සයිටම් යෝජනා ආන්ඩුව අධ්‍යාපන පෞද්ගලිකරනය දිගටම ගෙනයන බව තහවුරු කිරීමක්

ප‍්‍රදීප් රාමනායක, 2017 නොවැම්බර් 2

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨය සම්බන්ධව “උද්ගතව ඇති ගැටලුව නිරාකරනය කර ගැනීමේ” නමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා අටකින් සමන්විත නිවේදනයක් ඉරිදා නිකුත් කලේය. වත්මන් ආන්ඩුව යටතේ පුලුල් කෙරමින් පවත්නා අධ්‍යාපන පෞද්ගලිකරන වැඩපිලිවෙල ආපසු හැරවීමක් සිදු නොවන බව ජනාධිපති සිරිසේන එම යෝජනා මගින් ස්ථිරකොට පෙන්වා දී තිබේ.

සිරිසේනගේ ඊනියා “විසඳුමෙන්” එලිදරව් වී ඇත්තේ නානාවිධ බලපෑම් දැමීම් මගින් ආන්ඩුවේ පුද්ගලීකරන ප‍්‍රතිපත්ති නතර කල හැකි බවට ඉදිරිපත්කරන වැඩපිලිවෙලේ අන්ත බංකොලොත්කමයි. මෙම වැඩ පිලිවෙල තොරොම්බල් කරන්නේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), එය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු සයිටම් විරෝධය සංවිධානය කිරීමේ නමින් එක්වී සිටින අවස්ථාවාදී කන්ඩායම් විසිනි.

ඉහත කී සංවිධාන දැන් සිරිසේනගේ යෝජනා “ධනාත්මක” යයිද ඒවායින් තමන් ලද “ජයග‍්‍රහනයක්” පෙන්නුම් කරන්නේ යැයි ද ප‍්‍රකාශ දෙමින් සිසුන්ගේ හා වෛද්‍යවරුන්ගේ අරගලවලට ඇබ ගැසීමට සුදානම් වෙති.

සිරිසේනගේ පලමු යෝජනාව “සයිටම් ආයතනයේ දැනට සිටින කොටස්කරුවන්, නයදෙන ආයතන සහ ලාභ බලාපොරොත්තුවක් නොමැතිව, සයිටම් වෛද්‍ය පීඨයේ සියලුම මෙහෙයුම් කටයුතු සහ කලමනාකරනය ලබා ගැනීමට කැමැත්තක් දක්වන, නව ආයතනය නීත්‍යානුකූලව පිලිගන්නා ආකාරයෙන්, සයිටම් ආයතනයේ පවතින හිමිකාරිත්වය සහ කලමනාකරන ව්‍යූහය අහෝසි කිරීමයි.”

“මෙම පාර්ශවකරුවන් අතර ඇතිකර ගන්නා ගිවිසුමක් මගින් සයිටම් ආයතනයේ වත්කම්, වගකීම්, කාර්ය මන්ඩලය සහ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුනුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන්ට අනුකූලව ස්ථාපිත කරන වෛද්‍ය උපාධි ප‍්‍රදානය කරන යෝජිත නව, රාජ්‍ය නොවන සහ ලාභ නොලබන ආයතනයකට පැවරිය යුතුය” යන්න දෙවන යෝජනාවයි.

නව ආයතනය, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අධීක්ෂනය යටතේ පිහිටුවීම, එහි දැනට ඉගෙනුම ලබන සිසුන් නව ආයතනයට අනුයුක්ත කිරීම, ඉදිරියේදී නීතිගත කෙරෙන, වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුනුව සම්බන්ධ අවම ප‍්‍රමිතීන්ට අනුකූලව නව සිසුන් බඳවාගැනීම, අඩු ආදායම් ලාභී පවුල්වලින් ඇතුලත්වන සිසුන්ට ගාස්තු පිරිවැය පියවා ගැනීමට නය සම්පාදනය ආදිය ආන්ඩුවේ අනෙකුත් යෝජනාවන් ය.

“වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා සහ එම පවුල හිමිකාරිත්වය දරමින් කලමනාකරනය කරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි වනු ඇත” යි නිවේදනයේ සඳහන් වේ. විසඳුම් ඉදිරිපත්වී ඇත්තේ සාකච්චාව සඳහා ය. මෙම ක්‍රියාවලිය දෙසැම්බර් 31 වනවිට සම්පූර්න කලයුතු බව කියා ඇත.

යෝජනාවලින් තහවුරු වන්නේ “නව, රාජ්‍ය නොවන සහ ලාභ නොලබන ආයතනය” පවත්වාගෙන යන්නේ සිසුන්ගෙන් ගාස්තු අයකිරීම මගින් බවයි. එනම්, එය වෙනත් රූපයකින් හා නමකින් පිහිටුවෙන පුද්ගලික ආයතනයක් බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාවට දමමින් ආන්ඩුව ගෙනයන කප්පාදු වැඩපිලිවෙල කම්කරුවන්ගේ හා දුගීන්ගේ බරපතල විරුද්ධත්වයට ලක්වී තිබේ. මෙම තතු තුල සිරිසේනගේ යෝජනාවල එල්ලය සිසුන් හා වෛද්‍යවරුන් අතර දිග්ගැස්සී යන විරුද්ධත්වය යටපත් කර ගැනීමට සයිටම් විරෝධතා කැඳවූ සංවිධාන පෙල ගස්වා ගැනීමයි. “සයිටම් අහෝසිකරනු” යි උද්ඝෝෂනය ගෙනගිය තතු තුල, “සයිටම් අහෝසි කල බවට” ආන්ඩුව කර ඇති ඇස්බැන්දුම වටා ඒ හෝ මේ ආකාරයෙන් පෙල ගැසීමට සූදානම විරෝධතා කැඳවන සංවිධාන පෙන්නුම් කර ඇත.

පසුගිය අවුරුදු තුනක පමන කාලයක් “සයිටම් අහෝසි කරගැනීම සඳහා ආන්ඩුවට බලපෑම් දැමීමේ” නමින් අවිශිබම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස), ව්‍යාජ වාම පෙසප, ජවිපෙ, වෘත්තීය සමිති කීපයක් හා සිසුන්ගේ දෙමව්පිය සංවිධානය විවිධ විරෝධතා සංවිධානය කලේය. ඔවුන් එක්වී “සයිටම් විරෝධී ජන පවුර” නමින් ව්‍යාපාරයක් ද පිහිටුවා ගෙන තිබේ.

සිරිසේනගේ යෝජනා නිකුත්වූ දිනම “සයිටම් විරෝධී ජනපවුර” නුගේගොඩ දී රැස්වීමක් පැවැත්වූයේ සිසු දෙමව්පියන්ගේ “මාරාන්තික උපවාසයක්” දියත් කිරීම ගැන නිවේදනය කිරීමටයි. එහි දී කතා කල ජවිපෙ මුලික නායකයෙකු වන කේ. ඩී. ලාල් කාන්ත “මේකේ මොකක්වත් නැහැ” යයි කියමින් යෝජනා ඇතුලත් ලියවිල්ල ඉරා දමමින් පුහු සටන්කාමිත්වයක් පෙන්නුවේය. එහෙත් ඔහු ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ වෛද්‍ය පීඨ අටක පීඨාධිපතිවරුන් ඉදිරිපත් කර ඇති විසඳුම පිලිගන්නා ලෙසයි.

සඳුදා ජවිපෙ දේශපාලන මන්ඩලය නිකුත් කල ප‍්‍රකාශයකින්ද එම ඉල්ලීම ඉදිරිපත් කරමින්, සයිටම් අහෝසි කල යුතු බව ආන්ඩුව පලමුවරට පිලිගනු ලැබ ඇති නිසා එය ඒ වෙනුවෙන් “සටන් කල සියලු දෙනා ලැබූ ජයග‍්‍රහනයකි” යි හුරේ දමා ඇත. ජවිපෙ සඳහන් කරන පීඨාධිපතීන්ගේ යෝජනා සයිටම් සම්බන්ධයෙන් සීමා වූවකි. අධ්‍යාපනය පුද්ගලීකරනය ප‍්‍රතිපත්තිය නතර කිරීම කිසි ලෙසකිනුත් ඔවුන් යෝජනා කරන්නේ නැත.

ජවිපෙ මෙම උද්ඝෝෂනය මුදුනට පැනගෙන සිටින්නේ නිදහස් අධ්‍යාපන අයිතිය ගැන කැක්කුමකින් නොවේ. ජවිපෙ සයිටම් විරෝධතා මෙන්ම, වෘත්තීය සමිති යොදා ගන්නේ ද කම්කරුවන්ගේ අරගල වර්ධනය වන විට ඒවා ආන්ඩුවට බලපෑම් දැමීමේ උද්ඝෝෂන තුල කොටු කිරීමටය.

නුගේගොඩ රැස්වීමේ කතා කල රවෛනිස ලේකම් හරිත අලුත්ගේ ආන්ඩුවේ යෝජනා “ජයගහනයක්” බව ප‍්‍රකාශ කලේය. ලාල්කාන්ත යෝජනා ඉරා දැමීම හෙලාදකින බව ඉඟි කරමින් පසුව පැවති පුවත්පත් සාකච්චාවකදී අලුත්ගේ මෙසේ පැවසුවේය: “රවෛනිස හැටියට අපිට අවශ්‍ය නැහැ විසඳුම් ඉරල දාල, විසඳුම් විනාශ කරලා ඒකෙන් කාලකන්නි තෘප්තියක් ලබන්න.” මේ විසඳුම තුල ඉතා “ධනාත්මක කාරනා රාශියක් අන්තර්ගත ගතවන” බව කී ඔහු ජනාධිපති සයිටම් අහෝසි කරන්න “නිර්භීත තීන්දුවක්” ගෙන ඇති බවට ප‍්‍රශංසා කරමින් යෝජනාවල “වැරදි නිවැරදි කර ගැනීමට” ඔහු සමග සාකච්චා කරන බව ද ප‍්‍රකාශ කලේය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ශාඛා සංවිධානවලට ලිපියක් යවමින් අලුත් තත්වය සාකච්චා කරන ලෙස නිර්දේශ කර ඇත. එහි නායකත්වය තැත් කරන්නේ හුදු විරෝධතා ජාලයක තමන් කොටු කිරීම නිසා සාමාජිකයන් අතර වැඩෙන අප‍්‍රසාදය තුනීකර ගැනීම සඳහා සංගමය “ජයග‍්‍රහනයක්” ලබා ඇති බව මවා පෙන්වීමටයි. සයිටම් අයිතිකාර නෙවිල් ප‍්‍රනාන්දු රවෛනිස ආස්ථානය ගැන සතුට පල කරමින් ඊලඟ පියවර ලෙස වෛද්‍ය සිසුන්ගේ උද්ඝෝෂනය නතර කරන ලෙස ඉල්ලා ඇත. එම සිසුහු මාස නවයකට වැඩි කලක් පන්ති වර්ජනයේ යෙදෙති.

අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව අතුලුව පුද්ගලීකරනය සඳහා ධනපති ආන්ඩු ගෙනයන වැඩපිලිවෙලට විරුද්ධ නැති රවෛනිස සයිටම් අහෝසි කිරීම වටා තනි ප‍්‍රශ්නයේ උද්ඝෝෂනයකට අවිශිබම හා පෙසප සමග පෙල ගැසුනේ සිසුන් හා වෛද්‍යවරුන් අතර වැඩෙන විරුද්ධත්වය පීලිපන්වා වාෂ්ප කර දැමීමටයි.

අවිශිබම වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මාධ්‍යය වෙත නිකුත්කල ප‍්‍රකාශයක සඳහන් කර තිබුනේ “අපේ ඉල්ලීම සයිටම් අහෝසි කිරීමයි. නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකරනයත් නතර කල යුතුයි. ආන්ඩුව සයිටම් අහෝසි කරන බවක් නිවේදනය කලත් යෝජනාවල සඳහන් වන්නේ එහි කලමනාකාරිත්වය වෙනස් කරන බව පමනයි.” මද්දුමගේ ගේ ප‍්‍රකාශයෙන් හෙලිවෙන්නේ අවිශිබම ආන්ඩුවේ තීරනය පිටුපස ගාල්වීමට කොන්දේසි සොයමින් සිටින බවයි.

පෙසප නායකයෙකු වන පුබුදු ජයගොඩ සඳුදා පැවති පුවත්පත් සාකච්චාවක දී පැවසුවේ නීතියට පටහැනිව යමින් සයිටම් පිහිටුවා ඇති බව, ආයතනට ප‍්‍රමිතියක් නැති බව හා “අඩු ආදායම් ලාභී පවුල්වල ශිෂ්‍යන්ට අසාධාරනයක් වන බව” සිරිසේනගේ යෝජනා මගින් ආන්ඩුව අනියමින් පිලිගෙන ඇති බවයි. ජයගොඩ වලිකන්නේ තවදුරටත් බලපෑම් දැමුවොත් සයිටම් ආන්ඩුව යටතට ගැනීම දක්වා එය තල්ලු කරගත හැකියයි ඒත්තු ගැන්වීමටයි.

පෙසප හා අවිශිබම සිසුන් යොමු කරමින් සිටියේ සයිටම් “ජනසතු කිරීමෙන්” ප‍්‍රශ්නය විසඳන ලෙස ආන්ඩුවට බල කිරීමටයි. 1985 උතුරු කොලඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය හුදෙක් සිසුන්ගේ උද්ඝෝෂන නිසා ආන්ඩුවට ගැනීමට බලකෙරුනු බව ඔවුන් උදාහරන ලෙස දක්වයි. මෙය වනාහි ආන්ඩුවේ පුද්ගලීකරනයට එරෙහිව අරගලයක් සංවිධානය කිරීමට විරුද්ධව මතු කෙරන පුහු තර්කයකි.

උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය සිසුන්ගේ, කම්කරුවන්ගේ හා පුලුල් ජන කොටස්වල උද්ඝෝෂන මධ්‍යයේ ආන්ඩුව අතට ගත් බව සැබැවි. එසේ කලේ අවිශිබම හා එවක එය මෙහෙයවූ ජවිපෙට කැරට් අලයක් දී නිහඬ කර ගැනීමටයි. එහෙත් අධ්‍යාපනය ඇතුලු පුද්ගලිකරනය අනුප‍්‍රාප්තික ආන්ඩු වඩවඩාත් ගැඹුරු කලේය. පුද්ගලික පාසල් ද සරසවි ද හතු පිපෙන්නාක්මෙන් බිහිවී ඇත. අධ්‍යාපනය සඳහා කරන ආන්ඩුවේ වියදම අවම මට්ටම්වලට පහල දමා තිබේ.

ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදු කිරීමේ වැඩපිලිවෙල සමාජ අයිතීන් උදුරාගැනීම සඳහා ලෝක පරිමානව මෙන්ම ලංකාව තුලද දියත්කර ඇති ප‍්‍රහාරයක කොටසකි. ලෝක ධනවාදයේ අර්බුදයෙන් ගැඹුරුවී ඇති ලංකාවේ ආර්ථික ප‍්‍රශ්න මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කප්පාදු වැඩ පිලිවෙල නියම කර ඇත. ආන්ඩුවේ වියදම් කපා දැමීමත්, පෞද්ගලිකරනයත් එහි කොටසකි. එම වැඩපිලිවෙල බැඳී ඇත්තේ මහා ව්‍යාපාරිකයන්ට හා විශේෂයෙන් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය සඳහා කොන්දේසි සැදීම සමග ය. අධ්‍යාපනය පුද්ගලීකරනය දිගටම ගෙනයන බව අවධාරනය කරමින් ගිය සිකුරාදා උසස් අධ්‍යාපනය හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ලබන අවුරුද්දේ තවත් වෛද්‍ය පීඨ දෙකක් අරඹන බව කියා සිටියේය.

ආන්ඩුවේ පිලිවෙත් රුදුරු ලෙස ක්‍රියාවට දැමීමට සිසුන්ගේ හා කම්කරුවන්ගේ අරගල මැඩීම සඳහා මිලිටරි පොලිස් රාජ්‍ය මර්දනය වැඩිවැඩියෙන් කැඳවනු ලැබෙයි.

අධ්‍යාපනය පුද්ගලිකරනයට එරෙහි අරගලය ආන්ඩුවේ හා ධනපති පන්තියේ ප‍්‍රතිපත්තිවලට එරෙහිව කරන දේශපාලන අරගලයක් බවට පත්ව ඇත. ඒ බව පෙන්වා දෙමින් සමාජවාදී සමානතා පක්ෂයත් (සසප) සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයත් (සසජාතශි) එම සටන සඳහා ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කරමින් මැදිහත්වුනි. කම්කරු පන්තිය පීඩිතයන්ගේ හා තරුනයන්ගේ නායකත්වය ගනිමින්, ධනපති පන්තියේ සියලු කොටස්වලින් ස්වාධීනව සමාජවාදී ප‍්‍රතිපත්ති ක්‍රියාවට දැමීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කරමු යි අපි යෝජනා කලෙමු.

සයිටම් විරෝධතා කැඳවූ සංවිධාන -අවිශිබම, පෙසප, රවෛනිස, ජවිපෙ හා අනෙකුත් කන්ඩායම්- ඊට ඉඳුරාම විරුද්ධ වුහ. ධනපතික‍්‍රමය තුල කෙසේ හෝ ප‍්‍රතිසංස්කරන දිනා ගැනීමේ වැඩපිලිවෙලක කම්කරුවන්, සිසුන් සිරකිරීමට ඔවුහු ක්‍රියාත්මක වූහ. දැන් ඔවුහු සිරිසේනගේ යෝජනා පිටුපස ගාල්වීම ගැන සාකච්චා කරමින් ආන්ඩුවේ ප‍්‍රහාර ඉදිරියේ කම්කරුවන් හා සිසුන් දේශපාලනිකව නිරායුධ කරති.

අපි කම්කරුවන්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ සසප හා සසජාතශි ඉදිරිපත් කල ක්‍රියාමාර්ගයට සටන් කිරීමට එක් වන ලෙසයි.

Share this article: