ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙඩි තැබීමකින් ඉන්දියානු ධීවරයෙකු මිය යයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 මාර්තු 11

මුර සංචාරයේ යෙදුන ශ්‍රී ලංකා නාවික හමුදා භටයන් විසින් පසුගිය සඳුදා ඉන්දියානු ධීවර බෝට්ටුවකට කල වෙඩි තැබීමකින් එක් ධීවරයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත. කච්චතීව් දූපත ආසන්නයේ ප්‍රහාරයට ලක් වූ බෝට්ටුවේ ධීවරයන් හය දෙනෙකු සිටි බව වාර්තා වේ. වෙඩි තැබීමෙන් මිය ගිය ධීවරයා තමිල්නාඩුවේ රාමේස්වරම් ප්‍රදේශයේ තන්ගචිමඩම් ගමේ පදිංචි කේ. බ්‍රිට්සෝ නැමති විසිදෙහැවිරිදි තරුනයෙකි.

ඝාතනයට විරුද්ධ ව තමිල්නාඩු ධීවරයන් අතරින් විරෝධතා රැල්ලක් මතු වී ඇත. ශ්‍රී ලංකාවේ ධීවරයන් සහ කම්කරුවන් ඉන්දියානු ධීවරයින්ට එල්ල කල මේ මෘග ප්‍රහාරය තරයේ හෙලා දැකිය යුතු ය.

චෝදනාව ප්‍රතික්ෂේප කරමින් නාවික හමුදාව නිකුත් කල මාධ්‍ය නිවේදනයක “එවන් වෙඩි තැබීමක් සිදු නොවූ” බවත් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරන්නන් “අත් අඩංගුවට ගැනීමට මිස වෙඩි තැබීමට අවසර දී නැති” බවත් ප්‍රකාශ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් “පරීක්ෂනයක්” පවත්වන බව ද එහි සඳහන් වේ. අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය හා ඒවා යට ගැසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව ඇතුලූ ආරක්ෂක හමුදාවන් කුප්‍රකට ය.

තමිල්නාඩු ධීවරයන්ගේ බරපතල විරෝධය හමුවේ ඒ සම්බන්ධයෙන් “පරීක්ෂනයක්” පවත් වන බවට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ආන්ඩු පොරොන්දු වී ඇත. නාවික හමුදාව “සිද්ධියට සම්බන්ධ නැති” බව මූලික පරීක්ෂන වලදී හෙලි වී ඇතැයි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය පවසයි.

වෙඩි තැබීමෙන් ඉන්දියානු ධීවරයෙකු මියයාම ගැන “ඉන්දියානු ආන්ඩුව අතිශයින් ම සැලකිලිමත් වන” බව ඉන්දියානු විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන් වේ. මේ පොරොන්දු හුදෙක් ම සිද්ධිය සම්බන්ධයෙන් තමිල්නාඩු ධීවරයන් අතර පැන නැගී ඇති කෝපය හා විරෝධය සමනය කිරීමේ ඇස්බැන්දුම් ප්‍රකාශ පමනි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දියානු ධීවරයෙකු ඝාතනය කල පලමු අවස්ථාව මෙය නොවේ. 2011 ජනවාරි මාසයේ දී ද ඉන්දියානු ධීවරයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව ශ්‍රී ලංකා නාවික හමුදාවට එල්ල විය. නාවික හමුදාව විසින් එම චෝදනා ද ප්‍රතික්ෂේප කල අතර “පරීක්ෂනයක්” පවත් වන බවට ද පොරොන්දු විය.

අගමැති රනිල් වික්‍රමසිංහ සිද්ධිය බැරෑරුම්ව සලකා බලන බවට ඉන්දියානු විදේශ අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වෙතත් ඔහු ඉන්දියාවේ තන්දි රූපවාහිනියත් සමග 2015 මාර්තු 7 දා කල සම්මුඛ සාකච්ඡාවක දී ඉන්දියානු ධීවරයන්ට වෙඩි තැබීම නරුම ලෙස සාධාරනීකරනය කරමින් නාවික හමුදාවේ ප්‍රහාරයන් ආරක්ෂා කර ඇත. ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුලු වන විට වෙඩි තැබීමේ දී ශ්‍රී ලංකාවේ නාවික හමුදාව කරන්නේ නීතියට අනුව ක්‍රියා කිරීමක් බව වික්‍රමසිංහ එහිදී කියා ඇත. “යමෙක් මගේ නිවසට බලහත්කාරයෙන් ඇතුලු වෙන්න උත්සාහ කරනවා නම් මට වෙඩි තියන්න පුලුවන්. එයින් ඔහු මිය යනවා නම් එසේ කිරීමට නීතිය මට අවසර දෙන” බව ද ඔහු ප්‍රකාශ කර තිබුනි.

ගැටලුවට “සාධාරන” විසඳුමක් තිබිය යුතු නමුත් එය “උතුරේ ධීවරයන්ගේ ජීවිකාවේ වියදමෙන් නොවිය යුතු” බව ඔහු වැඩිදුරටත් කියා තිබුනි. වික්‍රමසිංහට, ඔහුගේ ආන්ඩුවට හෝ පෙර පැවති ධනපති ආන්ඩුවලට උතුරේ ධීවරයන් ගැන මොන ම කැක්කකුමක් වත් නැත. ඉන්දියානු මෙන් ම ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර පලාත්වල දෙමල හා මුස්ලිම් ධීවරයෝ, දීගුකාලීනව හා නිරන්තරව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත් අඩංගුවට ගැනීම් හා පහරදීම් ඇතුලු හිංසනයන්ට මුහුන දෙති.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය තුල දී උතුරු- නැගෙනහිර ධීවරයන් නාවික හමුදාවේ රුදුරු හිංසනයට හා ඝාතනයට ගොදුරු වූ අතර ඒවායින් සමහරක් එල්ටීටීඊ යට බැරවුන අතර සෙසු අය “එල්ටීටීඊ ත්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගසා එකී හිංසනයන් හා ඝාතනයන් යුක්තිසහගත කෙරුනි.

ඉන්දු-ශ්‍රී ලංකා ආන්ඩු පසුගිය වසරේ පත් කල ධීවර කටයුතු පිලිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කන්ඩායම ට අනුව 2016 දෙසැම්බර් මාසයේ තමිල්නාඩු ධීවරයන්ගේ බෝට්ටු 111 සහ ධීවරයන් 51 ශ්‍රී ලංකාවේ උතුරේ දී අත් අඩංගුවට ගෙන රඳවා ගෙන ඇත. මාර්තු 5 වෙනිදා තවත් ඉන්දියානු ධීවර බෝට්ටු හතරක් සහ ධීවරයන් 24 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනුන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිරිහැරයන්ට හා ප්‍රහාරයන්ට ඉන්දියානු ධීවරයන් මුහුන දෙන අතර ශ්‍රී ලංකා ධීවරයන් ද ඉන්දියානු වෙරල ආරක්ෂක හමුදාවේ ප්‍රහාරයන්ට සහ අත් අඩංගුවට ගැනීම් වලට මුහුන දෙති.

මේ සතිය තුල පමනක් ශ්‍රී ලාංකික ධීවරයන් 12 දෙනෙකු හා ඔවුන්ගේ බෝට්ටු ඉන්දියානු වෙරල ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ස්‍ය අස්වැන්න අඩුවීම සාගර සීමාවන් පැනයාමට ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් පොලඹවන ප්‍රධාන කරුනකි. ධීවර උපකරන හා ඉන්ධන මිල ඉහලයාමත්, සිය නිෂ්පාදනයන් සඳහා වියදමට සරිලන ආදායමක් නොලැබීමත් නිසා ඔවුන්ගේ ජීවන තත්වයන් බරපතල ලෙස පිරිහී ඇත.

දෙරට ධීවරයන්ගේ ගැටලු විසඳීමට හෝ ඔවුන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන් නතර කිරීමේ අව්‍යාජ උවමනාවක් ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ ආන්ඩුවලට නැත. ඒ වෙනුවට දෙරට ධනපති ආන්ඩු හා ස්වෝත්තමවාදී දේශපාලන බලවේගයන් දෙරට ධීවරයන් අතර ජාතිකවාදී හා ප්‍රතිගාමී උසිගැන්වීම් ඇති කරමින් සිය කුහක දේශපාලන උවමනාවන් සඳහා ඒවා යොදා ගනිති.

ඉන්දියානු හා ශීර සඳ ලාංකික ධීවරයන් මුහුන දෙන ප්‍රශ්න හා ඔවුන්ට එල්ල වන පරය කහාරයන් හි මූලයන් ඇත්තේ ප්‍රතිගාමී ජාතික රාජ්‍යයට බැඳුනු භෞමික හා සාගර සීමා නිර්නයන් හා ධනපති ලාභ පද්ධතිය තුල ය. ජාතික රාජ්‍ය හා ලාභ පද්ධතිය අහෝසි කිරීමෙන් තොරව එම ගැටලු විසඳා ගැනීමට හෝ ප්‍රහාරයන්ගෙන් අත්මිදීමට නොහැකිය. එය විසඳාගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස දකුනු ආසියානු සමාජවාදී සමුහාන්ඩු සංගමයක් සඳහා කරන අරගලය මගින් පමනි.

Share this article: