ශ‍්‍රී ලංකාව: ගිංතොට දී මුස්ලිම් ජාතිකයන්ට එරෙහි වර්ගවාදී ප‍්‍රහාරයක්

Sri Lanka: Racialist attack on Muslims in Gintota

රත්නසිරි මලලගම හා නන්දන නන්නෙත්ති විසිනි, 2017 නොවැම්බර් 21

පසුගිය සිකුරාදා (නොවැම්බර් 17)රාත‍්‍රියේ, ශ‍්‍රී ලංකාවේ දකුනු පලාතේ අගනුවර වන ගාල්ලේ ගිංතොට ප‍්‍රදේශයේ දී සිංහල බෞද්ධ මැරයෝ මුස්ලිම්වරුන්ට එරෙහි ව ප‍්‍රචන්ඩ ප‍්‍රහාර මාලාවක් දියත් කල හ.

පොලු-මුගුරු අතදරා පැමිනි මැර කන්ඩායම්වල ප‍්‍රහාර හේතුවෙන් මුස්ලිම් වැසියන්ට අයත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන 50ක් පමන අලාභහානිවලට ලක් වූ අතර මුස්ලිම් දේවස්ථාන තුනක් ද ඔවුන්ගේ ඉලක්ක බවට පත් විය. හපුගල, අම්පිටිය, ගිංතොට ගාලුපාර හා වැලිවිටිමෝදර ප‍්‍රදේශවල දී රාත‍්‍රී 8.00 ට පමන දේපොලවලට හා වාහන කිහිපයකට ගිනි තබන ලදී.

සිදු වී ඇත්තේ කුමක්දැයි විමර්ශනය කිරීමට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ 18 දින අදාල ප‍්‍රදේශයට ගිය හ. ප‍්‍රහාරය සංවිධානය කල බෞද්ධ භික්ෂූන් කිහිප දෙනෙක්, සිද්ධිය සිදුවීමට පැය දෙකකට පෙර ප‍්‍රදේශයේ පිහිටි බෞද්ධ පන්සලක් වන ථූපාරාමයේ දී රැස්වීමක් පවත්වා ඇති බව ප‍්‍රදේශවාසී මුස්ලිම්වරු ලෝසවෙඅට කීහ.

හිලුරු මුස්ලිම් පල්ලියට යන පාරේ තිබූ පිලිස්සූ මෝටර් සයිකලයක්

17 දා සවස 4.17ට උචිත අරුනෝද ගුනසේකර නමැත්තෙක් “මුස්ලිම්වරුන්ට විරුද්ධව ගිංතොට ථූපාරාම පන්සලට රැස්වන ලෙස” ගාල්ල ප‍්‍රදේශයේ සියල දෙනාට කැඳවුම් කලේ ය.

පන්සලේ දී ප‍්‍රචන්ඩ ප‍්‍රහාරය සාකච්ඡා කොට සූදානම් කෙරුනේ බෞද්ධ භික්ෂූන්ගේ දිරිගැන්වීම් සහිතවයි. මුස්ලිම්-විරෝධී මනෝගතියක් අවුලුවා ප‍්‍රහාරය ඇරඹීමට, සතියේ මුල සිදු වූ කුඩා සිද්ධි දෙකක් භික්ෂූන් විසින් ගසා කන ලදී.

නොවැම්බර් 13 දා සිංහල තරුනයෙකු පැදවූ යතුරුපැදියක එක් මුස්ලිම් කතක් හා ඇගේ දියනිය ගැටුනි. සිද්ධියෙන් තිදෙනා ම තුවාල ලබා රෝහල් ගතකල අතර ප‍්‍රතිකාර ලබා දීමෙන් පසු එදිනම

ආපසු යවා ඇත. ප‍්‍රදේශයේ පොලීසියක දී යතුරුපැදිය පදවාගෙන ගිය තැනැත්තා කාන්තාවට හා ඇගේ දියනියට රුපියල් 25,000ක් වන්දියක් ගෙවීමෙන් පසු සිද්ධිය ඉක්මනින් ම සමථයකට පත්කර ගන්නා ලදී.

ඊ ලඟ දිනයේ හවස, සිංහල හා මුස්ලිම් තරුනයන් කිහිප දෙනෙක් ගැටුමකට පැටලීම හේතුවෙන් එක් මුස්ලිම් තරුනයෙකුට තුවාල සිදු වූ අතර සිංහල පුද්ගලයන් පදිංචි නිවාස දෙකකට පහරදෙන ලදී. ඉන්පසු සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ (එජාප) පලාත් පාලන මන්ත‍්‍රී වරයෙක් වන නියාස් හුසේන් හා සිංහල තරුනයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබී ය.

මෙම සිද්ධි දෙක ඩැහැගත් සිංහල අන්තවාදියෝ ඒවා සමඟ කිසිදු සම්බන්ධයක් නැති මුස්ලිම් වැසියන් ව ඉලක්ක කර පහර දීම ආරම්භ කල හ.

“සාමය ආරක්ෂා කිරීමේ නාමයෙන්” පිටිසර ගම්මානවලට පොලීසිය යවනු ලැබුවත් සිංහල මැරයන්ට ඔවුන් සිටීම ගැටලුවක් නො වී ය.

ප‍්‍රහාරය ඇරඹී පැයකට පමන පසුව, එනම් 17දා රාත‍්‍රී 9.00ට පමන ඇඳිරි නීතිය පනවන ලදී. එහෙත් රාත‍්‍රී 11.00 පමන වනතෙක් වර්ගවාදියෝ ප‍්‍රහාරය පවත්වාගෙන ගිය හ.

මුස්ලිම් නිවැසියෝ තම නිවාස හා දේපොලවලට ප‍්‍රහාරය එල්ල වූයේ කෙසේදැයි ලෝසවෙඅ වෙත විස්තර කල හ. සංවිධිත මැර කන්ඩායම් විසින් තමන්ගේ ප‍්‍රජාවන් මත ප‍්‍රහාරයන් එල්ල කල බවත් පොලීසිය ඔවුන්ට වක‍්‍ර ව සහය දුන් බවත් බොහෝදෙනා පැවසූහ.

අම්පිටියේ මොහොමඩ් අලි මෙසේ කීවේ ය: “අපේ ගෙට මැරයන් පහරදීම ආරම්භ කල වහාම අපි පොලීසියට කෝල්කරා. අන්තිම කෝල් එක ගත්තේ ? 9.02 ට. සිය ගනනක් මිනිස්සු මේ විදියට කෝල් අරගෙන තියෙනවා. පොලීසියට අවශ්‍ය වුනානම් මෙච්චර විනාශයක් වෙන්න කලින් මේක නවත්වන්න තිබුනා. අපට පහර දෙන වේලාවේ පොලිස් ජීප් එකක් මෙතනින් ගියා. ඒක නැවැත්වූයේවත් නැහැ.” මොහොමඩ්ගේ පවුලේ ජීවිකාව රැකදෙන ත‍්‍රී රෝද රථයට ද මැරයන් විසින් හානි පමුනුවා තිබුනි.

හනීර්ගේ පිලිස්සුනු මෝටර් සයිකලය

තමන්ගේ මෝටර් සයිකලයට ගිනි තැබූ බව වැලිවිටියමෝදර එම්. ඒ. හනීර් කීවේ ය. ඔහු තමන්ගේ මෝටර් සයිකලයට තවමත් මාසික වාරිකයන් ගෙවමින් සිටී.

හිලුරු මුස්ලිම් පල්ලිය පාරේ පදිංචි තවත් ත‍්‍රී රෝද රථ රියදුරෙකු වන මොහොමඞ් නිශාර් මෙසේ කීවේ ය: “සංවිධානාත්මක කංඩායමක් මෙම විනාශය සඳහා සූදානම් වන බවට ආරංචි කලින්ම ලැබී තිබුනා. එහෙම තිබෙද්දිත් ආරක්ෂාවට යොදා තිබුනු එස්. ටී. එෆ්. එක සවස 6.00 වනවිට ඉවත් කර ගත්තා. මෙවැනි අවස්ථාවක වහාම පොලීසියට දැනුම් දෙන්නයයි අපට දැනුම් දී තිබුනත් අවශ්‍ය මොහොතේදි එය වැලක්වීමට පොලිසිය ක‍්‍රියාත්මක වුනේ නැහැ.”

මොහොමඩ් නිශාර්

ස්ථාන කිහිපයක දී ම නිවාස හා දේපොල කොල්ලකෑම ද සිදු වූ අතර වටිනා දේ පැහැර ගනු ලැබිනි. ගිංතොට පිහිටි ෂූ ඇන්ඞ් ෂූ සාප්පුවෙන් රුපියල් 650,000ක් පමන වටිනා දේවල් හොරකම් කෙරුනි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ සිද්ධිය වහ වහා ම යොදාගත්තේ ප‍්‍රදේශයේ “සාමය ආරක්ෂා කිරීමේ” නාමයෙන් පොලීසිය, එස්ටීඑෆ් නිලධාරීන් මෙන් ම හමුදාව හා නාවික හමුදාව ද යෙදවීමට යි. ගුවන් හමුදාව ද සීරුවෙන් තබන ලදී.

මින් පෙර සිදු වූ වර්ගවාදී ප‍්‍රහාරවල දී මෙන් මෙවර ද මෙම භටයන් යෙදවීමට ප‍්‍රචන්ඩත්වය නැවැත්වීම සමඟ මෙලොව සම්බන්ධයක් නැත. යථාර්ථයේ දී සිංහල අන්තවාදී කන්ඩායම් ක‍්‍රියාත්මක වන්නේ පොලීසියේ හා සන්නද්ධ හමුදාවල උදව් උපකාර ඇති ව ය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර “මෙම ව්‍යාජ ප‍්‍රචාරය පැතිරවූවන්ට විරුද්ධ ව” පියවර ගන්නා බව කීවේ ය. එහෙත් ගුනසේකරගේ තර්ජනයන්, ආන්ඩුවේ විරුද්ධවාදීන් මර්දනයටත් වැඩකරන ජනයා සහ පීඩිත ජනයාගේ සමාජ කොන්දේසි හා මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් මත එල්ල කරන ප‍්‍රහාර තීව‍්‍ර කිරීමටත් පදනම වනු ඇත.

මොහොමඩ් හා ඔහුගේ පුත‍්‍රයා ඔවුන්ගේ හානියට පත් නිවස ඉදිරිපිට

සිද්ධිය ගැන විමර්ශන පවත්වන බවට හා වගකිව යුත්තන්ට විරුද්ධ ව පියවර ගන්නා බවට පොරොන්දු වෙමින් පොලිස්පතිවරයා ප‍්‍රදේශයේ සංචාරය කලේ ය. අගමැති වික‍්‍රමසිංහ, නීතිය හා සාමය පිලිබඳ ඇමති සාගල රත්නායක සහ ගාලු දිසාව නියෝජනය කරන ඇමතිවරුන් කිහිප දෙනෙක් ද ප‍්‍රදේශයට ගොස් “සාමයෙන් ජීවත්වන” ලෙස වැසියන්ගෙන් ඉල්ලා සිටිය හ. අනාගතයේ මෙවන් වර්ගවාදී ප‍්‍රහාර සිදුවීමට ඉඩ නො දෙන බවටත් හානි වූ දේපොල සඳහා සම්පූර්නයෙන් ම වන්දි ගෙවන බවටත් වික‍්‍රමසිංහ පොරොන්දු විය.

මෙම පොරොන්දු හිස් ඒවා ය. සිංහල-බෞද්ධ වර්ගවාදී කන්ඩායම් හා ඒවාට සම්බන්ධ මැරයන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ ක‍්‍රියාත්මක වූ ආකාරයෙන් ම ය.

ගිංතොට ප‍්‍රදේශයේ කෝලාහලයට සම්බන්ධ 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියති. එහෙත් සෘජු වගකිව යුත්තන්ගෙන් අල්පතරයකට පමනක් චෝදනා ගොනුකිරීම සීමා වනු ඇති අතර එය සංවිධානය කිරීමට දේශපාලනික වගකීම දරන්නන් කොක්කෙන් මුදාහැරෙනු ඇත.

පසුගිය අප්‍රේල්-ජුනි මාස අතරතුර රටපුරා මුස්ලිම් කඩසාප්පු, නිවාස හා ඔවුනගේ පල්ලි කිහිපයකට ප‍්‍රහාර එල්ල කරනු ලැබී ය. එම ප‍්‍රචන්ඩ ක‍්‍රියා ඇවිලවීම ගැන බොදු බල සේනා (බොබසේ) සංවිධානයට චෝදනා එල්ල විය. රාජපක්ෂගේ ආශීර්වාදය සහිත ව අවුරුදු හයකට ඉහත දී ඉස්මතු වූ බොබසේ සංවිධානය, දැන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ තුරුල්ලේ සිටී. 2014 ජුනි මාසයේ කොලඹින් කිලෝමීටර 50ක් දකුනට වන්නට පිහිටි අලුත්ගම ප‍්‍රදේශය තුල මුස්ලිම්-විරෝධී ප‍්‍රචන්ඩ ප‍්‍රහාරයක් බොබසේ හා අනෙකුත් ස්වෝත්තමවාදී කන්ඩායම් විසින් මුදා හරිනු ලැබී ය. එම ප‍්‍රහාරයේ දී මුස්ලිම් වැසියන් තිදෙනෙකු මරා දැමුනු අතර, තවත් කිහිප දෙනෙකු ප‍්‍රහාරයට ලක් විය. මුස්ලිම් නිවාස හා කඩසාප්පු විශාල ගනනකට අලාභ හානි සිදු කෙරුනි.

කම්කරුවන්, ශිෂ්‍යයන්, තරුනයන්, ගොවීන් හා අනෙකුත් පීඩිත ජනයා අතරින් සුභ සාධන කප්පාදුවලට එරෙහි ව වැඩෙන අරගලයන්ට මුහුන දෙන සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, ඉන් පෙර පැවති ආන්ඩුව මෙන් ම කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා දුර්වල කිරීමට වඩ වඩා වාරු වී සිටින්නේ බොබසේ, සිහල රාවය, රාවනා බලකාය වැනි සිංහල-බෞද්ධ අන්තවාදී කන්ඩායම් මත ය. ඒ අතර ම, කම්කරු පන්තියට එරෙහි ෆැසිස්ට් සටන් භටකායන් ලෙස මෙම අන්තවාදී කන්ඩායම් යොදාගනු ලැබිය හැකි බවට ආන්ඩුව ගනන් බලයි.

Share this article: