සයිටම් පාවාදීම ජයග‍්‍රහනයක් ලෙස ඔජවැඩූ වේදිකාවක්

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2017 නොවැම්බර් 17

නොවැම්බර් 09 දා, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව (වෛශික්‍රික) සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) කොලඹ දී රැස්වීමක් පැවැත්වූහ. සයිටම් විරෝධතා අවසන් කල බව නිවේදනය කල මෙම රැස්වීම, අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා සිසුන් සහ දෙමාපියන් විසින් ගෙනගිය අධිෂ්ඨානවත් අරගලය, ආන්ඩුවේ ඉල්ලීමකට අනුව අවසන් කිරීමෙන් කරන ලද පාවා දීම වහංගු කිරීමට දරන ලද මංමුලාසහගත ප‍්‍රයත්නයකි.

විරෝධතා අත්හැරීමට තීන්දු කරනු ලැබුවේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කල “සයිටම් අර්බූදය විසඳීමේ” කමිටුවේ සභාපතිි හර්ෂ ද සිල්වා සමග පැවැත් වූ සාකච්ඡාවක දී සයිටම් “අහෝසි” කරන බවට ලබා දුන් පොරොන්දුවක් මත බව ශිෂ්‍ය සංගම් නායකයෝ මෙහිදී ප‍්‍රකාශ කලහ.

නමුත්, ඊට පසුදින තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් හර්ෂ ද සිල්වා ප‍්‍රකාශ කොට ඇත්තේ, එම සාකච්ඡාවේදී තමා විසින් සිදු කලේ සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපති සිරිසේන ඔක්තෝබර් 29 දා ඉදිරිපත් කල වැඩපිලිවෙල පිලිබඳව පැහැදිලි කිරීමක් පමනක් බවයි.

කෙසේ නමුදු, සිරිසේනගේ ඉහත වැඩපිලිවෙල ඉදිරිපත්කල දා සිට ශිෂ්‍ය සංගම් පවසමින් සිටියේ ඔවුන් එම යෝජනා පිලි නොගන්නා බව සහ විරෝධතා ඉදිරිටම ගෙනයන බවයි.

බරපතල දේශපාලන අර්බුදයක ගිලී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, ශිෂ්‍යයන්ගේ අරගලය සමග ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව සටනට අවතීර්න වෙමින් සිටින කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල ඒකාබද්ධ වෙතැයි ගැඹුරින්ම භීතියට පත්ව සිටියේය. සිසු විරෝධතා අවසන් කරන ලෙස ආන්ඩුව දිගින් දිගටම ඉල්ලා සිටියේ එබැවිනි. අවසානයේදී පසුගිය 9 වන දා, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ව්‍යවස්ථාව පිලිබඳ විවාදය මධ්‍යයේ කතානායකගෙන් විශේෂ අවසරයක් ලබාගෙන පාර්ලිමේන්තුව තුල කල ප‍්‍රකාශයෙන් ආන්ඩුවේ මෙම කැඳවුම කුලු ගැන්වින.

විරෝධතාවල පෙරමුන ගෙන සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස), සිරිසේන විසින් යෝජිත ක්‍රියාමාර්ගය “සාධනීය” බව පවසා පලමුවෙන්ම වර්ජන ක්‍රියාමාර්ගවලින් ඉවත් විය.

අවසානයේ දී, රවෛනිස පමනක් නොව, ශිෂ්‍ය සංගම් සහ ඒවාට නායකත්වය දෙන ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) කර ඇත්තේ ද ආන්ඩුවේ ඉල්ලීමට අවනත වෙමින් ආන්ඩුවට හුස්ම අල්ලා දීමයි. එමගින් ඉදිරි ප‍්‍රහාරයන් සඳහා ආන්ඩුවට අවශ්‍ය ශක්තිය සහ කාලය ලබා දීමට මෙම සංවිධාන සියල්ල කරබදු වී ඇත.

මෙම කරුනු වසන් කිරීම සඳහා ශිෂ්‍ය සටන් උත්කර්ෂයට නැංවූ කතාවක් කල අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර, “ඉතිහාසය පුරාවට පාලකයන්ගේ ගුබ්බෑයන් අස්සේ රිංගපු නැති ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයයි” යනුවෙන් වංචනික කතාවක් කොට සත්‍යග‍්‍රහය නවතා දමන්නැයි සිසුන්ට කැඳවුම් කලේ ය.

මෙලෙස කතා කරන්නේ, ඊට පෙරදින රාත්‍රියේ එවන් ගුබ්බෑයමකට රිංගා ආන්ඩුව සමග සම්මුති ගැසූ එම “ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ” නායකයෙකි. සැබැවින්ම, එවකට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් නායකත්වය දුන් සහ දැන් පෙසප විසින් නායකත්වය දෙන මෙම “ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ” ඉතිහාසය, වීරසේකර කියන දෑට මුලුමනින් විපරීත, එහෙත් ඔහු කරන දෑ වලින් තහවුරු කෙරෙන සම්මුතිවාදී ඉතිහාසයකි.

මෙම නායකයන් “ජයග‍්‍රහනය” ලෙස නැවත නැවතත් හුවා දක්වන්නේ හර්ෂ ද සිල්වා ගේ “පොරොන්දුව” යි. එම “පොරොන්දුවේ” අර්ථය තව දුරටත් පැහැදිලි කරමින් සිල්වා තම ෆේස්බුක් සටහනේ කියා සිටින්නේ වෛද්‍ය විද්‍යාල සම්බන්ධ අවම ප‍්‍රමිතීන් ගැසට් කොට මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සහ මේ වසර නිම වීමට පෙර, එම ප‍්‍රමිතීන්ට අනුකූල වූ රාජ්‍ය නොවන (එනම් පෞද්ගලික), ලාභ නොලබන ආයතනක් තුලට සයිටම් සිසුන් යොමු කරන බවයි.

කොටස් හිමියන්, එහි සේවකයන් සහ එයට නය දුන් මූල්‍ය ආයතන ඇතුලු සයිටම්ට සම්බන්ධිත සියලු කොටස් සහ නව ආයතනය අතර එකඟතාවයකින්, සයිටම් හි සියලු වත්කම්, දේපොල සහ සිසුන් නව ආයතනයට පැවරීමට නියමිත බවද සිල්වා පවසයි.

මේ අනුව “සයිටම් අහෝසිකිරීම” යනු හුදෙක් එනමින් පැවති පුද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කොට වෙනත් නමකින් පවත්වාගෙන යාම පමනි. අධ්‍යාපනයේ පුද්ගලීකරනය “ලාභ නොලබන හා රාජ්‍ය නොවන” ආදී විවිධ කඩතුරාවන් යටතේ ඉදිරියට යනු ඇත. මේ අනුව ශිෂ්‍යයන්ට හා කම්කරුවන්ට සැමරීමට කවර හෝ ජයග‍්‍රහනයක් මෙහි නොමැත. සැබැවින්ම මෙය නින්දිත පාවා දීමකි.

වසර ගනනාවක් පුරා විරෝධතාවලට සම්බන්ධ වූ සහ මාස ගනන් පන්ති වර්ජනවල යෙදුනු ශිෂ්‍යයන්ගේ අරගලය පාවා දීමෙන් අනතුරුව එය තවදුරටත් අවමංගත කිරීම සඳහා, ව්‍යාජ-වාම පක්ෂ වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) එක්සත් සමාජවාදී පක්ෂය (එසප), ෆැක්සිස් සාමූහිකය හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), මෙන්ම ලංකා ගුරු සංගමය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය වැනි අවස්ථාවාදී වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ රැස්වීමේ වේදිකාවට ගොඩ වී සිටියහ.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ධනපති ආන්ඩු බලයට ගෙන ඒමට කරබදු වූ හා ඒ ඒ අංශවල කම්කරු අරගල පාවා දුන් මෙම ද්‍රෝහීන්, අවිශිබමය හා ඊට නායකත්වය දෙන පෙසප විසින් නම් කලේ වීරෝදාර නායකයන් ලෙසයි. මෙම කොටස් එකතුකර ගනිමින් අවිශිබමය හා පෙසප විසින් “සයිටම් විරෝධී සිසු-ජන පෙල ගැස්ම” නමින් දක්ෂිනාංශික පෙරමුනක් ගොඩ නැගූවේ අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහි සටන, සයිටම් විරෝධයකට සීමා කොට ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් වැලැක්වීමට ය.

රැස්වීමේ කතා කල ලංකා ගුරු සංගමයේ නායක ජෝසප් ස්ටාලින් පාසල්වලත් ආන්ඩුව පෞද්ගලීකරන වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන බව ප‍්‍රකාශ කොට “තවමත් වෛද්‍ය අධ්‍යාපනය විකිනීම අඳුරු තැනක තියෙන්නේ. ආන්ඩුවේ විසඳුම යථාර්තයක් කර ගැනීමට පෙරට යා යුතුයි. ඒ අරගලයට ගුරුවරු, විදුහල්පතිවරු ඉන්නවා” යයි ප‍්‍රකාශ කලේ ය.

ස්ටාලින් ඇතුලු අනෙකුත් ගුරු සංගම් නායකයන් පාසල් පද්ධතියේ යන දරුනු කප්පාදුවට හා පෞද්ගලීකරනයට එරෙහිව ගුරුවරු අතර කුමන හෝ අරගලයක් සංවිධානය කිරීම මගහැර සිටිනුයේ එවන් අරගලයක් ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක අවශ්‍යතාව අනිවාර්යයෙන්ම මතු කරන බැවිනි.

ජවිපෙ නායකත්වයෙන් ඇටවුනු තවත් ධනපති පෙරමුනක් වූ “සයිටම් විරෝධී සිසු-ජන පවුර” විසින් පසුගිය මාසයේ කැඳවූ එක් දින වර්ජනයට ගුරුවරුන්ගේ සහභාගිත්වය අවම වූයේ ඔවුන් පුද්ගලීකරනයට පක්ෂ නිසා නොව, අරගල පාවාදීම මගින් මෙම සංගම් සම්බන්ධව ගුරුවරුන් තුල ඇති වී තිබෙන විශ්වාසභංගය හා විරුද්ධත්වය නිසා ය.

එසප ය වෙනුවෙන් ධම්මිකා ද සිල්වා කතා කරමින් අවිශිබමය වටා වෘත්තීය සමිති එකතු කරගෙන ජයග‍්‍රහනය ලැබීමට හැකි වූ බවටත් “සයිටම් අහෝසි කිරීම තාවකාලික ජයග‍්‍රහනයක් විතරයි. පාරට බැහැලා තමයි අපේ අයිතිවාසිකම් ලබාගන්න පුලුවන් වෙන්නේ” යනුවෙන් අවිශිබමයේ බංකොලොත් විරෝධතා දේශපාලනයට හුරේ දමන කතාවක් කලා ය.

1988-89 කාල පරිච්ඡේදයේ ජවිපෙ විසින් ගෙනගිය ඊනියා දේශප්‍රේමී උද්ඝෝෂනයේ ශිෂ්‍ය ක්‍රියාධරයෙකුවූ සහ රාජ්‍ය විසින් තරුනයන්ට එරෙහිව එකල මුදාහල ත‍්‍රස්තයෙන් ඝාතනය කෙරුනු ත්‍රිමාවිතාන වැන්නවුන්ගේ කම්කරු පන්ති විරෝධී දේශපාලනය ඔජවඩවමින් ජවිපෙ හි වසන්ත සමරසිංහ මෙසේ පැවසීය: “සටන පොත්වල කරන අයට විරුද්ධව ත්‍රිමා විතාරනලගේ පරම්පරාවේ වත්මන් පරපුර ජයග‍්‍රහන තියෙන්නේ සටන තුලින් පමනක් කියලා ඔප්පු කලා.”

පොතේ සටන් යනුවෙන් සමරසිංහ ගර්හාවට ලක් කරන්නේ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාතශි) ගෙනයන න්‍යායික සහ දේශපාලනික අරගලයයි.

ලංකා ගුරු සංගමය හා ජවිපෙ ට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය යන මේ සංවිධාන, සයිටම් අහෝසි කිරීමේ සීමිත අරගලයට පවා තම සංවිධානයන්හි කම්කරුවන් සංවිධානය කිරීමෙන් වැලකී සිටියහ.

එපමනක් නොව මෙම වකවානුව තුල පැනනැගි, වරාය, ඛනිජ තෙල් හා විදුලිබල කම්කරුවන්ගේ අරගල හුදකලා කොට පාවා දී ආන්ඩුවේ කප්පාදුවලට පාර කැපුවේ මෙම සංවිධාන විසිනි.

ෆැක්සිස් සාමූහිකයේ විදර්ශන කන්නන්ගර ද “ඉදිරි අරගලයේ යෂ්ටිය තියෙන්නේ ශිෂ්‍යයන්ගේ අතේ” යනුවෙන් ශිෂ්‍ය සටන් උත්කර්ෂයට නැංවීය. කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ප‍්‍රතික්ෂේප කරන මෙම ශිෂ්‍ය සටන් උත්කර්ෂය ගලා එනුයේ, කන්නන්ගර ඇතුලු නඩය පාදකව සිටින පශ්චාත් නූතනවාදී සහ ප‍්‍රතිමාක්ස්වාදී න්‍යායන්ගෙනි.

පෙසපෙ හි දුමින්ද නාගමුව කතා කරමින් සිසුජන පෙලගැස්මේ ධනපති ගැති අවස්ථාවාදී ස්වභාවය වසන් කිරීමට රවෛනිස ය සුලු ධනපති බඩකඩිත්තුවක් ලෙස නම් කලේ ය. “මේ සුලු ධනපති බඩකඩිත්තු එක්ක නව ක්‍රියාමාර්ග ගන්න බෑ. මේ අරගලය ඇතුලේ තියෙන දේශපාලනය තේරුම් ගන්න නම් ශිෂ්‍යයෝ මාක්ස්වාදය පොඩ්ඩක් හරි ඉගෙන ගන්න ඕන” යැයි ඔහු පැවසීය.

මෙම “සුලු ධනපති බඩකඩිත්තු” සමග පමනක් නොව, අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට මෙන්ම ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට පහරපිට පහර එල්ල කල මහින්ද රාජපක්ෂගේ ධනපති “ඒකාබද්ධ විපක්ෂයේ” නියෝජිතයන් සමග ද එක්ව පෙරමුනු සෑදුවේ පෙසප මය. පුද්ගලීකරනයට හිසේ සිට දෙපතුල දක්වා පක්ෂපාත මෙම හැඩිරැල සමග එක්ව පුද්ගලීකරනයට එරෙහිව සටන්කල නොහැකිබව මාක්ස්වාදය පිලිබඳ කිසිවක් නොදන්නෙකුට පවා වටහාගත හැකි සත්‍යයකි.

පෙසප මෙම ප‍්‍රතිඵලය නොදැන ඉහත පෙරමුන සැදුවා නොවේ. මෙවන් ධනපති පෙරමුනු වලට කම්කරුවන් සහ තරුනයන් කොටු කරමින් ධනේශ්වර ක‍්‍රමයට එරෙහි අරගලය වලකා ධනපති ආන්ඩු සහ ධනපති ක‍්‍රමය රැකදීම මෙම ව්‍යාජ-වම්මු ජාත්‍යන්තර පරිමානව භාරගෙන ඇති කොන්ත‍්‍රාත්තුවයි.

Share this article: