මීතොටමුල්ල ව්‍යසනයෙන් අවතැන්වූවෝ දැඩි දුෂ්කරතාවයන්ට මුහුනදෙති

අපේ වාර්තාකරුවන් විසිනි , 2017 මැයි 17

අප්‍රේල් 14 දා 32 කට ජීවිත අහිමි කරමින් හා නිවාස 146ක් විනාශ කරමින් මීතොටමුල්ල කසල කන්දෙන් කොටසක් කඩාවැටීම නිසා සිදුවූ ව්‍යසනයෙන් අවතැන්වූවෝ දැඩි දුෂ්කරතා වලට මුහුන දී සිටිති. සිද්ධියෙන් නිවාස විනාශ වූ හා අවදානම් තත්වය නිසා නිවාස වලින් ඉවත් කෙරුනු පවුල් ගනනාවක් තවමත් පදිංචියට නිසි ස්ථානයක් සොයාගත නොහැකිව අසරන තත්වයකට පත්ව ඇත.

කසල කන්ද කඩාවැටීමෙන් අලාභහානි සිදුවූ දහම්පුර ප‍්‍රදේශයේ තවත් නිවාස ගනනාවක් අපදා කලමනාකරන මධ්‍යස්ථානය මගින් “අවදානම් සහිත” යයි සලකුනු කොට නිවැසියන්ට ඉවත්ව යන ලෙස දැනුම් දී ඇත.

පසුගිය දා මෙම අවතැන්වූවන් හමුවීමටගිය ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට ඔවුන් පැවසුවේ ආපදාව සිදුවී සතියක පමන කාලයක සිට වරින් වර මේ අයුරින් නිවාස සලකුනු කල බවයි.

අවදානම් සහිත යයි සලකුනු කර ඇති නිවසකින් වෙනත් ස්ථානයක පදිංචියට යාමට සැරසෙන ඩබ්ලිව්. ආර්. අබේවික‍්‍රම

මෙසේ අවදානම් සහිත යයි සලකුනු කර ඇති නිවසකින් තම බඩුබාහිරාදිය ඉවත් කරගනිමින් තම පවුල සමඟ වෙනත් ස්ථානයක පදිංචියට යාමට සැරසෙන ඩබ්ලිව්. ආර්. අබේවික‍්‍රම: “අපි මේ ගෙදර ඉන්නේ කුලියට, මේක අවදානම් කියල ලකුනු කරපු නිසා අපිට යන්න වුනා. ඔය තාවකාලික තැන් වලට ගිහින් ඉන්නේ ගෙවල් අයිතිකාරයෝ. කුලියට හිටිය අපි වගේ අයට කෙලින්ම කුලියට තැනක් හොයාගෙන යන්න කිව්වා.”

ඔහු තවදුරටත් කියා සිටියේ, ප‍්‍රදේශයේ අවුරුදු 50 කටත් වඩා ජීවත් වූ පවුල් වලට නිවාස හැරයාමට සිදුවී ඇතත්, ඔවුන්ට නව නිවාස ලබාගැනීම තබා කුලියට නිවසක් සොයාගැනීමත් අපහසු වී ඇති බවයි.

“අපි කුලී නිවැසියන් හින්ද ආන්ඩුවෙන් ලැබුනේ මාසෙක කුලිය කියල රු. 50,000 කුත් බඩු ඇදගන්න රු 10,000 කුත් විතරයි. අනිත් මාස වල කුලිය ලැබෙයිද නොලැබෙයිද කියල කියන්න බැහැ. එත් වෙච්ච දේ දැක දැක අනතුරුදායකයි කියල කිව්වහම මෙතැන ඉන්න බැහැනේ” අබේවික‍්‍රම වැඩිදුරටත් ප‍්‍රකාශ කලේය.

ත්‍රිරෝද රථ රියදුරෙකු වන දිලීප් නිර්මල කියා සිටයේ, විනාශය සිදු වීමට කලින්ද සමහර නිවැසියන්ට ඉවත්ව යන ලෙස රජයෙන් දැනුම් දී තිබුනත්, ඔවුන්ට නිවාස කුලිය ලෙස ලබා දෙන බව කියා තිබුනේ මසකට රු. 15,000ක් පමනක් බවත්ය.

“එ්ක කොහෙත්ම මදි කොලඹින් පවුලකට ඉන්න ගෙයක් ගන්න, ඇරත් ඒ ගාන දෙනවා කියල තිබුනේ කොලඹ නගර සභාව හරහා, ආන්ඩුවෙන් නෙමෙයි. ඉතින් කවුරුත් කැමති වුනේ නැහැ යන්න.”

මීට අමතරව සමහර පවුල් වලට තමන් දීර්ඝ කාලයක් ජීවත්වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක සොච්චම් වන්දියක් ලබා දීමට යෝජනා වූ අතර නිවැසියෝ එය තරයේ ප‍්‍රතික්ෂේප කල බවද දිලිප් පැවසීය.

නිවැසියන් කෙසේ හෝ ඉවත්කර ප‍්‍රදේශයේ ඉඩම් මුදා ගැනීම ආන්ඩුවේ අරමුනයි. ඒ සඳහා දිරිගැන්වීමක් ලෙස මසකට කුලිය වශයෙන් රු. 50,000 ක් දෙන බවට කිසිදු සහතිකයක් නොමැති පොරොන්දුවක් ආන්ඩුවෙන් ලබාදී ඇත. ස්ථිර ඔප්පු හෝ පදිංචි සහතික සහිත පවුල් වලට, නිවාස තක්සේරු කර වන්දි ලබා දෙන බවටත්, වරිපනම් සහතික පමනක් සහිත පවුල් 98 කට දැනට රජයේ මහල් නිවාස වලින් නිවාස ලබාදෙන බවටත් ආන්ඩුව පොරොන්දු වූ බව රෝහන පැවසීය.

මේ ව්‍යසනය නිසා ආන්ඩුවට එල්ලවී ඇති මහජන වෛරය සමනය කරගනු පිනිස, මින් පවුල් 68කට කඩිමුඩියේ මහල් නිවාස වල යතුරු භාරදීමේ උත්සවයක් පසුගියදා බස්නාහිර පලාත් හා මහානගර සංවර්ධන ඇමති චම්පික රනවකගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර, එහිදී ද තමන්ගේ තත්වය ගැන රජය දක්වන රලු නොසැලකිලිමත්කම ගැන ආපදාවට ලක්වුවන් කෝපය ප‍්‍රකාශ කලහ.

පුද්ගලික ආයෝජන හා“නගර අලංකරන” ව්‍යාපෘති සඳහා පවුල් 70,000ක් කොලඹ නගරයේ සමහර ප‍්‍රදේශ වලින් ඉවත් කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙල යටතේ, ප‍්‍රමිතියකින් තොරව ඉදිවන මේ ඉතා කුඩා මහල් නිවාස අතලොස්ස දැනටමත් කොලඹ විවිධ ප‍්‍රදේශ වල පවුල් වලට ලබාදෙන බවට පොරොන්දු වී ඇත. ඒවා ලබා දෙන්නේද තාවකාලික ලියවිල්ලකින් මිස ස්ථිර ඔප්පුවකින් නොවන අතර, මසකට නිවාස කුලිය හා ජල බිල්පත් ලෙස විශාල මුදලක් ගෙවීමට සිදුවීම, විදුලි සෝපාන ක‍්‍රියා නොකිරීම්, වැසිකිලි උතුරා යාම වැනි කරුනු ගනනාවක් නිසා මේ මහල් නිවාසලාභීන් දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇති අයුරු ලෝසවෙඅ දිගින් දිගටම වාර්තා කර ඇත.

ධාන්‍ය ගබඩාවෙන් පවුල් ඉවත් කිරීමට හේතුව රාහුල විද්‍යාලය ගෙන ඒම ය

තම නිවාස අවදානම් බව සලකුනු කිරීම නිසා නිවාස වලින් ඉවත් වීමට සිදුවූ පවුල් ගනනාවක්, මීතොටමුල්ල රජයේ ධාන්‍ය ගබඩාවකද රැඳී සිටිති. එහි ගිය ලෝසවෙඅ වාර්තාකරුවන්ට දැනගැනීමට ලැබුනේ, එම පවුල් වලට එහි රැුඳී සිටීමට අවසර ලැබී ඇත්තේ සතියක් පමන බවත්, ඉදිරි දින දෙක ඇතුලත කුලියට නිවසක් සොයාගෙන ඉන් ඉවත්ව යන ලෙස රජයෙන් දැනුම් දී ඇති බවත්ය. ධාන්‍ය ගබඩාවෙන් පවුල් ඉවත් කිරීමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ, අවදානම් කලාපයේ ඇති මීතොටමුල්ල රාහුල විද්‍යාලය මේ ස්ථානයට ගෙන ඒමට ගෙන ඇති තීරනයයි.

එකම නිවසක විසු පවුල් දෙකක ගෘහනියන් දෙදෙනෙකු වූ නඩරාජා තනපාක්‍යම් හා සිවගාමි කියා සිටියේ, අප්‍රේල් 14 විපත සිදුවී සතියක් පමන ඇතුලත තම නිවස අවදානම් බවට ලකුනු කර ඔවුන්ට ඉවත්ව යනමෙන් දැනුම් දුන් බවයි. ”අපි මුලින්ම ගියේ කොලොන්නාවේ ටෙරන්ස් ඉස්කෝලෙට, එතන සතියක් ඉඳල මෙතනට එව්වා. එනකොට කිව්වා මෙතන ඉන්න දෙන්නෙ සතියයි, ඒ ඇතුලත කුලියට ගෙයක් හොයාගන්න ඕනේ කියලා” තනපාක්‍යම් පැවසුවාය. තමන් ඉතා අපහසුවෙන් ගෙයක් හොයා ගත්තත්, ඒ කුඩා නිවාස පවුල් දෙකකට වාසය කිරීමට නුසුදුසු බව ඇය තවදුරටත් කීවාය.

ඇය මෙසේද පැවසුවාය “අපේ පවුල් දෙකම හිටියේ එක ගෙදර, ඔක්කොම දහදෙනයි. නමුත් දැන් කුලී ගෙවන්න සල්ලි ලැබුනේ එක පවුලකට විතරයි.” කුලිය සඳහා රජයෙන් දෙන මුදල් ආධාරය ලබාගත හැක්කේ වරිපනම් කුවිතාන්සි ඇති අයට පමනක් බවත්; එසේ නොමැති අයට නිවසකට හිමිකමක් තහවුරු කල නොහැකි බැවින් ආධාර නොලැබෙන බවත් ඇය ප‍්‍රකාශ කාලය. ”අපිට චන්දය නැති නිසා නගර සභාවෙන් ටැක්ස් බිලක් දෙන්නෙ නැහැ. නමුත් මේක අපේ උපන් ගම.”

කොලඹ දුගී ප‍්‍රදේශ වල ඉඩම් ඩැහැගැනීම සඳහා එම ප‍්‍රදේශයන්හි නිවැසියන්ට තම ස්ථිර පදිංචිය තහවුරු කිරීම අපහසු වන ආකාරයේ කූට බාධක පැනවීම දීර්ග කාලය පුරා විවිධ ආකාරවලින් පැවති අයුරු ලෝක සමාජවාදී වෙබ් අඩවිය හෙලිදරවු කර ඇත. දැන් ඒ කූට උපක‍්‍රමම භාවිත කරමින්, මීතොටමුල්ල ව්‍යසනයට මුවාවී සමහර පවුල් වලට වන්දි නොගෙවාම ඉවත් කිරීමට ආන්ඩුව සැරසෙයි.

පිටකොටුවේ කුලී කම්කරුවෙකු ලෙස වැඩකරන එච්. ඒ. ප‍්‍රියන්ත කියා සිටියේ, විපතින් අවතැන් වුවන් හා අවදානම් කලාපයෙන් ඉවත් කල අය නිවාස සෙවීම නිසා මීතොටමුල්ල, දෙමටගොඩ හා කොලොන්නාව හා වැල්ලම්පිටිය වැනි ප‍්‍රදේශ වල නිවෙස් කුලී අධික ලෙස ඉහල ගොස් ඇති බවයි.

“අපිට කුලියට කියල රු. 150,000ක් ලැබුනා. දැන් පොඩි ගේකත් කුලිය 30,000 කියනවා. අපි අමාරුවෙන් ගෙයක් හොයාගෙන ඒකට අත්තිකාරම වශයෙන් රු 180,000 ගෙව්වා. 30,0000ක් නයටත් ගන්න වුනා. දැන් ඊටපස්සේ කුලී ගෙවන්නේ මොනවයින්ද?” ඔහු අසා සිටියේය. “මේ කුනු කන්දෙ උස අඩි 10ක් කාලේ ඉඳල අප උද්ඝෝෂනය කලා, දැන් ඒක අඩි 100 කටත් වඩා උසයි. දැන් අපිට ඉන්න තැනකුත් නැති වුනා”

වර්තමාන ආන්ඩුව පමනක් නොව පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුවත්, ජනතා විරෝධය මර්දනය කරමින් මීතොටමුල්ල කසල කන්ද ගොඩගැසුවේ ජනතාවගේ ජීවිත පිලිබඳව කවර හෝ නොතැකීමකිනි. දැන් මෙතරම විනාශයක් වී තිබියදීත් ආපදාවට ලක්වූ පවුල් වලට කිසිදු මූලික පහසුකමක් හෝ සපයාදීමට ආන්ඩුවට වැඩපිලිවෙලක් නොමැති බව ජනතාව මුහුන දී ඇති අන්ත අසරන තත්වයෙන් පෙනී යයි. එලෙස ජනතාවගේ ජීවිත යලි ගොඩනැගීමට අවශ්‍ය ආධාර සපයනු වෙනුවට ආන්ඩුව මාන බලමින් සිටින්නේ, ආපදාව දඩමීමා කරගනිමින් හැකිතරම් ඉක්මනින් මේ ප‍්‍රදේශයෙන් ජනතාව ඉවත් කර ගැනීමටයි.

Share this article: