ට‍්‍රම්ප් විසින් කොමී නෙරපීම: ව්‍යවස්ථාපිත ආන්ඩුවේ බිඳවැටීමක්

Trump’s firing of Comey: A breakdown of constitutional government

2017 මැයි 15

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් එෆ්බීඅයි ප‍්‍රධානී ජේම්ස් කොමී නෙරපීමත් සමග උච්චස්ථානයකට එලඹ තිබෙන දේශපාලන අර්බුදය වේගයෙන් වැඞී යයි. ඒ, ට‍්‍රම්ප්ට එරෙහිව විස්වාසභංගයක් සඳහා කෙරෙන කැඳවුම් හා ප‍්‍රජාතාන්ත්‍රික අයිතීන් හා ව්‍යවස්ථාපිත ප‍්‍රතිමානයන්ට ප‍්‍රහාර එල්ල කිරීම තවදුරටත් ගැඹුරු කරන බවට ධවල මන්දිරය විසින් කෙරෙන තර්ජනයන් හා අත්වැල් බැඳගමිනි.

සංවාද වලට අදාල හඬපට තිබිය හැකි බැවින්, කොමී තමන් සමග පැවැති සාකච්ඡා පිලිබඳව මාධ්‍යයට හා කොන්ග‍්‍රසයට කියන දේවල් ගැන ප‍්‍රවේශම් විය යුතු යයි අනතුරු අඟවමින් ට‍්‍රම්ප් 12දා පලකල ට්විටර් තර්ජනයත් සමග ඇමරිකානු ජනාධිපති, දේශපාලන සංස්ථාපිතය තුල ප‍්‍රකෝපකරන තවදුරටත් ඇවිලවූයේ ය. ට‍්‍රම්ප්ගේ මෙම ක්‍රියාවට ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙගොල්ලම ක්ෂනිකව ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ, එවැනි ඕනෑම හඬපටයක් 2016 මැතිවරන සම්බන්ධයෙන් දැනට කෙරීගෙන යන විමර්ශනවල කොටසක් වසයෙන් උපයෝගි කරගනු ඇති බව යි.

ධවල මන්දිරයේ කාර්ය මන්ඩලය තුල ලඟදීම සිදුකිරීමට නියමිත නෙරපා දැමීම් ගැන තහවුරු නොකල මාධ්‍ය වාර්තා පලවී තිබුනි. කාර්යමන්ඩල ප‍්‍රධානී රෙයින්ස් ප්‍රීබස්, ප‍්‍රධාන මූලෝපායඥ ස්ටෙෆන් බැනන් හා මාධ්‍ය ප‍්‍රකාශක සීන් ස්පෙන්සර් යන සියලු දෙනාම එවැන්නක ශක්‍ය ඉලක්කයන් ය. මාධ්‍යකරුවන් ගනනාවක් ම සටහන් කල පරිදි, එවැන්නක් ට‍්‍රම්ප් පාලනාධිකාරය ආන්තිකව පෞද්ගලික හා අර්ධ ආඥාදායක තත්වයට පරිවර්තනය කරමින්, ධවල මන්දිරය -ජනාධිපති දියනිය හා ඇගේ සැමියා- “ඉවන්කා හා ඩ්”ගේ පාලනයට අත්හැර දැමීමක් වනු ඇත.

ධවල මන්දිරය දෛනිකව පවත්වන මාධ්‍ය සාකච්ඡා අහෝසි කොට ජනාධිපතිවරයා විසින්ම ඉඳහිට කැඳවන මාධ්‍ය සාකච්ඡා මගින් එය විස්ථාපනය කරනු ඇති බවට යෝජනා කරමින් ට‍්‍රම්ප් එවැනි සමපේක්ෂනයකට උඩගෙඩි දුන්නේ ය. ඉරිදා රූපවාහිනී සාකච්ඡා වැඩසටහන්වල පෙනී සිටීමට කිසිදු ධවල මන්දිර ප‍්‍රකාශකයෙකුට අවසර දීම ඔහු ප‍්‍රතික්ෂේක කලේ ය. ඒ, කොමී නෙරපීම හා ඉනික්බිති ක්‍රියාවලිය ගැන ප‍්‍රශ්න කිරීමෙන් වලකින්නැයි ට‍්‍රම්ප් කල ඉල්ලීමට අවනත වීම එම වැඩසටහන් විසින් ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ය.

14දා වොෂිංටන් පෝස්ට් පුවත්පත පලකල කතුවැකියෙන්, ට‍්‍රම්ප්ගේ හැසිරීම “ෆෙඩරල් නීති බලාත්මක කිරීමේ ස්වාධීනත්වයට තර්ජනය කරමින් එක්සත් ජනපදයේ ප‍්‍රමුඛ ප‍්‍රජාතාන්ත්‍රික ආයතන දූෂනය කර ඇතැයි” සටහන් කරමින් “මැදිහත්වීමක් සඳහා ඔහුට කිසිම අයිතියක් නැති පරීක්ෂනයට ජනාධිපති මැදිහත්ව ඇත”යි ලිවීය. එක්සත් ජනපද මැතිවරනය තුල සිදුකෙරුනේයැයි කියන රුසියානු මැදිහත්වීමට අදාල කොන්ග‍්‍රස් හා එෆ්බීඅයි විමර්ශන කඩිනම් කිරීමට යෝජනා කරමින් පුවත්පත, ට‍්‍රම්ප්ට එරෙහිව විස්වාසභංගයක් ගෙන ඒමට කැඳවුම් කරමින් හාවඩ් මහාචාර්ය ලෝරන් ට‍්‍රයිබ් විසින් ලියන ලද උපදේශාත්මක තීරුවක් පලකලේ ය.

එයටත් වඩා මවිතකාරී ප‍්‍රකාශ, ජනාධිපති ඔබාමා යටතේ ජාතික බුද්ධිඅංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කල විශ‍්‍රාමලත් ජෙනරාල් ජේම්ස් ක්ලැපර් විසින් කරන ලදී. සීඑන්එන් වැඩසටහනක්වූ 14දා උදෑසන පැවැති “රාජ්‍ය තත්වය” නම් සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධවූ ක්ලැපර් හා එම වැඩසටහන මෙහෙයවන ජේක් ටැපර් අතර කොමී නෙරපා හැරීම සම්බන්ධයෙන් පහත සංවාදය සිදු විය:

ක්ලැපර්: මම හිතන විදියට බොහෝ පැතිවලින් සැලකුවහොත්, අපගේ ආයතන දෙයාකාරයකින් ප‍්‍රහාරයකට ලක්ව තිබෙනවා. දැන් මෙහෙ තියෙන ලොකුම ප‍්‍රවෘත්තිය තමයි අපේ මැතිවරන ක්‍රියාදාමය තුල රුසියාවේ මැදිහත්වීම. ඒ වගේම මම හිතන්නේ, අපේ ආයතන අභ්‍යන්තරව ප‍්‍රහාරයකට ලක්ව තිබෙනවා කියලා.

ටැපර්: රටතුල, ජනාධිපතිවරයාගෙන් ද?

ක්ලැපර්: නිසැකව ම.

ක්ලැපර් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හෝ වගවීමේ හිතවතෙක් නොවේ. එක්සත් ජනපද ආන්ඩුව ඇමරිකානුවන්ගේ සංනිවේදන පිලිබඳව දැවැන්ත පරිමාන රහසිගත ඔත්තු බැලීම් වැඩසටහනක් ගෙන ගොස් තිබූ බව, 2013 කොන්ග‍්‍රස් සාක්ෂි කැඳවුමේදී දිව්රා ප‍්‍රතික්ෂේප කරමින් බොරු සාක්ෂි දීම නිසා හරිනම් ඔහු සිටිය යුත්තේ සිරදඬුවමක් ලබමිනි. ඉන් සති කිහිපයකට පසු, එඩ්වඩ් ස්නෝඩන්ගේ අනාවරන මගින් ඔහු බොරුකාරයෙක් බව හෙලිදරව් කලේ ය.

ලක්ෂයකට වඩා ඔත්තුකරුවන්, විශ්ලේෂකයන් හා තැරැව්කරුවන් සහිත ආයතන දාහතක ප‍්‍රධානියා වසයෙන් ජනවාරි 20තෙක් කටයුතු කල විශ‍්‍රාමලත් ජෙනරාල්වරයා, නාමික සේනාධිපති ද වන ට‍්‍රම්ප් ඇමරිකානු රාජ්‍යයේ ආයතනවලට තර්ජනයක් යයි දැන් පවසන්නේ නම්, එය, පාලනාධිකාරිය තමන් සමගම යුද්ධයක නිරතව සිටින බවට සලකුනකි. රටකට පසු තවකෙක කුමන්ත‍්‍රන හා මිලිටරිය අතට බලය ගැනීමට සැමවිටම යොදාගනු ලැබූ ව්‍යාජෝක්තිය වන මිලිටරි-බුද්ධි අංශ “සාමය පවත්වාගැනීම සඳහා” ඉදිරිපත්ව සිටින්නේ ය යන්නෙන් යාන්තම් එක් පියවරක් ආපස්සකට ගැනීමක් පමනි, මෙය.

පාලක ප‍්‍රභූව තුල ගැටුමේ පාර්ශව දෙකම අවසන් බේරුම්කරු ලෙස මිලිටරිය වෙත හැරෙමින් සිටින තතු හමුවේ “එය මෙහි සිදුවිය නොහැක” යන්න කිසිවෙකු විස්වාස නොකල යුතු ය. ට‍්‍රම්ප් මිලිටරිය සමග සබඳතා ශක්තිමත් කරගැනීමේ ප‍්‍රයත්නයක් ලෙස තම කැබිනට් මන්ඩලය පුරවා ගෙන ඇත්තේ, හිටපු හා ක්‍රියාන්විත රාජකාරියේ නිරත ජෙනරාල්වරුන්ගෙනි. වඩාත් ආක‍්‍රමනශීලි සටන් උපායන් හා මිලිටරි සේනාංක වැඩිකර ගැනීම පිනිස ඔහුගේ ඉහල අනදෙන නිලධාරීන්ට නිදහස් වරපටක් පිරිනමමින් එක්සත් ජනපදය තුල පොලිසියට ද එම නිදහස පිරිනමන බවට පොරොන්දු වෙමින් ට‍්‍රම්ප් පුනපුනා මිලිටරි ප්‍රේක්ෂකත්වයන්ට කතා පවත්වා ඇත.

ට‍්‍රම්ප්ට එරෙහිව එකදු ප‍්‍රජාතාන්ත්‍රික මූලධර්මයක් හෝ ඉස්මතතු කිරීමට ඩිමොක‍්‍රටික් පක්ෂය අසමත් ය. එය ජනාධිපතිට විරුද්ධවීම සඳහා තෝරාගෙන ඇත්තේ, 2016 මැතිවරනයට රුසියාව මැදිහත් වීමෙන් ඔහු ජනාධිපති වී ඇතැයි යන මුලුමනින්ම ප‍්‍රතිගාමී හා පච ප‍්‍රකාශය. එහි මාධ්‍ය ආධාරයකයන් ද මෙම ප‍්‍රකාශ අනුයමින් ඇත: 14දා නිව්යෝක් ටයිම්ස් ලේඛකයන් දෙදෙනෙක් (නිකොලස් ක්රිස්ටොප් හා ටිම් ඒගන්) ට‍්‍රම්ප් රාජද්‍රෝහීවීම සම්බන්ධයෙන් වරදකරු විය හැකියැයි යෝජනා කල අතර තුන්වැන්නෙක් (තෝමස් ෆ්‍රීඞ්මාන්) පසුගිය මාසයේදී මිලිටරියට යෝජනා කලේ, මාලිග කුමන්ත‍්‍රනයක් [නායකයා සමග එකට වැඩකරන අය විසින්ම ඔහුව නෙරපා දැමීම] දියත් කරන ලෙස යි.

ලෝකය මුහුනදී ඇත්තේ, ගෝලීය ධනවාදයේ මධ්‍යස්ථානය තුල ඓතිහාසික පරිමානයේ අර්බුදයකට ය. දශක ගනනාවක සමාජ හා දේශපාලන ප‍්‍රතිගාමීත්වය, නිමානොවන යුද්ධය හා පන්ති අරගලය කෘතිමව මර්දනය කිරීම උච්චස්ථානයකට එලැඹෙමින් තිබේ. ජනගනහනයෙන් අතිමහත් බහුතරය වඩවඩාත් කාලකන්නි ආර්ථික දුෂ්කරතාවන්ට තල්ලූ කර දමමින් මොනම හෝ දේශපාලන බලපෑමක් කිරීමට ඇති අවකාශය ඔවුන්ට අහිමි කරමින් තිබෙන අතරේ, අතිශය සුලු පිරිසක් වන කතිපයාධිකාරය සන්තකයේ ඇදහිය නොහැකි පරිමානයකින් ධනය හා බලය ගොඩ ගසා ඇත.

සෑම තැනකින්ම දැකිය හැක්කේ ඇමරිකානු සමාජයේ බංකොලොත් කම යි. ගරාවැටෙන මං මාවත්, පාලම්, ජල හා මලාපවහන පද්ධති, ගැඹුරුවෙමින් පවත්නා දරිද්‍රතාව හා කාලකන්නිකම, කඩාවැටෙමින් පවතින විද්‍යාල, සමාජ වියදම් හා පෞද්ගලික විශ‍්‍රාම දීමනා කපා දැමීම, සමස්තයක් ලෙස ගත් විට පොදු අවශ්‍යතාවල සියලූම සහේතුක දීමනා ලාභය සඳහා වන උමතු ධාවනයට යටත් කිරීමේ පලවිපාකය යි.

ආන්ඩුව සමපේක්ෂකයන් හා ඔවුන්ගෙන් පගා කන දේශපාලනඥයින් ධනවත් කිරීමට ෆ්ලින්ට් වැනි නගරවල ජල සැපයුමට විෂ කවමින්, මනා සෞඛ්‍ය ආරක්ෂනයට මොනම ප‍්‍රවේශයක් හෝ ඔවුන්ට අහිමිකිරීම අත්දකිමින් සිටින වැඩකරන ජනයා අතර සමාජ වෛරය පුපුරන සුලු අවස්ථාකට ලඟාවෙමින් තිබේ. පක්ෂ දෙක හා සියලුම රාජ්‍ය ආයතන -කොන්ග‍්‍රසය, ශ්‍රේෂ්ඨාධිකරනය, මාධ්‍ය- කුජීත තත්වයට පත්ව තිබේ. දිගහැරෙමින් ඇත්තේ, ව්‍යවස්ථාමය ආන්ඩුවේ සමස්ත රාමුවේම කඩාවැටීමකි.

ට‍්‍රම්ප් කරමින් සිටින දේවල නෛතික හෝ ව්‍යවස්ථාපිත සීමාවන් පිලිනොගන්නා හිතුවක්කාරී ජනාධිපතිවරයෙක් නම්, ඔහු හුදෙක්ම පිලිබිඹු කරන්නේ දඬුවම් නොලබාම 2008 ලෝක ආර්ථිකය අර්බුදයට හෙලූ හා එහි ප‍්‍රතිවිපාක වැඩකරන ජනයා විඳවන අතර ඇදහිය නොහැකි ධනයක් දැන් කඳුගසා ගෙන සිටින සංගතවල ඉහල විධායකයන්ගේ, බැංකුකරුවන්ගේ පාලනය යි.

පවතින දේශපාලන රාමුව තුලින් මෙම අර්බුදයෙන් ගැලවී යාමේ මාවතක් සොයාගත නොහැක. ඩිමොක‍්‍රටිකයන්ගේ හෝ මිලිටරි-බුද්ධි අංශ යාන්ත‍්‍රනයේ එහි සගයන්ගේ උපාමාරුවකින් ට‍්‍රම්ප් විස්ථාපනය කලහොත් එහි ප‍්‍රතිපලය වනු ඇත්තේ, තවදුරටත් දකුනට හැරීමකි. එවැන්නක් මිලිටරිවාදය හා ප‍්‍රතිගාමීත්වය උත්සන්න කරනු ඇතිවාක් මෙන්ම රුසියාව සමග එක්සත් ජනපද න්‍යෂ්ටික යුද්ධයක් දියත් කිරීමේ ශක්‍යතාව ද ගැබ්කර ගනී. ට‍්‍රම්ප්ට ද පැවතිය හැක්කේ, වැඩකරන ජනයාගේ සමාජ අවශ්‍යතාවන් හා ප‍්‍රජාතාන්ත්‍රික අයිතීන්ට අතිශයින්ම රුදුරු ප‍්‍රතිවිපාක ගෙන දෙමින් මිලිටරිය හා ඉන් පිටත අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී බලවේග බලමුලුගැන්වීම හරහාම පමනි.

දේශපාලන අර්බුදය විසඳීමේ එකම මාවත වැටී ඇත්තේ, ප‍්‍රගතිශීලි හා ප‍්‍රජාතාන්ත්‍රික පදනමක් මත වැඩකරන ජනයා දේශපාලනිකව බලමුලූ ගැන්වීම හරහා ය. ප‍්‍රධාන පක්ෂ දෙක හා වෘත්තීය සමිතිවල ඒවායේ ආවතේවකරුවන්ට එරෙහිව, ඒවායින් ස්වාධීනව, සමාජවාදී පදනමක් මත සටන් වදිමින් ඉදිරි නව මාවතක් විවෘත කරගත හැක්කේ කම්කරු පන්තියටම පමනි.

පැට්‍රික් මාටින්

Share this article: