සසප සාමාජික වෛද්‍ය ගමගේට එරෙහි දේශපාලන දඩයමක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ඔක්තෝබර් 23

පේරාදෙනිය ශික්ෂන රෝහලේ මානසික වෛද්‍ය අංශයේ සේවය කරමින් සිටි, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෙකු වන, වෛද්‍ය ප‍්‍රසන්ත ගමගේ වහාම ක‍්‍රියාත්මක වන පරිදි ගම්පොල මූලික රෝහල වෙත මාරු කර ඇත. ‘හදිසි අවශ්‍යතා’ යටතේ සිදු කරන ලද මෙම මාරුව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) සහ පේරාදෙනිය ශික්ෂන රෝහල් පරිපාලනය එක්ව සසප සාමාජික වෛද්‍යවරුන්ට එරෙහිව ගෙනයන දේශපාලනික දඩයමක කොටසකි.

වෛද්‍ය ගමගේ

ගමගේට ලබා දුන් මාරුව ‘හදිසි අවශ්‍යතා’ යටතේ සිදු කල බවට රවෛනිස සහ පේරාදෙනිය ශික්ෂන රෝහල් පරිපාලනය කරන ප‍්‍රකාශය මුසාවකි. ගමගේ ඉල්ලා සිටි ස්ථාන මාරුව අනුමතවී 2017 මාරුවීම් ලේඛනයට ඔහුගේ නම ද ඇතුලු කර තිබුනි. එහෙත් වසර 3-4 පමන මාරු ලැයිස්තුවේ නම් සඳහන් වන අය සිටියදී ගමගේ ට ලබාදුන් මෙම ස්ථාන මාරුව නිසැකවම දේශපාලනික කුමන්ත‍්‍රනයක ප‍්‍රතිඵලයක් බව පහත තොරතුරු වලින් අනාවරනය වෙයිි.

පලමුකොටම, ගමගේ මාරුකොට යවා ඇත්තේ පේරාදෙනිය ශික්ෂන රෝහලේ මානසික වෛද්‍ය ඒකකයට අවශ්‍ය වෛද්‍යවරු ප‍්‍රමානයේ හිඟයක් පැවතියදී ය. මෙම හිඟය ට තාවකාලික පිලියමක් ලෙස, සීමාවාසික කාලය අවසන් කල වෛද්‍යවරයෙකු ද, විදේශයක සිට පැමිනි වෛද්‍යවරයෙකු ද යොදා ගැනීමට පියවර ගැනීමේදී ද මූලිකත්වය ගෙන කටයුතු කලේ වෛද්‍ය ගමගේ බව එම ඒකකයේ වෛද්‍යවරු ඇතුලු කාර්ය මන්ඩලය හොඳින් දන්නා කරුනකි. මානසික වෛද්‍ය ඒකකයේ කාර්ය මන්ඩලයේ ද රෝගීන්ගේ ද සිත් දිනාගත් කාර්යක්ෂම වෛද්‍යවරයෙකු වූ ගමගේ, සෞඛ්‍ය සේවයේ කප්පාදු වලට එරෙහිව සමාජවාදී ප‍්‍රතිපත්ති මත රෝහල් සේවකයන් අතර සටන් වැදුනු බැවින් පරිපාලනයේ වෛරයට පාත‍්‍රව සිටියේය.

මේ සියල්ලටත් වඩා, ඔහු රවෛනිස නිලධරයේ බලගතු වෛරයට පාත‍්‍රවූවෙකි. සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු සමාජ ශුභසාධන ක්ෂේත‍්‍රයේ නොකඩවා ක්‍රියාවට නැගෙන කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් ධනේශ්වර අර්බුදයේ ප‍්‍රතිඵලයක් බවත්, ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් එම පිලිවෙත් වෙනස් කල නොහැකි බවත් ගමගේ නිරන්තරව පෙන්වා දුන්නේය. මෙම ප‍්‍රහාරයන් පරාජය කිරීම සඳහා, පුද්ගලික දේපොල සහ ලාභය මත පදනම් වූ ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා, පොදු දේපොල මත පදනම්ව මානව අවශ්‍යතා මත නිශ්පාදනය සිදු කෙරෙන සමාජවාදී නිශ්පාදන ආර්ථික ක‍්‍රමයක් සඳහා සටන් කලයුතුබැව් ඔහු නිරන්තරව අවධාරනය කලේය.

ධනේශ්වර පද්ධතියට ඓන්ද්‍රීයව බැඳුනු වෘත්තීය සමිති සහ ආන්ඩුවලට බලපෑම් දැමීමේ වෘත්තීය සමිතිවාදී ඊනියා සටන් හරහා සෞඛ්‍ය ඇතුලු සමාජ අයිතීන් මෙන්ම ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කල නොහැකි බව පෙන්වා දෙමින් රවෛනිස සහ ඉන් පිටත සටන් වැදුනු බැවින් ගමගේ රවෛනිස නිලධරයේ බලගතු වෛරයට පාත‍්‍රව සිටී.

රවෛනිස ට විරුද්ධව පත‍්‍රිකා බෙදාහැරිය බවට එම නිලධරය ගමගේ ට චෝදනා කර තිබුනි. ඔහු බෙදාහැර තිබුනේ, “රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත් හරියි” යන හිසින් 2017 ජූනි 27 දින ලෝක සමජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලවූ ලිපියකි. එය, පසුගිය දා කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියේදී විශ්ව විද්‍යාල සිසුන්ට එල්ල කල පොලිස් ප‍්‍රහාරයට “විරෝධය” පෑමට හා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදයට “ස්ථිර විසඳුමක් ලබා ගැනීමට” රවෙනිස විසින් ජූනි 22දා ආරම්භ කල වැඩවර්ජනය අතහැර දැමීම දේශපාලනිකව විමසා බලන ලිපියකි.

ලිපියේ මෙසේ කියා තිබුනි. “ආන්ඩුවට හැකිතාක් බලපෑම් යෙදීමෙන් අධ්‍යාපනය පුද්ගලීකරනය ආපසු හැරවිය හැකිය යන මිත්‍යාව සිසුන් හමුවේ තොරොම්බල් කරමින් ඔවුන් නිෂ්පල විරෝධතාවන්හි සිරකර තබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ හා එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනය සමග රවෛනිසං භූමිකාව සහ ඉදිරි දර්ශනය හොඳින්ම ගැලපෙයි.”

රවෛනිස යේ පේරාදෙනිය ශාඛාවේ ලේකම් උදයංග පෙරේරා, සංගමය විවේචනය නොකල යුතු බව පවසමින් එයට ප‍්‍රතිචාර දැක්වූ අතර එවන් ලිපි අවශේෂ සෞඛ්‍ය කාර්ය මන්ඩල සාමාජිකයින් අතට පත්වීමෙන් තමන්ට සිදුව ඇත්තේ ලජ්ජාවක් බව පැවසීය.

සයිටම් විරෝධතා ව්‍යාපාරය තුල රවෛනිස පෙන්නුම් කල දේශපාලන බංකොලොත්කම ගැන ලෝසවෙඅ පලවූ ලිපි ද බෙදාහරිමින් ගමගේ, පේරාදෙනිය ශික්ෂන රෝහල, සිරිමාවෝ බන්ඩාරනායක ලමා රෝහල හා මහනුවර මහ රෝහල යන ආයතනයන්හි වෙද්‍යවරු, රෝහල් කාර්ය මන්ඬලය මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් අතර ද නිරන්තරව මැදිහත්වෙමින් වෛද්‍ය ක්ෂේත‍්‍රය තුල දේශපාලන සාකච්ඡාවකට මුල පුරා තිබීම ගැන සංගමය කලබලයට පත්ව තිබුනි.

රවෛනිස සභාපති අනුරුද්ධ පාදෙනිය, මාරුව පිලිබඳව ගමගේ සමග කල සාකච්ඡාවකදී පවසා තිබුනේ, ගිය වර පේරාදෙනිය ශාඛාවේ සභාපතිකම භාර ගැනීමට සංගමය කල ඉල්ලීම ඔහු විසින් ප‍්‍රතික්ෂේප නොකලේ නම්, මෙවැනි ප‍්‍රශ්න ඇති නොවන බවත් දැනට ද ඒ සඳහා ප‍්‍රමාද නැති බවත්ය.

ගමගේ නිලයකට පත්කිරීම පිනිස නිලධරය උත්සාහ කලේ හැකි නම් සංගමයේ දේශපාලනයට නතුකරගෙන සසප දේශපාලනයෙන් ඔහු ඈත් කිරීමටයි. එය අසාර්ථක වීමෙන් පසුව ගමගේ මාරුකර යැවීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවූබැව් පැහැදිලිය. රවෛනිස පේරාදෙනිය ශාඛාවේ සභාපතිව සිටි වෛද්‍ය සුරංග වර්නසූරිය, මානසික වෛද්‍ය ඒකක ප‍්‍රධානියාගේ ද සහාය ඇතිව ගමගේ මාරුකිරීමට මැදිහත්ව තිබුනි.

සසප සාමාජිකයෙකු ද වන පේරාදෙනිය ශික්ෂන රෝහලේ වෛද්‍ය කැලූම් තුෂාර, සංගමයේ ශාඛා රැස්වීම තුල ගමගේට ලබාදුන් ස්ථාන මාරුවට විරුද්ධව කථාකරමින් වහාම එම ලිපිය අවලංගු කල යුතු බව පැවසීය. එවිට ශාඛා ලේකම් උදයංග පෙරේරා පැවසුවේ මාරුවීම අවලංගු කරන ලෙස ඉල්ලා ගමගේගෙන් අභියාචනයක් ලැබිය යුතු බව යි. එයට විරුද්ධවූ සමහර සාමාජිකයෝ සංගමය ගමගේගෙන් සමාව ගත යුතුව ඇතැයි පවසමින් හඬ නැගූහ.

“සංගමයට විරුද්ධව කටයුතු කරන අයෙකුගෙන් සමාව ගත” යුතු දැයි එහි නිලධාරීන් ප‍්‍රශ්න කලවිට, නිලධරයේ ධනේශ්වර ගැති දේශපාලනයට එරෙහිව සසප ගෙනයන සටන, සංගමයේ සහ පරිපාලනයේ දඩයම් වලට සහ තර්ජනයන්ට යටත්ව අත් නොහරින බව ප‍්‍රකාශ කල වෛද්‍ය කැලුම් මෙසේ පැවසීය:

“සෞඛ්‍ය හා අධ්‍යාපන අයිතීන් ආරක්ෂාකර ගැනීමට නම්, වෛද්‍යවරුන් ඇතුලු සියලු කම්කරුවන් වෘත්තීය සමිතිවාදී වැඩපිලිවෙලින් පමනක් නොව, කම්කරු පන්තියට එරෙහි ධනේශ්වර උපකරන බවට පත්ව ඇති වෘත්තීය සමිතිවලින්ම බිඳී වෙන්වී, තමාගේම ක‍්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදිය යුතුයි.”

Share this article: