ව්‍යවස්ථා විවාදයෙන් පාලක පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය එලිදරව් කෙරෙයි

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2017 නොවැම්බර් 14

නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ අතුරු වාර්තාව පිලිබඳව විවාදයක්, ඔක්තෝබර් 29 සිට, “ව්‍යවස්ථා සම්පාදක මන්ඩලය” තුල පැවැත්වුනි. දින හතරක් පුරා පැවති මෙම විවාදය, දෙමල, සිංහල හා මුස්ලිම් වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් කෙරෙහි පාලක පන්තිය දක්වන සතුරුභාවය පිලිබඳ කැඩපතක් විය.

අතුරුවාර්තාව සකස් කෙරුනේ, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් බවට පරිවර්තනය කෙරුනු පාර්ලිමේන්තුව විසින් පත්කෙරුනු මෙහෙයුම් කමිටුවක් මගිනි.

විවාදය කෙරුනේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිලිබඳ කරුන කේන්ද්‍රීය කරගෙන සිංහල අධිපතිවාදී දේශපාලන සංස්ථාපිතය, ධනපති ජනමාධ්‍ය හා බෞද්ධ භික්ෂු කන්ඩායම් විසින් අවුලූවා ඇති විසකුරු සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී උද්ඝෝෂනයක් මැදය.

විවාදය තුල දී ආන්ඩු පක්ෂය ද විපක්ෂය තුච්ඡ ලෙස තරඟ කලේ “බුද්ධාගමට දෙන ප‍්‍රමුඛත්වය” හා “ඒකීය රාජ්‍යය” ආරක්ෂා කිරීමට අනෙක පරයා නැගී සිටිනබව තහවුරු කිරීමටය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ ව්‍යවස්ථාදායක සභාවට කල කතාවේ දී “ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් කරන ලද සාකච්ඡා පිලිබිඹු කරන ප‍්‍රතිපත්ති හා සූත‍්‍රනයන් වාර්තාවේ අන්තර්ගත” වන බව ප‍්‍රකාශ කලේ ය. එකී “ප‍්‍රතිපත්ති හා සූත‍්‍රනයන්” ගේ පවතින ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය වික‍්‍රමසිංහගේ කතාව තුලින් මැනවින් එලිදරව් විය.

“අපට ඒකීයභාවය නැති කරන්න උවමනාත් නැහැ. සිංහල බෞද්ධයන් වට්ටන්න උවමනාත් නැහැ. අපි ඔක්කොම ඉන්නේ ඒකීයභාවය ආරක්ෂා කරන්න” යැයි ඔහු පැවසුවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ඊනියා ඒකාබද්ධ විපක්ෂය මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කල යෝජනාවල අඩංගු ප‍්‍රධාන යෝජනාවක් වූ “ඒකීය රාජ්‍යය, සම්බුද්ධ ශාසනය හා රටේ පැවැත්ම අනතුරකට පත්වන ව්‍යවස්ථාවක් සකස් නොකරන ලෙස” කර තිබු ඉල්ලීම සමග එකඟතාවය පල කල වික‍්‍රමසිංහ “ඔබතුමන්ලා විතරක් නොවෙයි මමත් ඒකට එකඟ වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒකට එකඟ වෙනවා,” යයි අවධාරනය කලේ ය.

විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම පිනිස රට තුල දේශපාලන ස්ථාවරත්වයක් පවත්වා ගැනීම සඳහා දෙමල දේශපාලන පක්ෂවල සහයෝගය දිනා ගැනීමට අවශ්‍ය බව සිංහල පාලක පන්තියේ කොටසක් කල්පනා කරයි. වික‍්‍රමසිංහ සිය කතාවේ දී මෙසේ සඳහන් කලේ ය:

“දහතුන්වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය එනකොට රටේ යුද්ධයක් තිබුනා. යුද්ධය අවසන් වුනාට ප‍්‍රශ්නය අවසන් වුනේ නැහැ. මේ ප‍්‍රශ්නය දැන් විසඳලා දමමු. අපි රටක් හැටියට ඉදිරියට යමු.” හදාවඩා ගැනීමට තමන් ද දායකවූ සිංහල ස්වෝත්තමවාදීන්ගේ ගර්හාවට ලක්වේයැයි බියෙන් ප‍්‍රශ්නය කුමක් දැයි නොකීමට ඔහු පරෙස්සම් විය.

උතුරු-නැගෙනහිර පලාත් යලි ඒකාබද්ධ කරන ලෙස දෙමල ජාතික සන්ධානයේ යෝජනාවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති “පලාත් සභා ඒකාබද්ධ නොකල යුතුය” යන යෝජනාව ද උපුටා දැක් වූ වික‍්‍රමසිංහ ඊට අනුමැතිය පලකරමින් ප‍්‍රකාශ කලේ: “අපට කියන්න බැහැ, උතුරු- නැගෙනහිර එකතු වෙනවා; සබරගමුව - වයඹ එකතු වෙනවා කියලා. ඒවා අපට කරන්න බැහැ.” යයි පැවසීය.

ජනාධිපති සිරිසේන විවාදයට සහභාගී නො වූ නමුත් ඔක්තෝබර් 30 වෙනිදා පැවති සහජීවන සංගම් හා ජාතික සිවිල් ක්‍රියාකාරීන්ගේ සමුලුවේ දී ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනා රට බෙදන බවට, ජාතිය පාවා දෙන බවට හා බුද්ධාගම නැති කරන බවට ගෙන යන අසත්‍ය ප‍්‍රචාර ප‍්‍රතික්ෂේප කරන බව පැවසීය.

මෙරටේ “ප‍්‍රශ්නයක්” තියෙන බවත් ඊට විසඳුම් සොයාගත යුතු බවත් පැවසූ නමුත් ප‍්‍රශ්නය කුමක් දැයි සඳහන් නොකිරීමට ඔහු ද පරෙස්සම් විය. ඒ වෙනුවට ඔහු සඳහන් කලේ ප‍්‍රශ්නයට “විසඳුම්” සොයා ගැනීම පිනිස සර්ව පාක්ෂික සම්මේලනයක්, සියලු ආගමික නායකයන්ගේ හා බුද්ධිමතුන්ගේ සමුලු ඉදිරි දිනවල කැඳවන බවය. ඒවායේ එල්ලය වනවා ඇත්තේ බුද්ධාගමට සහ සිංහල භාෂාවට රාජකීය ප‍්‍රමුඛතාව දීම අත්නොහරින බවට සපතවී මේ කන්ඩායම් සැනසීමයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකල යුතු බවට බෞද්ධ සංඝ සංස්ථාපිතය, ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් මත් උද්ඝෝෂනයක් ඉස්මත්තට ගෙන ඇත. විවාදය තුල දී මෙම උද්ඝෝෂනය ගැන වික‍්‍රමසිංහ කිසිවක් කතා නොකල අතර සිරිසේන ද, මුනිවත රකිමින් ඒ පිලිබඳව තමන්ගේ එකඟතාවය පෙන්නුම් කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන -රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව 2015 බලයට පත් වුයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ව්‍යවස්ථාවේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස්කම්” ඇතිකරන බවට හා “යහ පාලනයක්” තහවුරු කරන බවට ව්‍යාජ පොරොන්දු දෙමිනි. එම ප‍්‍රචාරයට ව්‍යාජ වාම සංවිධාන, ඊනියා සිවිල් ක්‍රියාකාරිකයෝ හා ශාස්ත‍්‍රාලිකයන් කන්ඩායමක් දායක වූහ. මෙම කඩතුරාවෙන් ආවරනය කෙරුනේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී රාජපක්ෂගේ ප‍්‍රතිගාමී පාලනය වෙනුවට කෙලින්ම ඇමරිකානු ගැති එහි යුද ධාවනයට ලංකාව ගැටගසන සිරිසේන ප‍්‍රමුඛ ප‍්‍රතිගාමී පාලනය ගෙන ඒමට වොෂින්ටනය හා නව දිල්ලිය සූදානම් කල තන්ත‍්‍ර මාරු මෙහෙයුමයි.

සිරිසේන හා වික‍්‍රමසිංහ ඇමරිකාවේ හා ඉන්දියාවේ ඉල්ලීම අනුව යමින් දෙමල ජාතික සන්ධානය ඇතුලු දෙමල ප‍්‍රභුවට උතුරු-නැගෙනහිර පලාත්වල යම් සීමිත බලතල දී කොලඹ පාලනයට ඒකාග‍්‍ර කර ගැනීමට මාන බලති. ඊට හේතු දෙකකි; පලමු වැන්න කොලඹ ආන්ඩුවේ අත් ශක්තිමත් කර ගැනීම මගින් කැරලිකාරී වන කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල තලා දැමීම සඳහා ආඥා දායක පාලනයකට මාරුවීමයි; දෙවැන්න එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ භූ දේශපාලන උවමනාවන්ට සේවය කරන පාලනයක් තහවුරු කර ගැනීමයි.

විවාදයට සහභාගී වෙමින් හිටපු ජනාධිපති රාජපක්ෂ මෙසේ සඳහන් කලේ ය: “උතුරේ ජනතාවගේ අවශ්‍යතාවන් පසෙක ලා උතුරේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවන් ඉටුකිරීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුල්තැන දීල තියෙන්නෙ 2015 ආන්ඩු වෙනස ඇති කිරීමේ කුමන්ත‍්‍රනයට උදව් දුන් අභ්‍යන්තර හා බාහිර බලවේගවලට නය ගෙවීමක් ලෙස කියලයි මම හිතන්නෙ”. අනතුරුව ඔහු “බලය බෙදීමේ යෝජනා අත්හරින” ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. ආන්ඩුව ජීවනතත්වයන්ට හා සමාජ අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර වලට එරෙහිව නැගී සිටින ජනයාගේ විරෝධය වර්ගවාදී මාවත්වලට හරවා යලිබලයට පන ගැනීමට රාජපක්ෂ තැත් කරයි. මිලිටරියට, හා වර්ගවාදීන්ට ආයාචනා කරන ඔහුගේ ඉලක්කය බලය අල්ලාගත් පසු, තම අයිතීන් වෙනුවෙන් නැගී සිටින මහජනතාවන් තලා දමන පාලනයක් අටවා ගැනීමයි.

දෙමල මහ ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැන මොනම තැකීමක්වත් නැති දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඇතුලු දෙමල ධනපති පක්ෂ අපේක්ෂා කරන්නේ ඒකීය රාජ්‍යය තුල සිංහල ධනපති පන්තිය සමග දෙමල ප‍්‍රභුව සඳහා වරප‍්‍රසාද බෙදා ගැනීමකි. “අප නොබෙදුන ශ්‍රී ලංකාවක් තුල බලය බෙදීමක් අපේක්ෂා කරනවා. අප කවදාවත් රටින් වෙන්වීමක් ඉල්ලා සිටියේ නැහැ” යි දෙජාස නායක ආර්. සම්බන්දන් ප‍්‍රකාශ කලේ ය.

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුරකුමාර දිසානායක විවාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා එකාධිපතිවාදය පිලිබඳ විවාදයක් ලෙස පින්තාරු කල අතර ව්‍යවස්ථා සංශෝධනයෙන් “රටේ මතුවී තිබෙන යම් යම් දේශපාලන ගැටලුවලට යම් ප‍්‍රතිසංස්කරන ප‍්‍රමානයක් අත්පත් කරගත හැකියි කියන විශ්වාසය මත” විවාදයට සහභාගී වන බව පැවසීය. රාජපක්ෂ කන්ඩායමේ ව්‍යාපාරය ඔහු විසින් ඒකාධිපතිවාදය ලෙස සඳහන් කලේ ආන්ඩුවට සුදුහුනු ගෑමටයි.

දෙමල ජනයාට එරෙහි යුද්ධයට සහයෝගය දෙමින් යුද්ධය මෙහයවීම සඳහා විධායක ජනාධිපති ක‍්‍රමයේ අවශ්‍යතාවයත් වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ විධායක ජනාධිපති ක‍්‍රමයට තමන් විරුද්ධ බව පෙන්වීමට කුහක රඟපෑමක යෙදුනි. “යුද්ධය නිර්මානය කලේ විධායක ජනාධිපති බලයයි. විධායක ජනාධිපති ක‍්‍රමය හීලෑවුන පුසෙකු නෙමෙයි. මෙය අහෝසිකල යුතුයි” දිසානායක පැවසීය.

සෑම ආගමකම සහ සෑම භාෂාවකම “සම අයිතිය පිලිගැනීමේ මූලධර්මයේ අපි ඉන්නා” බවට දිසානායක කල ප‍්‍රකාශය හුදෙක් බොරු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙස් මුහුනක් දමා ගැනීමකි. අනෙකුත් ධනපති පක්ෂ මෙන් ම ජවිපෙ ද බුද්ධාගමට සහ සිංහල භාෂාවට පවතින ව්‍යවස්ථාවෙන් දී ඇති ප‍්‍රමුඛත්වය මුලුමනින්ම ආරක්ෂා කරයි. ප‍්‍රතිගාමී ධනාපති ඒකීය රාජ්‍යය ආරක්ෂා කරමින් දිසානායක මෙසේ අවධාරනය කලේය: “මේක බෙදන්න දෙන්න පුලුවන් රටක් ද මේක බෙදන්න දෙන්න බැහැ.”

පාලන බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අතින් තමන් අතට මාරු කෙරුනු තැන පටන් සුලුජාතික දෙමල ජනයාට එරෙහි වාර්ගික වෙනස්කම් කරමින් කම්කරුවන් හා දුගීන් ප‍්‍රතිගාමී ලෙස බෙදීමට ක්‍රියාකල 1983 පටන් කුරිරු යුද්ධයක් ගෙන යමින් කම්කරු පන්තිය හා දෙමල ජනයා මැඩලූ, පාලක පන්තියේ මොනම කොටසකටවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ලබා දිය නොහැක.

ලෝක ධනවාදයේ බිඳ වැටීමේ කොටසක් ලෙස අර්බුදයේ ගිලී සිටින ලංකාවේ ධනපති පන්තිය එහි බර කම්කරුවන් හා දුගීන් මත පැටවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කොන්දේසි ක්‍රියාවට දමමින් සිටියි. නව ව්‍යවස්ථාවක් පිලිබඳ ඝෝෂාවට පිටු පසින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් ඇත්තට ම සූදානම් කරමින් සිටින්නේ මෙම ප‍්‍රහාරවලට එරෙහිව කැරලිකාරී වන කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි පොලිස් රාජ්‍ය ආඥාදායකත්වයකි.

Share this article: