සිසු සමිති ආන්ඩුව සමග සම්මුතියකින් සයිටම් විරෝධතා ව්‍යාපාරය නතර කරයි

ප‍්‍රදීප් රාමනායක සහ කේ. රත්නායක විසිනි, 2017 නොවැම්බර් 9

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ආන්ඩුවට බලපෑම් දැමීම තීව්ර කිරීම සඳහා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන්ගේ සංගමයේ සාමාජිකයන් පස් දෙනෙක් සඳුදා ආරම්භ කල උපවාසය සිසු සංගම් සහ ආන්ඩුව අතර සම්මුතියකින් ඊයේ නතර කෙරුනි.

ඒ සමගම ආන්ඩුවේ ඉල්ලීම පිලිගනිමින් මාස නවයකට අධික කාලයක් වෛද්‍ය සිසුන් ගෙන ගිය පන්ති හා සායන පුහුනු වර්ජනය නතර කිරීමට වෛද්‍ය සිසු ක්‍රියාකාරී කමිටුව තීන්දු කල අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) ද සිය විරෝධතා අත්හිටුවා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන “සයිටම් අර්බුදය විසඳීමේ” නමින් පිහිටුවන ලද කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා සමග සාකච්චාවකින් පසු එලියට පැමිනි අවිශිබම කැඳවුම්කරුවන ලහිරු වීරසේකර “සිසුන් ජයග‍්‍රහනය කර ඇතැයි” උද්දාමයෙන් ප‍්‍රකාශ කලේය. වෛද්‍ය සිසු ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් එය පුනරුච්චාරනය කරමින් සයිටම් අහෝසි නොකරන බවට ප‍්‍රකාශ දුන් උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය ඇමතින්ට “තමන් වැඬේ කර පෙන්වූ බවට” පුච්චානම් කීවේය. මේ වාචාල කතා ආන්ඩුව අධ්‍යාපනය පුද්ගලීකරනය කිසිසේත්ම නතර කර නැති බව ආවරනය කිරීමකි.

අවිශිබම, වෛද්‍ය සිසු ක්‍රියාකාරී කමිටුව හා ඒවා දේශපාලනිකව මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සිසු විරෝධතා නතර කිරීමට අල්ලා ගෙන ඇත්තේ සිල්වා සාකච්චාවේ දී දුන්බව කියන පොරොන්දුය. සිල්වා නිකුත්කල නිවේදනයේ දැක්වෙන්නේ “සයිටම් ආයතනය අහෝසි කිරීමට ක්‍රියා කරනු ඇත,” යනුවෙනි. එම නිවේදනය ඔක්තෝබර් 29 දා ජනාධිපති සිරිසේන “සයිටම් අර්බුදය විසඳීමේ” නමින් ප‍්‍රකාශයට පත් කල නිවේදනයෙන් මූලිකව වෙනස් නැත.

“සයිටම් අහෝසිකිරීම” හුදෙක් එනමින් පැවති පුද්ගලික වෛද්‍ය පීටය අහෝසි කිරීමක් පමනි. අධ්‍යාපනය පුද්ගලීකරනය හා එහි කොටසක් ලෙස පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම ඉන් නතර වන්නේ නැත. සයිටම් ආයතනය ද වෙනත් නමකින් වෙනත් රූපයකින් තහවුරු කරගෙන වෛද්‍ය උපාධිය සඳහා අධ්‍යාපනය විකිනීම ගෙන යාමට ආන්ඩුව ක්‍රියා නොකරන බවට සහතිකයක් ද නැත.

සිරිසේනගේ යෝජනා ඉදිරිපත් වුයේ බරපතල ආර්ථික හා දේශපාලන අර්බුදයක ගිලී සිටින ආන්ඩුවට එරෙහිව කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල වැඩෙන තත්වයකය. දිග ඇද්දී ගිය සිසුන්ගේ හා වෛද්‍යවරුන්ගේ අරගල නතර කර ගැනීම සඳහා සයිටම් විරෝධතා කැඳවූ සංවිධාන පෙල ගස්වා ගැනීමට සිරිසේනට එල්ලය විය. එහෙත් සයිටම් වෙස් මාරුවක් සඳහා ආන්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනා දීර්ඝ හා කටුක උද්ඝෝෂනයක යෙදුනු සිසුන්, වෛද්‍යවරුන් හා කම්කරු පන්තියේ සිතන මතන කොටස් අතරට බස්සා ක්ෂනිකව හරවා යැවීම අපහසු කාර්යයක් බව දන්නා සිසු සංගම් මෙන්ම සයිටම් විරෝධතාව වටා රොක්ව සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු සංවිධාන පසුගිය සති දෙකේ යෙදී සිටියේ සිරිසේනගේ කැඳවීමට අවනතවීම සඳහා දේශපාලන හොරගල් ඇහිලීමකයි.

පෙසප හා ජවිපෙ ජනාධිපතිගේ යෝජනාවල “ධනාත්මක බව” ගැන වර්නනා කරමින් තවත් එහාට යන ලෙස ඔහුට ආයාචනය කලේය. රවෛනිස ජනාධිපති සමග සාකච්ඡාවලට රිංගමින් ඊනියා ධනාත්මක යෝජනා පැහැදිලි කර ක්‍රියාවට දමන ලෙස ඉල්ලන අතරම දෙමව්පිය උපවාසයට “සහයෝගය දක්වා” එය ආන්ඩුව සමග සම්මුතියකට ගෙන යාමේ තැතක යෙදී ගත්තේය. රවෛනිස පුද්ගලීකරනයට විරුද්ධ නැත. එය කරමින් සිටියේ හුදෙක් සයිටම් වටා උද්ඝෝෂනයකින් පුද්ගලීකරනය කෙරෙහි සිසුන්ගේ හා වෛද්‍ය වරුන්ගේ විරුද්ධත්වය වාෂ්ප කර දැමීමයි.

උපවාසය පැවැත්වෙන ස්ථානයේ දී සඳුදා මාධ්‍ය ඇමතූ අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර මෙසේ ප‍්‍රකාශ කලේය: “මේ උපවාස ක්‍රියාමාර්ගය ආරම්භ කලත් සාකච්චාවකට ඉඩකඩ තවම බොහොම පැහැදිලිව තියෙනවා” යනුවෙනි. මෙම සටන් පාඨයේ ඇඟවුම රාජ්‍ය අධ්‍යාපනය කප්පාදු කිරීමට එරෙහි සිසුන් ආපසු හරවා යැවිය හැකි ලෙස ආන්ඩුවේ යෝජනා භාර දේ නම් එය බදා ගැනීමට සූදානම් ය යන්නයි.

පෙසප ඉතා දැනුවත්ව සයිටම් අහෝසිකරනු යන තනි ප‍්‍රශ්නයේ උද්ඝෝෂනයක සිසුන් සිරකිරීම සඳහා අවිශිබ හා වෛද්‍ය සිසු ක්‍රියාකාරී කමිටුව යොදා ගත්තේය. අධ්‍යාපනය හා සෞඛ්‍ය පුද්ගලීකරනයට එරෙහි අරගලය ආන්ඩුවේ හා ධනපති පන්තියේ ප‍්‍රතිපත්ති දේශපාලනිකව පරාජය කිරීමේ දුරදිග යන අරගලයකි. මන්ද යත් ඒවා ආන්ඩුවේ පලල් ප‍්‍රහාරයක කොටසක් වන හෙයිනි.

ජනාධිපති සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුවේ ආර්ථික කප්පාදු ප‍්‍රතිපත්ති ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ හා එහි ආවතේවකාර ලංකාවේ මහා ධනපතියන්ගේ උවමනාවන් අනුව සකස් කරනු ලැබ ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසිනි. එම ප‍්‍රතිපත්ති පරාජය කිරීම සඳහා අරගලය සමාජවාදී ප‍්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සමග බැඳී ඇත. එය ජාත්‍යන්තර කම්කරු පන්තියේ ද සහයෝගය ඇතිව ලෝක සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසකි.

ධනපතියන් අතලොස්සකගේ ලාභය සඳහා නොව සමාජයේ බහුතරයේ උවමනාවන් සඳහා ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කෙරෙන කොන්දේසි නිර්මානය කිරීමෙන් පමනක් ම නිදහස් අධ්‍යාපනය රැක ගැනීම හා වර්ධනය කිරීම සඳහා සම්පත් මෙහෙයවා ගත හැකිය. එනම්, කම්කරු පන්තිය, දුගීන්ගේ හා තරුනයන්ගේ සහාය ඇතිව ප‍්‍රධාන ධනපති සමාගම්, බැංකු හා වතු තමන් අතට අල්ලාගෙන කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ සැලසුම් ගත නිෂ්පාදනය සඳහා ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කල යුතුය. එමෙන්ම, විදේශ නය නොගෙවා නිෂ්ප‍්‍රභා කල යුතුය.

නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීමට සඳහා අරගලයට මැදිහත් වෙමින් මෙම විප්ලවවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කලේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පමනකි.

අධ්‍යාපන අයිතිය උදුරා ගැනීම සඳහා බලයේ සිටි ආන්ඩු එල්ල කල ප‍්‍රහාරවලට විරුද්ධව සිසුන්, කම්කරුවන් හා දුගීන් අතර විරුද්ධත්වය වැඩෙන තත්වයේදී 2008 සයිටම් ඇරඹීමේ සිට අවිශිබම, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, රවෛනිස ආන්ඩුවට බලපෑම් දමා සයිටම් අහෝසිකර ගැනීමේ උද්ඝෝෂනයක් තුල සිර කලේ මෙම සංවිධාන බැඳී ඇති ධනපති ක‍්‍රමය ආරක්ෂා කරමින් එයතුල ප‍්‍රශ්න විසඳා ගත හැකිය යන මිථ්‍යාව වපුරමිනි.

ඊයේ සිසු සමිති ආන්ඩුව සමග සම්මුතියකට ගෙන ඒමෙන් උද්දාමවී පෙසප නායකයෙකු වන දුමින්ද නාගමුව උපවාස වේදිකාව අසලදී මෙසේ පාරම් බෑවේය: “අරගලයේ නිරත වූ අය කරපු දැවැන්ත කැප කිරීම් නිසා තමයි මේ වගේ ජයග‍්‍රහනයකට අපිට යන්න පුලුවන් වෙලා තියෙන්නේ... මේ රටේ කම්කරුවන්ගේ වැටුප් විශ‍්‍රාම වැටුප් අයිතිය අහෝසි කරලා තියෙනවා. සෞඛ්‍ය ඉඩම් විකුනනවා කිසි ප‍්‍රශ්නයක් නැතුව රාජ්‍ය ආයතන පෞද්ගලිකරනය කරමින් ඉන්නවා. අපි හිතනවා ඔබේ සියලු ප‍්‍රශ්න වලට තියෙන විසඳුම තමයි අරගල මාවත.”

නාගමුව ජයග‍්‍රහනය ලෙස සඳහන් කලේ සයිටම් අහෝසි කරන බවට සිල්වා කල ප‍්‍රකාශයයි. ආන්ඩුව රාජ්‍ය අධ්‍යාපනය පුද්ගලීකරනය නතර නොකරන බව නොකීමට ඔහු පරෙස්සම් විය. දැන් මෙම සංවිධානය සූදානම් වන්නේ තනි ප‍්‍රශ්නයේ උද්ඝෝශනවලට කම්කරුවන් හා දුගීන් හිර කිරීමට හා ධනපති ආන්ඩුවට එරෙහිව දේශපාලන අරගලයක් වර්ධනය කිරීමට එරෙහිව සිසු අරගල හුවා දැක්වීමයි. ධනපති ගැති ජවිපෙ ඔවුන්ගේ උදව්වට එක්වී සිටී. එවන් “විරෝධතා” සංවිධානයේදී ඕනෑම ප‍්‍රතිගාමියෙක් සමග වුව එක්වීමට පෙසප සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කන්ඩායමේ නායකයින් සිසු වේදිකාවට ගෙන්වා ගැනීමෙන් ප‍්‍රදර්ශනය කලේය.

Share this article: