දකුනු ආසියාව පුරා යුද වලාවෝ

War clouds over South Asia

2017 මැයි 27

ඉරානයට තර්ජනය කරමින් සිදු කල ට‍්‍රම්ප්ගේ මැදපෙරදිග සංචාරයට ද ඔහු ජර්මනියට පහරදුන් නැටෝ ඉහලපෙල සාකච්ඡාවට ද බටහිර පුවත් මාධ්‍ය වල අවධානය යොමු වී තිබුනු තතු තුල දකුනු ආසියාවේ ප‍්‍රතිමල්ල න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරට අතර සබඳතා නරකින් නරකට ගමන් කර තිබේ.

නව දිල්ලිය සහ ඉස්ලමාබාදය ගිය සතියේ ප‍්‍රකෝපකාරී යුද කටයුතු පිලිබඳව පුරසාරම් දෙඩවූ හ. ආරවුලට ලක්ව ඇති කාශ්මීර ප‍්‍රාන්තයේ තමන් එල්ල කල “දඬුවම් ප‍්‍රහාර” මගින් පකිස්ථානයේ පෙරමුනු මධ්‍යස්ථාන කිහිපයක් විනාශ කල බව තහවුරු කිරීමට ඉන්දියානු හමුදාව අඟහරුවාදා වීඩියෝවක් නිකුත් කලේ ය. ඉක්බිතිව මෙම කියාපෑම ප‍්‍රතික්ෂේප කරමින් තමන්ගේ ම වීඩියෝවක් ඉදිරිපත් කල පකිස්ථානය, දෙරට විසින් පාලිත ප‍්‍රදේශ දෙකේ සීමාව හරහා එල්ල කල කාල තුවක්කු ප‍්‍රහාර මගින් වැඩි විනාශයක් කිරීමට සමත් වූයේ තමන්ය යයි කියා සිටි යේ ය.

පාලිත සීමාව පැනීමට හැදූ පකිස්ථාන සොල්දාදුවන් දෙන්නෙක් සිය හමුදාව විසින් මරා දැමූ බව සිකුරාදා ඉන්දියාව කියා සිටියේ ය. එවන් දෙයක් සිදු නොවූ බව ඉස්ලමාබාදය පවසයි.

මෙම වහසි බස් හා පිලිවහසිබස් අස්සේ රටවල් දෙකම ඉන්නේ වඩ වඩාත් උග‍්‍ර කෙරෙන යුද සූදානමක ය. ඉන්දියානු හමුදා අධිකාරීන් එරට ගුවන් හමුදාවේ 12.000කට “ඉතා කෙටි දැනුම්දීමකින්” ප‍්‍රහාරයකට සූදානම් වනලෙස ලිපියක් නිකුත් කර ඇතැයි යන්න උඩ පකිස්ථානය තමන්ගේ සියලූ පෙරටු ගුවන් කඳවුරු “සකී‍්‍රය” කර තිබේ.

ඊයේ පකිස්ථානයේ ඬේලි ටයිම්ස් පුවත් පත, “න්‍යෂ්ටික යුද්ධය අත ලඟ ද?” යන නමින් කතුවැකියක් පලකලේ ය. නවදිල්ලිය යම් හෙයකින් පකිස්ථානයේ හදවතට ක්ෂනික “කෝල්ඞ් ස්ටාර්ට්” (න්‍යෂ්ටික නොවන ආරම්භක* ප‍්‍රහාරයක් එල්ල කලහොත්, සාම්ප‍්‍රදායික අවි වලින් සාපේක්ෂකව දුබල පකිස්ථානයට ඉතුරුවන එකම විකල්පය නම් “කෙලින්ම න්‍යෂ්ටික අවි පාවිච්චි කිරීම” බව පැහැදිලි විය යුතු යයි එය පෙන්නවා දුනි. ඉන්දියානු ආක‍්‍රමනයකට තමන් පිලිතුරු දෙන්නේ උපායික (සුලු) න්‍යෂ්ටික අවි වලින් බව ට පකිස්ථානයේ යුද ඇමති යලි යලිත් පොරොන්දු වී ඇත.

උතුරු දිග අසල්වැසි චීනය සමග ඉන්දියාවට පවත්නා සම්බන්ධය ද පවතින්නේ උග‍්‍ර ආතතියක ය. දෙරට ම තම ගැටුම් සහගත දේශ සීමාව දිගේ යුද බලය හා ආධාරක ව්‍යූහය ගොඩ නගා ගනිමින් දකුනු සහ අග්නිදිග ආසියාවේ ද අප්‍රිකාවේ ද මැදපෙරදිග ද සම්පත්, වෙලඳපොල සහ භූ දේශපාලන බලපෑම සඳහා උග‍්‍ර මූලෝපායික තරඟයක යෙදී සිටිති.

ඉන්දියාවේ පාලක ප‍්‍රභූව, සිය පරම සතුරා වන පකිස්ථානයට චීනය දෙන යුද්ධමය සහ ආර්ථික ආධාර කෙරේ කටුක විරෝධයක් දක්වයි.

චීනයේ නැගීම වැලැක්වීමට ද අවශ්‍ය සම්බන්ධතා ඉල්ලා සිටින්නේ නම් ඒ සඳහා යුද බලය පාවිච්චි කිරීමට ඉන්දියාව මාට්ටු කර ගැනීමට ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දරන උත්සාහය ගැන දැනුවත් ව ඉන්න චීනය, නවදිල්ලිය සමග වඩා හොඳ සම්බන්ධතා වගා කර ගැන්මට දිගු කලක් තිස්සේ යත්න දරා තිබේ. ජපන් අපමානයන් සහ ප‍්‍රකෝපකරනයන් යයි තමන්ට පෙනීගිය දේ වලට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කල නමුත් චීනය, ඉන්දියාව සමග මත භේද ලිහිල් කොට දැක්වීය.

එහෙත් නරේන්ද්‍ර මෝදි ද ඔහුගේ භාරතීය ජනතා පක්ෂය ද යටතේ ඉන්දියාව වඩ වඩාත් චීනයට එරෙහි වොෂිංටනයේ යුද-මූලෝපායික ප‍්‍රහාරයට ගැටගැසෙන තතු තූල, ඉන්දියාව කෙරේ බෙයිජිනයේ ආකල්පය ප‍්‍රමුඛ වෙනසකට පත්ව ඇත.

ගතවූ අවුරුදු දෙක තුල, ඉන්දියාව සහ චීනය එක් රාජ්‍ය තාන්ත්‍රික ඝට්ටනයක සිට තවෙකක් කරා ඇදී ගොස් ඇති අතර ඔවුන් ප‍්‍රසිද්ධියේ විවෘතව මෙන්ම ආවෘතව ද යුද තර්ජන එල්ල කර ගැනීමට පටන්ගෙන ඇත. ඉතා මෑතදී, ඉන්දියාව කිලෝමීටර් 5,000-8,000 දුරට න්‍යෂ්ටික බෝම්බ ගෙන යාහැකි, චීනයේ ඕනෑම ජනාකීර්න ස්ථානයකට එල්ල කල හැකි අග්නි මිසයිල පරීක්ෂන සිදු කල කල්හි බෙයිජිනය, කුපිත ප‍්‍රතිචාරයක් දැක් විය. ඉන්දියාවේ වත්මන් හමුදාපති ජනරාල් බිපින් රවාත් පසුගිය ජනවාරියේ ඉන්දියාවේ හමුදාපති බවට පත් වූ අවස්ථාථාවේදී, තම රට චීනයට සහ පකිස්ථානයට එරෙහිව එක විට “පෙරමුනු දෙකක” යුද්ධයක් කිරීමට සුදානම් යයි පුරසාරම් දෙඞීය.

චීනය සහ ඉන්දියාව අතර ද ඉන්දියාව සහ පකිස්ථානය අතර ද එදිරිවාදිකම් දශක ගනනක් දුර විහිදෙයි. එහෙත් ආක‍්‍රමනයේ සහ යුද්ධයේ මාර්ගයෙන් යුරේසියාව මත ආධිපත්‍යය තහවුරු කර ගනිමින් තමන්ගේ ආර්ථික පරිහානියේ විපාක වලින් ගැලවීමට කැසකවන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, දකුනු ආසියාවේ භූ දේශපාලන ආතතින් තවදුර ඇවිලවීමට ඉන්ධන දමා තිබේ.

අවුරුදු 15 කට පෙර, එක්සත් ජනපදය මැද පෙරදිග ආන්ඩු පෙරලමින් තන්ත‍්‍ර මාරුවේ යෙදීමට ද ඇෆ්ඝනිස්ථානයේ මූලෝපායික රුකුලක් අත්කරගැනීමට ද ඊනියා “ත‍්‍රස්ත විරෝධී යුද්ධය” යොදාගනිද්දී පෙන්ටගනය සහ සීඅයිඒ සංවිධානය ඉන්දියාව “මූලෝපායික තිලිනයක්” ලෙස අගය කලේය. ඔවුන් කියා සිටියේ, ඉන්දියාවේ විශාල යුද හමුදාව ද වැඩෙන ආර්ථිකය ද ලෝකයේ ඉතාම වැදගත් වානිජ මුහුදු මාර්ගය වන ඉන්දියානු සාගරය මත එය දරන ආධිපත්‍යය ද හේතු කොටගෙන ඉන්දියාව, ආසියාවේ එක්සත් ජනපද බලය ට ආධාරකයක් ලෙස සුවිශේෂ තත්වයක් දරන බවය.

එවක් පටන් වොෂින්ටනය යත්න දරා ඇත්තේ, ඉන්දියාව චීනයට විරුද්ධ සිය යුද-මූලෝපායේ “පෙරමුනු” රාජ්‍යයක් බවට පත් කරගැනීමට ය. ඩිමොක‍්‍රටික සහ රිපබ්ලිකානු යන පාලනයන් දෙකම යටතේ ඇමරිකාව, ඉන්දියවට මූලෝපායික වාසි සලසා තිබේ. “ඉන්දියානු-එක්සත් ජනපද භූ-දේශපාලන හවුලක්” තහවුරු කරගැනීම සඳහා බුෂ් පාලනාධිකාරය සිය න්‍යෂ්ටික ආම්පන්න වෙලඳාමේ දී සුවිශේෂ තැනක් ඉන්දියාව ට ලබා දුන්නේ ය. ඔබාමා යටතේ ඉන්දියාව “ප‍්‍රමුඛ ආරක්ෂක සගයෙකු” ලෙස ප‍්‍රකාශයට පත් කරමින්, එක්සත් ජනපදය සිය සමීපතම සගයින්ට ලබාදෙන දියුනුම අවිආයුධ සම්පාදනය කරගැනීමට එරටට ඉඩ ලාබා දුනි.

එක්සත් ජනපද-ඉන්දියානු සංධානය විසින් නවදිල්ලිය සහ ඉස්ලමාබාදය අතර “ත‍්‍රස්තයේ තුලනය” ඉන්දියාවට වාසිවන පරිදි වෙනස් කර තිබේ. සීතල යුද්ධය සමයේ වොෂින්ටනය විසින් සිය ප‍්‍රධාන ප‍්‍රාදේශීය සගයා ලෙස සලකනු ලැබුවේ පකිස්ථානයයි.

මෝදි සහ ඔහුගේ හින්දු ස්වෝත්තමවාදී බීජේපීය යටතේ ඉන්දියාව උත්සාහ කරන්නේ, සිය වැඩෙන මූලෝපායික වැදගත්කම ද චීන විරෝධී සන්ධානය පුලුල් කර ගැනීමට වොෂිංටනයේ උනන්දුව ද පාවිච්චියට ගනිමින් පකිස්ථානය කෙරේ ආක‍්‍රමන කාරී පිලිවෙතක් පවත්වාගෙන යාමට ය. පකිස්ථානය කෙරේ ඉන්දියාව මෙතෙක් දැක්වූ “මූලෝපායික ඉවසීම” හමාර වග, පසුගිය සැප්තැම්බරයේ දී, දේශ සීමාව හරහා නීති විරෝධී ප‍්‍රහාරයක් එල්ල කිරීමට විශේෂ හමුදා ඒකක යැවු මෝදි ප‍්‍රකාශකර සිටියේය.

ඉන්දියා ඇමරිකානු සන්ධානය චීනයට ප‍්‍රගාමීව උග‍්‍ර කෙරෙන තර්ජනයක් බවට පත්ව තිබේ. මෝදි විසින් ඉන්දියාව වඩ වඩාත් දැඩි ලෙස චීනයට එරෙහි එක්සත් ජනපද ධාවනය සමග රාජ්‍යතාන්ත්‍රිකව සහ මිලිටරිමය වශයෙන් පෙල ගස්සා ඇත. දැන් ඉන්දියාව දකුනු චීන මුහුද ගැන ඇමරිකානු පිලිවෙත අනුකරනය කරයි. එය මෑතදී ඇමරිකාවේ ප‍්‍රධාන ප‍්‍රාදේශීය සගයන් වන ජපානය සහ ඕස්ට්‍රේලියාව සමග තම ද්විපාක්ෂික සහ ත්‍රෛපාක්ෂික මූලෝපායික සම්බන්ධතා ඉමහත් ලෙස පුලුල් කරගෙන, තමාගේ වරාය සහ ගුවන් කඳවුරු පෙන්ටගනයේ යුද ගුවන්යානා සහ යුද නැව් පිලිසකර කර ගැනීම ට සහ ඒවායේ පාවිච්චියට දීමට එකඟ වී ඇත. මෑතකදී, එක්සත් ජනපද පැසිෆික් ආඥා ඒකකයේ නායක අද්මිරාල් හැරී හැරිස් කියා ඇත්තේ චීන නැව් සහ සබ්මැරින් ඒකක වල තොරතුරු ඉන්දියාව සහ ඇමරිකාව හුවමාරු කරගන්නා බවය.

ඉන්දු-ඇමරිකා හවුලෙන් එල්ල වන තර්ජනය ට පොදුවේ ලක්ව සිටින පකිස්ථානය සහ චීනය තමන්ගේ දිගුකාලීන යුද්ධ-මූලෝපායික සහ ආර්ථික සම්බන්ධතා දැඩි කර ගැනීමට පටන්ගෙන තිබේ. මෙයට උදාහරන වන්නේ ඩොලර් බිලියන 50ක් වැයවන චීන-පකිස්ථානු ආර්ථික කොරිඩෝවයි. එමගිින් බටහිර චීනය අරාබි මුහුදේ ග්වදාර් වරාය සමග සම්බන්ධ කොට, පෙන්ටගනය විසින් සකසනු ලබමින් පවත්නා ඉන්දියානු සාගරයේ හා දකුනු චීන මුහුදේ විවිධ මර්මස්ථානයන් අල්ලාගෙන චීනය ආර්ථිකව සිර කිරීමේ මූලෝපාය අඩවශයෙන් හෝ මග හැරීමේ ක‍්‍රමයක් බෙයිජිනයට සපයාදෙනු ඇත.

දකුනු ආසියාව වැඩි වැඩියෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග බද්ධවූ ඉන්දියාවක් සහ බෙයිජිනය සමග බද්ධවූ පකිස්ථායක් අතර භූ-දේශපාලනිකව ධ‍්‍රැවාන්තගත වෙමින් පවතී.

ඉන්දු-පකිස්ථාන සහ චීන-ඉන්දියානු මූලෝපායික ප‍්‍රතිමල්ලතා, ඇමරිකාව සහ චීනය අතර ප‍්‍රතිවිරෝධතා සමග එකිනෙකට පැටලීම දැනටම න්‍යෂ්ටික බලවතුන් අතර පවත්නා ඝට්ටනය තවදුරටත් උග‍්‍ර කරන අතිශයින් දහනශීලි ධාරාවක් තත්වය තුලට කාවද්දනු ඇත.

අතීතයේදී වොෂිංටනය නව දිල්ලිය සහ ඉස්ලමාබාදය අතර ආතතීන් ට අත දමා ඒවා ලිහිල් කිරීමට කටයුතු කල නමුත් එය තවදුරටත් කිරීමේ හැකියාව හා කැමැත්ත ඇමරිකාවට ඇත්දැයි සැකය.

තමන්ගේ චීන-විරෝධී සන්ධානය තහවුරු කරගැනීමට උත්සුක වූ එක්සත් ජනපදය, ගිය සැප්තැම්බරයේ ඉන්දියාව පකිස්ථානය තුලට එල්ල කල “ප‍්‍රහාරයට” ප‍්‍රථමයෙන් නිෂ්ශබ්දව ද පසුව එලිපිටම ද සහාය දුන්නේ ය. එපමනක් නොව පකිස්ථානය කෙරෙහි වොෂිංටන් සංස්ථාපිතය අතර වැඩෙන විරෝධයක් වන්නේ පකිස්ථානය ඉන්දු-ඇමරිකානු හවුල ට එරෙහිව “රක්ෂන -පිලිවෙතක්” ලෙස තලිබාන් කොටස් සමග පවත්වාගෙන යන සම්බන්ධතාවය ද බෙයිජිනය සමග පකිස්ථානයේ වැඩෙන සම්බන්ධතා ද වේ.

එක්සත් ජනපදයේ පාලක ප‍්‍රභූව නොඑකුත් භූ දේශපාලන අර්බුද වලට ද රට තුල නැගෙන සමාජ ආතතිීන්ට ද මුහුන දී සිටි. සියවස් කාලක යුද්ධයේ ද සමාජ ප‍්‍රතිගාමිත්වයේ දසක ගනනාවකට ද මුහුන දී සිටින ට‍්‍රම්ප් පාලනය මූර්තිමත් කරන්නේ, ඉවබව නැති මදාවිය, මැරවරකම සහ ඓතිහාසික ඉදිරි දැක්මක් නැති කම ය.

දැන් දකුනු ආසියාව අඹරා දමන පුපුරන සුලූ සහ එකට බැඳුනු ඝට්ටනයන් ද ඉන්දියව සහ පකිස්ථානය අතර පවත්නා අඩු-මට්ටමේ සටන කොතරම් ඉක්මනට එක්සත් ජනපදය ද ඇතුලූ ලෝක බලවතුන් ඇදගන්නා යුද්ධයක් කරා නැග එයි ද යන්න ගැන ට‍්‍රම්ප් සහ ඔහුගේ ගෝලයන් කොතරම් දුරට දැන සිටිත් ද යන්න ම පවා ඇත්ත ප‍්‍රශ්නයකි.

වාද කල නොහැකි කරුන නම්, ලෝක ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ ධාවනය ලෝකය පුරා ඝට්ටනයන් උග‍්‍රකරමින් ජර්මනිය ද ජපානය ද ඇතුලූ සෙසු අධිරාජ්‍ය බලවතුන් ඔවුන්ගේ ම ආවශ්‍යකතාවන් ආක‍්‍රමනශිලීව තහවුරු කරගැනීම සඳහා ලෝකය පුරා ගැටුම් තව තවත් දල්වාලන බව ය.

ගිය ශතවර්ෂයේ ලෝක යුද්ධ ගිනිමැල කන මැදිරියන් බවට පත් කරන මහා වහ්නි ජාලයක් තුලට අධිරාජ්‍යවාදී උම්මත්තකයන් විසින් ලෝකය ඇද දැමීම වලකාලීමට නම්, ජාත්‍යන්තර කම්කරු පන්තිය ලෝක ධනපති ක‍්‍රමයේ අර්බුදයට, තමන්ගේ ම විසඳුම වන සමාජවාදී විප්ලවය සඳහා බලමුලු ගන්වාගත යුතු වේ. එකිනෙකාට සතුරු ධනපති කල්ලිවලට සහ උන්ගේ ජාතිකවාදී සහ ජාත්‍යෝත්තමවාදී ආයාචනයන්ට එරෙහිව, ස්වාධීන බලවේගයක් ලෙස කම්කරු පන්තියේ නායකත්වය සහිත යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නගා ගැනීම, සියලු සමාජ සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා සටන්වදින ස්වාධීන සමාජ බලවේගයක් ලෙස කම්කරු පන්තිය බලමුලුගන්වා ගැනීමේ තියුනු මුවහත වන්නේ ය.

කීත් ජෝන්ස්

Share this article: