එක්සත් ජනපදයේ අර්කන්සාස්හි ද්විත්ව ඝාතන සන්ත‍්‍රාසය

The double-execution horror in Arkansas

2017 අප්‍රේල් 25

2000ට පසුව පලමු වතාවට මරන පෝලිමේ සිටි රැඳවියන් දෛදෙනකු ද්විත්ව ඝාතනයකට ලක් කල ආකාරය ලෝකය සන්ත‍්‍රාසෙයන් යුතුව බලා සිටියේය.

2000 වසරින් පසුව ප‍්‍රථම වරට එක්සත් ජනපදය ද්විත්ව ඝාතනයක් ක්‍රියාවේ යොදවමින් පසුගිය අප්‍රේල් 24 වන දා රාත්‍රියේ අර්කන්සාස්හි රැඳවියන් දෙදෙනෙකු මරනයට පත් කරනු ලැබීමේ සන්ත‍්‍රාසය ලෝක අවධානයට ලක්ව තිබේ. පලමු රැඳවියාගේ නීතිඥවරුන් ඔවුන්ගේ සේවාදායකයා මරුමුවට පත් කිරීම “වේදනාකාරී සහ අමානුෂික” ලෙස පෙනී යන්නේ යැයි විරෝධතා ප‍්‍රකාශ කිරීමෙන් පසුව දෙවන ඝාතනය තාවකාලිකව නතර කෙරිනි.

අග්නිදිග අර්කන්සාස් ප‍්‍රාන්ත කමින්ස් ඒකකය නමින් හැඳින්වෙන දන්ඩන කඳවුරේ දී 52 වියැති, ජැක් ජෝන්ස් (කනිෂ්ඨ), ඝාතනය කිරීමේ ක්‍රියාවලිය ප‍්‍රාදේශීය වෙලාවෙන් පස්වරු 7.06 ට ආරම්භ විය. මෙම රැඳවියා දශක දෙකකට වැඩි කාලයක් මරන දඬුවම අපේක්ෂිතව ගත කල අයෙක් වන අතර දියවැඩියාව රෝගය හේතුවෙන් පාදයක් කපා ඉවත් කොට ඇති ඔහුව රෝද පුටුවක නංවාගෙන ඝාතක මැදිරිය වෙත තල්ලු කරන ලදී. ක්‍රියාවලිය ආරම්භ වී විනාඩි 14 කට පසුව පස්වරු 7.20 ට ජෝන්ස් මියගිය බවට පශ්චාත් මරන පරීක්ෂකවරයා විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

මරනයට තබා සිටි දෙවන රැඳවියා වන 46 වියැති, මාර්සෙල් විලියම්ස් වෙනුවෙන් තර්ක කල නීතිඥවරුන් කියා සිටියේ මිඩාසොලම් එන්නත ලබා දීමෙන් පසුව ද “ඔහු තොල් සොලවමින් හුස්ම ගැනීමට” වෙහෙස දරන බව ය. එමගින් පෙන්නුම් කෙරුනේ මරනයට ලක් කිරීමේ ක්‍රියාපටිපාටියේ ප‍්‍රථම ඖෂධය මගින් ඔහු සිහිසුන් තත්වයට පත් නොවී ඇති බව ය.

මාර්සෙල්ස් විලියම්ස් මරා දැමීම වෙත ගෙන යාමට සුලු මොහොතකට පෙර එක්සත් ජනපද දිසා විනිසුරු ක්‍රිස්ටීන් බ්රෙකර් හදිසි වැලැක්වීමක් නිකුත් කර තිබූ නමුත් පසුව ඝාතන ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඉඩ ලබා දෙමින් එය ඉවත් කර ගැනුනි. විලියම්ස් මරනයට පත් කිරීම පස්වරු 10.30 ට ආරම්භ වූ අතර විනාඩි 17 කට පසුව ඔහු මිය ගිය බව ප‍්‍රකාශයට පත් කෙරිනි.

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය මීට පෙර ද මෙම රැඳවියන් දෙදෙනා මරා දැමීම නවත්වන ලෙස ඔවුන් කල ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කර තිබිනි.

මිඩාසෝලම් එන්නත සැපයීමට පෙර දින 11 ක කාලයක් පුරාවට අර්කන්සාස්හි ඉක්මනින් මරා දැමීමට නියමිත රැඳවියන් අට දෙනෙක් අතර ජෝන්ස් සහ විලියම්ස් ද සිටි අතර, මාරාන්තික විෂ එන්නත් කිරීමේ ක්‍රියාවලියේ ඖෂධ තුනෙන් එකක් වන එය මාසය අවසානයේ දී කල් ඉකුත්ව ගොස් තිබුනි. මාරාන්තික විෂ එන්නත් කිරීම නතර කරන ලෙසට ආ නීතිමය අභියෝගයන්ගේ තිගැස්මකට පසුව මුලින් කී රැඳවියන් අට දෙනාගෙන් සිව්දෙනෙක්ට දැන් තාවකාලික වැලැක්වීමක් හෝ අනුකම්පාවක් ලැබී ඇත. ලෙඩල් ලී නමැත්තා බ‍්‍රහස්පතින්දා රාත්‍රියේ ඝාතනය කෙරුනි. කෙනත් විලියම්ස්, බ‍්‍රහස්පතින්දා මරා දැමීමට නියමිත ලැයිස්තුවේ සිටි තවත් අයෙකි.

රිපබ්ලිකානුවෙක් වන අර්කන්සාස් ආන්ඩුකාර අසා හචින්සන් හට සමාව ප‍්‍රදානය කිරීමට බලය ඇති නමුත් ඔහුගේ රාජකාරිය අනුව විපතට පත් වූවන්ගේ පවුල්වලට “යුක්තිය ඉටු කර ඇත” යි ප‍්‍රකාශ කලේ ය. මරනයට හෙලා ඇති මෙම මිනිසුන් අට දෙනා හීන වටහා ගැනීමේ ශක්තියක් සහිත මොලයට සිදුවූ හානි සහිත ව පරිභවයට සහ කම්පනයට ලක් වූ ඉතිහාසයක් ඇති පුද්ගලයන් ය යන කරුන ඔහු නොතකා හැරියේ ය. ඔවුනතුරෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය හෝ පරීක්ෂනයට ලක් කෙරුනු ජීවන ඉතිහාස විනිශ්චය කිරීමට හෝ ජූරියකට ඉදිරිපත් කර තිබුනේ නැත.

ප‍්‍රාන්තය මගින් මරනීය දන්ඩනයට සපයන එක් ඖෂධයක් කල් ඉකුත්ව යාමේ පදනම මත හචින්සන් විසින් පිට පිට එන මරන දන්ඩන කාල සටහන ආරක්ෂා කරනු ලැබීම විස්තර කල හැක්කේ නීච සහ අවශිෂ්ඨ ක්‍රියාවක් ලෙස පමනි. එය සංසන්දනය කල හැක්කේ අලුගෝසුවෙක් ඔහුට අවශ්‍ය ලනු සැපයීම පහත වැටීම නිසා අධිකරනයට පස්ස දොරෙන් එල්ලා දැමීම ඉතා වේගවත් කිරීමට ක‍්‍රියා කල යුතුය යන්න සමග ය.

රාජ්‍ය අනුමත ඝාතන ක්‍රියාවේ යොදවන කාලයට එරෙහිව සිතා මතා ප‍්‍රකෝපකාරීත්වයක් ඇවිලවීමේ අංශයක් මේ තුල ගැබ්ව පවතී. ඒනම් විරුද්ධත්වය සහ ජාත්‍යන්තර මතය ගනනකටවත් නොගෙන, රාජ්‍යයට හිතු මනාපේ මිනී මැරිය හැකි බව ප‍්‍රකාශයට පත් කිරීමයි. එය කෲරත්වය, ම්ලේච්ඡත්වය සහ පසුගාමීත්වය සිතා මතා සහතික කිරීමකි. එය සිහිපත් කරන්නේ නිව් යෝර්ක් ටයිම්ස් තීරු ලිපි රචක තෝමස් ෆ්‍රීඞ්මාන් 1999 දී සර්බියාවට බෝම්බ හෙලීම සම්බන්ධයෙන් ප‍්‍රමුදිතව ලියනු ලැබූ ප‍්‍රකාශයට ය, “ඔබට අවශ්‍ය 1950 ද? අපිට එය 1950 කල හැකිය. ඔබට අවශ්‍ය 1389 ද? අපිට 1389 කල හැකිය.”

මරන දන්ඩනය සඳහා පාලක පන්තිය විසින් ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස අතිශයින්ම ප‍්‍රතිගාමී අභිප‍්‍රායයන් ඉස්මතු වී පවතී. කලින් පැවති මරන දන්ඩනයක් සියැසින් දුටු අයෙක් සමග කරන සම්මුඛ සාකච්ඡාවක් ද ඇතුලත් ලිපියක් ඊයේ ටයිම්ස්හි ප‍්‍රකාශිතව තිබුනි: “මෙම නපුරු මිනිසුන් දෙදෙනා, සහ ඔවුන්ගේ ඝාතන මට කොහෙත්ම කරදරයක් වුනේ නැහැ... එය සිදු වුනා. එය සිදු විය යුතුයැයි” එක් රජයේ චෝදකයෙකු කියා සිටියේය.

අර්කන්සාස්හි මරන දන්ඩන තදියමට ලබා දී තිබුන මාධ්‍ය ආවරනයේ දී, පරිභවයට පත්ව මරනයට තීන්දු වූ අයගේ ඛේදජනක ජීවිත ඉතිහාසය කෙරෙහි සැබැවින් ම කිසිදු අවධානයක් ලබා දී තිබුනේ නැත. එබඳු ඛන්ඩිත පුද්ගලයන් නිෂ්පාදනය කරන්නේ කුමන වර්ගයේ සමාජයකින්ද? අනතුරුව ඔවුන්ගේ රාජ්‍ය ඝාතන යුක්ති සහගත කෙරෙන්නේ මනාව යුක්තිය පසිඳලීමක් ලෙස ද?

ජැක් ජෝන්ස්, (කනිෂ්ඨ), වරදකරු වී මරන දඬුවමට නියම වූයේ 1996 දී මේරි පිලිල්ස් නමැත්තිය කෲර ලෙස ඝාතනය කිරීම සහ ඇගේ දියනිය වූ ලූසී පිලිප්ස් ඝාතනය කිරීමට උත්සාහ දැරීමට ය. ජෝන්ස් ද්වීධ‍්‍රැව ආබාධය සහ විෂාදයයෙන් පීඩා විඳි අයෙකි. ජෝන්ස්ගේ මානසික රෝග ලක්ෂනවල පැන නැගීම ඔහුගේ ලමා කාලය දක්වා දිවෙන අතර එකල ඔහු තම පියා අතින් ශාරීරිකව දුෂ්පරිහරනයට ලක් වූවෙකි. ඔහු දෙවතාවක් සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇත. ඔහුගේ දඬුවම ලිහිල් කිරීම ට බලපාන මෙම සාක්ෂ්‍ය කිසිවක් ඔහුව වැරැදිකරුවෙක් බවට පත් කරනු ලැබූ ජූරියට අසන්නට ලැබුනේ නැත.

විලියම්ස් 1997 දී මරන දන්ඩනයට නියම වූයේ 1994 දී ස්ටේසි එරික්සන් නමැති 22 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීම සඳහා ය. වයස අවුරුදු 10 ට පෙර සිට ම විලියම්ස් ලිංගික අපහරනයට ගොදුරු වූවෙකි. ඔහුට වයස 12 වන විට, මාර්සෙල්ස්ගේ, “මව ඔහුව පුරුද්දක් වශයෙන් පිම්පියෙකු ලෙස යෙදවූයේය... ආහාර මුද්දර හුවමාරු කර ගැනීම සඳහා, ආහාර සඳහා පදිංචි වීමට ස්ථානය සඳහා ඔහුව මෙසේ යොදා ගත්තේය.” (සාධාරන දඬුවම ව්‍යාපෘතිය), කර්කෂ අපචාරයන්ට ලක් වීමේ ඔහුගේ පසුබිම පිලිබඳ සාක්ෂ්‍ය කිසිවකට ජූරිය කිසි විටෙක ඇහුම්කන් දුන්නේ නැත.

සිරගතව සිටින අතර තුර දෙදෙනාගේ ම බර අධික වීම හේතුවෙන්, දෙදෙනා ම දියවැඩියාවෙන්, නින්ද නොයාම සහ අධි රුධිර පීඩනයෙන් පෙලෙමින් සිටියහ.

දැනට පවතින වාර්තාවන්ට අනුව එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරනය 1976 දී මරන දඬුවම පුනස්ථාපනය කිරීමේ සිට අර්කන්සාස්හි ඝාතනයට ලක් කොට ඇති මුලු මිනිසුන් සංඛ්‍යාව 28 ක් වන අතර ඊට පෙර 478 කි

.

අර්කන්සාස්හි ඝාතන දන්ඩනයන් අතර නූතන යුගය තුල වඩාත් ම කැපී පෙනුනේ 1992 ජනවාරි මාසයේ දී රිකී රේ රෙක්ටර් සිද්ධිය ය, ඔහුට මරන දඬුවම නියම වූයේ 1981 දී පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම පිලිබඳව ය. රෙක්ටර් වරදකරු බවට පත් වූයේ පොලිස් නිලධාරියාට පිටුපසින් වෙඩි තැබීම සඳහා වන අතර එ විගස ම තුවක්කුව තමන් වෙත ම හරවාගෙන තිබේ. සිය දිවි හානි කර ගැනීමේ ප‍්‍රයත්නය නිසා මොලයේ ලලාට ඛන්ඩිකාවක් විනාශ වූ රෙක්ටර්ට තමන්ගේ මරන දන්ඩනය වටහා ගැනීමේ හැකියාවක් පවා තිබුනේ නැත.

එවක ඩිමොක‍්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නාම යෝජනා ලැබ සිටි, අර්කන්සාස් ප‍්‍රාන්ත ආන්ඩුකාර බිල් ක්ලින්ටන්, මැතිවරන ව්‍යාපාරය මැද්දෑවේ රෙක්ටර්ගේ මරන දන්ඩනය කාල සටහනට කලින් ක්‍රියාවේ යෙදවීම සඳහා අර්කන්සාස් බලා පියාසර කෙල්ය. අර්කන්සාස්හි බන්ධනාගාර කාර්ය මන්ඩලය රෙක්ටර්ට මාරාන්තික විෂ එන්නත් කිරීම සඳහා සුදුසු නහරයක් සොයා ගැනීමට විනාඩි 50 කට වඩා වැඩි කාලයක් ගෙන තිබුනු අතර ඇසින් දුටුවන් වාර්තා කොට ඇත්තේ ඝාතන මැදිරිය ආවරනය කර තිබූ තිරය පිටුපසින් ඔහුගේ මරලතෝනිය ඇසුනු බව ය.

ජනාධිපති ක්ලින්ටන් තවත් ඉදිරියට යමින් 1996 ත‍්‍රස්ත විරෝධි සහ ඵලදායි මරන දඬුවම පනත (ඒඊඩීපීඒ) සම්මත කොට අපරාධ ගනනාවක් සඳහා මරන දඬුවම විස්තාරනය කිරීම හා මරන දඬුවම් නියමිතව සිටින රැඳවියන් සඳහා හබයාස් කෝපූස් ෆෙඩරල් රීට් ආඥා ඉදිරිපත් කිරීමේ අවස්ථා දැඩිව සීමා කලේ ය.

කාර්මික රටවල් අතුරින් අති බහුතරයක් මරන දඬුවම පැනවීම බැහැර කොට ඇති නමුත් එක්සත් ජනපදයේ මහා ව්‍යාපාරික පක්ෂ දෙක ද ඇතුලත් දේපාලන සංස්ථාපිතයේ පුලුල් ස්ථරයන්ගේ සහය එයට ලැබී තිබේ. මරන දඬුවම නතර කිරීමට මහජන සහයෝගය තිබිය දී එය දිගට ම පවත්වාගෙන යාමේ ප‍්‍රධාන කරුන මෙය ය.

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ටෙක්සාස් ආන්ඩුකාරවරයා ලෙස මරන දඬුවම් 152 කට අත්සන් තැබීය. සිවිල් යුද්ධයෙන් පසුව ටෙක්සාස්හි පලමුව මරා දමන ලද කාන්තාව වන කර්ලා ෆයේ ටකර්ගේ සිරුර තුලට, මාරාන්තික විෂ එන්නත විදීම ක්‍රියාත්මක කර වීමට ඉඩ හැරීමට පෙර බුෂ් අවඥාගතව සිනහ පල කලේ ය.

ඔක්ලහෝමා හි සුවිශේෂ සාහසික මරන දන්ඩනයක් ක‍්‍රියාත්මක කරවීමක් වූ රැඳවියෙක් විනාඩි 43 ක් වේදනාවෙන් සලිත වෙමින් ඝාතන ට්‍රොලියෙහි පන අදිමින් සිටි සිද්ධියෙන් පසුව බැරක් ඔබාමා ප‍්‍රකාශ කලේ: “සමහර වාතාවරනයන්හිදී අපරාධයක් කොතරම් භයංකර ද යන්න ඒත්තු ගන්වන තත්වයන් නිසා මරන දන්ඩනය භාවිතයෙහි යෙදීම සුදුසු විය හැකි ය” යනුවෙනි.

වර්තමානයේ ධවල මන්දිරය අරක් ගෙන සිටින, ඩොනල්ඩ් ට‍්‍රම්ප් හට මරන දඬුවම සම්බන්ධයෙන් සුවිශේෂ අප‍්‍රසන්න සබඳතාවක් තිබේ. 1989 නිව් යෝර්ක් මධ්‍යම උද්‍යානයේ දී ව්‍යායාම්වල යෙදී සිටි සුදු කාන්තාවක් දූෂනය කිරීම සහ පහර දීමේ සිද්ධියෙන් පසුව, දේපල ව්‍යාපාරික අධිපතියා නගරයේ ප‍්‍රධානතම දිනපතා පුවත්පත් හතරක සම්පූර්න පිටු ප‍්‍රමානයේ දැන්වීම් පල කරමින් කියා සිටියේ: ආපසු මරන දන්ඩනය ගෙනෙනු! ආපසු අපේ පොලීසිය කැඳවනු! යනුවෙනි. එම කලු මිනිසුන් පස් දෙනා, 1989 දී බාල වයසේ පසු වූ බැවින් ඔවුන් වරදකරුවන් කොට නිදහස් කෙරුන ද ට‍්‍රම්ප් තවමත් ඔවුන්ගේ වරදකාරීත්වය පවත්වාගෙන යන්නේ ය.

ට‍්‍රම්ප් විසින් එබඳු ප‍්‍රකාශ කිරීම සහ ජනාධිපතිවරයා ලෙස ඔහුගේ ක්‍රියාවන් අතර යම් සබඳතාවක් තිබේ. ඇෆ්ගනිස්ථාන් - පකිස්ථාන් දේශසීමාව මත සියලු බෝම්බයන්ගේ මාතෘ හෙලීමේ, සිරියාවේ රජයේ ගුවන් තොටුපලකට ටොමහෝක් කෲස් මිසයිල 59 එල්ල කිරීමේ සහ ඉරාකයේ මොසුල් “නිදහස් කර ගැනීම” නාමයෙන් එහි ඇස්තමේන්තුගත ආකාරයට පුද්ගලයන් 300,000 ක් නිවාස අහිමි සරනාගත තත්වයට පත් කරමින් එල්ල කල ප‍්‍රහාරයන්හි මුලසුන හොබවන්නේ ට‍්‍රම්ප් ය.

“ඇමරිකාව යලි ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම” සඳහා ට‍්‍රම්ප්ගේ ප‍්‍රයත්නය තුල තිබෙන්නේ රාජ්‍ය හිංසනය වඩාත් විවෘතව තීව‍්‍ර කිරීමකි. ඔහුගේ පරිපාලනය පුන පුනා කියන ආගමන පොලිස් නිලධාරීන්ගේ “විලංගු ගැලවීම” හි , මූලික එල්ලය වී ඇත්තේ එක්සත් ජනපදය තුල ජීවත් වන ලැයිස්තුගත නො කරන ලද සංක‍්‍රමනිකයන් සිරගත කිරීම සහ පිටුවහල් කිරීම ය.

සමාජ වැඩසටහන් දරුනු ලෙස කප්පාදු කිරීම මගින් අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව, බුද්ධි අංශ ආයතන ඇතුලත් පෙන්ටගනයේ යුද යන්ත‍්‍රය සඳහා අයවැයෙන් ඩොලර් බිලියන 54 ක වැඩි කිරීමක් ට‍්‍රම්ප් යෝජනා කර තිබේ. එක්සත් ජනපදය මගින් ලෝකය පුරා සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ගුවන් ප‍්‍රහාර දල්වද්දී, එක්සත් ජනපදයේ පොලීසිය මානසික රෝගීන් සහ නිරායුද පුද්ගලයන්ට වෙඩි තබනු ලබයි. පාලක පන්තිය විසින් මරන දන්ඩනය පිලිගනු ලැබීම සහ ප‍්‍රවර්ධනය කරනු ලැබීම ද මෙම ප‍්‍රතිගාමී න්‍යාය පත‍්‍රයේ ම කොටසකි.

ජැක් ජෝන්ස්, මාර්සෙල්ස් විලියම්ස් හෝ ලෙඩෙල් ලීගේ මරන දන්ඩනයන් නවතා දැමීමට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය අසමත් වූ අතර මරන දඬුවම දිගටම පවත්වාගෙන යනු ලැබේ. මානසික තත්වයෙන් නීරෝගි නොවූ හෝ අපරාධ සඳහා දඬුවම් ලබන බාල වියේ පසුවන්නන්ට එරෙහිව අවසාන දඬුවම වශයෙන් මරන දඬුවම භාවිතා නොකල යුතු ය යන්න සඳහන් කරන අතරම මරන දඬුවමට පැවතීමට ඉඩ සලසා ඇත. ට‍්‍රම්ප් විසින් පත් කල නීල් ගෝර්ෂ් විනිසුරුවරයෙකු හැටියට වාර්තාගත වන ඔහුගේ ප‍්‍රථම ඡන්දය බ‍්‍රහස්පතින්දා රාත්‍රියෙහි ලී මරා දැමීම අනුමත කරමින් ජූරියෙන් 5න් 4ක් වූ තීන්දුව සඳහා ලබා දුනි.

අර්කන්සාස්හි කල් ඉකුත් වූ ඖෂධය මෙඩසෝලම්, 2015 දී ජාතියේ මහාධිකරනය මගින් මරන දඬුවම් සඳහා භාවිත කල හැකි බවට තීන්දු කලේ අවම වශයෙන් ප‍්‍රාන්ත හතරක එය භාවිත කොට සිදුවු අති බිහිසුනු මරා දැමීම් පිලිබඳ කරුන නොතකා හරිමිනි. ඒ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු සැමුවෙල් අලිටො සඳහන් කලේ: “මරන දන්ඩනය ව්‍යවස්ථාපිතව පලපැදියම් වී ඇති නිසා... වේදනාවන් සම්බන්ධ සියලු අවදානම් වැලැක්වීම ව්‍යවස්ථාවට අවශ්‍ය නොවේ” යනුවෙනි.

දැන් මියගොස් ඇති ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ඇන්ටෝනියන් ස්කාලියා 2002දී ප‍්‍රකාශ කරන ලද්දේ: “ඔබට වුවමනා වී තිබෙන්නේ සාධාරන මරන දන්ඩනයක් ද? ඔබ මරනවා: ඔබ මැරෙනවා. ඒක සාධාරනයි... මරනය ලොකු ගනුදෙනුවක් නොවේ.” රටේ ඉහල ම උසාවිවල අසුන් ගෙන සිටින කලූ ලෝගු පොරවා ගත් විනිසුරුවරුන්ගෙන් වඩාත් ප‍්‍රතිගාමී පාර්ශ්වයේ මනෝගතීන් එබඳු ය.

මෙම ප‍්‍රකාශයන් තුල මරන දඬුවම පිලිබඳ පාලක ප‍්‍රභූවේ දෘෂ්ටිය ප‍්‍රතිමූර්තිමත්වී තිබේ. එහි එල්ලයව ඇත්තේ මහජනතාව දිනපතා ධනපති රාජ්‍යයේ මනුෂ්‍ය ඝාතන සහ කෲරත්වයට සාමාන්‍යකරනය කිරීම ය. ත‍්‍රස්තය මගින් ඇලලී ඇති ලෝකයක, පාලන අධිකාරින් එක්සත් ජනපදය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රදීපයක් ලෙස කියාපෑමට තැත් කරන මුත් ඇමරිකානු පාලක පන්තිය සාහසිකත්වයේ සහ සාපරාධිභාවයේ කුනු වලේ ගිලී සිටියි.

කේට් රැන්ඩල්

Share this article: