරින්ට ද චාල්ස් ඩිගෝල්ට ද ප‍්‍රන්සය තුල ධනේශ්වර 4 වන සමූහාන්ඩුවක් අටවමින් යුරෝපීය ෆැසිස්ට්වාදයේ මහා අපරාධ වසං කිරීමට ආධාර කලේ ය. මුලු ප‍්‍රන්සය ම (නාසින්ට එරෙහිව) ප‍්‍රතිරෝධය දැක්වීය යන ඩිගෝල් ගේ සාවද්‍ය කියමනට අනුගත වෙමින්, නාසින්ගේ සහකරුවන්ට එරෙහි නඩු පැවරීම වලකාලීමට උදව් දුන් කොමියුනිස්ට් පක්ෂය, පාලකයන් සමග හවුල්ව, ෆැක්ටරි කමිටු හාම්පුතුන් විසින් පාලනය කල ගැත්තර කලමනාකරන සංවිධාන තුලට දියකර දමමින් ද නාසි විරෝධී අරගලයේදී නිපන් ප‍්‍රතිරෝධයේ කමිටු ඩිගෝල් ගේ හමුදාව තුලට ද ඒකාබද්ධ කලේ ය. ඩිගෝල් ගේ ආන්ඩුවට ඇමතියන් සපයා දෙමින් ඔවුන්, 4වන සමූහාන්ඩුවේ සෑම අර්බුදයක දී ම එය රැක ගන්නා මුක්කුව තමන් බව සනාථ කලේය. ප‍්‍රන්සයේ යටත් විජිත යුද්ධවලට, විශේෂයෙන්ම ඉන්දු චීනයේ සහ ඇල්ජීරියාවේ, සහාය දුන්නේ ය. 1947 සටන්කාමී වැඩ වර්ජන සහ 1953 ජෙනරල් ස්ට‍්‍රයිකය පාවා දුන්නේ ය. මෙම පදනමේ එය, සමාජවාදී විප්ලවයට සතුරුව ආන්ඩුවට “වාම” පමනක් නොව මාක්ස්වාදී වර්නයක් පවා සම්පාදනය කිරීමට ඉදිරිපත් වූ බුද්ධි ජීවීන් අතර පුලුල් සහායක් ලබාගති.

ඔක්තෝබර් විප්ලවය සාවද්‍ය ලෙස පිසීඑෆ් (ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය) සමග අනන්‍ය කිරීම, නාසින්ට එරෙහි විමුක්ති අරගලයෙන් ඉස්මත්තට ආ ප‍්‍රන්ස කම්කරු පන්තියට, අන්තිමේදී මාරක විපාක අත්කර දුනි. ප‍්‍රන්ස ධනේශ්වරය ෆැසිස්ට්වාදයේ අපරාධ සමග අනන්‍යවීම තුලින් දැඩිසේ අපකීර්තියට පත්ව තිබුනු තතු තුල, මිලියන් ගනන් කම්කරුවෝ වෘත්තීය සමිති වලට සහ කොමියුනිස්ට් පක්ෂයට එක්රොක් වූ හ. එහෙත් ඔවුන් ඒකාබද්ධ වුනේ, ජාතිකවාදයෙන් විසකැවුනු, තමන් විප්ලවය නියෝජනය කරන්නේ ය යන සාවද්‍ය කියාපෑම ඓතිහාසික බොරු මතම පදනම් කරගත්, ප‍්‍රන්සයේ නාසි අපරාධ වසන් කල, ස්ටැලින්ගේ මොස්කව් අවනඩු දැඩි ලෙස ආරාක්ෂා කල ඔක්තෝබර් විප්ලවයේ අඛන්ඩත්වය වන ට්‍රොට්ස්කිවාදයට සතුරු සංවිධාන වලටය.

1954-62 ඇල්ජීරියාවේ යුද්ධය ඉක්මනින්ම, කොමියුනිස්ට් පක්ෂය ද අවියෝජනීය කොටසක් වූ, සිවුවන සමූහාන්ඩුවේ දේශපාලන සංස්ථාපිතයෙහි ප‍්‍රතිගාමී ක‍්‍රියාකලාපය එලිදරව් කලේ ය. “කම්කරු ජාත්‍යන්තරයේ ප‍්‍රන්ස ශාඛාව (එස්එෆ්අයි ඕ)” යයි නම්කර ගත් අගමැති ගි මොලේ ගේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුව යුද වියදම් සහ විශේෂ බලතල ඉල්ලා සිටි කල්හි ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය ඊට පක්ෂව සිය ඡන්දය දුන්නේ ය. එම පක්ෂය, 1958 දී මොලේ ආන්ඩුව බලයෙන් පහකර චාල්ස් ඩි ගෝල්ගේ පස්වන සමූහාන්ඩුව බලයට පත්කල කුමන්ත‍්‍රනයට විරුද්ධ වීමෙන් වැලකී සිටියේය. ප‍්‍රන්ස ආන්ඩු විසින් ඇල්ජීරියානු ජනයා සිය-දහස් ගනන් වධ හිංසාවට සහ ඝාතනයට ලක් කිරීම තුල ප‍්‍රන්සයේ පශ්චාත් යුද කාලීන පාලන තන්ත‍්‍රය එලිදරව් කෙරුනි. ඇල්ජීරියාවේදී ප‍්‍රන්ස පැරෂුට් භටයන්ගේ ද ආරක්ෂක හමුදාවල ද උපක‍්‍රම මතකයට නැංවූයේ, ඊට යන්තම් දශකයකට පෙර ප‍්‍රන්සයේ ෆැසිස්ට්වාදී පාලකයන් යොදාගත් විධික‍්‍රමයන් ය. ප‍්‍රන්සය තුලම ඇල්ජීරියානු යුද්ධයට එරෙහිව පැනනැගි විරෝධතාවයන් මෘග ලෙස මර්දනය කලේය. ඒ වනවිට පැරිස් නගර-පාලක තනතුර දරා සිටි, හිටපු විචි නිලධාරියෙකු වූ මොරිස් පැපන්, 1961 ඔක්තෝබර් 17 දා ඇල්ජීරියානු ජාතික විමුක්ති පෙරමුන (එෆ්එල්එන්) විසින් කැඳවුනු විරෝධතා පෙලපාලිය මෘග ලෙස මැඩ පැවැත්වීය.

ප‍්‍රන්සයේ 1968 මැයි-ජුනි මහා වැඩ වර්ජනය පශ්චාත් යුදකාලීන ධනේශ්වර සමතුලනය කුඩුකර දැමූ ජාත්‍යන්තර කම්කරු පන්ති සටන් රැල්ලක මුදුන් ලක්ෂ්‍යය වූ අතර, එය ප‍්‍රන්සයේ දී ඩිගෝල් පාලනයේ මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ ද පදනම් දෙදරවිය. 1968 සෝබෝන් සරසවි සිසුන්ට ආන්ඩුව එල්ල කල ලේවැකි පොලිස් ප‍්‍රහාරය කම්කරු පන්තියේ මහා ප‍්‍රතිරෝධයක් ඇවිලවිය. කෝටියකට වැඩි ගනනක් කම්කරුවෝ වැඩ වර්ජනය කලෝ ය. ප‍්‍රන්සය පුරා කම්හල් වල රතු ධජ පතාක එසැවිනි. රටේ ආර්ථිකය ඇන හිටියේ ය. බේඩන්-බේඩන්හි හමුදා මූලස්ථානයට ගොස් තම හමුදාපතියන් හමුවූ ඩිගෝල්ට දැනගන්නට ලැබුනේ, එම හමුදා භටයන් පැරිසියේ විරෝධතා මර්දනය සඳහා මෙහෙයවා ගතහැකි තත්වයක නොමැති බවකි.

1968-75 සමයේ ලෝකය පුරා කම්කරු පන්තියේ ද තරුනයන්ගේ ද යටත් විජිත ජනයාගේ ද මහා අරගල තුලින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඉමහත් විප්ලවීය බලය විදහා දැක්විනි. ඇමරිකාව තුල මහා විරෝධතා හමුවේ, ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ, සහ ග‍්‍රීසියේ ඒකාධිපති පාලනයන් බිඳවැටීම, ජනාධිපති රිචඩ් නික්සන් ඉල්ලා අස්වීම සහ වියට්නාම යුද්ධයේදී වොෂින්ටනය ලත් පරාජය මගින් ලෝක ධනවාදය පදනමෙන් ම සොලොවන ලදී.

සමාජවාදී විප්ලවයට ප‍්‍රධාන බාධාව වූයේ, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදයයි. 1968 ප‍්‍රන්සයේ දී, පීසීඑෆ් සහ සීජීටී (වෘත්තිය සමිති සංවිධානය) කම්කරු පන්තිය බලය අල්ලාගැනීම වලක්වා ලූ අතර, ග්රෙනෙල් සම්මුතිය මගින් වැටුප් සහන ලබා දෙමින් සති කිහිපයක් තුල වර්ජකයන් ආපසු වැඩට දක්කා, ඩිගෝල් පාලනය නගා සිටුවීය. කොමියුනිස්ට් පක්ෂය විප්ලවය පාවාදීම මගින් එය විප්ලවවාදී පක්ෂයක් ලෙස පෙනී සිටීමට වල කපා ගත්තේය.

සෝෂලිස්ට් පක්ෂයේ නැගීම

කෙසේ වෙතත්, 1968 සිදුවීම් වලින් ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය අපකීර්තියට පත් වීමේ වාසිය ගෙන ඉස්මත්තට ආවේ, කම්කරු පන්තියේ පෘථුල විප්ලවවාදී පක්ෂයක් නොව, ධනේශ්වර පීඑස් සංවිධානය යි. 1969 සහ 1971දී අල්ෆර්විල් සහ එපිනේ යන තැන් වල පැවැත්වුනු සම්මේලන මගින් පිහිටුවනු ලැබූ එම පක්ෂය, මුල පටන්ම සමාජවාදී පක්ෂයක් නොවීය. එය එස්එෆ්අයි ඕවේ නව සංස්කරනයක් ද නොවීය. එස්එෆ්අයි ඕව ධනේශ්වරයේ කීකරු මෙහෙකරුවෙක් වූ තතු හමුවේ එවැන්නක් දියත් කල ද එය ප‍්‍රතිගාමී මෙහෙවරක් වනු ඇත. එය පලමු ලෝක සංග‍්‍රාමයට සහාය දුන් අතර ඔක්තෝබර් විප්ලවයේ සතුරෙකු විය. එහි මන්ත‍්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙක් 1940 දී පෙටේන්ට ඡන්දය දුන්නෝය; ඇල්ජීරියාවේ යුද්ධය මෙහෙයවීය. කෙසේ වෙතත් පීඑස් වනාහි ඊටත් වඩාත් පුලුල් සම්මුතිගත සන්ධානයකි.

පීඑස් සකස් කරන ලද්දේ, හිටපු විචි නිලධාරියෙකු ද මොලේ ආන්ඩුවේ අධිකරන ඇමතිවරයා ද වූ ෆ‍්‍රන්ශුවා මිතරෝන් සඳහා ඡන්ද වාහකයක් හැටියට ය. මිතරෝන් හිට්ලර්ගේ මහා යූදෙව් ඝාතනයට (හොලොකෝස්ට්) සහය දුන් රෙනි බුස්කේ වැනි විචි ආන්ඩුවේ පොලිස් නායකයන් සමග සමීප සම්බන්ධකම් පවත්වා තිබුනි. එයට එස්එෆ්අයි ඕවේ කොටසක් ද විචි රෙජීමයට බැඳී සිටි පැරනි රැඩිකල් පක්ෂයේ කොටස් වලින් සමන්විත, මිතරෝන්ගේ කොන්වෙන්ශන් ඔෆ් රිපබ්ලිකන් ඉන්ස්ටිටියුෂන්ස් සන්ධානයට සම්බන්ධ කොටස් ද එස්පිරිට් සඟරාවට සම්බන්ධ සමාජ-කතෝලික කොටස් ඇතුලත් සෝෂල් කැතලික් පක්ෂය (බලවේග) ද “වාම” බුද්ධි ජීවීන් ද හිටපු-ස්ටැලින්වාදීන් ද යුනයිටඩ් සෝෂලිස්ට් පාටි (පීඑස්යූ) හි හිටපු-ට්‍රොට්ස්කිවාදියෝ ද ඇතුලත් වූහ. එය වනාහි ප‍්‍රධාන වශයෙන් ම රාජ්‍ය යාන්ත‍්‍රනයෙන් ද මාධ්‍යවලින් ද බුද්ධි ජීවීන් අතුරෙන් ද එලඹි කොටස් වලින් සමන්විත ධනේශ්වර පක්ෂයකි. පීඑස් සංවිධානයට “සමාජවාදී” මවාපෑමක් කිරීමට සිදු වූයේ, එය කොමියුනිස්ට් පක්ෂයට ද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ද යම් බලපෑමක් තිබුනු කම්කරුවන්ගේ (සහ තරුනයන්ගේ) පන්ති විරෝධතා ව්‍යාපාරයක් මැද්දෑවේ පිහිටුවන ලද නිසාය.

මිතරෝන් පසු කලෙක ඇමරිකානු නිලධාරීන් පිනවමින් පැහැදිලි කල පරිදි, පීඑස් හි අරමුන වූයේ, කොමියුනිස්ට් පක්ෂයේ ඡන්ද පදනම වනසා දමා, ප‍්‍රධාන “වාම” පක්ෂය බවට පත්ව බලයට පත් වීම ය. එය කොමියුනිස්ට් පක්ෂය ද 1960 සහ 1970 ගනන්වල එලිදරව් කරන ලද ස්ටැලින්වාදයේ ඓතිහාසික අපරාධ ද විවේචනය කරමින්, සමාජවාදී වෙස් පෑමක නිරතවිය. මෙම විවේචන කරන ලද්දේ, කම්කරු පන්තියේ ආස්ථානයෙන් නොවේ. ස්ටැලින්වාදී නිලධරයට එරෙහිව සෝවියට් ප‍්‍රජාතන්ත‍්‍රය ආරක්ෂා කිරීම මත හෝ ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රතිවිප්ලවවාදී භූමිකාව පිලිබඳ ට්‍රොට්ස්කිවාදී විවේචනය මත පදනම්ව හෝ නොවේ. ඒ වෙනුවට පීඑස් කලේ, ප‍්‍රති-කොමියුනිස්ට්වාදය ද ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද පිලිබඳ මිථ්‍යා අපේක්ෂාවන් වගා කීරීම යි.

පීඑස් සංවිධානය 1968 වැඩවර්ජනය මගින් සොලොවාලනු ලැබූ ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයේ දක්ෂිනාංශික ගමන, ගසාකෑවේය. 1968-75 විප්ලවවාදී අරගලවලට කොමියුනිස්ට් පක්ෂය ප‍්‍රතිචාර දැක්වූයේ, පීඑස් සමග සහ ධනේශ්වර රැඩිකල් වාම ව්‍යාපාරය සමග 1972 දි පොදු ක‍්‍රියාමාර්ගයකට අත්සන් තබමින් යුරෝ කොමියුනිස්ට්වාදය වැලඳ ගෙන, කම්කරු පන්ති ඒකාධිපතිත්වය අතහැර දමන බව ප‍්‍රකාශ කරමිනි. 1936 දී මහජන පෙරමුන විසින් දෙන ලද තාවකාලික සහන වල සරුව පිත්තල පොදු වැඩපිලිවෙල පාර කැපුවේ, සමාජ ජයග‍්‍රහනවලට නොව, කම්කරු පන්තියට එරෙහි පූර්න සමාජ යුද්ධයක මුලුමහත් යුගයකටය.

අන් සියල්ලටත් වඩා පීඑස් රැඳුනේ, ප‍්‍රන්ස බුද්ධි ජීවීන්ගේ පුලුල් කන්ඩායම්, මාක්ස්වාදයට එරෙහිව ගෙන ගිය යුද්ධය මතය. ඇල්ජීරියන් යුද්ධය සහ ස්ටැලින්ගේ අපරාධවලට එරෙහිව කෘෂෙව් (20 වන සම්මේලනයේ දී) කල එලිදරව්වෙන් පසුව, මා ඕ වාදය වැලඳගත් “වාම” බුද්ධිමත්තු, 1968 පාවාදුන් මහා වැඩවර්ජනයට පසුව තවදුරටත් දකුනට පැද්දෝය. සමාජ විප්ලවය ඇඟේ හැපීමෙන් භීතියට පත් ඔවුහු, කොමියුනිස්ට් පක්ෂය ඇසුරේ සිටිමින් තමන් විසින් මාක්ස්වාදය සමග කරගෙන ගිය පෙම්කෙලිය නවතා පීඑස් සංවිධානය හුවා දක්වන ජනමාධ්‍ය සමග එක්ව දේශපාලන ජාවාරමකට බැස ගත්තෝ ය.

බර්නාඩ් හෙන්රි-ලෙවි නායකත්වය දුන් “නව දාර්ශනිකයන්”ගේ පටන් පශ්චාත් ව්‍යූහවාදී මිෂෙල් ෆුකු සහ 1789 විප්ලවයේ ඉතිහාසඥ ප‍්‍රංශුවා ෆූරේ දක්වා, නානා බලවේග “සර්වාධිකාරවාදය” ට පහර දෙමින් එය වනාහි සමාජ විප්ලවයේ අනිවාර්ය ඵලය බව කියාපෑවෝ ය. කොමියුනිස්ට්වාදය, ස්ටැලින්වාදය සහ ෆැසිස්ට්වාදය යන සියල්ල ප‍්‍රතිගාමීයයි එකට අනා නම් කල “සර්වාධිකාරවාදය” යන සාවද්‍ය සංකල්පය, ඇත්ත වශයෙන් නම් ඉලක්ක කලේ, ස්ටැලින්වාදයේ හෝ ෆැසිස්ට්වාදයේ අපරාධ නොවේ. ඔවුන් එම පදය ප‍්‍රන්සයේ බොස්කේ සහ මිතරෝන් වැනි හිටපු විචි නිලධාරීන්ට හෝ මාක්ස්වාදයට එරෙහි ක්‍රෙම්ලින් ඝාතනයන්ට හෝ එල්ල කලේ ද නැත. එහි සැබෑ එල්ලය වූයේ, මාක්ස්වාදය සහ කොමියුනිස්ට්වාදය යි. ඔවුහු ඒ සඳහා ක්‍රෙම්ලිනයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිලිවෙත් පිලිබඳ දක්ෂිනාංශික විවේචනයක් යොදා ගත්තෝය; ඒ සඳහා ක්‍රෙම්ලිනයේ මර්දනයට ලක්වූවන් අතරින් වෙලඳපොලවාදී ඇලෙක්සැන්ඩර් සොල්සෙනිස්ටින් වැන්නවුන් පෙන්නා දුන්නෝ ය. අධිරාජ්‍යවාදයේ අපරාධ පිලිබඳව නිශ්ශබ්ද වූ මොවුහු සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදය පෙරලා දැමීමේ අරගලයට පරම සතුරු වූහ. සෝවියට් සංගමය තුල ප‍්‍රති-කොමියුනිස්ට්වාදයට ද එහි ධනවාදය පුනස්ථාපනය කිරීමට ද පසුව, යටත් විජිත රටවල නායකයන් “සර්වාධිකාරවාදීන්” යයි නම් කොට අධිරාජ්‍යවාදය විසින් දියත් කෙරුනු “මානවහිතවාදී” යුද්ධ වලට ද මොව්හු සහය දුන්නෝ ය.

ඔවුහු කම්කරු බලය සඳහා අරගලයට පහර දෙමින්, එයට එරෙහිව “ස්වයං-කලමනාකරනයක්” යෝජනා කලෝ ය. “ලිප්” නම් බංකොලොත් ඔරලෝසු කම්හල අල්ලාගෙන එය කලමනාකරනය කිරීමට දරන ලද අසාර්ථක ප‍්‍රයත්නයක් හා සම්බන්ධ වූ මෙම “ස්වයං- කලමනාකරන” යෝජනාව පුලුල් ප‍්‍රති-මාක්ස්වාදී අන්තර්ගතයකින් යුක්තය. පීඑස්යූ නායක මිෂෙල් රොකර්ඩ් සටහන් කල පරිදි, මෙම සංකල්පය, “අභූත” වුවත්, ”සෝවියට් සංගමය තුල පවත්වා ගෙන ගිය පාලන තන්ත‍්‍රය වැන්නක් ප‍්‍රතික්ෂේප කිරීම සමග බද්ධව තිබුන මින් කියන ලද්දේ සමාජවාදයේ මූලධර්ම මත පදනම්ව කරනු ලබන සමාජ අරගලයන්ගෙන් නිර්මානය වන්නේ, සර්වාධිකාරී රාජ්‍යයක් බවය. එහෙයින් කම්කරුවන් බලයට ආශාව හැරපියා ස්වයං කලමනාකරනයට යොමුවී ගත යුතු ය.”

පීඑස් සංවිධානයේ මිතරෝන්ට 1981 දී වේදිකාව සකස්විය. ප‍්‍රමුඛ සමාගම් ජනසතු කිරීමට සහ ජනතාව ගේ ක‍්‍රයශක්තිය ඉහල දැමීමට මිතරෝන් සපථ කලේ ය. එහෙත් බලයට පත් පසු ඔහු සිය ක‍්‍රියාමාර්ගය හැර දැමීය. ප‍්‍රන්සය සැලකියයුතු ප‍්‍රාග්ධන ඉවත ගැලීමේ තත්වයකට මුහුන දුන් නමුත් ඔහු ප‍්‍රාග්ධනය පාලනය කරන පිලිවෙත පිලිකෙව් කොට “කප්පාදු පිලිවෙතක්” ප‍්‍රකාශයට පත් කරමින්, සමාජ වියදම් කප්පාදු සහ රැකියා කප්පාදු ක‍්‍රියාත්මක කලේය.

මිතරෝන්ගේ මැතිවරන පොරොන්දු පාවාදීම, කම්කරුවන් අතර කෝපය සහ අපේක්ෂා භංගය ජනනය කලේ ය. එහෙත් අන්තිමේ දී ප‍්‍රන්සය තුල එක ද පක්ෂයක් හෝ පීඑස් ට එරෙහිව දේශපාලන වශයෙන් ස්වාධීන විප්ලවවාදී පිලිවෙතකට සටන් නොකල තතු තුල මෙම විරුද්ධත්වයට සංවිධානාත්මක ප‍්‍රකාශයනයක් පල නොවීය. මෙම අත්‍යර්ථ තත්වය ඉදිරියේ කම්කරුවන් ද ශිෂ්‍ය ව්‍යාපාරයේ සහ රාජ්‍ය නිලබල තන්ත‍්‍රයේ වරප‍්‍රසාදිත කොටස් ද අතර අගාධය ප‍්‍රගාමීව උග‍්‍රවීමෙන් කම්කරු ව්‍යාපාරය බිඳී යන්නට පටන් ගති. වෘත්තීය සමිති බිඳ වැටුන අතර, ස්ට‍්‍රයික් සහ සමිති සාමාජිකත්වය පහත වැටුනි, වෘත්තීය සමිති මෙම තත්වයෙන් ඉස්මත්තට ආවේ මහසංගත ව්‍යවසායිකයන් පෝෂිත කල පොලිසියක් හැටියටය. රැඩිකලීකෘත සුලු ධනේශ්වරය විසින් ද පීඑස් සහ එහි සගයන් විසින් ද පාලිත, සංවිධාන රොත්තක් ඇටවිනි. එවා අතර එස් ඕඑස්-රේසිස්ම් යන සංවිධානය ද ශිෂ්‍ය සංවිධාන ද විය. මේවා යෙදී ඇත්තේ පොදු ජනතාව නියාමනය කොට, අවශ්‍ය වූ විටෙක සීමිත විරෝධතා මගින් ව්‍යාපාරය දියකර හරින, ආරක්ෂක කපාට ලෙස ය.

ප‍්‍රන්සයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අර්බූදය සහ ඕසීඅයි සංවිධානය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් භේද වීම

1968 න් ඉක්බිත්තේ ප‍්‍රන්සයේ, කොමියුනිස්ට් පක්ෂයට දකුනෙන් ප‍්‍රහාර දුන් පීඑස් පක්ෂය බලයට පත් වී නම් ඒ, අන්සියල්ලටත් වඩා වමෙන් විකල්පයක් නැගී ඒම වලක්වා ලූ, ට්‍රොට්ස්කිවාදයේ අබුර්දය ද ඕසීඅයි සංවිධානයේ ද්‍රෝහිත්වය ද නිසාය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී වෙන්වූ ඕසීඅයි සංවිධානය, වමේ පෙරමුනක ඉදිරි දර්ශනය වගා කොට, පීඑස් සහ කොමියුනිස්ට් පක්ෂය සමග සන්ධානයක් සෙවීය. කම්කරු සංවිධානවල එක්සත් පෙරමුනක් යයි කියන ලද එය ඇත්ත වශයෙන් ධනේශ්වර පීඑස් ආධිපත්‍යය දැරූ කම්කරු විරෝධී කාන්ඩ ගැසීමක් විය.

මෙය වනාහි ට්‍රොට්ස්කිගේ ද ජාත්‍යන්තර කමිටුවේ ද අරගලයේ හදවතෙහිම වන, කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය සඳහා ද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ම ධනේශ්වර බලපෑම් වල ට එරෙහිව ද අරගලය, ඝෝර ලෙස උල්ලංඝනය කිරීමකි. වාම පෙරමුනේ ඉදිරිදර්ශනය වැලඳ ගත් ඕසීඅයි සංවිධානය, ගතවූ අඩ සියවස තුල, පීඑස් සංවිධානයට නතුවූ පලල් සුලුධනේශ්වර ස්ථරයට එක් වෙමින්, ප‍්‍රන්සයේ වාම ධනේශ්වර ආන්ඩුවක් පිහිටුවීමට උදව් විය.

ජාත්‍යන්තර කමිටුව 1953 දී පිහිටුවන ලද්දේ හතරවන ජාත්‍යන්තරය තුල පැබ්ලෝවාදී සංශෝධනවාදී ප‍්‍රවනතාවය ට එරෙහිව සටන් කිරීම සඳහා ය. ප‍්‍රන්සයේ එල්සීආර්/ එන්පීඒ සංවිධාන පැවැත එන්නේ, පැබ්ලෝවාදයෙන් ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර ලේකම් මන්ඩලය තුල පැන නැගී මෙම ප‍්‍රවනතාවයේ නියෝජිතයන් වූ මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩල්, තම දේශපාලන පිලිවෙතට ප‍්‍රන්ස ශාඛාවේ බහුතරය විරුද්ධ වූ නිසා, එම බහුතරය ජාත්‍යන්තරයෙන් පලවා හැරීමට මුලදී ම පියවර ගත්හ. දෙවන ලෝක යුද්ධයට පසු, පැන නැගි පෘථුල කම්කරු ව්‍යාපාරවල සහ යටත් විජිත රටවල අධිරාජ්‍ය විරෝධී ජාතික ව්‍යාපාරවල නායකත්වයන් ලෙස ඉස්මතු වූ ස්ටැලින්වාදී සහ ධනේශ්වර ජාතිකවාදී සංවිධානයන් තුලට හතරවන ජාත්‍යන්තරය ඒකාග‍්‍ර විය යුතු යයි පැබ්ලෝ සහ මැන්ඩල් ඉදිරිපත් කල මතයට විරුද්ධව හතරවන ජාත්‍යන්තරය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ඉදිරිපත් විය. ස්ටැලින්වාදීන් සහ අධිරාජ්‍යවාදීන් අතර කෙරෙන්නට යන “යුද්ධ-විප්ලව”, 1917 රුසියාවේ දී කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම තුලින් ජයග‍්‍රහනය කල ඔක්තෝබර් විප්ලවයේ තැන ගනු ඇතැයි ද එවන් ජයග‍්‍රාහී “යුද්ධ විප්ලව” මාර්ගයෙන් චීනයේ සහ නැගෙනහිර යුරෝපයේ එවකට ද ඇතිව තිබෙන ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් බඳු ඒකාධිපතිත්වයන් ඇති කෙරෙනු ඇතැයි ද, ඒවා විසින් ශත වර්ෂ ගනනක් තිස්සේ පවතින කම්කරු රාජ්‍ය බිහි කෙරෙනු ඇතැයි ද ඈත අනාගතයක දී සමාජවාදය බිහි කෙරෙනු ඇත්තේ එමගින් යයි ද පැබ්ලෝවාදීහු කියා සිටියෝ ය.

ඉතිහාසය කල් යා නොදී පැබ්ලෝ සහ මැන්ඩල් ගේ අනාවැකි බොරු කලේ ය. ඉන් දශක හතරක් ගතවීමටත් පෙර, සෝවියට් සංගමයේ, චීනයේ සහ නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍ර, ධනවාදය පුනස්ථාපනය කල අතර යටත් විජිත රටවල ජාතිකවාදී පාලන තන්ත‍්‍රයෝ කෙලින්ම ආධිරාජ්‍යවාදී මූල්‍ය ප‍්‍රාග්ධනය ට දොරවල් හැර දුන්නෝය.

ඉන් පෙරාතුවම ඇතිවූ සිදුවීම්; පැබ්ලෝවාදයේ ප‍්‍රතිවිප්ලවවාදී ක‍්‍රියාකලාපය හෙලිදරව් කලේය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැබ්ලෝවාදීන්ගෙන් බිඳී වෙන්වුනේ, ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය 1953 මහා වැඩ වර්ජනය පාවාදීමට මාස කිහිපයකට පෙර ය. පැබ්ලෝවාදීහු එම තත්වයට අනුගත වූ හ. 1962 යුද්ධයෙන් මතුව ආ ඇල්ජීරියානු ධනේශ්වර රෙජීමයේ ස්වභාවය ද යටත් විජිතවල ධනේශ්වරයට අනුගතවීමේ පැබ්ලෝවාදී ඉදිරිදර්ශනයේ බංකොලොත් කම හෙලිදරව් කලේය. ඇල්ජීරියාවේ මෙසලි හද්ජ්ගේ ජාතික ව්‍යාපාරයත් සමග සාකච්චා මගින් එරට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයක් වර්ධනය කරගැනීමට අසාර්ථක උත්සාහයක් දැරූ ඕසීඅයි සංවිධානය ට වෙනස්ව පැබ්ලෝවාදියෝ, එරට තුල ව්‍යාපාරයක් වත් වර්ධනය කිරීමට කටයුතු නොකලේ ය. ඒ වෙනුවට ඔවුන් කලේ හොර සල්ලි මුද්‍රනය කොට ජාතික විමුක්ති පෙරමුනට (එෆ්එල්එන්) ජාතිකවාදී ආන්ඩු අතරින් ආයුධ සපයා දීමට කටයුතු කිරීමය. බූමේදියන් ගේ කුමන්ත‍්‍රනයට ටික කලකට පසු එරට හැර යනතෙක් පැබ්ලෝ, පාලන තන්ත‍්‍රයේ උපදේශකයෙකු ලෙස කෙටි කාලයක් කටයුතු කලේ ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පවත්නා ස්ටැලින්වාදී සහ ධනේශ්වර ජාතිකවාදී බලවේගයනට පැබ්ලෝවාදීන්ගේ අනුගත වීම, මාක්ස්වාදයට එල්ල කල සුලු ධනපති ප‍්‍රහාරයක් ලෙස හඳුනා ගනිමින් ඊට විරුද්ධ විය. අධිරාජ්‍යවාදය හා ස්ටැලින්වාදී ආන්ඩු අතර ගැටුමට දේශපාලනය ලඝු කිරීමෙන් පැබ්ලෝවාදය, සම්භාව්‍ය මාක්ස්වාදයේ මුඛ්‍ය බලවේගය වූ ජාත්‍යන්තර කම්කරු පන්තිය අනදාල තත්වයකට ඇද දැම්මේ ය. එපමනක් නොව, ප‍්‍රන්ස ධනපති පන්තිය තුල පැතිරගිය බොහෝ මත, පැබ්ලෝවාදීන් විසින් ද ගිලගන්නා ලදී. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අඛන්ඩ ස්වාධීන පැවැත්ම කෙරේ පැබ්ලෝවාදය දැක්වූ උග‍්‍ර විරුද්ධත්වය, මාක්ස්වාදයේ කේන්ද්‍රීය දේශපාලන උපකරනය වන විප්ලවවාදී කම්කරු පක්ෂය කෙරේ පුලුල් ලෙස පැතිර පැවති සුලුධනපති අගතීන් පිලිබිඹු කලේය.

ප‍්‍රන්ස ශාඛාවේ බහුතරය පැබ්ලෝවාදය ට එරෙහි වූ නමුත් එය ටිකෙන් ටික හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කෙරේ සංශයවාදී ආකල්පයක් ගැනීමට පටන් ගත්තේ ය. 1966 හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ තුන්වන සම්මේලනය තුලට එහි ප‍්‍රන්ස ශාඛාව වූ ඕසීඅයි, වොයි උඉයේ (වී ඕ) සංවිධානය නියෝජනය කරන කන්ඩායමක් ද ගෙන ආ අතර, හතරවන ජාත්‍යන්තරය “යලි ගොඩනැගීම” ගැන කතා කරන්නට පටන් ගත්තේ ය. මෙම “යලි ගොඩනැගීමේ” සූත‍්‍රය පෙන්නුම් කලේ ජාත්‍යන්තර කමිටුව පැබ්ලෝවාදයට එරෙහිව කල සටනේ අප‍්‍රතිහත භාවයෙන් පසුබා යාමකි; එය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සුලුධනේශ්වර කොටස් වෙතට නැඹුරු වීමකි.

ඕසීඅයි සංවිධානය 1968දී ශිෂ්‍ය ව්‍යාපාරය කම්කරුවන්ගේ විරෝධතා දෙසට හැරවීමට යත්න දරමින් නැන්ටෙස්හි සුඩ් ගුවන් යානා කම්හලේ ප‍්‍රධාන වැඩවර්ජනයක් කැඳවුම් කලේය. එය, එම තත්වය මහා වැඩවර්ජනය පුපුරා යාමට තුඩු දුන්නේය. එහෙත් ඕසීඅයිය, සිය ඉල්ලීම් වෘත්තීය සමිතිවාදයේ මට්ටමට කප්පාදු කරමින්, සියලු කම්කරු පක්ෂ සහ වෘත්තීය සමිති යලි-කාන්ඩ ගැසීමක ට යොමු කරන මධ්‍යම ස්ට‍්‍රයික් කමිටුවක් ගොඩනගන ලෙස ඉල්ලා සිටියේය. ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයට සහ එහි සීජීටී වෘත්තීය සමිති සංවිධානයට බලය ගැනීමට බල කිරීම මගින් ද බලය අල්ලා ගැනීමේ ප‍්‍රශ්නය කම්කරුවන්ට ඉදිරිපත් කරමින් ද කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රතිවිප්ලවවාදී පිලිවෙත එලිදරව් කොට, කම්කරු පන්තියේ දේශපාලන නායකත්වය සියතට ගැනීම සඳහා සටන් කිරීම මග හැරීම ගැන, බ්‍රිතාන්‍යයේ එස්එල්එල් සංවිධානය ඕසීඅයිය නිවැරදි ලෙස විවේචනය ට ලක්කලේ ය. 1968න් පසුව නිර්මානය වූ රැඩිකල්වාදයේ නැගීම මගින් පක්ෂය වෙත ප‍්‍රධාන කොටම තරුන සිසුන් නව සාමාජිකයින් ලෙස බැඳෙන්නට පටන් ගැනීමත් සමග ඕසීඅයි සංවිධානයේ වඩ වඩාත් මාධ්‍යමික හා සංශයවාදී දිශානතිය ඇති කලේ මාරක ප‍්‍රතිපල ය.

1971 දී එස්එල්එල් සහ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා බහුතරය ඕසීඅයි සංවිධානයෙන් භේද වන බව ප‍්‍රකාශයට පත් කලේය. ඕසීඅයියේ අවස්ථාවාදය පිලිබඳ ව එස්එල්එල් සංවිධානය කල විවේචන බෙහෙවින් නිවැරදි විය. හොර රහසේ ඕසීඅයියේ සහ පීඑස් හි එකවිටම සාමාජිකත්වය දැරූ ලයනල් ජොස්පින් ගේ විකාශනයෙන් මෙය පැහැදිලි වෙයි. ඔහු මිතරෝන් ගේ ප‍්‍රධාන සහායකයෙක් බවට පත්ව පසුව ප‍්‍රන්ස අගමැති වීම දක්වා ද ගමන් කලේ ය.

එසේ වුව ද එස්එල්එල් ඕසීඅයි සමග භේදය කරා ගමන් කලේ, දේශපාලන ප‍්‍රශ්න පිලිබඳ සාරභූත හා අත්‍යවශ්‍ය පැහැදිලි කිරීමක් සමග නොවේ. එ පමනක් නොව එය ප‍්‍රන්සය තුල වෙනම පක්ෂයක් ගොඩනැගීමට වැඩ කලේ ද නැත. ඕසීඅයිය තුලින් කාර්ය ධරයන් දිනා ගැනීමට වැඩකලේ ද නැත. සාරභූත දේශපාලන ප‍්‍රශ්න පෙර ලොප් කල මෙම අකාල භේදය, ප‍්‍රන්සයේ මුලුමහත් ඉතිහාස කාලපරිච්ඡේදයක් පුරාම සංවිධානගත දේශපාලන ප‍්‍රවනතාවයක් හැටියට පැවති ට්‍රොට්ස්කිවාදය අහෝසි කර දමන ලද අතර බ්‍රිතාන්‍ය තුල එස්එල්එල්ට ද එහි බරපතල දේශපාලන විපාක ගෙන ආවේය.

ඕසීඅයි පීඑස් සමග දිගු දේශපාලන සන්ධානයකට එලඹීම වනාහි ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය සහමුලින්ම ප‍්‍රතික්ෂේප කිරීමකි. ට්‍රොට්ස්කිවාදය ද කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය ද සඳහා අරගලය අතහැර දැමූ ඕසීඅයි සංවිධානය, ධනේශ්වර පක්ෂයක් බවටම පරිවර්තනය විය. 1981 මිතරෝන් ජනාධිපති වීමෙන් මෙපිට පීඑස් තම අධිපති භූමිකාව පිහිටුවා ගත් රාමුව වූයේ, වාමාංශික හවුල පිලිබඳ ඉදිරි දර්ශනය යි. ඕසීඅයි එයට අනුගත විය. සිය සාමාජිකයන් පීඑස් තුලට යැවූ ඕසීඅයි, පීඑස් තුල වෘත්තීය සමිති නිලධරයේ පාර්ශවයක් ලෙස වැඩ ආරම්භ කලේය. ඕසීඅයිය මෙම භූමිකාව ඉටු කලේ, ප‍්‍රන්සය ඇතුලත පමනක් නොවේ; ජාත්‍යන්තරව ද මේ ජාතියේ කම්කරු-විරෝධී පක්ෂ පිහිටුවා ගැනීමට එය උදව් කලේය. මෙය නරකම ආකාරයට සිදු කරන ලද්දේ ලතින් ඇමරිකාව තුලය. ඕසීඅයිය බ‍්‍රසීලයේ දී ව’කර්ස් පාටි නැමති පක්ෂය පිහිටුවීමට ක‍්‍රියා කලේ ය. මෙවන් ධනේශ්වර පක්ෂ තුලට දියවී යාමේ දී මෙම ලොම්බෙයර්වාදීන් යෙදී ගත්තේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට සාමාජිකයන් දිනාගැනීමට නොව, ප‍්‍රන්ස, බ‍්‍රසීල සහ ජාත්‍යන්තර ධනපතියන්ට දේශපාලන ආවරන තනාගැනීම උදෙසා සේවාකම් කිරීමට ය.

1971 භේදය අවධියේදී ඕසීඅයි සංවිධානය, 1968 දී තමන් දැරූ වෘත්තීය සමිතිවාදී පිලිවෙත හා පීඑස් වෙතට තම හැරීම ආරක්ෂා කලේ ය. ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයේ ද එහි සීජීටී වෘත්තීය සමිති සංවිධානයේ ද ආන්ඩුවක් යන සටන් පාඨය එවකට මතු කරන ලද්දේ නම් එයින් කම්කරු පන්තිය භේද වනු ඇතැයි ඕසීඅයිය තර්ක කලේ ය. එය එවකට ඕසීඅයිය සහාය දිනාගෙන සිටි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෘත්තිය සමිති සංවිධාන හුදෙකලා කොට, කම්කරු පන්ති සංවිධානවල එක්සත් පෙරමුනක් සඳහා අරගලයට වල කපනු ඇතැයි ඕසීඅයි තර්ක කලේය. මෙය, 1968 දී සටන්කාමී කම්කරුවන් අති මහත් සංඛ්‍යාවක් විප්ලවවාදී පිලිවෙතක් සඳහා යොමු වී සිටියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර සමිති වෙත නොව කොමියුනිස්ට් පක්ෂය වෙත බව නොතකා හැරියා පමනක් නොව ඕසීඅයිය, ධනේශ්වර පක්ෂයක් වූ පීඑස් සංවිධානය කම්කරු පක්ෂයක් යයි එහි පන්ති ස්වභාවය පිලිිබඳ සාවද්‍ය නිගමනයකට ද එලඹුනේය.

ජාත්‍යන්තර කමිටුව කවිපයෙන් භේදවීම

1971 දී ආකූල හේතු මත ඕසීඅයියෙන් භේදවීමෙන් ඉක්බිතිව එස්එල්එල් සංවිධානය බ්‍රිතාන්‍ය තුල ද ඒ ජාතියේම පිලිවෙත් අනුගමනය කලේය. කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) යන අලුත් නමක් ගත් එස්එල්එල් සංවිධානය, එඩ්වඩ් හීත් ගේ කොන්සර්වේටිව් ආන්ඩුව ට එරෙහි නැග ආ මහජන විරෝධය හමුවේ වැඩී ගිය නමුත් පැබ්ලෝවාදයට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ අරගලය යට ගසන්නට පටන් ගත්තේ ය. 1974 දී ලේබර් පක්ෂය බලයට පත්වීමෙන් පසුව, කම්කරුවන් අතර තවදුරටත් පක්ෂයේ වර්ධනය සහතික කරගැනීම අසීරු වූ කල්හි කවිපය, ජාත්‍යන්තර කමිටුවේ සෙසූ සාමාජික සංවිධාන වලට හොරෙන් සහාය සොයා, කම්කරු පන්තියෙන් පිටස්තරව, තුන්වන ලෝකයේ ජාතිකවාදී සංවිධාන කරා ද වෘත්තීය සමිති නිලධරය සහ දේශපාලන සංස්ථාපිතයේ කන්ඩායම් කරා ද හැරී ගත්තේ ය.

කවිපයේ පරිහානියට ජාත්‍යන්තර කමිටුව තුල පැනනැගි විරුද්ධත්වය කූට ප‍්‍රාප්ත වූයේ ජාත්‍යන්තර කමිටුව සමග සහයෝගී වූ ඇමරිකානු පක්ෂය වන වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ඩේවිඩ් නෝර්ත් 1982 දී ඒ පිලිබඳ සිය දේශපාලන සහ න්‍යායික විවේචන සූත‍්‍රගත කිරීමත් සමග ය. 1985 දී, කවිපය තුල කන්ඩායමික අරගලයක් පුපුරා ගිය තතු තුල, ජාත්‍යන්තර කමිටුව සිය බ්‍රිතාන්‍ය ශාඛාව හැටියට එම පක්ෂය තහනම් කොට, එහි සාමාජිකයන් අතුරෙන්, ජාත්‍යන්තර කමිටුවේ අධිකාරය හා ඉදිරිදර්ශනය පිලිගත් අය පමනක් ජාත්‍යන්තර කමිටු සාමාජිකයන් ලෙස ලියාපදිංචි කලේ ය. ජාත්‍යන්තර කමිටුව, කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේද? 1973-1985 යන කෘතියත්, කවිප ලේකම් මයිකල් බන්ඩා ට්‍රොට්ස්කිවාදයට එරෙහිව කල විෂ සහගත ප‍්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීමේ සටන විදහා දක්වමින් ඩේවිඩ් නෝර්ත් විසින් ලියන ලද විචාරාත්මක පිලිතුර වන, අප රක්නා උරුමය නැමති කෘතියත් ප‍්‍රකාශයට පත් කලේය. කවිප කම්කරු හා වෘත්තීය සමිති නිලධරයට අනුගත වෙමින් ධනපති ජාතිකවාදය වැලඳ ගත්තේ කෙසේ දැයි ජාත්‍යන්තර කමිටුව මේ ලිපි ලේඛන මගින් පෙන්වා දුන්නේ ය.

එක අතකින් කම්කරු පන්තිය ද අනෙක් අතට ජාතික හැඩ ගැස්මකින් යුතු කම්කරු ව්‍යාපාරයේ පැරැනි නිලධරයන් හා ඔවුන්ට අනුව හැඩ ගැසුනු සුලු ධනේශ්වර සංශෝධනවාදීන් ද අතර වෛෂයික ඝට්ටනය පෙර නුවූ විරූ මට්ටමකට උග‍්‍ර වනවාත් සමගම ජාත්‍යන්තර කමිටුවල සුලුධනේශ්වර සංශෝධනවාදයට එරෙහිව බලගතු දේශපාලන ප‍්‍රති ප‍්‍රහාරයක් එල්ල කලේ ය. 1981 පැට්කෝ වැඩවර්ජනය, 1984-85 බ්‍රිතාන්‍ය පතල් කම්කරුවන්ගේ මහා වර්ජනය සහ අන් සියල්ලටමත් වඩා සෝවියට් අගමැති මිහයිල් ගොර්බචෙව් විසින් පෙරස්ට්‍රොයිකා නමින් දියත් කැරුනු වෙලඳපල ආර්ථික ප‍්‍රතිසංස්කරන ද මීට ඇතුලත් ය.

සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමට ආසන්න සමය පෙන්නුම් කලේ, එල්සීආර්, සහ ඕසීඅයි වැනි දකුනට පදින සුලු ධනේශ්වර කන්ඩායම් වලින් ජාත්‍යන්තර කමිටුව වෙන් කෙරුනු අගාධය කොතරම් ගැඹුරුද යන්නයි. ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් සමග පෙලගැසුනු මෙම සංවිධාන, නිලධරය විසින් කරන ලද ප‍්‍රජාතන්ත‍්‍ර ප‍්‍රතිසංස්කරනයක් ලෙස පෙරස්ත්‍රොයිකාව හුවා දැක්වූහ. ස්ටැලින්වාදී නිලධරය, කම්කරු පන්තිය විසින් පෙරලාදමනු නොලැබී නම්, අන්තිමේදී ඔවුන් සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීම සඳහා පියවර ගැනීම නොවැලැක් විය හැකි යයි පෙන්වාදී තිබුනු ට්‍රොට්ස්කි ගේ ලියවිලි මත පාදකවූ ජාත්‍යන්තර කමිටුව මේ පිලිබඳව අනතුරු ඇඟවීය.

චීනය තුල ද නැගෙනහිර යුරෝපය තුල ද ධනවාදය පුනස්ථාපනය කිරීම ද අන්තිමේදී 1991 දි සෝවියට් සංගමය විසුරුවා හැරීම ද සලකුනු කලේ ඓතිහාසික සහ දේශපාලන දියබෙත්මකි. ස්ටැලින්වාදයේ ප‍්‍රතිවිප්ලවවාදී වැඩ සටහන ගැන, අඩ සියවසකට පෙර ට්‍රොට්ස්කි කර තිබුනු අනතුරු ඇඟවීම මුලුමනින්ම සනාත වී ය. 1968න් පසුව එන්ට එන්ටම මහජන සහයෝගය නැතිව ගිය යුරෝපිය ස්ටැලින්වාදී පක්ෂ බිඳ වැටුනි. ධනේශ්වර පශ්චාත් සෝවියට් සමූහාන්ඩුවල කාර්මික සහ ආර්ථික ජරපත්වීම සහ මැරවර කතිපයාධිකාරීන් බලයට පැනගැනීම නොතකා හල ප‍්‍රතිගාමියෝ, මේ වනාහි ඉතිහාසයේ අවසානය යයි ද ධනවාදයේ විජයග‍්‍රහනය යයි ද ප‍්‍රකාශයට පත් කලෝ ය.

මෙම බලවේගවලට එරෙහිව ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේ, ධනවාදය පුනස්ථාපනය, නිසැකව ම ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි පහරක් වන අතර එය, ඔවුන් මීට සියවසකට පමන පෙර ඇරඹු අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගය අවසන් නො කරන ලද බවය. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන්, මාක්ස්වාදය කල්තබා හඳුනාගනු ලැබූවා වූ, ධනවාදයේ අතිමූලික ප‍්‍රතිඝතිතා විසඳනු ලැබුවේ නැත. ඒ වෙනුවට සිදුවුයේ සත්තකින්ම, සෝවියට් සංගමය විනාශ කර ධනවාදය පුනස්ථාපනය කිරීමට සෝවියට් නිලධරය ඇද දැමූ එම ප‍්‍රවනතාවන් ම හා භු දේශපාලන ඝට්ටනයන් ම ලෝක අධිරාජ්‍යවාදී පද්ධතිය ට වල කපමින් තිබුනු බව ය.

උත්සන්න වන සමාජ අර්බුදය ගෝලීය අධිරාජ්‍යවාදී පද්ධතියේ ගැඹුරු වන අර්බුදයක් සමග අත්වැල් බැඳ ගනියි. ගෝලීයකරන සන්තතීන් සහ ඉන් ජනිත වූ ආර්ථික බලයේ යලි බෙදාහැරීම, කම්කරුවන්ගේ ජීවන තත්වයන් කාබාසිනියා කර ඇතුවා පමනක් නොව, ඇමරිකාවේ ලෝක ආධිපත්‍යයේ වෛෂයික පදනමට ද වල කපා ඇත. සිය තරඟකාරී සුපිරි බලවතා ඉකුත්ව යාම, තමන්ගේ සාපේක්ෂක ආර්ථික පරිහානිය තම මිලිටරි සුපිරි බලය තුලින් විසඳාගත හැකිය යන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ උමතු සිහිනය ද තර්ජනය ට ලක් කර ඇත. සිය යුද බලය මගින් මැද පෙරදිග සහ මධ්‍යම ආසියාවේ ආධිපත්‍යය ලබාගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය දරන ලද ප‍්‍රයත්න තුඩුදී ඇත්තේ ව්‍යසනයන්ටම පමනි. නිෂ්පාදනයේ ගෝලීකරනය ඉකුත් දශකවල ලෝක යුද්ධ හා විප්ලව ලෙස පුපුරා ගියාවූ සියලු ප‍්‍රතිඝතිතාවන් වලිප්පු සහගත තත්වයකට පත්ව තිබුන ද ජාතික වශයෙන් පදනම්වූ ආර්ථික ජීවිතයේ පැරනි තත්වයන්ට පෙරලා එලඹීම කල නොහැකි ය. ලෝක සමාජවාදී විප්ලවයේ වෛෂයික පදනම පවතින්නේ මෙහිය.

ආර්ථික ගෝලීකරනය ද සමග වැඩෙන අන්තර්ජාතික සංගත, උපරිම ලාභය උදෙසා ජාත්‍යන්තර සම්පාදන ජාල මගින් කෙරෙන නිර්දය අරගලයක නිරත ව සිටින සැටි ජාත්‍යන්තර කමිටුව පෙන්වාදුනි. මෙම සන්තතියේ ප‍්‍රතිඵලය වූයේ, ජාතික මට්ටමේ සිට ආර්ථික පිලිවෙත් සකසා ගැනීම හෝ වැටුප් හා සේවා කොන්දේසි සඳහා කේවෙල් කිරීමත් තවදුරටත් කල නොහැකි වීමයි. පැරනි යටත් විජිත රටවල ධනේශ්වරයේ “ජාතික සංවර්ධන මූලෝපාය” සහ වෘත්තීය සමිති නිලධරය ජාතික පදනමක කරගෙන ගිය කේවෙලය සහ ස්ටැලින්වාදයේ ස්වයං-සීමිත උපනතීන් යන මේ සියල්ල යල් පැන ගියේය. දැන් ඔවුන් වැඩි වැඩියෙන් එලිපිටම ක‍්‍රියාත්මක වන්නේ, වැටුප් හා සේවා තත්වයන් කප්පාදු කිරීම මගින් අන්තර් ජාතික මූල්‍ය ප‍්‍රාග්ධනයේ ලාභ තර කර දීමට තරක් වෙන කම්කරු කොන්ත‍්‍රාත්කරුවන් ලෙස ය.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දී ඇති තීරනාත්මක ප‍්‍රශ්නය නම්, විප්ලවවාදී නායකත්වයේ ද දේශපාලන සහ ඓතිහාසික ඉදිරි දර්ශනයේ ද අර්බුදයයි. නව අවධියේ දී ජාත්‍යන්තර කමිටුව, සමාජවාදී විඥානයේ වර්ධනයට පදනම දැමීමට ද කම්කරු පන්තිය තුලට සමජවාදී විඥානය ගෙන යාමට ද සටන් වැදුනි. ස්ටැලින්වාදයට සහ සෝවියට් සංගමය විසුරුවා හැරීමට සමාජවාදී විකල්පයක් නැතිය යනුවෙන්, ට්‍රොට්ස්කි හෙලාදකින ලද, ඓතිහාසික මුසාකරනයේ පශ්චාත් සෝවියට් ගුරු කුලයේ ශාස්ත‍්‍රාලික නියෝජිතයන් ඛන්ඩනය කිරීමට එය අප‍්‍රතිහතව සටන් වැදුනි.

එතෙක් සංගම් ලෙස සංවිධානයව පැවතුනු ජාත්‍යන්තර කමිටුවේ ජාතික ශාඛා සියල්ල 1995 දී, සමාජවාදී සමානතා පක්ෂ ලෙස ප‍්‍රති සංවිධානය විය. මෙම ආරම්භකත්වයට යටින් පැවතුනේ, කම්කරු පන්තිය කෙරේ ජාත්‍යන්තර කමිටුවට පැවති සංකල්පයේ පරිවර්තනයකි. ජාතික වශයෙන් පදනම්වී ගත් සංවිධාන, විවෘතවම කම්කරු-විරෝධී පිලිවෙත්වලට හැරීම සහ කම්කරු පන්තිය තුල ඔවුන්ගේ පදනම් බිඳවැටීම පෙන්වාදුන් ජාත්‍යන්තර කමිටුව, මෙම සංවිධාන වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම මගින් කම්කරු පන්තිය අලුතෙන් මෙහෙයවා ගැනීමට හෝ ඒවා තුලින් කම්කරුවන් දිනා ගැනීම හෝ කල නොහෙන බව පෙන්වාදුනි. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය පෙන්වාදුන් පරිදි.......“ලෝකය පුරා කම්කරු පන්තිය මුහුනදී සිටින්නේ, පූර්ව අවධියේදී තමන් විසින් ගොඩනගාගත් වෘත්තීය සමිති, පක්ෂ හා රාජ්‍යයන් පවා, අධිරාජ්‍යවාදයේ සෘජු උපකරන බවට පරිවර්තනය වී තිබෙන තත්වයකටය. පන්ති අරගලය දේශනා කරමින් පන්ති අතර බෆරයක් ලෙස කටයුතු කල නිලධාරිතන්ත‍්‍රයන්ගේ පැරනි අවධිය නිමාවී ඇත....

අනෙකුත් අය කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳිය යුතු බව කියා සිටිමින් තවදුරටත් කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳිය නොහැකිය. නව පක්ෂයක් අවශ්‍යවී ඇත්නම් අප එය ගොඩනැගිය යුතුය.

ජාත්‍යන්තර කමිටුව 1998 දී අන්තර්ජාලය තුලින් සමාජවාදී දිනපතා ප‍්‍රකාශනය ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කලේ ය. එය තුලින් ජාත්‍යන්තර කමිටුවේ ශාඛා, සාමූහිකව පොදු දේශපාලන පිලිවෙතක්, විශ්ලේෂනයක්, ඉදිරිදර්ශනයක් සහ ලෝක කම්කරු පන්තියේ අරගලයන්ට නායකත්වයක් සම්පාදනය කෙරේ. අවුරුදු 18කට වැඩි කාලයක් තිස්සේ දෛනිකව පවත්වාගෙන යන ලොසවෙඅ, ලෝකයේ වැඩියෙන්ම කියවන සමාජවාදී වෙබ් අඩවිය ලෙස ස්ථාපනය වී ඇත.

ප‍්‍රන්සයේ ව්‍යාජ වමට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ අරගලය

ජාත්‍යන්තර කමිටුව ප‍්‍රන්සය තුල ව්‍යාජ වමට එරෙහිව ගෙන ගිය අරගලය ජාත්‍යන්තර කමිටුවවේ දෘඪ න්‍යායික සහ දේශපාලන කටයුතු එයට ප‍්‍රන්සය තුල මැදිහත් වීම සඳහා පදනම සම්පාදනය කර දී තිබේ. 1990 සහ 2000 ගනන් එරට තුල බරපතල පන්ති අරගල සහ සමාජ විරෝධතා පැනනැංවීය. විශ‍්‍රාම සහන කප්පාදු වලට එරෙහි වැඩවර්ජන ද 1995 මහා දුම්රිය කම්කරු අරගලය ද, මුල් රැකියා ගිවිසුම් ප‍්‍රතිව්‍යුහගත කිරීම ට එරෙහි තරුන විරෝධතා ද මේ අතර විය. මේ සමයේ දී ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය බිඳවැටුනු තතු තුල සැලකිය යුතු කම්කරුවන් ප‍්‍රමානයක් විකල්පය ලෙස ට්‍රොට්ස්කිවාදය දෙසට යොමු වූහ. එහෙත් ඔවුන් වලකන ලද්දේ එල්.සී.ආර්, එල්. ඕ, සහ ඕ.සී.අයි සංවිධානයන්ගේ ප‍්‍රතිගාමී ක‍්‍රියාකලාපය මගිනි. සෝවියට් සංගමය තුල ධනේශ්වර පුනස්ථාපනය ට ආධාර දුන් මොවුහු, යුරෝපය තුල හමගැසී තිබුනු ස්ටැලින්වාදී සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂ සමග වඩා සමීප ලෙස ගැටගැසුන අතර මාධ්‍යයට, ශාස්ත‍්‍රාලිකයට හා වෘත්තීය සමිති නිලධරයට වඩ වඩාත් ගැඹුරින් ඒකාබද්ධ වූහ. “වම්මු” ලෙස පෙනීසිටි මොව්හු, අධිරාජ්‍යවාදී යුද්ධයට, සමාජ කප්පාදුවට, සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පෑගීමට සහයෝගය දුන්නෝ ය.

2002 ජනාධිපතිවරන අර්බුදයේ පටන් පෙනෙන්නට ඇත්තේ මොවුන්ගේ බංකොලොත් කමයි. ඒ අවුරුද්දේ පීඑස් අපේක්ෂක ලයනල් ජොසපින්, පලමුවන වටයේදී ම ඉවතට විසිවූ අතර, කොන්සවේට්ව් අපේක්ෂක ජාක් චිරාක් සහ එෆ්එන් (ජාතික පෙරමුන) අපේක්ෂක ජිඉන් මේරි ලේ පෙන් අතර දෙපිලට සීමාවූ තරගයට විරුද්ධ උද්ඝෝෂන හටගත්තේය. එල්සීආර්, එල් ඕ, සහ පීටී යන කම්කරු පක්ෂය (කලින් ඕසීඅයි) සාමූහිකව ලද චන්ද ප‍්‍රමානය මිලියන තුනකි. එම අවුරුද්දේ ම, එක්සත් ජනපදය අවසානයේ 2003 දී දියත් කරන ලද නීති විරෝධී ඉරාක ආක‍්‍රමනයට එරෙහිව ජාත්‍යන්තර යුද විරෝධතා පුපුරා ගියේය. එහෙත් එල්සීආර්, එල් ඕ, සහ පීටී සමත් වූයේ තමන් ලද අවස්ථාව නැතිකර ගැනීමට පමනි.

ජාත්‍යන්තර කමිටුව ඔවුන් සමග පැවති වෙනස්කම් නොසඟවා ම, මෙම පක්ෂ තුනට විවෘත සංදේශයක් යවමින්, ප‍්‍රන්ස ජනාධිපති තරගයේ ඊලඟ වටය වර්ජනය කිරීමේ එක්සත් වර්ජක ව්‍යාපාරයක් කැඳවිය යුතු යයි කියා සිටියේ ය. අරගලය සඳහා බලමුලු ගැන්වීම සමග කම්කරුවන් සූදානම් කෙරෙනු ඇත්තේ, චිරාක් ගේ පිලිවෙත් වලට එරෙහිව සටන් කිරීමට ය. එහෙත් මෙම ඉල්ලීමට පිලිතුරු දීම මග හැරිය ඔවුන්, සරලව ම පෙල ගැසුනේ, චිරාක් වෙනුවෙන් පීඑස් ගෙන ගිය මැතිවරන ව්‍යාපාරය සමගයි. කියන ලද්දේ ඒ නව නාසීන් බලයට පත්වීම වැලැක්වීම සඳහා බවය.

මීලඟ වසර 14 ඇතුලත, පාලක ප‍්‍රභූව නව ෆැසිස්ට්වාදය දෙසට හැරෙමින් නව-යටත් විජිත යුද්ධ මාලාවක් ගෙනයද්දී ඔවුහු, චිරාක් හා පීඑස් අනුගමනය කලහ. ප‍්‍රන්ස රජය ඉරාක යුද්ධයට කලින් දැක්වූ විරුද්ධත්වය ද අතහැර දැමූ තතු තුල මේ ඊනීයා “දුරස්ත වමේ” සංවිධාන, බුර්කාවට සහ වේල් පැලඳීමට විරුද්ධ මුස්ලිම් විරෝධී නීති වලට සහාය දුන්හ. 2008 මූල්‍ය අර්බුදයත් සමග හා ජාත්‍යන්තර කම්කරු පන්තිය එම අර්බුදයට ප‍්‍රතිචාර දක්වමින් 2011 ඉජිප්තුවේ සහ ටියුනීසියාවේ දී මෙන් විප්ලවවාදී ලෙස නැගී සිටි තත්වය හමුවේ මේ ව්‍යාජ වාම කන්ඩායම්, තව තවත් දකුනට තල්ලු විය. සිරිසාව තුල ඔවුන්ගේ ග‍්‍රීක සම චින්තකයින් පසුගිය වසරේදී බලයට පත්වීමෙන් පසුව අගමැති සිප්රාස් ජනතාවට විරුද්ධව යුරෝපීය සංගමයේ කප්පාදු වැඩසටහන ක‍්‍රියාත්මක කරන විට මොවුන් ඔහුට සහාය දැක්වීය. “ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයන්” යයි සහයෝගය දුන්නේ ලිබියාවේ සහ සිරියාවේ නැටෝ යුද්ධවලට පමනක් නොවේ. යුක්රේනයේ කියෙව් නගරයේ දී සිදු කරන ලද ෆැසිස්ට්වාදී කුමන්ත‍්‍රනයට හා බල කොල්ලයට ද ඔවුහු සහාය දැක්වූහ. යුක්රේනයේ මෙම නැටෝ ගැති කුමන්ත‍්‍රනය රුසියාව සමග පූර්න-යුද්ධයක් කරා ම ඇදී යාමේ තර්ජනය මතු කරයි. එවන් පිලිවෙත් ලෝකය න්‍යෂ්ටික යුද්ධයේ ද ආර්ථික බිඳවැටීමේ ද අද්දරට ගෙනැවිත් තිබේ.

ජාත්‍යන්තර කමිටුව, මධ්‍යම පන්තියේ ඉහල ස්ථර මත පදනම් වූ මෙම කොටස් නම් කර තිබෙන්නේ ව්‍යාජ-වම්මු ලෙසයි. පශ්චාත් 1968 ශිෂ්‍ය ව්‍යාපාර තුල මුල්බැස සිටි මෙම කොටස්, කම්කරු පන්තියට සහ එහි පන්ති අරගලයට එරෙහි, ප‍්‍රති-මාක්ස්වාදීන් වන අතර, කටුක කප්පාදුවට සහ පොලිස් රාජ්‍ය පියවරවලට පක්ෂ ව, අධිරාජ්‍යවාදී යුද්ධයට සහාය දක්වති. මොවුන් කම්කරු පන්තියට අත්කර දෙන්නේ විනාශය ම පමනි. ඒ සමගම කම්කරු පන්තිය තුල පීඑස් සංවිධානය සහ ව්‍යාජ වාම සහචරයින්ට එරෙහිව පැනනැගෙන නොසන්සුන්තා, සසපය පෘථුල ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙස වැඩී යාමට අවශ්‍ය වෛෂයික කොන්දේසි සකසනු ඇත.

දෙවන ලෝක යුද්ධයට දෙවසරකට පෙර, වසර 78 ඉහත දී, හතරවන ජාත්‍යන්තරය සිය ආරම්භක සම්මේලනයේදී සම්මත කරගත් සංක‍්‍රමන ක‍්‍රියාමාර්ගය තුල ධනවාදයේ මරලතෝනිය පිලිබඳව අනතුරු ඇඟවූයේ මෙසේ ය: “ආර්ථික අර්බුදය හා සිය ආධිපත්‍යය පිලිබඳ මරු විකල්ලයේ පසුවන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඇතුලු සියලුම අධිරාජ්‍යවාදී බලවත්තු, යුද්ධය සහ ඒකාධිපතිත්වය දෙසට හැරෙද්දී ලෝක ධනවාදය, දැන් යලි වතාවක් පැටලී සිටින්නේ නොවිසඳිය හැකි ඓතිහාසික අර්බුදයකට ය. යුද්ධයේ තර්ජනය ද උග‍්‍ර සමාජ අසමානතාව ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරය ද අද ලොව අරා සිටියි. යුරෝපා සංගමය පටවන කප්පාදු පිලිවෙත් එම සංවිධානයේ ප‍්‍රතිගාමී ස්වභාවය එලිදරව් කර ඇත. නව ෆැසිස්ට්වාදය යුරෝපය තුල හිස ඔසොවමින් ඇත. මැදපෙරදිග යුද්ධ ද නැගෙනහිර යුරෝපයේ රුසියාව සමග නැටෝවේ ගැටුම් ද චීනය හුදෙකලා කිරීමේ එක්සත් ජනපද ”ආසියාවට හැරීම” ද තුලින් ලෝක යුද්ධයක තර්ජනය ඉස්මතු කෙරේ. 1938 මෙන්ම දැනුදු වාරය එලඹී ඇත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තිය ට සහ සමජවාදී විප්ලවය සඳහා අරගලයට ය.

“සමාජවාදය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය” යන මැයෙන් ජාත්‍යන්තර කමිටුව 2014 සම්මත කල යෝජනාව මෙසේ සඳහන් කරයි: “ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදී මාක්ස්වාදී ක්‍රියාමාර්ගයක පදනම මත මැදිහත් නොවුන හොත්, තවත් අධිරාජ්‍යවාදී රුධිර ස්නානයකට අවස්ථාව සැලසෙනවා පමනක් නොව, එවැන්නක් නොවැලැක්වියහැකි ද වන්නේය... කෙසේ වුව ද අධිරාජ්‍යවාදය මායිමට තල්ලු කරන්නා වූ එම ප‍්‍රතිවිරෝධයන් ම, සමාජ විප්ලවය සඳහා වෛෂයික ආවේශය ද සම්පාදනය කරයි.” එය මෙසේ පවසයි, ”ප‍්‍රමුඛ මූලෝපායික ප‍්‍රශ්නය වන්නේ, ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමයි. කම්කරු පන්තිය ජාත්‍යන්තරව එක්සත් කල හැකි, පවත්නා එකම මාධ්‍ය වන්නේ එයයි... දැන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කර්තව්‍යය වන්නේ අලුත් රටවල්වල හා ලෝකයේ අලුත් ප‍්‍රදේශවල ශාඛා ගොඩනැගීමට වැඩ කිරීමයි.

එම ඉදිරිදර්ශනයේ හා ඉතිහාසයේ පදනම මත ප‍්‍රන්සයේ සසප, සිය දේශපාලන වැඩකටයුතු වලට මග පෙන්වනු ඇති පහත දැක්වෙන මූලධර්ම ගෙනහැර දක්වයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (ප‍්‍රන්සය) මූලධර්ම ............

ජාත්‍යන්තරවාදය සහ ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක ) දේශපාලන අධිකාරය පිලිගන්නා සමාජවාදී සමානතා පක්ෂය (සසපය ) ප‍්‍රන්සයේ කම්කරුවන් හජාජාක විසින් නායකත්වය දෙනු ලබන ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගයට දිනාගැනීම සඳහා වැඩ කරයි. මහජනතාව දැනුවත් දේශපාලනයට පිවිසීම සලකුනු කරන්නා වු සමාජවාදී විප්ලවය, මනුෂ්‍ය වර්ගයා සාමාජිකව පන්ති වලට බෙදී පැවතීම අවසන් කොට, මිනිසුන් විසින් තවත් මිනිසුන් සූරා කෑම අවසන් කිරීම සලකුනු කරයි. ප‍්‍රන්සය තුල සසපයේ කර්තව්‍යය වන්නේ, කම්කරු පන්තිය පන්තියක් ලෙස බලමුලුගන්වමින්, දේශපාලන බලය අල්ලා ගෙන, සමාජවාදී වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන කම්කරු ආන්ඩුවක් යුරෝපයේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක කොටසක් ලෙස පිහිටුවීම ය.

ධනේශ්වර රාජ්‍යයේ ව්‍යූහයන් තුල ට සමාජවාදීන් තෝරා පත්කර ගැනීම මගින් කම්කරු පන්තියට බලය අත්පත් කරගත නොහැකි ය. සැබැවින් ම කම්කරු පන්තික බහුතරය නියෝජනය වන පරිදි, මහජන විප්ලවවාදී අරගලය මධ්‍යයේම නිර්මානය කර ගනු ලබන්නා වූ සහභාගික ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නවමු සංස්ථාවන් ය කම්කරු ආන්ඩුවේ අත්තිවාරම ලෙස වර්ධනය කරගත යුතු වන්නේ. එවන් ආන්ඩුවක් විසින්, ආර්ථික ජීවිතය සමාජවාදී ලෙස සැලසුම් කිරීමට අත්‍යවශ්‍ය පියවර ගන්නවාත් සමග ම, කම්කරු පන්තික ජනසම්මත පරිපාලනය ඉමහත් ලෙස ප‍්‍රසාරනය කෙරෙනු ඇත. එවන් පරිවර්තනයක් අත්පත් කරගත හැකිවන්නේ, කම්කරු පන්තිය සමාජවාදී විඥානයෙන් සන්නද්ධ කොට මහා පරිමානයෙන් බලමුලුගැන්වීමේ සන්දර්භය තුල ම පමනක් වේ. මෙය සැබවින් ම මානවයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ වර්ධනය උදෙසා වෛෂයික කොන්දේසි නිර්මානය කර දෙමින් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමානතාවාදී, සමාජවාදී සමාජයක් සඳහා විෂයබද්ධ පූර්වසාධක නිර්මානය කරයි. අවසාන අරමුන සාක්ෂාත් කරගත හැක්කේ එකම ආකාරයකින් පමනි. එනම් ගෝලීය වශයෙන් එකාග්‍රිත ධනවාදය යටතේ ගොඩනැගී ඇත්තාවූ නිෂ්පදන බලවේග, මානව වර්ගයාගේ සමාජ අවශ්‍යතා සාක්ෂාත් කිරීම සඳහා ජන සම්මතයෙන් යොදාගැනීමේ සහ ප‍්‍රසාරනය කිරීමේ කර්තව්‍යය අධීක්ෂනය කිරීමේ කර්තව්‍යය ඉටු කරන, ලෝක කම්කරු රාජ්‍ය සාමූහිකයක් නිර්මානය කිරීමට ලෝකයේ සියලුම රටවල කම්කරුවන් එක්සත් කරන ජාත්‍යන්තර අරගලයක් තුලින් ම පමනි. නොනවතින විප්ලවයේ න්‍යාය තුල ට්‍රොට්ස්කි පැහැදිලි ලෙසම ලියා තැබූ පරිදි, “සමාජවාදී විප්ලවය ජාතික කරලිය තුල ඇරඹේ, ජාත්‍යන්තර කරලිය තුල විකසිත වේ, ලෝක තලය තුල සම්පූර්න කෙරේ. මේ අනුව සමාජවාදී විප්ලවය වචනයේ නව පෘථුලතම අර්ථයකින්, නොනවහින විප්ලවයකි. එය පරිපූර්නත්වය හා සැබෑ ජයග‍්‍රහනය ලබන්නේ ද අපගේ සමස්ත ග‍්‍රහලෝකයම තුල අවසාන ජයග‍්‍රහනය අත්පත් කරගැනීම ලෙසටම පමනි.”

කම්කරුවන්ගේ දේශපාලන දෘෂ්ටි පථය ජාතික දේශසීමාවෙන් ඔබ්බට ඔසොවා ලීමට නොනැවත සටන් වදින සසප, ප‍්‍රන්සයේ කම්කරුවන්ගේ අරගල ලෝක සමාජවාදී විප්ලවයේ මෝදු වෙමින් පවත්නා සන්තතියට අවියෝජනීයවම බැඳී ඇති බවත්, ඒවායේ ජයග‍්‍රහනය සඳහා ජාත්‍යන්තර මූලෝපායක් සහ ඉදිරිදර්ශනයක් අවශ්‍ය බවත් කම්කරුවන්ට පැහැදිලි කරදීමට සටන් කරයි. වර්ගය, ජාතිකත්වය, භාෂාව, ආගම, ලිංගිකත්වය, හෝ ලිංගික මනාපය මත භේද භින්න කිරීමට එරෙහිව, තමන් තෝරාගත් රටක පූර්න පුරවැසි අයිතීන් සහිතව ජීවත් වීමට ද වැඩ කිරීමට ද උගැනීමට ද සියලු සරනාගයින්ට සහ සංක‍්‍ර මනිකයන්ට පවත්නා අයිතිය ආරක්ෂා කරන සසප, සිය පිලිවෙත පදනම් කරන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස එක්සත් කිරීම මත ය.

පන්ති සමාජය අහෝසි කිරීම සමස්ත යුගයේම කර්තව්‍යය යි. එම සමස්ත යුගයේම ඉතිහාසය, එනම්, කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය ඉවත ලා, ජාතිකවාදය වැලඳ ගත් සෝවියට් නිලධරය පදනම්කොට ගෙන ඔක්තෝබර් විප්ලවය පාවාදුන් ස්ටැලින්වාදයට එරෙහිව, ට්‍රොට්ස්කිගේ අරගලය සහ ට්‍රොට්ස්කිවාදයේ අඛන්ඩතාවය සඳහා හජාජාක විසින් කරන ලද අරගලය මත සසපයේ මුලු පිලිවෙතම පදනම්ව ඇත්තේ එහෙයිනි.

අර්බුදය

ධනවාදය සහ එහි ආර්ථික පදනම් වලින් පැනනගින අධිරාජ්‍යවාදී ලෝක පද්ධතිය, දිලිඳු බවේ ද සූරා කෑමේ ද ප‍්‍රචන්ඩත්වයේ ද මානව වධ වේදනා වල ද මූල හේතුව වන්නේය. ලෝක යුද්ධ දෙකක් ද ඇතුලු ගනන් නැති ලේවැකි යුද්ධ ද යුරෝපය අරාගත් ෆැසිස්ට් එකාධිපතිත්වයන් ද ඇතුලත් 20 වන ශතවර්ෂයේ ලේ වැකි ඉතිහාසය වනාහි, ධනවාදයට එල්ලවූ නොබිඳිය හැකි චෝදනා පත‍්‍රයකි.

මුලුමහත් ලෝකයේ සමස්ත ජනතාවට ම ඉහල මට්ටමක ජීවන තත්වයන් සහතික කර ගැනීම සඳහා නූතන සමාජය අතැති ඉමහත් නිෂ්පාදන බලවේගයන් සහ තාක්ෂනික ජයග‍්‍රහනයන් ඇති තරම් සෑහෙන්නේය. එහෙත් ධනේශ්වර සමාජය එහි ආර්ථික, සමාජික, සංස්කෘතික සහ පාරිසරික ගැටලු එකක් හෝ විසඳා ගැනීමට අසමත් ය. ඒ වෙනුවට සිදු කෙරෙන්නේ, මහා අවපාතයෙන් මොබ එලඹ ඇති ලෝක ධනවාදයේ ගැඹුරුම අවපාතය මැද්දෑවේ, පලල් මහජනතාවගේ ජීවන තත්වය පාතාලයට ඇද දැමීමයි. සමාජ අසමානතාවය ඉමහත් ලෙස ගැඹුරුවී ඇත. බහු බිලියන පතියන් දුසිම් කිහිපයක් අත සමස්ත ලෝක ජනගහනයෙන් පහල සියයට 50 මුලු ධනයට වැඩි ප‍්‍රමානයක් ගොඩ ගැසී තිබේ. ධනවත්ම සියයට 1 ක් දෙනා අත සෙසු ලෝකයාටම හිමි ධනයට සමාන ධනයක් ගොඩ ගැසී පවතී.

මානව සංස්කෘතිය, ඉදිරි දර්ශනයක් හෝ අනාගත අපේක්ෂාවකින් තොර කරනු ලැබ ඇත. මිනිසා වනචාරීත්වයට සහ යුද්ධයට ඇද දමනු ලැබ තිබේ. මෙම අර්බුදයට විසඳුම පවත්නේ, ධනවාදය පිලිසකර කිරීම තුල නොවේ; තවත් නම් පිලිසකර කල නොහැකි තත්වයකට වැටී ඇති එය පෙරලා දැමිය යුතුව ඇත. ධනවාදය විසින් වැඩවසම් ක‍්‍රමය විස්ථාපනය කරන ලද පරිදිම සමාජවාදය විසින් ධනවාදය විස්ථාපනය කල යුතුව ඇත.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය

ධනවාදයේ අර්බූදය එහි අතිශය ප‍්‍රචන්ඩ ප‍්‍රකාශනය අත්පත් කරගන්නේ යලිත් වරක් මනව වර්ගයා පොදු විනාශයකට ඇද දැමීමට තර්ජනය කරන කොල්ලකාරී අධිරාජ්‍ය යුද්ධය සහ අන්තර් අධිරාජ්‍යවාදී යුද්ධය පැතිර යාම තුල ය. ලෙනින් සහ ට්‍රොට්ස්කි ශතවර්ෂයකට පෙර පෙන්වාදුන් පරිදි, ගෝලීය ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර හා නිෂ්පාදන සන්තතියේ සමාජමය ස්වරූපය සහ නිෂ්පාදන මාධ්‍යයන් හි පෞද්ගලික අයිතිය අතර ඝට්ටනයෙන් සමන්විත ධනවාදයේ අතිමුලික ප‍්‍රතිඝතිතාවන් විසින් මෙම ගැටුම් පැන නගියි. නිෂ්පාදන මාධ්‍යයන් ජාත්‍යන්තර සංගතයන් යටතේ ගෝලීය පරිමානව ක්‍රියාත්මක වන අතර, ධනපති පන්තිය රටින් රට සිය ගෝලීය ආසක්තයන් සඳහ පදනම ලෙස ජාතික රාජ්‍ය පද්ධතියක් තුල මුල් ඇද තිබේ. වෙලඳ පලවල්, සම්පත් අල්ලා ගැනීම සඳහා සහ ලාභ ශ‍්‍රම සංචිතයන්ට පිවිසීම සහ මූලෝපායික වාසි සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් අතර ඇතිව තිබෙන පාලනය කල නොහැකි ධාවනය අනිවාර්යයෙන්ම යුද්ධය ගෙන එයි.

ප‍්‍රන්සය වනාහි යුද්ධය සහ ජාත්‍යන්තර කඩාවැදීම් මගින් සිය මුර්ග ආර්ථික හා යුද්ධමය ආසක්තයන් හඹා යන අධිරාජ්‍යවාදී බලවතෙකි. 19වන සියවසේ දී ප‍්‍රන්සය, අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ මිලියන සිය ගනන් විජිත-වැසි වහලුන්ගෙන් සමන්විත අධිරාජ්‍යයක් ගොඩනගා ගත්තේය. අද දින එය යලිත් සිය අනුහසට යටත් වැයික්කි අත්පත් කරගැනීමට සෙසු අධිරාජ්‍යය බලවතුන් හා එක්ව, මැද පෙරදිග, අප්‍රිකාව සහ රුසියාවේ සිට චීනය දක්වා ප‍්‍රදේශවල නව ලෝක යුද්ධයක් අවුලුවා ලිය හැකි මිලිටරි ආක‍්‍රමන වලට බැසගෙන සිටි.

ප‍්‍රන්සය සහ අන් සියලු අධිරාජ්‍ය බලවතුන් විසින් කරනු ලබන යුද්ධ හා කඩාවැදීම් හෙලා දකින සසප, එය අධිරාජ්‍යවාදීන් ද ඔවුන්ගේ ව්‍යාජ වාම ඇබිත්තයන් ද විසින්, මෙම ආක‍්‍රමන ත‍්‍රස්තවාදයට එරෙහිව ද මානව හිතවාදී අරමුනු වලින් මෙහෙයවෙන බවට ද ගොතනු ලබන ප්‍රෝඩාකාරී ව්‍යාජයන් ප‍්‍රතික්ෂේප කරයි. සසප නව යටත්විජිතවාදී ආක‍්‍රමනිකයන්ට එරෙහිව තමන් ද තම රටවල් ද ආරක්ෂා කර ගැනීමට ජනතාවට පවත්නා අයිතිය පිලිගනී. සසපයේ මෙම ආස්ථානය , විජිත රට වලද වෙනත් රටවල් තුල ද අහිංසක ජනතාවට එරෙහිව එල්ල කරනු ලබන ප‍්‍රචන්ඩ ක්‍රියා කෙරෙහි සසප දක්වන අශමනිය විරුද්ධත්වය බිඳක් හෝ අඩුකරන්නේ නැත. මෙවන් ප‍්‍රතිගාමී ක්‍රියා ත‍්‍රස්තවාදී ක්‍රියා යයි යුක්ති සහගතවම නම් කල හැකි ය. ඒවා මහ ජනයා කෝපයෙන් වියරු වට්ටා නොමග යවයි. වාර්ගික සහ නිකායික ආතතීන් උග‍්‍ර කරයි. රටවල් අධිරාජ්‍යවාදී වියගසින් නිදහස් කර ගැනීම ට තීරනාත්මක වන - විප්ලවවාදී අරගලයේ ලා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත් භාවයට හානිකර වෙයි. ත‍්‍රස්තවාදී ප‍්‍රහාර උඩගෙඩි දෙන්නේ අධිරාජ්‍යවාදී පාලකයන්ටය. ඔවුහු තමන්ගේ මිලිටරි ආක‍්‍රමන යුක්ති සහගත කරගැනීමට ඒවා යොදා ගනිති.

සසප අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි පුලුුල් ම විරෝධතාවන්ට දිරි දී සහාය දෙයි. එහෙත් යුද්ධයේ හේතු, ධනේශ්වර සමාජයේ ව්‍යූහය තුල ම මුල්බැස තබෙන තතු තුල, ධනේශ්වර ය ජාතික රාජ්‍යය ලෙස දේශපාලනිකව බෙදී තිබෙන තතු තුල, යුද්ධයට එරෙහි ආරගලය සාර්ථකවනු ඇත්තේ කම්කරු පන්තිය ජාත්‍යන්තර විප්ලවවාදී මූලෝපායක් මත බලමුලූගන්වාගන්නා තාක් දුරට පමනක් ය යන්න සසප අවධාරනය කරයි.

”යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන” යන ජාත්‍යන්තර කමිටු ප‍්‍රකාශයේ ලියා ඇති පරිදි,

යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලු ප‍්‍රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.

නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාපතිත්වයේ ද මිලිටරිවාදයේ ද යුද්ධයේ ද මූලික හේතුව වන ආර්ථික ක‍්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි.

එබැවින් නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන්ම, මුලුමනින්ම හා පැහැදිලිවම, ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතුය.

අන් සියල්ලටත් වඩා, නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතුය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය. ධනවාදයේ නොනවතින යුද්ධයට, කම්කරු පන්තිය නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් පිලිතුරු දිය යුතුය. එහි මූලෝපායික එල්ලය වන්නේ, ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම හා ලෝක සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමයි. ගෝලීය සම්පත්, සහේතුක, සැලසුම්ගත සංවර්ධනයකට එමගින් කොන්දේසි සැකසෙන අතර එම පදනම මත, දුප්පත්කම තුරන්කර මානව සංස්කෘතිය නව ඉහලකට ඔසවා තබනු ඇත.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරනු!

ප‍්‍රන්සයේ වැඩවසම් සහ ඉන් ඉක්බිති ධනේශ්වර වංශාධිපතීන්ට විරුද්ධව දෙසිය වසකට අධික කාලයක විප්ලවවාදී අරගලයන් මගින් දිනාගනු ලැබූ සියලුම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සුරක්ෂිත කිරීමට ද වර්ධනය කිරීමට ද සසප ක්‍රියාකරයි. එහෙත් මෙම අයිතීන් , විශේෂයෙන් ම සෝවියට් සංගමය විසූරුවා හැරීම ද 2008 ආර්ථික අර්බුදය ද ඊනියා ත‍්‍රස්ත විරෝධී යුද්ධයට ප‍්‍රන්සය මුලුමනින්ම බැඳීම් ද සමග උග‍්‍ර ලෙස ඛාදනයවී තිබේ.

යුරෝපයේ අන්ත දක්ෂිනාංශික බලවේග පුනරුත්ථාපනය කිරීම ද ප‍්‍රන්සයේ යුද හමුදාව රටතුල විරෝධතාවන්ට එරෙහිව යෙදීම සඳහා සූදානම් කිරීම ද ප‍්‍රන්ස හා ජාත්‍යන්තර බුද්ධිඅංශ විසින් විද්‍යුත් උපකරන යොදා කෙරෙන මහාපරිමාන ඔත්තු බැලීම ද පෙන්නුම් කරන්නේ, රට තුල ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් කොයි තරම් උග‍්‍රලෙස ඛාදනය වී ඇත්ද යන්නය. මාක්ස්වාදය සහ විප්ලවය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් යයි හෙලාදකින පීඑස් සංවිධානය සහ ව්‍යාජ වම, පොලිස් රාජ්‍ය පියවරයන්ගේ සහකරුවන් බවට ඔප්පු වී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අන්තරාය එලඹෙන්නේ ඓතිහාසික විනාශයට නියමිතව ඇති ධනේශ්වරයේ පිලිවෙත් වලින් ය; ධනවාදයේ අර්බුදයෙන්ය.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සමාජවාදය සඳහා අරගලයට අවියෝජනිය ලෙස බැඳී පවතී. එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් තොරව සමාජවාදයක් පැවතිය නොහැක්කේ යම් සේ ද සමාජවාදයෙන් තොර ව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ද නොපවතිනු ඇත. ප‍්‍රන්සයේ මෙන්ම ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින අන් රටවල ද සිදුවන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජරපත් වීම පරාජය කල හැක්කේ මුලුමහත් දේශපාලන සංස්ථාපිතයටම එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙනි.

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලය

බලය සඳහා අරගලය ඉල්ලා සිටින්නේ කම්කරු පන්තිය ධනේශ්වරයේ පක්ෂ, දේශපාලන නියෝජිතයින් සහ න්‍යාය ගුරුන්ගෙන් කොන්දේසි විරහිතව, මුලුමනින්ම විමුක්ත විය යුතු බවයි. ස්ටැලින්වාදීන් සහ ව්‍යාජ වම්මුන් විසින් ප‍්‍රන්සයේ දී යලි යලිත් කරන ලද පාවාදීම් වනාහි, කම්කරු පන්තිය අන්‍ය පන්ති බලවේග නියෝජනය කරන පක්ෂ සමග, සන්ධානයන්ට ඇද දමා බෙලහීන කර දඬු ගසනු ලැබූ තත්වයක ඛේදජනක ප‍්‍රති විපාකයන් පිලිබඳ සම්භාව්‍ය නිරූපනයකි. ප‍්‍රන්සයේදී මෙය සලකුනු කරන්නේ ප‍්‍රථමයෙන් සහ ප‍්‍රමුඛව සමාජවාදී පක්ෂය (පිඑස්) කෙරේ ද එහි නානාප‍්‍රකාර ස්ටැලින්වාදී සහ ව්‍යාජ වාම පිරිවර කෙරේ ද දැක්විය යුතු වූ අප‍්‍රතිහත විරුද්ධත්වයයි, මෙම බල කල්ලි වෙනත් ධනේශ්වර පක්ෂ හා සම කරන කල්හි අඩු නපුරක්ය යන බොරුව ප‍්‍රතික්ෂේප කලයුතු වේ.

සසපය මෙම බංකොලොත් දේශපාලන සංස්ථාපිතයට දක්වන්නා වූ විරෝධය විසින් ගම්‍ය කරනු ලබන්නේ, එයට එරෙහිව පැන නගින සියලු පක්ෂ සහ සංවිධාන වලට ආධාර දීම නොවේ. සසප එවන් සංවිධාන කෙරේ සිය ආකල්පය සකසා ගන්නේ, ඒවා ඒ හෝ මේ ප‍්‍රශ්නය කෙරේ ගන්නා ප‍්‍රාසාංගික ආස්ථානයන් මත නොවේ; ඊට ප‍්‍රතිකූලව එම සංවිධානවල ඉතිහාසය, ක්‍රියාමාර්ගය, ඉදිරි දර්ශනය, සමාජ පදනම සහ පන්ති උපනතිය මතය.

සසපය කම්කරු පන්තියේ අතිමුලික ආසක්තතාවන් ආරක්ෂා කිරීමට සටන් වදින්නේ ධනවාදයේ සහ පන්ති සමාජයේ ද දේශපාලන ගතිකයේ නියාම පාලිත ස්වභාවය පිලිබඳ විද්‍යාත්මක මාක්ස්වාදී වැටහීමක් මත පදනම් වී ගෙන ය. මෙය වනාහි කෙටි කාලීන සුලු උපායික වාසි සොයා කම්කරු පන්තියේ දිගු කාලීන ආසක්තතාවන් කැපකොට දිවයන අවස්ථාවාදී දේශපාලනයට අශමනිය ලෙස ප‍්‍රතිවිරුද්ධ ව සසපය පිහිටුවීම යි.

වෘත්තීය සමිතිවල පාවාදීම

සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ වෘත්තීය සමිති වලින් කැඩෙන ලෙසයි. එය අවධාරනය කරන්නේ, කම්කරු පන්තියේ අරගල ජයගත හැක්කේ ඒවා වෘත්තීය සමිති වලින් ස්වාධීනව සංවිධානය වී, ධනවාදයට එරෙහි දේශපාලන අරගලය තුල කම්කරු පන්තිය පුලුල් පරිමානයකින් බලමුලු ගැන්වීම සඳහා, විප්ලවවාදී හා සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් කලහොත් පමනක් බවයි. එය, කම්කරුවන්ගේ අව්‍යාජ අවශ්‍යතා නියෝජනය කරන, ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයට යටත්, කම්හල් හා සේවා ස්ථානවල කම්කරු කමිටු වැනි නව හා ස්වාධීන සංවිධාන ගොඩනැගීම සෑම අදියරයකදීම දිරිමත් කරයි.

වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය විද්‍යාත්මකව වටහා ගැනීම පිනිස සසප සටන් වදියි. බ්‍රිතාන්‍යයේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ මුල් දිනවලම මාක්ස්, වෘත්තීය සමිති විවේචනය කලේය. ඒවා ධනවාදය ජාත්‍යන්තර වශයෙන් පෙරලා දැමීමට උත්සාහ කරනවා වෙනුවට ඒ ඒ රටේ ධනවාදය යටතේ කම්කරු පන්තිය සූරාකෑම පිනිස කොන්දේසි සාකච්ඡා කරන තැනකට පත්වීම ඔහුගේ විවේචනයට ලක් විය. “තත්වාරක්ෂක ආදර්ශ පාඨය වන ‘සාධාරන දිනක් සඳහා සාධාරන වැටුපක්’ යන්න වෙනුවට ඔවුන් ධජයේ ලියාගත යුත්තේ, විප්ලවවාදී ආදර්ශ පාඨය වන ‘වැටුප් ක‍්‍රමය අහෝසි කරනු!’ යන්නයි” මාක්ස් ලිවීය.

1936, 1945, 1953 හා 1968 පැන නැගි විප්ලවවාදී අවස්ථා පීසීඑෆ් සමග එක්ව සීජීටී යන කම්කරු පොදු සම්මේලනය විසින් මැඩ පවත්වන ලද ප‍්‍රන්සය ද ඇතුලු රටවල සමිති නිලධරයේ පොදු ප‍්‍රතිවිප්ලවවාදී ක්‍රියාකලාපය 20 වන සියවසේ අත්දැකීම් වලින් සනාථ කෙරී ඇත. සටන්කාමී කම්කරුවන් සමිති තුලින් අරගල කිරීමට උත්සාහ කල තාක් දුරට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, නිවැරදි ලෙස ඒවා තුල මැදිහත්වීමට උත්සුක විය. කම්කරුවන් වෙත ලංවීම වෙනුවට මෙම අරගල වලින් ඈත්ව සිටීම සඳහා සමාවට කාරනයක් ලෙස විවිධ සුලු ධනපති “වාම” කන්ඩායම්, සමිතිවල දේශපාලනය හෙලා දැකීම වෙතින් හජාජාක වෙන්වී ගන්නේ මෙම කාරනයෙනි.

1968 අවධියෙන් පසුව ඇතිවූ ගෝලීයකරනය හා වෘත්තීය සමිතිවල කම්කරු පන්තික සාමාජිකත්වයේ වැටීම මේ සංවිධාන පරිවර්තනයකට ලක් කලේය. ජාතික වශයෙන් පදනම් වෙමින් වැටුප් හා ජීවන තත්වයන් සඳහා කේවෙල් කිරීම් හරහා කම්කරුවන්ගේ කෙටි කාලීන අවශ්‍යතා ආරක්ෂා කල සංවිධානවල සිට ඒවා, වැටුප්, රැකියා හා සහන කැපීමේ සැලසුම් මගින් සංගතවල ගෝලීය තරඟකාරිත්වය ආරක්ෂා කරන වරප‍්‍රසාදිත නිලධරයන් බවට පත් විය. පාලක පැලැන්තියේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් නාමික විරෝධතා වැඩවර්ජන නිරීක්ෂනය කරන අතර ඔවුහු, ප‍්‍රන්සයේ වැඩ වර්ජන අවම මට්ටමකට ඇද දැමීමට වග බලා ගත්හ. තොග පිටින් දොට්ට දැමීම හා කම්හල් වසා දමන තතු හමුවේ ඔවුන්ගේ සම්ප‍්‍රදායික ආදායම් පහත වැටීම නොතකා, සමිතිවල ආදායම නොනැවතී ඉහල ගියේය. ඒ නීත්‍යානුකූල හා අඩ නීත්‍යානනුකූල සංගත හා රජයේ යුරෝ බිලියන ගනන් ප‍්‍රදානයන්ට පිංසිදුවන්නටය. ඒවා තවදුරටත් කම්කරු සංවිධාන නොවේ. ඒවා පොලිසියට හා බුද්ධි ආයතන වලට ගැටගැසුන සුලු ධනපති කාර්යධරයන් විසින් කම්කරුවන්ට උගුල් අදින හා ඔවුන් පාලනය කරන පාලක පන්තිය විසින් අරමුදල් සපයන හිස් කටු වේ. ඔවුන් අද ක්‍රියාත්මක වන්නේ කම්කරු පන්තියට එරෙහිව පිහිටි කාර්මික පොලිසියක් ලෙසය.

කම්කරු පන්තියේ ලෙනින්වාදී පෙරටු බල ඇනි පක්ෂයක් සඳහා

20 වන සියවසේ සමස්ත ඉතිහාසයම පෙන්නුම් කර ඇත්තේ, විප්ලවවාදී පක්ෂයක් විසින් මෙහෙයවනු නොලැබුවහොත් විප්ලවය ජයගන්නේ නැති බවය. කම්කරු පන්තියේ මාක්ස්වාදී පෙරටු බල ඇනි පක්ෂයක් ගොඩනැගීමට, ව්‍යාජ වාම ප‍්‍රතිගාමී සුලු ධනපති කොටස් අතර වන රුදුරු විරුද්ධත්වයට යටින් ඇත්තේ මෙම කාරනයයි. සසප කම්කරු පන්තියේ පුලුල් අරගල දිරිමත් කරන අතර සෑම අව්‍යාජ ජයග‍්‍රහනයක් සඳහාම පෙනී සිටියි. කෙසේ වෙතත් එය, මාක්ස්වාදී පක්ෂයක් විසින් මෙහෙයවනු ලබන, කම්කරු පන්තිය සඳහා සූදානම් කල විප්ලවවාදී මූලෝපායක්, සටන්කාමී අරගල සංවිධානය කරමින් විස්ථාපනය කල හැකිය යන සින්ඩිකල්වාදී සංකල්ප වලට මූලධර්මාත්මකවම විරුද්ධය.

කම්කරුවන්ට සත්‍යය පවසන්න යන අත්‍යවශ්‍යම විප්ලවවාදී මූලධර්මය මත සසප පිහිටා ගනියි. සිය මාක්ස්වාදී ඉදිරිදර්ශනය, කම්කරුවන්ගේ හා තරුනයින්ගේ වැඩි දියුනු කොටස් අතරට ගෙන යමින් පක්ෂය, දේශපාලන යථාර්තය පිලිබඳ විද්‍යාත්මක හා වෛෂයික තක්සේරුවක් මත පිහිටා ජනතාවගේ සමාජවාදී විඥානය නගාසිටුවීමට සටන් වැදීම සිය ක්‍රියාමාර්ගයේ හා දේශපාලන වැඩකටයුතුවල පදනම බවට පත්කර ගනියි. මාක්ස්වාදීන් ජනතාවගේ පවතින විඥානයේ මට්ටම අනුව නැතහොත් සුලු ධනපති පිලිස්තීනුවන් තම ආරම්භක ලක්ෂ්‍යය ලෙස සලකා ගන්නා වංචනික උගැන්වීම් එය ප‍්‍රතික්ෂේප කරයි. ට්‍රොට්ස්කිට අනුව “පක්ෂයේ ප‍්‍රථම වගකීම, වෛෂයික තත්වයේ පැහැදිලි, අව්‍යාජ චිත‍්‍රයක් ඉදිරිපත් කිරීමය. මේ තත්වයෙන් ගලා එන ඓතිහාසික කර්තව්‍යයි, ඒ සඳහා අද දිනයේ කම්කරුවන් මෝරා ඇත් ද නැද්ද යන්න නොසලකා ගෙනහැර දැක්විය යුතුය. අපගේ කර්තව්‍යන් කම්කරුවන්ගේ මනෝ භාවය මත පදනම් වන්නේ නැත. කර්තව්‍යය වන්නේ කම්කරුවන්ගේ මනෝ භාවය නගා සිටුවීමයි. වැඩි දියුනු කම්කරුවන් ඉදිරියේ තැබිය යුතු හා සූත‍්‍ර ගත කල යුතු ක්‍රියාමාර්ගය එයයි.”

කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය සංවිධානයක් ඉල්ලා සිටින අතර විනයකින් තොරව සංවිධානයකට පැවතිය නොහැකිය. විප්ලවවාදී අරගලය සඳහා තීරනාත්මක වන විනය ඉහල සිට පාත් කල නොහැකිය. කෙසේ වෙතත් එය වර්ධනය කල යුත්තේ, මූලධර්ම හා ක්‍රියාමාර්ගය මත, නිදහසේ ලඟාකරගන්නා එකඟත්වයක පදනමෙහිය. මෙම සංකල්පය සසප සංවිධානාත්මක ව්‍යූහය තුල ප‍්‍රකාශ වන්නේය. එය පදනම් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර මධ්‍යගත භාවය පිලිබඳ මූලධර්ම මතය. ප‍්‍රතිපත්ති හා උපායමාර්ග සූත‍්‍රගත කිරීමේදී පක්ෂය තුල පූර්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැවතිය යුතුය. නායකයින් සාමාජිකත්වය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරා පත්කර ගන්නවා ඇත. ඔවුන් විවේචනයට හා පාලනයට යටත්ය. එහෙත් ප‍්‍රතිපත්ති සූත‍්‍රගත කිරීමේදී පුලූල්ම සාකච්ඡුාවක් හා අව්‍යාජ හා විවෘත විවේචන අවශ්‍ය කෙරේ. ඒවා කි‍්‍රයාත්මක කිරීමේදී දැඩි විනයක් අවශ්‍යය. පක්ෂය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස එලඹගන්නා තීන්දු වලට සියලු සාමාජිකයෝ බැඳී සිටිති. මධ්‍යගත භාවයේ මෙම අත්‍යවශ්‍ය අංගයන්ට විරුද්ධ අය නැතහොත් විනය තමන්ගේ පෞද්ගලික නිදහස උල්ලංඝනය කිරීමක් ලෙස සලකන අය, විප්ලවවාදී සමාජවාදීන් නොවන අතර පන්ති අරගලයේ ඉල්ලීම් හෝ ඇඟවුම් පිලිබඳ වැටහීමක් නොමැති අරාජකවාදී පුද්ගලයින්ය.

මාක්ස්වාදය සුරැකීම

සසප මුඛ්‍ය කර්තව්‍ය වන්නේ, මාක්ස්වාදයේ ඓතිහාසික හා න්‍යායික සම්ප‍්‍රදාය ආරක්ෂා කිරීමයි. සියවසකට පමන පෙර, පැරිස් කොමියුනයේ 50 වන සංවත්සරය නිමිතිකරගෙන ට්‍රොට්ස්කි මෙසේ ලිවීය, ”අන් කවර හෝ නිර්ධනයෙකුට වඩා ප‍්‍රන්ස නිර්ධනයා විප්ලවය වෙනුවෙන් කැපකිරීම් කර තිබේ. එසේම අන් කවරෙකුටත් වඩා රැවටීමට ලක්ව ඇත. සමූහාන්ඩුවාදයේ, රැඩිකල්වාදයේ, සමාජවාදයේ සියලු පාටවලින් ධනේශ්වරය ඔවුන්ගේ ඇස් නිලංකාර කර ඇත. ඒ සෑම විටම ධනවාදයේ විලංගුවට ඔවුන් ගැටගැසීම පිනිසය. ඔවුන්ගේ ඒජන්තයින්, නීතිඥයින්, මාධ්‍යවේදීන් ප‍්‍රයෝජනයට ගනිමින් ධනේශ්වරය, මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී, පාර්ලිමේන්තුවාදී, ස්වයංපාලන සූත‍්‍රය සියල්ල පෙරටුකරගන්නා අතර ඒ නිර්ධනීන්ගේ ඉදිරි ගමන වැලැක්වීමේ විලංගු ලෙස පමනි.” පසුගිය සියවස පුරා මෙම දේශපාලන හා න්‍යායික නොමග යැවීමේ ක්‍රියාවලිය ඊටත් වඩා විශාල පරිමානයෙන් සිදුවූ බව ඊට එකතු කල යුතුය.

සසප සිය කටයුතු පාදක කරන්නේ, ඉතිහාසය හා සමාජය පිලිබඳ වෛෂයික නීති නියාමයන් පිලිබඳ විශ්ලේෂනය මතය. භෞතිකවාදය මත මුල්බැසගත් මාක්ස්වාදය විඥානය මත ද්‍රව්‍යයේ ප‍්‍රාථමිකත්වය අවධාරනය කරයි. මාක්ස් මෙසේ ලිවීය: “චින්තනය ද්‍රව්‍යමය ලෝකයට වැඩිමනත් දෙයක් නොවේ. එය මිනිසාගේ සිත තුල පිලිබිඹු වෙමින් චින්තනය බවට පරිවර්තනය වේ.” මාක්ස්වාදී භෞතිකවාදය අපෝහක වන්නේය, එහිදී චින්තනය තුල ද්‍රව්‍යමය ලෝකය හා එහි ප‍්‍රතිබිම්බයන්, සාදා නිම කල, අභ්‍යන්තරිකව නොවෙනස්වන විෂයන් හා සංකල්පවල එකතුවක් ලෙස සලකන්නේ නැත. ඊට වෙනස්ව ඒවා, නිරන්තර චලනයක හා අන්තර් ක්‍රියාකාරිත්වයේ පවතින සංකීර්න ක්‍රියාවලියක් ලෙසින් ගනු ලබයි. ඒවා එකිනෙකට ප‍්‍රතිවිරෝධී හා විචල්‍ය ප‍්‍රවනතා ලෙස සලකයි. ධනේශ්වර සමාජය තුල පන්ති ගැටුම හා සූරාකෑම මෙන්ම කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව පිලිබඳ වෛෂයික වැටහීම මත පදනම්ව කාල් මාක්ස් හා ෆ්‍රෙඩ්‍රික් එංගල්ස් විසින් විද්‍යාත්මක සමාජවාදය වර්ධනය කරනු ලැබූ න්‍යායික පදනම මෙම සංකල්පය තුලින් සම්පාදනය කෙරුනි.

20 වන සියවසේදී ප‍්‍රන්ස වැඩකරන ජනතාව තුල සමාජවාදී මනෝභාවයන් මුල්බැස තිබුනේවී නමුත් මාක්ස්වාදයට සිය පක්ෂපාතිත්වය පල කල මධ්‍යම පන්තික බුද්ධිමතුන් අතර මේ සංකල්ප පැතිර තිබුනේ නැත. ධනවාදයේ අර්බුදය, අධිරාජ්‍යවාදී යුද්ධය හා කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයන්ගේ වත්මන් අවධිය තුල ව්‍යාජ වාම පක්ෂවල කඩාවැටීම, මෙම ප‍්‍රතිමාක්ස්වාදී න්‍යායන්ගේ හා ඒවායින් ආවේෂය ලත් පක්ෂවල බංකොලොත්කම විදහා දක්වයි. සසප සම්භාව්‍ය මාක්ස්වාදයේ පුනර්ජීවනය සඳහා සටන් වදින අතර එය කම්කරු පන්තියේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ න්‍යායික පදනම බවට පත්කරනු ඇත. ධනපති හා සුලු ධනපති විරුද්ධවාදීන් ලියොන් ට්‍රොට්ස්කි හා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික උරුමය මුසාකරනය කිරීමට හා ඊට එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව සසප, එය ආරක්ෂා කරයි. මෙම ප‍්‍රහාර එල්ල කරන්නේ, සීතල යුද්ධයේ ප‍්‍රති කොමියුනිස්ට්වාදී හෝ ප්‍රෝඩාකාරී ලෙස “ට්‍රොට්ස්කිවාදීන් බොහොමයක්” ඇතැයි කියා සිටිමින් සිය ප‍්‍රති ට්‍රොට්ස්කිවාදී පිලිවෙත් වසංකර ගැනීමේ උත්සාහයක නිරතව සිටින ව්‍යාජ වාම බලවේගයන් විසින් වුව ද ඒවායේ අරමුන, කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානය වර්ධනය වීම වැලැක්වීමය. මාක්ස්වාදී ව්‍යාපාරයේ අඛන්ඩ අරගලය නියෝජනය කරමින්, ධනවාදයට ඇති විප්ලවවාදී විකල්පය ලෙස ජාත්‍යන්තර කමිටුව පෙරට ගෙන යන ට්‍රොට්ස්කිගේ අරගලය ඔවුහු ප‍්‍රතික්ෂේප කරති.

Share this article: