ජූලි දිනවල සිට කොර්නිලොව් කුමන්ත‍්‍රනය දක්වා: ලෙනින්ගේ “රජය හා විප්ලවය

From the July Days to the Kornilov coup: Lenin’s The State and Revolution

බැරී ෙග්‍ර් විසිනි, 2017 ඔක්තෝබර් 17

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ එක්සත් ජනපද ජාතික කර්තෘ බැරි ෙග්‍ර් විසින් ඔක්තෝබර් 14 වන සෙනසුරාදා පවත්වන ලද දේශනයක පෙල මෙහි පල කරන්නෙමු. මෙය, 1917 රුසියානු විප්ලවයේ සියවස් සැමරුම සනිටුහන් කරමින් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කෙරෙන අන්තර්ජාල සජීවී (ඔන්ලයින්) දේශන මාලාවක දෙවැනි කොටසේ පලමු දේශනයයි. තවත් දෙසුම් තුනක්: එනම්, ඔක්තෝබර් 21, ඔක්තෝබර් 28 හා නොවැම්බර් 11 දිනවල පැවැත්වෙන දේශන මෙම කොටසට ඇතුලත් වේ. දේශන පහකින් සමන්විත වූ මෙම දේශන මාලාවේ මුල් කොටස පසුගිය වසන්තයේ දී හජාජාකය විසින් ඉදිරිපත් කරන ලදී. මෙම සියලු දේශන ලෝසවෙඅහි සවන් දිය හැකිය.

මෙම දේශනයේ දී ලෙනින්ගේ රජය හා විප්ලවය කෘතිය වෙත අවධානය යොමු කෙරේ. මෙය ලියන ලද්දේ 1917 ගිම්හානයේ දී, ලෙනින් පලමුව පෙට්‍රොග‍්‍රෑඩයෙන් පිටත ද, ඉනික්බිතිව පින්ලන්තයේ ද සැඟවී සිටියදී ය. ජූලි මුල් දිනවල දී පැවැති කම්කරුවන්ගේ හා සෙබලුන්ගේ රාජ්‍ය විරෝධී මහජන පෙලපාලිවලින් ඉක්බිති කාල සීමාවේ ධනපති තාවකාලික ආන්ඩුව බොල්ශෙවික් පක්ෂයට එරෙහිව මුදා හල මර්දනයෙන් ගැලැවීම සඳහා ලෙනින් රහසිගත දේශපාලනයට පිවිසින.

අගෝස්තුවේ පසුභාගයේ දී - ලෙනින් තවමත් රහසිගත දේශපාලනයේ නිරතව සිටි තතු තුල හා බොල්ශෙවික් කම්කරුවන් හා සෙබලුන් රාශියක් ද ඇතුලුව ට්‍රොට්ස්කි, කමනෙව් සහ අනෙකුත් බොල්ශෙවික් නායකයන් සිරගත කොට සිටි තතු යටතේ - ජෙනරාල් ලව්රේ කොර්නිලොව් හමුදා කුමන්ත‍්‍රනයකට ප‍්‍රයත්නයක් දැරීය. එම ප‍්‍රයත්නයේ ප‍්‍රාරම්භක අවස්ථාවේ තාවකාලික ආන්ඩුවේ ප‍්‍රධානියා වූ ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කිගේ උදාසීනත්වය ද ඊට දායක විය. මෙකී ප‍්‍රයත්නයට එරෙහිව බොල්ශෙවිකයන්ගේ මූලිකත්වය යටතේ සිදුවූ සන්නද්ධ කම්කරු පන්තියේ ප‍්‍රති-බලමුලු ගැන්වීම හමුවේ, බොල්ශෙවිකයන් කෙරේ මහජන සහයෝගය වඩා ශීඝ‍්‍රයෙන් ගොනුවුනු අතර එමගින් කෙරෙන්ස්කි හා ඔහුගේ මෙන්ෂේවික් සහ සමාජ-විප්ලවකාරී සහායකයන්ගේ පදනම්වලට මුලුමනින් ම වල කැපිනි.

ලෙනින්ගේ “රජය හා විප්ලවය” ගැන බැරි ෙග්‍ර් විසින් පවත්වන ලද අන්තර්ජාල සජීවී දේශනය

දැන් ප‍්‍රශ්නය මුහුනටම දමාගසා තිබින: නිර්ධනීන්ගේ සමාජවාදී විප්ලවය ද නැතහොත්, 1871 පැරිස් කොමියුනය පරාජය වීමෙන් පසු ඇති වූ සමූහ ඝාතන පවා සංසන්දනාත්මකව පරයා යනු ඇති ප‍්‍රතිවිප්ලවවාදී රුධිර ස්නානයක් ද?

සිය History of Russian Revolution (රුසියානු විප්ලවයේ ඉතිහාසය) කෘතිය තුල ට්‍රොට්ස්කි “රජය හා විප්ලවය” පිලිබඳව මෙසේ පවසයි:

ඔහුගේ රහසිගත දේශපාලන ජීවිතයේ මුල් මාසවල දී ලෙනින් පොතක් ලිවීය; ඊට අවශ්‍ය ප‍්‍රධාන සම්පත් යුද සමයේ විදේශගතව හිඳිමින් ඔහු විසින් එකතු කරන ලදුව තිබින. එකී කෘතිය වූයේ “රජය හා විප්ලවය”යි. එතුල ඔහු, දවසේ ප‍්‍රායෝගික ගැටලු පිලිබඳව සිතා බැලීමෙහි දී දක්වන වෙහෙසකාරී සැලකිල්ලම නොඅඩුව දක්වමින්, රාජ්‍යයේ න්‍යායික ගැටලු පරීක්ෂාවට ලක් කරයි. ඔහුට ඒ හැර වෙනත් ආකාරයකට කටයුතු කල නොහැක: මක්නිසාද යත්, ඔහුට න්‍යාය යනු සැබැවින්ම ක්‍රියාවට මග පෙන්වන්නකි....ඔහු පවසන පරිදි, ඔහුගේ කර්තව්‍යය වන්නේ, “රාජ්‍යය පිලිබඳ මාක්ස්වාදයේ” නිර්ව්‍යාජ “ඉගැන්වීම්වලට...” යලි පන පෙවීමයි.

රාජ්‍යය පිලිබඳ පන්ති න්‍යාය හුදු නව්‍ය හා වඩාත් උසස් ඓතිහාසික පදනමක් මත ප‍්‍රතිස්ථාපනය කිරීමෙන් ලෙනින්, මාක්ස්ගේ අදහස්වලට නව සංයුක්තභාවයක් හා ඒ සමග නව වැදගත්කමක් ද අත් කර දෙයි. එහෙත් රාජ්‍යය පිලිබඳ මේ කෘතියේ ඇති අපරිමේය වැදගත්කම ගලා එන්නේ, අන් සියල්ලටමත් වඩා, එය ඉතිහාසය තුල ශ්‍රේෂ්ඨතම විප්ලවයේ විද්‍යාත්මක හැඳින්වීම ගැබ් කොට ගත්තේය යන කරුනෙනි. මාක්ස්ගේ මේ “අර්ථකථාකරුවා” ඒ වන විට මිහිතලයේ මිනිස් වාසයට උචිත වූ පෘෂ්ඨයෙන් හයෙන් පංගුවක් විප්ලවවාදීව අත්පත් කොට ගැනීමට සිය පක්ෂය සූදානම් කරමින් සිටියේය. 1

නිර්ධන පන්ති විප්ලවය හා රාජ්‍යය පිලිබඳව මාක්ස්ගේ හා එංගල්ස්ගේ ලේඛනවල -ලෙනින්ගේ වචනවලින් කිවහොත්- “ඓතිහාසික කැනීම් සිදු කිරීම” ලෙනින් විසින් කෙතරම් තීරනාත්මක ලෙස සලකන ලද්දේ ද යන්න පිලිබඳව ට්‍රොට්ස්කි විශේෂයෙන් අවධානය යොමු කරමින් මෙසේ සටහන් කරයි: “ජූලියේ ඔහු කමෙනෙව්ට මෙසේ ලිවීය: ඔවුන් මා මරා දැමුවහොත් ‘රාජ්‍යය පිලිබඳව මාක්ස්වාදය’ නම් මගේ කුඩා සටහන් පොත [එනම්, රජය හා විප්ලවය කෘතිය සඳහා සූදානම්වීම් වස් ලෙනින් තැබූ සටහන්] ප‍්‍රකාශයට පත් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.”2

සමාජවාදී විප්ලවය පිලිබඳ මූලික ප‍්‍රයුක්තීන් සම්බන්ධයෙන් පක්ෂයට හා කම්කරු පන්තියේ පෙරටු බලඇනියට පැහැදිලි කිරීමට ලෙනින් අධිෂ්ඨාන කොට ගෙන සිටියේය. මේ සඳහා රාජ්‍යය පිලිබඳ මාක්ස්ගේ හා එංගල්ස්ගේ උගැන්වීම් සම්බන්ධ විවරනයක් ද, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය උත්කර්ෂයට නංවමින්, මාක්ස්වාදය සංශෝධනවාදී දහමක් බවට හැරවීමට යත්න දැරූ කාල් කෞට්ස්කි ප‍්‍රථම හා ප‍්‍රමුඛ කොට ගත් අවස්ථාවාදීන් හා මාධ්‍යමිකයන්ගේ අදහස් ඛන්ඩනය කිරීමක් ද අවශ්‍ය විය. තව ද, මෙකී සුලු ධනපති සංශෝධනවාදී ප‍්‍රවනතාවයන් බොල්ශෙවික් නායකත්වය තුල පිලිබිඹු වූ බව ද ලෙනින් තියුනු ලෙස අවබෝධ කොට ගෙන සිටියේය. ලෙනින් රුසියාවට පෙරලා පැමිනීමට හා ඔහුගේ “ අප්‍රේල් තීසීස” සඳහා වූ අරගලයට පූර්වයෙන් ජෝසෆ් ස්ටැලින් හා ලෙව් කමෙනෙව් යටතේ දරන ලද ආරක්ෂකවාදී හා මාධ්‍යමික ආස්ථානයන් තවමත් පහව ගොස් නොතිබින.

රජය සහ විප්ලවය කෘතිය යනු ලෙනින් විසින් තාවකාලික ආන්ඩුව බලයෙන් පහ කොට සෝවියට් සභාවලට බලය පවරා ගැනීම් වස්, සමස්තයක් ලෙස පක්ෂය සහ කම්කරු පන්තිය න්‍යායිකව සන්නද්ධ කරනු ලැබීමයි. සිය කෘතියට ලෙනින් යෙදූ පහත දැක්වෙන උපශීර්ෂය මගින් එය අවධාරනය කෙරේ: “රාජ්‍යය පිලිබඳ මාක්ස්වාදී න්‍යාය හා විප්ලවය තුල නිර්ධන පන්තියේ කර්තව්‍යයෝ”

ලෙනින් සම්බන්ධයෙන් ගත් කල, රුසියාවේ පක්ෂය මුහුන දී සිටි උපායාත්මක හා සංවිධානාත්මක ගැටලු කෙතරම් හදිසි තත්වයේ පැවතුනේ වී වුව, මෙය හුදු රුසියානු ප‍්‍රශ්නයක් නොවීය. එය ලෝක ප‍්‍රශ්නයක් විය. රජය හා විප්ලවය විමසා බැලිය යුත්තේ යුද්ධයේ හා විප්ලවයේ රශ්මිය තුල ඔහු විසින් රචනා කෙරුනු අනෙක් විශිෂ්ඨ න්‍යායික කෘතිය -අධිරාජ්‍යවාදය- ද සමගය.

ලෝක යුද්ධය පුපුරා යාම හා දෙවැනි ජාත්‍යන්තරයේ වැටීම යන අන්තර් සම්බන්ධිත සිදුවීම් දෙක ලෝක ඉතිහාසයේ නව අවධියක -එනම්, අධිරාජ්‍යවාදී යුගයේ; ධනේශ්වර ක‍්‍රමයේ ඉහලම අවධියේ; යුද්ධ හා විප්ලවයන්හි යුගයේ- ආරම්භය බව ලෙනින් දුටුවේය. යුද්ධය සම්බන්ධයෙන් එහි මූලාරම්භයේ පටන්ම ඔහුගේ මූලික ඉදිරි දර්ශනය වූයේ එය ජාත්‍යන්තර පරිමානයේ කම්කරු පන්ති විප්ලවවාදී අරගලයක් අවුලුවා ලනු ඇති, ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදයක් පිලිබඳ ඇඟවීමක් බවයි. එමෙන්ම, එහි ප‍්‍රමුඛ නායකයන් යුද්ධයට සහාය දෙමින්, දෙවැනි ජාත්‍යන්තරයේ පාවාදීමෙන් අදහස් වූයේ, අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය ආරම්භ කල හැක්කේ දෙවැනි ජාත්‍යන්තරයට එරෙහිව ක්ෂමා විරහිත අරගලයකින් හා එම අරගලයේ පදනම මත නව, කොමියුනිස්ට් ජාත්‍යන්තරයක් පිහිටුවීමෙන් පමනක් බව එමගින් හැඟවෙන බවයි.

රුසියාව තුල දී, මෙන්ෂේවිකයන්ගේ නායකත්වයෙන් යුත් සුලු-ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි අරගලය හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය අතිශය සංයුක්ත රූපාකාරයක් අත් කර ගත්තේය. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා පාර්ලිමේන්තුවාදය උත්කර්ෂයට නැංවීම මත පදනම්ව මෙන්ෂේවිකයෝ, ජර්මානු යුදවාදයට හා පෘසියානු ඒකාධිපතිවාදයට එරෙහිව “ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ විප්ලවවාදී යුද්ධයක්” ලෙස සලකා, සෝවියට් සභා සහ කම්කරු පන්තිය යුද්ධයට සහාය දිය යුතුයැයි ඉල්ලා සිටියෝය. එම පදනම මතම පිහිටා සිටිමින් ඔවුහු පෙබරවාරියේ සාර් පලවා හල කම්කරු පන්ති විප්ලවය විසින් සෝවියට් සභාවලට ලබා දී තුබූ බලය, කැඩෙට් පක්ෂයේ නායකත්වයෙන් යුත් හා රාජාන්ඩුවේ නිලධරයේ හා හමුදාවන්හි ධනපතීන්ගේ සහකරුවන් වූ ප‍්‍රතිවිප්ලවවාදී ධනේශ්වරය අතට පත් කලහ.

දැන්, විවෘත ප‍්‍රතිවිප්ලවයකට මුහුන දී සිටි මෙන්ෂේවිකයෝ, තම ප‍්‍රහාරය, ධනපතීන්ට හා බ්ලැක් හන්ඩ‍්‍රඞ්වරුන්ට එරෙහිව නොව, බොල්ශෙවිකයන්ට එරෙහිව -එනම්, කම්කරු පන්තියට එරෙහිව- මුදා හලෝය.

වඩාත්ම මූලික අර්ථයෙන් ගත් කල, රජය හා විප්ලවය කෘතියේ මූර්තිමත් වන අරගලයට ප‍්‍රානය සැපයුනේ, රුසියානු විප්ලවය ද එහි අවියෝජනීය කොටසක් වූ, ලෝක සමාජවාදී විප්ලවයෙහි මූලික වැඩ පිලිවෙල සූත‍්‍රගත කිරීමට පැවැති අවශ්‍යතාවයෙන් හා ඊට නායකත්වය දීම සඳහා නව ජාත්‍යන්තරයක් ගොඩ නැගීමට පැවැති අවශ්‍යතාවයෙනි.

රජය හා විප්ලවය කෘතියේ ප‍්‍රථම මුද්‍රනයට සපයන ලද සංඥාපනය තුල ආරම්භයේදීම, ලෙනින් සිය කෘතිය තුල විමසා බැලෙන ප‍්‍රයුක්තීන්හි ඇති හදිසි, ප‍්‍රායෝගික අදාලත්වය අවධාරනය කරයි. එසැනින්ම ඔහු, රුසියානු විප්ලවය එහි ලෝක ඓතිහාසික සන්දර්භය තුල තබමින්, අධිරාජ්‍යවාදය හා රාජ්‍යය පිලිබඳ ප‍්‍රශ්නය අතර සම්බන්ධය සලකුනු කරයි. අධිරාජ්‍යවාදයේ සම්ප‍්‍රාප්තියත් සමග ධනපති රාජ්‍යයේ මර්දන යන්ත‍්‍රය -එනම්, ස්ථාවර හමුදාව, පොලීසිය, රාජ්‍ය නිලධරය- භයංකාර මට්ටම්වලට පත් වන බැව් අවධාරනය කරයි. ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිලිටරිවාදයේ හා රාජ්‍ය ප‍්‍රචන්ඩත්වයේ විලි වසා ගැනීමට යොදා ගැනෙන කඩතුරාවකට වැඩි යමක් නොවන තත්වයට පත්වෙයි. ධනපති ක‍්‍රමයේ සිට සමාජවාදය කරා සාමකාමීව පරිවර්තනයවීම පිලිබඳ, නිදහස් තරඟය පැවැති ධනවාදයේ මුල් යුගයෙන් ජනිත මත, තවදුරටත් මොනම බලාපොරොත්තුවක් හෝ තබා ගත නොහැකි යල් පැන ගිය ඒවා බවට පත්වෙයි.

අධිරාජ්‍යවාදී යුද්ධය විසින් මෙම ප‍්‍රවනතා තව දුරටත් පුලුල් කරනු ලබයි. එමගින් කාර්මික හා මූල්‍ය භාරයන් තව දුරටත් රාජ්‍යය සමග සමෝධානය කරනු ලැබෙන්නේ ඒකාධිකාරී ධනවාදය රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය බවට හරවමිනි.

1916 ඔක්තෝබරයේ ප‍්‍රකාශයට පත් කෙරුනු සිය “අධිරාජ්‍යවාදය සහ සමාජවාදයේ භේදය” යන විවාදය තුල ලෙනින්, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කුනුවීම පහත දැක්වෙන ආකාරයෙන් විස්තර කරයි:

ප‍්‍රජාතන්ත‍්‍රවාදී-සමූහාන්ඩුවාදී ධනපතියා හා ප‍්‍රතිගාමී-රාජාන්ඩුවාදී අධිරාජ්‍යවාදී ධනපතියා අතර වෙනස නිරවද්‍ය ලෙසම අකාමකා දැමෙයි; මක්නිසාදයත්, ඔවුන් දෙදෙනාම පන පිටින් කුනු වෙමින් සිටින නිසාය.... හිසේ සිට දෙපතුල දක්වාම පවතින දේශපාලන ප‍්‍රතිගාමීත්වය අධිරාජ්‍යවාදයේ ගුනාංගීකාරක ලක්ෂනයකි.3

රජය හා විප්ලවය කෘතියේ සංඥාපනය ආරම්භයේ දී ලෙනින් මෙසේ ලියයි:

වර්තමානයේ දී, රාජ්‍යය පිලිබඳ ප‍්‍රශ්නය, සිද්ධාන්තයක් ලෙස මෙන්ම ප‍්‍රායෝගික දේශපාලනයේ දෘෂ්ටි කෝනයෙන් ද, සුවිශේෂී වැදගත්කමක් අත් කර ගනී. ඒකාධිකාරී ධනේශ්වර ක‍්‍රමය රාජ්‍ය-ඒකාධිකාරී ධනේශ්වර ක‍්‍රමය බවට පරිවර්තනය වීමේ ක්‍රියාදාමය අධිරාජ්‍යවාදී යුද්ධය විසින් අතිශය උග‍්‍ර හා තීව‍්‍ර මට්ටම් කරා ඉහල නංවා ඇත. සර්ව බලගතු ධනපති සමායතනයන් සමග වඩවඩාත් ලෙන්ගතු ලෙස බැඳෙන රාජ්‍යය විසින් වැඩකරන ජනයා භාජනය කරනු ලබන මෘග මර්දනය කිසිදා නොවූ විරූ තිරිසන් මට්ටම් කරා සේන්දු වෙමින් පවතී. ප‍්‍රමුඛ රටවල් -අප මෙහිදී කථා කරන්නේ ඒවායේ ‘පශ්චාත් භාගය’ පිලිබඳවය- කම්කරුවන් සඳහා වූ මිලිටරි ශ‍්‍රමික සිර කඳවුරු බවට පරිවර්තනය කෙරෙමින් පවතී....

පොදුවේ ධනේශ්වරයේ ද සුවිශේෂී ලෙස අධිරාජ්‍යවාදී ධනේශ්වරයේ ද බලපෑම්වලින් වැඩකරන ජනයා විමුක්ත කර ගැනීම සඳහා අරගල කිරීම, “රාජ්‍යය” පිලිබඳ අවස්ථාවාදී මිත්‍යා ඇදහිලිවලට එරෙහි අරගලයකින් තොරව නොකල හැක්කකි.

... පෙනී යන පරිදි වර්තමානයේ (1917 අගෝස්තුව ආරම්භයේ) විප්ලවය එහි වර්ධනයේ ප‍්‍රථම අදියර සම්පූර්න කරමින් පවතී; එහෙත් පොදුවේ කථා කරන විට, මෙම විප්ලවය එහි සමස්තය තුල අවබෝධ කොට ගත හැක්කේ, අධිරාජ්‍යවාදී යුද්ධය විසින් කැඳවනු ලැබූ සමාජවාදී නිර්ධන පන්ති විප්ලව දාමයේ හුදු එක් පුරුකක් ලෙසය. එබැවින්, නිර්ධන පන්ති සමාජවාදී විප්ලවය සහ රජය අතර සම්බන්ධතාව පිලිබඳ ගැටලුව හුදු ප‍්‍රායෝගික දේශපාලන වැදගත්කමක් පමනක් නොව, දවසේ හදිසි ගැටලුවක -එනම්, නුදුරු අනාගතයේදීම, ධනපති ක‍්‍රමයේ විය ගසින් මිදී තම විමුක්තිය අත්පත් කර ගනු වස් ඔවුන් කුමක් කල යුතුදැයි මහජනයාට පහදා දීමේ ගැටලුවේ- වැදගත්කම ද අත්පත් කර ගනී.4

අප්‍රේල් අර්බුදයේ සිට කොර්නිලොව් කුමන්ත‍්‍රනය දක්වා

අපි දැන් “රජය හා විප්ලවය” රුසියාවේ පැවැති දේශපාලන සන්දර්භය තුල විමසා බැලීමට හැරෙමු.

පලවා හල සාර් රජුගේ අධිරාජ්‍යවාදී යුද අරමුනුවලට හා ජයග‍්‍රහනය දක්වා යුද්ධය පවත්වා ගෙන යාමට ආන්ඩුවේ ඇති කැපවීම පිලිබඳ ප‍්‍රතිඥා දුන් කැඩෙට් පක්ෂයේ නායක හා විදේශ ඇමති පාවෙල් මිලියුකොව්ගේ ලිපිය ප‍්‍රකාශයට පත් වූ කල්හි, සෝවියට් සභාවන්හි මෙන්ෂේවික් හා සමාජ-විප්ලවකාරී නායකයන්ගේ සහාය මත රඳා පැවති තාවකාලික ආන්ඩුව, අප්‍රේල් මාසයේ දී සිය ප‍්‍රථම ප‍්‍රධාන දේශපාලන අර්බුදයට මුහුන දුන්නේය. එකී ලිපිය ප‍්‍රකාශයට පත් වීමෙන්, මිලියුකොව් ඉල්ලා අස් විය යුතු බවට බල කෙරෙන සෙබලුන් හා කම්කරුවන්ගේ සන්නද්ධ බහුජන පෙලපාලියක් පෙට්‍රොග‍්‍රෑඩය තුල අවුලුවා ලීය. “ අප්‍රේල්අර්බුදය” වූයේ එයයි.

මිලියුකොව්ගේ පිටවීමත් සමග ආන්ඩුව නූල් පොටකින් එල්ලී පැවැති තතු තුල මෙන්ෂේවිකයෝ හා සමාජ-විප්ලවකාරීහු, රජයට ඇතුලු වී හවුල් ආන්ඩුවක් පිහිටුවීමට එකඟ වූහ. මෙම පියවර, වඩවඩාත් සටන්කාමී වෙමින් සිටි කම්කරුවන් හා සෙබලුන් ඉදිරියේ ඔවුන් ඉමහත් ලෙස අපකීර්තියට පත්වීමට හේතුකාරක විය. අප්‍රේල්අවසාන දිනවලදී බොල්ශෙවිකයෝ, “සියලු බලය සෝවියට් සභා අතට!” යන සටන් පාඨය මත සංකේන්ද්‍රනය ව තුබූ, යුද්ධයට හා තාවකාලික ආන්ඩුවට එරෙහිව කම්කරු බලය සඳහා අරගලයක් වෙනුවෙන් වූ ලෙනින්ගේ විප්ලවවාදී ක්‍රියාමාර්ගය තෝරා ගත්තෝය. කම්කරු පන්තිය හා සෙබලුන් අතර බොල්ශෙවිකයන්ට පැවැති සහයෝගය ශීඝ‍්‍රයෙන් වර්ධනය වීම ආරම්භ විය.

ට්‍රොට්ස්කි ඔහුගේ “රුසියානු විප්ලවයේ ඉතිහාසය” තුල ලියූ පරිදි, අප්‍රේල් අගදී බොල්ශෙවික් පක්ෂයේ පෙට්‍රොග‍්‍රෑඞ් සංවිධානයට සාමාජිකයන් 15,000 ක් සිටි අතර, ජූනි අග වනවිට එයට 82,000 කට වඩා වැඩි සාමාජික සංඛ්‍යාවක් වූහ.Prelude to Revolution (විප්ලවයේ පූර්විකාව) හි ඇලෙක්සැන්ඩර් රැබිනොවිච් ඊට වඩා තරමක් අඩු, එහෙත් කොයි හැටිවෙතත් සිත් කාවදින සුලු සංඛ්‍යාවන් ගෙන හැර දක්වයි. ඔහු ලියා ඇත්තේ පෙට්‍රොග‍්‍රෑඞ් පක්ෂ සාමාජිකත්වය පෙබරවාරියේ 2,000 ක සිට ජූලි ආරම්භ වන විට 32,000 දක්වා වැඩුනු බවයි.

පෙබරවාරියේ (සාර්) පෙරලා දැමීමේ සිට ඔක්තෝබර් කැරැල්ල දක්වා රුසියානු විප්ලවය පිලිබඳ කවර වෛෂයික වාර්තාවකින් වුව, ඔක්තෝබර් විප්ලවය යනු කම්කරුවන්ගේ හිසට උඩින් ද ඔවුන්ගේ පසුපසින් හොර රහසේ ද කුමන්ත‍්‍රනකාරීන් විසින් සිදු කෙරුනු බලග‍්‍රහනයක් වීය යන, මෙම සිදුවීම්වල සියවස් සැමරුම යෙදී ඇති අද දිනයේ මාධ්‍ය හා ශාස්ත‍්‍රාලිකයන් විසින් ඒ සා උස් හඬකින් කියා සිටින කියා පෑම ප‍්‍රතික්ෂේප කෙරෙයි. ට්‍රොට්ස්කිගේ “ඉතිහාසයෙහි” ඇති ඉමහත් ප‍්‍රබලතාවයන්ගෙන් එකක් වනුයේ, විප්ලවයේ සංකීර්න හා පරස්පර විරෝධී ගමන්මග තුල පොදුජන විඥානයේ ඇති වූ අපරිමාන වෙනස්කම් හා ඔවුන්ගේ ස්වාධීන විප්ලවවාදී ප‍්‍රාරම්භකත්වය පිලිබඳවත්, මහජන ව්‍යාපාරය සහ බොල්ශෙවික් පක්ෂයේ, එහි නායකත්වයේ -අන් සියල්ලට ද වඩා ලෙනින්ගේ- තීරනාත්මක දේශපාලන මැදිහත්වීම අතර පැවැති සම්බන්ධය පිලිබඳවත් එහි එන සාරවත් හා විස්තරාත්මක වාර්තාවයි.

“පොදුජන මතයේ මාරුවීම්” යන පරිච්ඡේදය තුල ට්‍රොට්ස්කි මෙසේ ලියයි:

වැඩ වර්ජන හා පොදුවේ පන්ති අරගලවල වර්ධනය ස්වයංක්‍රීයව මෙන්, බොල්ශෙවිකයන්ගේ ආනුභාවය ඉහල නැංවීය. ... පරිපාලකයන්ගේ හා අයිතිකරුවන්ගේ කඩාකප්පල්කාරීත්වයෙන් තම කම්හල් මිය යා නොදී රැක ගනු වස් අරගලයක් දියත් කරමින් හුන් කම්හල් හා සාප්පු කමිටු සෝවියට් සභා කරා යාමට බොහෝ සේ පෙරාතුව බොල්ශෙවිකයන් කරා යාමෙන් මෙය පැහැදිලි වෙයි. ජූනි ආරම්භයේ පැවැති පෙට්‍රොග‍්‍රෑඞ් හා තදාසන්න ප‍්‍රදේශවල කම්හල් හා සාප්පු කමිටුවල සම්මේලනයක දී බොල්ශෙවිකයන්ගේ සමුලු යෝජනාව ඡන්ද 421 කින් 335 ක් දිනා ගැනීමට සමත් විය....

සෝවියට් සභා සඳහා වූ සියලු අතුරු මැතිවරන බොල්ශෙවිකයන්ට ජයග‍්‍රහනය ගෙන ආවේය. ජූනි 1 දින වනවිට ද මොස්කව් සෝවියට් සභාවේ මෙන්ෂේවිකයන් 176 දෙනෙකු හා සමාජ විප්ලවකාරීන් 110 දෙනෙකුට එරෙහිව බොල්ශෙවිකයෝ 206 දෙනෙකු සිටියෝය. මෙම විස්ථාපනය පර්යන්තයන්හි ද, වඩාත් සෙමෙන් වුව සිදුවෙමින් පැවතින. ...5

ජූනිය වන විට පෙට්‍රොග‍්‍රෑඩ් සෝවියටයේ මෙන්ෂේවික් හා සමාජ-විප්ලවකාරී නායකත්වය, බොල්ශෙවිකයන් විසින් නායකත්වය දෙනු ලබන කම්කරු නැගිටීමක භීතියෙන් ඇලලී සිටියෝය. ජූනි 3 දා සිට ජූනි 24 දක්වා කම්කරුවන්ගේ හා සෙබලුන්ගේ සෝවියට් සභාවන්හි නියෝජිතයන් මුලු දුන් ප‍්‍රථම සමස්ත රුසියානු සෝවියට් සභා සම්මේලනය පවත්වන ලදී. [මෙම දේශනය පුරාම සඳහන් කෙරෙනු ලබන දින දර්ශනය වන්නේ, විප්ලව සමයේ රුසියාවේ භාවිත වූ, නූතන දින දර්ශනයට දින 13 ක් පසුපසින් පැවැති ජුලියන් කැලැන්ඩරය නම් පැරනි මාදිලියේ දින දර්ශනයයි] සමාජ-ජාත්‍යෝන්මාදවාදී සෝවියට් නායකත්වය අදහස් කලේ යුද්ධයට තමා දක්වන සහයට හා සියලු ප‍්‍රායෝගික අරමුනු සඳහා දැන් කෙරෙන්ස්කි විසින් නායකත්වය දෙනු ලැබූ ධනපති හවුල් ආන්ඩුවට සමුලුව තුලින් අනුමැතියේ රබර් මුද්‍රාව තබා ගැනීමටය.

නව මිලිටරි ප‍්‍රහාරයක් නිවේදනය කිරීම මගින් දේශානුරාගයේ නව රල වේගයකට උත්තේජනය සපයනු ලැබ, සමාජ අසහනයේ සහ බොල්ශෙවිකයන්ට හිමි වෙමින් පැවැති දේශපාලන සහායයේ වර්ධනය පීලි පන්නවනු ඇතැයි මෙන්ෂේවික් නායක ඉරක්ලි ට්සෙරෙටෙලි හා සමාජ-විප්ලවකාරී පක්ෂයේ නායක වික්ටර් චෙර්නොව් ද අපේක්ෂා කලෝය. ඇත්තෙන්ම එවන් මිලිටරි ප‍්‍රහාරයක් සමුලුව අතරවාරයේ ජූනි 18 වන දින කෙරෙන්ස්කි විසින් දියත් කෙරින.

සමුලුව හවුල් ආන්ඩුවට සහයෝගය දීමට ඡන්දය දුන් අතර, නව මිලිටරි ප‍්‍රහාරයට නිහඬ අනුමැතිය පල කලේය. එහෙත් ජූනි 10 වන දින යුද්ධයට එරෙහිව හා “සියලු බලය සෝවියට් සභාවලට” යන සටන් පාඨය යටතේ කම්කරුවන්ගේ හා සෙබලුන්ගේ නිරායුධ මහජන පෙලපාලියක් පැවැත්වීමට බොල්ශෙවිකයන් අපේක්ෂා කරන බවට නායකයන්ට ඉව වැටුනු කල්හි සමුලුව එම ක්‍රියාව හෙලා දකිමින් හා සෝවියට් නායකත්වයේ අනුමැතිය නොලද සියලු සටන් පාඨ තහනම් කරමින් යෝජනාවක් ඡන්දයෙන් සම්මත කර ගත්තේය. මේ තතු යටතේ උපායාත්මකව පසුබසිමින් පෙලපාලිය නොපවත්වා සිටීමට බොල්ශෙවිකයනට බල කෙරින.

සෝවියට් විධායක කමිටුවේ ප‍්‍රමුඛ සාමාජිකයෙකු සහ හවුල් ආන්ඩුවේ ඇමතිවරයෙකු ද වූ ට්සෙරෙටෙලි ජූනි 11 වන දින සෝවියට් සමුලුව අමතමින් සැබවින්ම බොල්ශෙවිකයන් තහනම් කිරීම සඳහා කැඳවුම් කර සිටියේය. ඔහු මෙසේ පැවසීය:

සිදුවූයේ කුමන්ත‍්‍රනයක් විනා අනෙකක් නොවේ. එය ආන්ඩුව පෙරලා දමා බොල්ශෙවිකයන් බලය අල්ලා ගැනීමට කල කුමන්ත‍්‍රනයකි. අන් ලෙසකින් කිසිදා තමන්ට බලයට පත් විය නොහැකි බව ඔවුහු දැන සිටියෝය. ... බොල්ශෙවිකයන් අපට චෝදනා කලාවේ. -අපි දැන් මිලිටරිකරනයේ වෙනස් ක‍්‍රම කරා මාරු වන්නෙමු. තම අවි ගෞරවාන්විත අයුරින් හැසිරවීමට නොදන්නා අයගෙන් දැන් අප එම අවි ඉවත් කල යුතුය. බොල්ශෙවිකයන් නිරායුධ කල යුතුය. 6

සෝවියට් සමුලුව ට්සෙරෙටෙලිගේ යෝජනාවට සහාය දුන්නේ නැත. කෙසේවෙතත් එය ජූනි 18 වන දින නිල පෙලපාලියක් පැවැත්වීමට අනුමැතිය දුන්නේය. බොල්ශෙවිකයෝ එම පෙලපාලියට සහභාගී වූහ. මෙන්ෂේවිකයන් හා සමාජ-විප්ලවකාරීන් භීතියට පත් කරමින් බොල්ශෙවික් ධජ හා සටන් පාඨ එකී බහුජන කි‍්‍රයාවලියේ ඉහලින් ම කැපී පෙනින.

මෙසේ “ජූලි දිනලවලට වේදිකාව සකස් වී තිබින. නව විප්ලවයක් සඳහා ප‍්‍රයත්නයන්හි හා ගොවි ජනයා අතර බහුජන සහායයක් තවමත් නොපැවැති තතු යටතේ, අගනුවර සිදු කෙරෙන හුදෙකලා නැගිටීමක අන්තරාය පිලිබඳව ලෙනින් හා ට්‍රොට්ස්කි හොඳින්ම දැනුවත්ව සිටියෝය. තම සංහාරය ක්‍රියාත්මක කිරීමේදී ගොවි ජනයාගේ සහාය මත හා පැරිස් කම්කරුවන්ගේ හුදෙකලා වීම මත ඇඩොල්ෆ් තියර්ස් සහ ප‍්‍රන්ස ධනපති පන්තිය ගනන් බලන ලද පැරිස් කොමියුනයේ ඛේදජනක ඉරනම -මෙය යම්තාක් දුරකට රුසියාවේ 1905 විප්ලවයේ පරාජයේ දී ද පුනර්කරනය වූ රටාවකි- ඔවුන්ගේ මනස තුල බෙහෙවින් බල පැවැත්වීය.

ආහාර හිඟකම, මිල ඉහල යාම, යුද පෙරමුනේ සිදුවෙමින් පැවැති මනුෂ්‍ය ඝාතනය සහ කිසිදු සැලකියයුතු ප‍්‍රතිසංස්කරනයක් ඇති කිරීමට ආන්ඩුව අසමත්වීම යන කොන්දේසි හමුවේ බොල්ශෙවිකයන්ට පලවූ සහයෝගය වර්ධනය විය. ජූලි 3 වන දින -එනම්, ජූලි 4 අර්ධ-නැගිටීමට පෙර දින- සන්ධ්‍යාවේ බොල්ශෙවිකයෝ ප‍්‍රථමවරට පෙට්‍රොග‍්‍රෑඩ් සෝවියටයේ කම්කරු කොටසේ බහුතරය දිනා ගැනීමට සමත් වූවෝය.

උග‍්‍ර මර්දනයකට ව්‍යාජ හේතුවක් ලෙස භාවිත කල හැකි සන්නද්ධ ප‍්‍රතිචාරයක් උසිගන්වා ගැනීම් වස් ප‍්‍රතිවිප්ලවවාදී දක්ෂිනාංශය විසින් සංවිධානය කල හැකි ප‍්‍රකෝප කරනයන් පිලිබඳ අනතුර ගැන ලෙනින් යලි යලිත් අනතුරු ඇඟවීය. එහෙත් බොල්ශෙවික් පක්ෂයේ ආනුභාවය යටතේ සිටියවුන් ද ඇතුලුව, සෙබලුන් හා නාවුකයන්ගේ සටන්කාමී කොටස්වල කෝපය පාලනය කල හැකි නොවීය. ජූලි 4 වන දින පෙට්‍රොග‍්‍රෑඩයේ සෙබලුන් හා කම්කරුවන්ගේ සන්නද්ධ ක්‍රියාමාර්ගයට එරෙහිව බොල්ශෙවිකයෝ ප‍්‍රසිද්ධියේ උපදෙස් දුන්හ. එහෙත් එය පාලනය කල නොහැකි විය. පක්ෂයේම මිලිටරි සංවිධානය පවා එම ක්‍රියාමාර්ගය සංවිධානයෙහි ලා ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේය.

මේ තතු යටතේ, එම ක්‍රියාමාර්ගයට සහාය දීමටත්, එය සාමකාමී පෙලපාලියකට සීමා කර ගැනීමට හා එහි ප‍්‍රතිඵල ලෙස බොහෝ දුරට සිදුවිය හැකි දේශපාලන හානි සීමා කර ගැනීමට යත්න දැරීමටත් පක්ෂය තීරනය කලේය.

සෝවියට් නායකයන්ගෙන් ලද සහාය ද සමගින් ආන්ඩුව තමාට පක්ෂපාත භට කන්ඩායම් පෙට්‍රොග‍්‍රෑඩයේ පෙල ගස්වා කැරැල්ල මැඩ පැවැත්වීමට සමත් විය. එම ක්‍රියාමාර්ගය ලද පරාජය බොල්ශෙවිකයන් වෙත ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා වහා ඩැහැ ගනු ලැබීය. ඔවුන් තවදුරටත් බැරෑරුම් තර්ජනයක් ලෙස පැවතීමේ තතු මුලිනුපුටා දැමීම එකී ප‍්‍රහාරයේ අරමුන විය. පැය ගනනක් තුල ප‍්‍රවෘත්ති පත‍්‍ර ජර්මන් රත්රන් පිලිබඳ අපවාදය -එනම්, ලෙනින් හා බොල්ශෙවිකයන් ජර්මානු අධිරාජ්‍ය හමුදා මූලස්ථානයේ වැටුප් ලබන්නන් වූ බවට වන මුසාව- ජනතාව වෙත මුදාහරින්නට විය.

ප‍්‍රව්දා පත‍්‍රයේ කාර්යාලවලට කඩා පැන මුද්‍රන යන්ත‍්‍ර කුඩුපට්ටම් කර දමන ලදී. අනෙකුත් බොල්ශෙවික් පුවත්පත් වසා දැමින. ක්‍රොන්ස්තාඞ් නැවියන් හා පෙට්‍රොග‍්‍රෑඞ් සේනාංකයන්හි භට කන්ඩායම් අතර පමනක් නොව, කම්කරුවන් අතර පවා වූ බොල්ශෙවිකයන් සිය ගනනක් වටලා අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී. ලෙනින්, ට්‍රොට්ස්කි, කමෙනෙව්, සිනොවියෙව් හා අනෙකුත් බොල්ශෙවික් නායකයන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරින. හමුදාව තුල බොල්ශෙවිකයන්ට පැවැති සහාය පහල වැටුනු අතර, කම්කරු පන්තියේ කොටස් අතර පවා එහි අඩුවීමක් සිදු විය.

ජූලි දවස්වලින් ඉක්බිති දියත් කෙරුනු මර්දනය තාවකාලික ආන්ඩුව විසින් සංවිධානය කෙරුනු ප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රහාරයක ආරම්භය විය. යුද පෙරමුනේ මරනීය දන්ඩනය යලි පැනවීමට එය වහා අන දුන්නේය. යුද බිම හැර පලා යන රුසියානු හමුදා ඒකකවලට හිතුවක්කාරී ලෙස වෙඩි තැබීමට හමුදා අන දෙන නිලධාරීන්ට බලය පවරන ලදී. හමුදා ක්‍රියාකාරිත්වයන් පවත්නා සෑම අංගනයකම බොල්ශෙවික් පුවත්පත් තහනම් කෙරුනු අතර භට කන්ඩායම් අතර දේශපාලන රැස්වීම් පැවැත්වීම තහනම් කෙරින.

ජූලි 18 වන දින කෙරෙන්ස්කි හමුදාවේ ප‍්‍රධාන ආඥාපති ලෙස කොර්නිලොව් පත් කලේය. කොර්නිලොව් බ්ලැක් හන්ඩ‍්‍රඞ්වරුන් සමග සම්බන්ධතා පැවැත්වූ බව ප‍්‍රකට කරුනක් වූ අතර, මීට ඉහත දී ඔහු හමුදා කටයුතුවලට සෝවියට් සභාවල “ඇඟිලි ගැසීම්” සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට පෙට්‍රොග‍්‍රෑඞ් සේනාංක ආඥාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබින.

The Bolsheviks Come to Power (බෝල්ෂෙවිකයෝ බලයට පත් වෙති) හි රබොනවිච් ලියා ඇති පරිදි, අගෝස්තු මුල් දිනවල දී තාවකාලික ආන්ඩුවේ කැබිනට් මන්ඩලය, දුම්රිය මාර්ග ගල් අඟුරු පතල් සහ රාජ්‍යාරක්ෂක කටයුතුවලට සම්බන්ධ සියලු කම්හල් මිලිටරීකරනය කිරීමේ යෝජනා සලකා බලමින් සිටියේය. එම යෝජනාවන්ට අනුව, එකී කාලසීමාව තුල මෙම ආයතනයන් තුල වැඩ වර්ජන, වාඩි ලා ගැනීම්, දේශපාලන රැස්වීම් හා සියලු ආකාරයන්හි ඒකරාශීවීම් තහනම් කිරීමට නියමිත විය. කම්කරුවන්ට අවම අනිවාර්ය වැඩ කොටස් පැවරීමට නියමිත වූ අතර, එකී ඉලක්ක සපුරාලීමට අසමත් වන්නන් වහාම සේවයෙන් නෙරපා හැර යුද පෙරමුනට යැවීමට නියමිත විය.

සිය හමුදාපතිවරයා වූ ජනරාල් ලූකොම්ස්කි සමග සංවාදයක දී අගෝස්තු 11 දින කොර්නිලොව් පැවසුවේ, “ලෙනින් විසින් නායකත්වය දෙනු ලැබෙන ජර්මානු ඒජන්තයන් හා ඔත්තුකරුවන් එල්ලා දැමීමට” සහ “කම්කරුවන්ගේ හා සෙබලුන්ගේ සෝවියටය යලි කිසියම් හෝ ස්ථානයක රැස් නොවන පරිද්දෙන් විසුරුවා හැරීමට කාලය එලැඹී ඇති” බවයි. පෙට්‍රොග‍්‍රෑඩය වටා සංකේන්ද්‍රනය වී සිටි හමුදා ඛන්ඩ සඳහා අලූතින් පත් කරන ලද අනදෙන නිලධාරියා වූ ජනරාල් ක්රෙයිමොව් පිලිබඳව ලූකොම්ස්කිට සඳහන් කරමින් කොර්නිලොව්, ක්රෙයිමොව් අවශ්‍ය වුවහොත්, “සමස්ත සෝවියට් සභා සාමාජිකත්වයම එල්ලා දැමීමට” නොපැකිලෙනු ඇතැයි යන කරුන සම්බන්ධයෙන් සතුට ප‍්‍රකාශ කලේය. 7

හවුල් ආන්ඩුව අගෝස්තු මැදභාගයේ මොස්කව් රාජ්‍ය සමුලුව වේදිකාගත කලේ, වැඩෙමින් පැවැති යුද-විරෝධී මනෝභාවයන් බිය වැද්දීමට හා බොල්ශෙවික් නායකත්වයෙන් යුත් විරෝධයන් යලි නැගී ඒමට එරෙහි ප‍්‍රතිතෝලකයක් ලෙස ප‍්‍රතිවිප්ලවවාදී දක්ෂිනාංශය පෙරට ගැනීමටය. මේ මොහොතේ කෙරෙන්ස්කි මිලිටරි මර්දනයක් මුදා හැරීම හා ඒකාධිපති ආන්ඩුවක් පිහිටුවීම සඳහා කොර්නිලොව් සමග සැලසුම් සදමින් සිටියේය. විජයග‍්‍රාහී වීරයෙකු ලෙස කොර්නිලොව්ට සමුලුව ආචාර කල අතර, කැඩෙට් පාක්ෂික හා රාජාන්ඩුවාදී නියෝජිතයින් සෝවියට් සභා හෙලා දුටුවේය.

බොල්ශෙවිකයෝ මෙම සමුලුව වර්ජනය කිරීමෙන් නොනැවතී, සමුලුව මුලු දුන් සම්පූර්න කාල සීමාව තුල නගරය මුලුමනින් නිෂ්ක්‍රිය කල මහා වැඩ වර්ජනයකට මොස්කව් කම්කරුවන් කැඳවූහ.

ජූලි දිනවල අත්දුටු මර්දනයේ සහ ජර්මානු රත්රන් අපවාදයේ බලපෑම් සති කිහිපයක් තුල පහව ගියේය. හවුල් ආන්ඩුව සතුව පැවති බල ග‍්‍රහනය දිගින් දිගටම සෝදාපාලු වෙමින් පැවතින. ප‍්‍රවුදා කාර්යාල කුඩුපට්ටම් කරමින් බොල්ශෙවිකයන් හඹා යන අතරවාරයේම කෙරෙන්ස්කිගේ මිලිටරි ප‍්‍රහාරය බිඳ වැටීමෙන් ඊට දැවැන්ත පහරක් එල්ල විය. ජූනි 6 වන දින සිය ප‍්‍රතිප‍්‍රහාරය දියත් කල ජර්මානුවෝ රුසියාවේ නිරිතදිග පෙරමුනේ ටාර්නොපොල් නගරය යලි අත්පත් කර ගත්හ.

ජූලි මස දෙවන භාගයේ හා අගෝස්තු මුල් සති තුල පැවැති දේශපාලන තතු රැබිනොවිච් ගුනාංගීකරනය කරන්නේ පහත දැක්වෙන පරිදිය:

උදාවන සෑම දිනයකම පලවූ වාර්තාවන්හි සඳහන් වුනේ, පැතිර යන අරාජිකත්වය හා ගම්බද පෙදෙස්වල ඉඩම්-හාමතින් පෙලුනු ගොවීන්ගේ ප‍්‍රචන්ඩත්වයය; නගරවල කැලඹිලිය; කම්හල් කම්කරුවන්ගේ වැඩෙන සටන්කාමීත්වයය; පූර්න ස්වාධිපත්‍යය සඳහා ෆින්වරුන් හා යුෙක්‍ර්නියානුවන්ගේ ව්‍යාපාරවලට ප‍්‍රතිරෝධය දැක්වීමට ආන්ඩුවේ නොහැකියාවය; යුද පෙරමුනේ මෙන්ම පසුභාගයේ ද සෙබලුන්ගේ දිගින්දිගටම සිදු වූ රැඩිකලීකරනයය; අත්‍යවශ්‍ය සැපයුම් නිෂ්පාදනයේ හා බෙදා හැරීමේ ක්‍රියාවලිය තුල ඇති වූ ව්‍යසනකාරී බිඳවැටීම්ය; අහස උසට නැගෙන බඩු මිලය; තවද, ප‍්‍රමුඛ දේශපාලන කන්ඩායම් අතුරෙන් මෙම දුෂ්කරතාවයන්ගෙන් වාසි සැලසුනු බැව් පෙනී ගිය එකම කන්ඩායම වූ ද, පෙනී යන පරිදි සිය සයවැනි සමුලුවෙන් පසු සන්නද්ධ කැරැල්ලක් සංවිධානය කිරීමට වේලාසනින් අවස්ථාවක් එලැඹෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින්නා වූ ද බොල්ශෙවිකයන්ගේ පුනර්ජීවනය හා ඔවුන්ගේ වැඩෙමින් පැවැති ආනුභාවයය. 8

අගෝස්තු මුල් දිනවල බොල්ශෙවිකයෝ සිය වර්ධනයේ නව කාල පරිච්ෙඡ්දයකට අවතීර්න වූහ. අගෝස්තු මාසයේ අවසාන දිනයේ, කොර්නිලොව් කුමන්ත‍්‍රනයේ පරාජයෙන් පසු, බොල්ශෙවිකයෝ ප‍්‍රථම වරට පෙට්‍රොග‍්‍රෑඞ් සෝවියට් සභාවේ බහුතරය දිනාගත්හ.

ජූලි දවස්වලින් ඉක්බිති සැනෙකින්ම ලෙනින් බොල්ශෙවික් පක්ෂයේ ගමන් මගෙහි තියුනු වෙනසක් ඇතිකිරීම සඳහා එහි නායකත්වය තුල අරගලයක් දියත් කලේය. ඔක්තෝබර් විප්ලවය සඳහා සූදානම් වීමේ මෙම වැදගත් සන්ධිස්ථානය සහ “රජය හා විප්ලවය”හි ලෙනින් විසින් මතු කෙරුනු ප‍්‍රයුක්තීන් අතර පැහැදිලි සම්බන්ධතාවයක් පවතී.

ජූලි 6 වන දින මධ්‍යම කාරක සභාවේ ප‍්‍රමුඛ සාමාජිකයන් සමග පැවැති රැස්වීමක දී ලෙනින් අවධාරනය කලේ, විප්ලවයේ සාපේක්ෂ සාමකාමී අවධියේ අවසානය ජූලි දවස් මගින් සනිටුහන් කෙරුනු බවයි. බලය ප‍්‍රතිවිප්ලවවාදී ධනේශ්වරය හා මිලිටරිය අත ගොනු වී ඇති අතර, මෙන්ෂේවිකයෝ හා සමාජ-විප්ලවකාරීහු ආපසු හැරවිය නොහැකි පරිද්දෙන්ම මෙකී බලවේග සමග සන්ධානයකට කැප වී සිටිති. කම්කරු පන්තිය අතට සාමකාමීව බලය මාරුවීම පිලිබඳ කවර හෝ සංකල්පනයක් දැන් අතහැර දැමිය යුතුව තිබින. “සියලූ බලය සෝවියට් සභාවලට!” යන සටන් පාඨය දැන් “සියලු බලය විප්ලවවාදී පක්ෂයේ -බොල්ශෙවික් කොමියුනිස්ට්වාදීන්ගේ- නායකත්වයෙන් යුත් කම්කරු පන්තියට!” යන්නෙන් විස්ථාපනය විය යුතුයැයි ලෙනින් තිර කොට කියා සිටියේය. නිසි දේශපාලන තතු එලඹුනු වහාම සන්නද්ධ කැරැල්ලක් සූදානම් කිරීම කෙරේ පක්ෂය අවධානය යොමු කල යුතුයැයි ඔහු බල කලේය.

ජූලි 10 වන දින ලෙනින් මෙම නව ක්‍රියා මාර්ගය විදහා දක්වමින් ලිපියක් (‘“The Political Situation˜ ” - ‘දේශපාලන තත්ත්වය’) සම්පාදනය කල අතර, එය අගෝස්තු 2 වන දින ප‍්‍රකාශයට පත් විය. ඉන් කොටසක් පහත උපුටා දැක්වේ:

“සියලු බලය සෝවියට් සභාවලට!”යන සටන් පාඨය විප්ලවයේ සාමකාමී වර්ධනය සඳහා වූ සටන් පාඨයක් විය... බලය අතින් අතට මාරු වී ඇති බවත්, ඇත්ත වශයෙන්ම එස්ආර්වරුන් (සමාජ-විප්ලවකාරීන්) හා මෙන්ෂේවිකයන් විසින් විප්ලවය මුලුමනින් පාවා දෙනු ලැබ ඇති බවත් එය සැලකිල්ලට ගෙන නොමැති හෙයින්, මෙම සටන් පාඨය තව දුරටත් නිවැරදි නොවේ. ඇත්තෙන්ම ආධාරකාරී වනු ඇත්තේ තතු පිලිබඳ පැහැදිලි අවබෝධයක්ය, කම්කරුවන්ගේ පෙරටු බලඇනියේ දරා සිටීම සහ අධිෂ්ඨානයය, සන්නද්ධ නැගිටීම සඳහා බලවේග සූදානම් කිරීමය.... අපි තවදුරටත් කිසිදු ආකාරයක ව්‍යවස්ථාදායක හෝ සමූහාන්ඩු මායාවන් තබා නොගත යුත්තෙමු, සාමකාමී මාවතක් පිලිබඳ මායාවන් තවදුරටත් පැවතිය නොහැකිය... අපි බලවේග ඒකරාශී කර ගනිමු, ඒවා ප‍්‍රතිසංවිධානය කරමු, ඉදින් අර්බුදයේ ගමන් මග විසින් සැබවින්ම බහුජන, රට සිසාරා පැතිරුනු පරිමානයක සන්නද්ධ නැගීසිටීමක් සඳහා අවසරය විවර කරන්නේ නම්, ඒ සඳහා තිරසාර ලෙස සූදානම් වෙමු.... නැගිටීමේ ඉලක්කය විය හැක්කේ, අපේ පක්ෂයේ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීමේ ඉදිරි දර්ශනයකින් යුතුව, දුගී ගොවීන්ගේ සහාය ලබන නිර්ධන පන්තිය අතට බලය මාරු කිරීම ම පමනෙකි. 9

රැබිනොවිච් වාර්තා කරන පරිදි, මේ කාලසීමාව තුල නැගිටීම සඳහා සූදානම් වීම ගැන අවධානය යොමු කිරීමේදී ලෙනින්, සෝවියට් සභාවලට වඩා කම්හල් සාප්පු කමිටුවලට කථා කලේය.

ලෙනින් සැඟවී සිටි ජූලි 13-14 දිනවල පැවැත්වූ මධ්‍යම කාරක සභා රැස්වීමක දී “සියලූ බලය සෝවියට් සභා අතට!” යන සටන් පාඨය අත්හැර දමා, නැගිටීමට සූදානම් වීම ආරම්භ කිරීම සඳහා කැඳවුම් කල ලෙනින්ගේ නිබන්ධනය වැඩි ඡන්දයෙන් ප‍්‍රතික්ෂේප විය. ජූලි 26 වන දින සිට අගෝස්තු 3 වන දා දක්වා පැවැති පක්ෂයේ හයවන සමස්ත රුසියානු සම්මේලනයේ දී “සියලු බලය සෝවියට් සභා අතට!” යන සටන් පාඨය පසෙක ලීමට හා “ප‍්‍රතිවිප්ලවවාදී ධනේශ්වරයේ එකාධිපතිත්වය මුලුමනින් කෙලවර කරනු!” යන සටන් පාඨය සම්මත කර ගැනීමට සමුලුව ඒත්තු ගන්වා ගැනීමට ලෙනින්ට හැකි වූයේ යම් දුෂ්කරතාවයන්ගෙන් පසුව පමනෙකි.

අගෝස්තු අවසානයේ කොර්නිලොව්ගේ පරාජයෙන් පසු හා බොල්ශෙවිකයන් පෙට්‍රොග‍්‍රෑඞ් සෝවියට් සභාවේ බහුතරය දිනා ගත් වහාම බොල්ශෙවිකයෝ “සියලු බලය සෝවියට් සභාවලට!” යන සටන් පාඨයට යලිත් පන දුන්හ. කෙසේවෙතත් ලෙනින්, වහා සන්නද්ධ නැගිටීමක් සඳහා වේලාසනින් සූදානම් වීම කෙරේ සියලු ප‍්‍රයත්නයන් සංකේන්ද්‍රනය කල යුතු බවට වන අධිෂ්ඨාන සහගත උද්ඝෝෂනයක් පක්ෂ නායකත්වය තුල දියත් කලේය.

මෙම පරිච්ඡේදය ඔක්තෝබර් විප්ලවයේ වඩාත්ම තීරනාත්මක පාඩම පෙරට ගෙන එයි. එනම්, සමාජවාදී විප්ලවය තුල කම්කරු පන්ති විප්ලවවාදී පක්ෂයේ අතිමහත් වූ ද, අත්‍යවශ්‍යක වූ ද කාර්යභාරය පිලිබඳ පාඩමයි. රුසියානු විප්ලවය තුල පමනක් නොව ලෝක සමාජවාදී විප්ලවය තුල පවා සෝවියට් සභාවලට හිමිවන ලෝක-ඓතිහාසික වැදගත්කම ලෙනින් මුලුමනින්ම හඳුනා ගෙන සිටියේය. ධනේශ්වරය පෙරලා දමා, ධනේශ්වර රාජ්‍යය කුඩු පට්ටම් කොට එය සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු රාජ්‍යයකින් විස්ථාපනය කිරීමට මහජනයාට බලමුලු ගැන්වී ගැනීම සඳහා භාවිත කල හැකි විප්ලවවාදී අවයව ඒවා ය.

එහෙත් ලෙනින් සෝවියට් සභා පරමාදර්ශයන් බවට නැංවූයේ නැත. විප්ලවයට අවශ්‍ය වී තිබුනේ නම්, සම්මුතිවාදීන් ආධිපත්‍යය දැරූ සෝවියට් සභාවලින් බිඳී, කම්හල් කමිටු වැනි අරගලයේ නව අවයව විප්ලවයේ ප‍්‍රමුඛ අවයව ලෙස වර්ධනය කර ගැනීමට ඔහු සූදානම්ව සිටියේය. කරුනු සිදු වූ පරිදි, බොල්ශෙවිකයන් විසින් සම්පාදනය කෙරුනු නායකත්වය සහ පක්ෂය විසින් ධනේශ්වරයේ මෙන්ශේවික් හා සමාජ-විප්ලවකාරී ඒජන්තයන් නිර්දය ලෙස හෙලිදරව් කරනු ලැබීම හේතු කොට ගෙන සෝවියට් සභාවලට සිය විප්ලවවාදී කාර්යභාරය ඉටු කල හැකි විය. බලය ගෙන එය පවත්වා ගනු වස්, කම්කරු පන්තියේ පෙරටු බලඇනියට අවශ්‍ය පැහැදිලි කිරීම් හා සූදානම් කිරීම් සඳහා මෙය තීරනාත්මක විය.

පක්ෂය තුලම දක්ෂිනාංශයට එරෙහිව බොල්ශෙවික් පක්ෂයේ - සහ ට්‍රොට්ස්කිගේ ද සහාය ලද ලෙනින්ගේ - අරගලය නොවන්නට, මෙන්ෂේවිකයන් හා එස්ආර්වරුන් විසින් ගෙන ආ ධනේශ්වරයේ දේශපාලන පීඩනය පරාජය කිරීමට සෝවියට් සභා අසමත් වනු ඇති අතර, ඒවා කුඩුපට්ටම් කර දැමිය හැකිව තිබින.

සෝවියට් සභාවලට එරෙහිව මිලිටරි කඩා පැනීමක් සඳහා කොර්නිලොව් සමග පිඹුරුපත් සකසා සිටි කෙරෙන්ස්කි, ජනරාල්වරයා වෙතින් බිඳී වෙන්වූයේ අගෝස්තු 27 කුමන්ත‍්‍රනය සිදු වූ සන්ධ්‍යාවේය. ඒ, තමා ද බලයෙන් පහ කර දැමීමට කොර්නිලොව් අපේක්ෂා කරතැයි ඔහුට රහස් තොරතුරු ලැබුනු කල්හිය. කොර්නිලොව් ජය ගතහොත් තමන්ට දංගෙඩියට ගෙල තැබීමට සිදුවෙතැයි භීතියට පත් පෙට්‍රොග‍්‍රෑඞ් සෝවියට් සභා නායකයෝ, කම්කරුවන් සන්නද්ධ කිරීමටත්, කුමන්ත‍්‍රනය කුඩු කර දැමීමට ඔවුන් බලමුලු ගැන්වීමටත් උද්ඝෝෂනයක් නිල වශයෙන්ම ආරම්භ කලෝය. මෙම කටයුත්තේදී බොල්ශෙවිකයෝ නායක කාර්යභාරය ඉටු කලෝය.

එහෙත් තාවකාලික ආන්ඩුවට හා සෝවියට් නායකත්වයේ සම්මුතිවාදීන්ට එරෙහිව බොල්ශෙවිකයන්ගේ දේශපාලන අරගලයෙන් අධ්‍යාපනය ලැබ සිටි පෙට්‍රොග‍්‍රෑඞ් කම්කරුවෝ හා සෙබලු, රතු හමුදාව සංවිධානය කිරීම සඳහා ද, කොර්නිලොව් විසින් බලමුලු ගන්වන ලද ප‍්‍රධාන හමුදා භට ඛන්ඩයන් ජනරාල්වරයා අත්හැර යාමට නම්මා ගැනීම සඳහා ද, තුමූ ම දැවැන්ත ප‍්‍රාරම්භකත්වයක් ගත්හ. යුද පෙරමුනේ සිට කවර හෝ භට සේනාවක් අගනුවරට ඇතුලුවීමට පෙරාතුවම කුමන්ත‍්‍රනය බිඳ වැටිනි.

කොර්නිලොව් සිද්ධියෙන් පසු, “රජය හා විප්ලවය” සම්පූර්න කරමින් සිටි කාලයේ ලෙනින්, ඔහුගේ න්‍යායික කටයුතු හා එලැඹ පැවැති ප‍්‍රායෝගික කර්තව්‍යයන් අතරසෘජු සම්බන්ධය ප‍්‍රකාශයට පත් කල, “විප්ලවයේ මූලික ගැටලු අතරින් එකක්” නම් ලිපියක් ලිවීය. (සැප්තැම්බර් 7 හෝ 8 වන දින ලියන ලද එය සැප්තැම්බර් 14 වන දින පලකෙරින) ඔහු මෙසේ ලිවීය:

රාජ්‍ය බලය සම්බන්ධ ප්‍රශ්නය මග හැර යාමට හෝ පසෙකට තල්ලු කර දැමීමට නොහැක, මක්නිසාදයත්, විප්ලවයක වර්ධනය තුල දී සියල්ල නිර්නය කරන ප‍්‍රමුඛ ගැටලුව වන්නේ එය නිසාය....

කෙසේවෙතත් “සෝවියට් සභාවලට බලය” යන සටන්පාඨය, බොහොමයක් අවස්ථාවන්හිදී නොවේනම් නිරතුරුව, බෙහෙවින් සාවද්‍ය ආකාරයෙන් “සෝවියට් බහුතරය හිමි පක්ෂවල කැබිනට් මන්ඩලයක්....” (“සෝවියට් සභාවලට [වැඩි] බලය[ක් නැත]”) යන අදහස දෙන පරිදි භාවිත කෙරේ. සෝවියට් සභාවලට බලය” යන්නෙන් අදහස් කෙරෙන්නේ සමස්ත පැරනි රාජ්‍ය යන්ත‍්‍රය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සියල්ල අවහිර කරන එම නිලධාරිවාදී මෙවලම, රැඩිකල් ආකාරයෙන් මුලුමනින්ම ප‍්‍රතිනිර්මානය කිරීමයි. ඉන් අදහස් වන්නේ මෙම යන්ත‍්‍රය ඉවත් කොට ඒ වෙනුවට නව ජනප්‍රිය උපකරනයක් -එනම්, සෝවියට් සභාවන්හි සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී උපකරනය; එනම්, ජනයාගේ සංවිධිත හා සන්නද්ධ බහුතරය; කම්කරුවන්, සෙබලුන් හා ගොවීන්- ආදේශ කිරීමයි. ඉන් අදහස් වන්නේ හුදු නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේදී පමනක් නොව රාජ්‍ය පරිපාලනයේ දී ද, ප‍්‍රතිසංස්කරන හා අනේකවිධ තවත් වෙනස්කම් වලදී ද ජනයාගේ බහුතරයේ ප‍්‍රාරම්භකත්වයට හා ස්වාධීනත්වයට අවකාශ සැලසීමයි. 10

කම්කරු පන්තිය, සමාජවාදී විප්ලවය හා රාජ්‍යය

අපි දැන් ලෙනින්ගේ රජය හා විප්ලවයේ සාරය විමසා බලමු.

රාජ්‍යය පිලිබඳව සහ රාජ්‍යය සම්බන්ධයෙන් නිර්ධන පන්ති විප්ලවයේ කර්තව්‍යයන් පිලිබඳව මාක්ස් හා එංගල්ස්ගේ මූලික උගැන්වීම් පහත එන පරිදි සංක්ෂිප්තව දැක්විය හැකිය:

* සූරාකනු ලබන පන්ති මැඩලීම සඳහා පාලන පන්තියක උපකරනයක් ලෙස සෑම රාජ්‍යයකම කාර්යභාරය;

* කම්කරු පන්තිය ධනපති රාජ්‍ය යන්ත‍්‍රය පෙරලා කුඩුපට්ටම් කර දමා, ධනේශ්වර ආඥාදායකත්වය වෙනුවට නිර්ධන පන්ති ආඥාදායකත්වය (එනම්, කම්කරු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්* තහවුරු කිරීමේ අවශ්‍යතාවය;

* මෙම කර්තව්‍යය ඉටු කිරීම සඳහා කම්කරු පන්තිය බලය යෙදීමේ අවශ්‍ය තාවය;

* පෙරලා දමන ලද පාලක පන්තියේ ප‍්‍රතිරෝධය සිඳබිඳ දමා, සමාජවාදී සන්දර්භයේ සිට, පන්ති විභේදනයන් අහෝසි වී ඇති හා ”සැමට තම කාර්යයට අනුව” යන මූලධර්මය ”සැමගෙන් තම හැකියාවට අනුව, සැමට සිය අවශ්‍යතාවයට අනුව” යන මූලධර්මයෙන් අවලංගු කෙරෙන, කොමියුනිස්ට්වාදය කරා සංක‍්‍රමනයට පදනම දැමීමේ නිර්ධන පන්ති ආඥාදායකත්වයේ කාර්යභාරය;

* කොමියුනිස්ට්වාදය යටතේ රාජ්‍යය තෙමේම ක්ෂය වී යාම.

ලෙනින් “රජය හා විප්ලවය” ලියන කාලපරිච්ඡේදය මෙම සංකල්ප සමාජවාදී ව්‍යාපාරය තුලම බොහෝ සෙයින් විසංවාදයන්ට තුඩු දී පැවතින.

දශක ගනනාවක පටන් ඒවා අවස්ථාවාදී හා මාධ්‍යමික කොටස්වල ක‍්‍රමානුකුල ප‍්‍රහාරයන්ට භාජනය වෙමින් තිබින. එකී ප‍්‍රහාර වඩාත් ප‍්‍රකට ලෙස ආරම්භ වූයේ 1899 දී එඩුවාර්ඞ් බර්න්ස්ටීන්ගේ “සමාජවාදය සඳහා පූර්ව කොන්දේසි” නම් සංශෝධනවාදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පල වූ කල්හිය. විප්ලවය පිලිබඳ මාක්ස්වාදී සංකල්පය විවෘතවම ප‍්‍රතික්ෂේප කල බර්න්ස්ටීන්, පාර්ලිමේන්තුව හරහා අත්පත් කර ගැනෙන ක‍්‍රමානුකුල සමාජ ප‍්‍රතිසංස්කරන මගින් කම්කරු පන්තියට සමාජවාදය දිනා ගත හැකියැයි තර්ක කලේය. නිර්ධන පන්ති ආඥාදායකත්වය පිලිබඳ මාක්ස්ගේ සංකල්පය ලූවී බ්ලාන්කි විසින් අනුදන්නා ලද කුමන්ත‍්‍රනයේ හා බලග‍්‍රහනයේ විධික‍්‍රම වැලඳ ගැනීමක් ලෙස හඳුන්වමින් ඔහු ඊට පහර දුන්නේය.

එහෙත් රාජ්‍යය පිලිබඳ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වූ ව්‍යාකුලතාවය 1875 දී ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පිහිටුවීමේ දී ම සලකුනු වූවකි. පක්ෂයේ ප‍්‍රාරම්භක වැඩපිලිවෙල වූ ගෝතා වැඩපිලිවෙල පිලිබඳ මාක්ස්ගේ සුප‍්‍රකට විවේචනය තුල ඔහු, “ජනතාවගේ නිදහස් රාජ්‍යයක්” සඳහා වූ එහි කැඳවීම පතුරු ගැසුවේය. මෙම සටන්පාඨය විප්ලවයෙන් ගොඩනගනු ලබන රාජ්‍යයේ පන්ති ස්වභාවය හුදෙක් අර්ථ දැක්වීමකින් තොරවම අත් හැර දැමුවා පමනක් නොවේ, “ජනතාවගේ” යන අවිශද පදය පසුපසින් එය, නව රාජ්‍යය සියලු පන්ති බලපෑම් වලින් “නිදහස්” එකක් වනු ඇතැයි යෝජනා කලේය - මේ වූ කලි කවර රාජ්‍යයක් සම්බන්ධයෙන් වුව නොසිදුවිය හැක්කකි.

ලෙනින් ”රජය හා විප්ලවය”හි පෙන්වා දෙන පරිදි, මාක්ස්ගේ විවේචනයන්හි නිරවද්‍යතාවය ජර්මානු එස්පීඞී නායකත්වය විසින් රූපික ලෙස පිලිගන්නා ලද නමුදු ඒ බව නොතකා, 1886 දී පක්ෂ නායක ඕගස්ට් බෙබෙල් “අපේ අරමුනු” මැයෙන් 1872 දී නිකුත් කල, පහත දැක්වෙන පාඨය ඇතුලත් වන සිය පුස්තිකාව කිසිදු වෙනසකින් තොරව යලි පල කලේය: “තවද ඒ අනුව රාජ්‍යය, පන්ති පාලනය මත පදනම් වූවක සිට ජනතා රාජ්‍යයක් බවට පරිවර්තනය කෙරේ.”

ඉහතදී සඳහන් කෙරුනු පරිදි මෙන්ෂේවිකයෝ, යුද්ධයට හා ධනපති තාවකාලික ආන්ඩුවට දැක්වූ සිය සහයෝගය සාධාරනීකරනය කරනු වස් සහ ධනපති රාජ්‍යය පෙරලා දමා කම්කරු රාජ්‍යයක් පිහිටුවීම සඳහා සෝවියට් සභා භාවිතා කිරීමට එරෙහි වනු වස්, රාජ්‍යය පිලිබඳ මාක්ස්වාදී සංකල්පයේ විකෘතිකරනයන් සිදු කලෝය.

ලෙනින් “රජය හා විප්ලවය”හි සිය ප‍්‍රථම පරිච්ඡේදය වෙන් කරන්නේ, මාක්ස් හා එංගල්ස් මානව ශිෂ්ඨාචාරයේ පරිනාමය පිලිබඳ අධ්‍යයනය කිරීමෙහි ලා ඓතිහාසික භෞතිකවාදය භාවිතා කිරීම හරහා තත්භව කර ගන්නා ලද රාජ්‍යය පිලිබඳ මූලික සංකල්පයන් පිලිබඳව එංගල්ස්ගෙන් සවිස්තරාත්මක උපුටා දැක්වීම් ඉදිරිපත් කෙරෙන ඵලදායී අනාවරනයකටය.

ලෙනින් මෙහිදී එංගල්ස්ගේ “පවුල, පෞද්ගලික දේපල හා රාජ්‍යයේ සම්භවය (1884)” කෘතියෙන් සහ ඇන්ටි ඩූරිංහි තුන්වන සංස්කරනය (1894)ට ඔහු ලියූ සංඥාපනයෙන් ද උපුටා දක්වයි. මෙහිදී කල හැක්කේ මෙම පරිච්ඡේදය ගැබ් වී ඇති ප‍්‍රධාන සංකල්ප සංක්ෂිප්ත ආකාරයකින් ඉදිරිපත් කිරීම පමනෙකි.

පලමුවැන්න: රාජ්‍ය යනු සදාකාලිකව පැවැත ආවක් නොවේ. ජනයාට ඉහලින් පවත්නා රාජ්‍ය බලයක් පිලිබඳ කිසිවක් නොදන්නා ආදිකල්පික සමාජ පැවතින. රාජ්‍යයේ පැවැත්ම ආරම්භ වූයේ සමාජය සමහන් කල නොහෙන ආකාරයෙන් ප‍්‍රතිවාදී වූ සමාජ පන්තිවලට බෙදී ගිය කල්හිය. සුවිශේෂී පොදු බලයක් අවශ්‍ය වූයේ, එංගල්ස්ගේ වචනවලින් කිවහොත්, “පන්තිවලට භේද වී ගිය තැන පටන් ජනයාගේ ස්වයං-ක්‍රියාකාරී සන්නද්ධ සංවිධානය යනු නොපැවැතිය හැක්කක් බවට පත් වූ කල්හිය.” පන්ති ගැටුම විසින් සමාජය වනසා ලීම වලක්වනු පිනිස ”එම ගැටුමේ තීව‍්‍රතාවය අඩු කොට එය “පටිපාටියේ” සීමාවන් තුල රඳවා තබා ගැනීමට, සමාජයට ඉහලින් පිහිටා ඇති සේ පෙනී යන්නා වූ බලයක් පැවතීම අත්‍යවශ්‍ය විය.”

මීලඟට ලෙනින් රාජ්‍යය පිලිබඳ මෙම සංකල්පයේ මාදිලි දෙකක විකෘතිකරනය හා මුසාකරනයට එරෙහිව තර්ක කරයි. ධනේශ්වර හා සුලු ධනේශ්වර දෘෂ්ඨිවාදින් විසින් ඉදිරිපත් කරනු ලබන ඉන් වඩාත් ගොරහැඩි මාදිලිය කියා සිටින්නේ රාජ්‍යය පන්ති සාමදානය සඳහා වූ අංගයක් බවයි. මීට පටහැනිව එංගල්ස් උපුටා දක්වන ලෙනින් ඊට මෙසේ ද එක් කරයි: “මාක්ස්ට අනුව, රාජ්‍යය යනු පන්ති ආධිපත්‍යයේ අංගයකි, එක් පන්තියක් විසින් තවත් පන්තියක් මර්දනය කිරීමේ අංගයකි; එහි අභිප‍්‍රාය වන්නේ, පන්ති අතර ඝට්ඨනය නියාමනය කිරීම මගින් මෙකී මර්දනය නීත්‍යානුකුල හා චිරස්ථායී බවට පත් කෙරෙන ‘පටිපාටියක්’ නිර්මානය කිරීමයි.”

මේ හැරුනු කොට මාක්ස් හා එංගල්ස් පිලිබඳ වඩාත් සියුම් හා දුරවබෝධ වූ ද, ද්‍රෝහී ලෙස සැඟවී ඇත්තා වූ ද “කෞට්ස්කිවාදී” විකෘතිකරනය ද පවතී. එය රාජ්‍යය යනු පන්ති ආධිපත්‍යයේ අංගයකැයි පිලිගන්නා නමුදු, එම කරුනෙන් තර්කානුකුලව ඉස්මතු වෙන සහ 1848 විප්ලවයන්ගෙන් හා 1871 පැරිස් කොමියුනයෙන් මාක්ස් හා එංගල්ස් විසින්මත් නිශ්චිත ලෙස උකහා ගන්නා ලද නිගමන “අමතක කරයි”; නැතහොත් ඒවා ‘මගහැර යයි’. මේ නිගමන වන්නේ; (ලෙනින්ගේම වචනවලින් කිවහොත්) “ප‍්‍රචන්ඩ විප්ලවයකින් තොරව පමනක් නොව, පාලක පන්තිය විසින් නිර්මානය කරන ලද රාජ්‍ය බලයේ උපකරන කුඩුපට්ටම් කර දැමීමෙන් ද තොරව, පීඩිත පන්තියේ විමුක්තිය දිනා ගත නොහැකිය....” 11 යන්නයි.

දෙවැන්න: පාලක පන්තිය විසින් සූරාකනු ලැබෙන පන්තිය මර්දනය කිරීම සඳහා වූ යන්ත‍්‍රනයක් ලෙස සෑම රාජ්‍යයක්ම, එංගල්ස් එය හැඳින්වූ ආකාරයෙන් කිවහොත්, “පොදු බලයක්” පිහිටුවයි. එය ඉඳුරාම, “හුදෙක් සන්නද්ධ මිනිසුන්ගෙන් පමනක් නොව, ගෝත්‍රික ජන සමාජය කිසිවක් හෝ නොදැන සිටි ද්‍රව්‍ය මය අනුබද්ධයන් -සිරගෙවල්, හා සියලු ආකාරයන්හි බලහත්කාරයේ ආයතන වලින්- දල සමන්විත වේ. ස්ථාවර හමුදාවක් හා පොලිසිය රාජ්‍ය බලයේ ප‍්‍රධාන උපකරන වේ.

පාර්ලිමේන්තුවක්, “නිදහස් මාධ්‍ය” ආදිය සහිත ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමූහාන්ඩු ද ඇතුලත් ව, ධනේශ්වර ක‍්‍රමය යටතේ වුව මෙය පන්ති සමාජයේ ඊට ඉහත පැවැති සියලු අදියරයන්ට වඩා නොඅඩු ලෙස සත්‍ය වන්නකි. ලෙනින් මෙසේ පැහැදිලි කරයි: “සූරාකෑමේ ඉන්ද්‍රියයන් ලෙස පැවැතියේ, වහලුන් හා ප‍්‍රවේනිදාසයන් සූරාකෑමේ අංගයන් වූ පැරනි හා වැඩවසම් රාජ්‍ය පමනක් නොවේ. [එංගල්ස් උපුටා දක්වමින්] “නවීන නියෝජිත ක‍්‍රමය පවතින රාජ්‍යය ද ප‍්‍රාග්ධනය විසින් වැටුප්-ශ‍්‍රමය සූරාකෑමේ උපකරනයයි...”’

ලෙනින් සැබවින්ම මෙසේ ද ලියයි: “ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් යනු ධනේශ්වරයට පැවැතිය හැකි ප‍්‍රශස්තතම පිටකටුවයි.... සර්වජන ඡන්ද බලය ධනපති ආධිපත්‍යයේ උපායයක් ලෙස එංගල්ස් නිශ්චිතවම සැලකූ බැව් අප මෙහිදී සිහි තබා ගත යුතුය. ඔහුට අනුව, සර්වජන ඡන්ද බලය.... යනු කම්කරු පන්තියේ පරිනතභාවයේ දර්ශකයකි; නවීන රාජ්‍යයක් තුල ඊට එයට වඩා වැඩි යමක් විය නොහැකිය. කිසිදා එසේ නොවනු ද ඇත.” 12

තුන්වැන්න: ධනේශ්වර ක‍්‍රමය අවසන් කොට සමාජවාදය ගොඩනැගීම ආරම්භ කිරීමත්, සියලු පන්ති සූරාකෑම් අහෝසි කිරීමත් සඳහා කම්කරු පන්තිය ධනපති රාජ්‍යය පෙරලා දමා එය සුනුවිසුනු කොට කම්කරු රාජ්‍යයක් පිහිටුවයි. මෙය ඉතිහාසය තුල සුලුතරයකට එරෙහිව බහුතරයේ උපකරනය බවට පත් වන ප‍්‍රථම රාජ්‍යයයි. එය, රුසියාවේ සෝවියට් සභා බඳු, වැඩකරන ජනයාගේ බලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී, ස්වයං-ක්‍රියාකාරී ඉන්ද්‍රියයන් මත පදනම් වූ සන්නද්ධ කම්කරු පන්තියේ රාජ්‍යය යි. එය ධනපති ක‍්‍රමය යටතේ පවතින, ධනවතුන්ට ප‍්‍රජාතන්ත‍්‍ර වාදයක් හා දුගීන්ට මර්දනයක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කෲර රැවටිල්ලට එරෙහිව, මහජනයා සඳහා සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවනු ඇත.

ඉතිහාසයේ ඉහත පැවැති රාජ්‍ය මෙන් නොව මෙම රාජ්‍යය, පන්ති රහිත සමාජයක් කරා පරිවර්තනයේ ද, එබැවින්ම රාජ්‍යයේ අවසානයේ ද පෙර ගමන්කරුවා වෙයි. මක්නිසාදයත්, ඉන් ඉදිරියට රාජ්‍යය සඳහා සමාජ අවශ්‍යතාවයක් නොපවත්නා හෙයිනි. ඇන්ටි-ඩූරිංහි තුන්වන සංස්කරනය (1894) එංගල්ස් ලිවූ සංඥාපනයෙන් ලෙනින් උපුටා දක්වයි. එහි එංගල්ස් මෙසේ ලියයි:

සමස්ත සමාජයේ නියෝජිතයා ලෙස රාජ්‍යය ඇත්තෙන්ම කරන පලමු ක්‍රියාව - එනම්, සමාජයේ නාමයෙන් නිෂ්පාදන මාර්ග අත්පත් කර ගැනීම - එම විටම, රාජ්‍යයක් ලෙස එහි අවසාන ස්වාධීන ක්‍රියාව ද වෙයි. සමාජ සම්බන්ධතා තුල රාජ්‍ය මැදිහත්වීම, විෂය පථයන් එකක් එකක් පාසා, වැඩිමනත් දෙයක් බවට පත් වනු ඇති අතර, ඉනික්බිති එය තුමූ ම අවසානයකට එලඹෙනු ඇත. පුද්ගලයන් ආන්ඩු කිරීම දේවල් පරිපාලනය කිරීම හා නිෂ්පාදන ක්‍රියාවලීන්හි චර්යාවන් මගින් විස්ථාපනය වනු ඇත. රාජ්‍යය “අහෝසි කරනු” නොලැබේ. එය හුදෙක් වියැකී යනු ඇත. 13

කම්කරු පන්තියේ ආස්ථානයෙන් - එනම් වමේ - සිට නොව, ධනේශ්වරයේ හා එහි රාජ්‍යයේ ආස්ථානයෙන් - එනම් දකුනෙන් -අරාජිකවාදීන්ට පහර දීම සඳහා මෙකී ෙඡ්දය හා මාක්ස් සහ එංගල්ස්ගේ ඊට සමරූපී ඡේද උපුටා දක්වමින්, “නූතන සමාජවාදී පක්ෂ” ලෙස ඔහු සඳහන් කරන පක්ෂ විසින් බහුලව සිදුකරනු ලබන විකෘතිකරනයට ලෙනින් පහර දෙයි. රාජ්‍යය වහා අහෝසි කරන ලෙස අරාජිකවාදීන් මතු කරන ඉල්ලීමට ප‍්‍රතිකූලව ඔවුහු, තමන් මාක්ස් හා එංගල්ස්ගේ ආනුභාවය යටතේ කි‍්‍රයාකරන බැව් අඟවමින්, ඔවුන්ගෙන් උපුටා දක්වා, රාජ්‍යය අහෝසි නොකෙරෙන බවත් එය හුදෙක් වියැකී යන බවත් නිවේදනය කරති.

ලෙනින් මෙසේ ලියයි: “කරුනු වශයෙන් ගත් කල එංගල්ස් මෙහිදී කථා කරන්නේ නිර්ධන පන්ති විප්ලවය මගින් ධනේශ්වර රාජ්‍යය විනාශ කිරීම පිලිබඳවය. එහි වියැකී යාම පිලිබඳ වචන යොමු කෙරෙන්නේ සමාජවාදී විප්ලවයෙන් පසුව ඇති කෙරෙන නිර්ධන පන්තියේ රාජ්‍යත්වයේ නෂ්ඨාවශේෂයන් කෙරේය. එංගල්ස්ට අනුව ධනේශ්වර රාජ්‍යය ‘වියැකී’ නොයන අතර, එය නිර්ධන පන්තිය විසින් විප්ලවයේ ගමන් මග තුල ‘අවසන් කර දැමිය’ යුතුය. විප්ලවයෙන් පසු වියැකී යන්නේ නිර්ධන පන්තියේ රාජ්‍යය හෝ අර්ධ-රාජ්‍යයයි.” 14

1847 කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ සිට 1848 සහ 1851 අතරතුර ප‍්‍රන්සයේ විප්ලවවාදී අරගල පිලිබඳ මාක්ස්ගේ හා එංගල්ස්ගේ ලේඛන (ප‍්‍රන්සය තුල පන්ති අරගල සහ ලූවී නැපෝලියන්ගේ දහඅට වැනි බෲමරය) සහ පැරිස් කොමියුනය පිලිබඳ ඔවුන්ගේ ලේඛන (ප‍්‍රන්සයේ සිවිල් යුද්ධය) සහ තදනන්තර විවරන දක්වා ඔවුන්ගේ සංකල්ප පරිනාමනය වීම සහ සංයුක්තවීම පිරික්සා බැලීමේ ආස්ථානයේ හිඳිමින්, රාජ්‍යය පිලිබඳ මාක්ස්ගේ හා එංගල්ස්ගේ ලේඛන ප‍්‍රවේශමින් විමසා බැලීමට ලෙනින් ‘රජය හා විප්ලවය’හි වැදගත් කොටසක් වෙන් කරයි.

මෙකී මූලෝපායාත්මක විප්ලවවාදී අත්දැකීම් පිලිබඳ විශ්ලේෂනයක් තුලින් මාක්ස්, රාජ්‍ය බලය සඳහා කම්කරු පන්තියේ අරගලය ද එය විසින් පිහිටුවනු ඇති රාජ්‍යයේ ස්වභාවය ද පිලිබඳ සිය අවබෝධය ගැඹුරු කෙරෙන දේශපාලන පාඩම් උපුටා ගත් බැව් ඔහු තරයේ කියා සිටී. රාජ්‍යය පිලිබඳව මාක්ස් හා එංගල්ස්ගේ පරිනාමනය වෙමින් පැවැති සංකල්පවලට මග පෙන්වූ විද්‍යාත්මක, භෞතිකවාදී, ඓතිහාසික හා විධික‍්‍රමික ප‍්‍රවිෂ්ටය පිලිබඳ ප‍්‍රශ්නය ලෙනින් නිශ්චිත ලෙස මතු කරයි. 1848 ප‍්‍රන්ස විප්ලවයෙන් ඉක්බිති, රාජ්‍යය පිලිබඳ මාක්ස්ගේ ලේඛනවල වර්ධනය සාකච්ඡා කරමින් ඔහු මෙසේ සඳහන් කරයි:

ඔහුගේ අපෝහක භෞතිකවාදී දර්ශනයට අනුවම යමින් මාක්ස්, 1848-1851 මහා විප්ලවවාදී වර්ෂවල අත්දැකීම් සිය පදනම කොට ගනී. සෑම තැනෙකදීම මෙන්ම මෙහිදී ද ඔහුගේ උගැන්වීම වන්නේ, ප‍්‍රගාඪ දාර්ශනික ලෝක - සංකල්පයකින් හා ඉතිහාසය පිලිබඳ සාරවත් දැනුමකින් ද ආලෝකවත් කරන ලද අත්දැකීම්වල සංක්ෂිප්තකරනයයි. 15

ප‍්‍රන්සයේ සිවිල් යුද්ධය කෘතිය තුල පැරිස් කොමියුනය පිලිබඳ මාක්ස්ගේ ලේඛන සම්බන්ධ තම සමාලෝචනයෙහි ලෙනින් මෙසේ අදහස් දක්වයි:

මෙසේ නිර්ධන පන්තිය පාලක පන්තිය ලෙස සංවිධානය වීමේ දී එය කවර නිශ්චිත ආකෘතියක් ඇති කර ගනු ඇත්ද සහ මෙම සංවිධානය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වඩාත්ම පරිපූර්න, වඩාත්ම සංගත සංස්ථාපනයත් සමග කවර නිශ්චිත ආකාරයකින් සංයෝග වේද යන ප‍්‍රශ්නයට පිලිතුරු සම්පාදනය කිරීම සඳහා මාක්ස් යුටෝපියාවන් සේවනය නොකොට, මහජන ව්‍යාපාරයේ අත්දැකීම් ඊට පිලිතුරු සපයන තුරු පොරොත්තුව සිටියේය. 16

සමාජවාදී විප්ලවය යනු එහි නියාමයන් අනාවරනය කර ගත හැකි හා කම්කරු පන්තියේ විප්ලවවාදී මූලෝපාය සහ උපායයන් වෙත එකී නියාමයන් යෙදවිය හැකි වෛෂයික ඓතිහාසික ක්‍රියාවලියක් ලෙස සලකා කටයුතු කිරීමේ මෙම බරසාර විද්‍යාත්මක ප‍්‍රවිෂ්ටයට, රජය හා විප්ලවය කෘතිය අනගි උදාහරනයක් සපයයි. සැඟවී සිටිමින් ද, විප්ලවයේ හෝ ප‍්‍රතිවිප්ලවයේ විකල්පයන්ට මුහුන දෙමින් ද ලෙනින් සෝවියට් බලය සඳහා අරගලය පිලිබඳ ප‍්‍රශ්නයට ප‍්‍රවිෂ්ට වූයේ එපරිද්දෙනි.

මෙම සන්දර්භය තුල, මෙම දේශන මාලාවේ ආරම්භක දේශනය වූ “රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන්ද?” යන මැයෙන් ඬේවිඞ් නෝර්ත් විසින් පවත්වන ලද දෙසුම තුල ඇතුලත් සත් වන හේතුව යලි සිහිපත් කර ගැනීම වටී.

රුසියානු විප්ලවය විද්‍යාත්මක සමාජ චින්තනයේ වර්ධනයෙහි තීරක සිද්ධියක් ලෙස බරපතල අධ්‍යයනයක් ඉල්ලා සිටී. 1917 දී බොල්ශෙවිකයන්ගේ ඓතිහාසික ජයග‍්‍රහනය විදර්ශනය කලේ ද සාක්ෂාත් කලේ ද විද්‍යාත්මක භෞතිකවාදී දර්ශනවාදය සහ විප්ලවවාදී භාවිතය අතර වන සාරභූත සම්බන්ධතාවයයි. 17

1848 හා 1871 විප්ලව සම්බන්ධයෙන් මාක්ස් හා එංගල්ස්ගේ ලේඛන පිලිබඳ තම විචාරය ලෙනින් ආරම්භ කරන්නේ 1848 යුරෝපාකරයේ විප්ලවයන් එලඹීමට තදාසන්නව ලියන ලද කොමියුනිස්ට් ප‍්‍රකාශනයෙන් උපුටා දක්වමිනි. එය ‘ධනේශ්වරය ප‍්‍රචන්ඩ ආකාරයෙන් පෙරලා දැමීම’ මගින් ‘(බලය) නිර්ධන පන්තිය වෙත නතු කර ගැනීමේ පදනම’ දැමීම පිලිබඳව කථා කරමින්, එහි ප‍්‍රතිඵල වශයෙන් ඇති වන රාජ්‍යය ‘පාලක පන්තිය ලෙස සංවිධානය වූ නිර්ධන පන්තිය’ ලෙස ගුනාංගීකරනය කරයි.

1848 පැරීසියේ කම්කරු පන්තියේ නැගිටීමෙන් හා සමූහාන්ඩුවාදී ධනපතියන් එය ලෙයින් පොඟවා මැඩලීමෙන් ද, ඉනික්බිති 1851 දෙසැම්බරයේ ලූවී නැපෝලියන්ගේ කුමන්ත‍්‍රනයෙන් ද මාක්ස් බොහෝ දිගදුර යන නිගමන උකහා ගත්තේය. දහඅටවන බෲමරයේදී ඔහු, “සියලු විප්ලව මෙම [රාජ්‍ය] යන්ත‍්‍රය බිඳ දමනු වෙනුවට එය පරිපූර්නත්වයට නැංවීයැ”යි ලියූවේ කම්කරු පන්තියට ධනේශ්වර රාජ්‍යය බිඳහෙලීමට සිදුවනු ඇතැයි ව්‍යංගයෙන් පවසමිනි.

මෙම වාක්‍යය පිලිබඳව සඳහන් කරමින් 1871 අප්‍රේල් මස, කොමියුනය ජීවමානව තිබියදී, මාක්ස් ලුවී කුගෙල්මාන්ට ලිපියක් යවමින් මෙසේ පැවසීය:

ඔබ මගේ දහඅටවන බෲමරයෙහි අවසාන පරිච්ෙඡ්දය දෙස බැලුවහොත්, ප‍්‍රන්ස විප්ලවයේ මීලඟ ප‍්‍රයත්නය විය යුත්තේ: ඉහත දී සිදු වූ පරිදි නිලධර හා මිලිටරි යන්ත‍්‍රය එක් අතෙකින් අනෙක් අතට මාරු කිරීම නොව, එය බිඳ දැමීම බව මා ප‍්‍රකාශ කොට ඇති බැව් ඔබ දකිනු ඇත. තවද, මහාද්වීපය තුල කවර හෝ සැබෑ ජනතා විප්ලවයක් සඳහා පූර්ව කොන්දේසිය වන්නේ එයයි. පැරීසියේ අපේ පක්ෂයේ වීරෝදාර සහෝදරවරුන් ප‍්‍රයත්න දරා ඇත්තේ ඒ සඳහාය. 18

නිර්ධන පන්ති විප්ලවයට ධනේශ්වර ප‍්‍රතිවිප්ලවය මැඩ පැවැත්වීම සඳහා මෙන්ම පූර්න සමාජවාදය හා කොමියුනිස්ට්වාදය කරා පරිවර්තනය වීමේ කොන්දේසි නිර්මානය කරගැනීම සඳහා, ධනේශ්වර පාර්ලිමේන්තුවාදයේ දූෂිත ව්‍යූහයන් ද ඇතුලුව පැරනි ධනේශ්වර රාජ්‍යය බිඳ දමා, ඒ වෙනුවට ඊට මුලුමනින්ම වෙනස් ස්වභාවයක විප්ලවවාදී නිර්ධන පන්ති ප‍්‍රජාතන්ත‍්‍රයක් ගොඩ නැගීමට සිදුවනු ඇත යන මාක්ස්ගේ නිශ්චය පැරිස් කොමියුනයෙන් ද, එය එය ලේ වැකි මර්දනයක ගිල්වා දැමීමෙන් ද තවදුරටත් ශක්තිමත් කෙරින.

“නිර්ධන පන්ති ආඥාදායකත්වය” යන යෙදුම මාක්ස් මුලින්ම යෙදුවේ ජෝසෆ් වේදෙමෙයර්ට ලියූ, 1852 මාර්තු 5 දාතම දරන ලිපියකය. එහි ඔහු මෙසේ ලිවීය:

මගේ කොටස ලෙස අලුතින් කල යුතුව තිබුනේ පහත දැක්වෙන දේ ඔප්පු කිරීමයි: (1) පන්තිවල පැවැත්ම සම්බන්ධ වී ඇත්තේ නිෂ්පාදනයේ වර්ධනයෙන් පැන නගින යම් නිශ්චිත ඓතිහාසික අරගලයන් සමග පමනක් බව; (2)පන්ති අරගලය අත්‍යවශ්‍යවම නිර්ධන පන්තියේ ආඥාදායකත්වයට මග පාදන බව; (3) මෙම ආඥාදායකත්වයමත් සියලු පන්ති අහෝසි කිරීමේ හා පන්ති රහිත සමාජයක් කරා යාමේ සංක‍්‍රමනීය එකක් බව. 19

“නිර්ධන පන්තියේ ආඥාදායකත්වය” යන යෙදුම සම්බන්ධයෙන් ලෙනින් 1818 දී ‘ප‍්‍රන්සයේ සිවිල් යුද්ධය’ කෘතියේ තුන්වන සංස්කරනයට 1891 දී එංගල්ස් ලියූ සංඥාපනයෙන් උපුටා දක්වයි:

කෙසේවෙතත් යථාර්ථයේ දී රාජ්‍යය යනු එක් පන්තියක් තවෙකක් අතින් මර්දනයට ලක් වීමේ යන්ත‍්‍රයකට වැඩි යමක් නොවන අතර, සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක දී ද එම තතු එපරිද්දෙන්ම පවතින්නේ රාජාන්ඩුවකට කිසිසේත් නොඅඩු ලෙසය....

මෑතකදී, ජර්මානු පිලිස්තීනුවෝ යලිත් වරක් ‘නිර්ධන පන්ති ආඥාදායකත්වය’ යන වචන කෙරේ සදාචාරාත්මක භීතියකින් මුසපත්ව සිටිති. හොඳයි මහත්වරුනි, එම ආඥාදායකත්වය කුමක් වැනිදැයි දැන ගැනීමට ඔබට අවශ්‍ය ද? පැරිස් කොමියුනය දෙස බලන්න. එය නිර්ධන පන්ති ආඥාදායකත්වයයි. 20

ලෙනින් පෙන්වා දෙන පරිදි, ප‍්‍රන්සයේ සිවිල් යුද්ධය කෘතිය තුල මාක්ස්, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ධනේශ්වර පාර්ලිමේන්තුවාදයත්, කොමියුනාර්ඞ්වරුන් ගොඩනැගීමට පටන් ගත් රාජ්‍යයත් අතර ඇති මූලික වෙනස හා ප‍්‍රතිවිරුද්ධතාව අවධාරනය කොට දක්වයි. “කොමියුනයේ පලමු නියෝගය වූයේ.... ස්ථාවර හමුදාව මිරිකා හැරීම සහ ඒ වෙනුවට සන්නද්ධ ජනයා ආදේශ කිරීමයි,” මාක්ස් ලියයි. පොලිසිය “වගකීමෙන් බැඳුනු සහ ඕනෑම අවස්ථාවක අහෝසි කල හැකි” කොමියුනයේ නියෝජිතයන් බවට හරවන ලදී.

මාක්ස් විසින් ඉස්මතු කොට දක්වන ලද අනෙකුත් අංග වනුයේ සර්වජන ඡන්ද බලය, තෝරා පත් කර ගත් සෑම නියෝජිතයෙක්ම ඕනෑම අවස්ථාවක ආපසු කැඳවිය හැකි වීම, සියලු රජයේ නිලධාරීන්ට සාමාන්‍යය කම්කරුවෙකුට ගෙවන වැටුපට නොවැඩි වැටුපක් ගෙවීම, මහේස්ත‍්‍රාත්වරුන් හා විනිශ්චයකාරවරුන් ඡන්දයෙන් පත් කිරීම, ඔවුන් වගකීමෙන් බැඳීම හා ඔවුන් ඉවත් කල හැකි වීමයි. තවද කොමියුනය පාර්ලිමේන්තු මන්ඩලයක් නොව, එකවිටම විධායක හා ව්‍යවස්ථාදායක වන ක්‍රියාකාරී මන්ඩලයක් වීමට නියමිත විය.

ලෙනින් මෙසේ අදහස් දක්වයි:

වෙනත් ඕනෑම ස්ථානයකට වඩා මෙහිදී පැහැදිලිව පෙනී යන්නේ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රනවාදයෙන් බිඳී නිර්ධන පන්ති ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා, පීඩකයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට පීඩිත පන්තිවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා, රාජ්‍යය දෙන ලද පන්තියක් මර්දනය කිරීම සඳහා වූ “මර්දනයේ විශේෂ බලයක” තත්වයෙන් මිදී මහජනයාගේ බහුතරයක - කම්කරුවන්ගේ හා ගොවීන්ගේ - සමස්ත බලය පීඩකයන් මර්දනය කිරීමට යොදන උපකරනයක් බවට පත් වීම කරා එලැඹීමයි. හරියටම මෙම වඩාත්ම සිත් කාවදින සුලු කාරනාවේ දීම, ඇතැම්විට රාජ්‍යය පිලිබඳ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ගත් කල වඩාත්ම වැදගත් කාරනාවේ දීම, මාක්ස්ගේ උගැන්වීම් මුලුමනින්ම අමතක වී ගොස් ඇත! 21

රජය හා විප්ලවයහි අවසාන පරිච්ඡේදය , අවස්ථාවාදය විසින් රාජ්‍යය සම්බන්ධයෙන් මාක්ස්වාදයේ මතය කපා කොටා සංශෝධනය කිරීමට ද ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා පාර්ලිමේන්තුවාදය උත්කර්ෂයට නැංවීමට ද එරෙහිව විවාදයක් වර්ධනය කරයි. ලෙනින් සිය ප‍්‍රහාරය කෞට්ස්කි වෙතට යොමු කරයි.

බර්න්ස්ටීන්ගේ “සමාජවාදයට පූර්ව කොන්දේසි” නම් සංශෝධනවාදී ප‍්‍රකාශනයට කෞට්ස්කි දෙන පිලිතුරෙන් ආරම්භ කරන ඔහු, නිර්ධන පන්ති විප්ලවයේ කර්තව්‍යය පවත්නා රාජ්‍ය යන්ත‍්‍රය අල්ලා ගැනීම නොව එය “බිඳ දැමීම” බවට 1852 තරම් ඈත කාලයක දී මාක්ස් බල කර සිටි බැව් කෞට්ස්කි මගහැර යතැයි සඳහන් කරයි. කෞට්ස්කිගෙන් උපුටා දක්වමින් ලෙනින් මෙසේ ලියයි:

බර්න්ස්ටීන්ට එරෙහිව ලියමින් කෞට්ස්කි “නිර්ධන පන්ති ආඥාදායකත්වය පිලිබඳ ප‍්‍රශ්නයට විසඳුම අපට ඉතා ආරක්ෂාකාරී ලෙස අනාගතයට භාර කල හැකියැ”යි පවසයි. මෙය බර්න්ස්ටීන්ට එරෙහිව විවාදකිරීමක් නොව, ඇත්තෙන්ම ඔහුට පුදන සහනයකි, අවස්ථාවාදයට යටත්වීමකි.... 22

කෞට්ස්කි 1902 දී ලියූ “සමාජවාදී විප්ලවය” නම් පොත සම්බන්ධයෙන් ලියමින් ලෙනින්, අනාගත කම්කරු රාජ්‍යයක සහ ධනේශ්වර පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රයන්හි පාලන ආකෘතින් අතර පවත්නා මූලික වෙනස්කම් කෞට්ස්කි විසින් බොඳ කර නොපැහැදිලි ආකාරයකින් දක්වා තිබීම කෙරේ අවධානය යොමු කරයි.

ලෙනින් සමාප්ත කරන්නේ කෞට්ස්කිගේ ආස්ථානයන් පිලිබඳව ලන්දේසි ජාතික සමාජවාදියෙකු වූ ඇන්ටන් පැනකොක් විසින් කරන ලද විවේචනයකට කෞට්ස්කි දුන් පිලිතුර විමසා බැලීමෙනි. පැනකොක් 1912 දී නොයර් සයිට් (Neue Zeit) සඟරාවේ “බහුජන කයාමාර්ග සහ විප්ලවය” නමින් ලිපියක් පල කරමින් “නිෂ්ක්‍රීය රැඩිකල්වාදය” සම්බන්ධයෙන් කෞට්ස්කි විවේචනයට ලක් කලේය. ඒ වනවිට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වූ පැනකොක්, රෝසා ලක්සම්බර්ග් ද ඇතුලු අවස්ථාවාදයේ වාම විවේචකයන් සමග අනන්‍ය ව සිටියේය. 1920 ගනන්වල දී අන්ත-වාමවාදී ආස්ථානයන් පිලිගත් ඔහු පසුකලෙක රාජ්‍ය ධනවාදයේ සෝවියට්-විරෝධී ආස්ථානයන් වැලඳ ගත්තේය.

පැනකොක් ඔහුගේ 1912 විවාදයේ දී, නිර්ධන පන්ති විප්ලවයේ කර්තව්‍යය වන්නේ “රාජ්‍ය බලයේ උපකරන” සහ “පාලක සුලුතරයේ සංවිධානය” විනාශ කිරීමයැයි ලියූ බව ලෙනින් පවසයි.

පිලිතුරු දෙමින් කෞට්ස්කි අරාජකවාදය කරා පිවිසීම පිලිබඳව පැනකොක්ට චෝදනා කරමින් මෙසේ ලිවීය: “මේ දක්වා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා අරාජකවාදීන් අතර වෙනස සමන්විත වූයේ මෙම කරුනෙනි: සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් රාජ්‍ය බලය අල්ලා ගැනීමට අපේක්ෂා කල අතර අරාජකවාදීහු විනාශ කිරීමට අපේක්ෂා කලහ. පැනකොක්ට මේ දෙකම කිරීමට අවශ්‍ය වී ඇත.”

ලෙනින් මෙසේ ලියයි: “සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා අරාජකවාදීන් අතර වෙනස පිලිබඳ ඔහුගේ [කෞට්ස්කිගේ] අර්ථකථනය මුලුමනින්ම සාවද්‍ය වන අතර, (එමගිින්) මාක්ස්වාදය එහැමපිටින්ම ග‍්‍රාම්‍යකරනයට ද විකෘතකරනයට ද ලක් කෙරේ.”

මාක්ස් හා එංගල්ස්ගේ ලේඛන පිලිබඳ ලෙනින්ගේ විචාරය විසින් සවිස්තරාත්මකව පෙන්වා දෙන පරිදි, මාක්ස්වාදය පවතින රාජ්‍යය කුඩු කර දැමීමට එරෙහි වන්නේය යන යෝජනාව මුලූමනින්ම අසත්‍යය. (මාක්ස්වාදීන් හා අරාජකවාදීන් අතර) වෙනස වන්නේ, අරාජකවාදීන් කම්කරු පන්තිය විසින් නව නිර්ධන පන්ති රාජ්‍යයක් ගොඩනගනු ලැබීමට විරුද්ධ වීමයි. එබඳු රාජ්‍යයකින් තොරව, ධනේශ්වරයේ මිනීමරු මර්දනයට මුහුනදීමට කම්කරු පන්තිය අසමත් වනු ඇත.

අරාජකවාදීන් විසින් සියලූ ආකාරයන්හි අධිකාරය ප‍්‍රතික්ෂේප කරනු ලැබීම පිලිබඳව එංගල්ස් ඔහුගේ ”අධිකාරිත්වය ගැන” නම් 1873 ලිපියෙහි එන ෙඡ්දයක් තුල අතිශය ප‍්‍රබල ප‍්‍රතිචාරයක් සපයයි. ලෙනින් විසින් එය මෙසේ ‘රජය හා විප්ලවය’හි උපුටා දක්වනු ලැබ ඇත:

එහෙත් අධිකාර-විරෝධීහු එක පහරින්- ඒවාට උපත දුන් කොන්දේසි විනාශ කිරීමට පවා පෙරාතුව - දේශපාලන රාජ්‍යය අහෝසි කල යුතුයැයි ඉල්ලා සිටිති. සමාජ විප්ලවයේ ප‍්‍රථම පියවර අධිකාරී බලය අහෝසි කිරීම විය යුතුයැයි ඔවුහු ඉල්ලා සිටිති. මේ මහත්වරු කිසිදා විප්ලවයක් දැක ඇත්තෝ ද? විප්ලවයක් යනු නිසැකවම එය පවතින තතු තුල වැඩිම අධිකාරී බලයක් දරන ක්‍රියාවලියයි; එය, ජනගහනයේ එක් කොටසක් එහි අනෙක් කොටස මත රයිෆල්, බයිනෙත්තු හා කාලතුවක්කු උන්ඩ මගින් සිය අභිමතය ආරෝපනය කිරීමකි. රයිෆල්, බයිනෙත්තු ඈ මේ සියල්ල ඉහල අධිකාරී බලයක උපකරන වෙති. තවද, ජයග‍්‍රාහි පාර්ශ්වය එහි පාලනය පවත්වා ගෙන යා යුත්තේ තම ආයුධ ප‍්‍රතිගාමීන් තුල දනවන භීතියේ ආධාරයෙනි. ඉදින් පැරිස් කොමියුනය ධනපති පන්තියට එරෙහිව සන්නද්ධ ජනයාගේ අධිකාරය භාවිත නොකලේ නම් එය එක් දවසකට වඩා පවතිනු ඇත්ද? ඊට පටහැනි ලෙස, එම අධිකාරියෙන් ලද ඵල ප‍්‍රයෝජන ප‍්‍රමානවත් නැතැයි අපට ඊට දොස් පැවරිය නොහැකිද? එබැවින් පහත දෙකින් එකක් සත්‍ය විය යුතුය: එක්කෝ මෙම අධිකාර-විරෝධීහු තමන් කථා කරන්නේ කුමක් ගැනදැයි නොදනිති. එය එසේනම්, ඔවුන්ට ව්‍යාකූලත්වයම විනා වෙන යමක් නිර්මානය කල හැකි නොවේ; නො එසේ නම්, ඔවුහු එය දනිති. එසේනම්, ඔවුහු නිර්ධන පන්තියේ අභිප‍්‍රායය පාවා දෙති. මේ කවරකදී වුව, ඔවුහු ප‍්‍රතිගාමිත්වයට පමනක් සේවය කරති. 23

“රජය හා විප්ලවය”හි ලෙනින් මාක්ස්වාදය හා අරාජකවාදය අතර වෙනස්කම් පහත දැක්වෙන පරිදි සංක්ෂිප්ත කොට දක්වයි:

මාක්ස්වාදීන් හා අරාජකවාදීන් අතර වෙනස සමන්විත වන්නේ මෙහිය: (1) මෙයින් මුල් කොටස (එනම්, මාක්ස්වාදීහු- රාජ්‍යයේ පරිපූර්න විනාශය අරමුනු කරන අතරම, එකී අරමුන සාක්ෂාත් කොට ගත හැක්කේ සමාජවාදී විප්ලවයක් මගිින් සමාජවාදය ගොඩනැගීමේ ප‍්‍රතිඵලයක් ලෙස, රාජ්‍යය වියැකී යාමට මග පාදමින් පන්ති අහෝසි කිරීමෙන් පසුව පමනෙකැයි වටහා ගනිති; පසු කී අයට, එනම් අරාජකවාදීන්ට, පැය 24 ක් තුල රාජ්‍යය මුලුමනින් වනසා ලීමට අවශ්‍යය - එබඳු විනාශයක් සිදු කල හැක්කේ කවර කොන්දේසි යටතේදැයි ඔවුහු වටහා නොගනිති; (2) නිර්ධන පන්තිය දේශපාලන බලය දිනාගත් කල්හි එය පැරනි රාජ්‍ය යන්ත‍්‍රය සුනුවිසුනු කොට බිඳ හෙලිය යුතු බවත්, ඒ වෙනුවට කොමියුනයේ මාදිලියේ සන්නද්ධ කම්කරුවන්ගේ සංවිධානයකින් සමන්විත නව රාජ්‍යයක් ආදේශ කල යුතු බවටත් මාක්ස්වාදීහු වටහා ගෙන සිටිති; පසු කී පිරිස, රාජ්‍ය යන්ත‍්‍රනය සිඳබිඳ දැමීමට පක්ෂව කථා කරන අතරම නිර්ධන පන්තිය එම ස්ථානයේ කුමක් පිහිටවිය යුතුද යන්න පිලිබඳව හෝ, ඔවුන් කෙසේ තම විප්ලවකාරී බලය භාවිතා කෙරෙත් ද යන්න පිලිබඳව හෝ කිසියම්ම පැහැදිලි අදහසක් ඔවුන්ට නැත; අරාජකවාදීහු විප්ලවකාරී නිර්ධන පන්තිය විසින් රාජ්‍ය බලය අත්පත් කරගනු ලැබීම පවා, නිර්ධන පන්තියේ විප්ලවකාරී ආඥාදායකත්වය පවා ප‍්‍රතික්ෂේප කරති” (3) මුල් පිරිස කම්කරුවන් විප්ලවයට සූදානම් කිරීමේ මාර්ගයක් ලෙස නූතන රාජ්‍යය භාවිතා කිරීමට උදක්ම පෙනී සිටිති; පසු කී අය මෙය ප‍්‍රතික්ෂේප කරති. 24

මාක්ස්වාදය ඔලමොට්ටල හා පහත් ආකාරයෙන් මුසාකරනය කිරීම හා එහි නාමයෙන් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී මායාවන් ප‍්‍රවර්ධනය කිරීම; පැනකොක්ට කෞට්ස්කි දුන් පිලිතුරෙහි ලෙනින් විසින් උපුටා දැක්වෙන එක් ෙඡ්දයක මෙසේ සංක්ෂිප්ත කොට ඇත:

මහා වැඩවර්ජනයක අභිමතාර්ථය කිසිවිටෙකත්, රාජ්‍යය විනාශ කිරීම විය නොහැක. ඒ වෙනුවට එහි අරමුන වන්නේ කිසියම් නිශ්චිත ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් ආන්ඩුවෙන් සහන මිරිකා ගැනීමයි, නැතහොත් නිර්ධන පන්තිය මුන ගැසෙනු වස් අඩ දුරක් ගෙවා පැමිනීමට සූදානම් ආන්ඩුවකින් එදිරිවාදී ආන්ඩුවක් විස්ථාපනය කිරීමයි... එහෙත්, කවර කොන්දේසි යටතේ වේවා, එය (එදිරිවාදී ආන්ඩුවක් පරදා ලබන නිර්ධන පන්ති ජයක්) රාජ්‍ය බලය විනාශ කිරීමට මග නොපාදයි; එමගින් මග පෑදිය හැක්කේ රාජ්‍ය බලය තුල බලවේගවල ඇතැම් සීරුමාරුවලට පමනි... ඒ අනුව, අපේ දේශපාලන අරගලයේ අරමුන පෙර සේම නොවෙනස්ව පවතී. එනම්, පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනා ගැනීම මගින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීම හා පාර්ලිමේන්තුව ආන්ඩුවේ ස්වාමියා බවට පරිවර්තනය කර ගැනීමයි. 25

***

ප‍්‍රන්සයේ සිවිල් යුද්ධය කෘතිය පිලිබඳ සිය විචාරය තුල ලෙනින්, පැරිස් කොමියුනයට මාක්ස්ගේ ප‍්‍රතිචාරය පිලිබඳව මෙසේ ලියයි:

කෙසේවෙතත් ඔහුම තමා ප‍්‍රකාශයට පත් කල ආකාරයට, “සුර ලොව කලඹවා ලූ” කොමියුනාර්ඞ්වරුන්ගේ වීරත්වය පිලිබඳ මාක්ස් හුදෙක් උද්‍යෝගයට පත් වූවා පමනක් නොවේ. එය එහි අරමුන සාක්ෂාත් කර නොගත්තේ වී නමුදු, බහුජන විප්ලවවාදී ව්‍යාපාරය තුල දැවැන්ත වැදගත්කමකින් යුත් ඓතිහාසික පරීක්ෂනයක්, ලෝක නිර්ධන පන්ති විප්ලවයේ නිශ්චිත ප‍්‍රගමනයක්, සිය ගනන් වැඩපිලිවෙලවල් හා සාකච්ඡාවලට වඩා වැදගත් ප‍්‍රායෝගික පියවරක් ඔහු දිටීය. මෙම පරීක්ෂනය විශ්ලේෂනය කිරීමට, ඉන් උපායාත්මක පාඩම් උපුටා ගැනීමට, එය හෙලූ නව ආලෝකයෙන් ඔහුගේ න්‍යාය යලි පිරික්සා බැලීමට -මාක්ස් වෙත ඉදිරිපත් වූ පරිද්දෙන් ගැටලුව පැවතියේ ඒ ආකාරයටය. 26

පැරිස් කොමියුනය කෙරේ මාක්ස්ගේ ප‍්‍රවිෂ්ටය වූයේ එයයි, මාක්ස්වාදයේ න්‍යායික උරුමය කෙරේ ලෙනින්ගේ ප‍්‍රවිෂ්ටය වූයේ ද, අද දින ඔක්තෝබර් විප්ලවය කෙරේ අපේ ප‍්‍රවිෂ්ටය වන්නේ ද එයයි. මාක්ස්ට හා ලෙනින්ට පරිද්දෙන්ම, මෙම ශ්‍රේෂ්ඨ අරගලයන්හි පාඩම් පිලිබඳ විශ්ලේෂනය කිරීම හා සමාග‍්‍රහනය කිරීම, ඒවා මතු කල න්‍යායික හා ඓතිහාසික ප‍්‍රයුක්තින් තෝරාබේරා වටහා ගැනීම හා තත්කාලීන දේශපාලන වර්ධනයන්ට සමීපස්ථතම සම්බන්ධය තුල ඒවා ක්‍රියාවට නැංවීම, රුසියානු විප්ලවය පිලිබඳ අද දවසේ අපේ සැමරුම සිදු කෙරෙන්නේ එපරිදිය.

අධිරාජ්‍යවාදය හා ධනේශ්වර රාජ්‍යය සමග පෙල ගැසී සිටින අතර “වම්මුන්” හෝ ඇතැම්විට “සමාජවාදීන්” ලෙස පවා වෙස් පැලඳ සිටින විවිධාකාර සුලු ධනපති සංවිධාන, ඔක්තෝබර් විප්ලවය එක්කෝ නොතකා සිටිති, නැතහොත් ඊට එලිපිටම එරෙහි වෙති. මක්නිසාදයත්, ඔවුහු කම්කරු පන්තියට සතුරු වෙති, එය විසින් අද දින ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමනු ලැබීමට සපුරා එරෙහි වෙති.

එහෙත් අද දින ලෝක ධනේශ්වර ක‍්‍රමයේ පෙර නොදුටු විරූ අර්බුදය හා විප්ලවවාදී අරගලයේ නව කාල පරිච්ෙඡ්දයක් ඉස්මතු වීම මගින් කම්කරු පන්තිය ඉදිරියට පමුනුවනු ලැබ ඇති කර්තව්‍යයන් හමුවේ “ඔක්තෝබරයේ පාඩම්ලව” අතිමහත් අදාලත්වයක් පවතී. ඔක්තෝබර් විප්ලවය අපේ කාලයේ දේශපාලන සිදුවීම්වලට තවදුරටත් තීව‍්‍රතර අදාලත්වයකින් යුතුය.

‘අධිරාජ්‍ය වාදය’ සහ ‘රජය හා විප්ලවය’ කෘතීන් තුල ලෙනින් විසින් හඳුනා ගැනුනු ප‍්‍රවනතාවයන් - රාජ්‍ය ඒකාධිකාරී ධනේශ්වර ක‍්‍රමයේ රූපාකාරයෙන් යුතු; කිසිදා නොවූ තරම් සමීපතර සමෝධානයකින් යුත් අධිරාජ්‍යවාදී රාජ්‍යය සහ යෝධ මූල්‍ය හා සංගත ඒකාධිකාරයන් (ගූගල්, ඇමසන්, ඇපල්, සහ සීඅයිඒ, පෙන්ටගනය පිලිබඳව සිතන්න); රාජ්‍යයේ මර්දන උපකරනයේ මෘග වර්ධනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකෘතීන්හි කුනු වී යාම (සියලු අධිරාජ්‍යවාදී ආන්ඩු අත්පොලසන් දී අනුමැතිය පල කල කැටලෝනියාවේ හමුදා ප‍්‍රහාරය, නිව්යෝර්ක් ටයිම්ස්හි “මානව හිමිකම්” අධිරාජ්‍යවාදීන්, ප‍්‍රන්සයේ හදිසි නීති පාලනය, ජර්මන් පාර්ලිමේන්තුවට නව-ෆැසිස්ට්වාදීන් ඇතුලූ වීම, එක්සත් ජනපදයේ ජනරාල්වරුන්ගේ හා වෝල් වීදියේ කෝටිපතියන්ගේ ආන්ඩුව) ලෙනින්ගේ දිනවල පැවැති මට්ටමට වඩා අතිශය ඉහල මට්ටම් කරා සේන්දු වී ඇත. යලිත් වරක් අධිරාජ්‍යවාදය ලෝක යුද්ධයක් කරා රූටා යමින් සිටින අතර මෙවර එය න්‍යෂ්ටික හොලකෝස්ටයකට හා ශිෂ්ඨාචාරය වනසා ලීමකට තර්ජනය කරයි.

මෙම දේශන ද ඇතුලත් වන සිය රුසියානු විප්ලවයේ ශතවර්ෂ පූර්න සැමරුම සමගින් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අනුගමනය කරන්නේ, ලෙනින් හා ට්‍රොට්ස්කිගේ ගමන් මගයි. - එනම්, පැහැදිලි කිරීම, අධ්‍යාපනය දීම හා එලැඹෙමින් පවතින ලෝක සමාජවාදී විප්ලවය සඳහා කම්කරු පන්තිය දේශපාලනිකව සන්නද්ධ කිරීමයි.

***

සටහන්:

1.ට්‍රොට්ස්කි: History of the Russian Revolution, රුසියානු විප්ලවයේ ඉතිහාසය (චිකාගෝ: 2008), පි. 709.

2. එම, පි. 710.

3. ලෙනින් Collected Works එකතුකල කෘති (මොස්කව්: 1977), පි. 106.

4. ලෙනින් State and Revolutionරජය හා විප්ලවය (ඉන්ටර්නැශනල් පබ්ලිෂර්ස්: නිව් යෝර්ක් 1988), පිටු 5-6.

5. ට්‍රොට්ස්කි: History of the Russian Revolutionරුසියානු විප්ලවයේ ඉතිහාසය (චිකාගෝ: 2008), පිටු 304-305.

6. ඇලෙක්සැන්ඩර් රබිනොවිච් Prelude to Revolution විප්ලවයේ පූර්විකාව,(ඉන්ඩියානා යුනිවර්සිටි ප්‍රෙස්:1991), පිටු 82-83.

7. රබිනොවිච් The Bolsheviks Come to Power (බෝල්ෂෙවිකයෝ බලයට පත් වෙති) (චිකාගෝ ඇන්ඞ් ඈන් ආර්බර් 2004), පි. 109.

8. එම, පි. 94.

9. ලෙනින් Collected Works එකතුකල කෘති (මොස්කව්: 1964), පිටු 177-78.

10. එම, පිටු 366, 368.

11. ලෙනින් State and Revolution රජය හා විප්ලවය (ඉන්ටර්නැශනල් පබ්ලිෂර්ස්: නිව් යෝර්ක් 1988), පි. 9.

12. එම, පි. 14.

13. එම, පි. 16.

14. එම, පි. 17.

15. එම, පි. 26.

16. එම, පි. 36.

17. නෝර්ත් හා තවත් අය, රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද? 1 වෙලුම( කම්කරු මාවත ප‍්‍රකාශකයෝ : 2017) පි. 24

18. ලෙනින් State and Revolution රජය හා විප්ලවය (ඉන්ටර්නැශනල් පබ්ලිෂර්ස්: නිව් යෝර්ක් 1988), පි. 33.

19. එම, පි. 29.

20. ලෙනින් Marxism on the State රාජ්‍යය සම්බන්ධයෙන් මාක්ස්වාදය (මොස්කව්: 1972), පිටු 56-57.

21. ලෙනින් State and Revolutionරජය හා විප්ලවය (ඉන්ටර්නැශනල් පබ්ලිෂර්ස්: නිව් යෝර්ක් 1988), පි. 38.

22. එම, පි. 89.

23. එම, පි. 53.

24. එම, පිටු 94-95.

25. එම, පි. 99.

26. එම, පි. 32

Share this article: