ධනවාදයේ අර්බුදයෙන් අන්ත-දක්ෂිනාංශය වාසි ලබන්නේ ඇයි?

Why is the far-right benefiting from the crisis of capitalism?

2017 සැප්තැම්බර් 28

ජර්මනියේ ඉරිදා පැවති මැතිවරනයෙන් දැක ගත හැකි වූයේ අන්ත දක්ෂිනාංශික පක්ෂය වන ඔල්ටනේටිව් ෆො ජර්මනි (ඒඑෆ්ඩී) හි නැගීමත් නිල වාමාංශික පක්ෂය වන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ බිඳ වැටීමත්ය. ඉදිරියේදී ආරම්භ වීමට නියමිත නිල පාර්ලිමේන්තුවට නියෝජිතයන් 90 දෙනෙක් තේරී පත්වීමත් සමග ඒඑෆ්ඩී ය ඇතුලු වීමෙන් සනිටුහන් වන්නේ තුන්වන රයිෂය ( තර්ඩ් රයිෂ්) අවසන් වීමෙන් පසු ප‍්‍රථම වතාවට ජාතික ව්‍යවස්ථාදායක මන්ඩලයට සෘජු ෆැසිස්ට්වාදීන් සහ වර්ගවාදීන් සහභාගි වන බවයි.

ජර්මනියේ නව- ෆැසිස්ට්වාදී පක්ෂයේ මැතිවරන ජයග‍්‍රහනය විශේෂත්වයක් නොව යුරෝපයේ සහ ජාත්‍යන්තරව යලි යලිත් මතු වෙමින් පවතින රටාවක කොටසකි.

බ්‍රිතාන්‍යයේ අන්ත-දක්ෂිනාංශික සංක‍්‍රමනික විරෝධී යූ කේ ඉන්ඩිපෙන්ඩන්ට් පාටි (යූකේඅයිපී) නමැති පක්ෂය මතු වූයේ පසු ගිය වසරේ පැවැති ජනමත විචාරනයේ දී යුරෝපීය සංගමයෙන් ඉවත් වීමට ඡන්දය දුන් ප‍්‍රධාන දේශපාලන බලවේගය වශයෙනි. ප‍්‍රන්සයේ, නැෂනල් ෆ‍්‍රන්ට් පක්ෂයේ නායිකාව මරීන් ලෙපෙන් මෙම වසරේ පැවැති ජනාධිපතිවරනයෙන් දෙවන ස්ථානයට පත්වෙමින් සියයට 34ක් ඡන්ද ලබා ගත්තේ 2002 දී තම පියා ලබා ගත් ප‍්‍රතිඵල දෙගුන කර ගනිමිනි. නව-ෆැසිස්ට්වාදී ෆ්‍රීඩම් පාටි යන පක්ෂය ලබන මස ඔස්ට්‍රියානු මැතිවරනයෙන් ජාතික රජයට ඇතුලු වීමට බලාපොරොත්තු වෙයි.

එක්සත් ජනපදය තුල දේපල ඉඩකඩම් ජාවාරම්කරන බිලියනපතියකු සහ රූපවාහිනි චරිතයක් වන ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකානු ඉතිහාසයේ වඩාත් ම දක්ෂිනාංශික ආන්ඩුව බලයට ගෙන එමින් 2016 මැතිවරනය ජයග‍්‍රහනය කලේ ය.

මෙම වර්ධනයන් තීරනාත්මක ප‍්‍රශ්නයක් මතු කරයි: සමස්ථ මූල්‍ය පද්ධතිය ම ආසන්න බිඳ වැටීමකට ලක් කරමින්, ජාත්‍යන්තරව ම මෘග ලෙස පටි තද කර ගැනීමේත් මිලිටරිවාදී ප‍්‍රතිපත්තීනුත් පෙරටු කරගත් 1930 ගනන් වලින් පසු පැන නැගුනු ලෝක ධනවාදයේ දැවැන්තම අර්බුදෙයන් පසු දශකය තුල අන්ත දක්ශිනාංශික පක්ෂවල ස්ථාවර ශක්තිමත් වීමක් දකින්නේ ඇයි? කම්කරු පන්තියේ පුලුල් කොටසකගේ සමාජ සුභසාධන කප්පාදුවේත් එම කොටස දරිද්‍රතාවයට පත් කිරීමේත් ප‍්‍රතිඵලයක් ලෙස සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ කම්කරු පක්ෂත්, එක්සත් ජනපදයේ ඩිමොක‍්‍රටික් පක්ෂයත් සහය ලබා ගැනීමට අසමත් වූවා පමනක් නොව පරාජයන් පිට පරාජයන් වලට ගොදුරු වූයේ ඇයි?

පසුගිය දශකය තුල (සහ විශේෂයෙන් සෝවියට් සංගමය දියකර හරිනු ලැබීමෙන් පටන් පසුගිය දශක හතර ඉක්මවා) වාමාංශික ලෙස හඳුන්වාගත් දේශපාලනය ධනවාදයට එරෙහි කුමන හෝ විරුද්ධත්වයකින් සමස්ථයක් ලෙසම බිඳී ගොස් ඇත. බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය, ප‍්‍රන්ස සමාජවාදී පක්ෂය, ජර්මානු සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, ඩිමොක‍්‍රටික් පක්ෂය යන සියල්ලම කම්කරු පන්තියට කුමන හෝ හැරීමක් හෝ කම්කරුවෝ මුහුන දෙන කුමන හෝ සමාජ ප‍්‍රශ්නයක් ගැන තැකීමක් හෝ අත්හැර දමා ඇත. ඔවුන් ආදේශ කර ඇත්තේ දේශපාලනයේදී පන්ති ප්‍රශ්න වෙනුවට වර්ග සහ ලිංගික අනන්‍යතාවය දෙසට යොමු වන සාවද්‍ය හා ප‍්‍රතිගාමී දේශපාලන පදනමකි.

ධනපති පද්ධතියට කුමන හෝ අභියෝගයක් නැති කමේ හිදැස ගසාකමින් වඩාත්ම ප‍්‍රතිගාමී දේශපාලන බලවේග මහජනයාගේ නියෝජිතයින් ලෙස පෙරට පැමින ඇත. ඔව්හු සමාජ අසහනය දක්ෂිනාංශික සහ ජාතිකවාදී මාවත් දිගේ හරවා යැවීමට වැඩ කර ඇත.

කම්කරු ජනයා වර්ගවාදී සහ ෆැසිස්ට්වාදී ප‍්‍රතිපත්තිවලට සහය දෙනවා නොවේ. මෙම පක්ෂවලට දී ඇති ඡන්ද සමාජ අසහනයට ප‍්‍රගතිශීලි මාවතක් නො සැපයූ සංස්ථාපිතයේ පක්ෂවලට එරෙහි ඡන්ද ලෙස පුලුල් ලෙස පවතී. තවදුරටත්, බැංකු සහ සංගත විසින් ඉල්ලා සිටි පටිතදකරගැනීමේ පියවර සඳහා “වාමාංශික” පක්ෂ සෘජුවම හවුල් බව මහජනතාව හොඳින් දනිති.

බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර් සහ පසුව ගෝර්ඩන් බ‍්‍රවුන් යටතේ ලේබර් පක්ෂය මාග‍්‍රට් තැචර් සහ ඇයගේ අනුප‍්‍රාප්තික ජෝන් මේජර් යටතේ ආරම්භ කරන ලද සමාජ සුභ සාධක කප්පාදුවේ සහ වර්ජන විරෝදී “ප‍්‍රතිසංස්කරන” ප‍්‍රතිපත්තිය දිගටම සිදු කරමින්, ව්‍යාප්ත කලේ ය.

ප‍්‍රන්සයේ ප්‍රන්සුවා ඔලන්ද්ගේ සමාජවාදී පක්ෂ ආන්ඩුව කම්කරු අයිතීන් සහ ආරක්ෂාවන්ට ප‍්‍රහාර එල්ල කරන කම්කරු “ප‍්‍රතිසංස්කරනවල” පලමු වටය ද පොහොසතුන්ට බදු කැපීමක් ද පනවමින් ස්ථාවර හදිසි තත්වයක් ද නියෝග කර ඇත ඇත. ඔහුගේ අනුගාමිකයා වන එම්මානුවෙල් මැක්‍රොන්, ඔලන්ද්ගේ ආන්ඩුව යටතේ ඇමතියකු වූ අතර අන පැනවීම් මාර්ගයෙන් වඩාත් දුරදිග යන කම්කරු නීති “ප‍්‍රතිසංස්කරන” පනවමින් වඩ වඩාත් සමාජ සුභ සාධන කප්පාදු සඳහා බල කරමින් සිටියි.

ඇජෙන්ඩා 2010 සහ හාර්ට්ස් නීති යටතේ පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමයේ පැවැති සුභ සාධක රාජ්‍ය විනාශ කිරීම ආරම්භ කලේ ජර්මනියේ 1998-2005 අතර පැවති සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී -හරිත පක්ෂ සභාග ආන්ඩුව යි. මෙම මැතිවරනය තුල දී ඒඑෆ්ඩී පක්ෂයට විකල්පයක් ඉදිරිපත් කිරීම නොව, නව ෆැසිස්ට්වාදීන්ට එරෙහිව හමුදාව යලි සන්නද්ධ කිරීමට කැඳවීමත් සංක‍්‍රමනිකයන්ට එරෙහි ප‍්‍රහාර තියුනු කිරීමත් සහ පොලීසිය ශක්තිමත් කිරීමත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පෙරදැරි කරගත්තේය. එස්පීඩී ය තම ප‍්‍රහාර එල්ල කලේ අන්ත දක්ෂිනාංශයට නොව, තමන් විසින් නම් කල “වාම- පාර්ශ්වයේ අන්තවාදයටයි”.

“වම” මගින් මෘග පටි තද කිරීම පැනවීමේ ආකෘතිය වන්නේ යුරෝපීය සංගමයේ පටිතද කිරීමේ නියෝග ප‍්‍රතික්ෂේප කිරීමට පොරොන්දුවෙමින් 2015 දී බලයට පැමින එම ක‍්‍රියාමාර්ගය අනුමත කර ඉදිරියට ගෙන ගිය ගී‍්‍රසියේ සිරිසා ආන්ඩුවය. ඊලඟට කප්පාදු වලට එරෙහි මහජන ජනමත විචාරනයකින් දුන් ඡුන්දය අභිභවා ගිය ආන්ඩුව, පෙර පැවැති කොන්සවේටිව් සහ ඩිමොක‍්‍රටික් ආන්ඩුවලට වඩා මෘග ලෙස පියවරයන් ගත්තේ ය.

“ඔබට විශ්වාස කල හැකි වෙනසක්” යනුවෙන් පොරොන්දු දෙමින් බලයට පැමිනි එක්සත් ජනපදයේ ඔබාමා පරිපාලනය වෝල් වීදියට ඇප ලබා දීම පුලුල් කරමින් ද සමාජ සුභසාධන සේවා සහ සෞඛ්‍යය සේවාවන්ට පහර දෙමින් ද ඇමරිකානු ඉතිහාසයේ පහල සිට ඉහලට වැඩිම සම්පත් ගලායාම අධීක්ෂනය කලේ ය.

දැන් ඩිමොක‍්‍රටික්වරු ට‍්‍රම්ප්ගේ ප‍්‍රහාරවලට එරෙහිව සංක‍්‍රමනිකයින් ආරක්ෂා කිරීම අත හැර දමා ඇති අතර ට‍්‍රම්ප්ගේ නව සහ පුලුල් සංචාරක තහනම පිලිබඳ ව මුනිවත රකිති. ඔව්හු, ධනවතුන් සඳහා බදු කැපීම සහ සෞඛ්‍ය සේවාවන්වලට එල්ල කෙරෙන ප‍්‍රහාර ඇතුලු ආර්ථික ප‍්‍රතිපත්ති මත ට‍්‍රම්ප් සමග එකට වැඩ කිරීමට ඇති සූදානම ප‍්‍රකාශ කර ඇත.

ධවල මන්දිරය උතුරු කොරියාවට එරෙහිව තාප න්‍යෂ්ටික සංහාරයකින් ද ඉරානයට එරෙහි යුද්ධය මගින් ද තර්ජනය කරන විට ඩිමොක‍්‍රටික් පක්ෂය රුසියාවට එරෙහිව තම මැකාතිවාදී උද්ඝෝෂනය වෙත උමතුවෙන් එල්බීගෙන සිටියි. මෙහිදී මොස්කෝවට එරෙහිව වඩාත් ආක‍්‍රමනකාරී ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට දැමීම සඳහා ට‍්‍රම්ප්ට බලකරන හමුදා/බුද්ධි අංශයෙහි “ගැඹුරු රාජ්‍යය” වන අධිකාරවත් කල්ලිය සමග එය සන්ධාන ගත වී ඇත.

ට‍්‍රම්ප්ගේ පදවි ප‍්‍රාප්තියට එරෙහිව එක්සත් ජනපදය සහ ලෝකය පුරාම මහජන උද්ඝෝෂන තිබියේ වුවත් (මෙය යටපත් කිරීමට වැඩ කල ඩිමොක‍්‍රටික්වරු රුසියාවට එරෙහි යුද විරෝධී ව්‍යාපෘතිය පිටුපස එම විරෝධය ගාල් කිරීමට වැඩ කලහ.), අද දින දේශපාලන මූලිකත්වය රඳා ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ ඇතුලෙහි සහ වටා පිටාවේ ඇති වඩාත්ම දක්ෂිනාංශික බලවේග මත ය.

ට‍්‍රම්ප් සහ ඔහුගේ බ‍්‍රයිට්බාට් නිව්ස් පුවත් පතේ හිටපු ධවල මන්දිර උපදේශක ස්ටීවන් බැනන් ඇමරිකාවේ ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට අත්වැල් බැඳගෙන වැඩ කරමින් සිටියි.

අඟහරුවාදා රිපබ්ලිකන් මූලික තරඟවටයෙන් ඇලබාමා සෙනෙට් සභා මැතිවරනයට ඉදිරිපත්වීමට තේරුන අන්ත දක්ෂිනාංශික ක්‍රිස්තියානි මූලධර්මවාදී රෝයි මුවර් ගිය සතියේ පැවැත්වූ ප‍්‍රචාරක රැලියකදී බෙනන් කම්කරුවන් සහ අනෙකුත් පීඩිත ස්තරවල සමාජ දුක්ගැනවිලි වලට ආයාචනය කල ෆැසිස්ට් වාදී කතාවක් පැවැත්වීය. ප‍්‍රකෝටිපති ගෝල්ඩ්මන් සැක්ස් හිටපු ආයෝජන බැංකු කරුවා “සංගතවාදී, ආධාර සපයන, උපදේශන සපයන, කේ වීදියේ ලොබි කරුවන්, ආනුභාව සම්පන්න තොරොම්බල්කාරයින්, දේශපාලකයින්ගේ පන්තිය” සහ “මෙරට වැඩකරන මිනිසුන් සහ ගැහැනුන්ට කරන ලද ආර්ථික වසයෙන් වෛරී අපරාධ” හෙලා දුටුවේය.

“ඔවුන් මෙරට කාබාසිනියා කර දැමුවා” යයි ඔහු ප‍්‍රකාශ කලේය. “ඔවුන් නිශ්පාදන රැකියා කාබාසිනියා කර ඒවා පිටරට පැටවූවා”. මත් උන්මාදයට ඇබ්බැහිවීමේ අර්බූදය ඔහු “කම්හල් සහ රැකියා චීනයට නැව් ගත කිරීමත් කම්කරුවන් පූර්න අපේක්ෂා භංගත්වයට ඇදහැලීම” සමග එකට ඈඳුවේය.

කම්කරු පන්තිය ඇමරිකාව තුල ඩිමොක‍්‍රටික් පක්ෂයට සහ ද්වි පක්ෂ ක‍්‍රමයට මෙන්ම යුරෝපයේ, ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ “වාම” ජාතිකවාදී පක්ෂ වලට නතුව තිබෙන තාක් දුරට ෆැසිස්ට් වාදය නැග ඒමේ තථ්‍ය අන්තරායක් තිබේ.

අන්ත දක්ෂිනාංශයේ වැඩී ඒමෙන් පැහැදිලි කෙරෙන්නේ ට‍්‍රම්ප්ට එරෙහි සටන කම්කරු පන්තිය ධනේශ්වරයට එරෙහිව මෙහෙයවීමෙන් වෙන්කර තැබීමේ බංකොලොත් බවය. සෑම රටකම එකම කාරනාවන් දැවැන්ත හදිසි බවකින් යුතුව ඉස්මතු කරනු ලැබ ඇත.

කම්කරු පන්තියේ විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයකට වඩා අඩු දෙයකින් දක්ෂිනාංශයේ වර්ධනය නතර කල නොහැකිය. රුසියානු ඔක්තෝබර් විප්ලවයෙන් වසර සියයකට පසුව, එම ඓතිහාසික සිද්ධිය මෙහෙයවන ලද ඉදිරිදර්ශනය යලි පන ගැන්විය යුතු ය. බොල්ශෙවිකයින් උදක්ම කියා සිටියේ අධිරාජ්‍යවාදී යුද්ධයටත් සමාජ අර්බුදයටත් පිලිතුර වනාහි ධනවාදයට එරෙහි සෘජු ප‍්‍රහාරය බව ය.

අද, එදා මෙන්ම, කම්කරු පන්තිය මූල්‍ය ප‍්‍රභූවේ සම්පත් අල්ලාගෙන, සමාජ අසමානතාවය වහාම අඩු කිරීම සඳහා එය භාවිතා කල යුතුය. ප‍්‍රධාන කර්මාන්ත සහ බැංකු පොදු අයිතිය යටතට ගනිමින්, ප‍්‍රමානවත් වැටුප් සහිත රැකියාත්, අධ්‍යාපනයත්, නිවෙස්, සෞඛ්‍ය පහසුකම් සහ සියල්ලටම සුරක්ෂිත විශ‍්‍රාම ජීවිතයන් ලබා දීමටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ඇති කල යුතුය.

බැරී ග්‍රේ

Share this article: