කම්කරුවනි, තරුනයනි, බුද්ධිමතුනි!
ජීවිතාන්තය දක්වා සිරගත කල ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන් නිදහස්කර ගැනීමට හැටන්හි පවත්වන උද්ඝෝෂනයට එක්වෙන්න!

2017 මැයි 17

ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ, අධිකරනයකක් විසින් බොරු මිනීමැරුම් චෝදනා මත මරුති සුසුකි කම්කරුවන් 13 දෙනෙකු ජීවිතාන්තය දක්වා ද, තවත් 18 දෙනෙකු වසර 3-5 දක්වා සිර ගත කිරීමට නියම කරන ලදී.

මෙලෙස රුදුරු දන්ඩනයකට ලක් කිරීමට මෙම කම්කරුවන් කර ඇති එකම වරද නම් ඔවුන් සේවය කරන හර්යානා ප‍්‍රාන්තයේ මනෙසර්හි පිහිටි මරුති සුසුකි මෝටර් රථ එකලස් කිරීමේ කම්හලේ පවතින, දරුනු රැකියා කොන්දේසි සහ වහල් ශ‍්‍රම සූරා කෑමට එරෙහිව, 2011-12 වසරවල, තම අයිතිවාසිකම් සඳහා සටන් කිරීමයි. 2012 ජුලි 18 දා සමාගමේ කලමනාකරනය විසින් කම්හල තුල සංවිධානය කරන ලද ප‍්‍රකෝපකරනයටත් එහි ප‍්‍රතිඵලයක් ලෙස හටගත් ගින්නකින් සමාගමේ නිලධාරියකු මරනයට පත්වීමටත් මෙම කම්කරුවන් වගකිව යුතු බවට චෝදනා කෙරුනි. මෙම සිද්ධියෙන් පසු කම්කරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගෙන වසර හතරක් පුරා වධ හිංසාවට ලක්කෙරුනි.

වරදකරුවන් බවට පත්වී සිටින කම්කරුවන් එම ඝාතනයට සහ කම්හලේ හටගත් ගින්නට කවර ලෙසින් හෝ සම්බන්ධ නැති බවත්, සමාගමේ පාලකයන් පොලිසිය සමග කුමන්ත‍්‍රනයක යෙදෙමින් කම්කරුවන්ට එරෙහි සාක්ෂි ගෙතූ බවත් නඩු විභාගය තුලදී ම එලිදරව් විය. ඔවුන් වරදකරුවන් කොට ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කෙරුනේ එම කාරනාවන් නොතකාය.

මෙම නඩු තීන්දුව මගින්, ඉන්දියානු ආන්ඩුව, තම කප්පාදු ප‍්‍රතිපත්තිවලට අභියෝග කිරීමට අපේක්ෂා කරන අනෙකුත් කම්කරුවන්ට අනතුරු අඟවා ඇති අතර, ආයෝජකයින් සඳහා තමන්ගේ කැපවීම ද ප‍්‍රදර්ශනය කර තිබේ.

ගෝලීය ආර්ථික අර්බුදය මධ්‍යයේ, අධිරාජ්‍යවාදය තුන්වන ලෝක යුද්ධයට සැරසෙන අතර, ලෝකය පුරාම කම්කරු පන්තියට එරෙහිව මෙවැනි මර්දනයන් මුදා හැර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ රනිල් වික‍්‍රමසිංහ ගේ ආන්ඩුව හම්බන්තොට වරාය කම්කරුවන්ගේ වැඩ වර්ජනය මර්දනය කරනු ලැබුවේ නාවික හමුදාව යොදවා කම්කරුවන්ට අමානුෂික ලෙස පහර දෙමිනි. නිදහස් අධ්‍යාපන අයිතිය සඳහා සටන් වදිමින් සිටින සිසුන්ගේ අරගල මැඩීම සඳහා නොකඩවා පොලිස් ප‍්‍රහාර එල්ල කරන ආන්ඩුව, ලංකා විදුලිබල මන්ඩලය, ටෙලිකොම් වැනි අංශවල කම්කරුවන්ගේ අරගල තහනම් කිරීමට, පොලීසිය යොදවා අධිකරන නියෝග පවා ලබාගත්තේය. කොලඹ පැන නැගී ඇති කුනු අර්බුදයට විසඳුමක් ඉල්ලා සටන් කරන ජනතාවට එරෙහිව අත්‍යවශ්‍ය නියෝග පැනවූ ආන්ඩුව පොලීසිය යොදා ඔවුන් මර්දනය කරමින් පවතීි.

මරුති සුසුකි කම්කරුවන් මත එල්ල කෙරී ඇති ම්ලේච්ඡ ප‍්‍රහාරය, ශ්‍රී ලංකාවද ඇතුලු ලොවපුරා පාලකයන් විසින් අනුයනු ඇත. තම සහෝදර කම්කරුවන් නිදහස්කර ගැනීම සඳහා සටන් වැදීම ජාත්‍යන්තර කම්කරු පන්තියේ වගකීමක් වන අතර ඒ සඳහා පෙරට පැමිනීම අත්‍යවශ්‍යය.

මෙම අරගලය ගෙනයනු ලබන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ලංකා ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂයන් හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් පමනි. මෙම පිකට් උද්ඝෝෂනයට සහ ප‍්‍රසිද්ධ රැස්වීමට සහභාගිවන ලෙස කම්කරුවන්, තරුනයන්, බුද්ධිමතුන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට ගරු කරන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.

පිකට් උද්ඝෝෂනය: මැයි21, බ‍්‍රහස්පතින්දා, ප.ව. 1.00 ට හැටන් නගරයේදී.

රැස්වීම: එදින සවස 2.30 ට, හැටන් -දික්ඔය නගර ශාලාවේදී.

Share this article: