ගිය සතියේ හර්තාලයෙන් උතුරු නැගෙනහිර ඇන හිටී

අපේ වාර්තාකරුවන් විසිනි , 2017 මැයි 03

අප්‍රේල් 27 දා උතුරු-නැගෙනහිර පලාත් දෙකේ පැවති හර්තාලයට දහස් ගනන් වැඩකරන ජනයා සහභාගී වුහ. හර්තාලය නිසා උතුරු පලාතේ සෞඛ්‍ය, විදුලිය හා ජල සැපයුම හැර රාජ්‍ය සහ පුද්ගලික ප්‍්‍රවාහනය, වානිජ හා බැංකු කටයුතු, කර්මාන්ත, ආපනශාලා හා පාසල් ඇතුලු සමස්ත ආර්ථික හා සමාජ ක්‍රියාකාරිත්වය ම ඇනහිට වූ අතර නැගෙනහිර පලාතේ පාර්ශවීය වශයෙන් එය සිදු විය. දෙමල ජනයාට අමතරව නැගෙනහිර පලාතේ මුස්ලිම් ජනයා ද හර්තාලයට සම්බන්ධ වූහ.

යුද්ධය තුල අතුරුදහන් වූ සිය ඥාතීන් ගැන තොරතුරු එලිදරව් කිරීම හා හමුදාව සහ ආන්ඩුව විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින මහජනතාවගේ ඉඩම් නිදහස් කිරීම හර්තාලයේ මූලික ඉල්ලීම් වුූයේ ය.

හර්තාලය කැඳවුම් කලේ උතුරු පලාත්සභා මහ ඇමති සි.වී. විග්නේශ්වරන් නායකත්වය දරන දෙමල ජනතා කවුන්සිලය (ටීපීසී) විසිනි. එය දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්), දෙමල ඊලම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට්), ඊලම් ජනතා විප්ලවවාදී පෙරමුන (ඊපීආර්එල්එෆ්) හා විවිධ සිවිල් සංවිධාන වල එකතුවකි. දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) මහජනයා අතර අපකීර්තියට පත්වන තතු තුල මෙම සංවිධානය ගොඩ නැගුවේ එයට ආවරනයක් ලෙස ය.

දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) පාර්ලිමේන්තු හොරනෑව ලෙස ක්‍රියා කල ටීඑන්ඒ, හා ඊලම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ඊපීඩීපී), ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය (එස්එල්එම්සී) හා සමස්ත ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය (ඒඑල්එම්සී) ද උද්ඝෝෂනයට “සහයෝගය” ප‍්‍රකාශ කලහ.

යුද්ධයෙන් ඇතිවූ විනාශයන් ගෙන් පෙලෙන උතුරු නැගෙනහිර ජනයාට දරිද්‍රතාව හා විරැකියාව අතුලු සමාජ ප‍්‍රශ්න විසඳා ගැනීමත් හමුදා පාලනයකට සමාන කොන්දේසි අහෝසි කර ගැනීමත් සඳහා ඇත්තේ අව්‍යාජ උවමනාවකි. එහෙත් ටීඑන්ඒ, ටීපීසී ඇතුලු පක්ෂවලට මේ උවමනාවන් ගැන මොනම තැකීමක් වත් නැත. විටින්විට ඔවුන් කොලඹ ආන්ඩුව විවේචනය කිරීම හා අප්‍රේල් 27 දා මෙන් හර්තාල් හෝ වෙනත් විරෝධතා කැඳවන්නේ මහජනයා අතර දිගින් දිගටම කැකෑරෙන විරෝධතාව යටපත් කිරීමේ උවමනාවෙනි.

ඔවුන්ගේ උත්සුකය ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ භූ දේශපාලන උවමනාවන්ට සේවය කිරීමේ කොටසක් ලෙස කොලඹ වොෂින්ටනයට ගැති සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව රැකීමයි; එමගින් තමන්ගේ වරප‍්‍රසාද රැක ගැනීමට ඔවුහු උනන්දුවී සිටිති.

ටීඑන්ඒ වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා වොෂින්ටනය ගෙන ගිය තන්ත‍්‍ර මාරුවට ඍජුව ම සහයෝගය දුන්නේය. එස්එල්එම්සී, ඒඑල්එම්සී හා ඊපීඞීපී මහින්ද රාජපක්ෂ ආන්ඩුවට සහ එහි වර්ගවාදී යුද්ධයට සහයෝගය දුන් අතර මුලින් කී පක්ෂ දෙක දැන් වර්තමාන ආන්ඩුවේ කොටස්කරුවෝ ය. ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට සහ කම්කරු-පීඩිත ජනයාට එරෙහිව හමුදා වාඩිලා ගැනීම ඇතුලු දුෂ්ට මර්දන යන්ත‍්‍රනය පවත්වාගෙන යාමට ඔව්හු ආන්ඩුවට සහය දෙති. ඊපීඞීපී ය වර්තමාන ආන්ඩුවේ කොටස්කරුවෙකු නොවේ, නමුත් ඊට සහයෝගය දෙයි.

අතුරුදහන් වූවන් පිලිබඳ තොරතුරු සෙවීම ඇතුලු ඉල්ලීම් සම්බන්ධයෙන් මේ පක්ෂවල ඉල්ලීම් කුහකය. මන්ද යත් ඔවුන් යුද අපරාධ යට ගැසීම සඳහා කොලඹ ආන්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඇමරිකාවේ සහාය ද ඇතිව කරන උපාමාරු වලට පක්ෂ බැවිනි.

දෙමල ජනතාව සමග මුස්ලිම් ජනයා ගිය සතියේ හර්තාලයට සහභාගීවීම එල්ටීටීඊ ය විසින් යුද්ධය තුල දී උතුරු පලාතේ මුස්ලිම් ජනයා පලවා හැරීමෙන් හා ඔවුන්ට විවිධ අඩන්තේට්ටම් කිරීමෙන් ජන කන්ඩායම් දෙක අතර ඇති කල විරසකය කපාගෙන ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව පොදු අරගලයක් සඳහා ඔවුන්ගේ නැඹුරුව පෙන්නුම් කරයි.

එදින උතුරු-නැගෙනහිර ප‍්‍රදේශ කිහිපයක මහජන පෙලපාලි සහ විරෝධතා පැවැත් වුනි. මුලතිව් හා වව්නියාවේ පෙලපාලි ගිය දහස් ගනනක් ජනයා මහනුවර-යාපනේ ඒ-9 මාර්ගය අවහිර කලහ. විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කිරීමට පොලීසිය ගත් උත්සාහය අසාර්ථක වූ විට විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කිරීමේ පොලිස්කාරකම කලේ දෙමල ජාතික සන්ධානයේ දේශපාලනඥයන් විසිනි.

චුන්නාකම් හි පදිංචි වීදුරු කම්හලක වැඩකරන තරුන කම්කරුවෙකු වන බාල්රාජ් දෙමල පක්ෂවල ක්‍රියාකලාපය දැඩිලෙස හෙලා දුටුවේය. “හර්තාලයෙන් චුන්නාකම් මුලූමනින් ම ඇනහිටි නමුත් විරෝධතාවට නිසි නායකත්වයක් නැහැ. ඊලඟට කරන්නේ මොකක් ද කියල මිනිස්සු දන්නේ නැහැ. උද්ඝෝෂනයේ අරමුන මොකක් ද කියල කිසිකෙනෙක් පැහැදිලි කලෙත් නැහැ. හැම ආන්ඩුවක් ම අපට පහර දෙනවා. අපේ අයිතීන් දීම ප‍්‍රතික්ෂේප කරනව. ටීඑන්ඒ එක අපව රවට්ටනවා. තරුනයන්ට සුදුසු රක්ෂා නැති නිසා ඔවුන් සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙලඹෙනවා”.

දරිද්‍රතාව සහ විරැකියාව නිසා රටේ අනෙක් ප‍්‍රදේශවලට වඩා සාපේක්ෂව උතුරේ තරුනයන් අතර සමාජ පරිහානිය වැඩි බව ඔහු කීවේ ය.

යුද්ධය අවසන් වී වසර අටක් ගත වී ඇත. එහෙත් උතුරු නැගෙනහිර ජනයාගේ අතිමූලික ප‍්‍රශ්න එකක්වත් විසඳී නැත. හමුදාව තවමත් එම ප‍්‍රදේශ වාඩිලාගෙන සිටිති.

අතුරුදහන්වුවන්ගේ ඥාතීන් හා යුද්ධය තුල හමුදාව විසින් බලෙන් අත්පත් කරගත් ඉඩම් නිදහස් නොකිරීම නිසා ඉඩම් අහිමිව සිටින පවුල් 2009 යුද්ධය අවසන් වූ පසු එක දිගටම තම ප‍්‍රශ්නවලට සාධාරන විසඳුම් ඉල්ලා උද්ඝෝෂනය කරති. මෙවර ද මාස දෙකකට ආසන්න කාලයක් මෙම පවුල්වල සාමාජිකයෝ අඛන්ඩ විරෝධතාවල යෙදුනහ. එහෙත් ටීඑන්ඒ සහ ටීපීසී කලේ දෙමල මහජනතාව නිස්සාර විරෝධතාවලට කොටුකර ඔවුන් අවමංගත කිරීමයි.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ, අභ්‍යාසලාභි ගුරුවරුන්ගේ සහ දකුනේ කම්කරුවන්ගේ අරගල හා බද්ධ වූ රජයේ සේවකයන්ගේ අරගල උතුරු-නැගෙනහිර පලාත්වල යලි යලිත් මතුවෙයි.

සීමා බාධක බිඳගන තමන්ගේ පාලනයෙන් පිට පැන මෙම මහජන විරෝධය සමාජ පිපිරීමක් කරා වර්ධනයවීම සහ එය ජීවන තත්වයන් ට සහ ප‍්‍රජාතන්තීය අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව නොසන්සුන් වී සිටින දකුනේ කම්කරු පීඩිත ජනයාගේ අරගල සමග බද්ධවීමට ඇති හැකියාව කෙරෙහි මෙම නායකයෝ බිය වී සිටිති.

පසුගිය සතියේ බදාදා නිකුත් කල ප‍්‍රකාශයක දී හර්තාලය කැඳවීමට සිදු වී ඇත්තේ අතුරුදහන්වූවන්ගේ පවුල් හා ඉඩම් අහිමි වී සිටින පවුල් වල ජනයා දින 50 ක් පුරා ගෙන යන විරෝධතා උද්ඝෝෂනය කෙරෙහි ආන්ඩුවේ “නොතැකීම” නිසා බව දෙමල ජනතා කවුන්සිලයේ නායකයා සහ උතුරු පලාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් කියා ඇත. ආන්ඩුව දිගටම මහජනතාවගේ විරෝධය නොතකා හැරියොත් එය “බැරෑරුම් පරිමාවක්” අත්කර ගැනීමට ඉඩ ඇති බවටත් එවැනි තත්වයක් පැන නැගීම ආන්ඩුවට “හොඳ නැති” බවටත් ඔහු එහි දී කොලඹ පාලක පන්තියට අනතුරු ඇඟවී ය.

ටීඑන්ඒ සහ ටීපීසී දෙකම උත්සුක වන්නේ දෙමල මහජනතාවගේ දුක්ගැනවිලි ගැන නොව, දෙමල ප‍්‍රභූවේ වරප‍්‍රසාද ගැනය. මෙම සංවිධාන දෙකම අධිරාජ්‍ය ගැති පක්ෂ වන අතර ජාත්‍යන්තර බලයන්ගේ, විශේෂයෙන් ම, එක්සත් ජනපදයේ හා කලාපය තුල එහි මූලෝපායාත්මක අවශ්‍යතා වෙනුවෙන් පෙරමුනු රාජ්‍යයක් ලෙස වැඩ කරන ඉන්දියාවේ සහයෙන් සිය වරප‍්‍රසාද සඳහා කොලඹ ආන්ඩුව සමග කේවල් කරති.

යුද්ධය තුල ආන්ඩුවේ ආරක්ෂක හමුදාවන් විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කෙරුන දෙමල ජනතාව ගැන මෙතෙක් නිශ්චිත සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කෙරී නැත. වැඩි කොටසක් අතුරුදහන් කෙරුනේ යුද්ධයේ අවසාන මාසවල දී ය. යුද්ධයේ අවසාන මාසවල දී 40,000 ක් පමන ජනයා මියගිය අතර 10,000 වැඩි දෙමල තරුනයන් ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගැනුනි.

ප‍්‍රශ්නය යට ගැසීම සඳහා පසුගිය ආන්ඩුව කිව්වේ අතුරුදහන් වූවන්ගෙන් බහුතරය විදේශයන් ට පලාගොස් ඇති බව ය. වර්තමාන ආන්ඩුත් එයම පුනරුච්චාරනය කරයි. තමන් අතුරුදහන් වූවන්ගේ පවුල් 39,000 ක් නියෝජනය කරන බව දෙමල පක්ෂ කියයි.

යුද්ධයේ අවසාන සතිවල රජයේ හමුදාවලට බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් යැයි සලකන අය ගැන තොරතුරු දීම හමුදාව දිගට ම ප‍්‍රතික්ෂේප කරයි. අතුරුදහන් වූවන් ගැන නිසි තොරතුරු හෙලි කිරීම රජයට හා එහි හමුදාවලට එල්ල කෙරී ඇති යුද අපරාධ තහවුරු කරන එක් ප‍්‍රබල සාක්ෂියක් වන බව ආන්ඩුව දනී. එමෙන් ම “රනවිරුවන්” දිවිහිමියෙන් ආරක්ෂා කරන බව; එනම් යුද අපරාධ වලට වගකිව යුතු කිසිම ආරක්ෂක හමුදා සාමාජිකයෙකුට හෝ නිලධාරියෙකුට දඬුවම් නොකරන බව රාජපක්ෂ ඇතුලු කලින් ආන්ඩුවේ නායකයන් මෙන් ම වත්මන් ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ ද දිවුරා කියති.

Share this article: