විද්‍යාවට හා විද්‍යාත්මක පර්යේෂන ක්ෂේත‍්‍රයට ආන්ඩුවලින් එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට විරුද්ධ ව ලොව පුරා විරෝධතා

සුජීව අමරනාත් විසිනි, 2017 මැයි 19

විද්‍යාව හා එය ආශ‍්‍රිත ක්ෂේත‍්‍රයන්ට ලොවපුරා ආන්ඩුවලින් එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට විරෝධය පෑම සඳහා විද්‍යාඥයෝ, අනෙකුත් වෘත්තිකයෝ, ශිෂ්‍යයෝ හා වැඩ කරන ජනතාව සිය දහස් ගනනින් අප්‍රේල් මස අවසන් සතියේ ලොවපුරා ප‍්‍රධාන නගර කිහිපයක විරෝධතා පැවැත්වූ හ. එය විද්‍යාව සඳහා ගෝලීය පාගමන යයි නම්කොට තිබුනි.

මෙම වර්ධනය සාධනීය එකක් ලෙස දැකගත් එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි විද්‍යාව හා සමාජවාදය මැයෙන් ඉදිරිදර්ශන ලිපියක් පල කරමින් පෙන්වා දුන්නේ, ධනේශ්වර ආන්ඩුවල අනවරත ප‍්‍රහාරවලින් විද්‍යාව ආරක්ෂා කරගැනීම, ධනේශ්වර ක‍්‍රමය ගෝලීය පරිමානව පෙරලා දැමීම සමඟ බැඳී පවත්නා බව යි. විරෝධතාවල පැවති ඉදිරි දර්ශනාත්මක සීමාසහිතකම් ද, විද්‍යාව ආරක්ෂා කරගැනීම දේශපාලනයට සම්බන්ධ දෙයක් නොවෙතැයිි පවසමින් සංස්ථාපිත නිල දේශපාලන පක්ෂ එම විරෝධතාවයන් අවමංගත කිරීමට දැනුවත් ව දරන ලද උත්සාහයන් ද ලිපියෙන් හෙලි කෙරින.

අප්‍රේල් 22දා ඇමරිකාවේ, ඕස්ට්‍රේලිියාවේ හා කැනඩාවේ මෙම විරෝධතා පැවැත්වුනි. ඇමරිකාව ගත්විට 75,000ක් පමන රැස්වූ වොෂින්ටන් රැලියට අමතර ව බොස්ටන්, නිව් යෝක්, සයිරකියුස්, පිට්ස්බර්ග් සහ තවත් නගර ද, ඕස්ට්‍රේලිියාවේ මෙල්බෝන්, සිඩ්නි හා තවත් ප‍්‍රාදේශීය නගර සහ කැනඩාවේ ටොරොන්ටෝ, මොන්ට්‍රියල්, වැන්කුවර් සහ ප‍්‍රාදේශීය නගර කිහිපයක මෙම විරෝධතා පවත්වන ලදී.

චිකාගෝ රැලියට 50,000 කට අධික පිරිසක් ද 30,000ක් පමන නිව් යෝක් රැලියට ද කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ, ලොස් ඇන්ජලීස් ආදී ප‍්‍රධාන නගරවලට 15,000-20,000 අතර පිරිසක් ද රැස්වූ හ. මෙල්බර්න් හා සිඩ්නි රැලිවලට පිලිවෙලින් 4,000ක් හා 3,000ක් දෙනා සහභාගි වී යයි වාර්තා වුනි. කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ නගර ශාලාවට 4,000කට ආසන්න පිරිසක් රැස්වූ හ. වැන්කුවර්හි සයන්ස් වර්ල්ඩ් ගොඩනැගිල්ල අසලට 1,000ක් පමන දෙනා එක්රැස් වූ අතර විරෝධතාකරුවන්ගේ බැනරවල “විද්‍යාව නො තකා හැරේ”, “විද්‍යාව නැති තැන ඉතිරි වන්නේ සුරංගනා කතාවක් පමනි” ආදී සටන් පාඨ ප‍්‍රදර්ශනය කරනු ලැබිනි.

විශාල රසායනික හා බලශක්ති සංගත විසින් පරිසරය විනාශ කිරීම, මානව සංස්කෘතියේ සියලු අංශවලට ප‍්‍රවිෂ්ට වීමේ අවස්ථාව සමස්ත තරුන පරම්පරාවකට අහිමි කරමින් නිදහස් අධ්‍යාපනය ප‍්‍රහාර එල්ල කිරීම, පාලක පන්තිය සහ මිලිටරිය විසින් විද්‍යා ක්ෂේත‍්‍රය පෞද්ගලික උවමනාකම්වලට යටත් කිරීම මෙන් ම පර්යේෂන හා ඉගැන්වීම් මත සකලාකාර වාරන පැනවීම් ආදියට එරෙහි ව, ලෝසවෙඅ ඉදිරිදර්ශන ලිපිය, විද්‍යාව හා විද්‍යාත්මක ජයග‍්‍රහන ආරක්ෂා කරගැනීමට ලොවපුරා වැඩකරන ජනයාට කැඳවුම් කලේ ය.

එලෙස ම “විද්‍යාව පක්ෂපාතී දෙයක් නො වේ” ආදී වසයෙන් විද්‍යා පාගමන විසින් ප‍්‍රදර්ශනය කරන ලද සීමාසහිතකම්වලට ද එය අවධානයට යොමුකල ලිපිය, ඉහත සඳහන් කල ප‍්‍රහාර හා මිලිටරිවාදයේ වර්ධනය, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙක ම විසින් විද්‍යාත්මක පර්යේෂන මත එල්ල කරන ප‍්‍රහාර සමඟ බැඳී ඇති අයුරු පෙන්වා දුනි. ඒ සමගම, පාලක පන්තීන් හා ආගමික සංස්ථාපිතය ඇතුලු එහි ආවතේවකරුවන්ගේ ප‍්‍රහාර වලින් විද්‍යාව ආරක්ෂා කරගැනීම ප‍්‍රගාඪ දේශපාලනික කාරනාවක් බව ඓතිහාසික උදාහරන සහිත ව අවධාරනය කෙරුනි.

වර්තමානයේ මෙය ප‍්‍රකාශයට පත්වන්නේ විද්‍යාවේ හා තාක්ෂනයේ යෝධ වර්ධනය විසින් ඇතිකොට තිබෙන සාමාජීය නිෂ්පාදනයේ අතිමහත් වර්ධනය, වඩ වඩා අතාර්කික බවට පත් වෙමින් තිබෙන පුද්ගලික හිමිකාරීත්වයේ ධනේශ්වර විලංගුවලට සීමා වීම ලෙසයි.

රැලිවලට සහභාගි වූ පාලක පන්තියේ නියෝජිතයෝ මෙම සත්‍යය වසන් කොට, යම් පක්ෂයක හෝ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ වරදක් ලෙසට ප‍්‍රධාන ගැටලුව ඌනනය කලහ.

ඒ සඳහා පිලියම වන්නේ ජාතික ආර්ථිකයන්ට හා ජාතික ව්‍යාපාරවලට නව හුස්මක් පිඹීමේ හැකියාව සහිත විද්‍යාමය ක්ෂේත‍්‍රයන්ට අරමුදල් යෙදවීම යයි ඔවුහු කියා සිටිය හ.

සිඩ්නි හා මෙල්බර්න් රැලිවල දී ඒබීසී රූපවාහිනියේ ජොනිකා නිව්බයි හා ලිබරල් පක්ෂයේ හිටපු නායක ජෝන් හෙව්සන් ඉහත ව්‍යාජය වැමෑරූහ. විද්‍යාවට එල්ල කෙරී ඇති ප‍්‍රහාරයන්, හිටපු ඕස්ට්‍රේලිියානු ලිබරල්-නැෂනල් සභාග අගමැති ටෝනි ඇබට්ගේ වැරදි පිලිවෙත් වල ප‍්‍රතිඵලයක් ලෙස අර්ථ කථනය කරමින්, ලේබර් පක්ෂ ආන්ඩු වගකීමෙන් මුදා හැරීමට මහජන සෞඛ්‍යය පිලිබඳ සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සයිමන් චැප්මන් යත්න දැරුවේ ය.

ඇමරිකාවේ ඔබාමා යටතේ ඊපීඒ අධ්‍යක්ෂ ධුරයේ සිටි ගිනා මැකාති බොස්ටන් රැලියේ දී ද 2014 මැතිවරනයේ දී ඩිමොක‍්‍රටික් පක්ෂයට උපරිම ආධාරය දුන් ප‍්‍රකෝටිපති ටොම් ස්ටේයර් ලොස් ඇන්ජලීස් රැලියේ දී ද ඉහත පරිදි ම ට‍්‍රම්ප් විකාර රූපියෙක් ලෙස දක්වමින් ඩිමොක‍්‍රටික් පක්ෂයේ හා මිලිටරියේ දෑත් පිරිසිදු කිරීමට යත්න දැරූ හ.

වොෂින්ටන් ඩීසී, සිඩ්නි හා මෙල්බර්න් මෙන් ම කැනඩාවේ රැලි කිහිපයකට ද මැදිහත් වූ ලෝසවෙඅ වාර්තාකරුවෝ විද්‍යාව හා සමාජවාදය ඉදිරිදර්ශන ලියවිල්ලේ පිටපත් දහස් ගනනක් බෙදා හැරිය හ.

විශේෂයෙන් ම දේශගුන විපර්යාස, රෝගාබාධ පිලිබඳ විද්‍යාත්මක පර්යේෂන ආදිය ගැන උනන්දු වන්නන් සමග මෙන් ම අනෙකුත් විද්‍යාත්මක පර්යේෂනවලට යොදවන අරමුදල් කැපීමට විරෝධය පලකිරීමක් ලෙස විද්‍යා පාගමනට සහභාගිවූවන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට ද ලෝසවෙඅ සමත් විය.

වොෂින්ටන් රැලියට පැමින සිටි පාසැල් ශිෂ්‍ය ෆ‍්‍රෑන්ක් මෙසේ කීවේ ය: “මම මෙතැනට පැමිනියේ ට‍්‍රම්ප් පරිපාලනය සාමාන්‍ය ඇමරිකානුවන්ට සිදු වන්නේ කුමක්දැයි ගනනකට නො ගත්තත්, ඔවුන් කදිමට ජීවත් වෙමින් අපගේ නගරවලට දූලි වලා ගෙන එමින් ගංගාවලට ගල්අඟුරු දූවිලි දමන බව පෙන්වා දීමට යි.

“යුද්ධයට ඕනෑ තරම් මුදල් යෙදවුවත්, විද්‍යාව, අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී මහ ජනයාට උපකාරී දේවලට කවදාවත් මුදල් නැහැ. ඒක අපි සිරියාවේ මිලිටරි කඳවුරකට මිසයිල හිතුමතේ එල්ල කිරීම තරම් සාමාන්‍ය යි. එම ප‍්‍රහාරයට ඩොලර් මිලියන සිය ගනනක් නාස්ති කලා...

“ඇමරිකාවේ පක්ෂ දෙකේ ක‍්‍රමයත් පක්ෂ දෙකත් යුදවාදී යි. එම පක්ෂවල ජනයා සම්පූර්නයෙන් උඩුයටිකුරු වී පක්ෂ දෙකේ ක‍්‍රමය විනාශ කොට ඔවුන්ට කැමති පක්ෂයක් තෝරාගත හැකි හා ඔවුන්ට උපයෝගී වන බහු පක්ෂ ක‍්‍රමයක් බවට පත්විය යුතු යි.”

විශ‍්‍රාමලත් මුද්‍රනකරුවෙක් හා වෘත්තීය සමිති සාමාජිකයෙක් වන ස්ටීවන් කිං මෙසේ කීය: “මා මෙහි ආවේ විද්‍යා පාගමන වැදගත් නිස යි. ස්වාභාවික විද්‍යාවන් තරමට ම සමාජ විද්‍යාවනුත් වැදගත්. දැන් සිදුවන්නේ, තමන්ට වාසිදායක සමාජ විද්‍යාවන් ඉතුරු කරගෙන මහජන සුභසිද්ධිය පිනිස වන සමාජීය ක්ෂේත‍්‍ර විනාශ කරමින් පාලක කතිපයාධිකාරය කටයුතු කිරීම යි. පාලකයින් සියලු සමාජීය විද්‍යාවන් වංචාකාරී ව හසුරුවමින් මහජනයා යුද්ධය වැනි නරක ම අන්තවලට ගෙනයාමට ක‍්‍රියා කරනවා.

”ඔබගේ බුද්ධියට වඩා ඔබගේ මුග්ධත්වය වංචනයට ලක් කිරීම පහසු යි. අධ්‍යාපනය විනාශ කිරීම එහි එක් අංශයක්. එයින් අපේක්ෂා කරන්නේ නායකයින් දෙවිවරුන් වැනි යයි සලකන්නා වූ ආගමික විශ්වාසයන්ගෙන් මිරිකී මහජනයා කිසිවක් ප‍්‍රශ්න නො කිරීම යි. බිලියනපතියන් ව එලෙස දෙවිවරු ලෙස සැලකීම ඇත්තට ම හාස්‍යජනයක යි.”

මෙම රැලියට මෙන් ම, ඕස්ට්‍රේලියාවේ හා කැනඩාවේ රැලිවලට සහභාගි වූ පර්යේෂනවල නිරත සිසුන්, ඉංජිනේරුවන් ආදී විවිධ වෘත්තිකයන් මෙන්ම පාරිසරික ක‍්‍රියාකාරීන් ඇතුලු මහජන සුභසිද්ධිය සඳහා විද්‍යාව ආරක්ෂා කරගත යුතු යයි සිතන කිහිප දෙනෙක් ම ලෝසවෙඅ සමඟ කතා කල හ.

සිය සහකාරිය වන විද්‍යාඥ සාරා සමඟ මෙල්බර්න් රැලියට පැමින සිටි ඇලෙක්ස් නමැති පුරාවිද්‍යාඥයා තමන් රැලියට පැමිනි හේතුව පැහැදිලි කරමින් මෙසේ පැවසීය: “මම රැලියට ආවේ සැම දෙනාට සුපුෂ්පිත වීම සඳහා විද්‍යාවට පොදු පරිසරයක් අවශ්‍ය ය යන අදහස පෙරදැරි කරගෙන යි.

“මට අවශ්‍ය වන්නේ ජනතාව යි. ඔවුන් දරන අදහස කවරක් වුවත් මට කමක් නැහැ. විද්‍යාව ඉස්මතු වන්නේ නිර්මානාත්මක විචාරයෙන් සහ සාකච්ඡාවෙන්. සමාජීය වේවා දේශපාලනික වේවා නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමෙන් යමෙකු ව කවරඅන්දමින් හෝ වලක්වනු ලැබේ නම්, එය පර්යේෂනවලට හානිකර යි. අද දින එයට ප‍්‍රධානතම බාධාව වන්නේ, අඳුරු පැහැ සම හා නරක ම පන්නයේ අපරූපනයන් ය.

“ඇත්තෙන් ම විද්‍යාත්මක ක්ෂේත‍්‍රයේ ඕනෑ ම ප‍්‍රශ්නයකට උපරිම ලෙස මුදල් යෙදවිය යුතු වන්නේ එය සත්‍යය “රැඳී” පවත්නා තැන නිසයි. එවැනි ආයෝජනයක් කිසිසේත් ම මූල්‍යමය වාසිවලින් වෙන් කල නො හැකි යි.” දරිද්‍රතාව හා සමාජ අසමානතාව යන ප‍්‍රශ්න විසඳාලිය හැක්කේ ලාභාපේක්ෂාවෙන් විනිර්මුක්ත සමාජීය සැලැස්මකට පමනක් බව ද ඔහු කීවේ ය.

සිඩ්නිහි ආචාර්ය උපාධිලාභිනියක වන මැඩ්ලීන් දැක්වූ අදහස්වලින් කැපී පෙනෙන එකක් වූයේ ටර්න්බුල්-නැෂනල් ආන්ඩුව පනවන නව සීමාකිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාව තුලට වෙනත් රටවලින් පැමිනෙන විද්‍යාඥයින්ගේ ගනන අඩු වීම නිසා සිදුවන බුද්ධි ගලනය යි.

Share this article: