මීතොටමුල්ල ව්‍යසනයේ සැබෑ මූලයන් කවරේද?

විලානි පීරිස් විසිනි, 2017 මැයි 23

මීතොටමුල්ලේ කුනු කන්ද නායයාමේ වගකීම එකිනෙකාට පවරමින් පාලක පන්ති කොටස් අතර යන විවාදයන් ද, ඒ පිලිබඳව ධනේශ්වර මාධ්‍යයන්හි නිරන්තරව පල කෙරෙන අටුවා ටීකා ද, ව්‍යසනයේ සැබෑ මූලයන් වෙතින් කම්කරු-පීඩිත මහජනයා ගේ දෑස් ඉවතට යොමු කරනු වස් දැනුවත්ව ගෙනයන ව්‍යායාමයකි.

වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ඇතැම් කොටස් කියා සිටින්නේ පැවති රාජපක්ෂ ආන්ඩුව සිද්ධීන්ට වගකිවයුතු බවයි. එය ප‍්‍රතික්ෂේප කරන රාජපක්ෂ සහ ඔහුගේ ‘ඒකාබද්ධ විපක්ෂය’ ව්‍යසනයේ වගකීම වත්මන් ආන්ඩුව ට පවරයි.

මේ අතර ආන්ඩුවේම කොටස් ව්‍යසනය සම්බන්ධයෙන් එකිනෙකාට දොස් පවරා ගනියි. බස්නාහිර සංවර්ධන ඇමති චම්පික රනවක විසින් බස්නාහිර පලාත් සභාව ට ද, පෙරලා බස්නාහිර පලාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය විසින් බස්නාහිර සංවර්ධන අමාත්‍යංශට ද ව්‍යසනයේ වරද පටවයි. තම ආන්ඩුව ට වගකීමෙන් අත සෝදා ගත නොහැකි බව දන්නා ජනාධිපති සිරිසේන, ඛේදවාචකයට හේතුව ඉහත ආයතන දෙක අතර ගැටුම බවට ඌනනය කිරීමේ උත්සාහයක නිරත වෙයි.

තවත් ධනපති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) කියා සිටින්නේ, අපද්‍රව්‍ය කලමනාකරනයට විධිමත් කි‍්‍රයාමාර්ගයක් ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන් ආන්ඩු දෙකම වගකිවයුතු බවයි.

කෙසේ නමුදු, මේ සා පරිමාන ව්‍යසනයන් මහජනතාවට අත්පත් කරදීම සඳහා පාලකයන් මෙහෙයවන වෛෂයික හේතු කවරේද යන්න මෙම ව්‍යාජ වාද-විවාදයන් ට කිසි විටෙකත් විෂය නොවේ.

මධ්‍යම රජයෙන් පලාත් පාලන ආයතන සඳහා ලබා දෙන ප‍්‍රතිපාදන දැවැන්ත ලෙස කප්පාදු කිරීම කසල කලමනාකරනය අඩාල වීමට ප‍්‍රධාන හේතුවක් බව දත්ත සහ වාර්තා වලින් පැහැදිලිව අනාවරනය වෙයි.

1950 සිට 1970 ගනන් වන තුරුත් මධ්‍යම ආන්ඩුව පලාත් පාලන ආයතනයන්ට සේවා හා යටිතල පහසුකම් සඳහා මුදල් සපයන ලදී. 1977 දී නිදහස් වෙලඳ ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දැමූ අතර 2000 ගනන් ආරම්භයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් අනවන ලද ආර්ථික ප‍්‍රතිසංස්කරන යටතේ අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් මෙම මුදල් කප්පාදුව ගැඹුරු කොට ඇත. උදාහරනයක් ලෙස 2003 දී කොලඹ මහ නගර සභාව මධ්‍යම ආන්ඩුවේ ප‍්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 640.77ක් බලාපොරොත්තුවූ නමුත් ලැබුනේ 398.71 ක් පමනි. 1970දී රජයේ ප‍්‍රතිපාදන කොලඹ මහ නගර සභාවේ මුලු ආදායමෙන් සියයට 25.4 ක් වූ අතර 2004 හා 2005 සඳහා ප‍්‍රතිපාදන පිලිවෙලින් 16.9 සහ 16.6 විය.

ලෝක ධනේශ්වර අර්බුදය හමුවේ වඩාත් බරපතල ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව පසුගිය වසරේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5ක නයක් සඳහා අනුමැතිය ලබා ගත්තේ 2020 වන විට අයවය පරතරය දල ජාතික නිශ්පාදනයෙන් සියයට 3.8 දක්වා පහත හෙලීම ට ද ඒ සඳහා අවශ්‍ය දැවැන්ත කප්පාදු වලට ද පොරොන්දු වෙමිනි. මෙම කප්පාදු යටතේ මධ්‍යම රජයෙන් පලාත් පාලන ආයතන වලට සපයන ප‍්‍රතිපාදන තවතවත් කැපී යනු ඇත.

කලම්බු පේජ් වෙබ් අඩවිය පසුගිය අපේ‍්‍රල් 17 දින පල කල වාර්තාවකට අනුව මින් මතුවට නාගරික සංවර්ධන අධිකාරියට (නාසඅ) අයත් ඉඩම් කසල රඳවන සඳහා ලබා නොදෙයි. නාසඅ පවසා ඇත්තේ ඒ ඒ පලාත් පාලන ආයතන විසින් කසල රඳවන සඳහා ඉඩම් සොයා ගතයුතු බව සහ එයට වැයවන මුදල් එම ආයතන විසින් දැරිය යුතු බවයි.

ඝන අපද්‍රව්‍ය කිලෝග‍්‍රෑමයක් ප‍්‍රතිචකී‍්‍රකරනය සඳහා රුපියල් 7- 10 දක්වා වියදමක් දැරීමට සිදුවන බව හා කිසිදු සමාගමක් හෝ ආයතනයක් එම වියදම දැරීමට ‘අපොහොසත්වීම’ අපද්‍රව්‍ය කලමනාකරනයට ප‍්‍රශ්නයක් වූ බව ඇමති රනවක පැවසූ බව එම වාර්තාවේම සඳහන් වෙයි.

මෙයින් ඇඟවෙන කරුනු දෙකකි. පලමුවැන්න නම් මධ්‍යම ආන්ඩුවේ ප‍්‍රතිපාදන මුලුමනින්ම පාහේ කපා දමමින් අපද්‍රව්‍ය කලමනාකරනයේ මුලු බර පලාත් පාලන ආයතන වලට පවරා මධ්‍යම ආන්ඩුව අත සෝදා ගැනීමට යන බවයි. අනුප‍්‍රාප්තික ආන්ඩුවල ආයෝජන හිතකාමී පිලිවෙත් මත, මහජන ජීවිත නොතකා පරිසරය දූෂනය කරමින් හිතුමතේ තම කර්මාන්ත පවත්වාගෙන යාමට සමාගම් වලට හැකියාව ලැබී ඇති බව දෙවැන්නයි.

වත්මන් ධනේශ්වර පර්යාය තුල අපද්‍රව්‍ය කලමනාකරනය ප‍්‍රතිවිරුද්ධ සන්තතීන් දෙකකට මුහුන දී ඇත. නාගරික ජනගහනය වැඩිවීම හේතුවෙන් නගර තුල දෛනිකව එකතු වන අපද්‍රව්‍ය ප‍්‍රමානය සීඝ‍්‍රයෙන් ඉහල යාම එක් සන්තතියක් වන අතර අපද්‍රව්‍ය කලමනාකරනය සඳහා වන රාජ්‍ය ප‍්‍රතිපාදන කප්පාදුව අනෙක් සන්තතියයි.

කොලඹ නගරය මෙම ප‍්‍රතිවිරුද්ධ සන්තතීන් දෙකට බරපතල ලෙස මුහුන දී ඇති නගරයකි. කුනු කඳු එකතුවීම මෙම ප‍්‍රතිවිරෝධයේ ප‍්‍රතිඵලයයි. 2009 ට පෙර කොලඹ නගරයේ අපද්‍රව්‍ය රැඳවූ බ්ලූමැන්ඩල් රඳවනය වසර කීපයකින් දැවැන්ත කුනු කන්දක් බවට පත්වීම පිටුපස පැවතියේ මෙම ප‍්‍රතිවිරෝධී කි‍්‍රයාදාමයයි.

කොලඹ නගරය වානිජ කේන්ද්‍රයක් බවට පත් කිරීමේ වැඩපිලිවෙලත් සමග බ්ලූමෙන්ඩල් කුනු කන්ද ඉවත් කිරීමේ අවශ්‍යතාව රාජපක්ෂ ආන්ඩුවට මතු වී තිබුනි. 2009 දී එහි ඇතිවූ ගින්න අවස්ථාවක් කර ගනිමින් කොලඹ නගරයේ අපද්‍රව්‍ය, මීතොටමුල්ලේ රඳවන ලෙස ආන්ඩුවෙන් නියෝග කෙරුනි.

කොලොන්නාව නගර සභාව 1980 ගනන්වල සිටම පවත්වා ගෙනගිය මීතොටමුල්ල රඳවනය ඉතා කෙටි කාලයකදී කුනු කන්දක් බවට පත් වූ අතර, එහි ආරම්භ කෙරුනු කසල ප‍්‍රතිචකී‍්‍රකරන මධ්‍යස්ථානය පසුව කුනු කන්දටම යට කර දැමින. ඉවසිය නොහැකි දුර්ගන්ධයෙන් පීඩා විඳි අවට මහජනයා කුනු කන්දෙන් ඇතිවූ පරිසර දූෂනය හේතුවෙන් ඩෙoගු හා තවත් බෝවන රෝග වලට ගොදුරු වූහ. ඒ හේතුවෙන් දුසිම් ගනනක් මිය ගොස් ඇත.

අනුප‍්‍රාප්තික ආන්ඩු, පොලීසිය යොදා මහජන විරෝධතා බලහත්කාරයෙන් මැඩලමින්, දිගින් දිගටම මීතොටමුල්ල කසල රඳවනය පවත්වාගෙන ගියේ මහජන ජීවිත මුලුමනින්ම නොතකමිනි. 2011 වනවිට කුනු කන්ද අසල නිවාස ඉරිතලා ගිය අතර, 2013 දී අවට පැතිරී ගිය දුගඳ හේතුවෙන් කන්ද අසල පැවති රාහුල විද්‍යාලය මාස කීපයක් වසා දැමිනි. අවසානයේ 2017 අපේ‍්‍රල් 14 දා කුනුකන්ද නාය ගියේ මිනිස් ජීවිත තිස් ගනනක් බිලි ගනිමින්, නිවාස සියයකට අධික සංඛ්‍යාවක් විනාශ කරමින් සහ දහසකට අධික සංඛ්‍යාවකට උන්හිටිතැන් අහිමි කරමිනි.

මෙම කුනු කන්ද හදිසියේ කඩා වැටුනා ද නොවේ. ව්‍යසනය සිදුවීමට මාස කීපයකට පෙර, නායයාම් පර්යේෂන සහ ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බන්ඩාර ප‍්‍රකාශ කොට තිබුනේ “මීතොටමුල්ල කසල බහාලනය තවත් ටික දිනකින් හෝ සති කීපයක් තුලදී වර්ෂාව ඇද හැලුනොත් යලි කඩාවැටීමකට ඉඩ ඇති” බවයි. පාලකයන් ඉතා දැනුවත්ව මේ විනාශය සිදුවීමට ඉඩ හැර තිබුනු බව ඉතා පැහැදිලිය.

ධනේශ්වර ක‍්‍රමය ලෝක පරිමානව ගැඹුරු අර්බුදයක කිඳී ඇති තතු යටතේ නොදියුනු රටවල මෙන්ම දියුනු රටවල මහජනතාව අපද්‍රව්‍ය ආශි‍්‍රත ප‍්‍රශ්නයන්ට සහ ව්‍යසනයන්ට මුහුන දී සිටිති. 2015 වසරේ දී චීනයේ ෂෙන්සෙන් හි කසල කන්ද නාය යාමෙන් 70 කට අධික සංඛ්‍යාවක් මියයාම ඉන් එක් උදාහරනයක් පමනි.

ෂෙන්සෙන් ව්‍යසනය ගැන සඳහන් කරමින්, මැයි 8 දින, ද අයිලන්ඩ් පුවත්පතේ කතු වැකිය කියා සිටින්නේ, එම ව්‍යසනයේදී එයට වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් දුන්නා සේ මීතොටමුල්ල ව්‍යසනයට වගකිවයුතු අය සොයා දඬුවම් දියයුතු බවයි. “මේ රටේ දේශපාලනඥයන්ට හෝ නිලධාරීන්ට නීතිමය පියවර ගැනීම පිලිබඳ බියවීමට උවමනාවක් නැතැ” යි කතුවැකිය සඳහන් කරයි.

කොලොන්නාව කුනුකන්ද ට එරෙහි ජනතා ව්‍යාපාරයට නායකත්වය දෙන, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෙකු වන නුවන් බෝපගේ ද නාය යාමෙන් ක්ෂනික ඉක්බිත්තේ මාධ්‍ය වලට කියා සිටියේ ව්‍යසනයට වගකිවයුත්තන් සොයා ඔවුනට ‘මරන දන්ඩනය’ දියයුතු බවයි.

ව්‍යසනයට වගකිවයුත්තන් කීප දෙනෙකු සොයාගෙන ඔවුනට දඬුවම් දීමට කෙරෙන යෝජනාවන් ද, එකිනෙකා මත වරද පටවමින් පාලක පන්ති කොටස් නියැලී සිටින වාද-විවාදයන් ද ඉටු කරනුයේ එකම ප‍්‍රතිගාමී කාර්යයයි. එනම්, ලාභය අරමුනු කරගත් ධනේශ්වර ක‍්‍රමය සහ එය ලෝක පරිමානව මුහුන දී සිටින ප‍්‍රගාඪ අර්බුදය, ව්‍යසනයේ මූලය බව දැනුවත්ව වසන් කිරීමයි.

මීට විපරීතව, ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය, මීතොටමුල්ල ව්‍යසනය සම්බන්ධයෙන් කැඳවා ඇති ස්වාධීන කම්කරු පරීක්ෂනයේ අති මූලික අංශයක් වන්නේ, ව්‍යසනයට බල පෑ වෛෂයික හේතුන් ගැඹුරින් විභාග කොට අනාවරනය කිරීමයි.

Share this article: