ඇමති රනවක කම්කරු පන්තියට බුරා පනී

ඩී.ඒ. අංජන විසිනි, 2017 මැයි 21

මැයි 10 දා කොලඹ පිටකොටුවේ බෝධිරාජ මාවතේ දී ජාතික හෙල උරුමය (ජහෙඋ) නමැති අන්ත වර්ගවාදී පක්ෂය තමන්ට කිසිසේත්ම අයිතියක් නැති මැයි දිනය සැමරීමේ නමින් පැවත්වූ රැස්වීමකදි මහ නගර සහ බස්නාහිර පලාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රනවක මෙසේ බෙරිහන් දුන් බවට වාර්තා විය: “වැඩ වර්ජන වලින් පතුලට ම වැටී ඇති කොලඹ වරාය නැවත අපට මුල් තැනට ගෙන එන්න අවශ්‍යයි. කොලඹ වරායත්, ඒ කොලඹ වරාය නගරයත් අපි ගොඩනගනවා. කොලඹ නගරයේ රත්තන්ට වැඩ වර්ජන බැහැ.”

වැඩ කරන ජනතාවට අරගලයට එලඹීමට එරෙහිව එලෙස වෛරය වමාරමින් රනවක හා (ජාහෙඋ) අමුතුම මාදිලියේ කම්කරු සැමරුමක යෙදුනේය. කොලඹ පිටකොටුවේ අතිශය පරිපීඩිත පතුලේ සිටින නාටාමි කම්කරුවන් පිරිසක් ජාහෙඋ රැස්වීමට කැඳවා ගෙන තිබුනි. තමන් ආශ‍්‍රය කරන ධනපති පක්ෂ මැයි දිනය පවත්වන සැටි දන්නා රනවක “කීයක් හරි ගුලිකරල, කසිප්පු පොවල, බත්පාර්සලයක් දීල” අනෙක් පක්ෂ පෙලපාලි ගෙනයන්නේ යැයි චෝදනා කලේය. රනවකගේ එම කටින්ම හෙලිවූයේ නාටාමි කම්කරුවන් ඔහුගේ රැස්වීමට ඒමට පොලඹවා ගත්තේ රක්ෂාවරන ඔප්පු දෙන බවට පොරොන්දු වීමෙන් බවයි. එය බත් පාර්සලයකට වඩා හොඳ පගාවක් බව රනවකගේ කල්පනාව බව පෙනේ.

ජාහෙඋ නායකයා මොනම කම්කරු කොටසක වත් “හිතවතෙක්” හෝ “මිතුරෙක්” නම් නොවේ. සිංහල වර්ගවාදය අවුස්සමින් ධනපති ජන මාධ්‍යකාරයන් කොටසකගේ ද භික්ෂුන්ගේද ආධාරයෙන් ඡුන්දය දිනා පාර්ලිමේන්තුවට ගිය ඔහු දුක්ඛදායක ජීවිතයක් ගෙවන නාටාමි කම්කරුවන් තමන්ගේ වර්ගවාදී, ෆැසිස්ට්වාදයට නැඹුරු ව්‍යාපාරයට කොටුකර ගැනීමට උත්සාහ කරයි.

“මහජන වරමක්” ලැබී ඇති ආන්ඩුව පෙරලා දැමීමට සුලුතරයක් වන වෘත්තීය සමිතිවලට ඉඩ නොදෙන බවට ද එම වර්ජන මැඩීමට පියවර ගන්නා බවට ද මැයි 1 දා තම රැස්වීමේදී රනවක තර්ජනය කලේය. රනවක වැඩවර්ජන වලට හා කම්කරුවන්ට එරෙහිව එලෙස කඩා පැනීම සිදු කලේ ආන්ඩුවට විරුද්ධව මහජන අප‍්‍රසාදය ලියලා වැඩී එමින් පවතින තත්ත්වයක ය.

වර්ජන පැතිරීම හා සමාජ කැලඹීමක තර්ජනය ගැන ආන්ඩුව හා පාලක පන්තිය තුල භීතිය පැතිර යන තත්වයක හිටපු හමුදාපති හා ඇමතිවරයෙක් වන ජෙනරාල් සරත් ෆොන්සේකාට “රට විනයගත කිරීමේ” කාර්යය භාර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කල බව කැබිනට් ඇමති රාජිත සේනාරත්න මෑතකදී ප‍්‍රකාශ කලේය. ආන්ඩුවේ අර්බුදය දිගටම ගැඹුරු වෙමින් පවතී. ආන්ඩුවේ කප්පාදුව භාර ප‍්‍රධාන පෙලේ ඇමතියෙකු වන රනවකගේ මේ ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශවලින් ඇඟවුම් කෙරෙන්නේ සමාජ පිපිරීම් ගැන භීතිය සහ ඒවා මුර්ග ලෙස මැඩලීමට ආන්ඩුවේ සුදානම් වීමයි.

සිරිසේන බලයට ගෙන ඒමට 2014 නොවැම්බර් මාසයේ රනවක හා ජාහෙඋ නඩය එකතු වූයේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ කොටස්කාරයෙකු ලෙස කම්කරුවන් හා තරුනයන් මැඩීමට ද ඒ සඳහා දියත් කෙරුනු වර්ගවාදී යුද්ධයට ද දුෂ්ට ලෙස සහයෝගය දීමෙන් පසුව ය. එම ආන්ඩුවේ ජන විරෝධී අපරාධ වලට හවුල් වී අවුරුදු 10ක් ඇමතියෙක් ලෙස සිටි රනවක හිමින් සීරුවේ සිරිසේන පසුපස ගාල් වුනේ ඇමරිකන් අධිරාජ්‍යවාදීන් ඔහු ජනපති කිරීමට තන්ත‍්‍ර මාරුවක යෙදෙන බව දැනගැනීමත් සමගය.

බස්නාහිර පලාත් සංවර්ධන සහ කොලඹ මහනගර ව්‍යාපෘති භාර ඇමති ලෙස, රනවක කතා කරන්නේ සෘජුවම ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ගේ සහ ආයෝජකයන්ගේ ඉත්තෙක් හා හොරනෑවක් ලෙසය. කොලඹ දුගී පවුල් බලෙන් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින ඔහු පසුගිය දා මීතොටමුල්ලේ ඛේදවාචකයේ වගකීම එම ජනයා මතම පැටවීමට ඉදිරිපත්විය.

මාක්ස්වාදය හා ට්‍රොට්ස්කිවාදය ගැන වෛරය වමාරමින් රනවක ඒ රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත්තේ අනගාරික ධර්මපාල, බුල්ජන්ස්, ඒ.ඊ. ගුනසිංහ වැනි “ජාතියේ නායකයන්” වෙනුවට මාක්ස්, එංගල්ස් එල්ලා ගත් ව්‍යාපාරයක් ලංකාවේ බිහිවූ බවයි. රනවකගේ පීතෘවරුන් අන්ත වර්ගවාදියෙකු වූ ධර්මපාල හා පසුව සිංහල වර්ගවාදය වැලඳගත් ඒ.ඊ. ගුනසිංහ යි.

සම සමාජ පක්ෂය හා පසුව බිහිවූ ට්‍රොට්ස්කිවාදී ඉන්දියාවේ බෝල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) ලංකාවේ කම්කරු ව්‍යාපාරය නගා සිටුවීමේ ක්‍රියාවන් හි මුල් කාලයේ නියැලුනේ ධර්මපාලගේ සහ ගුනසිංහගේ ජාතිවාදයට තරයේ එරෙහි වෙමිනි. බීඑල්පීඅයි පසුව පසුබැස ලසසපයට එක්වුව ද ලසසපය මහා පාවාදීම්වල යෙදුන ද මේ ඉතිහාසය කම්කරු පන්තියේ වැදගත් පරිචඡේදයකි. රනවකගේ භීතිය මාක්ස්වාදය හා එහි වර්ධනයක් වන ට්‍රොට්ස්කිවාදය කම්කරුවන් හා තරුනයන් අතර පදනමක් දිනාගැනීමේ කොන්දේසි දිගහැරෙමින් පවතින හෙයිනි.

රනවකට ඇත්තේ ප‍්‍රතිගාමී වර්ගවාදී ඉතිහාසයකි. “දරුවෝ ටයර් සෑයවල්වල යවපු, අත්වල ලේ තවර ගත්ත දේශපාලනයට තිත තියන” බව ඔහු සිය කතාවේදී කියා ඇත. ඔහු සඳහන් කරන්නේ තමන් ද සම්බන්ධ වී සිටි ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ෆැසිස්ට් කැරලි ගෙන ගියා වූ ද එවක ජේ. ආර්. ජයවර්ධනගේ හා ආර්. ප්‍රේමදාසගේ පාලනය රාජ්‍ය ත‍්‍රස්තවාදය දියත් කලා වුද 1988-89 කාලය ගැනයි. රනවක එවක ජවිපෙ ශිෂ්‍ය නායකයෙකු ව සිටියේය. රනවක ජවිපෙ භීෂන ක්‍රියාවන්ට සම්බන්ධ වී පසුව ජීවිතය බේරාගැනීමට එම සංවිධානයේ තවත් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමඟ ඔහු යූඇන්පී නායකයන්ගේ සරන ලබා ගත්තේය.

එවක තම කෙරුවාවල් ගැන දිවයින පුවත් පතට මතක සටහනක් ලියූ රනවක සඳහන් කර ඇත්තේ තමන් ලැගුම් ගෙන සිටියේ එජාප නායකයෙකු වූ රුක්මන් සේනානායකගේ බොරැල්ලේ පිහිටි වුඩ්ලන්ඞ්ස් මන්දිරයේ බවයි. ඔහු එහි මෙසේ ලියා ඇත. “මේ දවස්වල අප වැඩියෙන්ම කතාකල නායකයා වූයේ රුක්මන් සේනානායකයි. ජවිපෙත් වඩාත් කිට්ටු වූයේ ඔහුටයි. කොටින්ම අපි සමහර රාත්‍රී කාලයට නතර වුනෙත් රුක්මන් සේනානායකගේ නිවසේයි.” එහිදී තමන් ඡායාරූප හා සුරතල් සතුන් බලමින් විනෝද වූ බවද විලිලජ්ජා නැති රනවක පවසයි. (දිවයින 1995 ජනවාරි 18)

ජවිපෙ පැරදුනු පසු ඔහු “ජනතා මිතුරෝ” නමින් වර්ගවාදී සංවිධානයක් ඇටවුයේය. ඊලඟට “ත‍්‍රස්ත විරෝධී ව්‍යාපාරය” නමින් තවත් වර්ගවාදී ප‍්‍රකෝපකාරී ව්‍යාපාරයක් තැනීය. පසුව සිහල උරුමයට බැඳී සිට තවත් භික්ෂු නඩයක් සමඟ එක්ව ජාතික හෙල උරුමය තැනීය.

ප‍්‍රති කොමියුනිස්ට්වාදය ද කම්කරු විරෝධය ද රනවකගේ දේශපාලනයේ අඩයාලමයි. රාජ්‍ය මර්දනය උසිගන්වන අතරම කම්කරු පන්තියට එරෙහිව දක්ෂිනාංශික අන්තවාදී ෆැසිස්ට් මුගුරක් තැනීම රනවකගේ ව්‍යාපෘතියයි.

Share this article: