ට‍්‍රම්ප් විරෝධී “මාලිගා බල කොල්ලයක්” පිලිබඳ දූෂමාන ආරංචි සමගින් වොෂින්ටනය ගිනියම් වේ

Washington seethes with rumors of an anti-Trump “palace coup”

2017 ඔක්තෝබර් 13

නූතන ඇමරිකානු ඉතිහාසය තුල පූර්වාදර්ශයක් නොමැති දේශපාලන අර්බුදයක වොෂින්ටනය ගිලගැනේ. ආන්ඩුවේ ඉහල මට්ටම්වල වැඩිවන්නා වූ කටුක කන්ඩායමික ගැටුම් මධ්‍යයේ, ට‍්‍රම්ප් තනතුරෙන් පහ කිරීම ගැන කැබිනට් සාමාජිකයින් හා ඉහල මට්ටමේ නිලධාරීන් අතර රහස් සාකච්ඡා ඇති බවට වැඩෙන සමපේක්ෂනයක් පවතී.

ට‍්‍රම්ප් පාලනාධිකාරිය හා රිපබ්ලිකානු පක්ෂය අතර දේශපාලන යුද්ධය මෙම සතියේ උත්සන්න වූයේ, සෙනෙට් සභා විදේශ සම්බන්ධතා කමිටු සභාපති, සෙනෙට් සභික බොබ් කෝර්කර් උතුරු කොරියාවට එරෙහිව ට‍්‍රම්ප්ගේ තර්ජන එක්සත් ජනපදය “තුන්වැනි ලෝක යුද්ධ මාවතේ” මෙහෙයවමින් සිටින බව ප‍්‍රකාශ කිරීමෙන් පසු ය. ට්වීටර් පනිවිඩයක, කෝර්කර් ධවල මන්දිරය නම් කලේ ජනාධිපති නිරතුරු ව රැක බලා ගැනීම අවශ්‍ය කෙරෙන්නා වූ “වැඩිහිටි දිවා සුරකුම් මධ්‍යස්ථානයක්” ලෙස ය.

ජනාධිපති ට‍්‍රම්ප් විසින් එක්සත් ජනපද න්‍යෂ්ටික අවි ගබඩාව 10ගුනයකින් වැඩි කිරීමට උපදෙස් දෙනු ලැබූ බව පැවසෙන ඔහු හා ඉහල මිලිටරි නිලධාරීන් අතර ජූනි මාසයේ පැවති රැස්වීමකින් අනතුරව, රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ට‍්‍රම්ප් “මුග්ධයෙකු” ලෙස විස්තර කල බව එන්බීසී (ජාතික රූපවාහිනී විකාශන සමාගම) වාර්තා කලේ ය. ට‍්‍රම්ප් මෙම වාර්තාවට ප‍්‍රතිචාර දැක්වූයේ එන්බීසී වසා දැමිය යුතු බවට තර්ජනය කරමිනි. “එයට අවශ්‍ය ඕනෑ ම දෙයක් ලිවීමට මාධ්‍යයට හැකි ආකාරය අශික්ෂිත” බව ඔහු පැවසී ය.

බදාදා වැනිටි ෆෙයාර් වෙබ් අඩවිය තුල, ගේබ්‍රියල් ෂර්මන් මෙසේ සඳහන් කලේ ය, “ප‍්‍රමුඛ රිපබ්ලිකානුවන් දුසිම් භාගයක් හා ට‍්‍රම්ප්ගේ උපදේශකයින්...සියල්ලන් විස්තර කරන්නේ පැහදිලි එල්ලයක් හෝ අරමුනක් නැති එමෙන් ම අඳරු මනෝගතීන් විසින් විනාස කෙරෙන බව පෙනෙන ජනාධිපතිවරයෙකු පාලනය කිරීමට උපදේශකයින් පොර බැදීමත් සමග ධවල මන්දිරය අර්බුදයක තිබෙන” බව යි. ට‍්‍රම්ප් ඔහුගේ දීර්ගකාලීන ආරක්ෂක ප‍්‍රධානියා කීත් ෂිලර්ට මෙසේ පැවසූ බව සඳහන්වේ, “ධවල මන්දිරයේ සියලුදෙනාට ම මම වෛර කරමි. විශේෂ කීපදෙනෙකු සිටියත්, මම ඔවුන්ට වෛර කරමි.”

උතුරු කොරියාවට එරෙහිව න්‍යෂ්ටික අවි දියත් කිරීමට වන ඔහුගේ ඒකපාර්ශ්වීය අධිකාරිත්වය අත්හදා බැලීම මගින් ට‍්‍රම්ප් අභ්‍යන්තර දුෂ්කරතාවන්ට ප‍්‍රතිචාර දැක්වීමට ඉඩ ඇතැ යි ඉහල පෙලේ ධවල මන්දිර නිලධාරීන් කනස්සලු වන බව ෂර්මන් ඇඟවී ය. “ට‍්‍රම්ප් න්‍යෂ්ටික පලමු ප‍්‍රහාරය නියෝග කරන අවස්ථාවක දී ඔවුන් කල යුත්තේ කුමක් දැ යි (ධවල මන්දිර මාන්ඩලික ප‍්‍රධානී ජෝන්) කෙලී හා ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සාකච්ඡා කර ඇති බව පවා එක් හිටපු නිලධාරියෙකු අනුමාන කලේ ය. ‘ඔවුන්ට ඔහුව නවතාලීමට හැකිවේදැ?’යි එම පුද්ගලයා ඇසීය.”

පෙනෙන විදියට අභ්‍යන්තර සාකච්ඡා හසුරුවන, තීරු ලිපි රචකයින් කීපදෙනෙකු 25වැනි සංශෝධනය යොදාගනිමින් ට‍්‍රම්ප් පහ කිරීම ගැන විවෘතව සාකච්ඡා කර ඇත. ජනාධිපති මානසිකව හා ශාරීරිකව දුබල නම්, ඒ නයින් ඔහු “ඔහුගේ නිලයේ බලතල හා රාජකාරී ඉටු කිරීමට අසමත්” බව ගෙන හැර දක්වමින්, ඔහුගේ කැබිනට්ටුවේ බහුතරයකගේ ඡන්දය මගින් ජනාධිපති තනතුරෙන් ඉවත් කිරීමට හැකි බව 25වැනි සංශෝධනය සඳහන් කර යි.

වොෂින්ටන් පෝස්ට් වෙනුවෙන් ගතානුගතික “දකුනට හැරීම” නම් තීරු ලිපිය නිෂ්පාදනය කරන ජෙනිෆර් රූබින්, ඇගේ අලුත් ම තීරුලිපියේ ශීර්ෂපාඨයේ මෙසේ විමසුවා ය, “25වැනි සංශෝධන ක්ෂේත‍්‍රයට අප ලංවන්නේ කවදා ද?” ඇය අවසන් කල විගස බදාදා ප‍්‍රසිද්ධ කෙරුනු පෝස්ට් පත‍්‍රයේ ලිපියක පෝල් වෝල්ඞ්මන්, මෙසේ ප‍්‍රකාශ කලේ ය: “පෙනෙන හැටියට දෝෂාභියෝගය අප ට‍්‍රම්ප්ගෙන් ගලවා නො ගනු ඇත. නමුත් 25වැනි සංශෝධනය (එය) කිරීමට ඉඩ ඇත.” එකී තීරු ලිපි දෙක ම අනුගමනය කලේ, දෝෂාභියෝගයේ හැකියාව මතු කෙරුනු, “නුසුදුසු ජනාධිපතිවරයෙකු සමග කුමක් කරන්න ද” යන පෝස්ට් පත‍්‍රයේ ම කතුවැකිය යි.

මෙම ගැටුම් පිටුපස පවතින්නේ ජාත්‍යන්තර හා දේශීය ප‍්‍රතිපත්තිවලට සම්බන්ධ තීරනාත්මක ප‍්‍රශ්න මත පාලක පන්තිය තුල වන ගැඹුරු බෙදීම් ය. විශේෂයෙන් ම, උතුරු කොරියාවට එරෙහිව ට‍්‍රම්ප්ගේ කුරිරු තර්ජන රාජ්‍ය දෙපාර්තමේන්තුව හා පෙන්ටගනයේ සැලකියයුතු කන්ඩායම් සසල කර ඇත. කොරියාව සමග යුද්ධයක ප‍්‍රතිඵලය විය හැක්කේ මිලියන ගනනාවක් ජීවිත විනාස කිරීම හා කෝර්කර් පෙන්වා දුන් පරිදි, තුන්වැනි ලෝක යුද්ධය අවුලුවමින් චීනය හා රුසියාව සමග සෘජු ගැටුමකට ගමන් කිරීම යි. නමුත්, ට‍්‍රම්ප්ගේ විරුද්ධවාදීන් සම්බන්ධයෙන් ගත්විට, ජීවිත විනාස වීමටත් වඩා නරක වනු ඇත්තේ, එක්සත් ජනපදයේ ජාත්‍යන්තර තත්වයට ඇති කරනු ඇති පිරිමැසිය නො හැකි අසාමාන හානිය යි.

මාලිගා කුමන්ත‍්‍රනයක ශඛ්‍යතාව පිලිබඳ තිරය පිටුපස සාකච්ඡා යට පවතින අභිප‍්‍රායන් මොනවා වුවත්, එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය නො සලකා, එවැනි කුමන්ත‍්‍රනයක් ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මිනී පෙට්ටියේ අවසන් ඇනය තද කරනු ඇත.

කිසි සැකයකින් තොරව ඔහු නිලයෙන් නෙරපීමේ උත්සාහයට එරෙහිව ට‍්‍රම්ප් පරුෂ අන්දමින් විරුද්ධ වනවා ඇත. භියකරු ගැටුමේ ක‍්‍රියාදාම තුල දී, ට‍්‍රම්ප්ට පක්ෂ හා විරුද්ධ කන්ඩායම් දෙක ම සහාය සඳහා මිලිටරි හා ඔත්තුසේවා ඒජන්සිවලට ආයාචනා කරනු ඇත. ජය ගන්නේ කුමන කන්ඩායම ද යන්න නො තකා, මිලිටරිය හා ඔත්තුසේවා ඒජන්සි එක්සත් ජනපදයේ දේශපාලන ඉරනමේ අවසාන බේරුම්කරු ලෙස මතු වනු අත. ට‍්‍රම්ප් නිලයෙන් පහ කිරීම සිදු වුවෙහාත්, අන්ත ප‍්‍රතිගාමී උප ජනාධිපති, මයික් පෙන්ස් ජනාධිපති වනු ඇත.

ඔවුන්ගේ පැත්තෙන්, අර්බුදයට ඩිමොක‍්‍රටිකයන් ප‍්‍රතිචාර දක්වා ඇත්තේ එක්සත් ජනපදය තුල රුසියානු මැදිහත්වීම ගැන ඔවුන්ගේ නව-මැකාතිවාදී උද්ඝෝෂනය උත්සන්න කරමිනි, මෙය රුසියාව ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයට උදව් කලේ ය යනුවෙන් ගොතන ලද චෝදනා මත පමනක් නොව, මොස්කව් එක්සත් ජනපදය තුල “බෙදීම් වපුරමින්” සිටී යන්න මත ද වඩ වඩා යොමු කෙරේ. වාරනය හා අන්තර්ජාලය මත රාජ්‍ය පාලනය පැටවීමටත්, එමෙන් ම සමාජ හා දේශපාලනික විරුද්ධත්වයන් “විදේශීය හතුරෙකුගේ” අති දුෂ්ට මැදිහත්වීමක නිෂ්පාදනයක් ලෙස බැන වැදීමටත් තර්ක වර්ධනය කෙරෙමින් තිබේ.

ලෝසවෙඅ ජූනි මස ට‍්‍රම්ප්ගේ පාලක පන්ති විරුද්ධවාදීන්ගේ ක‍්‍රම පිලිබඳව මෙසේ අනතුරු ඇඟ වී ය: “ට‍්‍රම්ප්ට විරුද්ධ සිය ව්‍යායාමයේ දී ඔවුන් යොදාගන්නා විධික‍්‍රම වන මිලිටරි /බුද්ධි සංස්ථාපිතය සහ මහ සංගත-මූල්‍ය ප‍්‍රභූව තුල කොටස් අතර තිරයට පිටුපසින් ගෙනයනු ලබන එම සැලසුම් අති මූලික වශයෙන් ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ය.”

ට‍්‍රම්ප්ගේ පාලක පන්ති විවේචකයෝ ඔවුන්ට විසඳුමක් නැති ගෝලීය භූදේශපාලනික, ආර්ථික,මිලිටරි හා සමාජ අර්බුද පෙලකට ප‍්‍රතිචාර දැක්වීමට මංමුලා සහගත ලෙස යම් මාවතක් සොයමින් සිටිති. ට‍්‍රම්ප් හේතුව නො වේ, නමුත් ඊට ප‍්‍රතිකූලව පාලක පන්තියේ අවමංගතවීමේ හා මංමුලාවේ අත්‍යන්ත රෝග ලක්ෂනයකි.

පාලක ප‍්‍රභූවේ මෙම සතුරු කඳවුරුවලට මෙම අර්බුදය විසඳීමට ඉඩ හැරීම තරම් භියකරු දෙයක් තවත් නොමැත. ඔවුන්ගේ වෙනස්කම් කොතරම් කටුක වුවත්, පාලක කතිපයාධිකාරියේ සියලුම කන්ඩායම් ස්වාධීන බලවේගයක් ලෙස කම්කරු පන්තියේ නැගී ඒම වැලක්වීමට අධිෂ්ඨාන සහගත ය. ඔවුන්ට අර්බුදය විසඳීමට අවශ්‍ය ව ඇත්තේ ඔවුන්ගේ ගෝලීය උත්සුකයන්ට හානි නො කරන්නා වූ ද බලය මත ඔවුන්ගේ ග‍්‍රහනය දුර්වල නො කරන්නා වූ ද ආකාරයකට ය.

මෙම තත්වයට පැවතිය නො හැක. පන්ති පාලනයේ අර්බුදයට එහි අවශ්‍ය නිගමනය ලෙස ඇත්තේ පන්ති අරගලයේ වර්ධනය යි. “මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂින්ටනයේ දේශපාලන අර්බුදය සහ කම්කරු පන්තියේ මූලෝපාය” නම් තම ජූනි මස ප‍්‍රකාශනය තුල සමාජවාදී සමානතා පක්ෂය සඳහන් කල පරිදි:

එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර අර්බුදයේ වෛෂයික කොන්දේසි ද මහජන සමාජ විඥානයේ රැඩිකලීකරනය ද අතර අන්තර් ක‍්‍රියාකාරිත්වය පන්ති අරගලයේ පිපිරීම ලෙස ප‍්‍රකාශනය අත් පත් කරගනු ඇත. වෘත්තීය සමිති නිලධරය, ඩිමොක‍්‍රටික් පක්ෂය, සහ විවිධාකාර අනන්‍යතා දේශපාලනයේ ධනවත් අනුග‍්‍රාහකයන් විසින් දශක ගනනාවක් තිස්සේ පන්ති අරගලය යටපත් කරනු ලැබීම අවසානයකට ලංවෙමින් පවතී. පාලක ප‍්‍රභූන්ගේ සමාජ ප‍්‍රතිවිප්ලවය දැන් ඇමරිකානු කම්කරු පන්තියේ මහා නැගිටීමකට මුහුන දීමට ආසන්නව ඇත. වැඩපලවල, ජනප‍්‍රජාවන් තුල සහ සමස්ත නගරවල සමාජ විරෝධයේ විවිධාකාර ස්වරූප, නිශ්චිත කම්කරු පන්තික අනන්‍යතාවක්, ධනපති විරෝධී යොමුවක් හා සමාජවාදී ගතිලක්ෂන එන්න එන්නම අත්පත් කර ගනු ඇත. තනි තනි වැඩපලවල සහ ජනප‍්‍රජාවන්ගේ අරගල කම්කරු පන්තියේ පුලුල් ස්තරයන්ගේ ඒකාබද්ධ අරගලය තුලට ආකර්ෂනය කර ගනු ඇත.

කම්කරු පන්තියේ මෙම ව්‍යාපාරයට ඉගැන්විය යුතු තීරනාත්මක කාරනය වන්නේ, තමන්ගේ තාර්කික හා අත්‍යාවශ්‍ය අරමුන වන ධනවාදී පද්ධතිය පෙරලා දැමීම හා සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා, එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තර ව අරගලයට මග පෙන්විය හැකි දේශපාලන නායකත්වයක් ගොඩ නැගීමේ අරමුන පිලිබඳ සවිඤ්ඤානිකත්වයයි.

ජෝශප් කිෂෝර්

Share this article: