නිව්යෝක් ටයිම්ස් පුවත්පත සහ විරෝධාකල්ප සාපරාධීකරනය

The New York Times and the criminalization of dissent

2017 ඔක්තෝබර් 11

විසින් පරිගනක “හැක්කිරීම” (අපහරනය) සහ ඇමරිකානු ඡන්ද විමසිම් වලට අත පෙවීම කලේය යන චෝදනා උඩ ඇමරිකානු මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය විසින් ගෙනයන උද්ඝෝෂනය, දැන් විරුද්ධ මත දැරීම අපරාධයක් ලෙස නම්කල යුතුය යන වඩවඩාත් වියරු ඉල්ලීමක් බවට පෙරලනු ලබමින් තිබේ.

ට‍්‍රම්ප් පාලනයේ ප‍්‍රථම මාස කිහිපය ඇතුලත ,එක්සත් ජනපද දේශපාලනයට රුසියානු අතපෙවීම් පිලිබඳ චෝදනා ප‍්‍රාථමික වශයෙන්ම යොදාගනු ලැබුවේ විදේශ පිලිවෙත කේන්ද්‍ර කරගත් ප‍්‍රශ්න ගැන ඇමරිකානු පාලක පන්තිය තුල ගැටුමක් නිර්මානය කිරීම සඳහාය. දැන් එක්සත් ජනපදය තුල පවත්නා සකල විරෝධතාවන් ම “විදේශීය සතුරෙකුල ගේ වැඩ වලට එරෙහිව ගොනු කරගැනීමේ උත්සහයක් දක්වා රුසියානු -විරෝධී මෙහෙයුම දැන් වැඩී අවුත් තිබේ.

සෙනට් මන්ඩල බුද්ධි කමිටුව විසින් සමාජ ජාල සමාගම් වලින් එක්රැස් කරගෙන ඇතැයි කියන තොරතුරු ගොනු කරගත් විකාර ලිපි මාලාවක් එක්සත් ජනපද පුවත් පත්වල පලවී තිබේ. මෙයින් අලුත්ම එක ගිය අහරුවාදා නිව් යෝක් ටයිම්ස් පුවත් පතේ පලවිය. එම පුවත් පතේ ප‍්‍රථම පිටුවේ පලවූ, (රුසියානුවෝ ඇමරිකානු වන්ගේ කෝපය ආයුධයක් කර ගනිති: එක්සත් ජනපදය තුල ෆේස්බුක් ලිපි මගින් උද්ඝෝෂනය උග‍්‍ර කර තිබේ) නැමති ලිපිය වනාහි, හරයක් නැති සමපේක්ෂන සහ සාධක රහිත නිගමන පිරුනු තනිකර දේශපාලන ප‍්‍රචාරනයකි.

ද ටයිම්ස් පුවත්පත කියා සිටින්නේ ඇමරිකානුවන් සමාජ මාධ්‍යතුල කරන පලකිරීම්, ක්‍රෙම්ලිනය උදෙසා ප‍්‍රචාරනයේ යෙදුනු අබිරහස් රුසියානු සමාගමක් හා බැඳුනු ෆේස්බුක් පිටු ජාලයකට අමුද්‍රව්‍ය බවට පත්ව ඇති බවය. මෙවන් ෆේස්බුක් පලකිරීම් සියගනනක් සමාලෝචනය කල බව කියන පුවත්පත තමන් පහත සඳහන් නිගමනයට එලැඹුනු බව ලියයි, “රුසියානු ඒජන්තයන් ඇමරිකානු දේශපාලනය වෙනස් කොට සකසාගැනීමට යොදාගත් බලගතුම අවිවලින් එකක් නම් සැබෑ ඇමරිකානුවන් සමාජ මාධ්‍ය මගින් පතුරවා හරින කෝපය, ආවේගය සහ සාවද්‍ය තොරතුරු ය.”

මෙම ලිපිය මගින් යුනයිටඩ් මුසලිම්ස් ඔෆ් ඇමරිකා (ඇමරිකාවේ එක්සත් මුස්ලිම් වරුන්), බීන්ග් පෙට්‍රියොටික් (දේශානුරාගී වීම), සිකියෝඩ් බෝඩර්ස් ( සුරක්ෂිත දේශසීමා) සහ බ්ලැක්ටිවීස්ට් ඇතුලු ෆේස්බුක් පිටු ගනනාවක් නිර්නාමික රුසියානු සමාගමකට අයිති සහ එවිසින් පාලනය කෙරෙන ඒවා ලෙසට කිසිඳු සාක්ෂියකින් හෝ වග විභාගයකින් තොරව නම් කර ඇත.

ටයිම්ස් ලිපියේ මුලූ ප‍්‍රස්තුතය ම අභූතයකි. රුසියාව හා සම්බන්ධ පිටු කෝපයේ ප‍්‍රකාශනයන් වාර්තාකිරීම සහ බෙදාහැරීම කරන බව ද අතෘප්තිය සහ භේද වපුරන බවද මෙහි කියා ඇත. උදාහරනයක් හැටියට යුනයිටඞ් මුස්ලිම්ස් ඔෆ් ඇමරිකා නම් වෙබ් අඩවිය “මුස්ලිම් වරුන්ට එරෙහි වාර්ගික වෙනස්කම් කිරීම ඉස්මතුකරන කරුනු නිතරම පලකරයි.” කෙසේ හෝ වේවා මේවා සාපරාධී ක‍්‍රියාය. මුලින් ම, මේ කරුනු ඉදිරිපත්කල අය වේවා, බෙදා හදා ගත් අය වේවා හොඳම විදියට ගත්තත් රුසියානු ඉත්තන්ය, නරකම විදියට ගත්තොත් කුමන්ත‍්‍රනයක හවුල් කාරයන්ය.

ටයිම්ස් පුවත් පත ”බීන්ග් පෙට්‍රියොටික්” නම් කන්ඩායම පලකල ප‍්‍රකාශයක් බෙදා හැරි ට‍්‍රම්ප් ආධාරකරුවෙකු “තමා නොදැනුවත්වම රුසියානු ප‍්‍රචාරක යන්ත‍්‍රයේ අංගයක් බවට පත්වීම ගැන වද නොවන්නෙක් ලෙස” වර්ගීකරනය කලේය.

රුසියානු අතපෙවීම් පිලිබඳ මෙම කතන්දර පෙනී යන්නේ පීඩනොන්මාදයෙන් උමතුව සිටින රෝගීවූ පුද්ගලයන් ගේ මනෝ විකාරයන් මෙන්ය. සෙනෙට් බුද්ධි කමිටුවේ සාමාජිකයෙකු වූ රිපබ්ලිකන් සෙනෙට් මන්ත‍්‍රී ජේම්ස් ලන්ෆොර්ඩ් , කලින්කල ප‍්‍රකාශයක් අනුව, පොලිස් චන්ඩයට විරෝධය දක්වීම්වස්, ඇමරිකානු ජාතික ෆුට්බෝල් ලීගයේ ක‍්‍රීඩකයන් කරගෙන යන ක‍්‍රියාවක් වූ ජාතික ගීය ගයනවිට දනගැසීමට, වගකිව යුතු වන්නේ රුසියානු “භූතයන්” ය. ඔහු කියන්නේ ඇමරිකාව තුල ඝෝෂා මට්ටම උත්සන්න කිරීමට රුසියානු ‘භූත ගොවිපල’ වැඩට බැහැගෙන ඉන්නා බවකි.

ජනාධිපති වරනයේ දී සිදුවී යැයි කියනලද රුසියානු ඇඟිිලි ගැසීම පිලිබඳ සෙනෙට් බුද්ධි කමිටු රැස්වීම්වල දී සාක්ෂි දුන්නා වූද, මාධ්‍ය විසින් බොහෝවිට උපුටා ගැනෙන්නා වූද, ක්ලින්ට් වොට්ස් නමැති, හිටපූ එෆ්බීඅයි නියෝජිතයා ලන්ෆෝර්ඞ් ගේ කතාවලට මෙසේ පිලිතුරු දුනි, “රුසියනුන්ට පැත්තක ඉඳගෙන මෙසේ කිව හැකිය: දෙපැත්තම උසිගන්වනු, මිනිසුන් කොටවනු. එය හරියනු ඇත. වැඩ කරනවා ඇත. දෙයියනේ ඒක හරි යාවි මිනිහෝ.”

මෙවන් කතාමගින් මැකාතිවාදී කාල පරිච්ජේදය තුල යොදා ගත් නරකම උපාය යලිත් පෙරට ගෙනෙමින් පවතී. ඒ කාලයේ, ”කොමියුනිස්ට්කාරයින්ට රැවටුනවුන්” යැයි චෝදනා කරන ලද අතර දැන් “රුසියන් කාරයින්ට රැවටුන වුන්” යැයි කියනු ලැබේ. (සෝවියට් සංගමය මෙයට සියවස් කලකට පෙර විසුරුවා හරින ලද බව නොතකා ම, ‘ජීකිව්’ නම් සඟරාව මෑතදී පලකල ලිපියක් සමග වූ චිත‍්‍රනයක ගූගල් යන වචනයේ ‘G’අකුර වෙනුවට දෑකැත්තක් සහ මිටියක් යොදා ගෙන තිබුනි.) මේ පිලිවෙතට අනුව විරුද්ධමතද, විරෝධයද අර්ථකතනය කරනු ඇත්තේ අභ්‍යන්තර භේදයන්ගේ සහ සමාජ ආතතීන්ගේ විපාක ලෙස නොව, විදේශීය බලයක තුච්ඡ කුමන්ත‍්‍රන වල මැවීමක් ලෙසය.

ද ටයිම්ස් පුවත් පතේ ලිපියේ දක්නට ලැබෙන සමහර පේලි, ජෝ මැකාර්ති නම් සෙනෙට් මන්ත‍්‍රීවරයා ගේ නිවේදන හෝ ජේ. එඩ්ගාර් හුවර් ජනාධිපති වරයාගේ ලිපි ගොනුවකින් කෙලින්ම ගත් ඒවා හා සමාන බව පෙනීයයි. එය මෙසේ කියයි: “පෙනී යන පරිදි” රුසියානුවන් “ඇමරිකාවේ සමාජ මාධ්‍ය වේදිකා වලට කාවැදී ගෙන, තමන්ගේ සුරතල් සතුන් පිලිබඳ වීඩියෝ, ගුවන් යානා සමාගම් ගැන පැමිනිලි සහ පෞද්ගලික හෑලි බෙදා හදා ගැනීමට සාමාන්‍ය ජනයා යොදාගන්නා වේදිකා සිය ප‍්‍රචාර යොදාගෙන ඇති බවක් පෙනී යයී.” මෙම ලිපිය “විදේශ බලපෑම් සහිත සමාජ වෙබ් අඩවි ජාලයන් සුන්නද්ධූලි කිරීම” ගැන කතා කරයි.

මෙම ප‍්‍රධාන “රහස්‍ය ප‍්‍රචාරක මෙහෙයුමේ” අධ්‍යාසය කුමක් වීද ? “එක්සත් ජනපද සෙනෙට් මන්ඩල පරීක්ෂකයන්ට අනුව, රුසියානු සමාගම් ටයිම්ස් පුවත්පත විසින් දක්වන ලද පනිවුඩය සහිත ෆේස්බුක් දැන්වීම වැනි දේවල් ප‍්‍රචාරනය කිරීමට ඩොලර් /100,000ක් වියදම් කර තිබේ.

නිව් යෝක් ටයිම්ස් පුවත් පතේ (“මැතිවරන දැන්වීම් රුසියානුවන්ට සම්බන්ධ බව ගුගල් පරීක්ෂනය එලිදරව් කරයි”යන නමින් යුතු) තවත් ලිපියක් කියා සිටින්නේ “රුසියානු ආන්ඩුවට සම්බන්ධයයි කියන ගිනුම” ඩොලර් 4,700ක මුලු මුදලක් ගෙවා වෙලඳ දැන්වීම් මිලදී ගෙන තිබෙන අතර, වෙනම ඩොලර් 53,000ක්, දේශපාලන කැරුනු වලින් සමන්විත දැන්වීම් තොගයක් රුසියානු අන්තර්ජාල මාධ්‍ය, රුසියානු ගොඩනැගිලි ලිපින වලට, එසේත් නැතිනම් රුසියනු මුදලින් මිලදී ගනු ලැබ ඇත යනුවෙනි.

මේ වනාහි මහා සංගත විධායකයන් ද ඇමරිකානු ධන කුවෙරයන්ද විසින් මුදල් සම්භාරයක් යටකල මැතිවරන මෙහෙයුම විසින් වියදම් කෙරෙන ධනය හා සමකල කල්හි අංශුමාත‍්‍ර පංගුවක් පමනි. ගිය ජනාධිපතිවරනයේ දී ක්ලින්ටන් ගේ සහ ට‍්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරද ද ඔවුන්ට සහයෝගය දුන් සංවිධානයන්ද විසින් ඩොලර් බිලියන 2.65 තරම් මුදලක් වියදම් කරන ලදී. ගිය අවුරුද්දේ සමස්ත ෆෙඩරල් චන්ද විමසීම් වලට ඩොලර් බිලියන 7ක් පමන වියදම් කැරිනි. එහෙත්, රුසියානු ආන්ඩුව විසින් මෙහෙයවුනු දැවැන්ත යයි කියන ලද රාජ්‍ය විරෝධයේ සහ ප‍්‍රචාරනයේ මහා මෙහෙයුමට වියදම් වූ මුදල වනාහි ෆේස්බුක්, ට්විටර්, සහ ගූගල් වලට කරනලද වියදම ඩොලර් දස දහස් හෝ ලක්ෂ ගනනක් පමනි.

මේ නිගමන වලින් ගම්‍ය වන විපාක මෙතරම් බරපතල නොවී නම් , සිදුවනු ඇත්තේ ඒවා හාස්‍යජනක වීමයි.

ඩිමොක‍්‍රටික් පක්ෂය සහ එක්සත් ජනපද බුද්ධි අංශ සමග ඉතා සමීප සහයෝගයකට එලඹ සිටින නිව් යෝක් ටයිම්ස් පුවත් පත යෙදී සිටින්නේ නොඅඩුවම සාපරාධී ව්‍යායාමයක ය. එය යෙදී සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය තුල විරුද්ධ මත දැරීම නීති විරෝධි කොට, අන්තර්ජාලය ප‍්‍රමුඛව, අදහස් ප‍්‍රකාශනය තහනම, අපලේඛනය හා මර්දනය කිරීමට දැරෙන රාජ්‍ය ප‍්‍රයත්නය යුක්ති සහගත් කිරීමේ, දේශපාලන කුමන්ත‍්‍රනයකයි. රුසියානු ආන්ඩුව වෙනත් අය නිර්මානය කරන අන්තර්ගතයක් හුදෙක් විස්තෘත කිරීම පමනක් කරන්නේ නම් එවිට තර්කානු කුල නිගමනය වන්නේ - පොලිස් ප‍්‍රචන්ඩය සහ වෙනත් අපරාධ පෙන්නුම් කරන වීඩියෝ ද ඇතුලුව - එම මුල් අන්තර්ගතයම තහනම් කර දැමිය යුතුය යන්නයි.

රුසියානුවන් ටයිම්ස් පුවත්පතින් ම පවා, එක්සත් ජනපදයේ සමාජ අතෘප්තිය පරික්ෂනයට බඳුන් කරන ඕනෑම කාරනයක් හෝ ලිපියක් අල්ලාගෙන ප‍්‍රචාරනය ට ලක්කිරීම සිදුවිය හැක්කකි. එවන් “විදේශීය අතපෙවීමක්” වැලැක්වීමට නම් ඒකාධිපතිත්වයකදී පවතින ආකාරයට සකල මාධ්‍යයන් ම වාරනයට භාජනය කිරීම මෙන්ම ඒවා විසින්ම වාරනය වී ගැනීමද, අවශ්‍ය වන්නේ ය.

රුසියානු අතපෙවීම පිලිබඳව කෙරෙන මුසාකරන ව්‍යායාමයේ මූලික ඉලක්ක වනාහි රුසියාව නොව, ඇමරිකානු ජනකාය යි. රාජ්‍ය සංස්ථාවන් මෙන්ම ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙකමද ගැඹුරින්ම අපකීර්තියටත්, පලල් වෛරයටත් පත්ව ඇත. ඇමරිකානු සමාජය දැවැන්තව අසාමාන බවද, පෝසතුන් දේශපාලන පර්යාය පාලනය කරනු බව ද, පොලිසිය දෛනික ව මුර්ග ප‍්‍රචන්ඩ ක‍්‍රියාවල නිරතව සිටිනා බවද දැනගැනීමට කම්කරු පන්තියට රුසියානු හෝ චීන ආන්ඩු උවමනා නැත.

අන්තර්ජාලය පාලනය කිරීමද එමගින් නිදහසේ කතාකිරීම වැලැක්වීමද ඇමරිකානු පාලක පන්තියට පවත්නා මූලික මූලෝපායික ප‍්‍රශ්නයකි. තොරතුරු පතුරුවාලීම මත ප‍්‍රමුඛ මාධ්‍ය සංගතයන්ට තිබුනු පාලනය අන්තර්ජාල සන්නිවේදනය ද අන්තර්ජාල වේදිකා ද පැනනැගීම මගින් බිඳ දමනු ලැබිනි. සමජ අසමානත්වයට සහ යුද්ධය ට එරෙහිව වැඩෙන මහජන විරෝධය ද ගැඹුරුවන දේශපාලන අර්බුදය ද මැද දී අන්තර්ජාලය මත රාජ්‍යයේ පාලනය තහවුරු කරගැනීම අතිමහත්ම හදිසි භාවයක් දරන කර්තව්‍යයක් සේ ඉස්මත්තට පැමින ඇත.

ගූගල් දැනටම කරන්නට පටන්ගෙන තිබෙන දෙය නම් මෙයයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ලේඛන ගතකර තිබෙන අයුරින්, අපේ‍ල් මාසයේදී , “ව්‍යාජ ප‍්‍රවෘත්තිවලට” එරෙහිව සටන් වදිමින් “බල සහිත අන්තර්ගතය” හුවා දැක්වීමේ ව්‍යාජය යොදාගෙන ගූගල් සෙවුම් ඇල්ගොරිතමයේ සිදුකරන ලද වෙනස් කම් වල ප‍්‍රතිඵලයක් ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙත ගුගල් හරහා කෙරන ප‍්‍රවිෂ්ටයන් ප‍්‍රමානය සියයට 70 තරම්ද වෙනත් වාම වෙබ් අඩවි 13 ක ප‍්‍රවිෂ්ටයන් සියයට 19 සහ 63 දක්වා පමනද වැටීමක් ඇතිකර තිබේ.

ගූගල් සිදුකර ඇති ප‍්‍රහාර වනාහි ආරම්භය පමනි. ෆේස්බුක්, ට්විටර්, යූ ටියුබ් සහ වෙනත් මාධ්‍යන්ට එරෙහිවද එවැනිම පියවරයන් දැනටම අරඹා හෝ සුදානම් කරමින් සිටිති. රුසියානු RT පුවත් ආයතනයේ ඇමරිකානු ශාඛාවේ කාර්යමන්ඩලය ඔක්තෝබර් 17 දා වනවිට විදේශ ඒජන්තයන් ලෙස ලියා පදිංචි විය යුතුයයි ද නැතිනම් සිරභාරයට පත් වීමට සුදානම් විය යුතුව ඇතයි ද එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව නියම කර තිබේ. මෙම පියවර, වාමාංශික සහ යුද විරෝධී වෙබ් අඩවි සියල්ල “විදේශික සතුරාගේ” ඒජන්තයන් යයි නම් කොට එක්කෝ වසා දැමියයුතුය, නැතිනම් වාරනය කලයුතු යන පහර දීම සඳහා පුර්වාදර්ශයක් ලෙස යොදාගැනෙනු ඇත.

නිදහස් කථනයට සහ අන්තර්ජාලයට එල්ල කරන මෙම නව -මැක්ර්තිවාදී ප‍්‍රහරයට එරෙහිව අරගලය සමාජ අසමානතාවයට, යුද්ධයට, ඒකාධිපතිත්වයට සහ ධනපති ක‍්‍රමයට එරෙහිව ප‍්‍රජා තන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තිය ද, තරුනයන් ද සංවිධානය කිරීම සමග ඒකාබද්ධකොට සංවිධානය කලයුතුව ඇත. සිදුවෙමින් පවතින දෙය හෙලිදරව් කොට එයට විරුද්ධව ජනයා බලමුලුගැන්වීම උදෙසා රට පුරාම ද ජාත්‍යන්තරව ද රැස්වීම් සංවිධානය කලයුතු වේ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිය පාඨකයන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අන්තර්ජාල වාරනයට එරෙහි පෙත්සමට අත්සන් කොට අදම සමාජවාදී සමානතා පක්ෂය අමතන ලෙසය.

ජෝෂප් කිෂෝර්

Share this article: