ඇමරිකානු කම්කරුවන්ගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරීම සහ ජීවිත අපේක්ෂාව පහත වැටීම නව වාර්තාවන් මගින් පෙන්නුම් කරයි

New reports document declining life expectancy and worsening health of US workers

2017 ඔක්තෝබර් 24

මෑත වාර්තාවන් තුනක් ඇමරිකාවේ නරක අතට හැරෙන සමාජ අර්බුදය පිලිබඳ නව දත්ත සපයයි.

ඇමරිකානු ආයුගනක සමාජයේ (එස් ඕඒ) පසුගිය සිකුරාදා නිකුත් කල මරන අනුපාතය ඉහල යාම පිලිබඳ වාර්ෂික වාර්තාවට අනුව, දත්ත ලබාගත හැකි වඩාත් මෑත වසරවල එනම් 2014 සිට 2015 දක්වා කාලය තුල 65 -හැවිරිදි පිරිමි හා ගැහැනුන්ගේ ජීවිත අපේක්ෂාව අවුරුදු 85.8 හා 87.8 සිට අවුරුදු 85.6 හා 87.6 දක්වා පහත වැටී ඇත. මරන අනුපාතය සියයට 1.2 කින් ඉහල නැගීම 2005 න් පසු ප‍්‍රථම වරට කලින් පැවති වසරට වඩා ඉහල යාමක් වන අතර, 2005 වසර 1980 සිට ප‍්‍රථම වරට ප‍්‍රතිශතය දශම එක ඉක්මවා ගිය අවස්ථාව විය.

මීට ඉහත වාර්තා සඳහන් කල පරිදි, 2014 සහ 2015 අතර උපතේ දී ආයු අපේක්ෂාව ද පහත වැටී ඇති අතර, එය ඒඩ්ස් වසංගතය ඉහල ගිය 1993 වසරට පසු ප‍්‍රථම වරට පහල වැටීමකි. 2015 දී උපත ලැබූ අයෙකු අවුරුදු 78.8ක් ජීවත් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර, එය 2014 දී පැවති 78.9ට වඩා පහල වැටීමකි.

“රෝග පාලනය සහ වලක්වා ගැනීමේ මධ්‍යස්ථාන” වලට අනුව මෙම පහල යාමට හේතුවන්නේ, හෘද රෝග, නිදන්ගත පහල ශ්වසන රෝග, හදිසි තුවාල, ආඝාතය, ඇල්ට්ස්හෛමර් රෝගය, දියවැඩියාව, වකුගඩු රෝග සහ සියදිවි නසාගැනීම් ඇතුලු එක්සත් ජනපදයේ මරනවලට ප‍්‍රධාන හේතු 10 න් 8 ක් ම ඉහල යාම ය.

මූලාශ‍්‍රය: සෞඛ්‍ය සංඛ්‍යාලේඛන සඳහා ජාතික මධ්‍යස්ථානය, ජාතික ජෛව සංඛ්‍යාලේඛන පද්ධතිය (එන්වීඑස්එස්). සටහන: සීඑල්ආර්ඩී (CLRD) මගින් නිදන්ගත පහල ශ්වසන රෝග පෙන්නුම් කෙරේ.

මිචිගන් විශ්ව විද්‍යාලය සිදුකල තවත් අධ්‍යයනයකින් සොයාගෙන ඇත්තේ තම සමාජ ආරක්ෂන විශ‍්‍රාම ප‍්‍රතිලාභ ලබාගැනීමට වසර දහයකට වඩා ඉතිරිව ඇති මැදිවයස් කම්කරුවන්, තමන්ට කලින් පරම්පරාව ඔවුන්ගේ 50 වියෙහි සිටියාට වඩා සෞඛ්‍යයෙන් පිරිහී ඇති බවයි. මෙයට මතකය හා සිතීමේ හැකියාව හීන වීම වැනි ප‍්‍රජානන දුර්වලතා ඉහල අනුපාතයකින් පැවතීම ඇතුලත් වේ. එමගින් දෛනික ජීවිතයේ මූලික කාර්යයන්වන, සිල්ලර භාන්ඩ මිලදී ගැනීමට වෙලඳසැලට යාම, ඇඳුම් ඇඳීම හා ස්නානය කිරීම, වෛද්‍ය ප‍්‍රතිකාර සහ ඖෂධ ලබා ගැනීම හෝ ඇඳෙන් නැගිට ගැනීම වැනි දේ වලින් අවම වශයෙන් එකක් හෝ ඉටු කර ගැනීමට ඇති හැකියාව සීමා කෙරේ. එවැනි සීමාවන් සහිත ජනතාවගේ ප‍්‍රතිශතය අවුරුදු 65 දී විශ‍්‍රාම ගිය අයගෙන් සියයට 8.8 අගයක සිට, තව දශකයකින් විශ‍්‍රාම යාමට නියමිත අවුරුදු 56 සිට 57 වයසැති වර්තමාන ඇමෙරිකානුවන් සඳහා සියයට 12.5 දක්වා ඉහල ගොස් ඇත.

1960 දී ඉපදුනු ඇමරිකානුවන්ට වයස අවුරුදු 65 වෙනුවට, 67 වන තෙක් ඔවුන්ගේ පූර්න සමාජ ආරක්ෂන ප‍්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි ව ඇත්තේ රේගන් පරිපාලනය සහ ඩිමොක‍්‍රටික් පාලනය යටතේ පැවති කොන්ග‍්‍රසය විසින් 1981 දී විශ‍්‍රාමික වයස ඉහල දැමීමේ ප‍්‍රඥප්තිය නිසා ය. ඇමෙරිකානුවන් දිගු කලක් ජීවත් වීම නිසා ඔවුන්ගේ මහලූ වියේදීත් නිරන්තරව සෞඛ්‍ය තත්වයේ වැඩිදියුනු වීමක් දැකිය හැකි බව ඔවුහු එකල කියා සිටියහ.

දැන් එහි ප‍්‍රතිවිරුද්ධය සිදුව තිබේ. “වයසින් බාල පරම්පරාවන්, වඩා දැවෙනසුලු සෞඛ්‍ය ගැටලුවලට මුහුන දෙමින් සිටින බවක් අපට පෙනෙන්නට ඇති අතර, ඔවුන්ට විශ‍්‍රාම යාමට වඩා වැඩි වයසක් යනතුරු බලා සිටීමට සිදු වී ඇත්තේ, දුර්වල සෞඛ්‍ය තත්වයකිනි” යනුවෙන් මිචිගන් විශ්ව විද්‍යාල අධ්‍යයනයේ සමකර්තෘ, ජනගහන විද්‍යාඥයෙක් සහ ආර්ථිකඥයෙක් වන රොබට් ෂ්හොනි පවසා තිබේ.

ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතර පවතින අසමානතාවය, සංවර්ධිත ලෝකයේ නරකම තත්වයට පත්ව ඇති අතර, ආර්ථික සහයෝගීතාව හා සංවර්ධන සංවිධානය ( ඕඊසීඞී) විසින් පසුගිය සතියේ නිකුත් කල වාර්තාවකට අනුව ධනවත් සහ අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨයන් අතර පරතරය මෙක්සිකෝව සහ චිලිය හැරුනු විට ඕඊසීඞී සාමාජික රටවල් 35 න් අන් සියල්ලටත් වඩා පුලුල්ව ඇත්තේ ඇමරිකාව තුල ය. ඇමරිකාවේ ධනවතුන් දිගු කලක් සුවපහසු ලෙස ජීවත්වන අතර දිගුකලක් වැඩකරන දුප්පතුන්, තරුන වියේම මියැදෙමින් හෝ, වැඩි වැඩියෙන් අයහපත් සෞඛ්‍ය තත්වයන් සහ වේදනාවන් සමග ජීවත් වෙමින් සිටිති.

මේ දත්ත වැඩකරන ජනතාවගේ පුලුල් කොටස්වල ආයු අපේක්ෂාව පහත හෙලීම, ලදරු හා මාතෘ මරන ප‍්‍රමානය ඉහල යාම, මරන අනුපාතය ඉහල යාම සටහන් කරන වාර්තා මාලාවකින් අලුත්ම ඒවා වේ. තත්වය මෙසේ තිබියදී, ඩොනල්ඞ් ට‍්‍රම්ප්, කොටස් වෙලඳපොල වාර්තාගත උත්පාතයක් රඳවා තබා ගැනීම ඔහුගේ පරිපාලනයේ ”සාර්ථකත්වයේ” සාක්ෂිය ලෙස හුරු පුරුදු පරිදි හුරේ දමමින් සිටී.

මූලාශ‍්‍රය: සෞඛ්‍ය සංඛ්‍යාලේඛන සඳහා ජාතික මධ්‍යස්ථානය, ජාතික ජෛව සංඛ්‍යාලේඛන පද්ධතිය

ඇත්ත වශයෙන්ම ගත කල, (ඇමරිකානු කොටස් වෙලඳපොලේ) ඩෝව් දර්ශකයේ උත්කර්ෂවත් නැගීම හා රටේ ඉහලම සියයට 5 හා 1 ප‍්‍රතිශතයේ පෙර නොවූ විරූ පොහොසත්භාවය යන කරුනු රැකියා විනාශ කිරීම, වැටුප් පහත හෙලීම හා සමාජ වැඩසටහන් කොල්ලකෑම සමග සමීපව සම්බන්ධිතය. සංගත-මූල්‍ය කතිපයාධිකාරය ජනගහනයේ පුලුල් කොටස්වල දරිද්‍රතාවයෙන් වාසි අත්කර ගනිමින් සිටී.

“සීඑන්එන් මනී” ව්‍යාපාරික පුවත් ප‍්‍රකාශය වාර්තා කල පරිදි: “සෞඛ්‍යය හා ආයු අපේක්ෂාව පහත හෙලීම එක් පාර්ශවයකට නම් හොඳ ප‍්‍රවෘත්තියකි: එනම් විශ‍්‍රාමික සැලසුම්ය, ඒවාට විශ‍්‍රාමිකයන් ජීවත් වන තාක් දුරට ඔවුන්ට මාසික චෙක් පතක් එවිය යුතුය.” ඇත්ත වශයෙන්ම, දේශපාලන පක්ෂ දෙකම සෞඛ්‍ය ප‍්‍රතිපත්ති සැලසුම් කර ඇත්තේ කම්කරු පන්තියේ ආයු අපේක්ෂාව පහත හෙලීමට වන අතර එමගින් පාලක පන්තියේ දැක්මට අනුව “නාස්තිකාර” වියදම් බවට පත්ව ඇති, තව දුරටත් ලාභ ප‍්‍රභවයක් නොවන කම්කරුවන් සදහා විශ‍්‍රාම දීමනා සහ සෞඛ්‍ය රැකවරන වලට කරන වියදම් අඩු කර ගැනීමය.

ඇමෙරිකාවේ වයස්ගත ජනගහනයෙන් මතුව ඇති “අර්බුදය” පිලිබඳ බුද්ධිමන්ඩල අධ්‍යයනයක් උපුටමින්, 2013 නොවැම්බර් මාසයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලිවූ පරිදි, ”ඔබාමා කෙයා” මගින් දියත් කල සෞඛ්‍ය ආරක්ෂන ප‍්‍රතිවිප්ලවය පාදක කරගෙන ඇත්තේ “ඇමරිකානු පාලක පන්තියේ මූලික උත්සුකයකි, නාමිකව ප‍්‍රකාශ නොකල ද ඔවුන්ගේ කනස්සල්ල වන්නේ- අවසානයේ ජනතාව නිතැතින්ම දිගුකල් ජීවත් වීමයි. නූතන වෛද්‍ය විද්‍යාවේ දියුනුව නිසා විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව යහමින් ඉක්මවා යමින් ජීවිත් වීම දීර්ඝ කර තිබේ.

“සංගත හා මූල්‍ය ප‍්‍රභූවේ දේශපාලන මූලෝපායඥයෝ මෙම විශ‍්‍රාම කාලය සහ වෛද්‍ය රැකවරනය යහපත් දෙයක් ලෙස නොසලකති, ඒ සඳහා වැයවන මුදල් ඔවුන්ට ලබාගත හැකි වන පරිදි, එය කපාහැරිය යුතු වියදමක් ලෙස සලකති. මෙය අත්පත් කරගත හැක්කේ විශ‍්‍රාම යන වයස වැඩි කර ගැනීම මගින් හෝ ආයු අපේක්ෂාව පහල දැමීම එනම් මිනිසුන් කලින් මිය යාම මගින් හෝ ඒ දෙකම මගිනි.”

සති අන්තයේ නොමිලේ දන්ත හා දෘෂ්ටි ආරක්ෂන කටයුතු සඳහා බටහිර වර්ජිනියාවේ, චාර්ල්ස්ටන්හි අඩු වැටුප් ලබන කම්කරුවන් හා විශ‍්‍රාමිකයින් සියගනනක්, ඇතැම් අවස්ථාවන්හිදී ඔවුන්ගේ පලමු අවුරුද්දේ ප‍්‍රතිකාරය සඳහා පෝලීම් ගැසී සිටින දර්ශන, සමාජ අර්බුදයේ පරිමාව සලකුනු කරයි. දකුනු වර්ජිනියාවේ පීඩාවට පත් වූ ගල් අඟුරු පතල් කලාපය පිහිටි මැක්ඩෝවෙල් නමැති පලාත් පාලන ආයතන ප‍්‍රදේශයේ පිරිමින් සඳහා ආයු අපේක්ෂාව අවුරුදු 63.9 කි. එය නිධන්ගත දරිද්‍රතාව, ලෙඩරෝග, සියදිවි නසා ගැනීම් හා මත්ද්‍රව්‍ය හා මත්පැන් අපහරනයන් බහුල හයිටි, ඝානාව සහ පැපුවා නිව් ගිනියාවට වඩා යන්තම් ඉහලින් පවතී.

ජීවිත අපේක්ෂාව, සෞඛ්‍යය ආදිය පිලිබඳ මේ වාර්තා, ධනේශ්වර පද්ධතියේ අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවූ දරුනු සමාජ පසුබැස්මට යම් මිනුමක් සපයයි. එය මූලික සමාජ අවශ්‍යතාවයන් සාක්ෂාත් කිරීමට අසමත් ක‍්‍රමයකි.

කම්කරු පන්තිය දේවල් තමන්ගේම අතට ගත යුතුය. අවශ්‍ය වන්නේ සංගත-මූල්‍ය කතිපයාධිකාරය විසින් හා එහි දක්ෂිනාංශික පක්ෂ දෙක හරහා ගෙන ගිය දේශපාලන ඒකාධිකාරය සහ කොල්ලකාගත් ධනයට එරෙහි සෘජු ප‍්‍රහාරයකි. මූල්‍ය පරපෝෂිතයන් සතු ධන සම්පත් අත්පත් කර ගත යුතු අතර ප‍්‍රධාන සංගත හා බැංකු මහජන අයිතියට නතුව ප‍්‍රජාතාන්ත‍්‍රිකව පාලනය කරනු ලබන උපයුක්තයන් බවට පරිවර්තනය කරගත යුතුය. ඒ අනුව, කම්කරු පන්තිය මගින් නිපදවන ධනය රැකියා, අධ්‍යාපනය, නිවාස සහ නොමිලේ, උසස් ගුනාත්මක සෞඛ්‍ය රැකවරන සියලු දෙනාටම ලබා දීමට භාවිතා කල හැකිය.

ජෙරී වයිට්

Share this article: