ජවිපෙ වතු කම්කරුවන් ගැන කිඹුල් කඳුලු හෙලයි

එම්. දේවරාජා විසිනි, 2017 නොවැම්බර් 19

ජවිපෙ වතු කම්කරුවන් ගැන කිඹුල් කඳුලු හෙලීම පිටුපසින් ඇත්තේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට එරෙහිව ඔවුන් තුල වැඩෙන විරුද්ධත්වය ගසාකෑමේ අවස්ථාවාදී හා කුහක උවමනාවය.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන සමස්ත ලංකා වතු කම්කරු සංගමය (සලංවකස) විසින් මෑත දී බෙදා හැරි පත්‍රිකාවක වතු කම්කරුවන් මුහුන දෙන දුෂ්කර සේවා හා සමාජ කොන්දේසි ගැන කිඹුල් කඳුලු හෙලා ඇත.

වතු කම්කරුවන් ගොනාට ඇන්දවීමේ අරමුන ඇතිව, ඔවුන්ගේ නොවිසඳුනු ප‍්‍රශ්න ගැන ඔවුන්ම කතා කරන ආකාරයේ භාෂා ශෛලියකින් ලියා ඇති එම පත්‍රිකාවේ මෙසේ කියයි: “පරම්පරා තුනක් තිස්සේ තිබුන අපේ ප‍්‍රශ්න අතු ඉති ලියලා වැඩුනා මිස එකක්වත් විසඳලා නැහැ. එම ප‍්‍රශ්න මත ජීවත් වෙන්න ඉඩ හදපු පාලකයෝ අපේ ප‍්‍රශ්න විසඳනවා වෙනුවට හැමදාම කලේ අපිව රැවටීමයි. අවුරුදු 200 ට ආසන්න කාලයක් පැරනි රැකියාව, පැරනි ගෙවල් දොරවල්, පැරනි වටපිටාවක්, සහිත පැරනි ජීවිත වෙනුවට අපිට අලුත් ජීවිතයක් ඕන. අලුත් ජීවිතයක් ලබා ගන්න සටන් කරන්න ඕන”

ජවිපෙ හා සලංවකස මේ ප‍්‍රකාශය මුලුමනින් ම කුහක ය. ජවිපෙ සහ සලංවකස, ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), ලංකා ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) සහ කඳු රට ජනතා පෙරමුන (යූපීඑෆ්) ඇතුලු සෙසු වතු වෘත්තීය සමිති සමග වැඩ බෙදා ගනිමින් ධනපති ආන්ඩුවේ සහ වතු සමාගම්වල ප‍්‍රහාරයට වතු කම්කරුවන් යටත් කිරීමට වැඩ කරති.

අඩු වැටුප් සහ දුෂ්කර සේවා කොන්දේසි වලට විරුද්ධව වතු කම්කරුවන්ගේ අරගල පැන නැගුන හැම විටම සලංවකස කලේ සෙසු සමිති සමග එක්ව එම අරගල ගබ්සා කිරීමය. ඒ පිලිබඳ මෑත ම උදාහරනය වන්නේ, අසාධාරන ලෙස වැඩ ප‍්‍රමානයන් ඉහල දැමීමට සහ තමන් ව අඳ ගොවීන් බවට පරිවර්තනය කරන ආදායම් බෙදීමේ නව ක‍්‍රමයට එරෙහිව වතු කම්කරුවන් අතර පැන නැගුන අරගල පාවා දීම සඳහා සෙසු සමිති සමග එක්ව සලංවකස ඉටුකල ක්‍රියා කලාපය යි.

එම අරගලය පැන නැගුනේ වතු සමිති වලට පිටින් කම්කරුවන් ගේ ස්වයංසිද්ධ අරගලයක් ලෙසය. සලංවකස සෙසු සමිති සමග එක්ව එම අරගලය හුදකලා කර පාවා දුන්නේ ය. වැඩ ඉලක්කයන් ඉහල දැමීමේ සහ නව වැටුප් ක‍්‍රමය ක්‍රියාවට දැමීමේ කොන්දේසි සහිත ඊනියා සාමූහික ගිවිසුමට, සීඩබ්ලිව්සී, එන්යූඩබ්ලිව් සහ එල්ජේඊඩබ්ලිව්යූ යන වෘත්තීය සමිති පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ අත්සන් කලහ. වතු සමාගම් සමග අත්සන් කල එම ගිවිසුම මගින් වතු කම්කරුවන් වතු සමාගම්වල සැලැස්මට යටත් කෙරුනි. සලංවකස සුපුරුදු පරිදි ගිවිසුමට තමන් විරුද්ධ යයි බොරු මවා පෑමක් කලේ ය.

සලංවකස ඇතුලු වතු සමිති වල පාවා දීමෙන් අත ශක්තිමත් කරගත් වතු සමාගම් විසින් දලු කැඩීමේ දෛනික ඉලක්කයන් ඉහල දැමීම හා ආදායම් බෙදීමේ නව වැටුප් ක‍්‍රමය දැන් ක‍්‍රමිකව ක්‍රියාවට දමනු ලබයි. ඒ අනුව වැටුප් කප්පාදුව හා ආදායම් බෙදීමේ අඳ ගොවි ක‍්‍රමය ගැන මෙන් ම මාසික වැටුපක් සහ වතු කම්කරුවන්ට ලැබිය යුතු සෙසු පහසුකම් ගැන ජවිපෙ සහ සලංවකස කරන ප‍්‍රකාශයන් වංචනිකය.

නව වැටුප් ක‍්‍රමය මගින් නිෂ්පාදන ඵලදායිතාවය ඉහල දැමීමේ සැලසුම් ආන්ඩුව සහ වතු සමාගම් විසින් ක්‍රියාවට දමනු ලබන්නේ ශ්‍රී ලංකාව හා කෙන්යාව, ඉන්දියාව, වියට්නාමය හා බංගලාදේශය ඇතුලු තේ නිපදවන සෙසු රටවල් අතර ලෝක වෙලඳපොල තුල තරඟය තීව‍්‍ර කරමින් තේ සමාගම්වල ලාභය සහ ආන්ඩුවේ විදේශ විනිමය උත්පාදනය පහත වැටීමේ කොන්දේසි තුලය. ආන්ඩුවේ සහ වතු සමාගම් වල මූලික ඉලක්කය වන්නේ ශ‍්‍රම සූරාකෑම උග‍්‍ර කර නිෂ්පාදන වියදම පහත හෙලීම මගින් පාඩුව කම්කරුවන්ගේ වියදමෙන් පියවා ගැනීමය.

වතු කම්කරුවන් ට පර්චස් හතක ඉඩම් කැබැල්ලක් දීම මගින් ආන්ඩුව සහ වතු සමාගම් කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා සැපයු සොච්චම් සමාජ සුබසාදන පවා කපා දැමීමට තීන්දු කර ඇත. වතු නිවාස වලින් කම්කරුවන් ඉවත් කිරීමේ හා ඔවුන්ට දැනට සපයන අප‍්‍රමානවත් සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් පවා කැපිය යුතුයැයි පසුගිය වසර කිහිපය තුල වතු සමාගම් විසින් අවධාරනය කෙරුනි.

ඔක්තෝබර් මාසයේ මුල් සතියේ පැවති ලංකා වැවිලි කරුවන්ගේ සංගමයේ 163 වෙනි වාර්ෂික සමුලුවේ දී සංගමයේ සභාපති රොහාන් පෙතියාගොඩ එම අවශ්‍යතාවය පුනරුච්චාරනය කලේ ය.

“අපට නව වැවිලි සමාජයක් අවශ්‍යයි. වතුවල 200,000 කම්කරුවෝ සහ නිවාස, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය සහ පෝෂනය සපයන මිලියනයක් පමන වන ඔවුන්ගේ පවුල් පදිංචිව සිටිති. ..... මා සිතන විදිහට අපගේ සේවකයන් ට සහ ඔවුන්ගේ පවුල් වලට නිදහස ලබා දීමට අපි අසමත් වී ඇත්තෙමු” ඔහු එහිදී පැවසුවේය.

පෙතියාගොඩ සඳහන් කරන “නිදහස” වනාහි වතු කම්කරුවන් සඳහා සමාගම් මගින් කෙරෙන සියලු වියදම් කපාහැරීමක් සහ ඔවුන්ට රැකියා සම්පාදනය කිරීමේ වගකීමෙන් නිදහස් වී විවෘත ශ‍්‍රම වෙලඳ පොලේ තරඟකාරීත්වය තුලට ඔවුන් ඇද දැමීමක් හා දසදහස් ගනන් වතු කම්කරුවන් වතුවලින් පලවාහරින සැලැස්මකි. ඒ සමග ම ඔවුන් සංවිධිත හා තනි කම්කරු බලකායක් ලෙස පැවතීම අහෝසි කොට අනුවලට කඩා විසුරුවා හැරෙනු ඇත.

මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් සැලසුම් කල හා වර්තමාන ආන්ඩුව විසින් ඔප්පු සහිත පර්චස් හතක ඉඩම් කැබැල්ලක් හා නිවසක් ලබා දීමේ ප්‍රෝඩාව යටතේ දැන් ක්‍රියාවට දමා ඇති වැඩපිලිවෙල එහි කොටසකි.

ආන්ඩුව සහ වතු සමාගම් මෙම සැලැස්ම ක්‍රියාවට දමන්නේ වතු සමිතිවල පූර්න සහයෝගය ඇතිව ය. “ඔප්පු සහිත ඉඩමක අයිතිය වෙනුවෙන් පෙල ගැසෙන” ලෙස සලංවකස ද ඒ සමග පෙල ගැසී ඇත. සලංවකස පත්‍රිකාව අවසන් කර ඇත්තේ “නිදහසේ වැඩකරන්න, නිදහසේ ජීවත් වෙන්න, හොඳ පහසුකම් යටතේ ජීවත් වෙන්න අපිටත් ඕන. ඒ නිසා අපි සමස්ත ලංකා වතු කම්කරු සංගමයට බැඳෙමු” යන යෝජනාවකිනි.

ජවිපෙ සහ සලංවකස යේ මෙම රැවටිලිකාර කතාවලින් වතු කම්කරුවන් නොමග නොයා යුතුය. ජවිපෙ කෙදිනකවත් වතු කම්කරුවන්ගේ හෝ පොදුවේ කම්කරු පන්තියේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි සංවිධානයක් නොවන අතර වතු කම්කරුවන් මත පටවා ඇති දුෂ්කර සමාජ සහ සේවා කොන්දේසිවලට ජවිපෙ ද දේශපාලනිකව වගකිව යුතු ය. ජවිපෙ ආරම්භ වූයේමත් කම්කරු පන්තියට හතුරු සිංහල ස්වෝත්තමවාදය මත පදනම් වූ අවස්ථාවාදී සුලු ධනේශ්වර සංවිධානයක් ලෙසිනි.

ජවිපෙ එහි මුල් කාල පරිච්චේදයේ පැවත් වූ ඊනියා පන්ති පහේ දේශනාවල දී නාගරික කම්කරු පන්තියේ සටන් “කැඳ කෝප්ප අරගලයන්” ලෙස හැඳින් වූ අතර ඉන්දියානු සම්භවයක් සහිත දෙමල වතු කම්කරුවන් “ඉන්දියානු ව්‍යාප්තවාදයේ හා ඉන්දියානු සංස්කෘතික ආක‍්‍රමනයේ” ඒජන්තයන් ලෙස පහර ගසමින් “දේශප්‍රේමයේ” නාමයෙන් ගම්බද ගොවිජනතාව තුල වතු කම්කරු විරෝධී වර්ගවාදී ව්‍යාපාරයක් අවුලුවා ලීමට යත්න දැරී ය.

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය තුල බ්‍රිතාන්‍ය වතු පාලකයන් විසින් වහල් ශ‍්‍රම සේවයේ යෙදවීම සඳහා ඉන්දියානු දුගීන් මෙරටට ගෙන ආ බව යට ගසමින් විවිධ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් සිංහල හා දෙමල කම්කරුවන් භේද කිරීම සඳහා ලංකාවේ සිංහල කම්කරුවන්ට වඩා දෙමල වතු කම්කරුවන් හැම අතින් ම වැඩි පහසුකම් බුක්ති විඳින බව පෙන්වීමට ජවිපෙ නින්දිත උත්සාහයක යෙදුනි.

1927 දී 16,000 ක් වූ ඉන්දියානු සංක‍්‍රමනික කම්කරු සංඛ්‍යාව 1930 වන විට 735,000 දක්වා ඉහල ගිය බව සහ සහල් පරිභෝජනයේ දී ගම්බද සහ නගරබද ජනයා ඉක්මවා යමින් වතුකරයේ ජනයාගේ සහල් පරිභෝජනය සියයට 78 ක් දක්වා ඉහල මට්ටමක තිබු බව ජවිපෙ මෙම සංඛ්‍යා ලේඛන වලින් ගෙනදක්වනු ලැබීය.

දින හයක වැඩ සතියක්, නොමිලේ නිවාස, සතිපතා සහල් නයට ගැනීමේ පහසුව, දරුවන්ට අවුරුද්දක් වන තුරු නොමිලේ කිරි, නොමිලේ සෞඛ්‍ය පහසුකම්, රෝහල් කරා ගෙන යාමේ නොමිලේ ප‍්‍රවාහන පහසුකම් ද ඔවුන්ට ඇති බව හුවා දක්වමින් ජවිපෙ වතු කම්කරුවන්ට එරෙහි වර්ගවාදී උද්ඝෝෂනය තව තවත් ඉස්මත්තට ගෙන ආවේ ය.

වතු පාලකයන් විසින් කම්කරුවන්ට මේ සීමිත සහ සොච්චම් පහසුකම් සපයනු ලැබුවේ තීව‍්‍ර ශ‍්‍රම සූරාකෑමක් සඳහා කොන්දේසි තහවුරු කිරීමට මිස ඔවුන් කෙරෙහි පැවති විශේෂ අනුකම්පාවක් නිසා නොවේ.

1987 දී අත්සන් කෙරුන ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ඊනියා දේශප්‍රේමී දක්ෂිනාංශික ව්‍යාපාරය තුල දී නාගරික කම්කරු පන්තියට හා ඔවුන්ගේ සංවිධාන වලට විරුද්ධව ජවිපෙ ගෙන ගිය ත‍්‍රස්ත ව්‍යාපාරයට සමගාමීව වතුකරයේ තේ කම්හල් වලට ගිනි තබා දහස් ගනනක් වතු කම්කරුවන්ගේ ජීවනෝපාය කඩාකප්පල් කරනු ලැබීය.

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කෙරුනේ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) මිලිටරිමය වශයෙන් පරාජය කිරීමේ හා දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් රුදුරු ලෙස පාගා දමමින් සිංහල අධිපති ඒකීය රාජ්‍යයේ අනසක දිවයිනේ උතුරු- නැගෙනහිර පලාත්වල යලි තහවුරු කිරීමේ සැලසුම්වල කොටසක් ලෙසයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ආර්ථික හා තාක්ෂනික සහයෝගිතා ගිවිසුමට (එට්කා) එරෙහි උද්ඝෝෂනය තුල දී ජවිපෙ හි ඉන්දියානු හා ඉන්දියානු කම්කරු විරෝධය යලි වතාවක් ඉස්මත්තට ආවේ ය. එට්කා ගිවිසුම අත්සන් කලොත් අඩු වැටුප් ලබන ඉන්දියානු කම්කරුවන් ලංකාවට ගලා ඒම මගින් ලංකාවේ කම්කරුවන්ට හා තරුනයන්ට රැකියා අහිමි වනු ඇතැයි ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය තුල ඉන්දියානු කම්කරු විරෝධයක් ඇවිලවීමට වරප‍්‍රසාදිත වෘත්තිකයන් සහ අන්තවාදී බලවේග සමග ජවිපෙ එහි දී පෙල ගැසුනි.

වඩ වඩා දකුනට යමින් ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට බද්ධ වූ පක්ෂයක් බවට පරිවර්තනය වී ඇති ජවිපෙ ජාතික ධනපති පන්තියේ, ධනේශ්වර රාජ්‍යයේ හා අධිරාජ්‍යවාදී ප‍්‍රාග්ධනයේ දේශපාලන උපකරනයකි.

වතු කම්කරුවන්ගේ සහ අවසේස කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ දුක්ගැනවිලි වෙනුවෙන් පෙනී සිටින බව මවාපාමින් ජවිපෙ සහ එහි වෘත්තීය සමිති ගෙන යන උද්ඝෝෂනය පිටුපසින් ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන -විකමසිංහ ආන්ඩුවේ ප‍්‍රහාර කෙරෙහි වර්ධනය වන මහජන කෝපය සිය දේශපාලන වාසියට ගසාකෑමේ හා ඔවුන්ගේ අරගල දේශපාලනිකව නොමග යවමින් ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කිරීමේ ප‍්‍රයත්නයකි.

වතු කම්කරුවන්ට යහපත් සමාජ සහ සේවා කොන්දේසි දිනාගත හැක්කේ ධනපති ආන්ඩුවේ හා වතු සංගම් වල ප‍්‍රහාරවලට එරෙහිව නාගරික කම්කරු පන්තිය සමග එකාබද්ධව ධනේශ්වර ලාබ පද්ධතිය පෙරලා දැමීමට කරන අරගලයක් තුල පමනි.

Share this article: