විදේශ ඇමති සමරවීර එජා මානව හිමිකම් කොමිසමට කල කතාවෙන් ආන්ඩුවේ කුහකකම හෙලිදරව්වෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 මාර්තු 03

මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික‍්‍රමසිංහගේ “සම්මුති ආන්ඩුව”, මානව හිමිකම්, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, සාධාරනය, සහජීවනය සහ ආර්ථික සංවර්ධනය යන ක්ෂේත‍්‍රයන් හි පරිවර්තනීය මාවතක් ඔස්සේ රට ඉදිරියට ගෙන යමින් සිටින බව, ශ්‍රී ලංකාවේ විදේශ ඇමති මංගල සමරවීර ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 34 වන සැසිවාරය අමතමින් පසුගිය අඟහරුවාදා (28) පැවසීය.

ඔහුගේ කතාවෙන් පැහැදිලිව ම එලිදරව් වන්නේ යුද්ධය තුල දී උතුරු-නැගෙනහිර දෙමල මහ ජනතාව මුහුන දුන් දැවැන්ත ව්‍යසනය, සිදුවුන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යට ගැසීමේ ධනපති පාලක පන්තියේ කුහක පිලිවෙත මිස අන් කිසිවක් නොවේ.

2015 ඔක්තෝබර් මාසයේ මානව හිමිකම් කොමිසමට එක්සත් ජනපදය ඉදිරිපත් කල “ශ්‍රීලංකාව තුල සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීම හා වගවීම” සම්බන්ධ 30/1 යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වූයේ මානව හිමිකම් රැකීමේ අවශ්‍යතාවය පිලිබඳ “දෘඩතර අවබෝධය” මත බව සමරවීර එහිදී ප‍්‍රකාශ කලේ ය. යෝජනාවේ අරමුන වූයේ සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීම නොව, බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානයට විරුද්ධ ව කොලඹ සිංහල පාලක පන්තිය විසින් 26 වසරක් ගෙන ගිය යුද්ධයේ සියලු අපරාධයන් සහ ව්‍යසනයන් වසන් කිරීම ය.

එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් විසින් මානව හිම්කම් උල්ලංඝනය කිරීම සහ යුද අපරාධ පිලිබඳ චෝදනා ශ්‍රී ලංකාවට එල්ල කලේ මානව හිමිකම් කෙරෙහි කවර හෝ කැක්කුමක් නිසා නොව, ජනාධිපති මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රය හා චීනය අතර පැවති සමීප රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා බිඳ කලාපය තුල අධිරාජ්‍යවාදී, විශේෂයෙන් ම එක්සත් ජනපද, උත්සුකයන්ට ගැලපෙන තන්ත‍්‍රයක් කොලඹ තහවුරු කර ගැනීමේ උවමනාව වෙනුවෙනි. ඒ අනුව සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට දමා ගත්තේ එක්සත් ජනපද පිටුබලය සහිත දේශපාලන කුමන්ත‍්‍රනයකිනි. දැන් ශ්‍රී ලංකා ආන්ඩුවේ විදේශ පිලිවෙත වඩ වඩා හැඩ ගැසෙමින් පවතින්නේ චීනය හුදකලා කිරීමේ හා ඊට එරෙහිව සුදානම් කෙරෙන එක්සත් ජනපද මිලිටරි සැලසුම්වලට අනුවය.

උක්ත යෝජනාව සම්මත කෙරී මාස 18 ට ආසන්න කාලයක් තුල යුද අපරාධ හෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව කිසිදු පරීක්ෂනයක් කෙරී නැතුවා පමනක් නොව එවැන්නක් නාමිකව හෝ සිදුවීම වලකනු පිනිස ආන්ඩුව හැකි සෑම ප‍්‍රයත්නයක් ම දරයි. ආන්ඩුවේ සැබෑ පිලිවෙත වසන් කිරීම සඳහා “අන්තවාදී හා පස්සට ඇදීමේ” බලවේග ආන්ඩුවේ සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලියට මාර්ග බාධක යොදමින් බාධාකරන බවට සමරවීර චෝදනා කලේ ය.

එහෙත් ධනපති රාජ්‍යය ඔහු කියන ”අන්තවාදී සහ පස්සට ඇදීමේ” බලවේගවල දේශපාලන මෙවලමකි. යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කලින් පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ සහ වර්තමාන ආන්ඩුවේ පිලිවෙත් අතර කිසිදු වෙනසක් නැත. ඒ සම්බන්ධයෙන් ධනපති පාලක පන්තිය අනුගමනය කරන්නේ ත්‍රිවිධ හමුදාව, සංඝ ප‍්‍රභුව සහ සිංහල ස්වෝත්ත්තමවාදීන් සැනසීමේ පිලිවෙතකි.

එදිනෙදා ප‍්‍රායෝගික දේශපාලන ලෝකය තුල මාර්ග බාධක වලට මුහුන දීමේ දී විටින් විට අවමන් ගතවීම සිදුවිය හැකි නමුත් ගමනාන්තය දක්වා මුලූ දුරම යාමේ ”අපගේ අධිෂ්ඨානය”නොවෙනස් ව පවතින” බව සමරවීර පැවසුවේ ය. එය මුසාවකි.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වී වසර හතක් ගත වී ඇතත් යුද්ධයෙන් දෙමල ජනතාව මත ඇතිකල ව්‍යසනයේ ප‍්‍රතිවිපාකවලට ඔවුහුු තවමත් මුහුන දෙති. ජාතික එකමුතුව හා ප‍්‍රතිසංධාන කොමිසමට මේ වනවිට අතුරුදහන් වූවන් සම්බන්ධ පැමිනිලි 65,000 ක් ලැබී ඇත. දේශපාලන සිරකරුවන් සිය ගනනක් තවමත් රැඳවුම් භාරයේ සිටිති. ආරක්ෂක හමුදාවල වාඩිලා ගැනීම දිගටම පවතියි. සිවිල් ජනයාට එරෙහිව ආන්ඩුවේ අනුදැනුම ඇතිව සිදුවන ප‍්‍රකෝපකරනයන් ගේ අඩුවක් නැත. හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගත් ඉඩම්වලින් බහුතරයක් තවමත් ඒවායේ අයිතිකරුවන්ට ලබා දී නැත. යුද්ධයට පෙර පැවති තත්වයටවත් සමාන කලහැකි මට්ටමක නිවාස, සෞඛ්‍ය, පිරිසිදු පානීය ජලය හා අධ්‍යාපනය ඇතුලු මූලික පහසුකම් නැත.

තතු එසේ පවතිද්දී දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිලිබඳ ආන්ඩුවේ කුහක පිලිවෙත යට ගැසීමේ දේශපාලන හා රාජ්‍යතාන්ති‍්‍රක උපාමරුවක් ලෙස ‘යුද්ධයෙන් ඇති වූ හානියට විසඳුම් දීමේ හා මානව හිමිකම් උල්ලංඝනයවීම ගැන සොයා බැලීම’ සඳහා ආන්ඩුව විසින් යෝජිත සැලැස්මක ලැයිස්තුවක් සමරවීර සැසියට ඉදිරිපත් කලේ ය.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කරන නීතියක් සම්මත කිරීම, සංශෝධිත ත‍්‍රස්ත විරෝධී පනතේ ප‍්‍රතිපත්තිය හා නෛතික රාමුව සූත‍්‍රගත කිරීම, අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධව ස්ථිර කාර්යාලයක් පිටුවීම, ගැටුම්වලින් අවතැන් වෙන්නන් සම්බන්ධයෙන් කල් පවත්නා ජාතික ප‍්‍රතිපත්තියක් හා 2017-2021 සඳහා ජාතික මානව හිමිකම් කාර්ය සැලැස්මක් හා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ඇතුලූ යෝජනා 15 ක් ඊට ඇතුලත් වෙයි.

යෝජනා මාලාවට අයත් සංශෝධිත ත‍්‍රස්ත විරෝධී පනත බලාත්මක කිරීම මගින් කම්කරු පන්ති අරගල අධිරාජ්‍යවාදී උවමනාවන්ට අනුව රුදුරු ලෙස මැඞීමේ නෛතික රාමුව පිලියල කිරීම ආන්ඩුවේ අරමුනයි.

මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකෙන ආකාරයේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන බවත් එමගින් “දිගුකාලයක් බෙදී සිටි අපගේ ජනතාව එකමුතු කරන” බවත් සමරවීර කියා ඇත. ඒ තවත් පචයකි.

සිංහල හා දෙමල ජනතාව බෙදීම 1948 ඊනියා නිදහසින් පසු පිහිට වූ අධිරාජ්‍ය ගැති ධනේශ්වර ඒකීය රාජ්‍යයේ දේශපාලන මූලෝපායේ කොටසකි. පසුගිය දසක හත තුල බලයට පත් වූ අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් එය සිංහල වර්ගවාදී ස්වෝත්තමවාදයට උචිත ලෙස තව තවත් පලිප්පු දැමුවේය. දසක තුනකට ආසන්න ලේවැකි යුද්ධ ය එහි ප‍්‍රතිවිපාකයකි. දැනටමත් එලිදරව් වී ඇති ආකාරයට නව ව්‍යවස්ථාව සැලසුම් කෙරෙන්නේ ද ඒකීය රාජ්‍ය ආරක්ෂා කරන, රාජ්‍ය ආගම ලෙස බුද්ධාගමට සුවිශේෂ තැනක් දෙන සහ මහ ජනතාවගේ ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන් මඩිනුවස් ධනේශ්වර රාජ්‍යය වඩාත් ශක්තිමත් කරන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී එකක් ලෙසය.

තමන් ”ජාතික ආරක්ෂාවට” හෝ ”රනවිරුවන්ගේ ගෞරවයට” හානිවන කිසිවක් නොකරන බවට ජනාධිපති සිරිසේන යලි යලිත් සපත කරයි. යුද අපරාධ සම්බන්ධයෙන් ආරක්ෂක හමුදාවන්ට විරුද්ධ එල්ල කෙරී ඇති චෝදනා ගැන පරීක්ෂන පැවැත්වීමත්, 30/1 යෝජනාව විසින් යෝජිත ජාත්‍යන්තර විනිසුරුවන් සහිත දෙමුහුන් යුද අධිකරනයක් පිහිටුවීමත් ආන්ඩුව විසින් සෘජුව ම ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ජාත්‍යන්තර විනුසුරුවන් මෙරටට ගෙන ඒමට තමන් කිසිසේත් ම සුදානම් නැති බවත් ඒ ගැන එජා මහා ලේකම්, මානව හිමිකම් කොමසාරිස්, ප‍්‍රබල රාජ්‍ය නායකයන්ට මෙන් ම ජාත්‍යන්තරයේ ප‍්‍රධාන අංශ වලට ද ලිඛිතව දන්වා ඇතැයි ජනාධිපති සිරිසේන 27 වෙනිදා පොලොන්නරුවේ දී පැවසුවේය.

යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධ පරීක්ෂන් යට ගැසීමේ ආන්ඩුවේ පිලිවෙතට එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යයවාදී බලයන්ගේ විරුද්ධත්වයක් නැත.

අතීත උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ”ප‍්‍රතිසංස්කරනය හා වගවීම” වර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් උත්ප්‍රේරනය කරන ලද රටකට ශ්‍රී ලංකාව ”උදාහරනයක්” බව 34 වන සැසියේ ඉහල මට්ටමේ නිලධාරීන් කන්ඩායමක් අමතමින් එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් එරින් බාර්ක්ලේ පැවසුවාය. ආන්ඩුවට සහතිකයක් දෙමින් කල මෙම කතාවේදී බාර්ක්ලේ ආන්ඩුවේ පිලිවෙත ආරක්ෂා කොට ඇත.

එතනින් නො නැවතී ආන්ඩුවේ ප්‍රෝඩාවට හා උපාමාරුවලට අනුබල දෙන තවත් යෝජනාවක් එක්සත් ජනපදය, බි‍්‍රතාන්ය හා මොන්ටෙනීග්රෝ විසින් ශී‍්‍ර ලංකාවේ සම අනුග‍්‍රහය සහිතව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇත. එමගින් 30/1 යෝජනාව මගින් නිර්දේශිත ”සංහිඳියාව හා වගවීමේ” කි‍්‍රයාවලිය සම්පූර්න කිරීමට තවත් වසර දෙකක් ආන්ඩුවට ලබා දෙයි.

කොලඹ දේශපාලන ප‍්‍රභුව හා අධිරාජ්‍යවාදී බලයන් සමග පෙල ගැසී සිටින දෙමල ජාතික සංධානය (ටීඑන්ඒ) දෙමල ජනතාව රැවැට්ටීම සඳහා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ නාමයෙන් වරින් වර පුහු විරෝධතා කැඳවීම හා පාර්ලිමේන්තුව තුල ඝෝෂා කිරීම කරන නමුත් ආන්ඩුවේ සහ අධිරාජ්‍යවාදී බලයන්ගේ මේ පිලිවෙතට මුලුමනින් ම සහය දෙති. ජිනීවා මානව හිමිකම් කොමිසම් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට ආන්ඩුවට තව දුරටත් කාලය ඉල්ලීම ගැන ටීඑන්ඒ විරුද්ධ නැති බව 27 වෙනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පැවසුවේ ය.

යලි යලිත් සනාථ වන්නේ, යුද අපරාධ හා මානව අයිතීන් උල්ලංඝනය වීම ගැන පරීක්ෂා කිරීමේ, ඉන් ව්‍යසනයට පත් දෙමල ජනතාවගේ ගැටලු විසඳීමේ හා ඔවුන්ට සාධාරනය ඉටු කිරීමේ කිසිදු උවමනාවක් සිංහල හෝ දෙමල පාලක ප‍්‍රභුවට නොමැති බවයි.

Share this article: