මක්‍රොං සහ ල පෙන් එපා ! ප‍්‍රන්ස මැතිවරනයේ සක‍්‍රීය වර්ජනයක් සඳහා !

No to Macron and Le Pen! For an active boycott of the French election!

2017 අපේ‍්‍රල් 27

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රන්ස ශාඛාව වන ප‍්‍රන්ස සමාජවාදී සමානතා පක්ෂය (පීඊඑස්) ප‍්‍රන්ස ජනාධිපතිවරනයේ දෙවන වටය වර්ජනය කරන ලෙස කම්කරුවන්ගෙන් සහ තරුනයන්ට කැඳවුම් කර සිටී. නව ෆැසිස්ට්වාදී අපේක්ෂක ල පෙන්ට එරෙහිව හිටපු රොත්ස්චයිල්ඩ් බැංකුකරුවෙකු සහ සමාජවාදී පක්ෂයේ හිටපු ආර්ථික කටයුතු පිලිබඳ ඇමති වන ඉමෑනුවෙල් මක්‍රොංට සහය ලබා දිය යුතු බවට වූ ප‍්‍රකාශයන් පීඊඑස් ප‍්‍රතික්ෂේප කර සිටී.

මක්‍රොංට ඡන්දය දිය යුතු යැයි ප‍්‍රන්ස ජනතාවට බලපෑම් කිරීමේ උත්සාහයෙන් ඉදිරියට දමන ලද තර්කයන් වනාහි ව්‍යාජ විශ්වාසයන් ගේ සහ මුසාවන් ගේ සංයෝජනයකි. ප‍්‍රථමයෙන්ම මක්‍රෝංට දෙන ඡන්දය ආඥාදායකත්වයේ තර්ජනයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් දෙන ඡන්දයක් යැයි අපට පවසයි. නමුත් මක්‍රොං ද කොටස්කරුවෙකුව සිටි සමාජවාදී පක්ෂ ආන්ඩුව (පීඑස්) ප‍්‍රන්සය හදිසි නීති තත්වය යටතට පැමිනුවේය. ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මැඩලූ අතර ප‍්‍රන්ස ජනතාවට පිටුපසින් ප‍්‍රන්ස ජනාධිපති ෆ‍්‍රන්සුවා ඔලන්ද් අත්තනෝමතිකව ක‍්‍රියාකරමින් අධිකරන ක‍්‍රියා මාර්ගයන්ගෙන් පරිබාහිර ඝාතන පිලිවෙතක් යලි හඳුන්වා දුන්නේය.

අනතුරුව ල පෙන්ගේ ජාතිකවාදය කෙරෙහි මක්‍රොංගේ විරුද්ධත්වය යුරෝපා සංගමය එකට තබා ගැනීමට සහ ප‍්‍රන්සය සහ යුරෝපය ජාතිකවාදයට සහ යුද්ධයට යලි ඇද වැටීම වැලැක්වීම සඳහා එකම මාර්ගය බැව් අපට පවසයි. නමුත් රුසියාවට, සිරියාවට, සහ උතුරු කොරියාවට එරෙහිව වොෂිංටනය සහ බර්ලිනය විසින් මෙහෙයවූ අධිරාජ්‍යවාදී යුද ධාවනයට සහය දක්වමින් සිටියේ සහ යුද සේවය යලි අනිවාර්ය කිරීම සඳහා යෝජනා කරමින් සිටියේ යුරෝපා සංගමයේ ආධාරකරුවෙකු වන මක්‍රොංය.

අවසාන වශයෙන්, නව-ෆැසිස්ට්වාදීන් කම්කරු පන්තියේ රුදුරු සතුරන් බව අපට මතක් කරයි. මෙය සත්‍යයකි. නමුත් මක්‍රොං, මිලිටරි වාඩිලා ගැනීමේදී යුදෙව්වන් ඝාතක කඳවුරු වලට පිටමං කිරීම සඳහා නෛතික පදනම වන ජාතිකත්වය අහිමි කිරීමේ මූලධර්මය ප‍්‍රන්ස ව්‍යවස්ථාවට අන්තර්ගත කිරීමට උත්සාහ කල පීඑස් ආන්ඩුවේ කොටස්කරුවෙක් විය. යුරෝ දස බිලියන ගනනින් සමාජ කප්පාදු කිරීමටත්, පීඑස් ආන්ඩුවේ ප‍්‍රතිගාමී කම්කරු නීති භාවිතා කරමින් 20 වන සියවසේ පරම්පරා ගනනාවක අරගලය මතින් කම්කරු පන්තිය විසින් දිනා ගන්නා ලද සමාජ අයිතීන් කීතුකර දැමීමටත් ඔහු සහතික විය.

මරීන් ල පෙන් සංක‍්‍රමන විරෝධී සහ වර්ගවාදී මනෝගතීන්ට ආයාචනය කරන දුෂ්ට ප‍්‍රතිගාමී තැනැත්තියකි. ඇයගේ ජාතික පෙරමුන දෙවන ලෝක යුද්ධය අතරතුර කාලයේ ප‍්‍රන්සය පාලනය කල නාසි සහයෝගී තන්ත‍්‍රයෙන් පැවත එයි. කෙසේ වුවද තීරනාත්මක ප‍්‍රශ්නය වනුයේ මක්‍රොං සහ ල පෙන් යන දෙදෙනාටම විරුද්ධව කම්කරු පන්තිය තුල වමෙන් විරෝධතාවයක් වර්ධනය වීමයි. නොඑසේ නම් ල පෙන් ප‍්‍රන්ස කම්කරු පන්තියේ ජොආන් ඔෆ් ආර්ක් ලෙස රඟදැක්වීම දිගටම කර ගෙන යාම පිනිස ඇයගේ ජනප‍්‍රියවාදී සහ ආරක්ෂනවාදී නන්දෙඩවිලි නිදහසේ භාවිතා කරනු ඇත.

මැතිවරනය සක‍්‍රීයව වර්ජනය කිරීමේ අරමුන වනුයේ කුමන ප‍්‍රතිගාමී අපේක්ෂකයා දෙවන වටයෙන් ජයග‍්‍රහනය කරන්නේද යන්න නොතකා අරගලය සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමයි. සක‍්‍රීය වර්ජනය පාර්ලිමේන්තු ගනන් බැලීම් හි ආස්ථානයෙන් සකස් වූවක් නොවන අතර පන්ති අරගලයේ ගතිකය මත සකස් කෙරෙන්නකි.

පලමු වටය තුල සමාජවාදී පක්ෂයේ සහ රිපබ්ලිකානු අපේක්ෂකයන් ඉවත් කිරීම සමග ප‍්‍රන්සය වසර 50 ක් තිස්සේ රට පාලනය කල ද්වී පක්ෂ පද්ධතියේ ඓතිහාසික කඩා වැටීමක් හරහා ගමන්කරමින් සිටී. දෙවන වටය තුල මක්‍රොං සහ ල පෙන් ඉස්මතු වී ඇත යන කරුන විරැකියාව කප්පාදු පියවරයන් සහ වර්ධනය වන ආර්ථික අසමානතාවයට එරෙහිව පුපුරන සුලු සමාජ කෝපය මධ්‍යයේ පත්වීමට නියමිත ජනාධිපති හා කම්කරු පන්තිය අතර රුදුරු ගැටුමක් සූදානම් වෙමින් තිබෙන බව පෙන්වයි.

සක‍්‍රීය වර්ජනයක් සඳහා පීඊඑස් හි කැඳවුමට දේශපාලන අකර්මන්‍යතාව හෝ නොතකාහැරීම සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැත. එය අවශ්‍යයෙන්ම ප‍්‍රතිගාමී අපේක්ෂකයන් දෙදෙනාටම එරෙහිව මහජන රැස්වීම් ව්‍යාපාරයක්, විරෝධතාවය සඳහා කැඳවීම් සහ කම්කරුවන්ගේ දේශපාලන වැඩවර්ජන සහ අරගල දිරිමත් කරයි. එය මැතිවරන මගින් තමා මත පනවා ඇති සීමාවන් කඩා දැමීමට සහ ප‍්‍රන්සය තුල සහ ජාත්‍යන්තරව ආඥාදායකත්වයේ සහ යුද්ධයේ ගමන් මග මත සකස් කෙරෙන ධනපති පන්තියට එරෙහි තීරනාත්මක අරගලයක් සඳහා වූ ශක්තිය එක් කිරීම සඳහා කම්කරු පන්තිය සඳහා ඇති මාවතකි.

ෂෝන්-ලූක් මෙලන්ෂොන් ගේ නිවහල් ප‍්‍රන්සය (යූඑෆ්) ව්‍යාපාරයේ (කලින් වාම පෙරමුන) ප‍්‍රතිචාරය අර්බුදය සඳහා කිසිදු ඉදිරි මාවතක් සම්පාදනය කරනුයේ නැත. අපේ‍්‍රල් 07 දා එජ සිරියාවට බෝම්බ හෙලීමෙන් පසු ඇතිවූ යුද විරෝධී මනෝගතියේ නැග්ම මධ්‍යයේ ආසන්න වශයෙන් සියයට 20 ක ඡන්ද ප‍්‍රතිශතයක් මෙලන්ෂොන් දිනා ගත්තේය. ඔහු මාර්සේලි, ටුවුලූස්, ලිලී සහ උතුරු පැරීසියේ තදාසන්න කම්කරු පන්තික ප‍්‍රදේශයන් ජය ගති. දැන් හිටපු පීඑස් අමාත්‍යවරයා වාම පෙරමුනේ 440,000 ක් වූ අන්තර්ජාල සාමාජිකයන්ට කියා සිටිනුයේ මක්‍රොං ට ඡන්දය දීම, ඡන්ද පති‍්‍රකාව හිස්ව තැබීම හෝ ඡන්දය දීමට නොපැමිනීම යන තුනෙන් එකක් තෝරා ගන්නා ලෙසයි.

මක්‍රොංට සහය දීම හෝ ඡන්ද මධ්‍යස්ථාන තුල මින් පෙර කි‍්‍රයාත්මක කොට ඇති සංකේතාත්මක විරුද්ධත්වයක් පල කිරීමේ ආවෘත අන්තය තෝරා ගැනීමට යෝජනා කිරීම මගින් මෙලන්ෂොන් ගේ මිලියන 7 ක් වූ ඡන්ද දායකයන් යලිත් වරක් සමාජවාදී පක්ෂයට බලගතු ලෙස යටත් කිරීම, නිවට දේශපාලන වගකීම් පැහැර හැරීමකි.

ල පෙන් පෙනී සිටින සෑම දෙයකටම වෛර කරන, මක්‍රොං ට ගර්හා කරන සහ තමන්ට දෙන ලද වරනය තුල අශෝභන සහ බියකරු යමක් පවතින බව ඉවෙන් මෙන් හඟින ගිනිය නොහැකි තරම් කම්කරුවන්, තරුනයන් සහ ශිෂ්‍යයන් මෙලන්ෂොන් ගේ ඡන්දදායකයන් අතර සිටින බව පිලිබඳව පීඊඑස් දැනුවත්ය. මෙම කම්කරුවන් සහ තරුනයන් ඉදිරි මාවතක් සොයමින් සිටී. 2002 මෙන් නොව (පසුගිය වතාවේ ජාතික පෙරමුන දෙවන වටය දක්වා පැමින කොන්සර්වේටිව් අපේක්ෂක ජැක් ශිරාක් ට මුහුන දුන්නේය), සමාජවාදී පක්ෂය සහ එහි සගයන් විසින්, ජාතික පෙරමුනේ ධනපති විරුද්ධවාදියාට ඡන්දය දීමේ ආවෘත අන්තයට ඔවුන් යොමු කිරීම වැලැකවිය යුතුය.

කම්කරු පන්තිය, අවස්ථාවාදයේ කටුක ප‍්‍රතිඵල සහ විප්ලවවාදී මූල ධර්ම ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් දැවැන්ත දේශපාලන අත්දැකීම් ලබා ගනිමින් සිටී. පීඑස් සහ එහි සගයන් තමන් සමාජවාදී සංවිධාන නොවන බවත්, මූල්‍ය ප‍්‍රාග්ධනයේ උපකරන බවත්, දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තිය මැඩගෙන සිටින ලද කම්කරු පන්තියේ සතුරන් බවත් ඔප්පු කර ඇත.

ඔක්තෝබර් විප්ලවයේ මෙම ශත සංවත්සර කාලයේදී පීඊඑස් අවධාරනය කරනුයේ, 1917 දී බොල්ෂෙවික් පක්ෂය සහ රුසියානු කම්කරු පන්තිය ගෙනගිය අරගලයන්ට වූ සිය සබඳතා ප‍්‍රන්ස සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් යලි ගොඩනැගීම එකම ඉදිරි මාවත වන බව යි. මක්‍රොං සහ ල පෙන් එකම රෝගයේ එනම් සිය දෙපා මුලින් කුනුවෙමින් පවත්නා ධනේශ්වර පද්ධතියේ විවිධ ආකාරයන්ය.

මැතිවරනය සක‍්‍රීය ව වර්ජනය කිරීමක්, යුද්ධයට, කප්පාදු පියවරයන්ට සහ ආඥාදායකත්වයට එරෙහි කම්කරු පන්තික අරගලයක් සඳහා මාවත සූදානම් කරනු ඇත. මින් අදහස් කෙරෙනුයේ, කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ සංගත සහ බැංකු ජනසතු කිරීම මගින් ආර්ථිකය මත ධනපතියන්ගේ දෘඪ ග‍්‍රහනය කඩා බිඳ දැමීම සහ ප‍්‍රන්සය, යුරෝපය තුල මෙන්ම ජාත්‍යන්තරව සමාජවාදයේ ජයග‍්‍රනය සඳහා වූ සටනකි.

ප‍්‍රන්ස ජනාධිපතිවරනයේ ආවෘත අන්තයට විරුද්ධ වන කම්කරුවන්ට සහ තරුනයන්ට පීඊඑස් ආයාචනය කරනුයේ, කම්කරු පන්තිය තුල මැතිවරනය වර්ජනය කිරීමක් සඳහා සටන් කරන ලෙසත්, පීඊඑස් ට සහය දක්වන ලෙසත්, එහි වැඩපිලිවෙල අධ්‍යයනය කරන ලෙසත්, ප‍්‍රන්සය තුල කම්කරු පන්තියේ දේශපාලන පෙරටු බල ඇනිය ලෙස එය ගොඩ නැගීම සඳහා වූ අරගලයට සම්බන්ධ වන ලෙසත්ය.

ප‍්‍රන්ස සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන කමිටුව

Share this article: