අග්නිදිග සරසවියේ සිසු විරෝධතාව නවතා දමයි

ප‍්‍රදීප් රාමනායක, 2017 ඔක්තෝබර් 10

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් මසකට වැඩි කාලයක් තිස්සේ අම්පාර නගර මධ්‍යයේ කරගෙන ගිය විරෝධතාවය පසුගිය සැප්තැම්බර් 27 වනදා අවසන් කෙරින. ඉල්ලීම් ඉෂ්ට වූ බැවින් විරෝධතාව නතර කරන බව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය (අග්විමශිස) නිවේදනය කලේය.

මසකට පමන ඉහතදී අම්පාර නගරයේ තනාගත් අට්ටාලයකට නැගී සත්‍යග‍්‍රහයක් ආරම්භ කිරීමට ප‍්‍රථම සිසුහු විශ්වවිද්‍යාලය ඉදිරිපිට දින 250කට ආසන්න කාලයක් විරෝධතාවයේ නියැලී සිටියහ. විරෝධතාවය ආරම්භ කෙරුනේ, නේවාසිකාගාර හා ආපනශාලාවන් හි අප‍්‍රමානවත් බව, ඒවායේ ගුනාත්මකභාවය පිරිහීයෑම ආදී අධ්‍යයන සහ සුබසාධන ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස සහ සරසවිය තුල රැස්වීමේ නිදහස තහවුරු කරන ලෙස විශ්ව විද්‍යාල පරිපාලනයට බලකිරීමටයි.

සිසුන්ගේ විරෝධතාවයන්ට විශ්වවිද්‍යාල පරිපාලනයේ ප‍්‍රතිචාරය වූයේ සිසු මර්දනයයි. නවකවදයට සම්බන්ධ වීම සහ කලහකාරී ලෙස හැසිරීම ආදී චෝදනා මත ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්ට පන්ති තහනම් පැනවීම, නේවාසිකාගාර ප‍්‍රවේශය අත්හිටුවීම, සියයට අසුවක පැමිනීම නොමැති සිසුන්ට විභාගවලට පෙනී සිටීම අවහිර කිරීම වැනි පියවර මෙම මර්දනය තුල ක්‍රියාත්මක විය.

අග්විමශිස ෆේස්බුක් පිටුවේ සඳහන් වන පරිදි අවසන් මාස පහ තුල පමනක් පන්ති තහනම් 55ක් පනවා ඇත. මීට විරෝධය පලකිරීම සඳහා කලමනාකරන සහ තාක්ෂන පීඨයන් හි ශිෂ්‍යයන් 1500 ක් පමන අධ්‍යයන කටයුතුවලින් බැහැර වූ අතර ඉනික්බිති පරිපාලනය විසින් එම පීඨ දෙක දින නියමයක් නොමැතිව වසා දමන ලදී.

අවසන් මාසයේදී ශිෂ්‍යයන්ගේ දෙමාපියන් ද සම්බන්ධ කරගනිමින් විරෝධතාවය ඉදිරියට යනවාත් සමඟ පරිපාලනය විසින් පන්ති තහනම් සහ විභාග තහනම් ඉවත් කරන ලදී. සිය අරගලය “ජයග‍්‍රහනය” කල බව නිවේදනය කරමින් අග්විමශිස විරෝධතාවය අත්හැරියේ ඉන්පසුවයි.

විරෝධතාවය අවසන් වීමත් සමඟ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), සිය නිල ෆේස්බුක් පිටුවේ “අග්නිදිග සිසු අරගලය ජයගනී” යනුවෙන් වාර්තාවක් පල කලේය. “අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් දින 267 ක් තිස්සේ ගෙනගිය අඛන්්ඩ අරගලය ජයග‍්‍රහනයෙන් අවසන් වූයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් හමුවේ පාලකයන්ට තවත් එක් පාඩමක් එක්කරමින්ය” යනුවෙන් එහි සටහන් කර තිබුනි.

මෙම ප‍්‍රකාශය අතිශයෙන්ම ප්‍රෝඩාකාරීය. සැබැවින්ම, විරෝධතාවයේ ආරම්භක ඉල්ලීම් කිසිවක් ඉටු වී නොමැත. අවිශිබම විසින් මෙය දැවැන්ත ජයග‍්‍රහනයක් ලෙස ඔජවඩවන්නේ, ඔවුන් විසින් මෙහෙයවන අනෙකුත් “ශිෂ්‍ය සටන්” වලදී මෙන්ම, අධ්‍යාපනය ඇතුලූ සුබසාධන ක්ෂේත‍්‍රයන්හි ආන්ඩුව දියත් කර ඇති කප්පාදුවල අංශුමාත‍්‍රමය වෙනසක් ඇති කිරීමට මෙම “ශිෂ්‍ය සටන” ද මුලුමනින්ම අසමත් වී ඇති තතු යටතේය.

ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ විධානයන්ට අනුව අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල සිදු කෙරෙමින් පවත්නා දැවැන්ත කප්පාදු වලට සමගාමීව එම ක්ෂේත‍්‍රය තුල පෞද්ගලික ආයෝජනයන්ට දොරටු විවර කිරීම හේතුවෙන් ලංකාව පුරා රජයේ විශ්ව විද්‍යාල සහ පාසල් තුල අධ්‍යාපන අවකාශයන් වඩවඩාත් හීනවීම, දශක ගනනාවක් මුලුල්ලේ කම්කරුවන් සහ සිසුන් අත්දකින යථාර්තයයි. දැරිය නොහැකි ගාස්තු අයකෙරෙන ජාත්‍යන්තර පාසැල්, පුද්ගලික පාසැල් සහ උපාධි ඩිප්ලෝමාවන් ප‍්‍රදානය කෙරෙන උසස් අධ්‍යාපන ආයතන හතු පිපෙන්නාක් මෙන් ව්‍යාප්ත වෙමින් පවති. රජයේ විශ්ව විද්‍යාලවල පවා ඇතැම් පාඨමාලාවන් වලට මුදල් අයකිරීම ඇරඹී ඇත.

තතු මෙසේ පවතිද්දී, ආන්ඩු වලින් සහ විශ්ව විද්‍යාල පරිපාලනයන්ගෙන් සීමිත සහන කීපයක් ලබා ගැනීම හැර, අධ්‍යාපන ක්ෂේත‍්‍රයට එල්ල කෙරී ඇති සමස්ත ප‍්‍රහාරය පරාජය කිරීමට අවිශිබමය විසින් යෝජනා කරන විරෝධතා දේශපාලනයට කවර හෝ ශක්‍යතාවක් නැත.

අග්නිදිග විශ්ව විද්‍යාලය ම වූ කලී, ලංකාවේ ධනපති ආන්ඩු විසින් අධ්‍යාපනය සඳහා රාජ්‍ය වියදම් සීමා කිරීමේ ප‍්‍රතිපලයක් ලෙස ආරම්භයේ සිටම පහසුකම් ඌනතාවයන්හි[ඌන පහසුකම්වලට එරෙහිව අග්නිදිග සරසවියේ ඉංජිනේරු සිසුන් අරගලයට පිවිසෙයි] ගිලීගිය විශ්ව විද්‍යාලයන්ට උදාහරනයකි. තදබල ආචාර්ය හිඟය හේතුවෙන් ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු මාස ගනනින් පමා වන අතර නේවාසිකාගාර පහසුකම් සහ ශිෂ්‍ය සුභසාධන අංශයන් හි අප‍්‍රමානවත් භාවය හේතුවෙන් සිසුහු දුෂ්කර කොන්දේසිවලට මුහුනපා සිටිති.

මෙම කප්පාදුව කිසිඳු ධනපති ආන්ඩුවක් විසින් ආපසු හැරවුයේ නැත. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ නව වටයකින් ආරම්භ කෙරුනු අධ්‍යාපන කප්පාදුව සහ පෞද්ගලිකරනය වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් වේගවත් කර ඇත. උග‍්‍ර නය අර්බුදයකටත්, ගෙවුම් ශේෂ හිඟයකටත් මුහුන දී සිටින වත්මන් ආන්ඩුව ක්‍රියාත්මක කරනුයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියම කර ඇති කප්පාදු වැඩපිලිවෙලයි.

ලංකාවේ පමනක් නොව ලොව පුරා පාලක පන්තීන් කම්කරු පීඩිත මහජනතාවන්ගේ ජීවන සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කර ඇති ප‍්‍රහාරය වනාහි සුවකල නොහැකි අර්බුදයක ගිලී සිටින ධනපති ක‍්‍රමය විසින් ඔවුන්ට වෛෂයිකව නියමකරනු ලැබ ඇති කටයුත්තක් මිස ඒ ඒ පාලකයින්ගේ දුෂ්ටත්වයේ නිෂ්පාදිතයක් නොවේ.

එහෙත් ලංකාව පුරා විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයන්ගේ අරගල වලට නායකත්වය දෙන අවිශිබම සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු එහි ව්‍යාජ-වාම න්‍යායාචාරීන් ශිෂ්‍යයන්ගේ ඇස් ප‍්‍රහාරයේ සැබෑ මූලයන්ගෙන් ඉවතට හරවා ආන්ඩුවට බලපෑම් දැම්මේ ගනන් නැති විරෝධතා තුල ඔවුන් අතරමං කර ඇත. ආන්ඩු සහ විශ්ව විද්‍යාල පරිපාලනයන් ලබාදෙන සීමිත සහනයන්, ජයග‍්‍රහන ලෙස පුම්බමින් අවිශිබම සහ පෙසප විසින් මෙසේ අතරමං කරනු ලබන්නේ, අධ්‍යාපන ක්ෂේත‍්‍රයට එල්ල වී ඇති සමස්ත ප‍්‍රහාරයට එරෙහිව සැබෑ විසඳුමක් බලාපොරොත්තුවෙන් අරගලයට අවතීර්න වන ශිෂ්‍යයන් ය.

අවිශිබමය මූලිකත්වය දෙන, සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධතාවයන් තුල දිගින් දිගටම ප‍්‍රකාශයට පත්වන්නේ අවිශිබමයේ මෙම ප‍්‍රතිගාමී ක්‍රියාකලාපයයි. අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල පෞද්ගලික ව්‍යවසායන් පෙරට ගෙනයෑමේ තම ස්ථාවරය ආන්ඩුව විසින් ස්ථිරසාර ලෙස ප‍්‍රකාශ කර තිබියදීත් අවිශිබම විසින් ශිෂ්‍යයන් ඉදිරියේ තොරොම්බල් කරමින් සිටින්නේ ආන්ඩුවට තව තවත් “ලොකු බලපෑම්” දැමීම හරහා එය පරාජය කල හැකි බවයි.

බලපෑම විශාල කිරීම සඳහා ඔවුන් පෙලගැසී සිටින්නේ රාජපක්ෂ අන්ඩුවේ පෞද්ගලිකරන වැඩපිලිවෙලෙහි එහෙයියන් වූ ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ දක්ෂිනාංශික වර්ගවාදීන්, ධනපති ක‍්‍රමය ආරක්ෂා කිරීමට පේවී සිටින ජනතා විමුක්ති පෙරමුන සහ පෞද්ගලික අධ්‍යාපනයට කිසිදා විරුද්ධ නොවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආදී කල්ලි කන්ඩායම් සමගයි.

අධ්‍යාපනයේ පෞද්ගලිකරනය සම්බන්ධ අන්ඩුවේ දැඩි ස්ථාවරය හමුවේ සිය විරෝධතා දේශපාලනයේ බංකොලොත්කම හෙලිදරව් වන තතු තුල එය යලි ඔසවා ගැනීම සඳහා අවිශිබමය අග්නිදිග විශ්වවිද්‍යාලයේ “ජයග‍්‍රහනය” ඩැහැගෙන ඇත.

ආන්ඩුවේ පිලිවෙත් අංශුමාත‍්‍රයකින් හෝ නොවෙනස්ව පවතිද්දී අවිශිබම “ජයග‍්‍රහනයන්” පිලිබඳ මෙවැනි බේගල් ඇදබාන්නේ සිය පරිහානිගත විරෝධතා දේශපාලනයෙන් ශිෂ්‍යයන් තවදුරටත් මෝහනය කර තබා ගනිමින් ප‍්‍රහාරයේ මූලය වන ධනපති ක‍්‍රමයට එරෙහි අරගලයක් දෙසට ඔවුන් ඇදීයෑම වලක්වා ලීමටයි.

කියවන්න: අවිශිබමයේ “ජයග‍්‍රහනයන්හි” දේශපාලන යතාර්ථය

Share this article: