උතුරේ දෙමල තරුනයා මරා දැමූ ආන්ඩුවේ පොලිස් නිලධාරීන් හෙලිදරවු වේ

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 නොවැම්බර් 10

යාපනය නගරාසන්නයේ නැගෙනහිර අරියාලෙයි ප‍්‍රදේශයේ උදයපුරම් ගම්මානයේ දී දෙමල තරුනයෙක් මරාදැමීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්ය බලකායේ (එස්ටීඑෆ්) භටයන් දෙදෙනකු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නොවැම්බර් 3 දා අත්අඩංගුවට ගනු ලැබී ය. මෙම ඝාතනය නැවතත් පෙන්නුම් කරන්නේ උතුරු පලාත තුල ආන්ඩුව විසින් පවත්වාගෙන යන මිලිටරි-පොලිස් ත‍්‍රස්තය යි.

ඔක්තෝබර් 22 දා සවස 3ට පමන, මෝටර් සයිකලයකින් යමින් සිටි 25 හැවිරිදි දොන් බොස්කෝ ඩෙස්මන් නමැති ධීවර තරුනයා මෝටර් සයිකලයකින් පැමිනි පුද්ගලයෙක් විසින් වෙඩි තබා මරා දමන ලදී. ඝාතනය සිදුවන විට ඩෙස්මන් මෝටර් සයිකලයේ පසුපස අසුනේ සිටි අතර, එය පදවමින් සිටි ඔහුගේ මිත‍්‍රයා වෙඩි නොවැදී බේරුනේ අනූනවයෙනි.

යාපනයේ ශික්ෂන රෝහලට ඇතුලත් කරනු ලැබූ ඩෙස්මන්, අධික ලේ ගැලීම හා පෙනහලුවලට වෙඩි උන්ඩ ඇතුලුවීම හේතුවෙන් මරනයට පත්වූ බව එදින රාත්‍රියේ ප‍්‍රකාශ කරනු ලැබිනි. මෝටර් සයිකලය පැදවූ ඩෙස්මන්ගේ මිත‍්‍රයා ආරක්ෂාව සැලසීමේ මුවාවෙන් වහා ම අත්අඩංගුවට ගත් පොලීසිය ඔහු මුදා හැරියේ දින කිහිපයකට පසුවයි.

ඩෙස්මන් මරාදැමීම නිසා දිලිඳු උදයපුරම් ගම්මානය තුල කැලඹිලි සහගත තත්ත්වයක් නිර්මානය කර තිබෙන අතර යාපනය නගරයේ දී විරෝධතාවක් ද පැවැත්විනි. වෙඩි තැබීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ විරෝධතාවන් පැවැත්වේ යයි බියෙන් ප‍්‍රදේශය පුරා එස්ටීඑෆ් භටයන් මෙහෙයවා තිබුනි.

පොලිස්පති පූජිත ජයසුන්දර ඔක්තෝබර් 28දා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට (සීඅඩී) විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යන ලෙස නියම කලේ ය. උදයපුරම් ගම්මානය අසල එස්ටීඑෆ් කඳවුරට අනුයුක්ත ව සිටි උප පොලිස් පරීක්ෂක මල්ලවාරච්චිගේ ප‍්‍රදීප් නිශාන්ත හා පොලිස් කොස්තාපල් ඉන්දික පුෂ්පකුමාර යන දෙදෙනා සීඅයිඩීය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. යාපනය උසාවියේ මහේස්ත‍්‍රාත් විසින් ඔවුන් දෙදෙනා නොවැම්බර් 16 දින තෙක් රිමාන්ඩ් භාරයට පැමුනුවේ ය.

ඝාතනය සිදුවන අවස්ථාවේ අසල තිබූ සීසීටීවී කැමරාවක සිද්ධිය සටහන් වී ඇති බවට වාර්තා වේ. ඝාතනයට යොදාගත් මෝටර් සයිකලය, ත්‍රීරෝද රථයක් හා මිලිමීටර් 9 පිස්තෝලයක් කඳවුර තුල තිබී සීඅයිඞීය විසින් සොයාගනු ලැබී ය. වාහන දෙක ලියාපදිංචි කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ය.

ඝාතනය සඳහා පොලිස් නිලධාරීන් සම්බන්ධ බව එම වාර්තා මගින් පෙන්නුම් කෙරේ. තව ද, මෙම කලාපය මිලිටරි පාලනය යටතේ පවතින ආයුධ ගෙන යාමේ වරම ඇත්තේ පොලීසියට හා හමුදාවටයි.

ඝාතනයට හේතුව පැහැදිලි නැත. සැබෑ හේතුව ඉක්මනින් හෙලිදරවු වේ ද යන්න සැකසහිත ය. එහෙත් නිශ්චිතව කිව හැක්කේ පොලිස් මිලිටරි ත‍්‍රස්තයෙන් ඩෙස්මන් බිලිගැනුනු බවයි.

2009 දී ආන්ඩුව දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය අවසන් කල පසු මරාදැමුනු තරුනයා සහ දෙමව්පියන් පදිංචි කරනු ලැබ තිබෙන නිවසට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ ගිය හ. ඩෙස්මන් ඔහුගේ දෙමව්පියන් ද සමග පදිංචිව සිටියේ තාවකාලික පැල්පතකයි. ඔහුගේ දෙමව්පියන් ඝාතනයට හේතුවක් නො දනී. “පොලීසියට නීතිය අතට ගෙන මිනිසුන් මෙලෙස මරාදැමිය හැකිදැයි” කම්පාවන ඩෙස්මන්ගේ දෙමව්පියෝ ප‍්‍රශ්න කලහ.

කොලඹ ආන්ඩු විසින් අවුරුදු 26ක් තිස්සේ ගෙනගිය වාර්ගික යුද්ධයෙන් අනතුරු ව, සුලුතර දෙමල ජනයාට “සංහිඳියාව” පිලිබඳ ව පොරොන්දු දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව බලයට පත්වීමෙන් පසුව දෙමල තරුනයන් ඝාතනය කරන ලද තුන්වන අවස්ථාව මෙය යි.

2016 ඔක්තෝබර් මාසයේ, කොකුවිල්-කුලප්පිඩි මංසන්ධියේ දී මෝටර් සයිකලයකින් යමින් සිටි යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කලේ ය. මෙම ශිෂ්‍ය ඝාතනය සිදුකල මුර සේවයේ සිටි පොලීසිය, ඒ ගැන මුලින් ගෙතූ බොරුව වූයේ වෙඩිතැබීමට හේතුව අධික වේගයෙන් ගමන් කල මෝටර් සයිකලය නවත්වන ලෙස කල පොලිස් අන නො තකා එය ධාවනය කිරීම යන්න යි. එම ඝාතනයට එරෙහි ව මහජනයා විරෝධතාවක් පැවැත්වූ පසු හෙලිදරවු විභාග කිරීම්වලින් හෙලිවූයේ, එය හිතාමතා කල කෲර මිනී මැරීමක් බව යි. ඒ පිලිබඳ පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුව දිග් ඇද්දී යමින් තිබේ.

ජූලි මාසයේ දී වැලි ප‍්‍රවාහනය කල ට‍්‍රක් රථයක ගමන් කරමින් සිටි දිනේෂ් නමැති තරුනයා තුන්නාලෙයිහි දී පොලීසිය විසින් ඝාතනය කලේ ය. එයට එරෙහි ව මහජන විරෝධය වර්ධනය වීමෙන් පසු, “පමන ඉක්මවා බලය පාවිච්චි කිරීම” චෝදනාව මත පොලීසිය නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත.

පොලීසිය එරෙහි ව ගොනු කරනු ලබන නඩු ඇදී යන්නේ ගොලුබෙලි වේගයෙනි. එහෙත් පොලිස් මුරපොලකට පහර දුන්නේ යයි චෝදනා කරමින් දිනේෂ් මැරීමට එරෙහිව විරෝධය පෑ තුන්නාලෙයි හා කුඩාවත්ත යන ප‍්‍රදේශවල දුසිම් ගනනක් ජනයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාකර තිබේ. අත්අඩංගුවට පත්වූ පුද්ගලයෝ තමන්ට වධ දුන් බව හා තමන්ට එරෙහි ව නඩුදමා ඇතැයි කියා සිටිති. අවම වසයෙන් පුද්ගලයන් 35 දෙනකුවත් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙද්දී, අනෙක් අය නිදහස් කර තිබෙන්නේ දැඩි ඇප කොන්දේසි යටතේ ය. අත්අඩංගුවට පත් වේ යයි බියෙන් බොහෝ තරුනයෝ සැඟවී සිටිති.

හඳුනා නො ගත් තුවක්කුකරුවන් සිදුකල වෙඩිතැබීමේ සිද්ධි සහ කඩු වැනි තනාගත් ආයුධ භාවිතා කරමින් සිදුකල ප‍්‍රචන්ඩ ක්‍රියා කිහිප වතාවක් ම යාපන අර්ධද්වීපයෙන් වාර්තා වුනි. නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වන්නේ යයි කියන “ආවා කන්ඩායම” නමැති පාතාල නඩයක් මත ආන්ඩුව හා පොලීසිය එම සිද්ධි ගැන වරද පටවයි. මෙම කන්ඩායම තනන ලද්දේ වෙනත් කිසිවෙක් නො ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම ඇති ව බව කැබිනට් ඇමති රාජිත සේනාරත්න සඳහන් කලේ ය. මෙම කන්ඩායමට මිලිටරිය හා පොලීසිය සමග සබඳතා ඇතැයි විශ්වාස කෙරේ.

ලෝසවෙඅ වෙත අදහස් පලකල පොලිස් ප‍්‍රචන්ඩත්වයට මුහුන දුන් ගම්වාසීන් පැවසුවේ, තමන්ට යුද්ධය කාලයේ ජීවත් වන්නාක් මෙන් දැනෙන බව යි. පසුගිය මැයි මාසයේ සිදුකල තවත් මුර සංචාරක හා සෝදිසි මෙහෙයුමක් පලෙයි ප‍්‍රදේශයේ සිදුකලේ ප‍්‍රදේශයට සමීප තැනක දී පොලිස් වාහනයකට වෙඩි තැබීමක් සිදු වූයේ යයි කියමිනි.

100,000ක් පමන හමුදා භටයන් උතුරු හා නැගෙනහිර පලාත්වල රඳවමින් මිලිටරි පාලනයක් පවත්වාගෙන යාම සුජාතකරනය කිරීමට ආන්ඩුව මෙම සිද්ධි යොදාගනී. “ත‍්‍රස්තවාදය පරාජය කල බව කීවත්, එය තව ම සම්පූර්නයෙන් වෙලා නැහැ. දේවල් මේ ආකාරයෙන් සිද්ධ වෙන්න ඉඩදෙන්න අපිට බැහැ. එල්ටීටීඊ ත්‍රස්තවාදය ආරම්භ වුනෙත් මේ ආකාරයෙන් ම යි. එය නැවත හිස ඔසවමින් සිටිනවා” යයි පොලිස්පති කීවේ කෝපායි ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එල්ල වූ ප‍්‍රහාරයකින් පසුව යි. මෙවැනි ප‍්‍රචාරයන් යොදා ගන්නේ සිංහල ජනයා අතර දෙමල විරෝධී මනෝගතීන් ඇවිලවීමට යි.

යුද්ධයෙන් විනාශ කෙරුනු සමාජ හා ජීවන කොන්දේසිවලට විරුද්ධ ව දෙමල කම්කරුවන් හා දිලිඳු ජනයා අතර වැඩෙන අතෘප්තිය පිලිබඳ ව මිලිටරිය, පොලීසිය හා ආන්ඩුව චකිතවී සිටියි. යුද්ධය සමයේ අල්ලාගත් ඉඩම්වලින් බහුතර ප‍්‍රමානයක් තවමත් ආපසු පවරා නැත. දැනට දෙමල දේශපාලන සිරකරුවන් කිහිප දෙනෙක් උපවාසයක නිරත වෙති. සිය ගනනක් වන දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් උද්ඝෝෂනයක් පැවැත්වේ.

පොලිස්-මිලිටරි බියගැන්වීමේ ඉලක්කය වන්නේ ජනයා අතර වැඩෙන කැලඹිල්ල මර්දනය කිරීම යි. මෙම කැලඹිල්ල ආන්ඩුවට එරෙහිව රටේ දකුනු ප‍්‍රදේශවල කම්කරුවන් හා දුගීන් අතර වර්ධනය වන විරුද්ධත්වය සමග සමපාත වේ. දිගහැරෙන අරගලයන්ගෙන් බියට පත් ව සිටින ආන්ඩුව, ආරක්ෂක හමුදා සහ ස්වෝත්තමවාදී කන්ඩායම් කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීම පිනිස ප‍්‍රජාගනවාදය ඇවිලවීමට ක්‍රියා කරති.

දෙමල ජාතික සන්ධානය ඇතුලු දෙමල දේශපාලන පක්ෂවලට මෙම මර්දනය ගැන තැකීමක් නැත. ඇත්තෙන්ම ඔවුහු කොලඹ පාලනයේ මර්දනීය හස්තය ශක්තිමත් කිරීමේ යෙදී සිටිති.

Share this article: