බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ වාර්ෂික සම්මේලනය -2017

කෝබින් ආන්ඩුවක් තැනීමට සූදානම් වන්නේ කවර වියදමකින් ද?

The Labour Party’s Annual Conference 2017;Corbyn prepares for government: At what price?

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් රාජධානිය) විසිනි , 2017 සැප්තැම්බර් 29

මේ සතියේ පැවැත්වුනු බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ වාර්ෂික සම්මේලනයට අවධානය යොමු කල බොහෝ දෙනෙක්, අවුරුද්දක් තුල නිර්මානය වී ඇති සුපැහැදිලි දේශපාලන වෙනස්කම දැකීමෙන් මවිතයට පත්වනු ඇත.

2016 සැප්තැම්බරයේ දී ලේබර් පක්ෂ නායකත්වයෙන් ඉවත් කරනු ලැබීමට පාර්ලිමේන්තු ලේබර් පක්ෂය (පීඑල්පී) විසින් දරන ලද දෙවන කුමන්ත්‍රනයෙන්, ජෙරමි කෝබින් යන්තමින් ඔලුව බේරාගත්තා පමනි. නෛතික අභියෝගයන් මෙන් ම ඔහුගේ බොහෝ ආධාරකරුවන්ගේ සාමාජිකත්වය අත්හිටුවීම හා ඉවත් කිරීම මෙම ප්‍රයත්නයන් අතර පැවතුනි. අව්‍යාජ පක්ෂ ආධාරකරුවන් ලෙස නොසැලකූ අය හඳුනා ගැනීම සඳහා ලේබර් පක්ෂ නිලධරය විසින් “හිම පොරොවේ මෙහෙයුම” යනුවෙන් නම් කල සමාජ ජාල ගිනුම් පිරික්සීමේ මෙහෙයුමක් යොදාගෙන තිබුනි.

කෝබින් ප්‍රකාශයට පත්කල මිලිටරිකරනයට හා කප්පාදු පිලිවෙත්වලට එරෙහි න්‍යාය පත්‍රය නිසා ඔහු නායකත්වයට පත්වුවහොත්, කැරැල්ලක් දියත් කරන බවට තර්ජනය කරමින්, මාධ්‍ය හා ඉහල මිලිටරි නිලධාරීහු එම උද්ඝෝෂනයට පිටුබලය දුන්හ.

හයමසක කාලයකටත් මෙපිට අගමැතිනි තෙරේසා මේ, ඇයගේ “නො නැමෙන බ්‍රෙක්සිට්” -බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම- න්‍යාය පත්‍රය ඉදිරියට දමා ගැනීමට හදිසි මැතිවරනයක් නිවේදනය කල අවස්ථාවේ, ඉදිරි පෙලේ ලේබර් නායකයන් නො වලහා තම සතුට ප්‍රකාශ කලේ, ඇගේ පක්ෂය මැතිවරනයෙන් තැලී යනු ඇතැයි අපෙක්ෂා කරමිනි.

එහෙත් අගමැතිනි මේ, සුලුතර ආන්ඩුවක නායකත්වය දරමින් තවදුරටත් ආන්ඩු බලයේ රැඳී සිටී. මේ ගේ ටෝරි පක්ෂය, එහි නායකත්වය තුල දක්ෂිනාංශික කන්ඩායමික අරගලයක් සමහන් කරගැනීම පිනිස, යුරෝපා සංගමයේ (යුසං) සාමාජිකත්වයෙන් ඉවත් වීම සඳහා 2016 වසරේ පැවැත්වූ ජනමත විචාරනයේ දී ඊට පක්ෂ ව බහුතර ඡන්ද ලැබීම, මෙම බෙදීම් වඩාත් ගැඹුරු කරමින්, බ්‍රිතාන්‍ය ප්‍රාග්ධනයේ ම පැවැත්මට තර්ජනය කරන්නා වූ අර්බුදයකට මාවත විවර කලේ ය.

ලේබර් මැතිවරන උද්ඝෝෂනය කඩාකප්පල් කිරීම සඳහා පීඑල්පීය දැරූ උත්සාහයන් නො තකා, මහමැතිවරනයේ දී ලේබර් පක්ෂ ඡන්ද සංඛ්‍යාව ඉහල දමාගැනීමට සමත්වූ තතු තුල, කෝබින් සම්මේලනයෙහි සමාප්තියේ දී “අපි ආන්ඩුවක් තැනීම සඳහා බලාපොරොත්තු තබාගෙන සිටිනවා...” යයි කියා සිටියේ ය

“21වන සියවසෙහි සමාජවාදය සඳහාවූ” ක්‍රියාමාර්ගයක පදනම නියෝජනය කරන්නාවූ ලේබර් පක්ෂය, “තම මූලයන් හා අභිමතාර්ථයන් යලි අනාවරනය කරගත් යුරෝපය පුරා හැඩගසෙමින් තිබෙන ධාරාවට ගැලපෙන නවීන, ප්‍රගතිශීලී සමාජවාදී පක්ෂයක්” බව කෝබින් අවධාරනය කලේ, ධනවාදය “තම සුජාතභාවය පිලිබඳ අර්බුදයකට” මුහුන දෙන බව සඳහන් කරමිනි.

කෝබින්ගේ අදහස් දැක්වීමට අනුකූලතාව පලකලේ ඔහුගේ ආධාරකරුවන් පමනක් නො වේ. පෙර ක්‍රියාවට දැමූ කුමන්ත්‍රනවල දී මූලික භූමිකාවක් ඉටුකල නියෝජ්‍ය නායක ටොම් වොට්සන් ද කෝබින්ට හුරේ දැමුවේ, නායකත්වයෙන් නෙරපීමට තමන් ම වැර යොදා ක්‍රියාකල තැනැත්තාගේ දේශනයන්ට සහයෝගය ගොනුකිරීමට උත්සාහ කරමිනි. ගාඩියන් පුවත්පතේ පෝලි ටොයින්බී හා ඕවන් ජෝන්ස් අංශක 180ක කරනමක් ගසමින් ලේබර් නායකයා අගමැති ධූරයට සුදුසු බව ප්‍රකාශ කරන්නේ, කෝබින්ගේ බොහෝ පැරනි විවේචකයන් ඔහුගේ පිලට ගොඩවීමට සූදානමින් පසුවන බව පෙනෙන තතු තුල ය.

එක්සත්කම පිලිබඳ මෙම ප්‍රදර්ශනය කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබීම දරුනු ම වැරැද්දක් වනු ඇත.

ලේබර් පක්ෂය හසුරුවන ජාතික විධායක කමිටුව තුල බහුතරය කෝබින්ගේ ආධාරකරුවන් අත තිබීම හා සම්මේලනයේ දී ඔහුගේ පිලිවෙත්වලට බහුතරය සහාය දැක්වීම යන කොන්දේසි තුල, දක්ෂිනාංශය පසුපසට තල්ලුවී සිටී. එහෙත් කැලය මාරු වූ පමනින් කොටියාට තම පුල්ලි මාරුකල නොහැක. 2015 දී කෝබින් නායකත්ව තරගය ජයග්‍රහනය කල අවස්ථාවේ සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කල ප්‍රථම ප්‍රකාශයේ මෙලෙස සඳහන් විය:

“දේශපාලනය හා සංවිධානාත්මක ස්වරූපය මෙන් ම එහි සමාජ සංයුතියෙන් ද ගත්කල, නමින් පමනක් ටෝරි -කොන්සවැටිව් නොවන මෙම පක්ෂය, කම්කරු පන්ති අරගලයේ උපකරනයක් බවට පරිවර්තනය කරගත හැකි යයි කිසිදු හිතන මතන පුද්ගලයෙකුට අපේක්ෂා කල නොහැකි ය.”

“අප අපගේ බෙදීම් පසෙක තබනු ඇති” බව මම හිතනවා යයි සම්මේලනයේ දී කෝබින් පැවසුව ද ඔහුගේ කිසිදු විවේචකයෙකු එසේ නොසිතයි. සම්මේලනය ආරම්භයේ දී ම, බ්ලෙයාර්වාදී චුකා උමුන්නාගේ නායකත්වයෙන් යුතු ලේබර් පක්ෂ මන්ත්‍රීවරු 40 දෙනෙක් විවෘත ලිපියක් නිකුත් කරමින්, ලන්ඩන් මහ නාගරිකයේ හා මිලිටරි-රහස් තොරතුරු සංස්ථාපිතයේ සැලකිය යුතු කොටස්වල ඉල්ලීම්වලට ගැලපෙන පරිදි, බ්‍රෙක්සිට් ජනමත විචාරන ප්‍රතිඵලය ආපසු හරවන ලෙස ඉල්ලා සිටියහ.

එදින ම ප්‍රමුඛ දක්ෂිනාංශික ලේබර් කන්ඩායමේ රැස්වීමක් සම්මේලන ශාලාව අසල තැනක පවත්වන ලදි. ඔවුන්ගේ අභිමතාර්ථයන්ගේ අර්ථය විස්තර කලේ ක්‍රිස් ලෙස්ලි විසිනි. “මාක්ස්වාදයට කිසිදිනෙක සාර්ථක වීමට ඉඩ නො තබන බව තහවුරු වන පරිදි, අපි අපේ තැන තබාගත යුතු යි. නූතන ලේබර් පක්ෂය තුල එවැන්නකට ඉඩක් නැහැ” යයි ඔහු අවධාරනය කලේ ය.

ප්‍රමුඛ ලේබර් කන්ඩායමේ සාමාජිකයන්ට කෙටියෙන් අදහස් දැක්වූ ලුක් ඇක්හර්ස්ට්, කෝබින්ට සහයෝගය දක්වන්නන්, “ප්‍රචන්ඩ විප්ලවයක් හරහා දේශපාලන වෙනසක් බලයෙන් පැටවීමට අදිටන් කරගෙන සිටින අන්තවාදී නරුම ලෙනින්වාදී සුලුතරයක්” ලෙස හෙලාදුටුවේ ය.

ප්‍රකෝටිපති කතිපයාධිකාරයෙක් වන රුපර්ට් මර්ඩොක්ට අයත් ද සන් පුවත්පතෙහි පලකල කතුවැකියක්, වත්මන් ලේබර් පක්ෂය, “උන්මත්තකයන්ගේ ආර්ථික ක්‍රමයක්” නියෝජනය කරන්නාවූ “මාක්ස්වාදී මැර කන්ඩායමක” නායකත්වය යටතේ පවතින “උමතු, මුරන්ඩු හා භයානක” පක්ෂයක් යයි සඳහන් කලේ ය.

හිට්ලර්ගේ මුදල් ඇමතිවරයාගේ මිනිපිරිය ද සහභාගිවූ, ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) යන අන්ත දක්ෂිනාංශික පක්ෂය, යන්තම් දෙසතියකට පෙර බර්ලිනයෙහි පැවැත්වූ රැස්වීමක් අමතා, එක්සත් රාජධානියේ ස්වාධීනතා පක්ෂයෙහි (යූකේඅයිපී) හිටපු නායක නයිජල් ෆරාජ් කතාකල අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවූ තර්ජනයට එරෙහිව විරෝධතා පැන නො නැගුනු බව සැලකිල්ලට ගත යුතුය. ක්‍රිස්තියානි දක්ෂිනාංශයේ සුරතලෙක් වන හිටපු අගවිනිසුරු රෝයි මුවර්ට සහාය පලකිරීමට, බ්‍රෙයිට්බාට් නිව්ස් ආයතනයේ ෆැසිස්ට්වාදී ප්‍රධානියා වන ස්ටීවන් බැනන් සමග සැප්තැම්බර් 26දා ඇලබාමාහි දී ෆරාජ් අසුන්ගත් විට ද විරෝධතා පලවූයේ නැත.

සම්මේලනයෙහි වඩා අර්ථභාරී අංශයක් වූයේ, උද්ධමනය පාලනය කිරීම සඳහා මූල්‍ය කතිපයාධිකාරය විසින් පවුම කඩාවැටීමට ගත හැකි පියවරයන් වැනි, අනාගත ලේබර් ආන්ඩුවකට මුහුන දීමට සිදු වියහැකි විවිධාකාර අභියෝගයන් සමගින් කෝබින්ගේ ආධාරකරුවන් “පුහුනුවීමේ අභ්‍යාසයන්හි” නිරතව සිටින බව විවෘත ව පිලිගැනීම යි.

“එවැනි දේවලට අපට මුහුන දීමට සිදු වුවහොත්” සූදානමින් සිටීම අවශ්‍ය නිසා එසේ කල බව ඡායා අගමැති ජෝන් මැක්ඩොනල් විස්තර කලේ ය.

“එවැනි දේවල්” යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසූ විට කෝබින් පැවසුවේ, මැක්ඩොනල් සඳහන් කලේ “විල්සන්ගේ ආන්ඩු දෙක මුහුන පෑවාක් වැනි ගැටලු සහිත අතීත ලේබර් ආන්ඩුවල අත්දැකීම්” පිලිබඳව බව ද “අප සියලු විධික්‍රම ගැන සලකා බැලීම අවශ්‍ය යි” යනුවෙනි.

කෝබින් වක්‍රාකාරව සඳහන් කරන්නේ, කම්කරු පන්තියේ සටන්කාමී ව්‍යාපාරයක ඉස්මත්තෙහි බලයට පැමින සිටි හැරල්ඩ් විල්සන් නායකත්වය දුන් 1974- 1976 ආන්ඩුව, මිලිටරි හා රහස් තොරතුරු ඒජන්සීන්ගේ ඉහල කොටස්වල මෙහෙයුම යටතේ මිලිටරි කුමන්ත්‍රනයක තර්ජනයට ලක්වීම ගැන යි.

1976 මාර්තුවේ විල්සන් හිටිහැටියේ ඉල්ලා අස්වූ අතර ජේම්ස් කැලගන් අගමැතිකමට පත් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග යටතේ ක්‍රියාත්මක වුනු ආර්ථික ප්‍රහාරයේ කොන්දේසි යටතේ, ලේබර් පක්ෂය වඩ වඩා දකුනට තල්ලු කරමින් කේනිසියානු මොඩලයේ සුභසාධන පියවරයන්ට පක්ෂයේ කැපවීම මුලින් ම දියාරු කර දැමුවේ කැලගන් ය.

මෙම සිද්ධීන් හටගත්තේ, එක්සත් ජනපදයේ පිටුබලය ඇති ව චිලීහි ජනාධිපති සැල්වදෝර් අයියන්දේගේ එක්සත් මහජන ආන්ඩුව පෙරලා දමමින් 1973 දී සිදු වූ මිලිටරි කුමන්ත්‍රනයෙන් කෙටිකලකට පසුව යි. කම්කරුවන් හා තරුනයන් දහස් ගනනක් අත්අඩංගුවට ගන්නා ලදි; වධක මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කල සන්තියාගෝ පාපන්දු ක්‍රීඩාංගනයෙහි දී සියගනනකට මැෂින් තුවක්කු මගින් වෙඩි තබන ලදි.

1970 හා 1980 ගනන්වල දේශපාලනිකව ක්‍රියාකාරීව සිටි පුද්ගලයෙක් ලෙස කෝබින් මෙම අන්තරායන් ගැන හොඳින් දනී. එහෙත් යමෙක් එතරම් අතීතයට යා යුතුමත් නො වේ. යුරෝපා සංගමය පැනවූ කප්පාදු පිලිවෙත්වලට එරෙහි මහජන ව්‍යාපාරයක පිටුබලය ලබා සිරිසා යන ව්‍යාජ-වාම සභාගය 2015දී ග්‍රීසියේ බලයට පැමිනි විට, ජාමූඅ හා යුරෝපා මහ බැංකු, මහජන ව්‍යාපාරය දනගැස්සවීම සඳහා ආර්ථික බිඳවැටීමක් සංවිධානය කලහ.

එම වසරේම සිරිසාව විසින් සංවිධානය කල ජනමත විචාරනයේ දී, කප්පාදු පිලිවෙත් ප්‍රතික්ෂේප කිරීම සඳහා ග්‍රීක කම්කරුවන් හා තරුනයන් විශාල ගනනින් ඡන්දය දුන්නෝ ය. අවසානයේ දී ජනවරම පාවාදීමට තමන් ම කරගැසූ සිරිසාව දැන් ක්‍රියාත්මක වන්නේ, ග්‍රීක හා යුරෝපා ප්‍රාග්ධනයේ නියෝගයන් බලයෙන් පටවන ප්‍රධාන බලවේගය ලෙස යි.

1970 ගනන්වලට වඩා ගෝලීය ආර්ථික අර්බුදය වඩා තියුනු වන, ලෝක යුද්ධයේ තර්ජනය 1930 ගනන්වලට වඩා සමීප වන සහ එක්සත් ජනපදය, ප්‍රන්සය, ජර්මනිය හා ස්පාඤ්ඤය යන රටවල් ආඥාදායක පාලනයන් කරා තියුනු ලෙස හැරෙමින් සිටින වර්තමානයේ, ආර්ථික හා දේශපාලන ජීවිතය මත පාලක ප්‍රභූව පවත්වාගෙන යන ඒකාධිකාරයට එල්ල වන අභියෝගයකට, එම ප්‍රභූව කෙසේ ප්‍රතිචාර දක්වනු ඇද්ද යන්න ගැන බැරෑරුම්ව කිසි අයෙකුට සැකකල හැකි ද?

බලයේ සිටින්නෝ “යුද සෙල්ලමක” නිරත ව සිටිනවා නො වේ. ඔවුහු යුද්ධය සඳහා ක්‍රියාශීලීව සූදානම් වෙති.

ඔහුගේ එකදු පොරොන්දුවක් හෝ ඉටුකිරීමට කෝබින් අධිෂ්ටාන සහගත වූයේ නම් කල යුතු ව තිබුනේ, කම්කරු පන්තියට තම ඉල්ලීම් ඉටුකරනු ලබන බව තහවුරු කරගැනීමේ දී මුහුන පෑමට සිදුවන අරගලය පිලිබඳව ඔවුන්ට අනතුරු ඇඟවීම යි.එසේම එහුගේ පලමු පියවර විය යුත්තේ තමන්ගේම පක්ෂය තුල සිටින විරුද්ධවාදීන්ට එරෙහි වීමයි.

එහෙත් විශාල ලෙස ඉහල ගිය වරමක් තිබිය දී පවා, දක්ෂිනාංශය දුර්වල කිරීමට හේතුවනු ඇති නීති වෙනස් කිරීම් සඳහා ඉදිරිපත් වූ යෝජනාවල සැර කෝබින් හා මොමෙන්ටම් විසින් බාල කරනු ලැබුවේ, නිදහසේ කුමන්ත්‍රනය කිරීමට හා සංවිධානය වීමට දක්ෂිනාංශයට ඉඩ සලසමිනි. ඒ අතරවාරයේ ම, තම සැලසුම් රැඩිකල් යයි පෙනෙන මානයක වත් නැති බැවින් බියට පත් නො වන ලෙස “යලි තහවුරු කිරීමට,” මැක්ඩොනල් ලන්ඩන් මහ නාගරිකය සමග තිරය පිටුපස සිට සාකච්ඡා පවත්වා තිබේ.

එතෙකුදු වුවත් ව්‍යාජ-වාම කන්ඩායම් තවමත් තතනන්නේ, ඉතිරි ව තිබෙන එකම ඉදිරි මාවත කෝබින් නායකත්වය දෙන ලේබර් ආන්ඩුවක් යයි හුවාදැක්වීමට ය.

“ලේබර් පක්ෂය බලයට පත්වීමට ලංවෙමින් තිබියදී, තමන්ට ‘වගකීම් සහගත’ ලෙස පාලනය කල හැකි බව මහ ව්‍යාපාරිකයට පෙන්නුම් කිරීම පිනිස එය වඩ වඩාත් තෙරපීමට ලක්වනු ඇත. කෝබින්ගේ කතාවෙහි සමහර කොටස්වල ඉලක්කය වූයේ, හාම්පුතුන්ට සහතික වීම යි” යනුවෙන් සතිපතා පලවන ද සෝෂලිස්ට් වර්කර් පත්තරය සඳහන් කලේ, බ්ලෙයාර්වාදී කීයර් ස්ටාමර්, සම්මේලනයෙහි බ්‍රෙක්සිට් පිලිබඳ ප්‍රධාන කතාව සඳහා තෝරාගැනීම ගැන කංකෙඳිරි ගාමිනි.

තම රැකියා, වැටුප් හා සේවා කොන්දේසි මත එල්ල වන ප්‍රහාරයන් ආපසු හැරවීමේ මාවතක් සොයමින් සිටින සියලු කම්කරුවන් හා තරුනයන්ට අප කියා සිටින්නේ, පාලක ප්‍රභූව ප්‍රතිගාමීත්වය හා යුද්ධය දෙසට දිවයාමට එරෙහිව, ඓතිහාසික පාඩම් උකහා ගන්නා ලෙස යි.

මේ සඳහා අවශ්‍ය වන ඉදිරි මාවත සම්පාදනය කල හැක්කේ, පවත්නා සමාජ සම්බන්ධතාවන්ගේ යථාර්ථය මූර්තිමත් කරන ක්‍රියාමාර්ගය සහිත ඉදිරිදර්ශනයකට හා පක්ෂයකට පමනි. 1917 ඔක්තෝබර් විප්ලවයෙහි ශතසංවත්සරය යෙදෙන මේ වසරේ දී, ලෙනින්, ට්‍රොට්ස්කි හා බොල්ශෙවික් පක්ෂය විසින් සංවිධානය කොට නායකත්වය දුන් අරගලයෙන් අවශ්‍ය පාඩම් උකහා ගතයුතු ය. අවශ්‍ය වන්නේ ධනවාදය පෙරලා දමා, සමාජ අසමානතාවෙන් හා යුද්ධයෙන් තොර සමාජවාදී පදනමක් මත සමාජය ප්‍රතිසංවිධානය කිරීම යි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි බ්‍රිතාන්‍ය ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින ක්‍රියාමාර්ගය මෙය යි.

Share this article: