එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහි යුද්ධයේ අද්දර

The US on the brink of war with North Korea

2017 ඔක්තෝබර් 12

උතුරු කොරියාව සමග ගැටුමක් සඳහා එක්සත් ජනපද සූදානම දැඩි වෙමින් පවතින තතු තුල, කොරියානු අර්ධද්වීපයට ඉහලින් 11දා රාත්‍රීයේ බී - 1බී බෝම්බ හෙලන යානා පියාසර කරවීම, මුලු ශක්තියම යොදා කරන යුද්ධයක් සඳහා උතුරු කොරියාවෙන් කුපිත කරවන පෙරලා ප‍්‍රතිචාරයක් වෙනුවෙන් සැලසුම් කරන ලද්දකි.

මෙම සුපර්සොනික් බෝම්බ ප‍්‍රහාරක යානා සමග ජපන් සහ දකුනු කොරියානු ප‍්‍රහාරක යානා ප‍්‍රථම වරට කල ඒකාබද්ධ රාත්‍රී අභ්‍යාසයේදී, පලමුව දකුනු කොරියානු නැගෙනහිර මුහුදු වෙරලේ ද දෙවනුව බටහිර මුහුද වෙරලේ ද මුහුදේ ගුවනේ සිට ගොඩබිමට එල්ල කරන මිසයිල භාවිතා කලේය. උතුරු කොරියාව සමග යුද්ධය සඳහා සිදු කෙරෙන මෙම පෙරහුරුවට කලින්, ප‍්‍රථම වතාවට පසුගිය මාසයේදී, මෙම සියවස ආරම්භයේ සිට උතුරු කොරියානු මුහුදු වෙරලේ වඩාත්ම උතුරට ගමන් ගත් බී- 1බී බෝම්බ හෙලන යානා දෙකක් පියාසර කරවන ලදී.

ඒ සමගම පෙන්ටගනය, කොරියානු අර්ධද්වීපයට ඔබ්බෙන් යුද නෞකා සමූහයක් පෙලගස්වමින් සිටියි. 6 සෙනසුරාදා දකුනු කොරියාවට යූඑස්එස් ටුස්කොන් තාප න්‍යෂ්ටික ප‍්‍රහාරක සබ්මැරීනය පැමිනියේ ය. යූඑස්එස් රොනල්ඩ් රීගන් ගුවන්යානා ප‍්‍රවාහන නෞකාව සහ එහි ප‍්‍රහාරක අධිවේගී යුද නෞකා දකුනු කොරියානු නාවික හමුදාව සමග ඒකාබද්ධ අභ්‍යාස සඳහා මෙම මස අගදී පැමිනීමට නියමිත ය.

ට‍්‍රම්ප් පරිපාලනයේ යුද තර්ජන හා ප‍්‍රකෝප කිරීම් සහිත නිර්දය ව්‍යායාමය පැහැදිලි කරන්නේ, චීනය සහ රුසියාව වැනි මහා බලවතුන් ද ඇදගත් තාප න්‍යෂ්ටික යුද්ධයක් යථාවක් වන බවයි. රට තුල වැඩි දියුනු වෙමින් පවතින දේශපාලන අර්බුදයට මුහුන දී ඇති තතු තුල එක්සත් ජනපද ජනාධිපති, උතුරු කොරියාව සමග යුද්ධය, තම පරිපාලනය නගා සිටුවන මාධ්‍යයක් ලෙසත්, රට තුල දේශපාලන විරෝධය යටපත් කිරීමේ මාධ්‍යයක් ලෙසත් දැක ගන්නේය.

මිලිටරි තර්කනයේ දෘෂ්ටි ආස්ථානයෙන් ගත් විට එක්සත් ජනපදය, සිතාමතාම පියොන්යැන්ග් ආන්ඩුව බිත්තියට හේත්තු කර ඇත. පසුගිය මස පැවැති එක්සත් ජාතීන්ගේ සමුලුව තුල තම ෆැසිස්ට්වාදී කථා තුලින් ට‍්‍රම්ප්, එක්සත් ජනපදයේ ඉල්ලීම් වලට මුලුමනින්ම යටත් නොවන්නේ නම් උතුරු කොරියාව “මුලුමනින්ම වනසා දමන” බව ප‍්‍රකාශ කලේය. රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් රාජතාන්ත්‍රික කටයුතු තුල තම “කාලය අපතේ යවන” බවට තරවටු කරමින් ඔහු පියොන්යැන්ග් සමග කුමන හෝ සාකච්ඡාවක් ප‍්‍රතික්ෂේප කලේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ට‍්‍රම්ප් කල කථාවට ප‍්‍රතිචාර දැක්වූ උතුරු කොරියානු විදේශ ඇමති ප‍්‍රකාශ කලේ, එය යුද්ධ ප‍්‍රකාශ කිරීමට සමාන බව ත් ජාත්‍යාන්තර අහසේ ගුවන් සීමාව තුල එක්සත් ජනපද මූලෝපායික බෝමබ ප‍්‍රහාරක ගුවන් යානා බිම හෙලීම ඇතුලු ප‍්‍රතික්‍රියාවන් සඳහා තම රටට අයිතිය පවතින බවත් ය. එහෙත් පෙන්ටගනය උතුරු කොරියාව ආසන්නයේම යුද අභ්‍යාස පැවැත්වීම සඳහා අඛන්ඩව බී - 1බී ගුවන් යානා යවමින් සිටියි.

දහස් ගනන් තාප න්‍යෂ්ටික ආයුධ වලින් මුලුමනින්ම සන්නද්ධ වී ඇති ග‍්‍රහලෝකයේ වඩාත්ම බලවත් හමුදාවට මුහුන දෙන පියොන්යෑන්ග් ආන්ඩුවට නිගමනය කල හැක්කේ, තමන්ගේ හමුදාව සමස්ථ විනාශයකට ගොදුරු වීමට පෙරාතුව අවි ගබඩාවේ ඇති තම සීමිත තාප න්‍යෂ්ටික අවි වලින් ප‍්‍රථම ප‍්‍රහාරය එල්ල කල යුතු බව යි. සෑම බී - 1බී ගුවන් මෙහෙයුමක්ම පියොන්යැන්ග් හි ජෙනරාල්වරුන්ට හදිසි ප‍්‍රශ්නය මුන ගස්සයි; මෙය තවත් අභ්‍යාසයක් ද නැතහොත් මුලු බලය යොදා සිදු කිරීමට නියමිත ප‍්‍රහාරයක ආරම්භය ද යන්නයි ඒ.

උතුරු කොරියාවට එරෙහි වොෂින්ටනයේ යුද්ධය සඳහා හමුදා සූදානම් කෙරෙමින් ඇත. 9දා ඉහල හමුදා නිලධාරීන්ට පැවැත් වූ දේශනය තුල දී ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් ඉල්ලා සිටියේ, හමුදාව “අවශ්‍යම වූ විටෙක අපගේ ජනාධිපතිට ක්‍රියාවෙහි යෙදවිය හැකි මිලිටරි විකල්පයන් අප සතුව ඇති බව සනාථ කිරීමට සූදානම් විය යුතු” බවයි.

එහිදීම කථා කල එක්සත් ජනපද හමුදා අනදෙන නිලධාරී රොබට් ඒබ‍්‍රහම්ස්, “දෙවන ලෝක යුද්ධය මාදිලියේ, මුලු බලයම යොදා කරන යුද්ධයක් දියත් කිරීමට ඇමරිකානු හමුදා යැවීමෙහි කටුක යථාර්ථය, විශාල හමුදා ජීවිත හානියයි” පැවසීය.

මැතිස් සහ ඒකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ඩන්ෆෝර්ඩ්, 10දා ට‍්‍රම්ප් මුන ගැසුනු අවස්ථාවේ, “එක්සත් ජනපදයට සහ තම සගයන්ට උතුරු කොරියාව තාප න්‍යෂ්ටික ආයුධ වලින් තර්ජනය කිරීම වැලැක්වීම” ඇතුලු මිලිටරි විකල්ප ගැන සාකච්ඡා කලහ. වෙනත් වචනවලින් පවසතොත් ට‍්‍රම්ප් පරිපාලනය, උතුරු කොරියාව සතු කුඩා න්‍යෂ්ටික අවි වලින් ඇමරිකාවට තර්ජනයක් එල්ල කෙරෙන්නේය යන කඩ තුරාව යටතේ නීති විරෝධී ආක‍්‍රමනික යුද්ධයක් දියත් කිරීමේ අද්දරට පැමින ඇති බවයි.

උතුරු කොරියාවට එරෙහි ඇමරිකානු ප‍්‍රහාරයක්, ආතතීන් සැහැල්ලු කර යලි සාකච්ඡා ආරම්භ කිරීම සඳහා නිරන්තරයේන් කැඳවුම් කරන, චීනය සහ රුසියාව සමග ගැටුමක් කරා පැතිර යාම අනිවාර්ය වෙයි. තම දේශසීමාවන් සමීපයේ යුද්ධයක් සහ පියොන්ග්යැන්ග් හි ඇමරිකානු රූකඩ ආන්ඩුවක් ඇටවීම, ආසියාව තුල තම මූලෝපායික අවශ්‍යතාවලට සෘජුවම වල කපනු ඇති බව එම රටවල් වටහාගෙන සිටිති. තව ද උතුරු කොරියාව යටත් කිරීම, ආසියාව සහ ලෝකය පුරාම ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කිරීම පිනිස, චීනයට වල කැපීමේත්, වටලෑමේත්, අවශ්‍ය නම් යුද්ධයකට යාමේත් වොෂින්ටනයේ පුලුල් අභිලාෂයෙහි කොටසක් වෙයි.

ට‍්‍රම්ප්, බීජීනයට එරෙහිව රාජ්‍යතාන්ත්‍රිකව, ආර්ථිකව සහ මිලිටරිමය වශයෙන් සියලුම පෙරමුනු වලින්, ඔබාමා පරිපාලනයේ ඊනියා “ආසියාවට හැරීම” වැඩ පිලිවෙල වේගවත් කර ඇත. ඔහු කලාපය පුරාම ඇමරිකානු සබඳතා ශක්තිමත් කරමින් ද චීනය සමග වෙලඳ යුද්ධයක තර්ජනය එල්ල කරමින් ද කොරියානු අර්ධද්වීපයේ පමනක් නොව දකුනු චීන මුහුදේදී ද බීජීනය සමග මිලිටරි ප්‍රකෝපකරනයේ යෙදී සිටී. 10දා ඇමරිකානු අධිවේගී ප‍්‍රහාරක නෞකාවක්, බීජීනය “මුහුදු අයිතීන්” වලට අභියෝග කිරීම සඳහා චීනයේ පාර්සල් දූපත් කලාපය තුලට ප‍්‍රකෝපකාරී ලෙස ඇතුලු විය.

යුද්ධය කරා වන ඇමරිකානු ව්‍යායාමය, සරලවම ෆැසිස්ට් වර්ගයේ ජනාධිපති ට‍්‍රම්ප්ගේ නිෂ්පාදනයක් නොවේ. එයට ප‍්‍රතිකූලව, තම මිලිටරි බල මහිමය ප‍්‍රකෝපකාරී ලෙස භාවිතා කිරීමෙන්, එරට ඓතිහාසික පසු බැසීම ජය ගැනීමට මංමුලා සහගතව පසුවන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ, ගැඹුරු වෙමින් ඇති දේශපාලන, සමාජ සහ ආර්ථික අර්බුදයේ ප‍්‍රකාශනයක් ට‍්‍රම්ප් පිලිබිඹු කරයි. මැද පෙරදිගත්, මධ්‍යම ආසියාවේත්, උතුරු අප්‍රිකාවේත් එකක් පසු තවෙකක් ලෙස ව්‍යසනයන්ට මුහුන දෙන වොෂින්ටනය, පලමු අවස්ථාවේ දීම චීනය සහ රුසියාව යන තම ප‍්‍රධාන ප‍්‍රතිමල්ලවයන් සමග සෘජු ගැටුමක් සඳහා ඔට්ටු අල්ලමින් ද සූදානම් වෙමින් ද සිටියි.

පුලුල් ලෙස යුද්ධයට සහ කප්පාදුවට එරෙහි මහජන විරෝධය හමුවේ, ධවල මන්දිරය ද ඇතුලු ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය තුල පැනනැගී ඇති දැවැන්ත ආරාවුල සහ ගැටුම් තවත් උත්සන්න වී ඇත. ට‍්‍රම්ප් ප‍්‍රසිද්ධියේම ටිලර්සන් සහ මැතිස් යන දෙදෙනා සමගම පොර අල්ලමින් සිටියි. මොවුන් දෙදෙනා යෝජනා කලේ, උතුරු කොරියාවට එරෙහි යම් ප‍්‍රහාරයකට පෙරාතුව, රාජ තාන්ත්‍රික ප‍්‍රයත්නයන් අවසන් කල යුතු බවයි. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ, යුද්ධය කෙරෙහි වන විරෝධයක් නොව, ආක‍්‍රමනයකදී ක්ෂනිකවම පුපුරා ආ හැකි යුද විරෝධී මහජන ව්‍යාපාරයකට ඇති ඔවුන්ගේ භීතියයි.

අභ්‍යන්තර ගැටුමේ කටුක බව ඉහල මට්ටමේ පෙන්ටගන් රැස්වීමකින් අනතුරුව ටිලර්සන්, තනතුරෙන් ඉවත් වීමට තර්ජනය කරමින් ට‍්‍රම්ප් “මුග්ධයා” යනුවෙන් පැවසූ බව පසුගිය සතියේ විශ්වාසදායක මූලාශ‍්‍රයක් මත පදනම් වූ ලිපියක් එන්බීසී මාධ්‍යයේ පලවීමත් සමග එලියට පැමිනියේය.

11දා එන්බීසී ය වාර්තා කලේ, ටිලර්සන් මෙම ප්‍රකාශය සිදු කිරීමට පෙලඹුනේ, ඇමරිකානු න්‍යෂ්ටික අවි සංඛ්‍යාව දහ ගුනයකින් වැඩි කිරීමට ට‍්‍රම්ප් යෝජනා කිරීමෙන් පසුව බවය. මෙ මගින් ඇමරිකාව, න්‍යෂ්ටික ගිවිසුම් සියල්ලම උල්ලංඝනය කරන පරිපූර්න චෞර රාජ්‍යයක් බවට පත් කරයි.

උතුරු කොරියාවට එරෙහි කඩා වැදීම් තව දුරටත් උත්සන්න කරන තතු යටතේ සිදු කල හැකි මර්දනය පිලිබඳ තැති ගැන්වෙන සුලු ට්වීටර් ප‍්‍රකාශනයකින් ට‍්‍රම්ප්, ඉහත කථාව නිසා එන්බීසී සේවයෙහි විකාශන අවසර පත‍්‍රය අත්හිටවන බවට තර්ජනය කලේය.

ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක සමපේක්ෂනයක් ඇවිලෙමින් තිබේ. ඇමරිකානු පාලක කවයන්හි ගැඹුරු ඉරි තැලීම්, “නුසුදුසු ජනාධිපති කෙනෙකු සමග කරන්නේ කුමක් ද” යන හිසින් 10දා වොෂින්ටන් පෝස්ට් පත‍්‍රයේ කතුවැකියකින් සාරාංශ ගත කලේය.

දේශපාලන අර්බුදය යුද ව්‍යායාමය නවතනවා නොව එහි අනතුර උග‍්‍ර කරනවා පමනි. රට ගැටුම් වලින් ඉරි තලා ඇති අතර තමන් එරී ඇති ගොහුරුවෙන් මිදීම සඳහා, රට තුල පවතින දේශපාලන සහ ආර්ථික ආතතීන් විදේශ සතුරකු වෙත හරවා යැවීමට ට‍්‍රම්ප්ට බල කෙරී ඇත. ඔහුගේ විවේචකයෝ සහ විරුද්ධවාදීයෝ යුද්ධයට එරෙහි නොවේ. එනම් බොහෝ පිරිසක් පසුගිය වසර 25 පුරා ඇමරිකාව සිදු කල ආක‍්‍රමනයන්ට සාපරාධී ලෙස වගකිව යුතුයි. ඔවුන්ගේ මතභේද හුදෙක් උපායාත්මකය. එනම් ප‍්‍රහාරය දියත් කල යුතු වන්නේ කෙසේ ද හා පලමුව කාට එරෙහිව ද යන්න මතය.

එක්සත් ජනපදය තුලත් ජත්‍යන්තරවත් කම්කරු පන්තියේ යුද විරෝධී මහජන ව්‍යාපාරයක වර්ධනයක් නොමැති නම්, යුද්ධය විය හැක්කක් පමනක් නොව අනිවාර්ය ද කෙරේ. මෙවැනි ව්‍යාපාරයක් පවතින බලවතුන්ට ආයාචනා කිරීම මත පදනම් නොවිය හැකි අතර, මානව සංහතිය අගාධයට ඇද දැමීමට තර්ජනය කරන රෝගී ධනපති පද්ධතිය අහෝසි කරන විප්ලවාදී සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් කල යුතුය.

පීටර් සීමන්ඩ්ස්

Share this article: