විනිශ්චයකාර රෝයි මුවර්ට එරෙහිව සටන් නොකලයුත්තේ කෙසේද?

How not to fight Judge Roy Moore

2017 නොවැම්බර් 14

එක්සත් ජනපද සෙනෙට් සභාව සඳහා දෙසැම්බර් 12 දා පැවැත්වීමට නියමිත ඇලබාමාහි විශේෂ මැතිවරනයේ රිපබ්ලිකන් අපේක්ෂක විනිශ්චයකාර රෝයි මුවර්, කම්කරු පන්තියේ සතුරෙකු හා අන්ත ප‍්‍රතිගාමියෙකි. නීතිය හා සාමය සම්බන්ධයෙන් අභිචෝදකයෙක් ලෙස අන්ත දක්ෂිනාංශික දේශපාලනයේ දිගු ඉතිහාසයක් වාර්තා කර ඇති ඔහු රටේ ශ්‍රේෂ්ඨතම නීතිය වන්නේ ව්‍යවස්ථාව නොව බයිබලය බව ප‍්‍රකාශ කල විනිසුරුවරයෙකි. ඔහු කාන්තාවන්, කලු ජාතිකයින්, සමගාමින් සහ අනෙකුත් සුලුතරයන්ගේ කොන්දේසි සහගත අයිතීන්වලට එරෙහිව ඔර්ලෝසුව සියවසක් නැත්නම් ඊටත් වඩා පසුපසට කැරකවීමට කැමති දේශපාලන ප‍්‍රතිගාමියෙකි.

ජනාධිපති ට‍්‍රම්ප් විසින් නීතිපති ලෙස ජෙෆ් සෙසන්ස් පත් කිරීමෙන් ඇති වු පුරප්පාඩුව සඳහා ඇලබාමාහි එක්සත් ජනපද සෙනෙට් සභික ධුරයට රිපබ්ලිකන් පක්ෂයෙන් නාමයෝජනා ලබාගැනීමට ඔහු ගෙන යන උද්ඝෝෂනයට හිටපු ධවල මන්දිර සහායක සෙබස්තියන් ගොර්කා සහ බ්‍රිට්බාර්ට් නිව්ස් හී ප‍්‍රධාන විධායක නිලධාරි ස්ටීවන් බැනන් වැනි විවෘත ෆැසිස්ට්වාදී කොටස්වල සහය ලැබුනි. පැවැත්වීමට නියමිත මැතිවරනයේ දී මුවර්ට විරුද්ධව තරග වදින්නේ දක්ෂිනාංශික ඩිමොක‍්‍රටිකයෙක් වන, හිටපු එක්සත් ජනපද නීතීපති ඩග් ජෝන්ස්ය. ඔහු, ඇලබාමා හරහා දිවෙන එක්සත් ජනපද මිලිටරි මධ්‍යස්ථාන වලට වාසි සැලසීමේ කොටසක් ලෙස, ට‍්‍රම්ප් සහ කොංග‍්‍රසයේ රිපබ්ලිකානුවන් විසින් ගෙනෙන ලද, දැවැන්ත පරිමානයෙන් මිලිටරි වියදම් ඉහල නැංවීම වෙනුවෙන් පෙනී සිටි අයෙකි.

ප‍්‍රතිගාමීන් දෙදෙනෙකුගේ මෙම තෝරා ගැනීමට එරෙහිව සටන් කිරීමේ අභියෝගය වන්නේ, ධනේශ්වර පක්ෂ දෙකේම දේශපාලනය: එනම් “නැගෙනහිර සංස්ථාපිතය” ට එරෙහිව හා ප‍්‍රධාන වශයෙන් ඇලබාමාහි ගම්බද ජනගහනය වෙනුවෙන් සටන් කරන බව කියා සිටින මුවර්ගේ අන්ත දක්ෂිනාංශික ජනතාවාදය, සහ බර්මින්හැම්, මොබිල් සහ මොන්ට්ගොමරි පලාත්වල එනම් වඩාත් සමෘද්ධිමත් ප‍්‍රදේශයන්හි ප‍්‍රබල සහායක් සහිත, තම දේපල අවශ්‍යතාවන්ට වඩා විශ්වාසදායක හා ගෞරවනීය ආරක්ෂකයෙකු ලෙස දැක ගනු ලබන ජෝන්ස්ගේ සංගත න්‍යාය පත‍්‍රය හෙලිදරව් කිරීමයි.

කෙසේ වෙතත්, සංගත මාධ්‍යයන්ගේ මැදිහත්වීම සමග දැන් දැන් ඉතා වෙනස් යමක් සිදුවෙමින් පවතී. පසුගිය 10දා වොෂින්ටන් පෝස්ට් පුවත් පත දිර්ඝ ලිපියකින් මීට මුලපුරමින්, මුවර් ලිංගික විලෝපිකයකු ලෙස නිරූපනය කර ඇති අතර අවම වශයෙන් එක් අයෙකු ඔහුගේ බලහත්කාරයක ගොදුරක් බවට පත්ව ඇත. එවකට ඇයගේ වයස අවුරුදු 14 ක් සහ ප‍්‍රාන්ත අධිකරනයක නීතිඥයෙක් වු ඔහුට වයස අවුරුදු 32 කි. සති අන්තයේ මාධ්‍ය උද්ඝෝෂනයක් ඇවිල ගියේය. මුල්ම වාර්තාව මගින් තවත් කාන්තාවක්, තමන්ට වයස අවුරුදු 16 ක් ව සිටිය දී මුවර් විසින් මීට දශක කිහිපයකට පෙර අඩන්තෙට්ටම් කිරීමට ලක්ව ඇති බවට චෝදනා කර ඇත.

පක්ෂයේ අපේක්ෂකයා ලෙස මුවර් ඉල්ලා අස්විය යුතු බවත්, නව අපේක්ෂකයෙකු ආදේශ කිරීමට හැකි වන පරිදි මැතිවරනය කල් දැමිය යුතු බවටත් කොංග‍්‍රසයේ ප‍්‍රධාන රිපබ්ලිකානුවන්ගන් ලබාගත් ප‍්‍රකාශ මගින් මාධ්‍ය උද්ඝෝෂනය පෙරට ගෙන යයි. සෙනෙට් බහුතරයේ නායක මිට්ච් මැක්කෝනෙල් විසින් සඳුදා ප‍්‍රකාශ කර ඇත්තේ, මුවර්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනා මගින් ඔහු නුසුදුස්සෙක් බවට පත්ව ඇති බව ය.

මුවර්ට එරෙහිව චෝදනා ගෙනහැර පෑමේ විලාසය අසික්කිතය. එහෙත් එහි සාපරාධී අභිචෝදනයක් නැත, නඩු විභාගයක් නැත, චෝදනාකරුවන්ගේ විස්තර හා මුවර්ගේ ප‍්‍රතික්ෂේප කිරීම් පිලිබඳව හා නීති රීතිවලට අනුකූලව පරීක්ෂනයට ලක් කල හැකි කිසිදු ආකාරයක අධිකරන ක්‍රියාපටිපාටියක් නොමැත. චෝදනා නගන අපචාරය සිදුව වසර 40 කට ආසන්න කාලයක් ගතවී තිබීම හමුවේ සීමාවන් නිර්නය කෙරෙන කාල සීමාව ඉකුත් වී ඇති හෙයින් එවැනි නීතිමය ක්‍රියාවලියක් කිසි දිනෙක සිදු නොවනු ඇත.

මුවර්ට එරෙහි චෝදනා මත නඩු විභාගයක් පවත්වනු ලැබුවත්, නිසි ක්‍රියාපටිපාටියක අවශ්‍යතාවයන්ගෙන් එකක් වන්නේ, ජූරියක් මගින් වරද සොයා ගන්නා තෙක් විත්තිකරුට නිර්දෝෂීභාවයක් පවතින බවය. මෙය වත්මන් වාතාවරනය තුල සම්පූර්නයෙන්ම අමතක වී ඇති සිද්ධාන්තමය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයකි. හොලිඩ් නලුවන් ගනනාවකට එරෙහිව ලිංගික දුරාචාරය පිලිබඳ චෝදනා රැල්ලකින් ඉක්බිතිව ඔවුන් ලිංගික අපයෝජනය සහ ස්ත්‍රී දූෂන චෝදනාවලට පවා ලක්වන අතර ඒවා ප‍්‍රසිද්ධියට පත්වූ වහාම අවිවාදයෙන් සත්‍ය ලෙස සලකනු ලබයි.

මුවර් විරෝධී චෝදනා බදාගෙන සිටින “වාම” ඇමරිකානුවන් සහ “මී ටූ” වැනි (ලිංගික අපහරන විරෝධී සමාජ ජාල උද්ඝෝෂනය) ලිංගික අපහරන උද්ඝෝෂනය වඩාත් පලල්ව ගෙන යන අය, “වරද ඔප්පු වන තුරු අහිංසක” ලෙස සලකන මූලධර්මය අතහැර දැමීමේ බරපතල ඇඟවීම්වලට මුහුන පාති.

දැන් හොලිවුඩයේ සහ ඇලබාමා හි එක්සත් ජනපද සෙනෙට් මන්ඩල තරගයේ දී නැගෙන චෝදනාවන්ට හරියටම සමාන සිදුවීමක් එක්සත් ජනපදයේ ජනාධිපති අසුනේ සිටි පුද්ගලයාට එරෙහිව පැන නැගී වසර 20 ක් වත් ගත වී නැත. ලෝක අධිරාජ්‍යවාදයේ නායකයා ලෙස සර්බියාවට එරෙහි සාපරාධී යුද්ධයක්, ඉරාක බෝම්බ ප‍්‍රහාර, සෝමාලියාව හා සුඩානය ආක‍්‍රමනය කිරීම, උතුරු කොරියාවට සහ චීනයට එරෙහි මිලිටරි තර්ජන එල්ල කල එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ දේශපාලනය හා පිලිවෙත්වලට ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනිවාර්යයෙන් ම විරුද්ධ විය.

එහෙත්, මොනිකා ලෙවින්ස්කි සමග ක්ලින්ටන්ගේ ලිංගික සම්බන්ධතාවන් ගැන සෙවීමට, ස්වාධීන නීතිඋපදේශක කෙනත් ස්ටාර් යොදාගෙන කල විමර්ශනය භාවිතා කරමින් රිපබ්ලිකන් දක්ෂිනාංශිකයින් විසින් සංවිධානය කරන ලද දඩයමට අපි විරුද්ධ වූවෙමු. ක්ලින්ටන්ට විරුද්ධ දෝෂාභියෝගය, ජනාධිපතිවරන දෙකක ප‍්‍රතිඵල ප‍්‍රතිවර්තනය කිරීමට පෞද්ගලික ලිංගික හැසිරීම් පිලිබඳ ප‍්‍රශ්න භාවිතා කල රිපබ්ලිකන් දක්ෂිනාංශයේ උත්සාහය දේශපාලන කුමන්ත‍්‍රනයක් ලෙස අප හෙලා දුටුවෙමු. (එම අවස්ථාවේ දී, රිපබ්ලිකානුවන්ට දෝෂාභියෝගයට ලක්වූ ජනාධිපතිවරයා වරදකරු කිරීම සඳහා සෙනේට් සභාව තුල අවශ්‍ය ඡන්ද ලබා ගැනීමට නොහැකි වු අතර ක්ලින්ටන් නිලයේ රැඳී සිටියේ ය.)

ක්ලින්ටන් හා ඩිමොක‍්‍රටික් පක්ෂයේ පසුකාලීන පරිනාමය පිලිබඳ අප දන්නා දේ දැන ගැනීම සඳහා අපි වසර 20 ක් පසුපසට යන්නේ නම්, අපි 1998 දී ගත් ස්ථාවරයම ගත යුත්තෙමු. එනමුත් කිව යුත්ත වන්නේ, ලිංගික දඩයමේ වත්මන් වාතාවරනය තුල, ක්ලින්ටන් 1992 දී (ජෙනීෆර් ෆ්ලවර්ස් සෝලිය හමුවේ) කිසිවිටෙක ඡන්දයෙන් තෝරා පත් නොකෙරෙන අතර, නැවත තේරී පත්වීම වෙනුවට, ඔහුගේ පලමු වාරය තුල දී (පෝලා ජෝන්ස් නඩු විභාගය ගොනු කල විට) නිශ්චිතවම ඔහුට දෝෂාභියෝගයක් එල්ල විය යුතුව තිබුනි.

විනිශ්චයකරුවකු වන රෝයි මුවර්ට එරෙහිව “චෝදනාව නැගුන වහාම වැරදිකරු කිරීමේ” මූලධර්මය අනුගමනය කිරීමට අදහස් කරන අය, අනාගතය සඳහා පූර්වාදර්ශයක් ලෙස ස්ථාපිත කරන්නේ කුමක් දැයි සලකා බැලිය යුතුය. ජනාධිපතිවරනය සඳහා නාමික වාම අපේක්ෂකයෙකු ලෙස 2020 වන විට බර්නී සැන්ඩර්ස් එන්නේ යයි සිතමු, සිදුවිය හැක්කේ කුමක් ? මීට සමාන චෝදනා සහ සල්ලාල වාර්තාවලට මුහුන දේ ද? ්‍රිට්බාර්ට්, ෆොක්ස් නිව්ස් සහ වෝල් ස්ට්‍රීට් ජර්නලය, චෝදනාවල පෙරමුන ගන්නා හැටි සිතා ගැනීමට අපහසු නැත. ඔහු පාසල් යන කාලයේ හෝ දේශපාලනයට පිවිසීමට පෙර වර්මොන්ට් හී වඩු කාර්මිකයෙකු ලෙස ඔහු ගත කල බොහිමියානු පැවැත්මේ කාලය අතරතුර සැන්ඩර්ස් විසින් විෂමාචාරයට ලක් කල කාන්තාවන් නිපදවීම දුෂ්කර නොවේ. හිස්ටීරියානු වින්දනයක ගිලී සිටින වත්මන් වාතාවරනය තුල, සැන්ඩර්ස්ට සිය ප‍්‍රචාරක ව්‍යාපාරය තුලින් මහජනයා ඉවතට යාම සහ එක රැයකින් දේශපාලන බිඳවැටීමක් අපේක්ෂා කල හැකි වනු ඇත.

වරදකරු වනතෙක් යමෙකුගේ නිර්දෝෂීභාවය පිලිගැනීම, දුරදිග යන ඇඟවුම් සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයකි. පක්ෂ අපේක්ෂකයා තේරීමේ ප‍්‍රාථමික වටයෙන් පැහැදිලි ජයග‍්‍රහනයක් ලබා ගැනීමෙන් පසු, එබඳු චෝදනා එල්ල කිරීම් මගින්, රෝයි මුවර් රිපබ්ලිකන් අපේක්ෂකත්වයෙන් ඉවත් කෙරෙන්නේ නම්, ඇලබාමාහි හෝ සමස්තයක් ලෙස එක්සත් ජනපදයේ වැඩ කරන ජනතාවගේ දේශපාලන විඥානය වර්ධනයක් අත්කර ගන්නේ කෙසේ ද?

තමන්ගේ සැබෑ පන්ති අවශ්‍යතාවන්ට පටහැනිව, නොමග යාම නිසා මුවර් හා රිපබ්ලිකන් පක්ෂයට සහාය දක්වන වැඩකරන ජනතාව, ඔප්පු නොවුනු සහ ක්ලින්ටන්, ට‍්‍රම්ප් සහ වඩාත් මෑතදී, 93 හැවිරිදි හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්ට පවා එල්ල වු චෝදනාවලින් එතරම් වෙනස් නොවන අපචාරයන් නිසා අපේක්ෂකයෙක් ලෙස තරගයෙන් ඉවත් කිරීමෙන් දකිනු ඇත්තේ අන්ත කුහකත්වයයි.

දේශපාලන අරමුනු ඉටුකර ගැනීම සඳහා එවැනි චෝදනා සාර්ථකව යොදා ගැනීම මගින් දිරිමත් වනු ඇත්තේ, එවන් මඩ ගැසීම් ක්‍රියාවලිය පමනි. ඇමරිකානු දේශපාලන ජීවිතය දැනටමත් විකෘති වී ඇත: සියල්ලටත් වඩා ඩොනල්ඩ් ට‍්‍රම්ප්, තේරී පත්වූ ජනාධිපතිවරයෙකි. එය මැතිවරන අපේක්ෂකයන්ගේ ලිංගික හැසිරීම් පිලිබඳ ජනමත විචාරනයකට හැරවීම තත්වය තව දුරටත් අවුල් කරනු ඇත. දේශපාලන විඥානය පහල වැටීම සහ මහජන සංවාදය පීලිපැන්නවීම ආධාර කරන්නේ අඥානකමේ, අවිචාරාත්මක හා අපහාසාත්මක වාතාවරනයක් ශක්තිමත් කරන දක්ෂිනාංශයට පමනි.

මුවර් හෙලා දකින ප‍්‍රධාන රිපබ්ලිකානුවන් එය කරනු ලබන්නේ, බෙහෙවින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පදනමකින්ය යන්න මෙම සන්දර්භය තුල සැලකිය යුතු කරුනකි. 2012 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක මිට් රොම්නි ප‍්‍රකාශ කලේ, “නිර්දෝෂී බව පවතින්නේ වැරදිකරු බවට ඔප්පු වන තෙක් මිස මැතිවරන සඳහා නොවේ” යනුවෙනි.

රෝයි මුවර් යනු, සමලිංගිකත්වය අපරාධයක් ලෙස සැලකීමට සඳහා සහාය දක්වන, තුච්ඡ දක්ෂිනාංශික ආධානග‍්‍රාහියෙක් වන අතර, පල්ලිය හා රාජ්‍යය වෙන්කොට සැලකීමේ ව්‍යවස්ථාමය සම්මතයන්ට අනුකූල නොවීම හේතුවෙන් ඇලබාමා ශ්‍රේෂ්ඨාධිකරනයේ ප‍්‍රධාන විනිසුරුවරයා ලෙස දෙවරක් ඔහු එම තනතුරෙන් ඉවත් කර ඇත. ප‍්‍රාන්ත ඉහල උසාවි භූමියෙන් දස පනත දක්වන ටොන් තුනක ස්මාරකය වෙන තැනකට ගෙන යාමට ඔහු විරුද්ධ විය. ෆෙඩරල් උසාවි විසින් නිෂ්ප‍්‍රභා කරන ලද, සමාන ලිංගික විවාහ තහනම් කිරීමේ ප‍්‍රාදේශීය උසාවි නියෝග බලගන්වන ලෙස ඔහු විනිසුරුවරුන්ට උපදෙස් දී තිබුනි.

එහෙත් එවන් දේශපාලන චරිතයකට එරෙහි අරගලය සඳහා, ආගමික මූලධර්මවාදයේ හා සමාජ පසුගාමිත්වය මත පදනම්ව මූවර් විසින් ඔහුගේ ආයාචනයන් යොමු කරනු ලබන ඇලබාමාහි දුප්පත් සුදු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියට, දේශපාලන අධ්‍යාපනය හා මෙහෙයවීම අවශ්‍ය වේ. ඔප්පු නොකල සහ නිසැකවම ඔප්පු කල නොහැකි - ලිංගික නොහොබිනාකම් පිලිබඳ චෝදනා මත පදනම්ව මුවර්ට එරෙහිව දියත් කල උද්ඝෝෂනය වැඩකරන ජනතාවගේ දේශපාලන අධ්‍යාපනය කප්පාදු කිරීමට මිස අන් කිසිවක් සඳහා දායක නොවේ.

පැට්‍රික් මාර්ටින්

Share this article: