ජූලියන් අසාන්ජ් පිලිබඳ ස්වීඩන විමර්ශනය ආරම්භයේ පටන් ම දේශපාලනික බොරු නඩුවකි

Sweden’s investigation into Julian Assange was a political frame-up from the outset

2017 මැයි 20

සමස්ත ක‍්‍රියාදාමය ඉලක්ක කරන ලද්දේ, විකිලීක්ස් අපකීර්තියට හා පක්ෂාඝාතයට පත්කොට, අසාන්ජ් ව එක්සත් ජනපදයට චූදිතයෙකු ලෙස පිටුවහල් කර හෝ පැහැරගෙන ගොස් මරා දැමීම හෝ ජීවිතාන්තය දක්වා සිරගත කිරීම යි.

ස්වීඩන බලධාරියෝ විකිලීක්ස් සමාරම්භක ජූලියන් අසාන්ජ්ට එරෙහි ලිංගික අපචාරය පිලිබඳ චෝදනා විමර්ශනය අතහැර දමන බව මැයි 20දා නිවේදනය කල හ. ඇත්ත කාරනාව නම්, කිසිදු ආකාර එවන් සිද්ධියක් ඔවුන් සතු ව නො තිබෙන අතර තිබුනේ ද නැති බව යි. ආරම්භයේ පටන් ම “දූෂිත මවාපෑම්” සහිත මෙහෙයුමක් වූ සමස්ත ක‍්‍රියාදාමය, අසාන්ජ් ව එක්සත් ජනපදයට පිටුවහල් කර හෝ පැහැරගෙන ගොස් මරා දැමීම හෝ ජීවිතාන්තය දක්වා සිරගත කිරීම ඉලක්ක කරන ලද්දකි.

විකිලීක්ස් කල එක ම “අපරාධය” වූයේ, ඉරාකයේ, ඇෆ්ඝනිස්ථානයේ හා භූගෝලය පුරා සිටින සහචරයන්ද සමග ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සිදු කරනු ලබන නීති විරෝධී හා මිනීමරු ක‍්‍රියාකාරකම් හෙලිදරව් කිරීම යි.

එක් අතකින් ඇමරිකානු මිලිටරි-රහස් තොරතුරු සංස්ථාපිතය හා මාධ්‍ය ද අනෙක් අතින් ව්‍යාජ-වාම දේශපාලනය ද විසින් අසාන්ජ්ට එරෙහි ලිංගික “අපචාර” පිලිබඳ ව්‍යාජ උද්ඝෝෂනය, පසුගිය වසර හත පුරා කරගෙන යන ලදී. පලමුව කී තැනැත්තන් මෙම මෙහෙයුමට අවශ්‍ය ශක්තිය ද පසුව කී අයවලුන් “බුද්ධිය” ද සැපයීමට ක‍්‍රියා කලේ, ප‍්‍රහාරයේ සෑම පියවරක දී ම කාන්තාවන් දූෂනයට ලක් වීමෙන් ආරක්ෂා කරගැනීමේ නාමයෙන්, එය සුජාතකරනය කරමිනි.

ස්වීඩන විමර්ශනය අත්හැර දැමීමෙන් වොෂින්ටනයේ අපරාධ හෙලිදරව් කිරීම් මර්දනය කිරීම නවත්වන බවක් කිසිසේත් අදහස් නො වේ. සිදුවනු ඇත්තේ ඊට බොහෝ වෙනස් දෙයකි. එහි ක්ෂේත‍්‍රය හා කොන්දේසි යන්තමින් විතැන් වී ඇතුවා පමනි. එක්සත් ජනපද බලධාරියෝ හා ඔවුන්ගේ සහකරුවෝ විකිලීක්ස් උදාහරනයක් ලෙස යොදා ගැනීමේ අදහස මොහොතකට වත් අත්හැර නොමැත.

අසාන්ජ්ට විරුද්ධ චෝදනා සූදානම් කලේ තමන් බව දැනගැනීමට එක්සත් ජනපදය ඉඩ සලසා ඇති අතර වොෂින්ටනය මනාප වන්නේ ඔහු ව තම රටට චූදිත පිටුවහලෙක් ලෙස ගෙන්වා ගැනීමට යි. ඇප කොන්දේසි කඩකලේ ය යන චෝදනාව මත පස්වසරක් තිස්සේ අසාන්ජ් සිර වී සිටින ඉක්වදෝර තානාපති කාර්යාලය හැරගිය හොත් ඔහු ව අත්අඩංගුවට ගන්නා බවට බි‍්‍රතාන්‍ය බලධාරීහු කීවෝ ය.

අපේ‍්‍රල් 13දා මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ දී පැවැත්වූ ෆැසිස්ට්වාදී මුරගෑමේ දී, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ සීඅයිඒ අධ්‍යක්ෂ මයිකල් පොම්පියෝ මෙසේ අවධාරනය කලේ ය: “සතුරු රහස් ඒජන්සියක් ලෙස කටයුතු කරන විකිලීක්ස් ඒ අයුරින් ම කතා කරයි... රුසියාව වැනි රාජ්‍ය රඟදක්වන්නන් විසින් නිරන්තරයෙන් පිටුබලය දෙන රාජ්‍ය-නො වන සතුරු රහස් තොරතුරු ඒජන්සියක්ය යන සැබෑ නමින් විකිලීක්ස් නම් කිරීමට කාලය එලැඹ ඇත.” වැඩිදුරටත් ඔහු තම හඬතැලීමේ දී “අසාන්ජ් හා ඔහුගේ සමචින්තකයන්ට, අපට විරුද්ධ ව නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අවකාශය භාවිතා කිරීමට ඉඩදිය නො හැකි බව අප හඳුනාගත යුතු” යයි කීවේ ය.

අසාන්ජ්ට හා විකිලීක්ස්ට එරෙහි ප‍්‍රචන්ඩ තර්ජන අලුත් ඒවා නො වේ. හිටපු උප ජනාධිපති ජෝසෆ් බයිඩන් අසාන්ජ් ව “අධිතාක්ෂනික ත‍්‍රස්තවාදියෙකුට සමාන කරද්දී” හිටපු කතානායක නෙව්ත් ගින්ග‍්‍රිච් විකිලීක්ස් ආරම්භකයා ව “හතුරු ප‍්‍රහාරකයෙකු ලෙස සැලකිය යුතු ”යයි කීවේ ය.

1984 ඩිමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂක වෝල්ටර් මොන්ඩේල්ගේ උද්ඝෝෂන කලමනාකරු හා ෆොක්ස් නිව්ස් විචාරකයෙක් වන බොබ් බෙකල් “මොහු ද්‍රෝහියෙක්, පාවාදෙන්නෙක්. ඔහු එක්සත් ජනපදයේ සියලූ නීති කඩකර තිබෙනවා... ඔහුට සැලකීමට තිබෙන්නේ එක ම ආකාරයකට යි: එනම්, මේ බැල්ලිගෙ පුතාට නීති විරෝධී ව වෙඩි තබා දැමීම යි.”

විකිලීක්ස් හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් ක්ෂමාලාපීහු එයට විරුද්ධ “කුමන්ත‍්‍රනයක්” පිලිබඳ අදහසට අවඥාසහගත ලෙස සිනහ වෙති. එසේ වුවත් සත්‍ය වසයෙන් ම කුමන්ත‍්‍රනයක් තිබූ බවට කිසිම රහසක් නැත.

2010 දී අසාන්ජ් සිදුකලේ යයි කියන අපචාරය පිලිබඳ ස්වීඩන බලධාරීන්ගේ විමර්ශනය ආරම්භ කරන සමයේ ම, ඔබාමා පරිපාලනය විසින් නියෝග ලද එෆ්බීඅයි හා පෙන්ටගනයේ කුඩා හමුදා ඛන්ඩයක් විකිලීක්ස් ආයතනය වසාදැමීමේ හා එහි නායක පුද්ගලයා අකර්මන්‍ය කිරීමේ ක‍්‍රම සෙවීමට දිවා රාත‍්‍රී නොතකා ක‍්‍රියාත්මක විය.

2010 සැප්තැම්බරයේ ඩේලි බීස්ට්හි පලකල ලිපියක් මෙසේ විස්තර කලේ ය: “විකිලීක්ස් හා එහි දුරවබෝධ නායක ජූලියන් අසාන්ජ්, ඇෆ්ඝනිස්ථානයේ ඇමරිකානු යුද්ධය පිලිබඳ රහස් සටහන් දහස් ගනනක දෙවන ගොන්නක් නිකුත් කරන බවට තර්ජනයක් ඒල්ල වීම නිසා විකිලීක්ස් යුද කාමරය ලෙස සමහරුන් හඳුන්වන එම ස්ථානය මේ මස පැය විසිහතර පුරා ඉහල ම සුපරීක්ෂනයෙන් යුතුවිය.”

මාස දෙකකට පසුව අසාන්ජ් ව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලද්දේ, ස්ටොක්හෝම්හි ප‍්‍රධාන චෝදකවරිය වන එවා ෆිනේ විසින් 2010 අගෝස්තුවේදී පැය 24ක් ඇතුලත නිරවද්‍ය ලෙස අහක දමන ලද නඩුවකට සම්බන්ධ ව ය. “අසාන්ජ් අපචාරයක් සිදුකලේ යයි සැකකිරීමට කිසිදු හේතුවක් නො තිබුනි” යයි ඇය නිගමනය කලා ය. ඊ ලඟට සිදුවූයේ වඩා බලගතු දේශපාලන බලයන්ගේ මැදිහත් වීම යි.

කාලවේදය වඩා සමීප ව විභාග කිරීමේ දී මතුවන කරුනු වඩ වඩා කමකට නැති ඒවා වේ. 1966 දෙසැම්බර් හා 2010 පෙබරවාරි යන කාලය අතරතුර, කොන්සල්, තානාපති හා දූතමෙහෙයුම් කාර්යාල විසින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවන ලද සටහන්ගත කේබල් පනිවුඩ 250,000ක් නිකුත් කිරීම, 2010 නොවැම්බර් 28දා, විකිලීක්ස් විසින් අරඹන ලදී. එක්සත් ජනපද ආන්ඩුව මෙයට ප‍්‍රතිචාර දැක්වූයේ කෝපාන්විත ව හා තර්ජනාත්මක ව ය. මූල්‍යමය හා අනෙක් වර්ගවල ක‍්‍රමානුකූල ප‍්‍රහාරවලට විකිලීක්ස් භාජනය කරන ලදී.

ස්වීඩන චෝදිකා මරියානේ නීගේ ඉල්ලීම මත ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) නොවැම්බර් 30දා, එනම් දින දෙකකට පසුව, (කිසිදු චෝදනාවක් හෝ නඩුපැවරීමකට හේතු රහිත) ස්වීඩන “මූලික විමර්ශනයකට” අදාල ව අසාන්ජ් ව අත්අඩංගුවට ගැනීම සඳහා රටවල් 188කට අවසන් නිවේදන නිකුත් කලේ ය. ජාත්‍යන්තර පොලීසිය මෙම ඉල්ලීම ප‍්‍රසිද්ධියේ කරන ලදී. පොලීසිය විසින් අසාන්ජ් ව ලන්ඩනයේ දී දෙසැම්බර් 7දා අත්අඩංගුවට ගන්නා ලදී.

අවංකත්වය කෙරෙහි අංශුමාත‍්‍ර තැකීමක් හෝ දේශපාලන විචක්ෂනභාවයක් ඇති ඕනෑම අයෙක්ට මෙහි අර්ථය තේරුම් ගැනීමට අපහසු නැත. එක්සත් ජනපද ආන්ඩුවේ විවිධාකාර ඒජන්සි ලිංගික සෝලියක් ගෙතීම හෝ එවැන්නක වාසිය ලබාගත්තේ, එය, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය ගනුදෙනු බේරාගැනීමේ වඩාත් ප‍්‍රචලිත ක‍්‍රමවලින් එකක් නිසා ය. “එක්සත් ජනපද ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස්, ලන්ඩනයේ දී අසාන්ජ් ව අත්අඩංගුවට ගැනීම ‘මට ඉතා හොඳ ආරංචියක් ලෙස දැනෙනවා’ යයි සිනාසෙමින් වාර්තාකරුවන්ට කියූ” බව 2010 දෙසැම්බරයේ දී ප‍්‍රවෘත්ති වාර්තා සටහන් කලේ ය.

ඉංග‍්‍රීසි ලිබරල්වාදයේ අපරාධකරුවන්ගේ හොරනෑව වන ගාඩියන් පුවත්පතේ මරීනා හයිද් වැනි ස්වභාවයෙන් ම නරුම හා ස්වයං-තෘප්ත තකතීරුවෝ, නඩුවට කරුනු තිබෙන බව නො කඩවා අවධාරනය කරති. “ඔබ ඇත්තට ම ඕනෑවට වඩා කල්මරමින් හා ඒවාට මුහුන දීම සම්පූර්නයෙන්ම ප‍්‍රතික්ෂේප කලෙහාත් නරක දේ ගිලිහී යනු ඇති ය යන සැබෑ වැදගත් පාඩම අපි සියලු දෙනා ඉගෙනගත් බව මා හිතනවා” යයි ඇය මැයි 19දා ලිව්වාය.

හයිද් කතා කරන්නේ, කිසිදා තම යුද විරෝධය හා අධිරාජ්‍ය විරෝධය සම්බන්ධයෙන් සැලකිය යුතු ගැඹුරකට නො ගිය, තම විරුද්ධත්වය අත්හැර ඇති ස්ත‍්‍රීවාදී හා කලකට ඉහත ව්‍යාජ වෙමන් ඉවත්වූ කොටස් වෙනුවෙනි. අසාන්ජ් නඩුව වනාහි හිටපු රැඩිකලුන්ගේ ධනවත් ස්ථරයක් තම හැව ඇර, “අනෙක් පසට” යාමට මාවත පාදාගත්, 1990 ගනන් මුල සිට සිදු වෙමින් පවතින ක‍්‍රියාවලියක, තවත් එක් යාන්ත‍්‍රනයක් පමනි.

ස්වීඩනය තුල අසාන්ජ්ට එරෙහි ප‍්‍රහාරය අවුස්සන එක් මූලික තැනැත්තෙක් වන්නේ නීතිඥයෙක් හා දේශපාලනඥයෙක් වන ක්ලයේස් බෝග්ස්ට්‍රෝම් ය. ඔහු, එක්සත් ජනපදය විසින් ඇෆ්ඝනිස්ථානය ආක‍්‍රමනය කිරීමට සහයෝගය දුන් 2000 සිට 2007 දක්වා බලයේ සිටි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුවේ සාමාජිකයෙක් විය. අසාන්ජ්ට චෝදනා නැගූවන්ගේ නීතිඥයා ලෙස පෙනී සිටි බෝග්ස්ට්‍රෝම්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ ලිංගික සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටි ප‍්‍රකාශකයා ය. කාන්තාවන්ට එරෙහි ප‍්‍රචන්ඩත්වයන්ට සියලු පිරිමින් පොදුවේ වගකිවයුතු යයි තර්ක කල හෙතෙම, සමස්ත පුරුෂ ලිංගිකයන් ව තලිබාන්වරුන්ට සමාන කලේ ය. දැන් ඔහු ස්වීඩන වාම පක්ෂයේ සාමාජිකයෙකි.

“වාමාංශය ගත්කල ඔවුන් තවමත් ලිංගික අපයෝජනය හඳුනාගන්නේ නැහැ” යයි තර්ක කරමින් නේෂන් සඟරාවේ කැතා පොලිට් අසාන්ජ්ට එරෙහි උද්ඝෝෂනයට 2010 දී එක්වූවා ය. “අසාන්ජ් හා ඔහුගේ සමහර ආධාරකරුවෝ ලිංගික අපයෝජන චෝදනාව ගැඹුරින් සැලකීම ප‍්‍රතික්ෂේප කරති. ඔහුගේ ම නීතිඥයන් කාන්තාව යනු ‘පැනි සහිත උගුලකි’ යයි කියමින් කුමන්ත‍්‍රන න්‍යායයන් අනුමත කර ඇත... කිසි දිනක සුලුකොට නො තැකිය යුතු ලිංගික අපයෝජන චෝදනා පසෙකට නො දැමිය යුතු ය” යයි “විකිලීක්ස් ආරක්ෂා කරනු, දූෂන චෝදනා සුලුකොට නො තකනු” යන හිසින් පලකල ලිපියක 2012 අගෝස්තුවේ සෝෂලිස්ට් වර්කර් කියා සිටියේ ය. “ස්වීඩනයේ දී දූෂන චෝදනා පිලිබඳ ප‍්‍රශ්න කිරීම්වලට මුහුන දෙන්නැයි අසාන්ජ්ගෙන් කරන ඉල්ලා සිටීම් ඒ සම්බන්ධයෙන් ගත් විට යුක්තියුක්ත ය” යයි ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට් 2013 සැප්තැම්බරයේ තර්ක කලේ ය.

ගත වූ වසර හත තුල ජාත්‍යන්තර ව්‍යාජ-වාමාංශය අසාන්ජ්ගේ නම සඳහන් කර ඇත්තේ අල්ප වසයෙනි. ඔවුන්ගේ ප‍්‍රතිගාමී ලිංගික දේශපාලන කොට්ඨාශය සැනසීම පිනිස, ඔවුන් ඉතා පහසුවෙන් අසාන්ජ් ව බිල්ලට දෙනු ඇත.

මෙම “වාම” හා ලිබරල් බලවේග වෛෂයික සමාජීය භූමිකාවක් ඉටු කරති. නව-විජිතවාදී ආක‍්‍රමනයේ, වාඩිලාගැනීමේ හා යුද්ධයේ යථාර්ථයන් පියකරු බෙවන් දුරස්ථය. පෙන්ටගනයේ හා සීඅයිඒ සංවිධානයේ දාමරිකයන්ට තමන්ගේ ම උපාංග භාවිතා කිරීමට හා ඇමරිකානු ජනයාට මුහුන දීමට හා කිසිදු අතරමැදියෙකුගෙන් හෝ පරිවර්තකයකුගෙන් තොර ව, සිය ක‍්‍රියා යුක්තිසහගත කිරීමට ඉඩහැරියහොත්, එම යථාර්ථයන් ක්ෂනික ව ම දැකගන්නට ලැබෙනු ඇත.

නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් වැනි ලිබරල් මාධ්‍යයන්ගේ සහ එක් කාලයක පද්ධතියට විරුද්ධ වූවන් යන අක්ත පත‍්‍ර සහිත ව සිටි වත්මනෙහි ධනවත් “වාමවාදීන්ගේ” සේවාවන්, අධිරාජ්‍යවාදී යටත් කරගැනීමේ (විකිලීක්ස් නඩුවේ දී නම් දේශපාලනික හිංසනයේ) කෲරතර ක‍්‍රියාදාමය සුජාතකරනය කිරීමට යොදා ගැනෙන්නේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය,” “මානව හිමිකම්” හෝ “කාන්තා අයිතීන්” රැකීම යන පදනම් මතය.

මේ සියලුකොටස් අපකීර්තියට ලක්කිරීම, සාරභූත වසයෙන් අද දවසේ දේශපාලන-අධ්‍යාපනික කර්තව්‍යයකි.

ඩේවිඩ් වොල්ෂ්

Share this article: