ස්පාඤ්ඤය, නිදහසේ ඉල්ලීම පූර්ව භංග කරන මිලිටරි පාලනයක් අටවයි

Spain imposes military rule in Catalonia to preempt independence bid

ඇලෙක්ස් ලැන්ටියර් හා අලිජැන්ඩ්රෝ ලෝපෙස් විසින්, 2017 ඔක්තෝබර් 28

කැටලෝනියාවේ පාර්ලිමේන්තු පාලනය තහනම් කරමින් ස්පාඤ්ඤ සෙනේට් සභාව 26දා, එරට ව්‍යවස්ථාවේ 155 වන වගන්තිය බලගැන්වීම පිනිස 214ට 47ක් ලෙස නිල වශයෙන් ඡන්දය ප‍්‍රකාශ කලේය. ඒ අනුව, ස්පාඤ්ඤ අගමැති මරියානෝ රජෝයි වෙත, ඔහු ඔක්තෝබර් 21දා කල කථාවේදී ගෙනහැර දැක්වූ, දන්ඩන පියවර ක්‍රියාත්මක කිරීමට හා කැටලාන් ප‍්‍රාදේශීය ආන්ඩුව තහනම් කර, මැඩ්රිඩ් පාලනයට පමනක් වග කියන ආන්ඩුවක් ඇටවීම පිනිස පූර්න බලතල පැවරේ.

රජොයිගේ දක්ෂිනාංශික මහජන පක්ෂයට (පීපී) පැහැදිලි බහුතරයක් ඇති සෙනේට් සභාවේදී, 155වන වගන්තිය ගැන විවාදයක් පැවැත්වුනි. විවාදයේ ප‍්‍රතිපලය ගැන කල්තියා දැන සිටි කැටලාන් පාර්ලිමේන්තුව, ස්වාධීනත්වය වෙනුවෙන් ඡන්දය දුන්නේය. අලුතෙන් ප‍්‍රකාශයට පත් කල සමූහාන්ඩුව රැක ගන්නා ලෙස ඉල්ලා එදින රාත්‍රියේ දහස් ගනන් විරෝධතාකරුවෝ, බාසිලෝනාහි කැටලාන් ආන්ඩුවේ ගොඩනැගිලි වටකරගෙන සිටියහ.

සෙනේට් සභාවේදී 26දා පැවති ඡන්දය සලකුනු කරන්නේ, බටහිර යුරෝපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන රූපාකාරයන්ගේ බිඳ වැටීම හා ආඥාදායකත්වය කරා යලි හැරීමයි. එහි දුරදිග යන ඇඟවුම් පවතී. ස්පාඤ්ඤයේ දේශපාලන පර්යාය නිර්මානය කලේ වසර 39ට පෙරය. 1939-1978 කාලයේ පැවති, ජෙනරාල් ෆ‍්‍රැන්සිස්කෝ ෆ‍්‍රැන්කෝ තන්ත‍්‍රය විසින් අටවවන ලද ෆැසිස්ට් තන්ත‍්‍රයෙන් ඊනියා සංක‍්‍රමනයක් ලෙස හැඳින්වූ එය, මුලුමනින්ම කුඩුපට්ටම් වී ගියේය. යුරෝපීය සංගමයේ (යුසං) හා වොෂින්ටනයේ පූර්න සහාය ඇතිව මැඩ්රිඩ් ආන්ඩුව අරමුනු කරන්නේ, මිලිටරියේ හා පොලිසියේ සහාය ඇතිව, ඒක පාර්ශවික නියෝග මගින් මිලියන 7ක් වන කැටලාන් වාසීන් පාලනය කිරීමටය. ඒ අතර ප‍්‍රදේශය පුරා හදිසි නීතිය පැනවීමට 116 වන වගන්තිය බලගැන්වීමේ අයිතිය ද තබා ගනියි.

කම්කරු පන්තියේ මූලික අවශ්‍යතා ආරක්ෂා කිරීම පිනිස කැටලෝනියාවේ මර්දනයට අධිෂ්ඨානවත් දේශපාලන විපාර්ශවයක් අවශ්‍ය කෙරේ. ඒ කැටලෝනියාවේ ද ස්පාඤ්ඤය පුරා ද කම්කරුවන් මත යුරෝපීය මූල්‍ය වංශාධිපතිත්වයේ නියෝග ක්‍රියාත්මක කිරීමත් සමග රුධිර ස්නානයක අනතුර මතුව ඇති තත්වය තුලය.

යුසං සභාපති ඩොනඩ් ටස්ක් 26දා ට්විටර් සටහනකින්, “යුසං කිසිවක් වෙනස්වී නැත. ස්පාඤ්ඤය අපේ සහකරුවා ලෙස සිටිනු ඇත” යනුවෙන් පවසමින්, 155වන වගන්තිය ක්‍රියාත්මක කිරීමට යුරෝපීය බලවතුන්ගේ සහයෝගය ගැන යලි සහතික විය. ටස්ක් නරුම ලෙස කියා සිටියේ ඩ්රිඩය, “විවාදයේ බලය මිස බලයේ විවාදය යොදා නොගනු” ඇති බවයි.

155 වන වගන්තිය පනවන ලෙස ඉල්ලා සෙනේට් සභාවට කල කථාවේදී රජෝයි, “වෙනත් විකල්පයක් නැතැයි” පැවසීය. “එවන් තත්වයකදී විය හැකි හා එබැවින් කල යුතු එකම දේ, නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිය යොදාගැනීමයි.” තම ආන්ඩුවට පහත දැක්වෙන අරමුනු ඇති බව ඔහු පැවසීය. කැටලෝනියාවේ “නීතිය හා සාමය කරා යලි එලඹීමේදී ජනතාවගේ විශ්වාසය යලි දිනාගැනීම, ආර්ථික වර්ධනයේ ඉහල මට්ටමක් පවත්වාගෙන යාම හා රැකියා සැපයීම, ව්‍යවස්ථාපිත නියමයන්ට අනුකූලව මැතිවරන සංවිධානය කිරීම.” ඔවුන් කියන පරිදි, කැටලෝනියාව ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදයෙන් නොව අප ආරක්ෂා කල යුත්තේ, තමන්ට කැටලෝනියාව හිමි වුනොත්, ක්‍රියාත්මක වනවා ඇති නොඉවසිය හැකි සුලුතරයේ මෝස්තරයෙනි.”

කැටලෝනියාවේ ආඥාදායකත්වයක් පිලිබඳව රජොයිගේ කථා අමු මුසාවන්ය. සති කිහිපයකට පෙර ස්පාඤ්ඤ මාධ්‍ය “න්‍යෂ්ටික විකල්පයක්” ලෙස හැඳින්වූ 155වන වගන්තිය බලගැන්වීම හැරෙන්නට අන් විකල්පයක් නැතිය යන ඔහුගේ ප‍්‍රකාශය, අභූතයකි. ස්කොට්ලන්තය 2014දී බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීමේ ජනමත විමසුමක් පැවැත්වීය. කැනඩාවේ ක්විබෙක් පලාත 1980 හා 1985දී එවැනි ජනමත විමසුම් පැවැත්විය. එහෙත් ඔක්තෝබර් 1දා කැටලාන්හි පැවති වෙන්වීමේ ජනමත විමසුම කාලයේ රජෝයි කලාක් මෙන් දස දහස් ගනනක් පැරාමිලිටරි පොලිසිය යෙදවීමට ලන්ඩනයේ හෝ ඔටාවාහි ආන්ඩු කලබල වූයේ නැත. එසේම ඔවුන් වෙන්වීම බලහත්කාරයෙන් පූර්ව භංග කලේ ද නැත.

එක දිගට ගැටුම ඇවිලවීමට තුඩුදෙන පරිදි ජනමත විමසුම කඩාකප්පල් කිරීමට පොලිස් බලඇනි යෙදවීමෙන් පසුව, අර්බුදයේ වගකීම කෙලින්ම පැටවෙන්නේ මැඩ්රිඩ් ආන්ඩුව මතය. ඔක්තෝබර් 19දා කැටලාන් ජනාධිපති කාලෙස් පියුඩිමොන්ට්, ස්වාධීනත්වය සඳහා පියවර ගැනීම අත්හිටුවා සාකච්ඡා සඳහා මැඩ්රිඩ් ආන්ඩුවට ආයාචනා කලේය. එහෙත් මේ ඉල්ලීම තනි මතයට ප‍්‍රතික්ෂේප කර ජෝඩි සන්චෙස් හා ජෝඩි කියුසාට් යන කැටලාන් ජාතිකවාදී දේශපාලඥයින් සිරගත කිරීම හා 155වන වගන්තිය බලගැන්වීමට ක්‍රියාකිරීම මගින් ස්පාඤ්ඤ ආන්ඩුව, බාසිලෝනාවේ කැටලාන් ජාතිකවාදීන් නිදහස ප‍්‍රකාශ කරන මාවතට ඇද දැමීය.

“නීතිය හා සාමය, මැතිවරන හා ආයතනික නීත්‍යානුකූලභාවය” පිලිබඳ රජෝයිගේ කථා, ප‍්‍රජාතන්ත‍්‍ර හා ව්‍යවස්ථාපිත පාලනය ආරක්ෂා කිරීමේ නාමයෙන් ආඥාදායකත්වයට කොන්දේසි සකසා ගැනීමට යොදන ප‍්‍රයෝගයකි. තම න්‍යායපත‍්‍රය ක්‍රියාවට නැගිය හැක්කේ රාජ්‍ය ත‍්‍රස්තය හා මර්දනය තුලින් පමනක් බව ස්පාඤ්ඤ ආන්ඩුව හොඳින්ම දැන සිටියි.

ඔක්තෝබර් 21දා රජෝයිගේ කථාවට අනුව, කැටලාන් අයවැය, ආන්ඩුව, අධ්‍යාපන ක‍්‍රමය, පොලිසිය හා පොදු මාධ්‍යවල පාලනය අල්ලා ගැනීම ඔහුගේ අරමුනයි. මෙම පියවර මිලියන සංඛ්‍යාත ජනතාවගේ දැඩි විරුද්ධත්වයක් අවුලුවන අතර මධ්‍යම ආන්ඩුව ඒවා බලහත්කාරයෙන් මැඩීමට සූදානම් වේ. අසල්වැසි ප‍්‍රදේශවල රඳවා ඇති පැරාමිලිටරිය, යාන්ත‍්‍රක බලඇනි හා අනෙකුත් හමුදා කොටස්, කැටලෝනියාවට මැදිහත් වීමට සූදානමින් සිටී.

විරෝධතා හා සිවිල් නීති කඩකිරීම් පැතිරයද්දී මධ්‍යම ආන්ඩුව, කැටලාන් රාජ්‍ය සේවකයින් “ඉක්මනින්ම” තොග පිටින් රැුකියා වලින් නෙරපීමට සූදානම්වේ. “පැවති අකාරයේ විනයානුකූල පරිපාටි නොතකා” කම්කරුවන් විනයගත කිරීමට ස්පාඤ්ඤ සෙනේට් සභාව 26දා නීති අවසරය ලබාදුන්නේය.

සෙනේට් ඡන්දය පිලිබඳ සිය කැබිනට් සාකච්ඡාවෙන් පසුව, 26දා රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකදී රජෝයි, කැටලාන් ආන්ඩුව නෙරපා හැර දෙසැම්බර් 21දා මැතිවරනය පැවැත්වෙන බව නිවේදනය කලේය. එසේම ආන්ඩුව, වසර 30 දක්වා වන සිර දඬුවම් ලැබිය හැකි අපරාධයක් සේ සැලකෙන “කැරලි ගැසීමේ” චෝදනා, වත්මන් කැටලාන් ආන්ඩුවට හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට එල්ල කරනු ඇතැයි සහතික විය.

මෙම නිවේදන වලින් පෙන්නුම් කරන්නේ, ආන්ඩුව කැටලෝනියාවේ පැවැත්වීමට යන මැතිවරන පිලිබඳ රජෝයිගේ කථා, දැවැන්ත ප්‍රෝඩාවක් බවය. ඔහුගේ සැලසුම් ක්‍රියාත්මක වුවහොත්, මෙම මැතිවරන පැවැත්වෙද්දී මහජන පක්ෂයට එරෙහි කැටලාන් දේශපාලන විපක්ෂයේ බොහෝ දෙනෙක් සිටින්නේ සිරගෙවල් වලය. තව ද මැතිවරනයෙන් කවුරු තේරී පත්වුනත්, ඔවුන්ට වාඩිවීමට සිදුවන්නේ, ප‍්‍රදේශීය ආන්ඩුවක නමක් හෝ සියලු ව්‍යවස්ථාදායක බලතල අහිමි කල මන්ඩලයකය. එයට සිදුවන්නේ නිෂ්ක්‍රීය ලෙස මධ්‍යම ආන්ඩුව සිය අභිමතය පරිදි ක්‍රියාකරන දෙස බලාසිටීමටය.

මැඩ්රිඩයේ හා නව කැටලාන් ආන්ඩුවේ ප‍්‍රමුඛ උත්සුකය වනු ඇත්තේ, කම්කරුවන්ට එරෙහිව දිගටම දරුනු කප්පාදු පියවර පැනවීමයි. යුසං මැඩ්රිඩ් ආන්ඩුව වෙත 26දා යවනු ලැබූ ලිපියකින්, තවදුරටත් ස්පාඤ්ඤ පොදු වියදම් කපමින්, අයවැය හිඟය දදේනින් සියයට 2.2 දක්වා අඩු කරන ලෙස දැනුම්දී ඇත. ආර්ථික ඇමති හා භාන්ඩාගාර ඇමති දෙපොල පිලිතුරු වශයෙන් නිකුත් කල නිවේදනයකින්, තමන් “අයවැය ස්ථාවරත්ව අරමුනු ඉටුකර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවට සහතික” වී ඇත.

ස්පාඤ්ඤය ආඥාදායක පාලනයකට මාරුවීම, කම්කරු පන්තියට තියුනු හා හදිසි අනතුරු ඇඟවීමකි. ස්ටැලින්වාදීන් සෝවියට් සංගමය විසුරුවා හැරීමේ, විශේෂයෙන්ම 2008 වෝල් වීදියේ බිඳ වැටීමේ තැන් පටන් දශක ගනනක දරුනු කප්පාදු, අධිරාජ්‍යවාදී යුද්ධ හා යුරෝපය පුරා නීතිය හා සාමය ඉදිරියට ගෙනයාමේ පියවර, ධනපති පාලනයේ මාරාන්තික අර්බුදයක් නිර්මානය කර ඇත. යුරෝපය පුරා මිලියන දුසිම් ගනනක් කම්කරුවෝ විරැකියාවෙන් පෙලෙති. පාලක පන්තිය පුපුරන සුලු මට්ටමක පවතින සමාජ නොසංසුන්තා ගැන දනිති. විරෝධතාවන්ට මුහුනදෙන ඔවුන්ගේ ප‍්‍රතිචාරය, වේගයෙන් ආඥාදායක ක‍්‍රමෝපායන්ට පැන ගැනීමයි.

ආඥාදායක ස්වරූපයේ පාලන ක‍්‍රමයන් කරා යලි හැරීමට එරෙහිව, කැටලෝනියාවේ ද ස්පාඤ්ඤයේ ද යුරෝපය පුරා ද කම්කරුවන් අරගලයකට බලමුලු ගැන්වීම, අද දවසේ තීරනාත්මක ප‍්‍රශ්නය බවට පත්වේ.

ස්පාඤ්ඤ භෞමික අඛන්ඩතාව ආරක්ෂා කිරීම මත පදනම්ව, ජනතාව මිලිටරි මර්දනයකට යටත් කරන ආඥාදායකත්වයක් දෙසට හැරීම යුක්තිසහගත කරන සියලු උත්සාහයන් කම්කරුවන් විසින් ප‍්‍රතික්ෂේප කල යුතුය. අයිබීරියන් අර්ධද්වීපයේ හා යුරෝපයේ එක්සත්කම ඇතිකල හැකි එකම ප‍්‍රගතිශීලී ක‍්‍රමය, යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහිව සමාජවාදය සඳහා විප්ලවවාදී හා ජාත්‍යන්තරවාදී අරගලයකට කම්කරු පන්තිය මෙහෙයවා ගැනීම පමනි.

වෘත්තීය සමිති නිලධරය ද “වමේ” යයි කියා ගන්නා ධනපති පක්ෂ ද ඇතුලු සමස්ත පාලක සංස්ථාපිතයටම විරුද්ධව මෙන්ම ඉන් ස්වාධීනවීමේ පදනම මත කම්කරු පන්තිය අරගලයට බලමුලු ගැන්වීම සිදුවිය යුතුය. කම්කරු කොමිසම් වැනි බලවේග ද වෘත්තීය සමිති හා ස්පාඤ්ඤයේ පොඩිමොස් පක්ෂය ද රජෝයිගේ ආඥාදායකත්ව ව්‍යායාමය සමග ඒකාබද්ධ වෙමින් සිටිති.

පොඩිමොස් ප‍්‍රධාන ලේකම් පැබ්ලෝ ඉග්ලේසියා, කැටලාන් මැතිවරනය ගැන රජෝයිගේ ප‍්‍රකාශයට වක‍්‍ර ලෙස සහාය දක්වමින්, සෙනේට් සභාවේ ඡන්දයට ප‍්‍රතිචාර දැක්වූයේ, මෙහිදීවත් “මර්දනයකින් තොරව” කටයුතු කල යුතු බව කියමිනි. මධ්‍යම ආන්ඩුව මර්දනයට සූදානම් වෙද්දී මධ්‍යස්ථ ආස්ථානයක් ගනිමින් ඔහු පැවසුවේ: “තනිමතයට එනම්, කැටලානයේ ස්වාධීනත්ව ප‍්‍රකාශනය සඳහා මෙන්ම ප‍්‍රචන්ඩත්වය හා මර්දනය සඳහා ද නොවන, නිහඬ ස්පාඤ්ඤවරුන් බහුතරයක් සිටින බව මම විශ්වාස කරමි” යනුවෙනි.

කම්කරු කොමිසම් නිලධාරී ෆර්නැන්ඩෝ ලෙස්කානේ අවධාරනය කරන්නේ, කම්කරුවන් විසින් මැඩ්රිඩය ප‍්‍රතික්ෂේප කරමින් කරන සියලු කටයුතු ඔහුගේ සමිතිය විසින් අධෛර්යමත් කරනු ඇති බවය. “දඬුවම් ලැබිය හැකි කටයුතු වලට රාජ්‍ය සේවකයින් යොමුවන පරදි හෝ සිවිල් නීති කඩකිරීමට තුඩුදෙන එකදු උපදේශයක්වත් අප විසින් දෙනු ලබන්නේ නැතැයි” ඔහු අනතුරු ඇඟවීය.

Share this article: