ට‍්‍රම්ප්ගේ ධවල මන්දිරය ආගාමිකයන්ට යුද්ධ ප‍්‍රකාශ කරයි

Trump White House declares war on immigrants

2017 ඔක්තෝබර් 10

ට‍්‍රම්ප්ගේ ධවල මන්දිරය ඉරිදා රාත‍්‍රියේ ආගමනික ප‍්‍රතිපත්ති පිලිබඳ එහි නියමයන් සංක්ෂේපගත කොට කොංග‍්‍රසයට ලියවිල්ලක් යවමින් ලේඛනගත නොවූ ආගමනිකයන් ඉලක්ක කරගත් ෆෙඩරල් පොලිස් ආයතන තව දුරටත් ගොඩනැංවීම සඳහා කැඳවුම් කලේය. සමූහ අත්අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට අකමැත්තක් දක්වන නගර සහ ප‍්‍රාන්තයන්ට එරෙහිව නීතිමය දඩයමක් ද මෙහි ඇතුලත් වන අතර නීත්‍යානුකූල ආගමනිකයන්ගේ තියුනු අඩුවීමක් ද ඉල්ලා සිටී.

වාර්තා කොට ඇති අයුරින් ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට් ප‍්‍රතිපත්ති උපදේශක ස්ටෙෆන් මිලර් සහ නීතිපති ජෙෆ් සෙෂන්ස් විසින් මෙම ලියවිල්ල සකස් කර ඇත්තේ දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආගමන හා රේගු බලධාරීන් (අයිසීඊ) වැනි ෆෙඩරල් ආයතන මෙන්ම දේශසීමා මුර සංචාරය සහ වොෂින්ටනයේ අන්ත දක්ෂිනාංශික සංක‍්‍රමනික විරෝධී කවයන්ගේ තොරතුරු පදනම් කරගෙන ය.

මෙය ගෙන ආවේ අයිසීඊ සහ අනෙකුත් ෆෙඩරල් ආයතන සමග රාජ්‍ය සහ ප‍්‍රාදේශීය පොලීසිවල සහයෝගිතාවය සීමා කරන “ශුද්ධ ජනපදයක්” බවට බ‍්‍රහස්පතින්දා කැලිෆෝනියා ආන්ඩුකාරයා විසින් අත්සන් කරන ලද ප‍්‍රාන්ත නීතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිචාරයක් වශයෙන් කැලිෆෝනියාවේ නිවහන් ප‍්‍රදේශ හා වැඩපොලවල සංක‍්‍රමනික විරෝධී මහාපරිමාන වැටලීම් කරන ලෙසට තර්ජනය කරමින් අයිසීඊ හි වැඩබලන අධ්‍යක්ෂක ටොම් හොමන් විසින් ලිපියක් නිකුත් කිරීමෙන් දින දෙකකට පසුවය.

“ආගමන මූලධර්ම සහ ප‍්‍රතිපත්ති” යන මාතෘකාව යටතේ, ධවල මන්දිර ලේඛනය මගින් ඇමරිකානු පොලිස් රාජ්‍යයක් සඳහා සැකිල්ල, මුලින් ආගමනිකයන්ට එරෙහිව සහ සෘජුව යොමු කල ද එය කම්කරු පන්තියේ වඩාත් පුලුල් ස්ථර ඉලක්ක කර ගැනීම සඳහා ඇති විභවය සහිත ය. එමගින් නිර්දෝෂී භාවයේ පූර්වානුමිතිය, නිසි නීතිමය ක‍්‍රියාදාමය, සාධාරන ඇප දීම සහ නීතිඥයෙකුට ඇති අයිතිය වැනි දිගුකාලීන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන් මත ප‍්‍රහාරය ගැඹුරු කරයි.

ට‍්‍රම්ප් පරිපාලනය, ප‍්‍රධාන අංශ තුනක ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා කැඳවුම් කරයි:

* එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමා කඩාදැමීමක්: මෙය “එක්සත් ජනපදයේ දකුනු මායිමෙන් පවුරක් ඉදි කිරීම සම්පූර්න කිරීම” පමනක් නොව, ලියවිලි නොමැති සංක‍්‍රමනිකයන් සහ සරනාගතයන් පිලිබඳ ක‍්‍රියාවලිය වෙනස්කොට සරනාගතයින්ගේ හිමිකම් තහනම් කිරීම සහ බොහෝ අයදුම්කරුවන් ඉක්මනින් රටෙන් ඉවත් කිරීම සහතික කිරීම ද ඉලක්ක කර ගත්තකි. මෙයට දහස් ගනනක් ආගමන විනිසුරුවන් සහ නීතිඥයින් බඳවා ගැනීම, සරනාගතයින්ට තමන් පීඩාවන්ගෙන් ගැලවීම සඳහා පලා ආවේය යන්න ඔප්පු කිරීමේ බර වැඩි කිරීම සහ සංක‍්‍රමනිකයන් අපරාධකරුවන් ලෙස සැලකීමේ නිර්නායක පුලුල් කිරීම සහ මිලියන සංඛ්‍යාත ලේඛනගත නොවූ කම්කරුවන්ට අබූත සමාජ ආරක්ෂන අංකය වැන්නක් භාවිතා කිරීම මගින් පහර දීම ද ඇතුලත් ය.

* අතිරේක නියෝජිතයින් 10,000 ක් කුලියට ගැනීමෙන් අයිසීඊ ය පුලුල් කිරීම හා ෆෙඩරල් ආගමන බලයන්ගේ උපකරනයන් ලෙස කටයුතු කිරීම සඳහා ප‍්‍රාන්ත හා ප‍්‍රාදේශීය පොලිස් බලකාය බලමුලු ගැන්වීම මගින් එක්සත් ජනපදයේ අභ්‍යන්තරය පුරාම විහිදෙන සංක‍්‍රමන විරෝධී ක‍්‍රියාකාරකම් වේගවත් කිරීම. මෙමගින් සංක‍්‍රමනිකයන් මිලියන ගනනකට පීඩා කිරීම සඳහා කැප වූ බලවේගයන්ගේ ප‍්‍රමානය වැඩි වනු ඇත. එවන් ප‍්‍රයත්නයන්ට එරෙහි වන ප‍්‍රාදේශීය ආන්ඩුවලට, ෆෙඩරල් ආධාර කපා හැරීම ඉලක්ක කොට ගැනීම වැනි ප‍්‍රතිරෝධ දැක්වීම් සහ තොරතුරු සහ මිනිස් බලය සැපයීමට බල කරන නීතිමය ක‍්‍රියාමාර්ග මගින් තර්ජනය කරනු ඇත.

* එක්සත් ජනපද පුරවැසියන්ට සහ නීත්‍යානුකූල පදිංචිකරුවන්ගේ දෙමව්පියන්, දරුවන්, කාලත‍්‍රයන් හා අනෙකුත් සමීප ඥාතීන්ට අනුග‍්‍රහ දැක්වීමට ඉඩ සලසා දීම වස් පවුල් නැවත එක් කිරීම ප‍්‍රවර්ධනය කරන වර්තමාන ක‍්‍රමය අවලංගු කිරීම මගින් රැකීරක්ෂා මත පදනම්වූ පද්ධතියක් වෙත යොමු වූ; එනම් මූලික වශයෙන් ක්ෂේත‍්‍රවල කෘෂි ව්‍යාපාර අවශ්‍යතා ඉටු කරන සෘතුමය ශ‍්‍රමිකයින් සහ ඉහල තාක්ෂනික සමාගම්වල ඕනෑකම් පිරිමසන පුහුනු ශ‍්‍රමිකයින් ඇතුලු නීත්‍යානුකූල ආගමනයේ තියුනු අඩුවීමක් සිදු වනු ඇත. එක්සත් ජනපදයට ඇතුලු වීමට අවසර ලබා ඇති සරනාගතයින්ගේ සංඛ්‍යාව ද තියුනු ලෙස අඩු කරනු ඇත.

හඳුනාගෙන ඇති අයුරින් මිලර් සහ ධවල මන්දිරයේ හිටපු උපදේශකයෙකු වු ස්ටීවන් බැනන් සමග ට‍්‍රම්ප්ගේ ආගමන ලියවිල්ල ලියා ඇත්තේ දක්ෂිනාංශික ජනතාවාදී භාෂාවෙන්ය. සංක‍්‍රමනිකයන් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව සඳහා තර්ජනයක් ලෙස (එනම්, විභව ත‍්‍රස්තවාදීන්) හා ඇමරිකානු කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්වයන්ට තර්ජනයක් ලෙස එය යක්ෂාවේෂ ගන්වා ඇත. (නීත්‍යානුකූල ආගමනය “වැටුප් කප්පාදු කර ඇති අතර, විරැකියාව ඉහල දැමීම හා ෆෙඩරල් සම්පත්වල සාරය උරාගෙන” ඇතැයි ලියවිල්ල කියාපායි.)

මෙය කම්කරු පන්තියේ සැලකිය යුතු කොටසකට එරෙහිව - එනම් ඇස්තමේන්තුගත ලෙසට මිලියන 12ක් ලේඛනගත නොකල කම්කරුවන් සහ ඊටත් වඩා ඉහල සංඛ්‍යාවක නීතිමය සංක‍්‍රමනිකයන්, ග‍්‍රීන් කාඩ් හිමියන්, සරනාගතයින් සහ ලියාපදිංචි කල පුරවැසියන්ට එරෙහි යුද ප‍්‍රකාශ කිරීමකි. එය ඇමරිකානු ඉතිහාසයේ වඩාත් දක්ෂිනාංශික හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ට‍්‍රම්ප් පාලනයේ සැබෑ මුහුනුවර ය.

ධවල මන්දිරය සඳහා දේශපාලන ආවරනයක් සැපයීමේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ ක‍්‍රියාකලාපය, ට‍්‍රම්ප්ගේ ආගමන ලියවිල්ල හෙලිදරව් කෙරෙයි. විශේෂයෙන් ම මෙම ලැදියා සහගත ප‍්‍රතිචාරය වඩාත් ප‍්‍රකට වූයේ සෙනෙට් සුලුතරයේ නායක චක් ෂූමර් හා නියෝජිත මන්ත‍්‍රී මන්ඩලයේ සුලුතර නායිකා නැන්සි පෙලොසි පසුගිය මාසයේ ට‍්‍රම්ප් සමග ඩිෆර්ඩ් ඇක්ෂන් ෆො චයිල්ඩ්හුඩ් ඇරයිවල්ස් (ඩීඒසීඒ) -ලමාවියේ පැමිනීම් සම්බන්ධව කල්තැබූ නීති කටයුතු- වැඩ සටහන මගින් ආවරනය වන ලේඛනගත නොකල 800,000 තරුන ආගමනිකයින් ගේ තත්වය සම්බන්ධයෙන් පැවත්වූ සාකච්ඡාවෙන් පසුව ය.

ධවල මන්දිරයේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයෙ දී ට‍්‍රම්ප් සමග පෙනී සිටි ෂූමර් හා පැලොසි, ඔවුන්ගේ ලමා කාලයේ දී දෙමාපියන් විසින් මෙහි ගෙන එන ලදුව එක්සත් ජනපදයේ හැදී වැඩුනු මෙම තරුනයන්ගේ තත්වය කෙරෙහි ජනාධිපතිවරයා සැබවින් ම අනුකම්පා කරන බව පැවසූහ. “ඩ්‍රීමර්ස්” එනම් විදේශික බාලවයස්කරුවන් සඳහා සංවර්ධනය, සහන හා අධ්‍යාපන පනතට අයත් වූවන් පිටුවහල් කිරීම වලක්වාලීම සඳහා වූ ගනුදෙනුවක් පිලිබඳව අඩුම තරමින් පුලුල් සැකිල්ලක් තිබෙන බව කියා සිටි ඔව්හු, ට‍්‍රම්ප්ගේ ප‍්‍රාකාරය ඇතුලත් නොවූවද, දේශ සීමා ආරක්ෂාව යම් ආකාරයකට තර කිරීම සඳහා ආපසු හැරුනි.

ට‍්‍රම්ප් බලයට පත්වූ තැන් සිට - සහ ඊට පෙර පවා - ඩිමොක‍්‍රටික් පක්ෂය, නව පාලන තන්ත‍්‍රයට එරෙහි සිය විරුද්ධත්වය තීරනාත්මකව යොමු කර තිබුනේ 2016 මැතිවරන උද්ඝෝෂනයේ දී රුසියාව සමග ට‍්‍රම්ප්ගේ සම්බන්ධය පිලිබඳ කාරනයට මිස, සංක‍්‍රමනිකයන්ට එල්ල වූ අතිමහත් හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන් මත හෝ සකල වර්ගයේම අන්ත දක්ෂිනාංශික සමාජ ප‍්‍රතිපත්ති සහ ට‍්‍රම්ප් කැපවී සිටින මිලිටරිවාදයට නොවේ. මෙම උද්ඝෝෂනයේ ප‍්‍රධාන අරමුන වූයේ, සිරියානු යුද්ධය හා වඩාත් පුලුල්ව නැගෙනහිර යුරෝපය හා බෝල්ටික් කලාපය යන දෙකේ දී ම මොස්කව් කෙරෙහි වඩාත් දැඩි පිලිවෙතක් අනුගමනය කිරීම සඳහා ට‍්‍රම්ප්ට පීඩනය යෙදීමයි.

ෂුමර් හා පැලොසි පසුගිය මාසයේ ෆෙඩරල් අයවැය අනුමත කිරීම හා නය සීමාව දෙසැම්බර් මාසය තෙක් දීර්ඝ කිරීම සඳහා ට‍්‍රම්ප් සමග ගනුදෙනුවක යෙදී සිටි අතර, ට‍්‍රම්ප් ව “මධ්‍යයට” තල්ලු කර ගැනීමක ට පවතින හැකියාව ගැන ඩිමොක‍්‍රටිකයන් අඛන්ඩ සමපේක්ෂනයක යෙදී සිටියහ. ඒ කුමකටද යත්; ඩිමොක‍්‍රටික් සුලුතරය යොදාගෙන කොන්ග‍්‍රසයේ තුල සංක‍්‍රමනය, වෙලඳාම, සංගත බදු කප්පාදුව හා යටිතල පහසුකම් ඇතුලු විවිධාකාර ප‍්‍රස්තුත සම්බන්ධයෙන් ධනපති පක්ෂ දෙකේ පොදු දක්ෂිනාංශික න්‍යාය පත‍්‍රයක් බෙදාහදා ගැනීමට ය.

ලේඛනගත නොකල අනෙක් මිලියන 11 තුලින් මතුවන රඳවා තැබීම හා පිටුවහල් කිරීම පිලිබඳ භීතිය තුරන් කිරීම ගැන තබා- ඩීඒසීඒ මගින් ආවරනය වන අයට නෛතික අයිතිය ලබා දීම හෝ ඔවුන් කෙරෙහි අනුකම්පාවක් දැක්වීම ගැන පවා සඳහනක් නොමැතිව ධවල මන්දිරය නිකුත් කර ඇති දුෂ්ට සංක‍්‍රමනික ප‍්‍රතිපත්ති ලැයිස්තුව ගැන තමන් “කම්පාවට” පත්වූ බව දැන් ෂූමර් සහ පැලොසි ප‍්‍රසිද්ධියේ කියා සිටිති. “සාධාරන දේශ සීමා ආරක්ෂන පියවරවල් සඳහා අප විවෘතව සිටින බව අපගේ හමුවේ දී අපි ජනාධිපතිවරයාට ප‍්‍රකාශ කලෙමු. නමුත් මෙම ලැයිස්තුව සාධාරනත්වය බොහෝ දුරට ඉක්මවා ඇත. සම්මුතියක් සඳහා කිසිදු උත්සාහයක් නියෝජනය කිරීමට මෙම යෝජනාව අපොහොසත් වේ.” යයි ඔවුන් ඒකාබද්ධ ප‍්‍රකාශයකින් පවසා ඇත.

නරුම වංචාවක්! සැබවින්ම, ඩිමොක‍්‍රටිකයින් හා ට‍්‍රම්ප් පාලනාධිකාරය අතර ඕනෑම එකඟතාවක්, එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ මහාපරිමාන පිටුවහල් කිරීම් හා මිලිටරීකරනය ඇතුලු ව ඔබාමා ආන්ඩුව විසින් අනුගමනය කල පියවරයන් ඉක්මවා යමින් සංක‍්‍රමනික කම්කරුවන්ට ප‍්‍රහාර එල්ල කිරීම තවදුරටත් තීව‍්‍ර වනු ඇත. එපමනක් නොව ඞීඒසීඒ සම්බන්බන්ධයෙන් ට‍්‍රම්ප් සමග ඩිමොක‍්‍රටිකයින්ගේ උපාමාරු දැමීමේ අරමුන වන්නේ සංක‍්‍රමනික කම්කරුවන් ආරක්ෂා කිරීම නොව, අර්බුදය සහිත ආන්ඩුවක් පෝෂනය කිරීම හා ඩිමොක‍්‍රටිකයන්ට සියල්ලටමත් වඩා භයානක වන කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත් වීමක් වැලක්වීමය.

ධවල මන්දිර යෝජනාවේ ක්ෂනික ඉලක්ක සංක‍්‍රමනික කම්කරුවන් වන නමුදු සමස්ත කම්කරු පන්තියටම කුරුමානම අල්ලා ඇත. ට‍්‍රම්ප් පරිපාලනය, සෞඛ්‍යය, මහජන අධ්‍යාපනය සහ වෙනත් සමාජ සේවා මත ද්විපාක්ෂික ප‍්‍රහාර දැවැන්ත ලෙස උග‍්‍ර කිරීමට උත්සහා දරන අතර කම්කරු පන්තියෙන් ධනවතුන් අතට ධනය මාරු කිරීමේ තවත් ඓතිහාසික අවස්ථාවක් අභිප්‍රේක්ෂනය කරමින් සිටී. සංක‍්‍රමනික කම්කරුවන් දොට්ට දැමීමේ අරමුන වන්නේ කම්කරු පන්තිය බෙදා වෙන් කිරීම වන අතර සමස්ත දේශීය විරුද්ධත්වයන් මර්දනය කිරීම සඳහා පොලිස් රාජ්‍ය යාන්ත‍්‍රනය යොදා ගනු ඇත.

සංක‍්‍රමනික ප‍්‍රතිපත්තිය ඇතුලු ඔවුන්ගේ අභ්‍යන්තර වෙනස්කම් කුමක් වුවත් ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් මෙම මූලික පන්ති මූලෝපාය මත එක්සත් වී සිටිති.

කම්කරු පන්තිය සමස්ත ප‍්‍රතිගාමී රාමුව ම ප‍්‍රතික්ෂේප කල යුතුය. සංක‍්‍රමනික කම්කරුවන් ආරක්ෂා කිරීම සහ තමන් තෝරාගන්නා ස්ථානයේ ජීවත් වීමට හා වැඩ කිරීමට සෑම දෙනාටම ඇති අයිතිය - එනම් දේශසීමා විවෘත කිරීමේ සමාජවාදී පිලිවෙතක් - සමස්ත කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කරන වැඩපිලිවෙලක් සමග සම්බන්ධ කල යුතුය. සියලු කම්කරුවන්ට යහපත් රැකියාවක්, සෞඛ්‍ය රැකවරනයක්, මහජන අධ්‍යාපනයක් සහ ගුනාත්මක විශ‍්‍රාමයක් සඳහා ඇති අයිතිය සහතික කිරීම සඳහා සම්පත් පවතින නමුත් මෙම අයිතීන් ධනේශ්වර ලාභ පද්ධතිය සමග අනුකූල නොවේ.

පැට්‍රික් මාටින්

Share this article: