එක්සත් ජනපදය උතුරු කොරියාව පිටත නෞකා හා ගුවන් යානාවන් ගොඩ ගස්සවයි

US masses ships and aircraft outside North Korea

2017 ඔක්තෝබර් 30

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ගබඩා අත්හැර නොදමන්නේ නම්, මිලියන 25ක ජනගහනයකින් යුතු රට විනාශ කිරීමට එක්සත් ජනපදය සූදානම් බවත් එයට හැකියාව ඇති බවත් එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් යලිවතාවක් පියොංයැං වෙත අනතුරු ඇඟවූයේ ය. අග්නිදිග ආසියාවේ පෙරනුවූවිරූ එක්සත් ජනපද මිලිටරි ගොඩනැංවීමක් මගින් පිටුබලය ලබන තර්ජනය, කලාපය හා ලෝකයම ව්‍යසනකාරී යුද්ධයක අද්දරට ඇද දමා තිබේ.

“එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව න්‍යෂ්ටික බලවතෙක් ලෙස පිලිගනු ඇති කොන්දේසියක් පිලිබඳව මටනම් සිතාගත නොහැකැ”යි, සෙනසුරාදා සියොල්වලදී මැටිස් කීවේ ය. “එක්සත් ජනපදය හෝ අපගේ සගයන් වෙත එල්ල කරන ඕනෑම ප‍්‍රහාරයක් පරාජය කිරීමට නොවලහා කටයුතු කරන අතර, කොරියාව විසින් මොනයම්ම හෝ ආකාරයෙන් න්‍යෂ්ටික අවි පරිහරනය කිරීමක් වඩාත් ප‍්‍රබල හා සෑම පැත්තක්ම අලලා ගත් යෝධ මිලිටරි ප‍්‍රහාරයකින් ප‍්‍රතිචාරය ලබනු ඇත.”

එක්සත් ජනපද යුද සැලසුම් ස්වභාවයෙන්ම ආක‍්‍රමනශීලි ඒවා මිස ආරක්ෂනවාදී නොවේ. සියෝල් මත එල්ල කෙරුනු ඇතයි පරිකල්පනය කෙරුනු ප‍්‍රහාරයක් වැලක්වීමට උතුරු කොරියාව වෙත පූර්ව-භංග එක්සත් ජනපද ප‍්‍රහාරයක් එල්ල කිරීමේ ශක්‍යතාව විමසූ කල්හි, “ඔව්, අපිට ඒවාට විසඳුම් තියෙනවා” කියමින් මැටිස් එය තහවුරු කලේ ය. ඕපීඑල්ඒඑන් 5015 මෙහෙයුම යටතේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික, මිලිටරි හා කාර්මික මධ්‍යස්ථානවලට එරෙහිව දැවැන්ත ප‍්‍රහාරයක් දියත් කිරීමට මෙන්ම එහි ප‍්‍රමුඛ නායකයින් ඝාතනය කිරීම සඳහා විශේෂ කාර්යබලකායන් විසින් දියත් කර තිබෙන “හිසගසා දමන වැටලීම්” සමග එක්සත් ජනපද හා දකුනු කොරියානු මිලිටරි භටඛන්ඩ සූදානම් කර තිබේ.

“අපගේ ඉලක්කය යුද්ධය නොවේ” යැයි මැටිස් අවධාරනය කරන අතරේ, උතුරු කොරියාව වොෂිංටනයේ ආඥාවන්ට මුලුමනින්ම යටත්වීමට නොඅඩු වෙනත් කිසිම විසඳුමක් එක්සත් ජනපදයේ ජනාධිපති ට‍්‍රම්ප් විසින් තීරනාත්මකවම නොතකා හැර තිබේ. උතුරු කොරියාව සමග සාකච්ඡා සඳහා රාජ්‍ය තාන්ත්‍රික නාඩිඅල්ලමින් “ කාලය කා දැමීම” ගැන ට‍්‍රම්ප්, මේ මස මුලදී රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ට ප‍්‍රසිද්ධියේ තරවටු කලේ ය.

ජපානය, දකුනු කොරියාව හා චීනය ඇතුලත්ව මෙම සතියේදී ආසියාවට කෙරෙන ඔහුගේ ප‍්‍රථම සංචාරයේ නියැලීමට ට‍්‍රම්ප් සූදානම්ව සිටී. උතුරු කොරියාව “මුලුමනින්ම විනාශ කිරීම එක්සත් ජාතින්ගේ සංවිධානය තුලදී දැනටමත් තර්ජනය කර තිබෙන ඔහු නිසැකවම මෙම ගිනිඅවුලන තර්ජනය යොදාගනු ඇත්තේ පියොංයැංවලට තර්ජනය කිරීමට පමනක් නොව, සමස්ත කලාපයටම, විශේෂයෙන්ම සිය ගෝලීය අධිකාරිය සඳහා මූලිකම අවහිරය යැයි එක්සත් ජනපදය විසින් සලකන චීනයට එරෙහිව ය.

ට‍්‍රම්ප්ගේ සංචාරය සිදුවනු ඇත්තේ, කොරියානු අර්ධද්වීපය යාබදව එක්සත් ජනපද මිලිටරි බලකායන්ගේ දැවැන්ත ප‍්‍රදර්ශනයක් මධ්‍යයේ ය. ඒවා අතුරින්,

* යූඑස්එස් රොනල්ඩ් රේගන්, යූඑස්එස් නිමිට්ස් හා යූඑස්එස් තියෝඩෝ රූස්වෙල්ට් යන න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ගුවන්යානා දරන එක්සත් ජනපද නෞකාවන් තුනක්. කලාපය තුල ක්‍රියාත්මක වන මෙම නෞකාවන් ඒවායේ අනුයුක්ත කන්ඩායම් සමග එකාබද්ධ යුද අභ්‍යාස සඳහා සූදානම් වෙමින් සිටී. මේ එක් එක් නෞකාවක්, මධ්‍යම නෞකා, ප‍්‍රහාරක නෞකා හා න්‍යෂ්ටික සබ්මැරීන් ඇතුලු යුද නෞකාවන් හයේ සිට දහය දක්වා සංඛ්‍යාවක් ද දුසිම් ගනනක් වන ප‍්‍රහාරක ජෙට් යානා හා මිලිටරි ගුවන් යානා සහිත පියාසර අංශයකින්ද සමන්විත වේ.

* තොමාහෝක් මිසයිල 150කට අධික සංඛ්‍යාවකින් සන්නද්ධ න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීනයක් වන යූඑස්එස් මිචිගන්, යූඑස්එස් රොනඩ් රේගන් සමග ඒකාබද්ධ මිලිටරි අභ්‍යාසවල නිරතවීමට පෙරාතුව ඔක්තෝබර් 17දා දකුනු කොරියාවේ නැංගුරම්ලා තිබුනේ ය. මෙම සබ්මැරීනය නාවික හමුදා සීල් (SEAL) භටයින්ගෙන්ද සමන්විත වන අතර, ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කල කුප‍්‍රකට සීල් හය කන්ඩායම ද රැගෙන පූර්වයෙන් අප්‍රේල් මාසයේදී වරායට පැමින තිබූ බව වාර්තා වේ.

* එක්සත් ජනපද මිලිටරි කඳවුරු, විශේෂයෙන්ම දකුනු කොරියාව, ජපානය, ගුවාම් හා ඔස්ට්‍රේලියාවේ තිබෙන කඳවුරුවලට කිසිදු සැකයකින් තොරවම ඉහලම අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇත. ඉමහත් නාවුක යාත‍්‍රාවන් හා යුද නෞකාවන් සංඛ්‍යාවක් සමග දකුනු කොරියාව තුල 28,500ක සෙබලුන් සංඛ්‍යාවක් ද, ජපානය තුල 54,000ක් හා ගුවාම්වල 4,000ක සෙබල සංඛ්‍යාවක් පෙන්ටගනය සතුව තිබේ. එක්සත් ජනපද මැරීන්, යුද නෞකාවන් හා ගුවන් යානා මෙන්ම ඔත්තු බැලීම් හා සංනිවේදන අංශ ඇතුලත් සාරාර්ථ වසයෙන්ම පසුබිම් කඳවුරක් ලෙස ඔස්ට්‍රේලියාව ක්‍රියාත්මක වෙයි. ඒකාබද්ධ සංචාරවල නියැලීම පිනිස ඕස්ට්‍රේලියානු ආරක්ෂක නැව් දෙකක් මෙම සතියේදී දකුනු කොරියාවට ලඟාවීමට නියමිතව සිටී.

* පලමු වතාවට, එෆ්-35ඒ ඒකාබද්ධ ප‍්‍රහාරක ජෙට් හා 300ක සෙබල පිරිසක් සහිත සංග‍්‍රාම කන්ඩායමක් ජපානයේ ඔකිනාවා දූපතේ ඇති එක්සත් ජනපද කඳවුරට මෙහෙයවීමට පෙන්ටගනය සූදානම්ව සිටී. දැවැන්ත ගුවන් ප‍්‍රහාරයක් සඳහා අවස්ථා විවර කරගනිමින්, උතුරු කොරියානු ගුවන් ආරක්ෂන පද්ධති විනාශ කිරීමේ ප‍්‍රාථමික ප‍්‍රහාර මාලාවක කොටසක් වසයෙන්, වඩාවර්ධනය කල- පස්වන පරම්පරාවට අයත් රහසිගතව පියාසර කල හැකි ස්ටෙල්ත් ප‍්‍රහාරක යානා යහමින් යොදා ගත හැකිවෙනු ඇත.

* බී-52 හා බී1-බී මූලෝපායික බෝම්බ හෙලන ගුවන් යානා උතුරු කොරියාවට ඉහලින් පියාසර කරවමින් එක්සත් ජනපද ගුවන් හමුදාව එකකට පසු තවකෙක් වසයෙන් මිලිටරි ප‍්‍රකෝපකරනයන් සිදුකර තිබේ. ඊයේ (29), න්‍යෂ්ටික අවිගබඩාව භාරව සිටින එක්සත් ජනපද මූලෝපායික මෙහෙයුම් මධ්‍යස්ථානය වාර්තා කලේ, “ගුවන් කාර්යමන්ඩලය හුරුකරවීමට” හා “සූදානමේ හා කාර්යක්ෂමතාවේ ඉහල තත්වයක්” සහතික කරගැනීමට බී-2 රහසිගතව පියාසර කලහැකි ස්ටෙල්ත් බෝම්බ හෙලන යානාවක් එක්සත් ජනපදයේ සිට පැසිෆික් වෙත පියාසර කරවූ බව යි. බී1-බී මෙන් නොව නවීනතම බී-2 න්‍යෂ්ටික හැකියාව ඇති ඒ්වාය.

මෙම ගුවන් යානය යැවීම මගින් අවධාරනය කෙරුනේ, න්‍යෂ්ටික බලය සහිත බී-52 බෝම්බ හෙලන යානා 26කට හා අන්තර් මහද්වීපික බැලිස්ටික් න්‍යෂ්ටික මිසයිල (අයිසීබීඑම්) 150ක අංගනවලට නිවස්නවූ උතුරු ඩැකොටාහි මිනොට් ගුවන් හමුදා කඳවුරට පසුගිය සිකුරාදා කල සංචාරයකදී එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් සිදුකල තර්ජනතාත්මක අදහස් පලකිරීම් ය. “ඔබගේ සේනාධිනායකයා [ට‍්‍රම්ප්] අන්කවරදාටත් වඩා ඔබගේ සූදානම්වීම් කෙරෙහි විස්වාසය රඳවා සිටිනවා. තියුනු ලෙස අවධානයෙන් ඉන්න, ඔබගේ කර්තව්‍ය මතක තබා ගන්න” උතුරු කොරියාව වෙත අවධානය යොමුකරමින් පෙන්ස් සඳහන් කලේ ය.

උතුරු කොරියාව හා ගැටුමට සම්බන්ධ වන චීනය හා රුසියාව වැනි අනෙක් ඕනෑම බලයකට එරෙහිව ට‍්‍රම්ප් පාලානාධිකාරිය යුද්ධයක් සඳහා සූදානම් වෙමින් සිටින්නේ හුදු සාම්ප‍්‍රදායික අවිවලින් පමනක් නොව, න්‍යෂ්ටික බෝම්බ වලිනි. බී-52 න්‍යෂ්ටික බෝම්බ හෙලන යානාවන් යලිවතාවක් පැය 24 සෝදිසියෙන් තැබීමට එය සූදානම් වෙමින් සිටින බව ගුවන් හමුදාව පසුගිය සතියේදී නිවේදනය කලේ ය. එමෙන්ම, ඊයේ දින ගාඩියන් වාර්තා කල ආකාරයට, ට‍්‍රම්ප් පාලානාධිකාරිය නව න්‍යෂ්ටික තත්ව විමර්ශනයක් කෙටුම්පත් කරමින් තිබේ. නව න්‍යෂ්ටික ආයුධ මාලාවක් සඳහා මෙන්ම ඒවා භාවිතා කිරීමේදී බලපැවත්වෙන නීති වෙනස් කිරීමට එමගින් දොර විවර කෙරෙනු ඇත.

උතුරු කොරියානු තන්ත‍්‍රයට එලැඹිය හැකි එකම නිගමනය වන්නේ, සාම්ප‍්‍රදායික සහ හෝ න්‍යෂ්ටික අවි යොදාගෙන කෙරෙන එක්සත් ජනපද සංහාරයක හදිසි තර්ජනයකට රට මුහුනදී සිටින බවයි. උතුරු කොරියාව නැගෙනහිර වෙරලබඩ මහනගර හා නගරවල මහා මුදාගැනීමේ අභ්‍යාස සිදුකරමින් සිටින බව සති අන්තයේදී දකුනු කොරියාව පදනම් කරගත් එන්කේ නිව්ස් වාර්තා කලේ ය.

ඉතිහාසයේ අන් කිසිදු මොහොතකට වඩා ලෝකය න්‍යෂ්ටික යුද්ධයක අද්දරට සමීපව ඇති සැටියකි. 1962 කියුබානු මිසයිල් අර්බුද අතරතුර එක්සත් ජනපදය හා රුසියාව අතර අත්‍යන්තයෙන් ආතතිසහගත මුහුනට මුහුනලා කෙරුනු තරවටුව සිදුවන අවස්ථාවේදී ඇමරිකාවේ හා රුසියාවේ නායකයින් ක්‍රියාත්මකවූයේ, එය ලෝකයට විනාශය ගෙන දිය හැකිව තිබූ න්‍යෂ්ටික ඝට්ටනයක් බවට පත්වීමෙන් වලක්වා ගැනීමට යි.

කෙසේවෙතත්, ඇමරිකානු හා ගෝලීය ධනවාදයේ නොවිසඳිය හැකි පරස්පර විරෝධතාවන් මගින් මෙහෙයවෙන ට‍්‍රම්ප්, ආසියාවේ මෙන්ම මැදපෙරදිග හා නැගෙනහිර යුරෝපයේ ජ්වලන මධ්‍යස්ථාන දැනුවත්වම ගිනිඇවිලවීමට පෙරනූවිරූ මට්ටමේ තකතිරුභාවයකින් ක්‍රියාත්මක වෙමින් තිබේ. රටතුල එක් දේශපාලන අර්බුදයකින් තවකෙකට පැටලෙමින් ද ඔහුගේ කප්පාදු හා යුද පිලිවෙත්වලට එරෙහිව වැඩෙන මහජන වෛරයට මුහුන දෙමින් ද තියුනු සමාජ ආතතීන් විදෙස් සතුරෙකුට එරෙහිව හරවා යැවීමේ ක‍්‍රමයක් ලෙස යුද්ධ දියත් කිරීම කරා ඇදීයමින් සිටී.

තමන්ගේ ජීවන කොන්දේසි, මූලික ප‍්‍රජාතාන්තික අයිතීන් ආරක්ෂා කරගැනීමට සහ ලෝකය ම්ලේච්ඡත්වය වෙතට ඇද දමන ගැටුමක් වැලක්වීමට එක්සත් ජනපදය තුල හා ලෝකය පුරා කම්කරුවන් හා තරුනයින් ධාවනය කරන්නේ ද මෙම ආතතීන්ම ය. මෙම ව්‍යාපාරය, යුද්ධය හා සමාජ කාලකන්නිභාවය උපදවන බංකොලොත් ධනපති පද්ධතියට තිත තැබීම පිනිස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සටන්වදින සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙල තුල දැනුවත් ප‍්‍රකාශනය සොයාගත යුතු ය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: