ට‍්‍රම්ප්, උතුරු කොරියාවට එරෙහි යුද සන්ධානය ගොඩනැගීමේ දින 12ක ආසියානු සංචාරය පටන්ගනී

Trump begins 12-day visit to Asia to build war coalition against North Korea

ජේම්ස් කෝගන් විසිිනි, 2017 නොවැම්බර් 4

සිය සමීපතමයන් කල්ලියක් ද ව්‍යාපාර විධායකයින් ද පිරිවරාගෙන ඩොනල් ඩ් ට‍්‍රම්ප්, “ඉන්දු-පැසිෆික්” ලෙස දැන් ඇමරිකානු ප‍්‍රතිපත්ති සම්පාදකයින් විසින් නිල වශයෙන් හඳුන්වන කලාපයට දින 12ක සංචාරයක් සඳහා 3දා පිටත් විය.

ඇමරිකානු ජනාධිපතිවරයෙක් ආසියාවට කරන දිගම නිල සංචාරය වනු ඇති මෙහි අරමුනු පැහැදිලිය. කෙටි කාලයේදී වොෂින්ටනය, උතුරු කොරියාවට එරෙහි විනාශකාරී මෙන්ම න්‍යෂ්ටික යුද්ධයක් ද වීමේ විභවය සහිත යුද්ධයේදී තම සහචරයින්ගේ කොන්ද කෙලින් කිරීමට උත්සාහ දරනු ඇත. දිගු කාලයේදී ඇමරිකානු අධිරාජ්‍යවාදය, චීනයට වලකපා අවසානයේදී එහි වැඩෙන අනුහස කුඩුකර දැමීම පිනිස එරටට ආර්ථික හා මිලිටරි පීඩනය යෙදීම තුලින් තම පිරිහෙන ගෝලීය ආධිපත්‍ය රැක ගැනීමට උත්සාහ කරයි.

ට‍්‍රම්ප් ඇමරිකාවෙන් පිටත් වන්නේ, තම ආන්ඩුව මුහුනපා ඇති වියවුල හා සිය දේශපාලන ප‍්‍රතිවාදීන් විසින් තමා වටලනු ලැබීමේ තත්වය තුලය. කෙසේ වුවත් ඩිමොක‍්‍රැටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකටම අයත් ඇමරිකානු පාලක කවයන් තුල, ඇමරිකානු ආධිපත්‍යයට බරපතල අභියෝගයක් වීමෙන් චීනය වැලැක්වීම පිනිස, තමන් සතු සෑම මාධ්‍යයක්ම යොදාගැනීම පිලිබඳව ඇත්තේ එකඟත්වයකි. චීන දේශසීමාවේ ඇති උතුරු කොරියාවේ තන්ත‍්‍රද මාරුවක් දැකගනු ලබන්නේ, බීජිනයට මූලෝපායික හානියක් සිදුකිරීම පිනිස ආසියාවේ බල තුලනයේ රැඩිකල් වෙනසක් ඇති කරන්නාවූ මාධ්‍යයක් ලෙසය.

කලාපයට නිකුත් කරනු ලැබෙන පනිවිඩය, ට‍්‍රම්ප්ගේ කැබිනට්ටුව තුල සිටින ප‍්‍රමුඛ ජෙනරාල් වරයෙකු වන ජාතික ආරක්ෂක උපදේශක එච්. ආර්. මැක්මාස්ටර් විසින් කෙලින්ම කියා ඇත. ඔහු 2දා පැවසුවේ, “අපගේ කාලය අවසන් වෙමින් (උතුරු කොරියාවට විරුද්ධ යුද්ධයට පෙර) ඇති බව හඳුනාගෙන සිටින ජනාධිපති, සියලු ජාතීන්ට පවසනු ඇත්තේ තවත් දේ කරන ලෙසයි.”

ජපානය, දකුනු කොරියාව, චීනය, වියට්නාමය හා ෆිලිපීනයට රාජ්‍ය ගමනක යෙදෙන ට‍්‍රම්ප්, වියට්නාමයේදී ආසියානු පැසිෆික් ආර්ථික සහයෝගිතා (ඒපෙක්) සමුලුවට සහභාගී වේ. තමන්ට එල්ල වෙන නිමක් නැති විවේචන වලට අනුගත වෙමින් ට‍්‍රම්ප්, නොවැම්බර් 13-14 දෙදින තුල ෆිලිපීනයේ පැවැත්වෙන මේ වසරේ නැගෙනහිර ආසියා සමුලුවේ (ඊඒඑස්) පලමු දිනයේදීවත් එහි රැඳී සිටීම පිනිස තම වැඩ සටහන වෙනස්කරගෙන ඇත.

ජනාධිපතිගේ ස්වෝත්තමවාදී හා නොහික්මුනු චරියාව, රාජ්‍යතාන්ත්‍රික ව්‍යසනයක් බවට පත්විය හැකි යයි කනස්සල්ලට පත් සිටින ඇමරිකානු පාලක සංස්ථාපිතය, සංචාරයට පෙරාතුව ට‍්‍රම්ප්, ඔහු හමුවන්නේ කවරෙක් ද ඔහුට පැවසීමට හෝ ට්වීටර් කල හැක්කේ කුමක් ද ඔහුට ඇඳිය හැක්කේ කුමන පාට ඇඳුම් ද ඊට ඇතුලුවන බවට යමෙකුට සැක කල හැකි, තමන් අත නොදැමිය යුත්තේ කොතැනට ද යන්නත් ගැන සති ගනනාවක “වැඩමුලුවකට” සහභාගී විය යුතු යයි අවධාරනය කලහ. “වොෂින්ටනයේ සිටින ආසියානු විශේෂඥයෙක්” ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාවට පැවසුවේ, ”දී ඇති සටහන් වලට සීමා වන” ලෙස ට‍්‍රම්ප්ට උපදෙස් දී ඇති බවයි.

ආසියාවේ ආධිපත්‍යයෝ සඳහා ඇමරිකාව හා ජපානය අතර 1941 දෙසැම්බරයේ ඇරඹුනු යුද්ධයේ ඉලක්කයක්ව තිබුනු හවායි දූපත්වල පර්ල් වරායේ නාවික කඳවුරට පැමිනීමත් සමග ජනාධිපතිගේ සංචාරය සංකේතාත්මකව 3දා ඇරඹේ. මීට පෙරාතුව, උතුරු කොරියාවට එරෙහි 21වන සියවසේ යුද්ධය සූදානම් කරන්නේ කෙසේදැයි, ඇමරිකාවේ පැසිෆික් අනදෙන මන්ඩලයේ ආඥාපති අද්මිරාල් හැරී හැරිස් සමග සාකච්ඡා පැවැත්වුනි. මීට පෙර කවර කලෙකවත් ඒකරාශී කර නැති, ඇමරිකාවේ දැවැන්තම නාවික බලඇනිය හැරිස් යටතේ තබා ඇත. දැනටමත් ප‍්‍රහාරක ගුවන් යානා හා පරිවාරක යාත‍්‍රා සහිත යුද නැව් තුනක් කොරියානු අර්ධද්වීප කලාපයට පැමින ඇති අතර අඩු වශයෙන් කෲස් මිසයිල සහිත සබ්මැරීන් දෙකක් න්‍යෂ්ටික මිසයිල වලින් සන්නද්ධ හෙලි නොකල සබ්මැරීන සංඛ්‍යාවක් ඒ සමග ඇති අතර ජපාන, දකුනු කොරියානු හා ඕස්ට්‍රේලියානු යුද නැව් ද එහි තිබේ.

නාවික බල ඇනියට, ප‍්‍රහාරක ගුවන් යානා සිය ගනනක් සහිත යුද නැව්, බී-2, බී-1, බී-52 බෝම්බ හෙලන ගුවන් යානා, එෆ්-22 රහසෙන් ගමන් ගන්නා ප‍්‍රහාරක ගුවන් යානා, “පස්වන පරම්පරාවේ” එෆ්-35 ගුවන් යානා, එෆ්-16 ප‍්‍රහාරක ගුවන් යානා හා එෆ්-18 බෝම්බ හෙලන ගුවන් යානා දකුනු කොරියාවේ, ගුවාම්හි, ජපානයේ හා ඇලස්කාවේ ස්ථානගත කර තිබේ.

ට‍්‍රම්ප් හැරිස්ට සංඥාව දුනහොත්, විනාඩි කිහිපයක් තුල උතුරු කොරියාවට එරෙහිව කෲස් මිසයිල සිය ගනනක් යැවීමටත් එකකට පසුව තවෙකක් වශයෙන් ගුවන් ප‍්‍රහාර රැල්ලක් දියත් කිරීමටත් ඔහුට හැකිය.

5දා ට‍්‍රම්ප් ජපානයට පැමිනීමට නියමිතය. ඊට පෙරාතුව, මෑතකදී යලි බලයට පත් අගමැති ෂින්සෝ අබේ සමග සාකච්ඡා සඳහා ඔහුගේ දියනිය වන ඉවන්කා එහි ගියාය. බලවතුන් දෙදෙනා අතර මතභේදයට ලක්ව ඇති, විශේෂයෙන්ම වෙලඳාම වැනි දේ ගැන ජපාන නායකයා කථා නොකරන බව සිතිය හැක. ඒවා කථා කෙරෙනු ඇත්තේ කෙලින්ම ට‍්‍රම්ප් සමගය. ඔවුන්ගේ කථාබහ ගොල්ෆ් ක්‍රීඩාවක් අතර සිදුවනු ඇත. ඉන් පසුව ඔවුන් 1977 හා 1983 අතර කොරියානු තන්ත‍්‍රය විසින් පැහැරගෙන යනු ලැබූ ජපාන පුරවැසියන්ගේ පවුල් හමුවනු ඇත. ජපානය හා ඇමරිකාව ඒවා යොදාගනු ඇත්තේ, පියෝංයෑනයට යක්ෂ වෙස් ගැන්වීමටත් යුද්ධය සඳහා ප‍්‍රචාරයක් ලෙසත්ය.

ජපාන ජනතාව අතර මිලිටරිවාදයට හා යුද්ධයට බරපතල විරුද්ධත්වයක් පැවතුන ද අබේගේ අන්ත ජාතිකවාදී ආන්ඩුව, උතුරු කොරියාව “මුලුමනින්ම වනසන” බවට කෙරෙන ට‍්‍රම්ප්ගේ තර්ජනයට කොන්දේසි විරහිතව සහාය දක්වයි. එසේම ජපන් අධිරාජ්‍යවාදයට මුලුමනින්ම ගැටගැසී සිටින අබේ, තමන්ගේම අවශ්‍යතා වෙනුවෙන්, 2011 ඔබාමා ආන්ඩුව ආරම්භකත්වය ගත් “ආසියාවට හැරීම” යටතේ චීනය සමග ගැටුම හා දැන් යුද්ධය සඳහා කෙරෙන ඇමරිකාවේ සූදානම සමග පෙල ගැසේ.

ට‍්‍රම්ප් නොවැම්බර් 7දා දකුනු කොරියාවට පැමිනෙනු ඇත. ඇමරිකාව, අර්ධද්වීපය තුල යුද්ධය ඇවිලවුවහොත්, විනාශයට ද මිලියන ගනනක් දෙනා මියයාමට ද හැකියාව එහි ඇත. එහිදී ඔහු රටේ ජාතික සභාව අමතනු ඇත. එහිදී ඔහු අවධාරනය කරනු ඇත්තේ, න්‍යෂ්ටික අවි ගොඩනැගීම වැලැක්වීමේ කඩතුරාව යටතේ, දුප්පත් උතුරු කොරියාවට පහර දීමේ ඇමරිකානු සැලසුමට දකුනු කොරියාවේ සහාය ලබාගැනීමේ කාරනයයි.

දකුනු කොරියානු පාලක පන්තියේ දූෂිතකම, සතුරුකම් ආරම්භවුනු වහාම තමන්ගේ හමුදාවේ පූර්න පාලනය ඇමරිකානු මිලිටරිය විසින් අත්පත්කර ගැනීම පිලිගැනීමෙන් සලකුනු කෙරේ.

ට‍්‍රම්ප් නොවැම්බර් 8දා චීනයට පැමිනෙනු ඇත. චීන ජනාධිපති සී ජින්පින් සමග සිදුවන ඔහුගේ හමුව ඔහුගේ පරිවාරකයින් ට මහම හිසේරදයක්ව ඇති බව වාර්තාවේ. සැබෑ රාජ්‍යතාන්ත්‍රික කටයුතු කවදාවත් නැති තරම් ආතතිය හා ගැටුමට පසුබිම සකසමින් තිබියදී, සාකච්ඡා වලට පෙරාතුව ආන්ඩු දෙකම, සිය බැඳීම්වල ශක්තිය පෙන්නුම් කරමින් ප‍්‍රකාශ නිකුත් කිරීමට නියමිතය.

විවිධ ඇමරිකානු මූලෝපායඥයින් විසින් රාජ්‍ය තන්ත‍්‍රයේදී ඛේදනීයව නොසමත් යයි සලකනු ලබන ට‍්‍රම්ප්ගේ කර්තව්‍යය, චීනය දුරදිග යන මූලෝපායික හා ආර්ථික සහන සැලසිය යුතු යයි කියා සිටින ඇමරිකානු අධිරාජ්‍ය වාදයේ හඬ නැගීමය.

පලමුවෙන්ම ඔහු අවධාරනය කරනු ඇත්තේ, උතුරු කොරියාව සමග යුද්ධයක් ඇතිවුවහොත් සී හා ඔහුගේ තන්ත‍්‍රය පැත්තකට වී සිටිය යුතුය යන්නයි. චීනයට එරට සමග නිල මිලිටරි සන්ධානයක් ඇත. දෙවනුව ට‍්‍රම්ප් අපේක්ෂා කරන්නේ, දකුනු චීන මුහුදේ දිවයින් හා ගල්පර සඳහා කෙරෙන චීන හිමිකම් පෑම ප‍්‍රතික්ෂේප කල, 2016 සම්මතවූ එක්සත් ජාතීන්ගේ අධිරාජ්‍ය ගැති අධිකරන නියෝගය බීජිනය විසින් පිලිගත යුතුය යන්න අවධාරනය කිරීමටය. අවසාන වශයෙන් ඇමරිකානු හා අනෙකුත් අන්තර්ජාතික සංගත වලට චීනයේ දේශීය වෙලඳපොලට පිවිසීමේ වැඩි ඉඩකඩ සැලසීම පිලිබඳ ඉල්ලීම ඔහු ඉදිරිපත් කරනු ඇත.

චීනයේ සිට ට‍්‍රම්ප් ඒපෙක් සමුලුව පැවත්වෙන වියට්නාමයට යනු ඇත. ඩා නැන්ග් නගරයේදී එය පැවැත්වෙන්නේ නොවැම්බර් 10දාය. බීජිනයට එරෙහිව වොෂින්ටනය සමග වඩාත් කිට්ටු සම්බන්ධතා ගොඩනගා ගනිමින් සිටින වියට්නාම් තන්ත‍්‍රය, ඇමරිකානු ජනාධිපති මහත් හරසරින් පිලිගැනීමට සූදානම් වන බව වාර්තාවේ.

එයට සහභාගී වන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට ට‍්‍රම්ප් අවස්ථාව සලසාගනියි ද යන්න තවමත් පැහැදිලි නැත. ඔහුගේ මැතිවරන ජයග‍්‍රහනය “රුසියානු මැදිහත්වීමේ” ප‍්‍රතිපලයක්ය යන චෝදනා වරුසාවක් මැද ට‍්‍රම්ප් හා පුටින් අතර රැස්වීමක් පිපිරීම් සහගත වනු ඇත. විශේෂයෙන්ම උතුරු කොරියාවට එරෙහි කුමන හෝ මිලිටරි ක්‍රියාවකට මොස්කෝව දක්වන වාචික විරුද්ධත්වය සලකන කල එසේ විය හැක.

වියට්නාමයේ සිට ට‍්‍රම්ප් ෆිලිපීනයට ගමන් ගනු ඇත. එහිදී ඔහු, එරට ෆැසිස්ට් ජනාධිපති රොඩ්‍රිගෝ දුතර්තේ සමග නිල රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පවත්වනු ලැබේ. දුතර්තේගේ ත‍්‍රස්තයේ පාලනයට හා “මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධයේ” කඩතුරාව යටතේ කෙරෙන, දහස් ගනනින් මිනිසුන් මරා දමන න්‍යායපත‍්‍රය පිලිබඳ කනස්සල්ල ධවල මන්ඳිරය විසින් ඉවත දමා ඇත. ඇමරිකානු ගැති පෙරමුනු රාජ්‍යයක් ලෙස ෆිලිපීනය දිගටම කටයුතු කරන්නේ නම්, ඇමරිකානු පාලක පන්තිය ඕනෑම දෙයක් පිලිගන්නට සූදානම්ය.

ඔබාමා යටතේ ද දැන් ට‍්‍රම්ප් යටතේ ද ඇමරිකාව, දකුනු චීන මුහුදේ භූමිභාග පිලිබඳව බීජිනය සමග මැනිලාවට ඇති භෞමික ආරවුල කලාපය තුල තම මිලිටරි තරකිරීම් සඳහා යුක්තීකරනයක් ලෙස යොදාගෙන ඇත.

ෆිලිපීනයේදී ට‍්‍රම්ප්, ඔස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් හා නවසීලන්තයේ අලුතෙන් පත්වූ අගමැති ජසින්ඩා ආර්ඩර්න් සමග රැස්වීම් පැවැත්වීමට නියමිතය.

ඇමරිකාවේ මූලෝපායික හා මිලිටරි සංස්ථාපිතය ඕස්ට්‍රේලියාව සලකන්නේ, චීනය සමග යුද්ධයට සූදානම් වීමේදී හා යුද්ධ කිරීමේදී, තීරනාත්මක මිතුරෙකු ලෙසය. ජාත්‍යන්තර කරලියේදී එරට, ඇමරිකානු විදෙස් පිලිවෙත වෙනුවෙන් පෙරමුනේම සිට කථා කරයි. කොරියානු අර්ධද්වීපය අවට රැස්වෙන ඇමරිකානු නාවික බලඇනි වලට එක්වීම පිනිස ඕස්ට්‍රේලියාව යුද නැව් යවා ඇති අතර ඇමරිකාවට ප‍්‍රධාන මිලිටරි මධ්‍යස්ථාන සපයා දී ඇත. එසේම නවසීලන්තය ද “ඇස් පහ” යන රහස් තොරතුරු රැස්කිරීමේ සන්ධානයෙහි සාමාජිකයෙකු වන අතර ඇමරිකානු ඔත්තු බැලීම සඳහා වැදගත් පහසුකම් සලසන්නෙකි. ආර්ඩන් හා ඇගේ දක්ෂිනාංශික ලේබර් සභාග ආන්ඩුව, තමන් චීනයට විරුද්ධව ඇමරිකාව සමග වඩා සමීප බැඳීම් ඇතිකරගන්නා බව පවසා ඇත.

චීනයේ ආර්ථික අනුහස ප‍්‍රසාරනය වෙමින් තිබියදී හා ඇමරිකාවේ ගෝලීය භූමිකාව පිරිහෙමින් තිබියදී, ආසියානු රටවල්, උභතෝකෝටිකයකට මුහුනදී සිටින ආකාරය ඒපෙක් හා නැගෙනහිර ආසියානු සමුලුවේදී තියුනු ලෙස ඉස්මතු වනු ඇත.

බීජිනය, නැගෙනහිර ආසියාව හා යුරෝපය අතර ප‍්‍රවාහන හා බලශක්ති පද්ධතියක් වර්ධනය කිරීමේ අරමුන ඇතිව ගෙන යන තම “එක් තීරුවක් එක් මාවතක්” යන ඩොලර් බිලියන සිය ගනනක වැඩසටහනට එකතුවීමේ ඉඩකඩ අනෙක් රටවලට සලසාදී ඇත.

ඇමරිකානු අධිරාජ්‍යවාදයෙහි පරිහානිය හා ජරපත්වීමේ පුද්ගලාරෝපනය වන ඩොනල්ඩ් ට‍්‍රම්ප්, චීනය හා කලාපයේ රටවල් උතුරු කොරියාවේ විනාශය හා තම ආන්ඩුවේ ආර්ථික නියෝග පිලිගත යුතු යයි ද නැතිනම් න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනයට මුහුන දිය යුතුයයි ද අවසන් නිවේදන නිකුත් කරයි.

Share this article: