මක්‍රොං ප‍්‍රන්ස ජනාධිපතිවරනයෙන් ජය ගනී

Macron wins French presidency

ඇලෙක්ස් ලැන්ටියර් විසිිනි ,2017 මැයි 08

බලයෙන් ඉවත්වන සමාජවාදී පක්ෂ (පීඑස්) ආන්ඩුවේ ආර්ථික ඇමතිවරයාව සිටි හා රොත්ස්චයිල්ඩ් හි හිටපු බැංකුකරුවෙක් වන එමෑනුවෙල් මක්‍රොං, ඉරිදා මැතිවරනයෙන් ජනාධිපති ලෙස පත් විය. ඔහු නව ෆැසිස්ට් ජාතික පෙරමුනේ (එෆ්එන්) අපේක්ෂක මරී ල පෙන්ට එරෙහිව ඡන්ද වලින් සියයට 65ක් ලබා ගත්තේය.

අපේක්ෂකයින් දෙදෙනාම බෙහෙවින් අපකීර්තියට පත් වූවන්ය. 1969න් පසුව ප‍්‍රන්ස ජනාධිපතිවරනයක ප‍්‍රකාශිත වැඩිම සංඛ්‍යාව සටහන් කරමින්, මැතිවරනයේ අවසන් දෙවන වටයේදී ඡන්දය වර්ජනය කලවුන් සියයට 26 දක්වා ඉහල ගියේය. සියයට 12ක් හෙවත් වාර්තාගත මිලියන 4.2ක් ජනතාව ප‍්‍රන්ස දේශපාලන සංස්ථාපිතය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින් දෙදෙනා කෙරෙහිම සිය විරෝධය පල කලේ හිස් ඡන්ද පත්‍රිකා හෝ කටුගෑ ඡන්ද පත්‍රිකා දැමීමෙනි. වයස අවුරුදු 18-24 අතර අයගෙන් සියයට 32ක් ද අවුරුදු 25ත් 34ත් අතර අයගෙන් සියයට 32 ද රැකියා නැති අයගෙන් සියයට 35 ද අනියම් කම්කරුවන්ගෙන් සියයට 32ක් ද ඡන්දය වර්ජනය කර තිබුනි.

මක්‍රොංට ඡන්දය දුන් අති බහුතරයක් ඔහු තෝරාගත්තේ, ඔහුගේ කප්පාදු, මිලිටරිවාදී හා නීතිය හා සාමය පිලිබඳ ප‍්‍රතිපත්ති නිසා නොව, එෆ්එන් පක්ෂය පරාජය කිරීමේ අවශ්‍යතාව මුල්කරගෙනය. එක් අයිපොඩ්ස් මත විමසුකින් හෙලි වුනේ, ප‍්‍රන්ස ජනතාවගෙන් සියයට 61ක්, මක්‍රොංගේ සමාජ සහන කැපීම හා යුද්ධයේ න්‍යායපත‍්‍රයට කෙතරම් සතුරු ද යත් ජූනියේ පැවැත්වීමට නියමිත ජාතික මන්ත‍්‍රන සභා මැතිවරනයේදී ඔහුට බහුතරයක් ලැබෙනවා දකින්නට අකැමැත්ත පල කලහ.

එෆ්එන් පක්ෂය සම්බන්ධයෙන් ගතහොත් එහි පුලුල් අපකීර්තිය සලකුනු කරමින්, ඡන්දය වර්ජනය කල හෝ හිස් හා කටුගෑ ඡන්ද පත්‍රිකා දැමූ අයගේ එකතුව ල පෙන්ට ඡන්දය දුන් පිරිසට වඩා වැඩි විය. එහෙත් තමාට සහාය දැක්වූ හෝ ඡන්දය දීමෙන් වැලකුනු ප‍්‍රන්ස ජනතාවගේ අති බහුතරය නොසලකා හරිමින් මක්‍රොං, සිය කෙටි හා අලස ලෙස පැවැත්වූ ජයග‍්‍රාහී කථාවේදී ආයාචනය කලේ, ල පෙන්ගේ පක්ෂයට හා ඇගේ ආධාරකරුවන්ටය. නව ෆැසිස්ට්වාදී අපේක්ෂකයාට ඡන්දය දීම කරා යොමු කල මිලියන සංඛ්‍යාත ජනතාවගේ “කෝපය, සැක සාංකා හා ක්ෂතිය” වෙත තම අවධානය යොමු කරන බවට පොරොන්දු වෙමින් මක්‍රොං ල පෙන් වෙත “රිපබ්ලිකානු ආචාරය” පිලිගැන්වීය.

මූලික ප‍්‍රජාතන්ත‍්‍රමය අයිතීන් අත්හිටුවමින්, ප‍්‍රන්ස රාජ්‍යයේ නීතිය හා සාමය පිලිබඳ පිලිවෙත් දරදඬු කරන බවට පිලින දී සිටි පීඑස් ආන්ඩුවේ හදිසි නීති පාලනයට මක්‍රොං පූර්න සහාය ලබා දුන්නේය. දෙවසරකට පෙර පීඑස් ආන්ඩුව විසින් පනවන ලද හදිසි නීතිය යටතේ දැවැන්ත පොලිස් හා මිලිටරි බලමුලු ගැන්වීම තමන් විසින් ද පෙරට ගෙන යන බව පැහැදිලි කරමින් මක්‍රොං පොරොන්දු වුනේ, “තිරසර ලෙස ඔබගේ ආරක්ෂාව හා ජාතියේ එක්සත්කම සහතික කරන” බවටයි.

මක්‍රොං මිලිටරිවාදී ස්වරයකින් පැවසුවේ, තමා “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” කෙරෙහි ද යුරෝපීය සංගමයේ ආරක්ෂාව මෙන්ම “අපගේ ජන ජීවිතයේ සදාචාරමය ප‍්‍රවර්ධනය” කෙරෙහි ද අවධානය යොමුකරනු ඇති බවයි.

එෆ්එන් නිලධාරීන් ඉදිරියේ කථාකරමින් ල පෙන් මෙසේ පැවසුවාය. “සමූහාන්ඩුවේ පැවැත්ම සඳහා නව ජනාධිපති ප‍්‍රන්ස ජනතාව විසින් තෝරාගනු ලැබ තිබේ.” එසේම තමා මක්‍රොං අමතා, “ප‍්‍රන්සය ඉදිරියේ පවතින දැවැන්ත අභියෝගයන් හමුවේ ඔහු ජයග‍්‍රාහී වනු ඇතැයි මම ඔහුට ශුභ පැතුවෙමි” යයි ද පැවසුවාය.

පීඑස් හා එහි දේශපාලන සහචරයින්, තමන්ගේ අන්ත දක්ෂිනාංශික පක්ෂය වැඩ භාරගන්නා ජනාධිපතිගේ එකම විරුද්ධ පක්ෂය බවට පත්කිරීමේ අටියෙන් මක්‍රොංගේ මැතිවරන ව්‍යාපාරයට සහාය දුන් බව ඇය පැවසුවාය. “නව ජනාධිපතිගේ වැඩ පිලිවෙලට එරෙහි ප‍්‍රධාන බලවේගය” එෆ්එන් හා එහි සහචරයන් වනු ඇත. “මක්‍රොංට සහාය දුන් බලවේග තෙමේම අපකීර්තියට පත්ව සිටියි. තමන් විකල්ප ආන්ඩුවක් නිර්මානය කල හැකි බලවේග හෝ දේශපාලන විරුද්ධ පක්ෂයක් යයි පවා ඔවුන්ට කිව නොහැකිය.” තම ප‍්‍රතිරූපය නගාසිටුවා අවසානයේ බලයට පත්වීමේ අරමුන ඇතිව ජනතාවගේ කැමැත්ත දිනාගත හැකි පරිදි එෆ්එන් පක්ෂය “ගැඹුරු පරිවර්තනයකට” ලක්කිරීමට ල පෙන් පොරොන්දු දුන්නාය. ඔහුගේ අනුමැතිය පලකිරීම සම්බන්ධයෙන්, ප‍්‍රන්සය නැගී සිටිනු (ඩීඑෆ්එල්) යන අන්ත දක්ෂිනාංශික පක්ෂයේ නායක ඩියුපොන් ඒග්නන්ට ඇය ස්තුති කලාය. එසේම ඇය, ඉදිරි කාලය තුල තවත් දක්ෂිනාංශික පක්ෂ නව ෆැසිස්ට්වාදීන් සමග එක්වනු ඇති බවට අනාවැකි ද පල කලාය.

මක්‍රොංගේ මැතිවරන ජයග‍්‍රහනය කිසිවක් විසඳනු නැත. එය නිර්මානය කරනු ඇත්තේ එලඹෙන මාසවල, පුලුල් හා වඩාත් පුපුරන සුලු දේශපාලන හා පන්ති ගැටුම් පමනි. පීඑස් හා දැන් රිපබ්ලිකානු (එල්ආර්) යනුවෙන් හඳුන්වන ඩිගෝල්වාදී පක්ෂයෙන් සමන්විත, 1968 මැයි ජූනි මහා වැඩවර්ජනයේ පටන් ප‍්‍රන්සය පාලනය කල ද්වි පක්ෂ ක‍්‍රමයේ ඓතිහාසික බිඳවැටීම හමුවේ ඔහු බලයට පත්ව සිටී.

යුද්ධයේ හා කප්පාදුවේ දශක ගනනක් දිග අපකීර්තිමත් වාර්තාවකට හිමිකම් කියන පක්ෂ දෙක වන පීඑස්හි අපේක්ෂක බෙනොයින් හැමන් හා එල්ආර් හි අපේක්ෂක ප‍්‍රන්සුවා ෆිලන් මැතිවරනයේ පලමු වටයේදීම අතුගෑවී ගියේය. පලමුවෙන් ජනාධිපති නිකොලායි සාකෝසි යටතේ ද විශේෂයෙන්ම හදිසි නීති පාලනයක් ප‍්‍රකාශයට පත් කල පීඑස් ජනාධිපති ප‍්‍රන්සුවා ඔලන්ද් යටතේ ද විවෘතවම නීතිය හා සාමය ද මුස්ලිම් විරෝධී මනෝභාවයන් ද වගා කල අතර, එය අන්ත දක්ෂිනාංශික එෆ්එන් පක්ෂය ප‍්‍රන්ස දේශපාලනයේ ප‍්‍රවාහයේ ප‍්‍රධාන බලවේගයක් බවට ඔසවා තැබීය.

සිය ජනාධිපති ධුර කාලය තුල ඔලන්ද් කිහිප වතාවක් මරී ල පෙන් එල්සි ජනාධිපති මැඳුරට කැඳවීම ද පීඑස් හා මක්‍රොං එෆ්එන් නීත්‍යානුකූල දේශපාලන සහචරයන් බව පෙන්වීමට, ජාතික එකමුතුවේ නාමයෙන් පසුගිය රාත්‍රියේ එෆ්එන් වෙත දෑත් දිගු කල මක්‍රොංගේ ක්‍රියාකලාපය ද එකක්ම විය.

ඔලන්ද් මෙන්ම ම ද තමන් මක්‍රොංගේ ගැඹුරින්ම අපකීර්තිමත් ක්‍රියාමාර්ගය සඳහා දේශපාලන පදනම ලෙස එෆ්එන් නගා සිටුවීම දැකගත හැකිය. ඔහු ආඥාවන් මගින් ශ‍්‍රම කොන්ත‍්‍රාත් හා සමාජ වියදම් කපා හෙලීමේ පීඑස්හි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කම්කරු නීති ද ආරක්ෂක පිරිවැය වැඩි කිරීම ද ප‍්‍රධාන පෙලේ යුද්ධයන්ගේ අවධියක් සඳහා සූදානම් වීමක් ලෙස බලහත්කාරයෙන් හමුදාවට බඳවාගැනීමේ නීති ද යලි ස්ථාපිත කිරීමට පිලින දී ඇත.

මැතිවරන ප‍්‍රතිපලය කෙරෙහි මක්‍රොංගේ ප‍්‍රතිචාරය සලකුනු කරන්නේ, සමාජවාදී සමානතා පක්ෂය විසින් මැතිවරනයේ දෙවන වටය වර්ජනය කරන ලෙසට කල කැඳවුමේ නිවැරදි භාවයයි. එෆ්එන්හි වැඩෙන අනුහස වලක්වා අව්‍යාජ දේශපාලන විකල්පයක් ඉදිරිපත් කිරීමට හා සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරනු ඇති අඩු නපුර ලෙස මක්‍රොං කෙරෙහි විශ්වාසය තැබිය හැකිය යන අදහස් සසප විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. ඒ වෙනුවට සසප පැහැදිලි කලේ, නව ජනාධිපති ලෙස පත්වන්නේ ල පෙන් වේවා මක්‍රොං වේවා ඔහුට විරුද්ධව පැන නගිනු ඇති අරගලයන්ට කම්කරු පන්තිය දේශපාලනිකව සූදානම් කිරීම මූලික කර්තව්‍යය වන බවයි.

ජීන් ලූක් මෙලෙන්ෂොන්ගේ යටත් නොවන ප‍්‍රන්සය (යූඑෆ්) ව්‍යාපාරය හා නව ධනේශ්වර විරෝධී පක්ෂය වැනි පීඑස්හි විවිධ සහචරයන් මක්‍රොංට ප‍්‍රසිද්ධියේම නොවුන ද දැක්වූ සහාය ද ඔවුන්ගේ පාර්ලිමේන්තුවාදී අභිලාෂයන් ද සමග මෙම විප්ලවවාදී ඉදිරිදර්ශනය තියුනු ආකාරයකින් වෙනස්ය. මෙලන්ෂොන් ප‍්‍රසිද්ධියේම මක්‍රොංට ඡන්දය දෙන ලෙස කියා සිටීම ප‍්‍රතික්ෂේප කලේය. එහෙත් ඔහු මක්‍රොංට හිමිවන සිය සහයෝගය සැඟවූයේ නැත. ඔහු මක්‍රොංගේ අගමැති වීමට කැමැත්ත පල කරන තරම් දුර ගියේය. එහිදී ඔහු මක්‍රොංගේ ආක‍්‍රමනකාරී විදෙස් හා මිලිටරි පිලිවෙත සඳහා වගකීම දරන ආස්ථානයක් ගනු ඇත.

මෙලෙන්ෂොන් පසුගිය රාත්‍රියේ ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියේ, ජූනි මාසයේ පැවැත්වෙන මැතිවරනයේදී යූඑෆ් පක්ෂයේ බලගතු කන්ඩායමක් ව්‍යවස්ථාදායක සභාව වෙත යැවීමට සහාය දක්වන ලෙසයි. ඒ මක්‍රොංගේ අගමැති වීමේ ඔහුගේ සිහිනය සැබෑකර ගැනීමටය.

මක්‍රොං දක්ෂිනාංශික මැතිවරන උද්ඝෝෂනයක යෙදී සිටියදී, පීඑස් හා ඩිගෝල්වාදීන් ල පෙන්ට විරුද්ධව මක්‍රොංට සහාය දෙන තතු යටතේ එෆ්එන් පක්ෂයට, වාර්තාගක මිලියන 11ක් ඡන්ද ලබා මක්‍රොංට විරුද්ධ ජනතාවාදී විකල්පය ලෙස පෙනී සිටීමට හැකි විය. ල පෙන් තීරනාත්මක සියයට 30ක පරතරයක් සහිතව පරාජයට පත් විය. එහෙත් එෆ්එන් පක්ෂය ජනාධිපතිවරනයක දෙවන වටය සම්පූර්න කල අනෙක් එකම අවස්ථාවේදී ලැබුවාට වඩා ඡන්ද ප‍්‍රමානය දෙගුන කර ගෙන ඇත. 2002දී ඇගේ පියා වන ජීන් මාරි ලේ පෙන් ඩිගෝල්වාදී ජැක් චිරාක් සමග තරඟයේදී ඡන්ද වලින් සියයට 17.79ක් දිනා ගත්තේය.

Share this article: