මීතොටමුල්ලේ ප‍්‍රශ්න විසඳූ බව පවසන අයිටීඑන් දැන්වීම ප්‍රෝඩාවක් බව විපතටපත් ජනතාව කියයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ඔක්තෝබර් 25

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් විපතටපත් ජනතාවගේ සියලුම ප‍්‍රශ්න විසඳා ඇති බව ප‍්‍රකාශ කෙරෙන දැන්වීමක්, රජයේ නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනියේ (අයිටීඑන්) මේ දිනවල විකාශය කෙරෙයි.

එහි මෙසේ සඳහන් වෙයි:

“මීතොටමුල්ල ඛේදවාචකය ඔබට මතක ද? රටම සතුටෙන් සිටිය දා දුකට පත්වූ ඒ ජනතාවට ස්ථීර නිවාස ලබා දී, වන්දි ලබා දී, ඉතා ඉක්මනින්ම සමථයකට පත්කල ආපදාව ලෙස එය ඉතිහාසයට එක්වී අවසන්. දේශපාලන අධිකාරිය ගත් නිවරැදි, ඉක්මන් තීරන හා රාජ්‍ය නිලධාරීන්ගේ ක්ෂනික මැදිහත්වීම නොවන්නට, එසේ නොවන්නට ඉඩ තිබුනා.” දැන්වීම අවසානයේ “ජනතා රජය ජනතා හිතසුව පිනිසම” යනුවෙන් ද සඳහන් කෙරේ.

අප්‍රේල් මාසයේ සිදුවූ ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 32ක් බව ආන්ඩුව පැවසුව ද සැබෑ මරන සංඛ්‍යාව ඊට බෙහෙවින් වැඩි බව ප‍්‍රදේශවාසීහු පවසති. නිවාස 148ක ජීවත් වූ පවුල් 198ක් ආපදාවට ලක් වූහ. 1000ක් පමන දෙනා නිවාස අහිමිවීමෙන් අවතැන් වූහ. අවදානම් කලාපයක් නම් කොට තවත් පවුල් 100ක් පමන නිවාස වලින් ඉවත් කෙරුනි. මෑතක දී සෙසු ජනතාවට ද ඉවත් ඉවත් කරන බවට දැනුම් දී ඇත්තේ නිවසක් හෝ වන්දි මුදලක් ලබාදෙන බවට පොරොන්දුවක් පවා නොමැතිවය.

අයිටීඑන් දැන්වීමට තම බලගතු විරෝධය පල කරන ප‍්‍රදේශයේ විපතට පත් මහජනතාව පවසනුයේ තම ප‍්‍රශ්න විසඳා ඇති බවට කෙරෙන එම ප‍්‍රකාශය අමූලික බොරුවක් බවයි.

මහජනතාව අතරින් ආරම්භයේ සිටම පැන නැගුනු බලගතු විරෝධය නොතකමින්, අක්කර 22 ක භූමි ප‍්‍රදේශයක අඩි 200ක් පමන උසට අන්තරායකාරී ලෙස කසල ගොඩගැසීමෙන් දැනුවත්ව සිදුකල මෙම අපරාධයට පසුගිය රාජපක්ෂ ආන්ඩුව සහ වත්මන් ආන්ඩුව ඇතුලු ලංකාවේ සමස්ත ධනපති පාලක පන්තිය වගකිව යුතුය. අපරාධය සිදු කිරීමෙන් අනතුරුව “දේශපාලන අධිකාරිය ගත් නිවරැදි, ඉක්මන් තීරන” ගැන කෙරෙන මෙම ප‍්‍රකාශයන් නරුම මෙන් ම කුහක ය.

සමාජවාදී සමානතා පක්ෂය විසින් කැඳවනු ලැබූ ‘මීතොටමුල්ල ව්‍යසනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය’ ට අදාල සාක්ෂි රැස් කිරීම සඳහා පසුගිය දා මීතොටමුල්ල ප‍්‍රදේශයේ මහජනතාව හමු වීමට ගිය සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන් ට ව්‍යසනයෙන් තම නිවස විනාශවූ, පාලිත නම් කම්කරුවා මෙසේ කරුනු දැක්වීය: “මම ස්වාධීන රූපවාහිනියේ දැන්වීම දැක්කා. ඒක ප්‍රෝඩාවක්. ආන්ඩුව මාධ්‍යය යොදාගෙන මහජනතාව මුහුනදී ඇති ප‍්‍රශ්න යට ගහන්න උත්සාහ කරන්නෙ.

පාලිත

“මගෙ ගෙට වන්දි හැටියට රුපියල් ලක්ෂ 26ක් දීල තියෙනවා. ඒකෙන් නිවසක් මිලට ගන්න හිතන්නවත් බැහැ. මගේ ඉඩම පර්චස් 5.5යි. මීතොටමුල්ලෙ පර්චස් එකක් අවම වශයෙන් ලක්ෂ 40ක් පමන වෙනවා. ආන්ඩුව ඉඩම තක්සේරු කරලා නැහැ. සියලු ප‍්‍රශ්න විසඳුව බවට ආන්ඩුව කරන ප‍්‍රචාරයේ තේරුම ඉඩම් වලට වන්දි ලැබෙන්නෙ නෑ කියන එකනෙ.

අධික මිල නිසා කොලඹින් නිවසක් මිලට ගත නොහැකි බැවින් රාගමින් උත්සාහ කර බැලුවද, ඔහුගේ විනාශවූ නිවසට සමාන කාමර තුනක් හා කුඩා ශාලාවක් සහිත නිවසක් ලක්ෂ 47 ක් වන බව පාලිත පැවසීය. “ඉතිරි මුදල් හොයන්නෙ කොහෙන්ද? ඊටත් වඩා අපිට පොරොන්දුවුනේ වන්දි දෙන තුරු මාසික කුලිය හැටියට රුපියල් 50,000 ක් දෙන බවටයි. ඒක දුන්නෙ මාස තුනයි. දැන් මාස හයක් අපි කුලියට ඉන්නෙ. දුන්න වන්දිය දැන් කුලී ගෙවන්න වියදම් වෙනවා. දිසාපති කාර්යාලයට ගියාම කියනව තාම මුදල් ලැබුනෙ නැතිලු. මේ තත්වය තුලයි ස්වාධීන රූපවාහිනිය කියන්නෙ ප‍්‍රශ්න විසඳලා කියල.”

අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් කොලඹ නගරයෙන් බලහත්කාරයෙන් ඉවත් කල පවුල් අතරින් කොටසක් පදිංචිකරවීම සඳහා සාලමුල්ලේ ගොඩනගන ලද මහල්නිවාස මීතොටමුල්ලේ පවුල් 68 කට ලබාදී ඇතත් ඒවායේ නීත්‍යානුකූල අයිතිය ඔවුනට ලබාදී නොමැත. ප‍්‍රමිතියෙන් තොර සහ ඉතා අඩු ඉඩකඩකින් යුත් මෙම නිවාස පදිංචියට නුසුදුසුය.

එහි නිවසක් ලැබූ මොහමඩ් හලීම් මෙසේ පැවසීය. “ඔය දැන්වීම මම දක්කා. ඔය කියන ආකාරයට අපේ ප‍්‍රශ්න විසඳිල නෑ. 68 දෙනෙකුට 8,9,10,11 තට්ටුවල ගෙවල් ලැබුනා. අපි කලින් හිටපු ගෙවල් සමග බලන කොට මේක අපායක්. පසුගිය දවස්වල ලිෆ්ට් හතරම කැඩිලා බහින්න බැරුව දින හතරක් උඩටම වෙල හිටියා.”

“මගේ ඉඩමට වන්දි ලැබුනෙ නැහැ. මට තිබුනෙ පර්චස් 2යි. ඒ හරියෙ පර්ච් එක ලක්ෂ 40ක් පමන වෙනවා. මට ලක්ෂ 80 ක් ලැබිය යුතුයි. ඉඩම් වලට වන්දි නැත්තෙ අපි අනවසර පදිංචිකරුවො නිසාලු. විදුලි, ජල බිල්පත් ගෙව්ව වසර 30 පදින්චිව සිටි අපි කොහොමද අනවසර වෙන්නෙ.”

කුඩා ව්‍යාපාරිකයෙකු වන තිලකසිරි කියා සිටියේ තමන් ඒ දැන්වීම නොදුටු නමුත් එවැන්නක් විකාශය වන්නේ නම් එහි අන්තර්ගත වන්නේ බොරුවක් බවයි. නීත්‍යානුකූල අයිතියක් නොමැති මහල් නිවසක් ලැබුන සැටි ඔහු විස්තර කලේය. “අපිට දිසාපති කර්යාලයට එන්න කිව්වා. එතනින් බස් මගින් ආපදා කලමනාකාර මධ්‍යස්ථානයට ගෙන ගියා. එතනදී යතුරක් එක්ක ලියුමක් දුන්නා. ඒක ඔප්පුවක් නෙමෙයි.

“මට ලැබුනෙ 11 වන මහලෙ නිවසක්. මේ ගෙදර වගේ තුන් ගුනයක් විතර ලොකුයි මම කලින් හිටපු ගෙදර. අඩි 12X12 කාමර තුනක් තිබුනා. ඉඩම පර්චස් පහයි. අඹගස් තුනක්, තැඹිලි ගහක්, කතුරු මුරුන්ග ගහක් තිබුනා. ඒවායින් ආදායමක් ලැබුනා. ආන්ඩුව තක්සේරු කරේ ලක්ෂ 21යි. මේ ගෙය ගත් නිසා ඒ මුදලත් ලැබුනෙ නැහැ. ජීවිතය ගලවා ගන්න උවමනා නිසා මෙතනට ආවා.”

මෙම මහල් නිවාසයන් ප‍්‍රතික්ෂේප කොට තම නිවාස හා ඉඩම් සඳහා සාධාරන වන්දි මුදලක් ඉල්ලූ නිවැසියන්ට ලබා දී ඇත්තේ සොච්චම් වන්දියකි. එයද නිවසට පමනකි. ඉඩමට වන්දි දෙන්නේ කල් පසුවීයයි ආන්ඩුව පැවසුවත් එය ප්‍රෝඩාවක් බව ඔවුන්ගේ අදහසයිි.

ප‍්‍රදේශයේ පදිංචිකරුවන් කියා සිටියේ, විනාශවූ හා “අවදානම්” යයි සලකුනු කල නිවාස පමනක් නොව තව නිවාස විශාල ප‍්‍රමානයක් ඉවත් කිරීමට ආන්ඩුව මාන බලන බවය. කසල කන්ද ආසන්නයේ නිවසක පදිංචි සිවු දරු මවක් වන කුමුදු කියා සිටියේ සතියකට පමන පෙර නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් පැමින තමන් ප‍්‍රදේශයෙන් ඉවත් කිරීම ගැන සාකච්ඡා කල බවයි.

කුමුදු

“අපේ ගෙවල් විතරක් නෙමයි, නාගහමුල්ල 101 වත්ත වගේ මීට හුඟක් ඈතින් තියන ගෙවල් ඉවත් කරන්ත කතා කරලා තියනවා”යයි ඇය පැවුසුවාය.

අයිටීඑන් දැන්වීම ගැන සඳහන් කල කුමුදු කියා සිටියේ එය සම්පූර්න රැවටීමක් බවයි. “කිසිම ප‍්‍රශ්නයක් විසඳලා නැහැ. ගෙවල් වලින් අහක් වෙච්ච හුඟ දෙනෙක් තව ඉන්නේ තැන් තැන වල කුලියට. මේවා ඔක්කොම ඇත්ත වසන් කරන්න ආන්ඩුව ගෙනයන උප්පරවැට්ටි” ඇය තවදුරටත් කීවාය.

ආන්ඩුව පසුගිය අය-වැයෙන් නිවාස සඳහා වෙන්කල මුදල මෙන් දාහතර ගුනයක් ආරක්ෂක වියදම් සඳහා වෙන්කර ඇති බව අප නියෝජිතයන් පෙන්වා දුන් විට කුමුදු මෙසේ පැවසුවාය: “යුද්දෙත් ඉවරනම්, ආන්ඩුව වැඩියෙන් වියදම් කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ ප‍්‍රශ්න විසඳන්න නේද? ඇහුවම කියන්නේ මේ ආරක්ෂක වියදම් කරන්නේ මත්ද්‍රව්‍ය නතර කරන්න කියල. නමුත් ඇත්ත නම් මේ ලෑස්ති වෙන්නෙ මිනිස්සු පාරට බැස්සහම කලින් කලා වගේ නැවතත් පොලිසිය හමුදාව දාල ගහන්න.”

රොසයිරෝ

කසල කන්ද පිටුපස නිවාස 14 කින් යුත් කුඩා වත්තක ජීවත් වන තරුන යුවලක් වන පැට්රික් රොසයිරෝ හා ඔහුගේ බිරිඳ පැවසුවේ ඔක්තෝබර් 13 දා තම වත්තටත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමින එම නිවාස ඉවත් කිරීමට තීරනය කර ඇති බව දනුම් දුන් බවයි. “අපිට වන්දි ගෙවන්නේ හරි අලුත් ගෙවල් ලබා දෙන්නේ හරි කොහොමද කියල හරියට කිව්වේ නැහැ, හැබැයි ගෙවල් වලින් යන්ඩ වෙයි කියල කිව්වා.”

කසල කන්දෙන් ඇති සෞඛ්‍ය තර්ජනය හා නිතර ගංවතුරට යට වීම නිසා සමහර පවුල් අලුත් නිවසක් ලැබෙන්නේ නම් ඉවත් වීමට කැමති නමුත්, ඔවුනට ආන්ඩුවේ ක්‍රියා කලාපය ගැන ඇත්තේ දැඩි සැකයකි. කසල කන්ද අසල පිහිටි දහම්පුර ද අවදානම් කලාපයක් ලෙස නම් කොට ඉන් විශාල පවුල් ප‍්‍රමානයක් ඉවත් කර ඇති බැවින් එය පාලු සොහොන් පිටියක් බවට පත්ව මුලුමහත් ප‍්‍රදේශයටම සෞඛ්‍ය තර්ජනයක් ව පවතී.

මෙතෙකුදු විපතට පත් ප‍්‍රදේශයේ වාසය කරන දෙදරු මවක් වන කෞශල්‍යා මෙසේ පැවසුවාය: “දැන් අපිටත් මෙහේ ඉන්න පුලුවන් කමක් නැහැ. මේක පාලු විමානයක් වෙලා. පාලු ගෙවල් ඇතුලේ වතුර පිරිලා ඩෙංගු මදුරුවෝ බෝ වෙනවා. මිනිස්සුන්ට හදිසියේ ගෙවල් වලින් යන්න කිව්වම, තමන් හදපු සත්තු අරගෙන යන්න බැරුව ගියා. දැන් මෙතන දඩාවතේ යන බල්ලෝ පිරිලා, කවුද මුන්ට බෙහෙත් විදින්නේ? බාගෙට කඩපු ගෙවල් වල හොල්මන් ඉන්නවා කියල ලමයි බයවෙනවාට ලඟදි තොවිල් දෙකකුත් කලා. ”

මෙම තතු තුල අයිටීඑන් හි ප්‍රෝඩාකාරී දැන්වීමේ අරමුන වනුයේ, විපතටපත්වූවන් පදිංචිව සිටි ඉඩම් වලින් ඉවත් කොට ආයෝජකයන් සඳහා පවරාදීමට ආන්ඩුව ගෙන යන වැඩ කටයුතු ආවරනය කිරීම බව පැහැදිලිය.

Share this article: