ට‍්‍රම්ප් ආසියාවේ: යුද්ධයේ මුවවිට

Trump in Asia: On the eve of war

2017 නොවැම්බර් 6

තමන්ගේ ආසියානු සංචාරයේදී පිවිසි පලමු රට වූ ජපානයේදී ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ හැසිරීම, ඔහු උතුරු කොරියාවට එරහි යුද්ධයක් ඇරඹීම සඳහා සූදානම් වෙමින් සිටින බව දැඩි ලෙස ඉඟි කරයි.

එක්සත් ජනපද (එජ) ජනාධිපති ටෝකියෝව අසල යොකාටා ගුවන් කඳවුරට ගුවනින් යාත‍්‍රා කලේය. තම ජපාන සංචාරය එරට දේශපාලන නායකයන් හමුවීමෙන් ආරම්භ කරනවා වෙනුවට ඔහු පලමුවෙන් තෝරා ගත්තේ උතුරු කොරියාව “ගින්නෙන් සහ ප‍්‍රචන්ඩ කෝපයෙන්” “සම්පූර්නයෙන් විනාශ කරන” බවට වන ඔහුගේ තර්ජනය සඵල කිරීමට සූදානමින් තබා සිටින බලකායෙන් කොටසක් වන ඇමරිකානු මිලිටරි සමූහයකට කතා කිරීමයි.

“යූඑස්ඒ, යූඑස්ඒ” යනුවෙන් කෙරුනු හඬ තැලීම් මධ්‍යයේ ඔහු සිය කබාය ගලවා දමා ගුවන් හමුදා බෝම්බ හෙලන්නෙකුගේ කබායක් ඇඟ ලා ගත්තේය. අනතුරුව ජාතිකවාදී විෂ වමාරමින් එක්සත් ජනපදය “ලෝක ඉතිහාසයේ වඩාත්ම භයංකර සටන්කාමී බලකාය” යොදවන බවට පුරාජේරු දෙඩවීය.

“විශාල පරාසයක අපගේ අද්විතීය හැකියාවන් ප‍්‍රයෝජනයට ගනිමින් ඇමරිකානු රනශූරයන්” “අපගේ ජාතිය ආරක්ෂා කිරීමට සූදානම් කර ඇතැ” යි ඔහු තවදුරටත් පැවසීය. “කිසිවෙකු -ඒකාධිපතියෙකු, රෙජීමයක් හෝ ජාතියක්- කිසිදු දිනක ඇමරිකානු අධිෂ්ඨානය අවතක්සේරු නොකල යුතුයි.”

මාෆියා නායකයෙකුගේ විලාශයෙන් ට‍්‍රම්ප් කුරිරු සතුටක් ප‍්‍රදර්ශනය කලේය: “කලින් කලට, අතීතයේදී ඔවුන් අපිව අවතක්සේරු කලා. ඒක ඔවුන්ට ප‍්‍රසන්න දෙයක් වුනේ නෑ. එහෙම නේද?” ජපානය තුල, බොහෝ අය විසින්, මෙම අදහස් දැක්වීම, හිරෝෂිමාවට සහ නාගසාකි නගර වලට න්‍යෂ්ටික බෝම්බ හෙලීම සහ සිවිල් වැසියන් දස දහස් ගනනක් ඝාතනය කිරීම පිලිබඳ අඟවමින් කල අදහස් දැක්වීමක් ලෙස අර්ථදැක්වීය.

තමන්ගේ ප‍්‍රකාශයන් සහ බාහිර හැසිරීම සමග ට‍්‍රම්ප්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගරා වැටීම සහ තවත් දුර්වල රටක විනාශය මගින් රට තුල ඉහල නගින බාහිර සහ අභ්‍යන්තර අර්බුද වලින් තමන්ට යම් සහනයක් දෙනු ඇත යන එහි මූලෝපාය සකසන්නන්ගේ අපරාධකාරී ගනන් බැලීම පුද්ගලාරෝපනය කරයි. උතුරු කොරියාව සමග යුද්ධයක්, ආසියාව තුල වර්ධනය වන චීනයේ ආනුභාවය පසුපසට ඇදීමේ මාර්ගයක් ලෙස සහ එජ ධනවාදය කලාපීයව සහ ජාත්‍යන්තරව අධිපති බලවේගය ලෙස තම ස්ථානය අත නොහරිනු ඇත යන්න ඇඟවීමේ මාර්ගයක් ලෙස ඇමරිකානු මූලෝපායික කවයන් තුල සැලෙක්.

සෝවියට් සංගමය විසුරුවා හැරීමේ සිට වසර 25ක් පුරාවට, එජ විදේශ ප‍්‍රතිපත්තිය, ඇමරිකානු ආධිපත්‍ය පිලිගැනීම සඳහා ලෝකයට බල කරන, නොනවතින යුද්ධයෙන්, යටි කූට්ටු වැඩ වලින් සහ කුමන්ත‍්‍රනයෙන් සමන්විත වී ඇත. රටවල් පිටින් විනාශකර දමා ඇති අතර මිලියන ගනනක් මරා දමා ඇත. තම වාසනාව වියැකී යාම මේ වන තෙක් ආපසු හැරවීමට නොහැකිව සිටින එක්සත් ජනපදය නැවත වරක් න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීමට සූදානම් කෙරෙන බව මෙම වාර්තාව නිසැකවම තහවුරු කරයි.

ට‍්‍රම්ප්ගේ ජනාධිපතිත්වය විනාශ කිරීමට සහ රිපබ්ලිකන් පක්ෂය කැබලි වලට කඩා දැමීමට තර්ජනය කරන ඇමරිකානු පාලක පන්තිය තුල හටගෙන ඇති දේශපාලන යුද්ධය, ඉවතට හැරවීමේ සහ සීමා කිරීමේ මාර්ගයක් ලෙසද, යුද්ධය, ට‍්‍රම්ප්ගේ ධවල මන්දිරය තුල, සාකච්ඡාවට භාජනය වෙයි. එක්සත් ජනපදය තුල අතිවිශාල පන්ති ප‍්‍රතිඝතිතතාවන් ඉවතට ප‍්‍රක්ෂේපනය කිරීමේ උපක‍්‍රමයක් ලෙස හා මිලියන ගනනක් ඇමරිකානු කම්කරුවන් මුහුන දෙන දැරිය නොහැකි කොන්දේසි වලට සහ සමාජ අසමානතාවට එරහි අරගලය පුපුරායමක් වැලැක්වීමේ උපක‍්‍රමයක් ලෙසද එය සැලකිල්ලට ගැනෙයි.

සිතමින් සිටින පමනක් නොව සක‍්‍රීයව සැලසුම් කරමින් සහ සූදානම් කරමින් සිටින දෙයෙහි සෘජු අපරාධකාරී ස්වභාවය සහ උන්මත්තක ස්වභාවය, ආරක්ෂක ලේකම් ජේම්ස් “මෑඩ් ඩෝග්” මැටිස් විසින් ඉල්ලා සිටිනු ලැබූ හා එජ කොන්ග‍්‍රස් සභිකයන් දෙදෙනෙක් විසින් ඔහු වෙත ඔක්තෝබර් 27 වනදා යවනු ලැබූ වාර්තාවක් තුල ප‍්‍රදර්ශනය වෙයි. රියර් අද්මිරාල් මයික් ඩුමොන්ට් විසින් ලියන ලද ලේඛනය කෙලින්ම මෙසේ සඳහන් කරයි: “උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනේ සියලුම කොටස් පිහිටි තැන් සොයා ගැනීමේ සහ පූර්න විශ්වාසෙයන් යුතුව සම්පූර්නයෙන්ම විනාශ කිරීමේ එකම මග ගොඩබිමෙන් කරන ආක‍්‍රමනයක්මය.”

යුද්ධයකදී මියයන හෝ තුවාල ලබන ප‍්‍රමානය ගැන කෙරෙන කුමන හෝ තක්සේරුවක් “දුෂ්කර” බව ඩුමොන්ට් අවධාරනය කරයි. මක් නිසාද යත් යුද්ධයකදී එජ සහ එහි මිතුරන් අති විශාල මිලිටරි ප‍්‍රචන්ඩතාවක් යොදන බැවින් සහ පාර්ශව දෙකෙන්ම න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීමේ විභයක් ඇති බැවිනි.

එසේ වුවත් පෙන්ටගනයෙන් ස්වාධීන සංවිධාන, තක්සේරුකිරීම් සැපයීය. න්‍යෂ්ටික ආයුධ භාවිතා නොකරන තත්වයක් සැලැකු විට පවා, උතුරු කොරියාවට එරෙහි යුද්ධයකදී, පලවන දින කීපයේදී පමනක්, මරන සංඛ්‍යාව 300,000ක් වනු ඇතැයි කොන්ග‍්‍රස් පරීක්ෂන සේවාව ප‍්‍රකාශ කරයි. අඩු තරමේ දේශසීමාව දෙපස සිටින මිලියන 25ක ජනතාවක් එනම් උතුරු කොරියාවේ සම්පූර්න ජනගහනය සහ දකුනු කොරියාවේ ජනගහනයෙන් අඩක්, “බලපෑමට” ලක් වනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සැප්තැම්බර් මාසයේදී ප‍්‍රකාශ කල ආකාරයට, එවැනි අතිවිශාල යුද අපරාධ එක්සත් ජනපදයේ සමාජ තත්වය වැඩි දියුනු කරනු ඇතැයි යන කුමන හෝ මතයක් උන්මත්තක මතයක් වේ. “හිට්ලර්ගේ ජර්මනියේ පසුව, පෙර නොවූවිරූ ආකාරයට, එය යුද අපරාධ සඳහා ලෝකය තුල එජ පරිභවයට ලක්වන පහත් තත්වයකට පත් කරනු ඇතැ”යි ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කලේය. “එවැනි යුද්ධයකින් සිදුවන දේශපාලන, ආර්ථික සහ අනිවාර්යය සදාචාර ඇද වැටීම, එක්සත් ජනපදයේ පැවත්මම ප‍්‍රශ්නාර්ථයක් බවට පත් කරමින් පෙර නොවූ පරිමානයන්ගෙන් අභ්‍යන්තර අර්බුදයක් මුදා හරිනු ඇත.”

එසේ වුවත් විවිධ එජ මිතුරන්, යුද සූදානමට පහසුකම් සලසමින් සිටින අතර ට‍්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය තුල සිටින බිලියනපතියන් සහ ජෙනරාල්වරුන් කන්ඩායම පොලඹවමින් සිටී. සඳුදා අති-දක්ෂිනාංශික ජපාන අග‍්‍රාමාත්‍ය ශින්සෝ අබේ, එජ පරිපාලනයට නායකත්ව දෙන ෆැසිස්ට්වාදී වාචාල නායකයාට ඔහුගේ “අපූරු මිත‍්‍රයා” යැයි ආමන්ත‍්‍රනය කල අතර ජපාන-එජ සම්බන්ධය “සෙලවිය නොහැකි” එකක් ලෙස වර්නනා කලේය. උතුරු කොරියානු න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් ඇති උන්මාදය, ජපාන අධිරාජ්‍යවාදය විසින්, මිලිටරි බලයක් ලෙස තමන්හට නැවත බලය තහවුරු කරගැනීම සඳහා ගසා කනු ලබමින් සිටී.

ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදයද ඒ ලෙසම කොන්දේසි විරහිත සහය ලබා දී ඇත. ඒ, එරට අග‍්‍රාමාත්‍යවරයා, තම රට ඕනෑම යුද්ධයකට සහභාගී වනු ඇතැයි පොරොන්දුවෙමින් සහ කොරියානු වෙරලට ඈතින් රැස්වෙමින් සිටින ගුවන් යාන ගෙනයන නෞකා වලින් යුත් යුද කන්ඩායම් තුනකින් සැදුම් ලත් එජ යුද නැව් පෙලට සම්බන්ධ වීමට බලකායන් පිටත් කර හරිමින්ය.

අඟහරුවාදා සිය පක්ෂපාතීත්වය පෙන්වීමට දකුනු කොරියානු පාලක පන්තියට ලැබෙන අවස්ථාව බවට පත්වනු ඇත. ඔවුන් එය සිදු කරනු ඇත්තේ ට‍්‍රම්ප් හට සිය පාර්ලිමේන්තුව ඇමතීමට ඉඩ ලබා දෙමින් අර්ධ ද්වීපය මරනයේ සහ විනාශයේ ගිනි ගොඩක් බවට පත් කිරීමට ඔහු කරන තර්ජන අවධාරනය කිරීමට ඔහුට ඉඩ ලබා දෙමින්ය. සටන ආරම්භ වුවහොත් ජනාධිපති මූන් ජේ ඉන් ගේ දකුනු කොරියානු ආන්ඩුව තමන්ගේ 625,000ක් වන හමුදාව සහ මිලියන 3.1ක සංචිතයන්, වොෂින්ටනය සැලසුම් කරන්නාවූ උතුරු කොරියාව ආක‍්‍රමනය කිරීම සහ වාඩිලා ගැනීම උදෙසා, පෙන්ටගනයට භාර දෙනු ඇත.

ටෝකියෝ හී සිටින එජ සොල්දාදුවන් ඉදිරියේ කල සිය කතාවේදී ට‍්‍රම්ප් “ඉන්දු-ෆැසිෆික් කලාපය” යන පදය භාවිතා කලේ, “නිදහස් සහ විවෘත ඉන්දු-ෆැසිෆික් කලාපයක් ඇති කිරීම සඳහා මිතුරන් සහ සගයන් සමග වොෂින්ටනය හවුල්කරුවන්ව කටයුතු කරනු ඇතැයි” ප‍්‍රකාශ කරමින්ය. නැගෙනහිර ආසියාව සඳහා නව පදවි නාමය, එජ විසින් දෙනු ලබන නායකත්වය යටතේ ජපානය, දකුනු කොරියාව සහ ඕස්ට්‍රේලියාව සම්බන්ධ වෙමින් සිදු කරන, චීනයට එරහි පෙල ගැස්ම තුලට ඉන්දියාව ඈඳා ගැනීම අවධාරනය කිරීම සඳහා සිතා මතා කල දෙයක්ය.

වොෂින්ටනය සමග ඇති ආතති සහගත තත්වයන් පුපුරායාමක් සිදුවීම වැලැක්වීම සඳහා එජ යුද සූදානම සමග චීන සහ රුසියානු රෙජිමයන් බොහෝ දුරට එකඟ වී තිබියදීම, ඔවුන්ට ඔවුන්ගේම මූලෝපායික අභිලාෂයන් කොරියානු අර්ධ ද්වීපය සම්බන්ධයෙන්, වඩා පුලුල් ලෙස ගත් විට ආසියාව සම්බන්ධයෙන් තිබේ. එජ නායකත්වයෙන් යුතුව උතුරු කොරියාවට කරනු ලබන ප‍්‍රහාරයක්, ලෝක න්‍යෂ්ටික යුද්ධයක අනතුර ඇති කරමින් චීනය, රුසියාව හෝ පාර්ශව දෙකම විසින් සිදුකරනු ලබන මැදිහත් වීමකට හේතු විය හැක.

ධනවාදය සහ ජාතික රාජ්‍ය පද්ධතිය මනුෂ්‍ය සංහතියට දැවැන්ත ව්‍යසනයක් අත් කර දීමට තර්ජනය කරයි. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ජාතික ශාඛාවන් කම්කරු පන්තිය සහ ලෝක සමාජවාදය උදෙසා කරන අරගලය මත පදනම්ව පුලුල් ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සටන් කරමින් සිටී.

අපි පැහැදිලි කොට ඇති ආකාරයට, පාලක ප‍්‍රභූව ලෝක යුද්ධයක් කරා යන මාවතට මෙහෙයවන ධනේශ්වර පද්ධතියේ විසඳිය නොහැකි අර්බුදයම කම්කරු පන්තිය සමාජවාදී විප්ලවයේ මාවතට මෙහෙයවයි. අවශ්‍යතාවය බවට පත්ව ඇත්තේ මෙම ව්‍යාපාරයට විඥානික වැඩපිලිවෙලක් සහ මූලෝපායක් සැපයීම සඳහා අවශ්‍ය වන විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ට සහ ආධාරකරුවන්ට හතරවන ජාත්‍යන්තරෙය් ජාත්‍යන්තර කමිටුවට සම්බන්ධවීමේ සහ එම නායකත්වය ගොඩනැගීමට කටයුතු කිරීමේ තීරනය ගැනීම සඳහා දැන් කාලය උදා වී ඇත.

ජේම්ස් කොගන්

Share this article: