යුද්ධයට බලමුලු ගැන්වීම සඳහා සූදානම් වන ලෙස ක්‍රෙම්ලිනය රුසියානු කර්මාන්තයට උපදෙස් දී ඇත

Kremlin instructs Russian industry to prepare for war mobilization

ඇලෙක්ස් ලැන්ටියර් විසින්, 2017 නොවැම්බර් 24

තමන්ගේ සියලු උත්සාහය යුද්ධයේ නිෂ්පාදන කරා හැරවීමට සූදානම් වන ලෙස රුසියානු කර්මාන්තයට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නියෝග කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය තුල 23දා පලවූ වාර්තාවල සඳහන් විය. ජර්මනිය සිය විදෙස් පිලිවෙත 2014දී නිල වශයෙන් ප්‍රතිමිලිටරීකරනය කිරීමෙනුත්, ස්වීඩනය බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම යලි හඳුන්වා දීමෙනුත් පසුව, 1914 1 වන ලෝක යුද්ධය පුපුරා යාමෙන් පසුව යන්තම් සියවසක් ඉක්මගිය තැන යුරෝපයේ ද ලෝකය පුරා ද රටවල් යලි වතාවක් ලෝක යුද්ධයකට සූදානම් වන බව මෙයින් පෙන්නුම් කරයි.

තුර්කි හා ඉරාන නිලධාරීන් සමග සිරියානු යුද්ධය ගැන සාකච්ඡා කල සොචී සමුලුවේදී පුටින් මේ ගැන කථා කල බව වාර්තා විය. කථාකරද්දී ඔහු විමසුමට ලක් කලේ, රුසියානු හමුදාව සැප්තැම්බරයේදී පවත්වන ලද වාර්ෂික සපැඩ් මිලිටරි අභ්‍යාස පිලිබඳවය.

“මිලිටරි ආරක්ෂක කටයුතුවල ඉතා වැදගත් කාරනයක් වන්නේ, නිශ්චිත කාලයක් තුල මිලිටරි නිෂ්පාදන වැඩි කිරීමට අපගේ ආර්ථිකය සතු හැකියාව” බව පුටින් පැවසීය. “මේ කාරනයේදී සියලු මූලෝපායික හා සරලවම විශාල පරිමානයේ ව්‍යවසායන් ඒවායේ අයිතිය නොසලකා සූදානම්ව සිටිය යුතු”

ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන කාරනය නම්, මේ වසරේ සපඩ් අභ්‍යාස සැලසුම් කෙරුනේ, විශාල පරිමානයේ න්‍යෂ්ටික යුද්ධයක් සඳහා රටේ ආර්ථික සම්පත් මෙහෙයවා ගැනීමට රුසියාවට හැකි ද යන්න සොයා බැලීමට බවයි. අභ්‍යාසයේ වට පිටාව පැවතුනේ, තම මිසයිල විදීම පුහුනු වීමට මූලෝපායික න්‍යෂ්ටික හමුදාවන්ට ඉඩ සැලසීමටය. ඒ, රුසියාවට පහරදෙන රටක් මකා දැමීමට සැලසුම් කල, රටේ විශාලතම ජලකර බෝම්බ යොදාගනිමිනි. එහිදී රුසියාවට එරෙහි විදේශ ගොඩබිම් හමුදා ආක්‍රමන හා විශාල ප්‍රමානයේ මිසයිල් ප්‍රහාර එල්ලවෙතැයි ව්‍යාජ ලෙස සලකා ගැනුනි.

එවන් යුද්ධයකදී මිලිටරිය ආර්ථිකය තමන් අතට ගන්නවා ඇත. සිවිල් පාරිභෝජන භාන්ඩ නිෂ්පාදනය කපා හරිනු ඇත. ඉතිරිවන කුමන හෝ කාර්මික හැකියාවක් දැවැන්ත ගුවන් ප්‍රහාර හා මිසයිල ආක්‍රමන සඳහා නිෂ්පාදනයට යලි යොමු කරනු ඇත.

“පලමුව අපි, අපගේ හමුදාවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දේශීය සම්පත් බලමුලු ගැන්වීමේ සූදානම හා හැකියාව පරීක්ෂා කලෙමු. සංචිත හමුදා මේ අභ්‍යාසය සඳහා කැඳවා ගත්තෙමු. සිවිල් සමාගම් වලට තමන්ගේ වාහන හා මෙවලම් හමුදාව සඳහා මාරු කිරීමට ඇති හැකියාව ද සන්නිවේදන ප්‍රවාහනයේ තාක්ෂනික ආරක්ෂාව සැපයීම ද අපි පරීක්ෂාවට ලක් කලෙමු. එසේම අපි හමුදාවට ආහාර හා බෙහෙත් සැපයීම මෙන්ම අවශ්‍ය දෑ ප්‍රවාහනය ද ප්‍රවර්ධන සේවාවන් ද තක්සේරු කලෙමු. අපට යලි වතාවක්, නිමැවුම වැඩිකිරීමට ආරක්ෂක සමාගම්වලට ඇති හැකියාව ඉක්මනින්ම විමසා බැලීම අවශ්‍යවී ඇත” යි පුටින් පැවසීය.

පුටින්ගේ ප්‍රකාශ ජාත්‍යන්තර කම්කරු පන්තියට හදිසි අනතුරුඟවීමකි. ගෝලීය ධනවාදය ඓතිහාසික මට්ටමේ දේශපාලන බිඳවැටීමක් තුලින් ඇදී යයි. ජාතික රාජ්‍යය පද්ධතිය හා ආර්ථික නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය අතර ගැටුම තුල මුල්බැස ඇති තුන්වන ලෝක යුද්ධයක තර්ජනය, අනිවාර්ය වන අතර උත්සන්න වෙමින් තිබේ. පුටින් සොචි සමුලූවේදී විවෘතව නිවේදනය කල දේ ජනතාවගේ පිටුපසින් නැටෝ ආන්ඩු විසින් කරමින් සිටී. න්‍යෂ්ටික බලවතුන් අතර සෘජු ගෝලීය යුද්ධය සඳහා හා අවශ්‍ය නම් තමන්ගේම ජනතාවට එරෙහිව සූදානම්වීම.

නැටෝ රටවල දේශපාලනයට ආක්‍රමනික ලෙස මැදිහත් වන බවට චෝදනා කරමින් රුසියාවට එරෙහි ප්‍රහාර මාලාවක් දියත් කර ඇති ඇමරිකානු හා යුරෝපීය මාධ්‍යවල පලවන වාර්තා කුහකත්වයෙන් පිරී ඇත. රුසියාව තමන්ගේම භූමියෙහි මිලිටරි අභ්‍යාස පවත්වන අතර නැටෝ බලවතුන්, රුසියාව වටකර තමන්ගේ හමුදා එරට දේශසීමා ආසන්නයටම ගෙනගොස් ඇත.

දෙසතියකට පෙර නැටෝව, බ්‍රසල්ස්හි සමුලුවක් පැවැත්වූයේ, රුසියාව සමග සටනකදී අත්ලාන්තික සාගරය හරහා යුරෝපා මහාද්වීපයට ඇමරිකානු හා යුරෝපීය හමුදා ප්‍රවාහනයට යොදාගත හැකි නාවික හා ප්‍රවර්ධන කඳවුරු ගොඩනැගීම ගැන සාකච්ා කිරීමටය. සමුලු න්‍යයපත්‍රය විමසා බලමින් ජර්මනියේ ඩර් ස්පීගල් සඟරාව පැවසුවේ, “සරල භාෂාවෙන් පැවසුවහොත්, නැටෝව සූදානම් වන්නේ රුසියාව සමග වියහැකි යුද්ධයකටය.”

රුසියාව මෙන්ම නැටෝ නිලධාරීන් ද සූදානම් වෙමින් සිටින්නේ, බැංකුවල හා මිලිටරියේ නියෝග වලට, සමාජ හා ආර්ථික ජීවිතය යටත් කිරීමේ සැලසුම් සහිත එවන් යුද්ධයකටය. බ්‍රසල්ස් සමුලුවේදී නැටෝ මහ ලේකම් ජෙනරාල් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පැහැදිලි ලෙස කියා සිටියේ, නැටෝව, එහි යුද සැලසුම් බුද්ධි අංශ, පොලිසිය හා බැංකු සමග සාකච්ඡා කරමින් සිටින බවයි. මේ ලසැලසුම් ආන්ඩුවේ පූර්න ප්‍රවිෂ්ටය ඉල්ලා සිටියි. එබැවින් අපගේ ආරක්ෂක ඇමතිවරුන්, මිලිටරි අවශ්‍යතා පිලිබඳව අභ්‍යන්තර, මුදල් හා ප්‍රවාහන ඇමතිවරුන් දැනුවත් කල යතුය.”

මොස්කෝව වටහා ගන්නා පරිදි ඇමරිකාව, ලොව වටා ආක්‍රමනික මිලිටරි කටයුතු තරකිරීම, රුසියාව වටා තොන්ඩුව දැමීමකට සමානය. යුරෝපයේ බටහිර රුසියානු දේශසීමාව දිගේ ද මිලිටරි තර්ජනය උග්‍ර කෙරී ඇත. අගෝස්තුවේ පටන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යලි යලිත් උතුරු කොරියාවට තර්ජනය කර ඇත. න්‍යෂ්ටික බලවතුන් වන නැගෙනහිර රුසියාවට හා චීනයට මායිම්ව එරට පිහිටා ඇත. මැයි මාසයේ ට්‍රම්ප් සව්දි අරාබියට යාමෙන් පසුව, මහා යුද්ධයක මුව විට ඇති මැද පෙරදිග, රුසියාවට දකුනෙන් පිහිටි එරට ප්‍රධාන සහචරයින් වන ඉරානයට හා සිරියාවට එරෙහිවදැඩි පිලිවෙතක් අනුගමනය කල යුතු යයි රියාද් පාලනයට බලපෑම් කලේය.

ඒ සමගම මේ සතියේ මුල ප්‍රසිද්ධ කර තිබෙන පෙන්ටගන් ගනන් හිලව් අනුව, මැද පෙරදිගට යවා ඇති ඇමරිකානු මිලිටරි හා සහායක කන්ඩායම් හදිසියේම සියයට 30න් ඉහල ගොස් 54325ක් වී ඇත.

සියවස් කාලකට පෙර 1991දී ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමේ විනාශකාරී දේශපාලන ප්‍රතිවිපාකයන්ට, මානව සංහතිය මුහුනට මුහුන පිහිටුවා ඇත. සීතල යුද්ධයේ අවධිය තුල අධිරාජ්‍යවාදීන් පල කල මුසාවාදය නම් සෝවියට් සංගමය ලෝකයේ සිටින මිලිටරි ආක්‍රමනිකයා බවය. එය විසුරුවා හැරීමෙන් පසුව වර්ධනය වූ අධිරාජ්‍යවාදී ආක්‍රමනයන්, මේ වංචාව හෙලිදරව් කර තිබේ. පැරනි සෝවියට් මිතුරන් වූ ඉරාකය, යුගෝස්ලාවියාව, ලිබියාව හා සිරියාව වැනි රටවලට නැටෝ බලවතුන් එල්ල කල ප්‍රහාරයන්ගෙන් හෝ වාඩිලාගැනීමෙන්, නැතහොත්, උතුරු කොරියාව සම්බන්ධ කාරනයේ දී මෙන් ආර්ථික වශයෙන් එම රටවල් හුදෙකලා කර ගෙල සිරකිරීමෙන්, සමස්ත කලාපයම විනාශ කෙරී ඇත.

මෙම යුද්ධ මිලියන සංඛ්‍යාත මිනිස් ජීවිත බිලිගත්තා පමනක් නොව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිව තිබෙන දැවැන්තම සරනාගත අර්බුදය නිර්මානය කරමින්, මිලියන 60ක් දෙනාට සිය නිවාස හා ගම්බිම් අතහැර පලායාමට බලකරයි.

ලෝක යුද්ධයකට සූදානම්ව සිටින ලෙසට පුටින් රුසියාවෙන් කල ඉල්ලීමෙන් හෙලි කෙරෙන අර්බුදය, දශක ගනනක් තිස්සේ නැටො බලවතුන් විසින් ලෝකය පුරා දියත් කරන ලද ලේවැකි යුද්ධවල ප්‍රතිපලයයි. සිය යුරෝපීය සහචරයින්ගේ ද උදව් ඇතිව, ඇමෙරිකානු අධිරාජ්‍යවාදය සිය ආර්ථික පරිහානිය ජයගැනීමට මිලටරි බලය යොදාගනිමින්, නැගෙන විරැකියාව හා සමාජ ව්‍යසනයෙන් නිර්මිත පන්ති ආතතීන් පිටතට හරවා යැවීමට දරන උත්සාහය, ලෝකය න්‍යෂ්ටික සංහාරයක මුව විටට පමුනුවා ඇත.

මේවා දැන් ධනපති රාජ්‍යයේ ඉහල මට්ටම් වලදී ප්‍රසිද්ධියේ සාකච්ඡා කෙරේ. පසුගිය සතියේ ඇමරිකානු සෙනේට් සභාව තුල, මැසෙචුසෙට්ස් නියෝජිත එඩ් මාකි අනතුරු ඇඟවූයේ, “මේ දැන් ධවල මන්ඳිරය තුල ජනාධිපතිට,කොන්ග්‍රසයේ අදහස නොවිමසා හා එයට නොදන්වා, ඇමරිකානු න්‍යෂ්ටික අවි යොදාගෙන උතුරු කොරියාවට පූර්ව භංග ප්‍රහාර එල්ල කිරීමේ බලය පැවරීමේ සැලසුම් ක්‍රියාත්මක වන” බවයි. තවත් සෙනේට් සභිකයෙක් පැවසුවේ, ධවල මන්ඳිරය “වයස්ගත වූවන් රැකබලා ගන්නා තැනක් බවට” පත්ව තිබෙන අතර පාලනය කල නොහැකි ජනාධිපති, ඕනෑම වෙලාවක න්‍යෂ්ටික යුද්ධයක් දියත් කිරීම තෝරාගත හැකි බවයි.

පශ්චාත් සෝවියට් ධනේශ්වර කතිපයාධිකාරයේ බංකොලොත් රුසියානු ජාතිකවාදය තුල මුල්බැසගත් ක්‍රෙම්ලිනයේ පිලිවෙත, ප්‍රතිගාමී මෙන්ම අධිරාජ්‍යවාදී යුද ව්‍යායාමයට විරුද්ධවීමට අසමත්ය. ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී මනෝ භාවයන් ඇමතීමට අපොහොසත් හා අකමැති මෙන්ම, මූල්‍යමය වශයෙන් අධිරාජ්‍ය වාදී මධ්‍යස්ථාන මත යැපෙන ක්‍රෙම්ලිනය, නැටෝ බලවතුන් සමග ගිවිසුමක් ගසා ගැනීමට දරන උත්සාහයත්, ඔවුන් සමග මිලිටරි ගැටුමක් ඇවිලයාමේ අවදානමත් අතර පැද්දෙයි. මූලෝපායඥයින් පැහැදිලිවම අපේක්ෂා කරන්නේ, එවන් ගැටුමක් මානව වර්ගයාගේ පැවැත්මටම තර්ජනයක් වන මහා පරිමානයේ න්‍යෂ්ටික යුද්ධයක් බවට වේගයෙන් පැතිරයා හැකි බවය.

යුද්ධයට හා ධනවාදයට විප්ලවවාදී විරුද්ධත්වයක් තුලින්, ජාත්‍යන්තර පරිමානව කම්කරු පන්තියේ දැනුවත් දේශපාලන මැදිහත්වීමකින් තොරව, යුද්ධය දෙසට වන තල්ලුව නතර කල නොහේ. මේ තත්වය තුල දැවැන්තම අන්තරාය වන්නේ, කම්කරු ජනතාව දේශපාලන අර්බුදයේ ගැඹුර හා ව්‍යසනකාරී යුද්ධයක වේගයෙන් නැගෙන තර්ජනය ගැන සම්පූර්න දැනුවත් කමකින් නොසිටීමයි.

ඇමරිකාව හා යුරෝපය තුල මාධ්‍ය, රුසියාව හෙලාදැකීමේ උද්ඝෝෂනයකට පැනගෙන ඇති මෙම තත්වය යටතේ ආන්ඩු, අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වාරනය දැඩි කරන ලෙස ඉල්ලති. ගූගල් සමාගම යුද විරෝධී හා සමාජවාදී වෙබ් අඩවි වාරනය කරයි. එහි ප්‍රමුඛ ඉලක්කය වී ඇත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවියයි. සමාජවාදී හා අධිරාජ්‍ය විරෝධී ඉදිරිදර්ශනයක් සහිතව කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනගන ලෙස ලෝසවෙඅ ඉල්ලා සිටින්නේ එබැවින්ය. එසේම තම පාඨකයින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් ලෝසවෙඅ ඉල්ලා සිටින්නේ, මාධ්‍ය වාරනයට හා යුද්ධයට විරුද්ධව පල වන එහි ලිපි ලේඛන පුලුල් ලෙස බෙදාහරින ලෙසයි.

Share this article: