ජර්මනියේ සභාග ආන්ඩු සාකච්ඡා අසාර්ථක වීමත් සමග බර්ලීනයේ දේශපාලන අර්බුදයක් පැනනැගී ඇත

Political crisis in Berlin as coalition talks for German government fail

2017 නොවැම්බර් 21

ජර්මනියේ ෆෙඩරල් මැතිවරනයෙන් සති අටකට පසුව, ක්‍රිස්තියානි ප‍්‍රජාතන්ත්‍රවාදී සංගමය/ ක්‍රිස්තියානු සමාජ සංගමය (සීඩීයූ / සීඑස්යූ), හරිත පක්ෂය හා නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (එෆ්ඩීපී) අතර පැවති ඊනියා ජැමෙයිකා සභාගය පිලිබඳ සාකච්ඡා අසාර්ථකවීම, බර්ලීනය තුල ගැඹුරු අර්බූදයක් පැනනංවා ඇතිවා පමනක් නොවේ. එය ජර්මනියේ හා යුරෝපීය දේශපාලනයේ සන්ධිස්ථානයක් සලකුනු කරයි.

සිඩීයූ සමග ප‍්‍රධාන සභාගය දිගටම පවත්වාගෙන යාමට තමන් සූදානම් යැයි එස්පීඩීය කියා සිටිය ද සුලුතර ආන්ඩුවක් පිහිටුවනු ලබයි ද නැතහොත් තව දුරටත් අර්බුදය දිග්ගැස්සෙන නව මැතිවරනයක් කැඳවනු ලබයි ද යන්න තවමත් සම්පූර්නයෙන්ම පැහැදිලි නැත. කෙසේ වෙතත්, එක් දෙයක් පැහැදිලිය. පාලක පන්තිය තුල පවතින වෙනස්කම් සාකච්ඡා මේසයේදී විසඳාගත හැකිව තිබූ කාලය අවසන් වී තිබේ. චාන්සලර් ඇන්ජිලා මර්කෙල්ගේ යුගය අවසානයකට පැමිනෙමින් තිබේ. දේශපාලන වාතාවරනය එක තැන පල්වෙමින්, සමාජ ගැටුම් තීව‍්‍ර වන අතර නිල දේශපාලනය තව තවත් දකුනට තල්ලුවෙමින් තිබේ.

යුරෝපීය සංගමය තුල දීර්ග*කාලීනව ස්ථාවර බලවේගයක් ව පැවති ජර්මනිය, ආර්ථික අර්බුදය, රට තුල දේශපාලන ගැටුම් සහ ජාතිකවාදී ප‍්‍රවනතාවන් මගින් අභිභවයනය කරනු ලැබ ඇත. ස්පීගල් ඔන්ලයින් කියන පරිදි, දැන් එය තමන්ගේ ම “බ්‍රෙක්සිට් මොහොත” සහ “ට‍්‍රම්ප් මොහොත” අත්විඳින්නේය.

මෙම අර්බුදයේ හේතුව වන්නේ, පසුගිය සති හතර තුල පැවති ජැමෙයිකා සාකච්ඡාවන්හි ආධිපත්‍යය දරනු ලැබූ පරිදි වායු විමෝචන අනුපාත, සරනාගත මට්ටම් සහ බදු අනුපාතයන් ඉහල යාම මත හටගත් අඬ දබර නොව, පක්ෂවල දක්ෂිනාංශික වැඩපිලිවෙල හා ජනගහනයේ පුලුල් කොටස්වල අවශ්‍යතා අතර වැඩෙන ආගාධය යි.

පසුගිය සිව් වසර පුරා මහා සභාගය, දැවැන්ත ලෙස මිලිටරි බලය ගොඩනගමින්, දුර්වල යුරෝපීය රාජ්‍යයන් මත අතිශය දරුනු කප්පාදු වැඩසටහන් පැනවූ අතර, දරිද්‍රතාවය හා අස්ථිර සේවා කොන්දේසි දැඩි කර තිබේ. ඩොනල්ඩ් ට‍්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව මහා බලවතුන් අතර ආතතීන් වර්ධනය වීම සහ ගෝලීය මූල්‍ය අර්බුදයට ආන්ඩුව දක්වන ප‍්‍රතිචාරය මෙය විය.

මෙම ප‍්‍රතිපත්ති ගැඹුරින් අපකීර්තිමත් ය. සිඩීයූ, සීඑස්යූ හා එස්පීඩීය මැතිවරනයේ දී විශාල ඡන්ද ප‍්‍රමානයක් අහිමි කරගත් අතර, එය ඔවුන් වසර 70 ක් තුල ලැබී නරකම ප‍්‍රතිඵලයයි. එසේ වුවද, මෙම ප‍්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යාමට සියලු පක්ෂ කැපවී සිටී. වර්තමාන අර්බුදය තුල ඔවුන්ගේ හැසිරීම තීරනය කරනු ලබන්නේ මෙයයි.

එෆ්ඩීපීය සභාග සාකච්ඡාවලින් ඉවත්වීම අහම්බයක් නොවේ, බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි, කලක සිටම එසේ කිරීමට සැලසුම් කර තිබුනි. මහා ව්‍යාපාරවල පොහොසත් ආධාරකරුවන් මත විශ්වාසය තබන, මහජන බලපැම කිසි කලෙක ප‍්‍රයෝජනයට නොගත් මෙම පක්ෂය, ජර්මානු ඉතිහාසයේ ප‍්‍රධාන වෙනස්කම් වලදී සැමවිටම අයාලේ යන්නෙක්ගේ කාර්යභාරය ඉටු කර ඇත.

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව, එෆ්ඩීපීය, දේශපාලන වර්නාවලියේ (spectrum) අන්ත දක්ෂිනාංශය මත පදනම්ව, හිටපු ජාතික ලිබරලුන් හා නාසීන් බොහෝමයක් ආකර්ෂනය කරගෙන තමන් වටා පෙලගස්වා ගෙන සීඩීයු හි කොන්රඩ් ඇඩෙනුවර් සමග සභාගයක් අටවා ගත්තේය. 1969 දී පක්ෂය පැති මාරු කල අතර සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වන විලී බ‍්‍රාන්ට් චාන්සලර් බවට පත් කිරීමට සහාය විය. 1982 දී, එෆ්ඩීපී නැවත පිල් මාරු කරමින් හෙල්මුට් ස්කිමිඞ්ගේ එස්පීඩීය නායකත්වය දුන් ආන්ඩුව බිම හෙලා, හෙල්මුට් කෝල් (සීඩීයූ) සමග ඊලඟ වසර 16 පාලනය සමග එක් විය.

දැන් එෆ්ඩීපීය තම මූලයන් වෙත ආපසු යමින්, මැතිවරනයේ දී ප‍්‍රධාන පක්ෂවලට ලැබුන ඡන්ද බිඳවැටීමේ වාසිය ඩැහැ ගත් නව ෆැසිස්ට්වාදී ජර්මනිය සදහා විකල්පය (ඒඑෆ්ඩී) දෙසට ඇදෙමින් සිටී. අවුරුදු හතරක් තිස්සේ එෆ්ඩිපීයට නායකත්වය දුන් තිස් හැවිරිදි ක්‍රිස්ටියන් ලින්ඩර්, පක්ෂය තව තවත් දකුනට ගෙන යමින් සිටී. ටගෙස්පීගල් දිනපතා පුවත්පතට ඔහු ලිව්වේ, නව මැතිවරනයක් පැවැත්වූ විට, “ජාතික ලිබරල්වාදීන් හරහා නව වර්ගයක ජනතා පක්ෂයක් බවට පත්වීම සඳහා දක්ෂිනාංශියේ අද්දර සිටින්නන්ගේ ආශ‍්‍රය තමන් බලාපොරොත්තු වන” බවය. සුඬේට්ෂේ සයිටුන්ග් පුවත්පත, ගවේෂක සභාගයේ සාකච්ඡා “හයිඩානුකරනය” කොට උල්ලංඝනය කිරීම පිලිබඳව ලින්ඩර්ට චෝදනා කරමින් ඔහු ඕස්ට්‍රියාවේ හිටපු නිදහස් පක්ෂයේ (එෆ්පී ඕ) නායක ජෝර්ග් හයිඩර් ආකාරයට නිරූපනය කර තිබුනි.

සිඞීයූ/සීඑස්යූ තුල ඔහුගේ දක්ෂිනාංශික වැඩපිලිවෙල ප‍්‍රබල සහායක් දිනා ගනු ඇතැයි ලින්ඩර් ගනන් බලමින් සිටී. සීඑස්යූ හි, මාර්කස් සෝඩර් සහ ඇලෙක්සැන්ඩර් ඩොබ්රිඩ්ට් එහි නායක හෝර්ෂ් සීහෝෆර් නෙරපා හැරීමට සූදානම් වෙමින් සිටිති. මේ දෙදෙනාම දැඩි කොන්සවේටිව් න්‍යාය පත‍්‍රයක් නියෝජනය කරති. ඇන්ජෙලා මර්කෙල් ද ඇගේ පක්ෂයේ දක්ෂිනාංශික කොටස්වල පීඩනයට ලක්ව සිටින අතර, දේශපාලන අර්බූදයෙන් ඇය ගොඩඑනු ඇත්දැයි යන්න තවමත් පැහැදිලි නැත.

ඒඑෆ්ඩී හි ප‍්‍රමුඛ දේශපාලනඥයෙක් වන ඇන්ඩ්‍රේ පොගන්බර්ග් දැනටමත් පාර්ලිමේන්තුව තුල සීඩීයූ-එෆ්ඩීපී සුලුතරයේ ආන්ඩුවකට ඉඩ දීම සදහා ප‍්‍රතිඥා දී තිබෙන අතර ඔහු මර්කෙල්ගේ චාන්සලර් තනතුර වෙනත් කෙනෙකුට ලබා දී නව ආන්ඩුවක් මගින් සරනාගතයන් ජර්මනියේ සිටින ඔවුන්ගේ පවුල් සමග නැවත එක්වීම වැලැක්වීමට හා දේශීයව මර්දනය පුලුල් කිරීමට ඔහු බලාපොරොත්තු තබා ඇත.

එස්පීඩීයේ දේශපාලනය ද වේගයෙන් දකුනට මාරු වෙමින් තිබේ. ජර්මන් මිලිටරිවාදය පුනර්ජීවනය කිරීමේ දී සැලකිය යුතු ක්‍රියාකලාපයක් එම පක්ෂය ඉටු කලේය. විශේෂයෙන් ම හැම්බර්ග් ජී20 සමුලුවේ සිටම පොලිස් හා බුද්ධි අංශ ශක්තිමත් කිරීම සඳහා පෙනී සිට ඇත. “වාමාංශික අන්තවාදයට” එරෙහි උද්ඝෝෂනයක නාමයෙන් එය සිදු කරනු ලැබුවේය. වමෙන් එන විරුද්ධත්වයට එරෙහිව පවුරක් පිහිටුවීම එහි සාම්ප‍්‍රදායික අරමුන ලෙස එස්පීඩීය සලකනු ලබයි.

මහා සන්ධානය අඛන්ඩව පවත්වාගෙන යාමට පක්ෂ කැමති නොවන්නේ මේ නිසා ය. චාන්සලර් මර්කෙල් හා ජනාධිපති ෆ‍්‍රෑන්ක්-වෝල්ටර් ස්ටෙයින්මියර් (එස්පීඩී) එස්පීඩීයට සැලකිය යුතු පීඩනයක් යෙදවුව ද ආන්ඩුව තුලට ඇතුලුවීමට වඩා විපක්ෂයේ ලැග සිටීමට එස්පීඩී විධායකය එකහෙලා කැමැත්ත පල කර ඇත. එඑෆ්ඩීය පාර්ලිමේන්තුවේ විශාලතම විරුද්ධ පක්ෂය ලෙස පවතින්නට ඉඩ හැර, සීඩීයූ / සීඑස්යූ සමග සමීපව කටයුතු කරගෙන යන්නේ නම්, සමාජවාදී ඉදිරිදර්ශනය ශ‍්‍රාවකත්වයක් සොයා ගනු ඇතැයි එස්පීඩී බියට පත්ව සිටී.

වාම පක්ෂය මෙම පිලිවෙත සඳහා සහයෝගය දක්වයි. සීඩීයූ / සීඑස්යූ හා එෆ්ඩීපී සමග සභාගයක් අටවා ගැනීම සඳහා මංමුලා සහගතව සිටින එස්පීඞීය හා හරිතයින් සමග ආන්ඩුවක් පිහිටුවීම සඳහා නව මැතිවරනයක් ඉල්ලා සිටීම මගින් එය සභාග සාකච්ඡා බිඳවැටීමට ප‍්‍රතිචාර දක්වයි.

ඊලඟ දින හා සති කිහිපයේ අර්බුදය වර්ධනය වන ආකාරය කුමක් වුවත්, කම්කරුවන් හා තරුනයන් දැවැන්ත ප‍්‍රහාරයන්ට හා පන්ති අරගලයේ තීව‍්‍ර වීමට මුහුනදීම සඳහා සූදානම් විය යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජර්මානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), මැතිවරන උද්ඝෝෂනය තුල ප‍්‍රකාශ කර ඇති පරිදි, මැතිවරනය දේශපාලන හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්ව ඇති අතර සියලු පක්ෂ “පෙර නොවූ විරූ ලෙස මිලිටරිවාදය නැංවීම සඳහාත්, සමාජ කප්පාදු සහ මර්දනකාරී රාජ්‍ය යන්ත‍්‍රනය ශක්තිමත් කිරීම සඳහාත්” තල්ලුව දීමට වැඩ කරනු ලබයි.

සමාජවාදී සමානතා පක්ෂය “‘වමේ’ හා ධනේශ්වරයේ දක්ෂිනාංශික ආරක්ෂකයන්ට එරෙහි වන හා ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා සටන් වදින” එකම පක්ෂය වේ. හදිසි දේශපාලන කර්තව්‍යය වන්නේ, සමාජවාදී සමානතා පක්ෂය හා එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සටන් වැදීම ය.

පීටර් ස්වාර්ස්

Share this article: