එක්සත් ජනපද දේශපාලන අර්බුදය හා ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දිරාපත් වීම

The US political crisis and the decay of American democracy

2017 මැයි 19

චෝදනාවට ලක්ව ඇති ට‍්‍රම්ප්ගේ ජනාධිපතිවරන උද්ඝෝෂනය හා රුසියානු නිලධාරීන් අතර සම්බන්ධකම් විභාග කිරීම සඳහා බදාදා විශේෂ උපදේශකයෙකු ලෙස හිටපු එෆ්.බී.අයි. අධ්‍යක්ෂ රොබට් ම්‍යුලර් පත් කිරීමත් සමග, වොෂින්ටනයේ මහත් වේගයෙන් පැතිර යන රාජ්‍යයේ හා පාලක පන්තියේ කුලල් කා ගන්නා එකිනෙකාට සතුරු කල්ලි අතර ගැටුම, නව අදියරකට පැමින තිබේ.

ම්‍යුලර්ගේ පත් කිරීම සිදුවූයේ ට‍්‍රම්ප් අනපේක්ෂිත ලෙස එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ නෙරපා හැර යන්තම් දින අටකට පසු ය. ඊලඟ සතිය පුරා, මාධ්‍ය වාර්තා කලේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින්ට එරෙහි පරීක්ෂනයක් නවත්වන ලෙස ට‍්‍රම්ප් තමාට යෝජනා කල බව වාර්තා කරමින් කොමේ විසින් ලියන ලද සටහනක් පවතින බව යි. මෑත ධවල මන්දිර හමුවක දී ට‍්‍රම්ප් රුසියානු නිලධාරීන් සමග වර්ගීකරනය කල ලියවිලි හුවමාරු කර ගත් බව තවත් මාධ්‍ය “හෙලිදරව්වක්” චෝදනා කලේ ය.

රිපබ්ලිකානු සෙනෙට් සභික ලින්ඩ්සේ ග‍්‍රැහැම් ගේ ප‍්‍රකාශනයකට අනුව, රහස්‍ය කොංග‍්‍රස් මන්ඩල විභාගයක දී, ට‍්‍රම්ප්ගේ රුසියානු සම්බන්ධය පිලිබඳ පරීක්ෂන දැන් සිදුවනු ඇතැයි සැලකෙන්නේ, “ප‍්‍රතිඔත්තුසේවා” ප‍්‍රශ්නයක් ලෙස නොව සාපරාධී ප‍්‍රශ්නයක් ලෙස සලකා බව නියෝජ්‍ය නීතිපති රොඩ් රොසෙන්ටේන් පැවසූ 18දා වන විට අර්බුදය තවදුරටත් තීව‍්‍ර විය.

ට‍්‍රම්ප් සමග ගැටුමේ දී ඔත්තුසේවා ඒජන්සි හා මිලිටරිය ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන අතර එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ලිබරල් ක්ෂමාලාපීන් ඇතුලු ඩිමොක‍්‍රටිකයන් විසින් නිශ්චිතව ම මෙම බලවේග දිරිමත් කරයි.

18දා පලවූ තීරු ලිපියක නිව් යෝක් ටයිම්ස් පත‍්‍රයේ නිකොලස් ක්‍රිස්ටෝෆ් විසින් ඩිමොක‍්‍රටිකයන්ගේ පෙල ගැස්ම පැහැදිලිව ප‍්‍රකාශ කරන ලදී. සමස්තයක් වසයෙන් ටයිම්ස් මෙන් ම ඔහු ද ඔත්තුසේවා ඒජන්සි තුල සාකච්ඡාවේ සම්බන්ධීකරන නලය බවට පත්ව ඇත. “ට‍්‍රම්ප්ට හා ජාතියට භයානක අවධියක්” නම් ශීර්ෂයෙන් යුත් තීරු ලිපිය අධිකරන දෙපාර්තමේන්තුව විසින් ම්‍යුලර් පත් කිරීම වර්නනා කරනු ලබන අතර “ට‍්‍රම්ප් ජනාධිපතිත්වය දැන් කැඩී බිඳී යමින්, අකර්මන්‍ය තත්වයකට ඇද වැටෙමින් තිබේ” යයි අනතුරු ඇඟවී ය.

1974 වෝටර්ගේට් අර්බුදය අතරතුර දී, ජනාධිපති රිචඩ් නික්සන්ගේ ආරක්ෂක ලේකම් ජේම්ස් ෂ්ලේසිංගර්, තමා අනුමත කරන තෙක් ධවල මන්දිරයේ නියෝග වලට අවනත නොවන ලෙස මිලිටරියට නියෝග කල බව ක්‍රිස්ටෝප් ප‍්‍රශංසාත්මකව සඳහන් කර යි. ක්‍රිස්ටෝප්ගේ වචනවලට අනුව, ෂ්ලේසිංගර් “ජනාධිපති අනුප‍්‍රාප්තිය සමග ගැටලු ඇති වුවහොත් වොෂින්ටනය තුල හමුදාව රැඳවීමට රහස් සැලැස්මක් සකස් කලේ ය.”

ක්‍රිස්ටෝප් මෙසේ පවසයි, “මෙය ව්‍යවස්ථා විරෝධීය. එමෙන් ම ඥානාන්විතය.” මිලිටරි නිලධාරීන්ගේ අකීකරු කමේ එවැනි “ව්‍යවස්ථා විරෝධී” ක්‍රියා වර්තමාන අර්බුදයේ දී යුක්තිසහගත වීමට ඉඩ ඇතැ යි ඔහු ප‍්‍රකාශ කලේ ය. “ඉදිරි මාසවල දී ට‍්‍රම්ප් ප‍්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේ දැ යි අපි නො දනිමු. අපි සියලු දෙනා තත්වය සාමාන්‍ය පරිදි සිදුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු. නමුත් ෂ්ලේසිංගර්ගේ පියවර මෙන්, සූදානම් ව සිටීම ඥානාන්විත යයි” ඔහු ලිවීය.

ට‍්‍රම්ප් සිය කැබිනට් මන්ඩලයට පත්කර ගෙන සිටින හිටුපු ජනරාල්වරුන්―ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්, ජාතික ආරක්ෂක උපදේශක එච්.ආර්. මැක්මාස්ටර් හා ස්වදේශීය අරක්ෂක ලේකම් ජෝන් කෙලී සමග හිටපු තෙල් ව්‍යාපාරිකයෙකු මෙන් ම වර්තමාන රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්― ගැන ක්‍රිස්ටෝප් සඳහන් කරන්නේ, ධවල මන්දිරයට “පරිනත සුපරීක්ෂනයක්” සැපයීමට අවශ්‍ය “මුහුකුරා ගිය අය” ලෙස යි.

මෙම කල්ලියේ සාමාජිකයින් “අපගේ ජාතියට හදිසි රැස්වීමක් අත්‍යාවශ්‍ය වන අවස්ථාවක එකිනෙකාගේ දුරකතන අංක සූදානමින් තියා ගන්නා අය” විය යුතු යයි ඔහු පැවසීය.

ක්‍රිස්ටෝප්ගේ තීරු ලිපිය නිව් යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, හා එක්සත් ජනපද ව්‍යවස්ථාවේ 25වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ද ඇතුලු, ට‍්‍රම්ප් ඉවත් කිරීමට යම් ආකාරයක අභ්‍යන්තර කුමන්ත‍්‍රනයක් අපේක්ෂා කරන අනෙකුත් පුවත්පත්වල ද ලියවුනු ලිපි පෙලක එකක් පමනි. ජනාධිපති බරපතල ලෙස අසනීප වුවහොත් හෝ සිහිසුන් යැයි සැලකෙන කල, ජනාධිපති “ඔහුගේ තනතුරෙහි බලතල හා රාජකාරී ඉටු කිරීමට අසමත්” යැයි ඔවුන් අදහස් කරන්නේ නම් අවශ්‍ය විකල්පය ලෙස, සංශෝධනය කැබිනට් මන්ඩලයේ තුනෙන් දෙකක බහුතරයකින් කැඳවෙනු ඇත.

මැයි 16වැනිදා, ටයිම්ස් තීරු ලිපි රචක රෝස් ඩව්තැට් දෝෂාභියෝගයට ලක් කල හැකි වැරදි “ලදරුවෙකුට...සැබවින් ම කල නො හැකි” යයි තර්ක කරමින්, ට‍්‍රම්ප් “ලදරුවෙකු” ලෙස සඳහන් කලේ, 25වැනි සංශෝධනය සම්බන්ධ වන විසඳුමකට ඉඩ තබමිනි. මාර්තු මාසයේ දී, ටයිම්ස් පත‍්‍රයේ තෝමස් ෆ‍්‍රීඞ්මාන්ගේ තීරු ලිපියක, කැබිනට් මන්ඩලයේ මිලිටරි සාමාජිකයිගේ රාජ්‍ය කුමන්ත‍්‍රනයක් පිලිබඳ යෝජනාව ඉදිරිපත් කලේ, “හොඳ මිනිසුන් කීපදෙනෙකුට කැඳවුමක්” නම් ශීර්ෂපාඨය යටතේ ය.

දේශපාලන අර්බුදය වර්ධනය වත් ම, ට‍්‍රම්ප් පාලනාධිකාරිය කෙරෙහි ඩිමොක‍්‍රටික් විරුද්ධත්වයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ ප‍්‍රගතිශීලී අන්තර්ගතයක ලේශමාත‍්‍රයක් වත් නැති බව වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබේ. දෙපක්ෂයම අතිශයින් ඒකාධිපතිවාදී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නැඹුරුවක් ප‍්‍රකාශ කරද්දී, පාලක පන්තියේ එකිනෙකට වෙනස් ප‍්‍රතිගාමී කන්ඩායම් අතර කටුක අරගලය දිග හැරෙමින් තිබේ.

ට‍්‍රම්ප් පාලනාධිකාරය නියෝජනය කරන්නේ, සංගත හා මූල්‍ය ප‍්‍රභූව විදහා පාන මැරවර ක‍්‍රමවේද ධවල මන්දිරය තුලට මාරුවීම යි. ඔහුගේ ප‍්‍රතිවාදීන් උත්සාහ කරන්නේ ට‍්‍රම්ප්ට එරෙහි දැවන්ත කම්කරු පන්තික විරෝධය බලමුලු ගැන්වීමට නො ව, මෙම විරුද්ධත්වය පූර්වභංග කිරීමට, වැලක්වීමට හා මිලිටරිය, සීඅයිඒ හා එෆ්බීඅයි සංවිධානවල බලගතු කන්ඩායම් විසින් මෙහෙය වනු ලබන යුද ගැති උද්ඝෝෂනය පිටුපස අවමංගත කිරීමට ය.

ට‍්‍රම්ප්ට එරෙහි ඔවුන්ගේ උද්ඝෝෂනය ගෙන යන්නේ, කෙසේ හෝ රුසියාව කෙරෙහි වඩා නම්‍යශීලී පිලිවෙතක් ගැනීම පිනිස ක්‍රෙම්ලිනය විසින් ජනාධිපතිට අල්ලස් දී බලහත් කාරකම් කර ඇතැ යි යන ව්‍යාජය මත ය. මාධ්‍යවේදීන්, ඔත්තුසේවා නිලධාරීන් හා ඩිමොක‍්‍රටික් දේශපාලඥයින් මෙම ගොතන ලද ප‍්‍රකාශ පාවිච්චියට ගනිමින් සියලු දේශීය දේශපාලන විරුද්ධත්වයන් විදේශ බලවතකුගේ ඇමරිකානු විරෝධී කඩාකප්පල් කිරීමක නිර්මිතයක් ලෙස හංවඩු ගසයි.

මෙම කපටි හා වංචනික ලෝක දෘෂ්ටිය තුල, මිලිටරියේ සහාය ඇතිව හෝ සෘජුව, ජනාධිපති ඉවත් කිරීමක් සිදු වුවහොත් එය දැකගන්නේ “පාලක ප‍්‍රභූවේ” දෛනික කටයුතු පිලිබඳ සරල කොටසක් ලෙස ය.

එවැනි පදනමක් මත ට‍්‍රම්ප් ඉවත් කිරීමෙන් පසුව මතුවනු ඇති ඕනෑ ම ආන්ඩුවක්, රුසියාවට එරෙහි ආක‍්‍රමනයේ ප‍්‍රතිපත්තියකට කැපවුනු හා කම්කරු පන්තිය සමග ගැටුම පොලඹවන අතිශය ප‍්‍රතිගාමී එකක් වනු ඇත.

ක්‍රිස්ටෝප් හා ෆ්‍රීඩ්මාන්ගේ තීරු ලිපි විශේෂයෙන් ම දක්ෂිනාංශික පුද්ගලයන් දෙදෙනෙකුගේ දෘෂ්ටීන්ට වඩා ගැඹුරු යමක් ප‍්‍රකාශ කර යි. ඇමරිකානු සමාජයේ කතිපයාධිකාරී ස්වභාවය සමග දේශපාලනික පාලනයේ රූපාකාරයන් සෘජුව එක පෙලට ගෙන ඒමට එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ කන්ඩායම්වල වැඩෙන කැමත්තක් තිබේ.

2000 මැතිවරනය පැහැරගත් අවස්ථාවේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කලේ, ඡන්ද ආපසු ගනන් කිරීම නැවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරනයේ සාමාජිකයන් පස්දෙනා විසින් කරන ලද ව්‍යවස්ථා විරෝධී කුමන්ත‍්‍රනයට මොන යම් හෝ බැ?රුම් විරුද්ධත්වයක් පල නොවීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ආධාරකරුවන්ගේ සැලකියයුතු කන්ඩායමක් පාලක පන්තිය තුල නො සිටින බව පැහැදිලි කල බව යි. තත්වය පසුගිය වසර 17 තුල තවත් වැඩි දියුනුවී ඇත. ට‍්‍රම්ප් වනාහි ගැඹුරු වසංගතයක එක් ප‍්‍රකාශනයක් පමනි. පාලක පන්තිය තුල ඔහුගේ විරුද්ධවාදීන් අනෙක් කොටසයි.

වොෂින්ටනය අර්බුද වලින් ඇලලී යද්දී තව මත් සිය මතය පලකල යුතුව ඇති සමාජ කන්ඩායම කම්කරු පන්තිය යි. තමන්ගේ ම සමාජවාදී ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනයේ පදනම මත එය මෙම අර්බුදය තුල මැදිහත් විය යුතු ය.

ආන්ද්‍රේ ඩැමොන්

Share this article: