මීතොටමුල්ල ව්‍යසනය: නිවාස පොරොන්දුව ඉටුකර ඇති බවට පච ගොතමින් පෙසප ආන්ඩුව ආරක්ෂා කරයි

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ වාර්තා කරුවන් විසිනි, 2017 නොවැම්බර් 28

ජනතාව පදිංචි කලේ යයි කීවත් තවම වැඩ අවසන් නැති ගොඩනැගිල්ල

මීතොටමුල්ල කසල කන්ද නාය යෑමේ අනතුරින් අවතැන් වූ පවුල් වලට නව නිවාස ලබා දෙන බවට ආන්ඩුව දුන් පොරොන්දුව ඉටුකර ඇතැයි, මීතොටමුල්ල කුනු කන්දට එරෙහි ජාතික ව්‍යාපාරයේ ලේකම් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෙකු වන නුවන් බෝපගේ, නොවැම්බර් 11 දා ඩේලි මිරර් පුවත්පතට ප‍්‍රකාශ කර තිබුනි.

ආන්ඩුවට සුදුහුනු තවරමින් බෝපගේ කරන මෙම ප‍්‍රකාශය අසත්‍ය මෙන්ම විසකුරුය.

ලබාදී ඇති නිවාසයන්ගේ තත්වය මෙසේය. අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් කොලඹ නගරයෙන් බලහත්කාරයෙන් ඉවත් කල පවුල් අතරින් කොටසක් පදිංචිකරවීම සඳහා සාලමුල්ලේ ගොඩනගන ලද “ලක්සඳ සෙවන” මහල් නිවාස මීතොටමුල්ලේ විපතටපත් පවුල් 68 කට ලබාදී ඇතත් ඒවායේ නීත්‍යානුකූල අයිතිය ඔවුනට ලබාදී නොමැත.

විදුලි සෝපානය අසල බිත්ති පුපුරාගොස් ඇති අයුරු

ප‍්‍රමිතියෙන් තොර සහ ඉතා අඩු ඉඩකඩකින් යුත් මෙම නිවාස පදිංචියට නුසුදුසුය. මෙම නිවාස ගොඩනගා වසරක් ගතව ඇති අතර බිත්ති පුපුරා ඇති අයුරු නිවැසියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තා කරුවන්ට පෙන්වූහ.

මැදිවියැති, එක්දරු මවක් වන ඩී. මලර්මදී ප‍්‍රකාශ කලේ තමන් මුහුන දී ඇති මුලික ගැටලු කිසිවකට තවමත් විසඳුම් ලැබී නැති බවයි. “අපිට මේ තට්ටු ගෙවල් ගැන කිසිම විශ්වාසයක් නැහැ” යයි ඇය පැවසුවේ ගෙය පුරා බිත්ති පිපිරීමට පටන්ගෙන ඇති අයුරු පෙන්වමිනි. “මේ ගෙවල් හදල අවුරුද්දයි, දැනටම බිත්ති පුපුරනවා.” කොරිඩෝවේ හා විදුලි සෝපානය අසල බිත්ති බරපතල ලෙස පුපුරා ගොස් ඇති අයුරුද වාර්තාකරුවන්ට දැකගත හැකිවිය.

තව දුරටත් ඇය කියා සිටියේ “අපිට රු 250,000 වන්දි මුදල තවම ලැබුනේ නැහැ. මම මීතොටමුල්ලේ, ගේ ගත්තේ බොරැල්ලේ තිබුන අපේ ගේයි ඉඩමයි විකුනලා. අවදානම් කලාපය කියල අපිව ගෙයින් ඉවත් කරලා මේ පුංචි ගෙට දැම්මේ වෙන කිසිම් වන්දියක් නැතිව. ඉඩමට වන්දියක් දෙනවා කියල කිව්ව, ඒක හැමදාම කල් යනවා.”

එම නිවාස සංකීර්නයේ නව ගොඩනැගිල්ලක් නොවැම්බර් 8 වනදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් විවෘත කල අතර, මීතොටමුල්ලෙන් අවතැන් වූ පවුල් පදිංචි කිරීමට නියමිත බව ආන්ඩුව ඔජ වඩවමින් ප‍්‍රකාශ කලේය. මේ නිවාස කලින් ලබාදුන් මහල් නිවාස වලට වඩා ප‍්‍රමිතියෙන් ඉහල බවත්, රජයේ ප‍්‍රචාරක මාධ්‍ය මගින් වාර්තා කෙරින.

නමුත් එහි ගිය ලෝසවෙඅ වාර්තාකරුවන්ට දැක ගත හැකි වූයේ, තවමත් වැඩ අවසන් නොවූ ගොඩනැගිල්ලකි. එය කලින් ලබා දී ඇති, නොයෙකුත් ප‍්‍රශ්න ගහන මහල් නිවාස වලට කිසිසේත්ම වෙනස් නොවීය. වර්ග අඩි 450 ක් යයි නිල වශයෙන් ප‍්‍රකාශ කර තිබුනත්, වැඩබිමේ කම්කරුවන් හා නිලධාරින් කියා සිටියේ නිවෙස් වල ප‍්‍රමානය වර්ග අඩි 400ක් පමනක් බවයි. ඉතා කුඩා සාලයකින්, තනි පුද්ගලයෙකුටවත් ප‍්‍රමානවත් නැති වැසිකිලියකින් හා තනි කොන්ක‍්‍රීට් ලෑල්ලක් යොදා සකස් කල මුලුතැන් ගෙයකින්, කුඩා කාමර දෙකකිනුත් සමන්විත වන මෙම නිවාස, ප‍්‍රශ්න ගහන, මුවදොර උයන, මෙත්සර පුර, සිරිසඳ සෙවන ආදී මහල් නිවාස වල ආකෘතියෙන් කිසි සේත්ම වෙනස් නොවේ.

මාස කීපයකට පෙර ලබාදුන් තම නිවසේ කුස්සියේ බිත්ති වලින් ජලය කාන්දුවන බව පවසන පද්මලතා

සාලමුල්ල නිවාස සංකීර්නයේම ඊ කොටසේ පදිංචි කරවා ඇති මීතොටමුල්ලෙන් අවතැන් වු පවුලක සිවු දරු මවක් වන පද්මලතා ප‍්‍රකාශ කලේ, නිවාස අහිමි වූවන්ට මුලින්ම සහන වශයෙන් සමහර පවුල් වලට ලැබුනු රුපියල් 250,000 මුදලවත් තවම ලැබී නැති බවයි. “මගේ එක පුතෙකුට මොලයේ ගෙඩියක් තියන නිසා හැමදාම අසනීපයෙන් ඉන්නේ, ඉතින් නිතරම අපි ඉස්පිරිතාලේ එහෙම යනවා, හුඟක් දවස් වලට ලිෆ්ට් දෙකෙන් එකක් කැඩිලා. මේ ඔක්කොම ප‍්‍රශ්නත් එක්ක තට්ටු නිවාසෙක 11 වෙනි තට්ටුවේ ජීවත් වෙන්න හරි අමාරුයි.”

පද්මලතා හා අසනීපයෙන් පසුවන පිරිමි දරුවා

ලෝසවෙඅ වාර්තා කරුවන්ට බොහෝ දෙනෙකු කියා සිටියේ තම ප‍්‍රශ්න කිසිවක් විසඳී නැති බව සහ ආන්ඩුව බොරු ඇස්බැන්දුම් වලින් ජනතාව මුලා කරන බවයි. පෙසප ය සහ බෝපගේ ඉදිරිපත්ව සිටින්නේ, පැවති රාජපක්ෂ ආන්ඩුවට හා සිරිසේන ආන්ඩුවට එරෙහිව පලාත් වාසීන්ගේ කෝපය වර්ධනය වන තත්වයේදී ආන්ඩුව සහ ධනේශ්වර සංස්ථාපිතය ආරක්ෂා කිරීමට යි.

පෙසපයේ නායකත්වයෙන් ගොඩනැගූ “මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ” අරමුන වූයේ කසල කන්දට එරෙහිව කලෙක සිට වැඩුනු මහජන විරෝධය, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් දෙසට වර්ධනය වීම වලකාලීමයි. පෙසප විසින්, ධනපති ආන්ඩු වලට බලපෑම් දමීමේ සීමාව තුල පලාත් වාසීන් දිගු වසර ගනනාවක් තුල සිරකොට සිටියදී එය නායගොස් නිල වශයෙන් ජීවිත 32ක් අහිමිව 8 දෙනෙක් අතුරුදහන් විය.

පවුල් 198ක දහසකට වැඩි පිරිසක් මින් පීඩාවට පත්වූ අතර ගෙවල් 146 ක් පුර්න හෝ අර්ධ වශයෙන් විනාශ විය. අනතුරුදායක කලාප ලෙස නම් කිරීමෙන් පසු තවත් පවුල් සිය ගනනක් ඉවත් කර ඇත. මහජනයා පවසන පරිදි ජීවිත විනාශය නිල ගනන් ගැනීමට වඩා විශාලය.

අවතැන්වූවන්ට නව නිවාස ලබාදෙන තෙක් සපයන බවට ආන්ඩුව පොරොන්දු වූ ගෙවල් කුලී සහ දීමනා ලැබී ඇතැයි ද තවත් “බොහෝ වැඩසටහන්” ආන්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇතැයි ද බෝපගේ පවසයි.

බෝපගේ විපතට ගොදුරුවූවන්ට ලබාදී ඇතැයි පවසන දීමනා එකින් එක ගෙන පරීක්ෂා කර බැලීමේදී හෙලිදරව් වන්නේ මහජනතාව තවමත් සිටින්නේ කිසිදු ප‍්‍රශ්නයක් නොවිසඳුනු තත්වයේ බවය. බෝපගේ මෙම ප‍්‍රකාශකර සතියකට පසුව නොවම්බර් 17 දින මීතොටමුල්ල කසල් කන්දේ ගිනිගැනීමක් සිදුවිය. කන්දේ මුදුනත සිදුවූ ගිනිගැනීම ගිනිනිවන හමුදාවේ මැදිහත් වීමෙන් මැඩලුවද කන්ද අවට පදිංචි කරුවන් මෙතෙකුදු ජීවත්වන්නේ අනතුරුදායක තත්වයේය.

මීටර 20ක් පමන උස අක්කර 22ක පැතිරී තිබුන කසල කන්ද තුල රැදී ඇති “මෙතේන්” වායුව ඉවත් කිරීමට හෝ ජලය කාන්දුවීම වැලැක්වීමට කිසිදු පියවරක් ගෙන නැත.

කුනුකන්දේ පිවිසුම් දොරටුව අසල නිවසක ජීවත් වන සිවු දරු මවක වන කුමුදු කියා සිටියේ, එදින දවල් හා හවස ගිනි ගැනීම් දෙකක් ඇති වූ බවයි. “ගිනි නිවන හමුදාවෙන් ආව, ඊට පස්සේ පොලිසිය දාල අපි ඒ පැත්තට යන එක නතර කලා. දැන් ආපහු අපි ඉන්නේ කන්ද කඩා වැටුන දවස් වල වගේම බයකින්, ඊයේ ඉඳන් මට නින්ද යන්නෙත් නැහැ.”

“කසල කන්දෙන් ජනතාවට එල්ලවෙලා තියෙන තර්ජනය ගැන ආන්ඩුවට මොනම තැකීමක්වත් නැහැ. ප‍්‍රශ්න විසඳනවා තියා මිනිස්සුන්ගේ ජීවිත ගැනවත් ආන්ඩු කිසිවක් සලකන්නේ නැහැ, ඒකයි ඇත්ත.” මේ කසල කන්දෙන් ජනතාවට එල්ලවී තිබෙන තර්ජනය ගැන කිසිදු විද්‍යාත්මක තක්සේරුවක් බලධාරීන්ට නොමැති බව ඇය පෙන්වා දුන්නාය.

මේ ගින්න ඇතිවී ඇත්තේ, ඕනෑම ඝන අපද්‍රව්‍ය රඳවනයක, අපද්‍රව්‍ය දිරාපත්වීමේදී ස්වභාවිකව ජනනය වන අතිශයෙන්ම දාහ්‍ය “මෙතේන්” වායුව හේතුවෙන් බව වාර්තාවේ. දශක දෙකක් පුරා ටොන් මිලියන තුනකට අධික කසල ප‍්‍රමානයක් බැහැර කර ඇති මීතොටමුල්ල කසල කන්ද තුල අධික මෙතෙන් ප‍්‍රමානයක් ගැබ්වී තිබිය හැකි බැවින්, එය ගිනි ගැනීමේ බරපතල අවදානමක් නිරතුරුව පවතී.

ඝන අපද්‍රව්‍ය කලමනාකරන ඉංජිනේරු විද්‍යාවේ පිලිිගත් ක‍්‍රම වේදය නම්, මෙලෙස ජනනය වන මෙතෙන් වායුව එකතු කර එය සුරක්ෂිතව දහනය කල හැකි නල පද්ධතියක් සෑම අපද්‍රව්‍ය රඳවනයකම තිබිය යුතුයි. යම් හෙයකින් එවැනි නල පද්ධතියක් නැති කසල කන්දක් වසා දමන විට, නල පද්ධතියක් පසුව සවිකිරීම අත්‍යාවශ්‍ය වේ.

මෙවැනි විද්‍යාත්මක ක‍්‍රමවේදයන් අනුගමනය කරනු තබා, කසල රඳවනයක් වසා දැමීමේ මූලිකම හා අවම පියවර වන, ජලය හොඳින් බැස යන ආකාරයෙන් හා ජලය කසල තුලට කාන්දු වීම අවම වන ආකාරයෙන් කන්ද මතුපිට පස් යොදා ආවරනය කිරීමවත්, මේ ව්‍යසනය සිදුවී මාස හතකට පසුවත් තම සිදුවී නැත.

මීතොටමුල්ල විපතට පත්වූවන් මුහුන දෙන තවත් බරපතල ප‍්‍රශ්නයක් වෙතට ගෘහනියක් අවධානය යොමු කලාය. “කුනු කන්ද කඩා වැටුනයින් පස්සේ අපේ ලමයි ගිය රාහුල ඉස්කෝලේ වැහුවා. ඊට පස්සේ මාස ගනනාවක් හිටිය ඉස්කෝලයක් නැතිව. දැන් කොලොන්නාවේ ටෙරන්ස් විද්‍යාලයට ඇතුලත් කරලා තියනවා. එකේ ලමයි හුඟක් වැඩයි, පහසුකම් අඩුයි, මේ කිසිම දෙයක් බලන්නේ නැතිව තමයි රාහුල ඉස්කෝලේ වහල, ටෙරන්ස් විද්‍යාලෙට ලමයින්ව මාරු කලේ ඉතින් අපේ ප‍්‍රශ්න විසඳුව කියන්නේ මේකටද?”

මාසික කුලී ලබාදුන් බව බෝපගේ පවසන නමුත් මහල් නිවාස ප‍්‍රතික්ෂේප කල අයට දෙන බවට පොරොන්දු වූ රුපියල් 50,000 ක මාසික කුලිය ලැබී ඇත්තේ මාස හතරකට පමනි. දන් මාස හතක් ගතවී ඇති තත්වයේදී එම නිවැසියන් බරපතල ගැටලූවකට මුහුනදී සිටියි.

මීතොටමුල්ල ව්‍යසනයේදී ආන්ඩුව දුන් පොරොන්දු ඉටුකර ඇතැයි යන අදහස මහජනතාව ගිල්වීමට පෙසප උත්සාහ දරන්නේ තම බලපෑම් දැමීමේ දේශපාලනය සාර්ථක ඵල දරා ඇති බව ඒත්තු ගැන්වීමට සහ අර්බුදයේ ගිලී සිටින ආන්ඩුවට ගැම්මක් ලබා දී ධනපති ක‍්‍රමය ආරක්ෂා කර දීමටයි.

මීතොටමුල්ල කසල කන්දට එරෙහි අරගලය ධනපති ආන්ඩු වලට බලපෑම් දැමීම තුල කොටු කලා සේම නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා පෙරට පැමිනි සිසුන්ගේ අරගලය, පෙසප සහ ඊට අනුබද්ධ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය යටතේ ධනපති ආන්ඩුවට බලපෑම් දැමීමේ වැඩපිලිවෙලක ට කොටු කර දැන් ඒ සටන පාවාදී ඇත.

පෙසප යේ මෙම ප‍්‍රතිගාමී දේශපාලනයේ සබෑ අරමුන වන්නේ ධනපති ආන්ඩු ක‍්‍රියාවට දමන අධිරාජ්‍යගැති වඩපිලිවෙලේ ගොදුරු බවට කම්කරුවන්, දුගීන් හා සිසුන් පත්කරලීමයි.

Share this article: