Capital(ප‍්‍රාග්ධනය ) ග‍්‍රන්ථය පල කිරීමේ 150 වැනි සංවත්සරය

The 150th anniversary of the publication of Capital

2017 සැප්තැම්බර් 18

සැප්තැම්බර් 14 දා යනු, කාල් මාක්ස් ලියන ලද කැපිටාල් ග‍්‍රන්ථයේ පලමු වෙලුම පල කිරීමේ 150 වැනි සංවත්සරය යෙදෙන දිනය යි. එය, මානව වර්ගයාගේ බුද්ධිමය හා ඓතිහාසික වර්ධනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කලේ ය. එය පලකිරීමත් සමගම, ධනවාදී සමාජයේ චලනයේ නියාමයන් සොයාගනු ලැබූ අතර එවිසින් මුදාහල සමාජ ව්‍යසනයේ මූලයන් ද හෙලිදරව් කෙරිනි. ඉතාමත් වැදගත් ම කාරනය වන්නේ, සූරාකෑමෙන් නිදහස්වූ ලෝකයක් හා සැබෑ මානව නිදහස තහවුරු කිරීම සඳහා අරගලය -එනම් සමාජවාදය සඳහා අරගලය- බලාපොරොත්තු හා අභිලාෂයන්ගේ විෂයක සිට විද්‍යාවක් බවට පරිවර්තනය කිරීම යි.

1867 අගෝස්තු 16දා පාන්දර දෙකට, තමන් විසින් අවසන් ශුද්ධිපත‍්‍ර පිරික්සා නිමවීමෙන් අනතුරුව, මාක්ස් ඔහුගේ චිරකාලීන මිතුරා සහ සහකරුවාවූ ෆ්‍රෙඩ්රික් එංගල්ස්ට මෙසේ ලියුවේ ය: “ඉතිං, මේ වෙලුම ලියා ඉවරයි. මට කරන්න පුලුවන් එකම දේ තමයි ඒ වෙනුවෙන් ඔබට මාගේ නයගැතිභාවය ප‍්‍රකාශ කිරීම. මා කෙරේ ඔබ දැක්වූ ආත්ම පරිත්‍යාගය නොවන්නට, කෘතිය විසින් ඉල්ලා සිටිනු ලැබූ ඉමහත් ශ‍්‍රමය වැය කිරීමට මට නොහැකිවන්නට ඉඩ තිබුනා.”

මෙම යෝධ ජයග‍්‍රහනය ඉස්මත්තට ගෙන එමින්, එයින් වසර 16කට පසු මාක්ස්ගේ මරනය දා ඔහුගේ සුසානභූමියේදී කතාකරමින් එංගල්ස් සඳහන් කලේ, ඩාවින්, ඓන්ද්‍රීය ස්වභාවධර්මයේ වර්ධනයේ නියාම සොයාගත් ආකාරයෙන්, මාක්ස්, මානව සමාජයේ හා ඉතිහාසයේ වර්ධනයේ නියාමය සොයාගෙන තිබූ බව යි.

මාක්ස්ට පෙරාතුව, මෙම ප‍්‍රශ්න පිලිබඳ අධ්‍යයනය අරා සිටියේ, ආගමික ව්‍යාකූලකිරීම හෝ සදාචාර ආඥාවන් හා දෘෂ්ටිවාදය පිලිබඳ කනිපින්දම් ගැසීම විසිනි. මානව සමාජය පැහැදිලි කල යුත්තේ කලාව, දේශපාලනය, දර්ශනවාදය, යුගයේ සාරය යනාදී එහි දෘෂ්ටිවාදාත්මක සංකල්ප මගින් නොව, එහි ආයතන හා දෘෂ්ටිවාදාත්මක සංකල්පය පැනනංවන ආර්ථික සංවර්ධනයේ පදනමින් බව මාක්ස් තහවුරු කලේ ය.

1847 නොවැම්බර් ප‍්‍රකාශයට පත්කල කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ පදනම සකස් කලේ මෙම සංකල්පයන් ය. ඊලඟ වසර 20 ගතවුයේ, වත්මන් ධනවාදී සමාජය අධ්‍යනය කිරීමෙහිලා මෙම නව න්‍යාය යොදාගැනීමට යෙදූ ඉමහත් ශ‍්‍රමය වැය කිරීම මත්තෙහිය.

දෙවන සංස්කරනයට ලියූ ඔහුගේ පසුවදන තුලදී කැපිටාල් හි පලමු සංස්කරනය පිලිබඳ විචාරයකින් බෙහෙවින් උපුටා දක්වමින් මාක්ස් ඔහුගේ ක‍්‍රියාපිලිවෙත ස්ථාපිත කලේ ය: “මාක්ස්” “සිය සැලකිල්ලට ගත්තේ එකම කාරනයකි, එනම්, ඔහු ආරම්භ කල හා ඔහු පදනම් වන කරුනු යථා විද්‍යාත්මක විමර්ශනයකින් පෙන්වා දීමටත් හැකිතාක් නිරවද්‍ය ලෙස ස්ථාපිත කිරීමටත් ය. වත්මන් නියාමයේ අවශ්‍යතාව හා පලමුවැන්න හරහා අනිවාර්යෙන් එලඹිය යුතු අනෙක් නියාමයක අවශ්‍යතාව යන දෙකම එකවරම ඔහු සනාථ කරන්නේ නම් මේ සඳහා එය මුලුමනින්ම ප‍්‍රමානවත් ය. .. මාක්ස් සමාජ ව්‍යාපාරය සැලකුවේ, මනුෂ්‍ය අභිලාශය, සවිඤ්ඤානය හා බුද්ධියෙන් ස්වාධීන නීති මගින් පාලනය වන ස්වභාවික ඉතිහාසයේ සන්තතියක් වසයෙන් පමනක් නොව, එයට විපරීතව, එම අභිලාශය, සවිඤ්ඤානිකත්වය හා බුද්ධිය තීරනය කරන සන්තතියක් වසයෙනි” යැයි විචාරකයා ලියා තිබුනි.

ධනවාදය සරලවම එනයින්ම බිඳවැටෙතැයි යන්න මෙමගින් මාක්ස් මොනම ආකාරයෙන්වත් සැලකුවේ නැත. ධනවාදයේම සංවර්ධනය විසින් නිර්මානය කරන ලද සමාජ බලවේගය වන එහි ඓතිහාසික මීනිවල කනින්නා වන කම්කරු පන්තිය විසින් එය පෙරලා දැමීම අවශ්‍ය විය. එසේ නොකරන්නේ නම්, මනුෂ්‍ය ශිෂ්ඨාචාරයම විනාශයට මුහුන ලා සිටී.

මාක්ස්ගේ කෘතිය, අතිශයින්ම බරපතල විද්‍යාත්මක විශ්ලේෂනයක් මත පදනම් වූයේ වුවත් එය හුදෙක් විද්‍යාවේ අවශ්‍යතාවන්ගෙන්ම රචනා කලා නොවේ. ඔහු එයට මෙහෙයවී ගත්තේ, ධනවාදය පෙරලා දමා මනුෂ්‍ය වර්ගයා සමාජයේ ඉහල කූටයක් කරා මෙහෙයවන අතශ්‍යවශ්‍ය න්‍යායික අවියකින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමට වෑයම් දරන විප්ලවවාදීයෙකුගේ ආස්ථානයෙනි.

ඔහුගේ කෘතියේ මෙම ලක්ෂන ද්වය අභේද්‍යව සම්බන්ධව පවතී. තමන් අරගලයට තල්ලුකරනු ලැබූ සමාජ ක‍්‍රමය පිලිබඳ විද්‍යාත්මක විශ්ලේශනයකින් සන්නද්ධ නොවන්නේ නම් කම්කරු පන්තියට බලයට ඒමට නොහැකි වනු ඇතයි ඔහු අවධාරනය කලේ ය. එමෙන්ම, ධනවාදය පිලිබඳ ඔහුගේ විද්‍යාත්මක විශ්ලේශනය තුලදී ඔහු ස්ථාපිත කල තීරනාත්මක සොයාගැනීම් මාක්ස්ට කල සිදුකල හැකිවූයේ, ධනවාදී සමාජයේ සැබෑ ස්වභාවය ව්‍යාකූල කොට තිබෙන දෘෂ්ටිවාදාත්මක රූපාකාරයන් විනිවිද ඒවා හෙලිදරව් කිරීමට වෑයම් කරන, ධනවාදී සමාජය කෙරේ විවේචනාත්මක ප‍්‍රවේශයකින් යුත් විප්ලවවාදියෙක්වූ නිසා ය. ඒ අනුව, කැපිටාල් හි උපමාතෘකාව, “දේශපාලන ආර්ථිකය පිලිබඳ විවේචනයක්” ලෙස නම් කර තිබීම වැදගත්කමකින් යුක්ත ය.

කැපිටාල් මුල්වරට ප‍්‍රකාශයට පත්කලවිට, ධනේශ්වර බුද්ධිමය කව තුලින් බෙහෙවින්ම නොතකා හැරුනි. එහෙත්,එය විභාග කල සංකල්ප හා විශ්ලේෂනය එය ඉදිරියට ගෙන ගියේ ය. භාෂා ගනනාවකට පරිවර්තනය කල එම කෘතිය දශක කිහිපයකින් “කම්කරු පන්තියේ බයිබලය” බවට පත්විය. එය, ධනවාදය පරිහානිගත වීමේ මූලය අරබයා විශ්ලේෂනයක් තහවුරු කල අතර සියල්ලට ඉහලින්, කම්කරු පන්තියට ඓතිහාසික හා දේශපාලනික ඉදිරිදර්ශනයක් සම්පාදනය කලේ ය.

මෙම ඉදිරිදර්ශනය ඉදිරිපත් කල හැකිවූයේ දේශපාලන ආර්ථිකයේ විද්‍යාව තුල මාක්ස් සිදුකල තීරනාත්මක විප්ලවීය පරිවර්තනයක පදනම මත පමනි. සියලුම විශිෂ්ට විද්‍යාත්මක චින්තකයන් මෙන්, මාක්ස් සිටගත්තේ ඔහුගේ පූර්වගාමීන්, සියල්ලට ඉහලින්, සම්භාව්‍ය දේශපාලන ආර්ථිකයේ ප‍්‍රමුඛ නියෝජිතයන් දෙදෙනා වන ඇඩම් ස්මිත් හා ඩේවිඩ් රිකාඩෝගේ උර මත ය.

ධනපති පන්තිය වැඩෙමින් පැවැති පන්තියක් හා ප‍්‍රගතිශීලි සමාජබලවේගයක්වූ කාල පරිච්ඡේදයක ඔවුන්ගේ වැඩකටයුතු ගෙන යමින්, අභිනවයෙන් පැනනැග පැවැති සමාජය -කාර්මික ධනවාදය- පිලිබඳ විද්‍යාත්මක විභාගකිරීමක් ඔවුන් විසින් සිදුකොට තිබුනි. ධනවාදී ආර්ථිකය පිලිබඳ අධ්‍යනයකින් උකහා ගෙන ශ‍්‍රම වටිනාකමේ නියාමය ඔවුහු සොයාගෙන තිබුනහ: වෙලඳපොල තුල හුවමාරුවන භාන්ඩවලට කොටස (ඒවායේ වටිනාකමෙ) නිර්නය කරන්නේ ඒවා තුල ගැබ්ව පවතින ශ‍්‍රම කාලයේ ප‍්‍රමානය මගිනි.

එහෙත් මෙම නීතිය ධනේශ්වර සමාජය සම්බන්ධයෙන්ම යෙදීමේදී ප‍්‍රතිවිරෝධයකට මුහුන දුන්නේ ය. වටිනාකමේ නීතිය අනවන ලෙස, සමාන දේවල් සමාන දේවල් හා හුවමාරුවන්නේ නම්, ලාභය පැන නගින්නේ කෙසේ ද? ධනවාදී සමාජය තුල වඩාත්ම වැදගත් හුවමාරුව වන, ප‍්‍රාග්ධනය හා ශ‍්‍රමය අතර හුවමාරුවට වටිනාකමේ නියාමය යෙදීමට හැකියාවක් නැතයැයි පෙනී යන්නේ ඇයි?

මෙම ප‍්‍රශ්නයට පිලිතුර සොයා ගැනීම -වටිනාකමේ නියාමයට පරස්පර නොවී, එයට අනුකූලවම ලාභය පැනනැගීමට හැකියාව පැවතුනේ කෙසේද යන්න- කැපිටාල් ග‍්‍රන්ථය ප‍්‍රකාශයට පත්කිරීමට මෙහෙයවූ මාක්ස්ගේ දශක දෙකක බුද්ධිමය ශ‍්‍රමයේ කේන්ද්‍රයේ පැවැති කාරනාව විය.

විසඳුම සොයාගත යුතුවූයේ, ධනවාදී සමාජයේ ක්ෂුද්‍රතම රූපාකාරය වන, පෞද්ගලික පරිහරනය සඳහා නොව හුවමාරුව සඳහා ශ‍්‍රමයේ නිෂ්පාදිතය නිර්නය වී පවත්නා පාරිභෝජන භාන්ඩයේ ප‍්‍රතිවිරෝධතාවන් පිලිබඳ විශ්ලේෂනයක් හා විභාගකිරීමක් තුලිනි. මේ අනුව, කැපිටාල් ආරම්භ වන්නේ, “නිෂ්පාදනයේ ධනවාදී ස්වරූපය පැතිරී පවතින සමාජයන්ගේ ධනය ‘පාරිභෝජන භාන්ඩවල යෝධ රාශීභූතවීමක්’ වසයෙන් පෙනී යයි. ඒ අනුව අප පටන් ගත යුත්තේ, භාන්ඩය පිලිබඳ විශ්ලේෂනයකිනි.”

පාරිභෝගික භාන්ඩය, ප‍්‍රයෝජ්‍ය හා හුවමාරු වටිනාකම අතර ප‍්‍රතිවිරෝධතාවන්ගේ එකමුතුවක් ලෙස මාක්ස් පෙන්නුම් කලේ ය. මෙම ප‍්‍රතිවිරෝධතාව විශ්ලේෂනය කිරීම මෙහෙයවන්නේ, මාක්ස් විසින් “භාන්ඩ වන්දනාව” ලෙස හැඳින්වූ වටිනාකමේ රූපාකාරය, මුදලේ සම්භවය, ප‍්‍රාග්ධනය හා ධනවාදී ආර්ථිකය මගින් ජනනය කරන දෘෂ්ටිවාදාත්මක ව්‍යාකුලත්වයේ ප‍්‍රභවය පිලිබඳ විභාගකිරීමට යි.

මාක්ස් අතිරික්ත වටිනාකමේ රහස අනාවරනය කරගත්තේ භාන්ඩ-මුදල්-ප‍්‍රාග්ධනය පිලිබඳ මෙම විශ්ලේෂනය හරහා ය. එය පැන නගින්නේ, කම්කරුවා ධනපතියාට විකුනූ භාන්ඩය ඔහුගේ ශ‍්‍රමය නොව, එයටත් වඩා, ඔහුගේ ශ‍්‍රම ශක්තිය, හෝ වැඩකිරීමට ඇති ඔහුගේ හැකියාවය යන කාරනාවෙනි. මේ සඳහා ඔහුට ගෙවනු ලබන්නේ, එහි වටිනාකමට අනුකූලව, එනම් කම්කරුවාට තමන් රැකී ගත හැකි හා කම්කරුවන්ගේ ඊලඟ පරම්පරාව නිෂ්පාදනය කිරීමට ඔහුගේ පවුල නඩත්තු කිරීමට අවශ්‍ය තරම් ප‍්‍රමානයකි. එහෙත්, එහි ගැනුම්කරුවා වසයෙන් ධනපතියාට අයත් හා නිෂ්පාදන ක‍්‍රියාදාමයේදී සාක්ෂාත් කරගන්නා ශ‍්‍රම බලයේ ප‍්‍රයෝජ්‍ය වටිනාකම, අමතර හෙවත් අතිරේක වටිනාකම උත්පාදනය කිරීමට ඇති ශක්‍යතාව ගැබ්කරගෙන පවතී. මෙම අතිරික්ත වටිනාකම ගලාඑන්නේ, කම්කරුවා ඔහුගේ ශ‍්‍රම බලයේ වටිනාකම වැඩ දිනයේ කොටසකදී පමනක් ප‍්‍රතිනිෂ්පාදනය කරන අතර එම දිනය තුල නිර්මානය කරන වටිනාකමේ සෙසු කොටස ධනපතියාට ගලා යන්නේ ය යන කාරනාවෙනි.

වෙනත් වචනවලින් කියතොත්, අතිරික්ත වටිනාකම හා ලාභය පැන නගින්නේ වටිනාකමේ නීතියට ප‍්‍රතිවිරෝධීව නොව, එයට අනුකූලව ය. සූරාකෑම සහ එයින් ගලාඑන සියලු දෑ ධනවාදී ආර්ථිකයේ නීතිවලම ප‍්‍රතිපලයකි. මේ සොයාගැනීම, විද්‍යාවේ පදනම මත, ධනවාදී සමාජය තුල කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ස්ථාපිත කිරීම ද සිදු කලේ ය.

අතිරික්ත වටිනාකමේ රහස අනාවරනය කිරීමේ වැදගත්කම එංගල්ස් විසින් අවධාරනය කෙරිනි. ලෝකය පුරා බිලියන සංඛ්‍යාත ජනයා ධනවාදී ආර්ථිකයේ ක‍්‍රියාවන්ට එරෙහිව වේගයෙන් ඉස්මත්තට එමින් පවතින වත්මන් සමාජය සඳහා ද ඔවුන්ගේ සැඳහුම්වල අදාලත්වය මොනයම්ම හෝ ආකාරයෙන් නොනැසී පවතී.

මාක්ස්ට පෙරාතුව සමාජවාදය ධනවාදී පද්ධතිය සහ එහි ප‍්‍රතිවිපාක ඇතැම්විට ඉතාම තියුනු ආකාරයෙන් විවේචනය කොට තිබූ බව එංගල්ස් සටහන් කලේ ය. “එහෙත් එය පැහැදිලි කරගත නුහුනු අතර එබැවින් ඒවායේ විශාරදභාවය ලඟා කරගනු හැකිවූයේ නැත. එය සරලවම ඒවා නරක දේවල් ලෙස ප‍්‍රතික්ෂේප කලා පමනි”.

නිෂ්පාදනයේ ධනවාදී ස්වරූපය එහි ඓතිහාසික සබඳතාව තුලින් විභාග කිරීමටත්, නිශ්චිත කාලවකවානුවකදී එහි අනිවාර්යතාව ගෙන හැරපෑමට මෙන්ම, එහි අනිවාර්ය කඩාවැටීම පෙන්වා දීමටත් “එහි විවේචයකයන් එම සන්තතියට නොව, එහි බියකරු ප‍්‍රතිවිපාකවලට පහර එල්ල කරන තත්වයක් තුල තවමත් රහසක් වසයෙන් පැවැති එහි සාරභූත ස්වභාවය අනාවරනය කිරීමටත්” අවශ්‍ය කෙරී පැවතුනි. එය ඉදිරියට ගෙන යමින් එංගල්ස් පැහැදිලි කරන්නේ, ඓතිහාසික භෞතිකවාදය සමග සමාජවාදය විද්‍යාවක් බවට පත්වූ බව යි.

ධනපති පන්තිය හා එහි දෘෂ්ටිවාදාත්මක නියෝජිතයෝ කැපිටාල් නොතකා හැරීමට වෑයම් කිරීම ඇරඹූහ. එහෙත් එහි ආනුභාවය පැතිරෙත්ම, ඔවුහු එය ප‍්‍රතික්ෂේප කිරීමට වෑයම් කල හ, එයද අසමර්ථවූ තැන, මුසාවාද කීමටත් සාවද්‍යකරනවල සරනයාමටත් ඔවුහු ගමන් කලහ. එහෙත් ඔවුන්ගේ වෑයම්වල, නිරර්ථක බව සනාථ කෙරී පවතී. ඇත්ත වසයෙන්ම, ධනවාදී ආර්ථිකය සමස්ත ක‍්‍රියාදාමය සෑම අංශයකින්ම විශ්ලේෂනය කිරීමට හෝ එහි ඓතිහාසික වර්ධනයේ සියලුම ආකාරයන් පෙරදැකීමට මාක්ස්ට නොහැකිවූ නමුදු, එහි ගාමක බලවේගයන් පිලිබඳ විශ්ලේෂනයක් කරන අන් එකදු කෘතියක් නැත.

අතිරික්ත වටිනාකම සොයාගැනීම මගින්, අර්බුදවල අනිවාර්යතාව හා නිෂ්පාදන බලවේගවල වර්ධනය හා, වැටුප්-ශ‍්‍රමය හා භාන්ඩ නිෂ්පාදනය මත පදනම්වූ, සමාජ සබඳතා පද්ධතිය අතර, ලාභ රේට්ටුව පහල වැටීමේ ප‍්‍රවනතාව තුල පිලිබිඹු වූ සහජ ප‍්‍රතිවිරෝධතාව හෙලිදරව් කිරීමට මාක්ස්ට හැකියාව ලැබිනි.

එය ව්‍යසනකාරී මූල්‍යමය හා ආර්ථික අර්බුදවල හෝ එක්සත් ජනපදය තුල මෑතකදී ඇතිවූ සුලිකුනාටුවල බලපෑම විසින් ජනිත කල සමාජ ව්‍යසනවල හෝ රූපාකාරයෙන් පැමිනියද, නිෂ්පාදනයේ සමාජයීය ස්වභාවය හා ලාභයේ පෞද්ගලික හිමිකාරිත්වය අතර පුපුරනසුලු ප‍්‍රතිවිරෝධයේ ධාවක බලවේගයන් පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයක් අන් කිසිවෙක් හෝ සම්පාදනය කර නැත.

සමස්තයක් ලෙස මනුෂ්‍ය වර්ගයා ඉහල තලයකට ඔසවා තැබිය හැකි තරම් ශ‍්‍රම පලදායිත්වයේ යෝධ වර්ධනය හමුවේ, සමාජ අසමානත්වය හා අස්වාමිකත්වය ඉහල යමින් මාක්ස් පැහැදිලි කල ආකාරයට එක් අන්තයක විස්මිත ලෙස ධනය ඒකරාශි වීම අනෙක් අන්තයේ දරිද්‍රතාව, කාලකන්නිභාවය හා පරිහානිය වඩ වඩාත් ඉහලයාමේ රූපාකාරයක් ගෙන ඇත්තේ ඇයි ද යන්න ගැන පැහැදිලි කරන අන් එකදු කෘතියක් ඇත්තේ නැත.

ධනපති පන්තිය හා එහි නියෝජිතයන් කැපිටාල් කෘතියට හා එහි විප්ලවවාදී නිගමනවලට එරෙහිව අඛන්ඩව ගර්ජනය කරනු ඇත. එහෙත් සත්‍යය දෘඩතර වේ.

මාක්ස් විසින් විශ්ලේෂනය කල ධනවාදී පද්ධතියට එරෙහිව අරගලයට එමින් සිටින කම්කරුවන් හා තරුන ජනයා, ඔවුන් මුහුනලා සිටින්නේ කුමකට ද යන්න පිලිබඳ අවබෝධයක් මෙන්ම විද්‍යාත්මක හැඩගැස්මක් හා ඉදිරිදර්ශනයක් සඳහා නියත මගපෙන්වීමක් කැපිටාල් තුලින් සොයා ගනු ඇත.

එහෙත් එවැනි කෘතියක් මුලුමනින් ග‍්‍රහනය කරගැනීම පහසු කර්තව්‍යයක් නොවේ. මාක්ස් මත් පැහැදිලි කල පරිදි, විද්‍යාවට රාජකීය මාවතක් ඇත්තේ නැත. මහන්සිවිය යුතු ය. එහෙත් එවැනි පරිශ‍්‍රමයක ප‍්‍රතිපල පොහොසත් හා චිරස්ථායි ය. කැපිටාල් කියවන අය මුහුන දී සිටින දැවැන්ත හා වැඩෙන ප‍්‍රශ්නවල ප‍්‍රභවය පිලිබඳව අවබෝධයකින් හා සටන් කිරීම සඳහා ඉදිරිදර්ශනයකින් සන්නද්ධ වනවා පමනක් නොව, ඔවුහු ලෝක ඉතිහාසයේ මහා ග‍්‍රන්ථයවලින් එකක් සමග ගනුදෙනුවකද නිරත වනු ඇත. ෂේක්ස්පියර් හැර, භාෂාවේ වර්ධනයට ඒසා දායකත්වය සැපයූ අන් කෘතියක් නැත.

එමනිසා කැපිටාල් පලකිරීමේ 150 වන සංවත්සරය, එවිසින් වර්ධනය කරන ඉදිරිදර්ශනය -සැබවින්ම මානුෂීය සමාජයක් නිර්මානය කිරීමේ පදනම මත ශ‍්‍රමය විසින් නිර්මානය කරන ලද නිෂ්පාදන බලවේගවල පොදු අයිතිය මත පදනම්වූත්, සූරාකෑම කටුගෙට යවන්නාවූත්, කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ සඳහන් වදන්වලට අනුව, පන්ති හා පන්ති ප‍්‍රතිවිරෝධතා සහිත ධනේශ්වර සමාජය වෙනුවට “සියල්ලන්ගේ නිදහස් සංවර්ධනය සඳහා වන කොන්දේසිය ලෙස එකිනෙකාගේ නිදහස් සංවර්ධනයේ සමාගමයක් අප අත්පත්කරගනු ඇත්තේය”- යන්න අවබෝධ කරගැනීම උදෙසා වූ නව අධ්‍යයනයකට අවස්ථාවක් කරගමු.

නික් බීම්ස්

Share this article: